Pages

Sunday, November 15, 2015

අභීත හිමි සඳ සෝභිත මහත්වූ සොවින් නික්‌ම ගිය ගමනක්‌...

පූජ්‍ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමිපාණන් මේ භවය අතැර ගියේ දුකින්ද, නොඑසේනම් සතුටින්ද යන්න අපි හරියටම නොදන්නෙමු. එහෙත් සංසාර ගමනේ මෙවර නවාතැන අත්හැර දමන විට උන්වහන්සේ මහත් ශෝකයෙන් පසුවූ බව අයෙක්‌ කියතොත් අපි එයට ඉඳුරාම එකඟ වෙමු. උන්වහන්සේ නික්‌ම යන්නේ තමන් පැතූ ලෝකය ඉදිවන සේයාවක්‌වත් නොදැකය. උන්වහන්සේ තුළ ස්‌වල්ප වුව සතුටක්‌ ජනිත වන්තේ නම් ඒ එකම එක කාරණයක්‌ නිසාය. එනම් තමන් වටකරගෙන සිටි, රටත්, ජාතියත් ආගමත් ගැන කිසිදු හැඟීමක්‌ නොතිබූ එන්. ජී. ඕ. හැතිකරයෙන් ගැලවී වැඩ වසන්නට අපවත විසින් උන්වහන්සේට අවස්‌ථාව සලසනු ලබන නිසාය.

1980 න් පසු මේ රට සහ ජාතිය අවදි කළ ප්‍රමුඛ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා දෙනමක්‌ වැඩ විසූහ. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඉන් එක්‌ භික්‌ෂුවකි. අනෙක්‌ භිෂුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණෝය. මේ භික්‌ෂු දෙනමම රට බෙදීමට විරුද්ධ වූහ. සෝභිත හිමිපාණෝ තවත් ඉදිරියට යමින් විධායක ජනාධිපති ධුරයට විරෝධය පළ කිරීමේ ව්‍යාපාරයක්‌ ආරම්භ කළහ. මේ අනුව උන්වහන්සේගේ ප්‍රමුඛතම දේශපාලන සතුරා බවට ඡේ. ආර්. ජයවර්ධන පත්වන්නේය. 1976 න් පසු ඡේ. ආර්. දේශපාලන සතුරා කර ගැනීමට කෙනකු උත්සුක වන්නේද එය සමාන වන්නේ සියතින් ගෙල සිඳ ගැනීමටය. විධායක බලයට එරෙහිව, රට කැඩීමට එරෙහිව, රට බේරා ගැනීමේ යුද්ධයට පéව සෝභිත හිමියන් ඇතුළු ජාති හිතෛෂීන් සංවිධානය කළ රැස්‌වීම්වලට එකල සිටි කුලී මැරයෝ එළව - එළවා පහර දුන්හ. එහෙත් සෝභිත හිමිපාණන්ගේ ගෙල සිඳීමට උන්වහන්සේ අතට කඩුව දීමට ඡේ. ආර්. ට කවදාවත් හැකි වූයේ නැත. අන්තිමට එවකට තිබූ යූ. එන්. පී. ආණ්‌ඩුව කොපුව නැතිවම කඩුව ඉණේ ගසාගත් බැවින් ආණ්‌ඩුවේ ඉනපටිය කැපී ප්‍රජාතන්ත්‍රවාදයේ රෙද්ද බිම හැලිණ.

විධායක ජනාධිපති ක්‍රමය අතුගා දැමීමේ ඒකායන අපේක්‌ෂාව කාගෙන් හෝ ඉටුකර ගත හැකි යයි සිතමින් සෝභිත හිමියෝ කාලයෙන් කාලයට දේශපාලන නායකයන්ට රැවටුණාහ. නූතන දේශපාලනඥයා යනු භික්‌ෂුවකගේ පමණක්‌ නොව ආගම් වක්‌තෘවරයකුගේ කනින් වුව රිංගා යැමට සමත් හපනෙකි. ඒ අනුව බලය ලබා ගන්නා තුරු උන්වහන්සේ පිටුපසින් ගොස්‌ බලය ලද වහාම උන්වහන්සේට ඉස්‌සරවීම මේ කපටි දේශපාලනඥයෝ නිතර කළහ. කිසිදු දේශපාලනඥයකු බලයෙන් පහකිරීම උන්වහන්සේගේ අරමුණ නොවීය. උන්වහන්සේ කල්පනා කළේ බලයේ සිටින දේශපාලනඥයා ලවා විධායක බලය නැතිකර ගැනීමටය. එසේ බැරි බව දැනෙන විට අදාළ දේශපාලනඥයා අත්හැර දැමූ උන්වහන්සේ විධායක බලය අහෝසි කරවා ගත හැකි වෙනත් දේශපාලනඥයකු දෙසට හැරුණේය.

තම අරමුණ උදෙසා දිවි පරදුවට තබා වැඩ කළ ද තම අරමුණු වෙත යැමට උවහන්සේට නොහැකිවීම සංවේගජනක කාරණයකි. විධායක බලය අහෝසි කිරීම වෙනුවට උන්වහන්සේ විසින් දක්‌නා ලද්දේ ජනාධිපති මුක්‌තිය අහෝසි කරනු ලැබීම පමණි. බෞද්ධ භික්‌ෂූන්ට නොවඳින, දේශපාලන ව්‍යාපාරයකදී බෞද්ධ භික්‍ෂුවකට වැඳීම නුසුදුසු යෑයි කියන කාලකණ්‌ණි සිවිල් සමාජය සමඟ වැඩ කිරීමට මතු අත්භවයේදීවත් උන්වහන්සේට නොලැබේවා!

http://www.divaina.com/2015/11/15/editorial.html

Pic Source

සබැඳි ලිපි -
[

සෝභිත හිමියන්ට ගල් පෙරලුවෝ ද දැල් දැමුවෝද පව් සම කර ගත්හ!http://denethharinna.blogspot.com/2015/11/blog-post_45.htmlමෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!http://denethharinna.blogspot.com/2015/11/blog-post_43.htmlහිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙතිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]

0 comments: