Pages

Sunday, November 15, 2015

සෝභිත හිමියන්ට ගල් පෙරලුවෝ ද දැල් දැමුවෝද පව් සම කර ගත්හ!

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ සිය තුඟු දෑ, සසුන් මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන සිටිති. නුවර ගම්දොර යන හැම තැන්හිම උන්වහන්සේ අපවත්වීම නිසා උපන් සොවින් කම්පිතව එසවූ කහ පැහැ දද තවමත් දිලෙනු පෙනෙයි. සිව්දිගින් ඇදුණු ජන ගඟ ජයවර්ධනපුර කෝට්‌ටේ කඳුළින්ද සුසුමින්ද කැළඹවූ සෙයකි. ගමින් ගම දොරින් දොර නැඟුණු සදහම් ස්‌වරය ද ඉනික්‌බිතිව සමාජ දේශපාලන භූමිකාවෙන් නැඟුනු අභීත ස්‌වරය ද එක්‌ බඳුව ජනතා හද ආකර්ෂණය කළ දිව්‍යමය නාදයක්‌ සේ අහස්‌ කුස ද ජනහද තුළ ගිගුම් දෙයි.

සෝභිත හිමියෝ මධුර ස්‌වර ඇත්තාහ. අභීත විලාස ඇත්තාහ. තමන් වහන්සේ ජීවත් වූ යුගය උඡ්වලිත කළා වූද, භික්‍ෂුත්වය යනු ස්‌වාධීන වූද, ස්‌වායත්ත වූද ස්‌වතන්ත්‍ර වූද, අධිෂ්ඨානශීලී වූද, වීර්යෙන් පරිපූර්ණ වූද, උත්තරීතර භූමිකාවක්‌ බව ස්‌වකීය ජීවන චර්යාවෙන් තහවුරු කළා වූද පරමාදර්ශී බුද්ධ පුත්‍රයකු ලෙස සෝභිත නාහිමියෝ ජන ගෞරවයටද ජන බුහුමනටද පාත්‍ර වී සිටියහ. ඒ නිසාම උන්වහන්සේ අප ජීවත් වූ යුගය ආලෝකවත් කළ මහා ප්‍රදීපයක්‌ වූ සේක. අප වෙනුවෙන් අභීතව අවදියෙන් ද විමර්ශනශීලීවද ක්‍රියා කළ උන්වහන්සේ සිංහයෙක්‌ බඳු වූ සේක. ඒ සිංහ විලාසයෙන් ඔද වැඩුණු විශිෂ්ට යතිවරයකු පිළිබඳ ආවර්ජනය අපටද සුවයකි. දිය බුබුළක්‌ සේ නැඟී දිය ඇල්ලක්‌ සේ ගලා ගිය සුන්දර බුද්ධ පුත්‍රයාණන්ගේ මතකය මොන තරම් ශාන්තියක්‌ ද? උන්වහන්සේ පිළිබඳ අප්‍රමාණ ධාරණාවන් මෙවේලේ මා හද පිබිදෙයි.

බොහෝ තන්හි තම තමන් හද පමණින් උන්වහන්සේ පිළිබඳ කෙරුණු ආවර්ජනයන් නෙත ගැටුණි. කෙනෙක්‌ ඒ විස්‌මිත සංඝ චර්යාවේ අතීත ප්‍රවාහයන් නොදැක හෝ එයට උඩින් සක්‌මන් කර ගියහ. බුදු පුතකු වුවද කිසිවිටක ජාති, ආගම් කුල මානයෙන්. නොදැපුණු අපිස්‌ ජීවිතයක පරමාදර්ශය නිසාම උන්වහන්සේට සිංහල, දෙමළ මුස්‌ලිම්, කල්‍යාණ මිත්‍රයෝ ද බොහෝ වූහ. ඒ හැම හදවතකම හැම දැසකම උන්වහන්සේ වෙනුවෙන් සුසුමක්‌ කඳුලක්‌ නැඟුණි.

අප සෝභිත හිමියන් දකින්නේ පාලක පාලිත යන දෙපක්‍ෂයටම අවනත නොවූ, ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට ගිජු නොවූ සූරාකෑමට, අසාධාරණයට අයුක්‌තියට පමණක්‌ නොව නිල බල තනතුරු වරප්‍රසාද යනාදී සියල්ලටම නොඇලුණා වූද උදාර, උත්තම චරිත ශක්‌තියකින් හෙබි අසමසම මාර්ගෝපදේශකයකු ලෙසය. ජනතාවට, රටට, මව්බිමට අනර්ථයක්‌ සිදුවන බව දුටු හැම මොහොතකම උන්වහන්සේ නැඟී සිටි අයුරු අප පමණක්‌ නොව රටම දත් සත්‍යයකි.

බුදුන් වහන්සේ භික්‍ෂූත්වය පිළිබඳව විග්‍රහ කළ පරිදිම "භික්‍ෂුව යනු ප්‍රශ්නවලින් පැන නොයන්නෙකි. ඒවා සමග ඇලීම් බැඳීම් තබා නොගත්තෙකි. ජන දුකට පිහිට වෙමින් ඔවුන්ට සම්මා දෘෂ්ටිය ලබා දෙන්නෙකි" යන බුද්ධ වචන අනුවම සෝභිත හිමියෝ ද සිය සමාජ මෙහෙවර ඉටු කළහ. උන්වහන්සේ කිසි විටෙක චිරාගත සම්ප්‍රදාය සුරැකීමේ පිළිවෙතක පිහිටා ක්‍රියා නොකළහ. භික්‍ෂුත්වය දේශපාලන අවියක්‌ බවට පත්වීමටද උන්වහන්සේ ක්‍රියා නොකළහ. එහෙත් ඇතැම් විටෙක දේශපාලන දැල්කාරයෝ උන්වහන්සේගේ ක්‍රියාදාමයන්ගෙන් එගොඩ වූහයි ද අපි දනිමු.

සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආරම්භය ලෙස උන්වහන්සේගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන සමය දැක්‌වුවද උන්වහන්සේගේ අභීත සමාජ භූමිකාවේ කාහල නාදය සමාජ ගත වන්නේ 1978 ඇතිවූ දේශපාලන හා සමාජ ප්‍රතිපත්තීන් සමග වූ ගැටුම තුළින් යෑයි මම කල්පනා කරමි.

සෝභිත හිමියන්ගේ සමාජ දැක්‌ම හා විරෝධාකල්ප හැඩගැන්වීම කෙරෙහි උන්වහන්සේගේ තරුණ භික්‍ෂු ජීවිතය තුළ හමුවූ මහා යතිවරුන් කීප නමකගේම චරිත හේතු වූ අයුරු උන්වහන්සේ අප සමඟ ද වෙනත් සමාජ කතිකාවලදී ද ප්‍රකාශ කර ඇත. විදුලකර සම්ප්‍රදායේ පැවිදි පඬි මිණිරුවන් බඳු වු යක්‌කඩුවේ ප්‍රඥරාම නාහිමි - සිරිසීවලී නාහිමි මෙන්ම කොටහේනේ පඤ්ඤාකීර්ති නාහිමි ද උන්වහන්සේගේ පරමාදර්ශී චරිත වූහ.

සෝභිත හිමියන් විසින් ආරම්භ කරන ලද ජනතා සටන් වලියෙහි ස්‌වර්ණමය ලකුණු 80 දශකයේ අපි දිටිමු. ඒ වූ කලී 'දිවයින' පුවත්පත ආරම්භ වූ වකවානුවද විය. ඡේ. ආර්. ගේ ධර්මිෂ්ට සමාජ කඩතුරාවට වහන් වූ බොහෝ සමාජ ක්‍රියාකාරීන් මුළු ගැන්වෙද්දී සෝභිත හිමියෝ 'දිවයින' පුවත්පත සමඟ සමීප වූහ. එකල උද්ගත වූ ආන්දෝලනාත්මක සිදුවීම් කීපයකදීම සෝභිත හිමියන්ගේ මැදිහත් වීම මෙන්ම උන්වහන්සේට අවකාශ සලසාදීම පිළිබඳව 'දිවයින' ද ඡේ. ආර්. ගේ උදහසට ලක්‌විය.

ගැටඹේ පන්සලට කටු කම්බි ගැසීමේ සිද්ධිය ඡේ. ආර් පාලනයේ නිර්දයභාවය විදහා දැක්‌වූවකි. මෙහිදී සෝභිත හිමියන්ගෙන් ආණ්‌ඩුවට එල්ල වූයේ දැඩි විරෝධයකි. එසේම විජය කුමාරතුංගට එල්ල වු නැක්‌සලයිට්‌ චෝදනාවේදීත් සෝභිත හිමියන්ගේ විවේචන 'දිවයින' පත්‍රයේ පළවීම ද ආණ්‌ඩුවේ කනස්‌සල්ලට හේතු විය. ඡේ. ආර්. ගේ විධායක ක්‍රමයට මෙන්ම මනාප ඡන්ද ක්‍රමයට එරෙහිව සෝභිත හිමියන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය සඳහා 'දිවයින' ද පූර්ණ අනුග්‍රහයක්‌ දැක්‌වීය.

ආණ්‌ඩුවේ දැඩි මර්දනය මෙන්ම 80 ජුලි වර්ජකයයන්ට දැක්‌වූ ප්‍රතිචාරය ද සෝභිත හිමියෝ නොඉවසූහ. විවෘත ආර්ථික පිළිවෙත සමග ඇරඹුණු සමාජ සංස්‌කෘතික පරිහානිය දුටු උන්වහන්සේ එයට එරෙහිව සමාජය දැනුවත් කිරීමටද ක්‍රියා කළහ. මෙහිදී සෝභිත හිමියෝ සිංහල බල මණ්‌ඩලය නමැති ව්‍යාපාරය වෙතටද ඇදී ගියේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද 'ධර්මිෂ්ට සමාජය' නමැති කෘතිය ද මෙකල බිහිවූ අතර එයට ද ආණ්‌ඩුව කුපිත වී සිටියේය.

පසුව සිංහල බල මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද රැස්‌වීමකදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත් සෝභිත හිමියන්ටත් මැර ප්‍රහාරයක්‌ එල්ල විය. එයද පාලකයන්ගේ අනුදැනීමෙන් සිදුවූ බවට චෝදනා එල්ල විය. සෝභිත හිමියන්ගේ 'මව්බිම සුරැකීමේ ව්‍යාපාරය' ආරම්භ වූයේ මේ පසුබිම තුළය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සංවිධානය වූ පිටකොටුවේ බෝධිය අසල සත්‍යග්‍රහයට සිරිමාවෝ බණ්‌ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, මෙන්ම සෝභිත හිමියෝ ද එක්‌වූහ. පොලිසියේ කඳුළු ගෑස්‌ ප්‍රහාරයට ලක්‌වූ හිමියන් පොලිස්‌ අත්අඩංගුවට ද ගනු ලැබුණි.

මෙබඳුම සිද්ධියක්‌ නාරාහේන්පිට අභයාරාම භූමියේදීත් සිදු විය. ඒ ඡේ. ආර්. ගේ මැයි දින තහංචිය බිඳ දැමීමේ රැස්‌වීමකි. මේ රැස්‌වීමේදී පොලිස්‌ වෙඩි පහරින් දෙදෙනකු මියගියහ. එදා උන්වහන්සේගේ ජීවිතය බේරුණේ හාස්‌කමකින් මෙනි. මෙලෙස ඇරඹුණු සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන ව්‍යාපාරය 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ට බලයට ඒමටද රුකුලක්‌ විය. ඇත්ත වශයෙන්ම සෝභිත හිමියන්ගෙන් චන්ද්‍රිකාට විරෝධයක්‌ එල්ල නොවූයේ ඇය විසින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස්‌ කිරීම සඳහා දෙන ලද ප්‍රතිඥව නිසාය.

සෝභිත හිමියන්ගේ අතිශය තීරණාත්මක මැදිහත්වීම වූයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහිව මේ රටේත් ඉන් බාහිරවත් සිදු කළ ක්‍රියාකාරකම්ය. මේ ජාතික අවශ්‍යතාව 'දිවයින' උර මතට වැටෙද්දී සෝභිත හිමියෝ එයට දායක වූ අන් අය සමග එක්‌ වූහ. ඊළාම්වාදීහු පමණක්‌ නොව උන්ට කඹුරන්නෝ ද එහිදී සෝභිත හිමිට මෙන්ම 'දිවයින'ට ද අවලාද නැඟූහ.

මෙහිදී සෝභිත හිමියෝ බුද්ධ වචනය උපුටා දැක්‌වූහ.

"ආකාශගර්භ සූත්‍රයේ එනවා රට බෙදීමට භික්‍ෂුව විරුද්ධ විය යුතුයි. බෞද්ධ භික්‍ෂූන් මේ රටේ සිටිනතාක්‌ රට බෙදීමට ඉඩ දෙනු බෑ. රාෂ්ට්‍ර භේදය පාලකයන්ට තහනම් කළේ බුදුහාමුදුරුවො. ඒ නිසා මට ඒකට එකඟ වෙන්ට බෑ."

සෝභිත හිමියන්ගේ හඬ එදා ජාත්‍යන්තරය ද වෙව්ලවන්නක්‌ විය. කුප්‍රකට "බුඩිසම් බිටේ්‍රඩ්" ග්‍රන්ථයේ කවරය සැකසුණේ උන්වහන්සේ උද්වේගයෙන් ජනතාව අමතන ඡායාරූපයකින්ය. ඒ කෘතිය ඊළම්වාදයට ආ වැඩූ තම්බයියාගේ ය. 'දිවයින'ටත් සෝභිත හිමියන්ටත් ජාතිවාදයේ වසුරුවලින් ගසද්දීත් 'දිවයින' හෝ සෝභිත හිමියන් මෙල්ල නොවූ අයුරු ඒ ඉතිහාසය දන්නෝ දනිති එහෙත් දෛවයේ සරදමකට මෙන් එදා උන්වහන්සේට ආක්‍රෝශ පරිභව කළෝ ද ඒ පව් සමා කර ගැනීමට මෙන් එහිමි ගුණ ගැයූහ. හිමි මෙහෙවර ඇගයූහ. 

රට වෙනුවෙන් හමුදාව වෙනුවෙන් මෙන්ම මායිම් ගම්මානවල අසරණයන් වෙනුවෙන්ද උන්වහන්සේ කැප වූහ. පසු කලෙක උන්වහන්සේ උතුරේ අනාථයන් ට ද එලෙසම පිහිට වූහ. සිංහල බෞද්ධ කඳවුර සමඟ උන්වහන්සේ සෘජුවම සිටි ඒ යුගය තුළ වුවද උන්වහන්සේ ජාතිවාදී හෝ ආගම්වාදී උසිගැන්වීම් අනුමත නොකළ බවද සඳහන් කළ යුතුය. වරක්‌ උන්වහන්සේ අප සමග ප්‍රකාශ කළේත් මේ ත්‍රස්‌තවාදය පරාජය කර අප උතුරේ ජනතාව දිනාගත යුතු බවය. අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයන්, මුස්‌ලිම් නායකයන් මරමින් අපේක්‌ෂා කරන විමුක්‌තිය කුමක්‌ද යන්නත් එයින් දෙමළ ජනතාවට ලැබෙන ශාන්තිය කුමක්‌ද යන්නත් උන්වහන්සේ අභීතව ප්‍රශ්න කර සිටියහ. ඒ ඇසූ දෙමළ ජනතාවද උන්වහන්සේ කෙරෙහි පෙම් බැඳ ගත්හ. උන්වහන්සේ සැබෑ සමානත්මතාවාදියෙකු ලෙස පිළිගත්හ.

ඡේ. ආර්. ගේ මෙන්ම චන්ද්‍රගේ දේශපාලන භාවතියට එරෙහිව වූ උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂ පිළිබඳව ද අපේක්‍ෂාවෙන් සිටියේ ඔහුගෙන් රටට වුවමනා සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ සිදුවනු ඇතැයි යන අවංක අදහසින් ය. මහින්දගේ පාලන සමයේ උන්වහන්සේ තුළ ඉමහත් කම්පාවක්‌ ඇති කළ සිද්ධියක්‌ වූයේ එදා ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුවු රාජපක්‍ෂ මෙහෙයුමය. ඇතැම් ඇමැතිවරන්ගේ දූෂණ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිචාර ද නිසා උන්වහන්සේ රාජපක්‍ෂ පාලනය සමග ද ගැටුණි. 

"ෆොන්සේකා නිදහස්‌ කරන්න. ඔහු වෙනුවෙන් අප අත්අඩංගුවට ගන්න" අපව හිරයට දාන්න" වරක්‌ උන්වහන්සේ සෝකී එහෙත් අභීත ස්‌වරයෙන් කීහ.

ඡේ. ආර්. ගෙන්, චන්ද්‍රිකාගෙන් මහින්දගෙන් ඉටු නොවූ සමාජ දේශපාලන අරමුණ යථාර්ථයක්‌ බවට පත් කිරීමට සෝභිත හිමියෝ දැඩිව සනිටුහන් කරගන්නාහු ඉක්‌බිති සිවිල් සමාජය දෙසට හැරෙති.

"මේ සමාජය වෙනස්‌ කිරීමත් භික්‍ෂුවට අයිති කාර්යයක්‌ මමය. මගේය කියල මුකුත් නැති ගේ දොර ඉඩකඩම්, යාන වාහන වතුපිටි මුකුත් නැති ඒවා පිළිබඳ ආලයක්‌ බැඳීමක්‌ නැති, සංකල්ප ගැනත් බැඳීම් නැති නිදහස්‌ම පුද්ගලයා භික්‍ෂුව බවයි බුදුන් වදාලේ, සමාජයෙන් ඈත් නොවී සමාජ මෙහෙවරක නිරත වන්නේ එහි නියාමකයා වන්නේ භික්‍ෂුව, අපේ බුදුහාමුදුරුවෝ වදාරනව. මගේ සම්, මස්‌ නහර, ලේ වියළී ඇට පමණක්‌ ඉතුරු උනත් මං බුදුවෙලා මිසක්‌ මෙතැනින් නැගිටින්නේ නෑ කියල. ඒ සිංහ ස්‌වරය බුද්ධ පුත්‍රයන් වන අපටත් උරුමයි. ඒ වීර්ය, ඒ අධිෂ්ඨානය මා ගොඩනගා ගත යුතුයි. මා මේ සමාජ ක්‍රමයට තුඩු දුන් ඒ ජරපත් දේශපාලන ක්‍රමය ඉවත් කරනවා. ඒ සඳහා කැප වෙනවා."

ඒ සෝභිත හිමියන්ගේ පරම අධිෂ්ඨානයේ දෝංකාරයයි. පරාජිතයකු ලෙස පසු නොබැස ජයග්‍රාහී ලෙසින් නැඟී සිටීම සඳහා සෝභිත හිමියෝ එලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. අභිනව දේශපාලන යුගයක සමාරම්භයට තුඩු දුන්නේ උන්වහන්සේගේ ඒ සමාජ ආමන්ත්‍රණයයි.

සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ උදෙසා වූ සිය භික්‍ෂූ චර්යාවේ උත්කෘෂ්ට අරමුණ වෙනුවෙන් සෝභිත හිමියන් යොමු වන්නේ ඒ අනුවය. සෝභිත හිමියන් අපේක්‍ෂා කළ දේශපාලන ප්‍රතිසංස්‌කරණයේ සාධනීය වෙනසක්‌ සිදුවූ බව පෙනුණත් උන්වහන්සේ තුළ තරමක කනස්‌සල්ලක්‌ වූ බවක්‌ ද සමහරු කීහ. ජනතා බලය ජනතා පරමාධිපත්‍යය දේශපාලනඥයන්ට තෑගි ඔප්පුවකින් ලබා දීමේ ක්‍රමය වෙනස්‌ කර සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්‌ ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැප වූ සෝභිත හිමියෝ එහි සියලු පල නෙළා ගැනීමට පෙර වේලාසනින්ම සමුගෙන ගොස්‌ සිටිති.

සෝභිත හිමියන් අධිපති වූයේ කෝට්‌ටේ නාග විහාරයට වුවද උන්වහන්සේ මේ රටේ උත්තරීතර සංඝ නායකයකු ලෙසද සංඝ පීතෘවරයකු ලෙසද ජනතාවගේ බුහුමනට පාත්‍ර වූහ. උන්වහන්සේට තාන්න මාන්න නොරිසි විය. කීර්ති ප්‍රශංසා නොරිසි විය. 

ලෝකයේ සදාකාලික ගෞරවයට පාත්‍ර වන බුදුන් වහන්සේ සල් ගසක්‌ යට උපත ලද පරිදිම, ක්‍රිස්‌තුස්‌ වහන්සේ ගව මඩුවක උපත ලද පරිදිම සෝභිත හිමියෝ ද පාදුක්‌කට නුදුරු මාදුළුවාව ග්‍රාමයේ වඩු මඩුවක උපත ලැබූහ. එගම ගොවියකුගේ පුතකු ලෙස මෙලොව එළිය දුටු ඒ දරුවා මෙලක විප්ලවීය සමාජ දේශපාලන හා භික්‍ෂු භූමිකාවක සාඩම්බර චරිතයක්‌ ලෙස ඉතිහාසයට එක්‌වීම කවර ආශ්චර්යයක්‌ ද?

සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්තක්‌ ගැනද මාධ්‍යවල සටහන් විය. නිසැකයෙන්ම උන්වහන්සේ සාටෝප රාජ්‍ය ගෞරව හමුදා ප්‍රණාම රිසි නොවෙතියි සිතිය හැකිය. ඒවා උන්වහන්සේගේ චාම් සරල පැවැත්ම සමඟ නොසැසඳෙන දේවල්ය. මිරිවැඬි සඟලත්වත් දෙපයේ ලන්ට නොරිසිවූ ඒ හිමියන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන කවර කථාද? එහෙත් අපගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වන්නා වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ සෝභිත හිමියන්ට රාජ්‍ය ගෞරව ලබාදිය යුතුයෑයි සංඝාඥාවක්‌ කරත් නම් එය නොමැනවැයි කියන්නෝ කවරහුද? සැබැවින්ම සෝභිත හිමියන් බඳු යුග කාරක ධර්ම සන්නිවේදකයකුට, පරම ප්‍රජාතන්ත්‍රවාදියකුට නොදෙන රාජ්‍ය ගෞරව කුමකටදැයි අපටද සිතේ. අනෙක්‌ අතට සත්‍යය හා යුක්‌තිය උදෙසා කැපවීම නිසාම යම් යම් සමාජ බලවේගවල මෙන්ම බලලෝභීන්ගේ වෛරයට, හිංසාවට, අවමානයට, අපකීර්තියට ද පාත්‍ර වූ උන්වහන්සේට ඒ සියලු කොටස්‌වල ගෞරවය ද ප්‍රණාමය ද හිමිවීම අප දකින්නේ සමාජ හා ඓතිහාසික යුක්‌තියක්‌ ඉටු වීමක්‌ ලෙසය. බුදුන්ට ගල් පෙරලූ දෙව් දත් පරපුරේ අයත් නොයෙක්‌ නින්දා අපහාස කළ චිංචමානවිකා පරපුරේ අයත් අවසානයේදී සෝභිත හිමියන් පරම පූජනීය සංඝ පීතෘවරයකු ලෙස සතර සංග්‍රහ වස්‌තුවෙන් පිරිපුන් යතිවරයකු ලෙස උදාර මනුෂ්‍යයකු ලෙස භක්‌තියෙන් ගෞරවයෙන් පූජා කිරීම ද සියලුදෙනාගේ ම පහන් සංවේගයට හේතු වනු නිසැකය.

භික්‍ෂුව යනු සමාජ යුක්‌තිය උදෙසා, ජනතාවගේ ජීවිතය සුවපත් කිරීම උදෙසා කැප විය යුතු උතුම් බෝධිසත්වයෙක්‌ ලෙසද බෝධි චර්යාවතාරයේ දක්‌වා තිබේ. භික්‍ෂුවකගේ හද තුළ ගිගුම් දෙන්නේ යහපත් ප්‍රාර්ථනාවන්ය. 

"කෙනෙක්‌ මට දොෂාරෝපණ කළත්, හිරිහැර කළත් වෛරකළත් මම එය විඳිමි. එහෙත් මා නිසා අන් කිසිවකුට එසේ පීඩාවක්‌ හිරිහැරයක්‌, අයසක්‌ නොවේවා. මගේ පා දොවන අයටද මට පරුෂ වචනයෙන් බනින අයට ද මගේ වෙනසක්‌ නැත. මම අසරණයන්ට සරණ වෙමි. ගිලනුන්ට වෙදැ'දුරු වෙමි. අඳුරට එළියවෙමි. ඔවුන්ට දීපයක්‌ වෙමි. සිනහවක්‌ නැති මුවග සිනහවක්‌ වී පිපෙන්ටද බතක්‌ නැති පැක සුවඳ බතක්‌ වෙන්ට ද මම ප්‍රාර්ථනා කරමි. ඇස කඳුළ පිස, හිත නිවන, ගිනිනිවන මෙත් ගඟුලක්‌ වෙම්වා. මම සියලු සතුන්ගේ සේවයට ද දාසතාවයට ද රිසි වෙමි. අනිත්‍ය ආත්ම කොට ගත් මගේ මේ සිරුර ද ජනතාවගේ හිත සුව පිණිස පූජා වේවා".

මේ සෝභිත නාහිමියන්ගේ හද තුළ රැව් දුන් ප්‍රාර්ථනා සමූහය බව මම අවසන් වශයෙන් ලියා මගේ කාලයේ ශේ්‍රෂ්ඨ යතිවරයාණන් වහන්සේට ගෞරවය පූර්වකව, උන් වහන්සේගේ දෙපා මත සිතින් මහිස හොවා වන්දනා කර ඒ මහඟු ගුණ යළි යළිත් සිහිකර උන්වහන්සේ අපේක්‍ෂා කරන බෝධියකින් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

- ගාමිණී සුමනසේකර
http://www.divaina.com/2015/11/15/feature13.html

සබැඳි ලිපි -
[

මෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!http://denethharinna.blogspot.com/2015/11/blog-post_43.html
හිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙතිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]

0 comments: