Pages

Sunday, November 22, 2015

පැරිසියට ගිය කොටි බෝම්බ කබාය

අත්අඩංගුවේ සිටින හිටපු කොටි ත්‍රස්‌තවාදීන් 216 ක්‌ වහාම නිදහස්‌ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන්නැයි ඉල්ලමින් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව පසුගිය බදාදා (18දා) ප්‍රංශ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

එහෙත් අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායමක්‌ පසුගිය සිකුරාදා රාත්‍රියේ පැරිස්‌ නුවරට එල්ල කළ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුවේ සැලසුම ව්‍යාර්ථ විය. ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‌තවාදී ප්‍රහාරය නිසා උද්ඝෝෂණය අත්හිට වූ බව පැවසූ ඊළම් සම්බන්ධීකරණ කමිටුව අපූරු ප්‍රකාශයක්‌ කළේය.

"ප්‍රංශයට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය නිසා දෙමළ ජනතාව වන අප දුකට පත් වී ඇත්තෙමු. විපතට පත් සියලු ජනතාවට අපේ බලවත් ශෝකය පල කරන්නෙමු ත්‍රස්‌තවාදයට එරෙහිව ප්‍රංශ රජය සහ එරට ජනතාව ගනු ලබන ඕනෑම ක්‍රියා මාර්ගයකට ප්‍රංශයේ දෙමළ ජනතාව සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවගේ පූර්ණ සහය ලබාදෙන බව ස්‌ථීරවම ප්‍රකාශ කරන්නමු"යෑයි එම ප්‍රකාශයේ සඳහන් විය.

මෙයට සමගාමීව ප්‍රංශයේ තමිල්චෝලයි නමින් හඳුන්වන ඊළම් පාසල් නොවැම්බර් 14 සහ 15 යන දිනවල වසා දැමීමටද ක්‍රියා කර ඇත.

ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ප්‍රංශ රජයට සහය දෙන බව දක්‌වන ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව ප්‍රංශ රජයට කියන්නේ දරුණු කොටි 216 ක්‌ මුදා ගැනීමට සහය වන ලෙසයි.

එසේම ප්‍රංශයේ පැරිස්‌ නුවරට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්‌තවාදී ක්‍රමවේදයට මුල් වූ "පුපුරණ ද්‍රව්‍ය කබා" ලොවට හඳුන්වාදුන්නේ කවුරුන්ද?

ඒ ප්‍රංශ ඊළම් සම්බන්ධීකරණ කමිටුව අරමුදල් සැපයූ කොටි සංවිධානයයි. කොටි සංවිධානය බිහි කළ පුපුරණ ද්‍රව්‍ය කබාය (Sමජසාe ඩැsඑ) පැරිසියට යොමු වනු ඇතැයි ප්‍රංශ රජය සිතුවේ නැත. 1996 ජනවාරි 31 දා කොටුවේ මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල කළ කොටි සංවිධානය කොටි ත්‍රස්‌තයන් දෙදෙනකු ලවා සිවිල් වැසියන්ට වෙඩි තැබීමට ක්‍රියා කළේය. පැරිසියේ සිදු වූයේද එම ක්‍රමවේදයයි.


පැරිසියේ ත්‍රස්‌ත ප්‍රහාරයට සම්බන්ධ අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායමට අදාළ ත්‍රස්‌තයන් හත් දෙනෙක්‌ පුපුරණ ද්‍රව්‍ය අඩංගු බෝම්බ කබා පැළඳ සිටි අතර එම කබා පුපුරුවා ගැනීමෙන් ඔවුහු මරුමුවට පත් වූහ.

එහෙත් ප්‍රංශ බුද්ධි සේවාව මුහුණ පා ඇති බරපතල ප්‍රශ්නයක්‌ නම් මේ බෝම්බ කබා නිර්මාණය කළේ කවුරුන්ද යන්නයි. පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීම ගැන මහා දැනීමක්‌ ඇති විශේෂඥයකුට හැර වෙනත් අයට මෙම බෝම්බ කබා නිර්මාණය කිරීම අපහසුවේ. 

පැරිස්‌ ප්‍රහාරයේදී භාවිතා කළ බෝම්බ කබා සිරියාවේ සිට ප්‍රංශයට ගෙනවිත් ඇතැයි වාර්තා වී නැති අතර ප්‍රංශයේ හෝ යුරෝපයේදී එකී බෝම්බ කබා නිර්මාණය කර ඇති බවට දැඩි විශ්වාසයක්‌ පවතී.

මේ පුපුරණ කබා තාක්‍ෂණය දන්නේ කොටි සංවිධානයට සම්බන්ධ පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස්‌ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූ ත්‍රස්‌තයන්ය. වන්නි මෙහෙයුම අවසන් වීමට පෙර කොටි පුපුරණ ද්‍රව්‍ය හා බෝම්බ කබා එකලස්‌ කිරීමේ ක්‍රියාදාමයේ නිරත වූකබා එකලස්‌ කරන්නෝ යුරෝපා රටවලට පැන ගොස්‌ ඇත. ප්‍රංශ ආරංචි මාර්ග දක්‌වන්නේ මේ හිටපු කොටි ත්‍රස්‌තයන් ප්‍රංශයේ සිටින බවයි.

ප්‍රංශ බුද්ධි සේවාවේ හිටපු නිලධාරියකු වූ පියරේ මාටිනෙට්‌ පැවසූවේ පැරිස්‌ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්‌ත කණ්‌ඩායමට සම්බන්ධ නැති යමෙක්‌ මෙම බෝම්බ කබා නිපදවා ඇති බවට සැකකරන බවයි. 

ලංකාවත් පැනගිය කොටි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයන් සහ බෝම්බ කබා නිපදවන්නන් ගැන ප්‍රංශ බුද්ධි සේවාව විමර්ශනය කර නැත. ජාත්‍යන්තර පොලිසියට අවශ්‍ය ත්‍රස්‌තයකු වූ ධර්මරාජන් නැමැත්තා ප්‍රංශයේ සිටින බව ප්‍රංශ පොලිසිය දැනගත්තේ ඔහු පොලිස්‌ වාර්තාවක්‌ ලබා ගැනීමට පැමිණි අවස්‌ථාවේදී ඒ බව තහවුරු විය. 

මේ අතර පැරිස්‌ ප්‍රහාරයට පැමිණි ත්‍රස්‌තයන් භාවිතා කළ බෝම්බ කබාවල ක්‍රමවේදයද කොටි බෝම්බ කබාවල ක්‍රමවේදයට සමාන විය. බැටරියක්‌, ඩෙටනේටරයක්‌ සහ විශාල විපතක්‌ කිරීම සඳහා වූ යකඩ කැබලිද එකී බෝම්බ කබාවල අඩංගු විය.

කෙසේ වෙතත් කොටි බිහි කළ විනාශකාරී බෝම්බ කබා නැමැති ඝාතන ක්‍රියාදාමය ප්‍රංශ බලධාරීන්ටද පාරාවළල්ලක්‌ විය. 1980 සහ 2000 අතර සමයේ කොටි සංවිධානය මෙකී මරාගෙන මැරෙන ප්‍රහාර 168 ක්‌ දියත් කර තිබුණි.


කොටි සී 4 නැමැති අධිබල පුපුරණ ද්‍රව්‍ය යොදා බෝම්බ කබා නිපදවා මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරද්දී ප්‍රංශය බලා සිටියේය. වසරකට යුරෝ මිලියන 200 ක්‌ දක්‌වා අරමුදල් එකතු කිරීමටද කොටින්ට හැකි වූයේ ප්‍රංශ රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීමෙනි. කොටි ත්‍රස්‌තයකු වු තමිල්සෙල්වන්ගේ ප්‍රතිමාවක්‌ ප්‍රංශයේ ස්‌ථාපිත කිරීමටද ඉඩ ලැබුණි. පැරිසියේ ඓතිහාසික අයිපල් කුළුණ ඉදිරියේදී කොටි ත්‍රස්‌ත සංවිධානය රැක ගැනීම සඳහා විරෝධතා පැවැත්වීමටද ප්‍රංශ ඊළම් වාදින්ට අවසර හිමි විය.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා මිනිස්‌ ඝාතන සිදු කිරීමට කොටි සංවිධානය ක්‍රියා කරන අවස්‌ථාවේ ප්‍රංශය නිහඩ විය. එසේම ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්‌ත කණ්‌ඩායම බේරා ගැනීම සඳහා ප්‍රංශයේ එවකට සිටි විදේශ ඇමැති බර්නාඩ් කුච්නර් මෙරටට පැමිණ වන්නියට යැමට අවසර ඉල්ලීය. 

මේ හැර ශ්‍රී ලංකාවේ විවිධ ස්‌ථානවලදී කොටින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ලකරද්දී ප්‍රංශය එම ත්‍රස්‌ත ක්‍රියා හෙළා දුටුවේ නැත. 

මෙවන් පසුබිමක්‌ මැද පසුගිය ඔක්‌තෝම්බර් 1 දා ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී ඇමරිකානු ශ්‍රී ලංකා යෝජනාව සම්මත වු අවස්‌ථාවේ ශ්‍රී ලංකා රජය යුක්‌තිය ඉටු කිරීමට ක්‍රියා කළ යුතු බව පැවසූවේය.

යුක්‌තිය සහ වගවීමට ශ්‍රී ලංකාව කැපවිය යුතු බව ප්‍රංශ බලධාරීන් කියා සිටියේ වන්නි මෙහෙයුමින් මියගිය කොටි ත්‍රස්‌තයන් වෙනුවෙනි. එහෙත් ප්‍රභාකරන්ගේ කොටි බෝම්බ කබාය අයිසිස්‌ ත්‍රස්‌තයන් අනුගමනය කරනු ඇතැයි ප්‍රංශ රජය සිතුවේ නැත. මේ බෝම්බ කබා ක්‍රමවේදය හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් රැසක්‌ ජිවීතක්‍ෂයට පත් කළේය.

එය ප්‍රංශ ජනතාවට පාරාවළල්ලක්‌ වී ඇත. එහෙත් ප්‍රංශය, ඕස්‌ටේ්‍රලියාව සහ නෝර්වේ ඇතුළු රටවල් කීපයක තිබෙන ඊළම් සංවිධාන ශ්‍රී ලංකාවේ රැඳවුම්භාරයේ සිටින දරුණු කොටි (216ක්‌) මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇත.

මේ වන විට කොටි ත්‍රස්‌තයන් අටදෙනෙක්‌ ඇප මත මුදා හැර තිබේ. ඔවුන් මෙසේයි. කේ. කුලසේකරන්, ශාන්තන් ලාතන්, ඩබ්ලිව් යෝගෙන්ද්‍රන්, බී. තම්බයියා, ශ්‍රී ස්‌කන්ධරාජා කන්ද සාමි කරුණා නිධි නන්දයියා කුහන්දාස්‌ සහ මහෙන්ද්‍රන් සුරෙන්ද්‍රන් 

මෙම කොටි ත්‍රස්‌තයන් නිදහස්‌ කරන ලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු ඩී. එම්. කේ. පක්‍ෂ නායක කරුණා නිධි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිටද සන්දේශයක්‌ යවා ඇත. 

මෙම ත්‍රස්‌තයන් මුදා ගැනීම සඳහා ඉන්දීය රජය කටයුතු නොකළහොත් ඉතිහාසය විසින් ඉන්දියාවට සමාවක්‌ නොදෙන බවද කරුණා නිධි එම සන්දේශයේ සඳහන් කර තිබේ.

මෙයට සමානව යාපනයේදී ප්‍රභාකරන් කළ හිටපු ත්‍රස්‌තයකු වූ සුලක්‌ෂන් වීරසිංහම් රැදවියන් මිය ගියහොත් එහි වගකීම ද්‍රවිඩ සංධානය බාර ගත යුතු බව සඳහන් කර ඇත.

එසේම රටින් බැහැර ඊළම් ආණ්‌ඩුව නැමැති සංවිධානයද රැඳවුම් භාරයේ සිටින කොටි ත්‍රස්‌තයන් 216 ක පිරිස බේරා ගැනීමට දැඩි උත්සාහයක යෙදී සිටියි.

මෙම පසුබිම මැද එම කොටි ත්‍රස්‌තයන් දෙසැම්බර් 15 දා මුදා හරින බව අනාවරණය වී ඇත. උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් සහ රජයේ ඉහළපෙලේ බලධාරීන් අතර වූ සාකච්ඡාවකින් පසු එකී තීරණය ගත් බව කොටි ත්‍රස්‌තයන්ට දන්වා ඇතැයි ඉහළපෙලේ ආරංචි මාර්ග දක්‌වයි. මේ අතර එක්‌සත් ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි සමන්තා පවර් මෙම 23 දා මෙරටට පැමිණෙනු ඇත. ඇය යාපනයට ගොස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන්ද ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව සහ උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන්ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතය. සමන්තා පවර් කොළඹදී රජයේ ඉහළ පෙලේ බලධාරීන් හමු වී ජිනීවා යෝජනාවට අදාළ දේශීය යාන්ත්‍රණයේ කටයුතු ගැනද විමර්ශනය කරනවා ඇත.

මෙම වාතාවරණය මැද ලොව පුරා ත්‍රස්‌තවාදය පැතිර යන අවස්‌ථාවේ පුපුරණ ද්‍රව්‍ය හා අවි ආයුධ පිළිබඳ මනා පුහුණුවක්‌ ලත් මෙම කොටි ත්‍රස්‌තයන් 216 ක පිරිස නිදහස්‌ වුව හොත් කිසිදු කොටි ත්‍රස්‌තයකුට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට නොහැකි වෙනු ඇත.

ඊළම් ඩයස්‌පෝරාව දරුණු කොටි 216 ක්‌ බේරා ගැනීමේ මෙහෙයුම දියත් කර ඇති අවස්‌ථාවේ ද්‍රවිඩ සංවිධානය ඕස්‌ටේ්‍රලියානු විදේශ ඇමැති අමතා යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීම සඳහා විදේශ විනිසුරුවරුන් එවන්නැයි ඉල්ලා ඇත.

මේ අතර බ්‍රිතාන්‍ය රජය එරට එස්‌. එස්‌. එස්‌. විශේෂ බලකායට නියෝගයක්‌ කරමින් ත්‍රස්‌තයන්ට දුටු තැන වෙඩි තබන ලෙස නියෝග කර තිබේ. ප්‍රංශයද ත්‍රස්‌ත මර්දන නව නීතිරීති ගෙන ඒමට සැලසුම් කරමින් එරට විශේෂ බලකායට පුළුල් බලතල පවරා ඇත.

මේ ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලය නිහඬ වී ඇත.

මෙම පසුබිම මැද යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් ලබන 27 දා මියගිය කොටි ත්‍රස්‌තයන් සැමරීමට සැලසුම් කර තිබේ.

බ්‍රිතාන්‍ය රජයද කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමේ උත්සව පැවැත්වීමට එරට ඊළම් සංවිධානවලට අවසර දී ඇත. මේ අතර ප්‍රංශයේ කොටි ජාලයට සම්බන්ධ කොටි ප්‍රධානීන් 41 ක්‌ සිටින බව අනාවරණය විය. මොවුන් සම්බන්ධ තොරතුරු ඇතුළත් රහස්‌ ලියවිල්ලක්‌ මුල්ලිවයික්‌කාල්හි කස්‌ත්‍රො නැමැති කොටි ජාත්‍යන්තර ජාලයේ නායකයාගේ බංකරයේ තිබී හමුවිය.

එහෙත් ප්‍රංශ රජය මෙම කොටි ත්‍රස්‌ත ජාලයේ ප්‍රධානින්ට එරෙහිව කිසිදු පියවරක්‌ ගත්තේ නැත. මොවුහු අදටත් ප්‍රංශයේ විවිධ ස්‌ථානවල සුවසේ ජීවත් වෙති.

ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ ප්‍රකට නීතිවේදියකු වූ මයිකල් එල්ස්‌න්ර් මෙම සතියේ දිනෙක මෙරටට පැමිණ කැබිතිගොල්ලෑව බලා ගොස්‌ නව වසරකට පෙර සිදු වූ බස්‌බෝම්බ පිපිරීමට ගොදුරු වූවන්ගේ ඥාතීන් හමු වී සාකච්ඡා කළේය.

2006 ජුනි මස 15 දා කොටි සිදු කළ බිම්බෝම්බ පිපිරීම නිසා එම බස්‌රියේ ගමන් කළ සිවිල් වැසියන් 64 ක්‌ මියගිය අතර තවත් 70 කට අධික පිරිසක්‌ තුවාල ලැබුහ. මියගිය පිරිස අතර පාසල් සිසුන් 16 ක්‌ ගැබිනියන් කීපදෙනෙක්‌ බෞද්ධ භික්‌ෂූන් වහන්සේ නමක්‌ද වූහ.

මයිකල් එල්ස්‌නර් කැබිතිගොල්ලෑව ඝාතනය ගැන විමර්ශනය කළේ කොටි සංවිධානයට ඩොලර් මිලියනයක අරමුදලක්‌ ලබාදුන් ඇමරිකානු ව්‍යාපාරික රා- රාජරත්නම්ට එරෙහිව නඩු පැවරීම සඳහා යි.

මේ සඳහා රහස්‌ පොලිසියේ හිටපු පරීක්‍ෂකවරයෙකු වූ ලයනල් මුණසිංහ කැබිතිගොල්ලෑව සිද්ධියට ගොදුරු වූවන්ගේ සහ තුවාල ලැබුවන්ගෙන් ලබා ගත් සාක්‍ෂි ඇමරිකානු නීතිවේදියාට සපයනු ලැබීය. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතිහාසයේ මුල්වරට නාවික හමුදා බලධාරීන්ට අයහපත් වාතාවරණයකට මුහුණ පෑමට සිදු වූයේද මෙම සතියේදීය. ඒ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායමක්‌ ත්‍රිකුණාමලයේ නාවික හමුදා මූලස්‌ථානයට පැමිණ එහි වදකාගාරයෙක්‌ තිබුණේ යන්න ගැන පරීක්‍ෂණ පැවැත්වීමයි. මෙම එක්‌සත් ජාතීන්ගේ දූත කණ්‌ඩායම ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරට ගෙන ආවේ රහස්‌ පොලිසියයි. අනතුරුව කොළඹදී ප්‍රකාශය කළ එක්‌සත් ජාතීන්ගේ කණ්‌ඩායම නාවික හමුදා කදවුරේ වදකාගාරයක්‌ තිබූ බව ප්‍රකාශ කළේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/11/22/feature11.html

සබැඳි ලිපි -
[
ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_63.html
ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_74.html
]

0 comments: