
අරුවක්‌කාලු ඓතිහාසික බිමේ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකම කුමක්‌ද?
ලෝක ඉතිහාසයේ මයෝසීන යුගය එනම් මීට වසර මිලියන 23 ක පමණ අතීත ශිෂ්ටාචාරයේ එක්‌තරා සන්ධිස්‌ථානයක් හැටියටයි පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නෙ. එය වර්තමානයේ දකින්නට ලැබෙන ශාක හා සත්ත්වයින්ගේ පරිණාමය පිළිබඳ සාක්‌ෂි සපයන වැදගත් යුගයක්. රටවල් ගණනාවක තිබෙන පෘථිවියේ ඉතිහාසය පිළිබඳ සාක්‌ෂි සපයන මෙබඳු බිම් දැඩි රක්‌ෂිත බවට පත්කර ඒ ඒ රටවල ඉතිහාසය පිළිබඳව භූ විද්‍යාඥයින්, පාරිසරික විද්‍යාඥයින් සහ සත්ත්ව විද්‍යාඥයින් අද පරික්‌ෂණ පවත්වනවා. අරුවක්‌කාලු මයෝසීන හුණුගල් නිධිය සහිත මේ ඉතිහාසගත බිම අපේ රටේ අති ඉපැරණි ඉතිහාසය පිළිබඳ අතිශය වැදගත් සාක්‌ෂි සහිත භූමි ප්‍රදේශයක්. අද අපේ රට නිරක්‌ෂයට උතුරින් පිහිටා තිබුණත් මේ බිමෙන් සොයාගෙන ඇති පොසිල සාක්‌ෂි අනුව ඒ යුගයේ දී අපේ රට පිහිටා තිබී ඇත්තේ නිරක්‌ෂයේ දකුණු ප්‍රදේශයේයි. වෙනත් රටවල් පෘථිවි තලය මත මහාද්වීප ගමන් කළ ආකාරය පිළිබඳ ඉතා වැදගත් සාක්‌ෂි සපයන මෙබඳු බිම් දැඩි රක්‌ෂිත බවට පත්කොට සුරක්‌ෂිත කරමින් තම ඉතිහාසය පිළිබඳ සොයාබලන්නට පරීක්‌ෂණ පවත්වද්දී අපේ රටේ දේශපාලකයින් අපේ ඉතිහාසය ලෝකයට කියාපාන මේ බිම විකුණන්නට අද කටයුතු කරමින් සිටිනවා.
අති ඉපැරණි හුණුගල් නිධිය සහිත මේ බිම කොතරම් ප්‍රදේශයක පැතිර තිබෙනවාද?
පුත්තලමේ සිට වයඹ දිගට යාපනය දක්‌වාත් නැවත ඊසාන දිගටත් මෙය විහිදී තිබෙනවා. පොළොව මතුපිටට පෙනෙන ප්‍රමාණය එතරම් විශාල නැති වුවත් පොළොව යටින් විශාල ප්‍රදේශයකට මෙය පැතිරී තිබෙනවා. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිෂ්පාදන සඳහා මෙහි හුණුගල් භාවිත කර ඇතත් ත්‍රස්‌තවාදී යුද සමයේ එය නැවතුණා. දැන් නැවත පුත්තලම් සිමෙන්ති කම්හලේ නිෂ්පාදන සඳහා මෙම හුණුගල් භාවිත කරනවා.

අපේ රටේ පුරාවිද්‍යාත්මක හා පාරිසරික වටිනාකමකින් යුතු මේ ඉපැරණි බිම අද දේශපාලකයින්ගේ ධනෝපායන මාර්ගයක් බවට පත්ව ඇති බව ඔබ සඳහන් කළා. ඒ ජාතික විපත සිදුවන්නේ කොහොමද?

එපමණකුත් නෙමෙයි, මේ බිමේ ඇති හුණුගල් ලබාගැනීමට සිදුකර ඇති කැණීම් නිසා සෑදී ඇති අති විශාල වළවල්වලට කොළඹ එකතුවෙන කුණු දමා පුරවා ඒ මතුපිටට පස්‌දමා ගස් වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. රටේ ජාතික හැඳුනුම්පත රැඳි බිමට කුණු පුරවන්නේ දෙයියන්ගෙ හාල් කැවිලද? මේ නිසා සිදුවන පාරිසරික විනාශය ගැන අබමල් රේණුවක තරම් අවබෝධයක් මේ අයට නැද්ද?
ඔබ අපේ රටේ මෙබඳු ස්‌ථාන පිළිබඳ පර්යේෂණ සිදුකළ භූ විද්‍යාඥයෙක්. මේ ජාතික විපත පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන දැනුවත් කළේ නැද්ද?
පරිසර අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ජෛව විවිධත්වය සුරැකීමේ කණ්‌ඩායමක් අප පිහිටුවාගෙන තිබෙනවා. දැනට වසර 10 ක පමණ සිට ක්‍රියාත්මක වන එම කණ්‌ඩායම අරුවක්‌කාලූ ප්‍රදේශයේ පර්යේෂණ කටයුතු සඳහා වර්ග කිලෝමීටර් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මේ බිමෙන් කුඩා ප්‍රමාණයක් හෝ රැකගෙන මෙබඳු බිමක් අපේ රටේ තිබුණා යෑයි කියා හෝ අපේ අනාගත පරපුරට පෙන්වා දීමටයි අපි ඒ යෝජනාව කළේ. කෙසේ හෝ විශාල සටනකින් පසු අලිවල ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් හමුවන මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය, පැරණි මැණුම් කුලුන සහ මයෝසන පොසිල පිහිටි ප්‍රදේශය, පොල්වත්ත පුරාවිද්‍යාත්මක ජෛව පොසිල සාක්‌ෂි සහිත මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය සහ පැරණි වෙඩිපිටිය මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය යන ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකිරීමට අපි වෙන්කර ගත්තා. පසුගිය රජය සමයේ මේ බිමට කුණු පුරවන්නට යෝජනා වූ අවස්‌ථාවේ වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්‌ෂවරයාට මම ඊට දැඩි විරෝධය ප්‍රකාශ කළා. මේ බිමට කුණු පුරවන්නේ නැති බවට ඒ අවස්‌ථාවේ ඔහු ප්‍රකාශ කළත් කොළඹ කුණු කඳු ගෙනැවිත් මේ අතිශය වැදගත් පුරාවිද්‍යා බිම පිරවීමේ යෝජනාව දැන් යළිත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
අරුවක්‌කාලු බිමට කුණු ගෙනත් දැම්මොත් පුත්තලම් කලපුවත් ඉවරයි. පුත්තලම් කළපුව විනාශ වීමෙන් මත්ස්‍ය සම්පත හා ඒ මත යෑපෙන ධීවර ජන ජීවිතයටත් බරපතල බලපෑම් එල්ල වෙනවා. මන්නාරම් බොක්‌ක සිට අරාබි මුහුද දක්‌වා ප්‍රදේශය දූෂිත කලාපයක් බවට පත් වී දීර්ඝකාලීනව බරපතල පාරිසරික අර්බුදයක් නිර්මාණය වෙනවා. කල්පිටිය දක්‌වා මුහුදු ප්‍රදේශයටත් කඩොලාන පරිසර පද්ධතියටත් බරපතල බලපෑමක් එල්ලවෙනවා.
ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක හා පාරිසරික වටිනාකමක් සහිත මෙබඳු ප්‍රාග් ඓතිහාසික බිමක් වනසන්නේ නැතිව අපේ රටේ කුණු ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් නැද්ද?
ටෝකියෝ කියන්නෙ ලෝකයේ විශාලම ජනගහනය සහිත නගරයක්. සිංගප්පූරුවත් එහෙමයි. ඒ අය තමන්ගෙ පරිසරය විනාශ කරන්නෙ නැතිව කුණු ප්‍රශ්නය විසඳගෙන තියෙනව. ලෝකෙ මොළේ තියෙන මිනිස්‌සු මේ ප්‍රශ්න විසඳල තියෙන හැටිවත් තේරුම් ගන්න අපේ රටේ සල්ලිවලින් ලෝකෙ පුරා රවුම් ගහන දේශපාලකයින්ට මොළයක් නැද්ද? අද පාර්ලිමේන්තුව තුළවත් මේ ජාතික විනාශය ගැන කටක් අරින කෙනෙක් නෑ.
ලෝකෙ බොහෝ රටවල ජලාශවලට, පාරවල්වලට, පුරාවිද්‍යා බිම්වලට කුණු දැම්මොත් සමාවක් නෑ. හිරේ. ඒ රටවල නීතිය සල්ලිවලට ගන්න බෑ. අපේ රටේ නීතියක් නෑ. හැමතැනම කුණු දානවා. නීතියක් නැති රට කුණුගොඩක්.
සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2015/11/22/feature08.html
0 comments:
Post a Comment