Pages

Sunday, November 22, 2015

අධිකරණය තුළට පැමිණ, හැසිරිය යුතු ආකාරය



සමාජයේ සෑම තරාතිරමකටම වඩා නීතිය උසස්‌ය. නීතියට ඉහළින් කිසිවකු නැත. ඒ නීතිය පසිඳලන සහ ක්‍රියාත්මක කරන ආයතනය අධිකරණයයි. එහෙයින් සමාජය තුළ අධිකරණය කෙරෙහි විශාල ගෞරවයක්‌ සහ විශ්වාසයක්‌ තිබේ. එවැනි ගෞරවාන්විත තැනකට කෙනකු පැමිණීමේදී සහ හැසිරීමේදී මහත් වූ ආචාරශීලී බවකින් යුක්‌ත විය යුතුය. එහෙයින් යම් පුද්ගලයකු අධිකරණයට ඇතුළු වන විට හිස නමා අධිකරණයට ආචාර කිරීම නීතිමය ගුණාංගයකි. එමෙන්ම හේ අධිකරණයට සුදුසු විනීත ඇඳුමකින් සැරසී පැමිණිය යුතුය. පිsරිමි පුද්ගලයකු නම් දිග කලිසම සහ අත් දිග කමිසයකින් සැරසී පැමිණීම වඩාත්ම ආචාරශීලීය. ජාතික ඇඳුමත් විනීතය. බැනියම් සහ කොට කලිසම් අධිකරණයට නොගැලපෙන ඇඳුම්ය.

'අධිකරණය කියන්නේ මොකක්‌ද... මට ඔය අධිකරණ වැඩක්‌ නෑ...'යි සිතා යම් කෙනෙක්‌ අධිකරණයට අපහාස වන අන්දමෙන් ඇඳුම් ඇඳ පැමිණියොත් එය අධිකරණයට කරන අපහාස කිරීමකි.

අධිකරණයට පැමිණෙන කාන්තාවක්‌ සාරියකින් සැරසී සිටින්නේ නම් එය වඩාත්ම විනීතය. දිග සායක්‌, ඇඟ වැසෙන, හිර නැති හැට්‌ටයක්‌ ද අධිකරණය වැනි ගෞරවාන්විත ස්‌ථානයකට සුදුසු ඇඳුම් කට්‌ටලයකි. කාන්තාවක්‌ අධිකරණයට කලිසමක්‌ ඇඳගෙන පැමිණීම වරදක්‌ නැත. එහෙත් එය සිරුරේ හැඩය සම්පූර්ණයෙන් ප්‍රදර්ශනය වන අයුරින් හිර නොවෙන කලිසමක්‌ විය යුතුය.

විනිසුරුවරුන්ට, නීතිඥවරුන්ට අධිකරණයේදී අඳින ඇඳුම් පැළඳුම් නියම කර තිබුණ ද, අධිකරණ කාර්ය මණ්‌ඩලයට සහ අධිකරණයට පැමිණෙන සාමාන්‍ය ජනතාවගේ ඇඳුම් පිළිබඳ කිසිදු තැනක විශේෂ සඳහන් කිරීමක්‌ නැත. එහෙත් අධිකරණය යනු ගෞරවාන්විත ස්‌ථානයකි. එහෙයින් මඟුල් ගෙදරකට, රාත්‍රි සාදයකට අඳින පළඳින ඇඳුම්වලින් සැරසී අධිකරණයට පැමිණීම සදාචාරයට පටහැනි ක්‍රිsයාවකි. ලා පැහැති, චාම් විනීති ඇඳුමක්‌ අධිකරණයට වඩාත් ආචාරශීලීය. නීතිඥවරයකු ඉංග්‍රීසී ඇඳුම කබාය, කෝට්‌, ටයි පටිය පැළඳිය යුතුය. කලිසම කළු, අළු හෝ තද වර්ණයක්‌ විය යුතුය. ලා පැහැ කමිසයෙන් සැරසී සිටීම වරදක්‌ නොවේ. ජාතික ඇඳුමෙන් සැරසී සිටීම ද නීතියට පටහැනි නොවේ. නීතිඥවරියන් කළු, සුදු, අළු දම් පැහැති සාරිවලින් සැරසී සිටිය යුතුය. 

කෙනෙකු අධිකරණ ශාලාව තුළට පැමිණෙන විට අධිකරණ විනිශ්චයකාර ආසනය මත විනිශ්චයකාරවරයා අසුන් ගෙන සිටී නම් හිස නමා ආචාර කළ යුතුය. ශාලාව තුළ අසුන් ගැනීමට අසුනක්‌ ඇත්නම් විනීතව ඒ අසුනේ ඉඳ ගත යුතුය. බොහෝ උසාවිවල ඒ, ඒ පාර්ශ්වයන්ට ආසන වෙන් කර තිබේ. නීති ශිෂ්‍යයන්ට, රාජ්‍ය නිලධාරීන්ට, පැමිණිලි පාර්ශ්වයට, විත්ති පාර්ශ්වයට සහ පොදු මහජනතාවට ආදී වශයෙන් දැන්වීම් පුවරු මාර්ගයෙන් දැනුවත් කර තිබේ. ඇතැම් අධිකරණ තුළ එසේ දැනුවත් කිරීම් සිදු නොකරේ.

අධිකරණය තුළ සිටින විට සෑම පුද්ගලයකුම 'දැන් මම ඉන්නේ අධිකරණය තුළ' කියා සිතේ ධාරණය කර ගත යුතුය. අධිකරණය තුළ ශබ්ද නඟා කතා කිරීමට නොහැකිය. ජංගම දුරකථන පරිහරණය කිරීම තහනම්ය. සාමාන්‍යයෙන් අධිකරණය තුළට ඇතුළු වන විට පොලිස්‌ නිලධාරීන් විසින් පුද්ගලයන් පරීක්‍ෂා කර ජංගම දුරකථන පොලිස්‌ භාරයට ගනු ලැබේ. ඇතැම් උසාවිවල එය එසේ සිදු නොවේ. එහෙත් අධිකරණය තුළ ජංගම දුරකථන පරිහරණය නීති විරෝධී යෑයි දැන්වීම් පුවරු මගින් දැනුම් දී තිබේ. එහෙත් එය එසේ සිදු නොවී යම් කෙනෙක්‌ අධිකරණ ශාලාව තුළ ජංගම දුරකථන පරිහරණය කිරීම අධිකරණයට අපහාස කිරීමකි. 

එමෙන්ම කිසිවකුට වෙරි මතින් අධිකරණ භූමිය තුළට ඇතුළු වීමට අවසර නැත. අධිකරණය තුළ දුම්වැටි පානය කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි. අධිකරණ ශාලාව තුළ කකුල් පටලවාගෙන අසුන්වල හිඳගෙන සිටීම, අසුන් මත හාන්සි වී සිටීමට නොහැකිය. නඩු විභාග වෙමින් තිබියදී අල්ලපු අසුනේ සිටින කෙනා සමග හෝ කසු, කුසු ගෑමට නොහැකිය. අඩුම තරමින් තම නීතිඥවරයා සමග ද කතා බහ කිරීමට නොහැකිය. අධිකරණය තුළදී කෙනෙකුට කිවිසුමක්‌ පිටකිරීමට අවශ්‍ය වී එය තද කරගැනීමට අපහසු වුවහොත් අතින් තද කර හෝ ලේන්සුවකින් මුඛය ආවරණය කර කිවිසුම පිට කිරීම මානුෂීය අයිතියකි. අධිකරණයට තුළදී කෙනෙකුට කැස්‌සක්‌ පැමිණි විට එය සිර කරගෙන සිටීමට අපහසු නම් අසුන්ගෙන සිටි තැනින් නැඟිට හිස නමා අධිකරණයට ආචාර කර අධිකරණ ශාලාවෙන් පිටවීම ආචාරශීලීය. විභාග වෙමින් තිබෙන නඩුව තමන්ගේ නොවේ නම්, අධිකරණ කටයුතුවලට බාධා නොවන අයුරින් අධිකරණ ශාලාවට ඒමට යැමට බලය තිබේ. එය සිදු විය යුත්තේ ද අධිකරණයට හිස නමා ආචාරශීලීවය. තමාගේ නඩුව විභාග වෙමින් තිබෙන මොහොතක අධිකරණ ශාලාවෙන් පිටවීමට අවශ්‍ය වුවහොත් තම නීතිඥයා මාර්ගයෙන් අධිකරණය දැනුවත් කර පිටවීම නීතියකි. 

අධිකරණයේ නඩු විභාග කරමින් සිටින විනිසුරුවරයකු අවධානයෙන් සිටිය යුතු පරාසය පුළුල්ය. දෙපාර්ශ්වයෙන් නීතිඥවරු ඉදිරිපත් කරන නීති තර්ක ගැන අවධානය යොමු කළ යුතුය. සාක්‍ෂිකරුවන්ගේ සාක්‍ෂි ගැන අවධානය යොමු කළ යුතුය. සාක්‍ෂිකරුවන් සාක්‍ෂි දෙන විලාසය අධ්‍යයනය කළ යුතුය. එහෙයින් විනිසුරුවරයාගේ අවධානයට හානි වන අන්දමට අධිකරණ ශාලාවට ඇතුළුවීම, පිටවීම විනිශ්චයකාරවරයාට බාධාවකි. අධිකරණයට කරන අපහාසයකි.

අධිකරණයේ අධිකාරී බලය හෑල්ලුවට ලක්‌වන අයුරින් කටයුතු කිරීම, අධිකරණ ස්‌වාධීනත්වයට බාධා වන අයුරින් කටයුතු කිරීම, අධිකරණයට කරන අපහාසයක්‌ ලෙස සැලකේ. සාමාන්‍ය මනුෂ්‍යයකු අධිකරණය තුළදී අධිකරණයට අපහාස වන ෙච්තනාවෙන් අධිකරණයේ අධිකාරී බලය හෑල්ලුවට ලක්‌ කරන, ස්‌වාධීනත්වයට බාධා වන අයුරින් කටයුතු කරන්නේ නම් අදාළ චෝදනාව මත ඔහුට දඬුවම් නියම කිරීමට 1978 අංක දෙක (2) දරණ අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණයට බලය ලබා දී ඇත. අධිකරණයට අපහාස කළා යෑයි කියන පුද්ගලයාගේ හැසිරීම අධිකරණයට අපහාස කිරීමේ ෙච්තනාවෙන්ම කළ ක්‍රියාවක්‌ද යන්න තීරණය කිරීමේ බලතල පැවරී ඇත්තේ විනිශ්චයකාරවරයා වෙතය. එසේ නොමැතිව අපහාස කිරීමේ ෙච්තනාවෙන් නොවේ නම් එය අධිකරණයට අපහාසයක්‌ ලෙස සැලකීමට නොහැකිය. යම් පුද්ගලයකු වරදකරුවකු වීමට නම් වරදකාරී මනසක්‌ සහ වරදකාරී ක්‍රියාවක්‌ යන දෙකම සිදු විය යුතුය. මේ දෙකම සිදු නොවී කෙනෙකු වරදකරුවකු කිරීමට නොහැකිය.

නීතිය නොදැන සිටීම සමාවට කරුණක්‌ නොවේ. එහෙත් මෙරට සාමාන්‍ය පුද්ගලයන්ට රටේ නීතිය ගැන හරි හැටි අවබෝධයක්‌ නැත. අධිකරණයට පැමිණිය යුත්තේ කෙසේද? අධිකරණය තුළ හැසිරිය යුත්තේ කෙසේද? කියා ජනතාව දැන නොසිටින්නේ ද එහෙයිනි. මෙරට අධ්‍යාපන ක්‍රමය තුළින්ද රටේ පවතින නීතිය ගැන පුළුල් අධ්‍යාපනයක්‌ ලබා නොදේ. රටේ මාධ්‍ය තුළින්ද එය සිදු නොවේ. සෑම වසරකම නොවැම්බර් මාසයේ පැවැත්වෙන 'නීති සතිය' ගැන ද සමාජය දැනුවත් නැත. විය යුත්තේ රටේ ජනතාවට අධිකරණයට පැමිණ හැසිරිය යුතු ආකාරය ගැන පුළුල් දැනුවත් කිරීමක්‌ ලබාදීමය. එසේ නොවෙන්න අධිකරණයේ උත්තරීතරභාවය ආරක්‍ෂා කරගැනීම තරමක්‌ ගැටලුකාරීය.

එමෙන්ම සාමාන්‍ය බුද්ධිමත් මනුස්‌සයකු විසින් අනුගමනය කළ යුතු ආචාර ධර්ම, සිරිත් විරිත් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නේ නම් අධිකරණයට පමණක්‌ නොව කිසිවකුට අපහාස වන අන්දමේ ක්‍රියාවක්‌ නොවන බවද සිත තබාගත යුතුය.

තරංග රත්නවීර
http://www.divaina.com/2015/11/22/feature12.html

Pic Source

2 comments:

මධ්‍යස්ථ මතධාරියා said...

චේතනාන්විතව අපහාස කිරීම වරදක්. නමුත් ඈනුම් යාම වගෙ ජෛවක්‍රියාවකට ඔය කියන දේවල් කරන්න පුළුවන්ද
සමහර රෝගීන්ට බෑ ජෛව ක්‍රියා පාලනය කරන්න.

දිවයින කියන්නෙ නිතරම පීඩකයගෙ පැත්ත ගන්න පත්තර කඩමල්ලක්

Anonymous said...

සමහර රෝගීන්ට බෑ ජෛව ක්‍රියා පාලනය කරන්න.
උවමනාවක් ඇත්නනම් .ඉන්නේ කොහේ කියලා දැනුවත්නම් එය කල හැක.අඩුම වශයෙන් උත්සහයක් වත් ගත හැකියි