Pages

Monday, November 30, 2015

මඟහැර යැමෙන් මේ ආශ්‍රව යන් ද දුරු කළ හැකිය... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක්‌ සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලයට, මගේ සමාධිය නිසයි නපුරු බල්ලා කරදරයක්‌ නොකර දිවගියේ කියල. ඔබ තුළ මමත්වයේ දැඩිභාවය වර්ධනය කරගන්න ඉහත කාරණා හේතුවෙනවා. 

දිනක්‌ පිංවත් මහත්මයෙක්‌ බොහෝම ආඩම්බරයෙන් ප්‍රකාශ කළා, "හාමුදුරුවනේ බිය කියන කාරණය සිතන්නේ නැතිව මම කැලයේ ඈතට ගමන් කළා. එහි වැවක්‌ තිබුණා වැවේ කුළුමීමෙක්‌ ලැගල සිටියා. ඒ කුළුමීමා මාව දැක්‌ක ගමන් අහක බලාගත්තා" කියලා. ඒ මහත්මයා සිතන්නේ කුළුමීමා අහකබලාගත්තේ තමාගේ ශීලයට, සමාධියට ගරුකරල කියලා. භික්‍ෂුව ඒ පිංවත් මහත්මයාට ප්‍රකාශ කළේ ඒ අවස්‌ථාවේ එතැනින් මුවෙක්‌ ගමන්කළත් කුළුමීමා අහක බලාගන්නවා කියලා. මුවා දැකලා මඩේ ලැගල සිටින කුළුමීමා අහක බලාගන්නේ මුවාගේ ශීලයකටද,සමාධියකටද? කියල. බුදුරජාණන් වහන්සේ නපුරු සතුන් මඟහැර යන්න කියලා දේශනාකර තිබියදී යම් පිංවතෙක්‌ නපුරු සතුන් සොයාගෙන යනවා නම් එම පිංවතුන් තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා. 

නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙල ප්‍රපාත, මඩ වගුරු, අශූචි වළවල්, කසළ ගොඩවල් මඟහැර යන්නය කියල. පිංවත් ඔබ කල්පනා කර බලන්න කසළ ගොඩවල් නිසා අපේ සමාජයේ පිංවතුන්ලා මොනතරම් නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවාද කියල. තමන්ගේ නිවස ඉදිරිපිට කසළ ගොඩක්‌ දැම්මාය කියල ගහමරාගන්නා මනුෂ්‍යයෝ සමාජයේ සිටිනවා. කසළ ගොඩකින් අශූචි වළකින් හමන දුර්ගන්ධය නිසා මනුෂ්‍ය සමාජය බැණලා, චෝදනා කරලා, ගුටිඇනගෙන නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙල ප්‍රපාත ඇති තැන් මඟහැර යන්නය කියලා. හෙලක ප්‍රපාතයක සංඝයා උදෙසා කුටියක්‌ සෑදීම බුදුරජාණන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවක්‌ බවට පත්කරලා තිබෙනවා. කුටියක්‌ බැඳීමේදී ගොනුන් දෙදෙනෙක්‌ බැඳි කරත්තයකට කුටිය වටේ යැමට හැකියාව ඇති ප්‍රමාණයේ ඉඩකඩක්‌ තිබීම අනිවාර්ය වෙනවා. හෙල ප්‍රපාත වැනි ස්‌ථානවල ගැවසීම නිසා නිරතුරුවම අනතුරක්‌ පිළිබඳ බියක්‌ සමගයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. ඒ නිසාම නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ අකැමැති කථා, අකැමැති හැසිරීම්, අකැමැති වචන, විරුද්ධ මතවාද ඇති තැන් මඟහැරයන්නය කියලා. වර්තමාන සමාජයේ පිංවතුන්ලා බරපතල ආශ්‍රවයන් ඇතිකරගන්නා අවස්‌ථාවක්‌ තමයි මැතිවරණ කාලසීමාවන් , මාධ්‍ය හරහා, කටකථා හරහා, දේශනාවන් හරහා අනුන් නිසා බරපතල ආශ්‍රවයන් සමාජයේ පිංවතුන්ලා ඇතිකරගන්නවා. ගිහි පිංවතුන්ලා තමන් කැමැති පක්‌ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. එය ඔබේ ජාතික යුතුකමක්‌ වෙනවා. නමුත් තාවකාලික මැතිවරණ සමයක්‌ නිසා දීර්ඝ කාලීන අකුසල් සකස්‌කර දෙන ස්‌ථාන, අවස්‌ථාවන්, පුද්ගලයන් මඟහැරයන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න. 

ශීලයේ ශක්‌තියෙන් යුද්ධයක්‌ ජයගත්ත අවස්‌ථාවක්‌ සූත්‍රපිටකයේ තිබෙනවා, මේ යුද්ධය තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවුණු සුර අසුර යුද්ධය. දිව්‍යතලයේදියි, මේ යුද්ධය සිද්ධවෙන්නේ. දෙවියන්ගේ කණ්‌ඩායමේ නායකත්වය දරන්නේ තෙරුවන් සරණ ගිය ශක්‍රයා. අසුරයන්ගේ කණ්‌ඩායමේ නායකත්වය දරන්නේ වේපචිත්ති කියන අසුර නායකයා. සුරඅසුර යුද්ධයේදී ශක්‍රයා අසුරයින් අතින් පරාජයට පත්වෙනවා. පරාජය ලැබූ ශක්‍රයා දිව්‍ය අජානීය අශ්වයන් යෙදූ, මාතලී දිව්‍ය පුත්‍රයා රියදුරු වූ අජානේයරථයෙන් වේගයෙන් පලාගියා. පලායන ශක්‍රයා කෙසේ හෝ ජීවග්‍රහයෙන් අල්ලා ගන්න අසුරයින් ශක්‍රයාගේ රථය පසුපසින් වේගයෙන් ලුහුබැඳ පැමිණියා. ශක්‍රයා අජානීය අශ්වරථයෙන් වේගයෙන් පලාඑද්දී හිඹුල්වනය නමැති ප්‍රදේශයක්‌ පසුකරමිනුයි අශ්වරථය වේගයෙන් ගමන්කරන්නේ. දිව්‍යතලයේ මේ හිඹුල්වනය ප්‍රදේශය දිව්‍ය ගුරුළු පක්‍ෂීන් බහුල වශයෙන් කැදලි තනාගෙන ජීවත්වන ප්‍රදේශයක්‌. පලායන ශක්‍රයා දකිනවා අජානීය අශ්වරථය තවදුරටත් වේගයෙන් ඉදිරියට ගියොත් ගුරුළු පක්‌ෂීන් සහ ගුරුළු කැදලි,ගුරුළු පැටවුන් මැරිල විනාශවෙලා යනවා කියල. ශක්‍රයා තම අජානීය අශ්වරථයේ රියදුරු මාතලීට අණකරනවා මාතලී මම අසුරයින්ට හසුවුණත් ශිල්පදයක්‌ බිඳින්නේ නැහැ කියලා. එම නිසා අශ්වරථය මින් ඉදිරියට ධාවනය කරන්න එපා. මේ අහිංසක දිව්‍ය ගුරුළු පක්‌ෂීන් මැරෙනවා. එම නිසා රථය හරවාගෙන පැමිණි දිශාවටම වේගයෙන්ම පදවන්න කියල. ශක්‍රයා තම ශක්‌තිමත් ශීලය ගැන සත්‍යක්‍රියා කරමිනුයි රථය ආපසු හරවන්න අණකළේ. පැරදී පලායන ශක්‍රයා නැවත තම දිව්‍යරථය හරවාගෙන වේගයෙන් තමන් ඉදිරියට පැමිණෙනවා දැක අනිවාර්යයෙන්ම ශක්‍රයා නැවත ශක්‌තිමත්වී දිව්‍ය සේනාව සමග ප්‍රතිප්‍රහාරය සඳහා පැමිණෙනවායයි සැකසිතූ අසුර පිරිස තම රථය හරවාගෙන පලාගියා. ශක්‍රයාද පලායන අසුරයින් ලුහුබැද ගොස්‌ ඔවුන් අසුරපුරයටම එලවා දැම්මා. සුර අසුර යුද්ධයේදී පළමුව දෙවියන් අසුරයන්ට පැරදී දෙවනුව අසුරයින් පරාජය කර දෙවියන් ජයග්‍රහණය ලබන්නේ දිව්‍යතලයේ හිඹුල්වනය නම් ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත්වන දිව්‍යගුරුළු පක්‌ෂීන්ට, එම පක්‌ෂීන්ගේ කැදලි පැටවුන්ට අනතුරක්‌, සත්ත්ව හිංසාවක්‌ සත්ව ඝාතනයක්‌ නොකරනවාය කියන අධිෂ්ඨානයෙන් තම ජීවිත ආශාව පවා අත්හැර ශක්‍රයා තමන්ගේ ශීලය කෙරෙහි ඇතිකරගත් විශ්වාසය නිසාමයි. සමාදන්වූ ශිල්පදයක්‌ කඩ නොකරනවාය කියල ඇතිකරගත් අධිෂ්ඨානය නිසාමයි. ශක්‍රයා සුර අසුර යුද්ධය දිනන්නේ ශීලය සරණ කරගෙනයි. ශීලයේ ශක්‌තියෙන් අතීතයේ ශක්‍රයා ජයග්‍රහණය කළ මේ යුද්ධයේ අර්ථය වර්තමානයේ නම් හාස්‍යයට ලක්‌වෙන්නත් පුළුවන්. මොකද වර්තමානයේ යුද්ධයක්‌ කොයිහැටි වෙතත් මැතිවරණ සමයකදීත් ශිල්පද බිඳිමින්, අකුසල්මූලයන් වඩමින්, නැති ආශ්‍රවයන් වඩවා ගනිමින් තමයි කටයුතු සිද්ධවෙන්නේ. මේවායින් කුමක්‌ද අපි දකින්නේ ශක්‍රයාට තිබෙන පින අපට නැහැයි කියන කාරණයයි. යමක්‌ ලබන්නනම්, යමක්‌ දිනන්නනම් ගොඩාක්‌ පව්කම් සිදුකරගෙන තමයි එය ලබන්න දිනන්න වෙන්නේ, එම නිසා ආශ්‍රවයන් වැඩෙන මෙවැනි ධර්මතාවයක්‌ මඟහැර යන්නය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/11/29/feature05.html

0 comments: