Pages

Monday, November 16, 2015

උන්වහන්සේට නියුමෝනියාව උත්සන්න වුණා - සෝභිත මා හිමියන්ගේ ගිලන් බව පිළිබඳව වෛද්‍ය මතය

රට දැය සමය වෙනුවෙන් දිවි පරදුවට තබා කටයුතු කළ භික්‌ෂුවක්‌ ලෙස මෑත කාලයේදී අපට දැකගත හැකි වූ මාදුළුවාවේ සෝභිත හිමියෝ අපවත්වී අදට (15 වැනිදා) සතියකි. ඉකුත් 08 වැනිදා ඉරිදා පෙරවරු 4.30 ට පමණ උන්වහන්සේ සිංගප්පූරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේදී සිය අවසන් හුස්‌ම පොද වාතලයට මුසුකරන විට වයස අවුරුදු 73 ක්‌ සම්පූර්ණ කර සිටියහ.

අප රටේ බොහෝ නාහිමිවරුන් ගත කරන සරල සහ අල්පේච්ඡ දිවි පෙවෙත අනුව වයස අවුරුදු 80 ක්‌ 90 ක්‌ හෝ ඊට වැඩි වයසක්‌ දිවි ගෙවීම සාමාන්‍ය දෙයකි. එවන් පසුබිමක සෝභිත හිමියන් අඩු වයසින් අපවත්වීමට බලපෑ හේතුව පිළිබඳව බොහෝ දෙනා විමසති.

මේ ඒ පිළිබඳ කතාවයි 

සෝභිත හිමියන්ගේ පෞද්ගලික ශරීර සෞඛ්‍යය පිළිබඳව දිගු කාලයක සිට පරීක්‌ෂාවට ලක්‌ කළ සහ ගිලන්වූ මොහොත් සිට ප්‍රතිකාර කිරීමට එක්‌වූ ශ්‍රී ලාංකික වෛද්‍ය කණ්‌ඩායමේ ප්‍රධාන සම්බන්ධීකාරක ලෙස කටයුතු කළේ කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දියවැඩියාව සහ හෝමෝන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතාය. උන්වහන්සේගේ අපවත්වීමට බලපෑ ප්‍රධාන හේතු 'දිවයින ඉරිදා සංග්‍රහය'ට ඔහු අනාවරණය කළේ මෙලෙසිනි.

සෝභිත හාමුදුරුවෝ දීර්ඝ කාලයක පටන් දියවැඩියා රෝගයෙන් පෙළුණා. හැබැයි උන්වහන්සේ ඊට ප්‍රතිකාර ගනිමින් රෝගය පාලනය කරගෙන සිටියා. ඒ වගේම තමයි හාමුදුරුවන්ට ඇදුම රෝගයත් තිබුණා. එම රෝගයෙනුත් හාමුදුරුවෝ යම් පීඩාවක්‌ වින්දා.

මීට මාස තුනකට පමණ පෙර ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී සෝභිත හාමුදුරුවන්ගේ හදවත ක්‍රියාකාරිත්වයේ අසාමාන්‍යතාවයක්‌ හටගත්තා. ඒ ගැන පරීක්‌ෂා කළ විට හදවතේ කපාටයක්‌ දුර්වල වී ඇති බවත් එක්‌ රුධිර නාළයක්‌ සිහින්වී ඇති බවත් වෛද්‍ය පරීක්‌ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකිවුණා.

ඒ සම්බන්ධව ප්‍රතිකාර කිරීම සඳහා හාමුදුරුවන්ට හදවත් සැත්කමක්‌ සිදු කළා. එහිදී දුර්වලවී තිබූ කපාටයට අලුතින් කපාටයක්‌ බද්ධ කළා. (ඵසඑර්ක ඩ්කඩැ Reචක්‌ජැපැබඑ) සිහින්ව පැවැති රුධිර නාළය සඳහා බයිපාස්‌ සැත්කමක්‌ සිදුකළා.

මේ සැත්කම සාර්ථකයි. දින කිහිපයක්‌ විවේකීව රෝහල්ගතව සිට හාමුදුරුවන් රෝහලින් පිටව ගියා.

හැබැයි සැත්කමින් පස්‌සේ හාමුදුරුවන්ගේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අධිකවී තිබුණා. එහි සංකූලතාවන් සඳහා හාමුදුරුවන්ට ප්‍රතිකාර ලබා දුන්නා.

හාමුදුරුවන්ට උගුරේ ස්‌නායු ආබාධයකුත් මතුව තිබුණා. එනිසා කතා බහ කිරීමේ ගැටලුවකුත් මතුවෙමින් තිබුණා. ඒ සම්බන්ධව උගුර කණ නාසය පිළිබඳ වෛද්‍යවරු පරීක්‌ෂා කළා. එහිදී තීරණය වුණේ ඒ සඳහා සැත්කමක්‌ කිරීමට සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහල වෙත හාමුදුරුවන් වැඩම කරවිය යුතු බවයි.

සැත්කමට අදාළ සියලු කටයුතු මවුන්ට්‌ එලිසබෙත් රෝහල සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබුණා. ඒ අනුව හාමුදුරුවෝ උගුරේ ස්‌නායු සැත්කම සඳහා සිංගප්පූරුවට වැඩම කිරීමට සූදානමින් සිටියා.

නමුත් ඊට පෙර හාමුදුරුවන් අසනීප වූ නිසා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබුණා. හාමුදුරුවෝ දැඩි ලෙස නියුමෝනියාව රෝගයට ගොදුරුවෙලා ගිලන්ව සිටි නිසා නේවාසික ප්‍රතිකාර ලබාදුන්නා.

සිංගප්පූරු යැමට නියමිතව තිබූ නිසා ඉකුත් 04 වැනිදා ඒ ගමන යැම සඳහා අදාළ කටයුතුත් සකස්‌ කර තිබුණා.

නමුත් 03 වැනිදා රාත්‍රියේ හාමුදුරුවෝ නියුමෝනියාව රෝගය නිසා දැඩි ලෙස ගිලන්වූවා. කතාබහ කිරීමත් අපහසු වුණා. එනිසා සිංගප්පූරුවට රැගෙන යැම සඳහා මවුන්ට්‌ එළිසබෙත් රෝහලින් ගිලන් ප්‍රතිකාර සහිත ගුවන් යානයක්‌ (Aසර Aපඉමක්‌බජැ) එවා තිබුණා.

හාමුදුරුවන් සිංගප්පූරුවට රැගෙන ගියේ ශ්වසනය පහසුකරවීම සඳහා බාහිරින් ඔක්‌සිජන් ප්‍රතිකාර ලබාදෙමින්.

මවුන්ට්‌ එළිසබෙත් රෝහලේදීත් ප්‍රතිකාර ලබාදුන්නා. ඒත් රෝග තත්ත්වය එන්න එන්නම දරුණු වී තිබුණා. වෛද්‍යවරුන්ගේ සියලු උත්සාහයන් පරාජයට පත් කරමින් සෝභිත හිමියන් නොවැම්බර් 08 වැනිදා ඉරිදා අලුයම 4.30 ට පමණ අපවත්වී තිබුණා.

ඇත්තටම සෝභිත හාමුදුරුවෝ දැඩි ලෙස ගිලන්වූ මොහොතේ පටන් වෛද්‍යවරුන් අඛණ්‌ඩව හාමුදුරුවන්ට ප්‍රතිකාර ලබාදෙමින් උන්වහන්සේගේ ජීවිතය රැකගන්න දැඩි උත්සාහයක නිරතවුණා. නමුත් උන්වහන්සේගේ ශරීර සෞඛ්‍යය එන්න එන්නම දුර්වල වී තිබුණා.

වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා එසේ පැහැදිලි කළේ සෝභිත මාහිමියන්ගේ අපවත්වීම පිළිබඳව වෛද්‍ය ඇසිනි.

බුදුන්වහන්සේ දේශනා කළ පරිදි සියලු සංස්‌කාර ධර්මයන් අනිත්‍ය බව පසක්‌ කරමින් දැයක්‌ පුබුදුවාලීමට මහත් වෙහෙසක්‌ ගත් මහ යතිවරයාණන් වහන්සේ නමක්‌ ලෙස මාදුළුවාවේ සෝභිත හිමියෝ සිය සසර ගමනේ මේ භවය නිමාවට පත් කළහ.

උපාලි ද සේරම්
http://www.divaina.com/2015/11/15/feature03.html

සබැඳි ලිපි -
[

අභීත හිමි සඳ සෝභිත මහත්වූ සොවින් නික්‌ම ගිය ගමනක්‌...http://denethharinna.blogspot.com/2015/11/blog-post_24.htmlසෝභිත හිමියන්ට ගල් පෙරලුවෝ ද දැල් දැමුවෝද පව් සම කර ගත්හ!http://denethharinna.blogspot.com/2015/11/blog-post_45.htmlමෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!http://denethharinna.blogspot.com/2015/11/blog-post_43.htmlහිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙතිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]

0 comments: