Pages

Saturday, August 25, 2018

සිංහල ධීවර පවුල් පන්නා දමයි... මුහුදු මහා විහාරයේ අක්කර 700කින් 697ක්ම ආක්‍රමණය කරයි...

අද උතුර නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන ඉතා දරුණු ලෙස වනසා දමමින් ඇති බවටත් ඔවුන්ගේ ඊනියා සහජීවනය බිඳ වැටේ යැයි සිතා ඒ පිළිබඳව ජනාධිපතිවරයා, අගමැතිවරයා මෙන්ම බුද්ධශාසන, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ද නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවටත් ජානිපෙ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත ගුණසේකර මහතා චෝදනා කරයි.

බොරැල්ල එන්. එම්. පෙරේරා මධ්‍යස්ථානයේදී පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙසේ චෝදනා කළේය.

උතුරේ මහ ඇමති සී. වී. විග්නේෂ්වරන් සිදු කරන ලද ජාතිවාදී ප්‍රකාශ අද මංගල සමරවීර වැනි දකුණේ ඇමතිවරුන් ද අනුමත කිරීම කණගාටුවට කරුණක් බවත් උතුරේ බුදු පිළිම, රණවිරු ස්මාරක ගැලවීමට උත්සාහ කරන විග්නේෂ්වරන් දැන් ‘නාගදීපය’ වැනි ‘බුදුුන්ගේ පාපහස’ ලැබූ බෞද්ධ උරුමයන්හි සිංහල නාම පුවරු ගැලවීමට සූදානම් වන බවත් ගුණසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අපගේ පුරාවිද්‍යාත්මක උරුමයන් යනු මේ රටේ සභ්‍යත්වයේ උරුමය බවත් ඒවා වනසා දමා කොටි නායකයකු වන තිලීපන්ගේ ස්මාරක අද උතුරේ ඉදිවෙමින් පවතින බවත් එවැනි තත්වයකදී නීතිය ක්‍රියාත්මක නොවී එය නමමින් ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම නයාරු නැමති ධීවර ගම්මානයේ සිටි සිංහල ධීවර පවුල් එළවා දමා ඇති බවත් උතුරේ මුහුද අයිති දෙමළ ධීවරයන්ට පමණක් බවට එම පළාත් සභාව යෝජනා සම්මත කර ඇති බවත් මේවාට කියන්නේ ‘ජාතිවාදී බෙදුම්වාදය’ නොවේ නම් වෙන කුමක්දැයි මෙහිදී උදයශාන්ත ගුණසේකර මහතා ප්‍රශ්න කර සිටියේය. යාපනය නයාරු ප්‍රදේශයෙන් සිංහල ධීවර පවුල් එළවා දැමූ විග්නේෂ්වරන්ලා අද නැදුන්කර්නි ප්‍රදේශයේ දෙමළ පවුල් 1500ක් බලහත්කාරයෙන් පදිංචි කරවීම ද සහජීවනය නාමයෙන් සිදු වන බවත් එම පවුල් අතුරින් පවුල් 450කටම මෙරට පුරුවැසිභාවය පවා නොමැති බවත් ගුණසේකර මන්ත්‍රීවරයා අනාවරණය කර සිටියේය.

උතුරේ හා නැගෙනහිර දෙමළ- මුස්ලිම් දේශපාලනඥයන් ජාතිවාදය වැපුරුවත් එහි වෙසෙන දෙමළ හා මුස්ලිම් ජනතාව ජාතිවාදී බෙදුම්වාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව ද ඒ මහතා සඳහන් කළේය.

අක්කරෙයිපත්තුව සාගම වට්ටමඩුව දැගැබ ඩෝසර් කිරීම, සමන්තුරේ වලතාපිටිය ගම්මානයේ පුරාවස්තු විනාශය, දීඝවාපිය පරිවාර චෛත්‍ය භූමිය ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, මුහුදු මහා විහාරය සතු අක්කර 700ක ඉඩමෙන් අක්කර 697ක්ම ආක්‍රමණය කිරීම අම්පාර දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාන් ඔය දාගැබ ඩෝසර් කිරීම, අරිසිමලේ ප්‍රධාන ආරණ්‍ය සේනාසන භූමිය ආක්‍රමණය කිරීම, කුච්චවේලි පුරාවිද්‍යා ඉඩම ආක්‍රමණය කර ව්‍යාජ බලපත්‍ර සැකසීම, පුල්මුඬේ නාගලෙන නම් විහාරයට අයත් භූමිය ආක්‍රමණය කිරීම, සාම්පූර් සුදු කුඩා දාගැබ මුළුමනින්ම ඩෝසර් කිරීම, සෙම්බුමලේ පුද බිමේ පිහිටි දාැගබ කඩා දමා එහි ගඩොලින් කෝවිලක් තැනීම ආදිය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් මන්නාරම මාතොට ඉපැරණි වරාය අසල අශ්වලාඩමක හැඩය සහිත දිය අගල පස්වලින් පිරවීම, මන්නාරම වෙරළ පුරාවිද්‍යා සංරක්ෂිතය තුළ ඉපැරණි බෞද්ධ සිද්ධස්ථාන මත හින්දු කෝවිල් ගොඩනැගීම මන්නාරම දිස්ත්‍රික්කය තුළ සිදුව ඇති බවත් යාපනය දිස්ත්‍රික්කයේ ද දැඩි සේ පුරාවිද්‍යා ස්ථාන වනසා දමන බවත් උදයශාන්ත ගුණසේකර මහතා මෙහිදී අනාවරණය කර සිටියේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ, මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ
LCN

බෞද්ධ නටබුන් තිබූ වඩිනාගල අන්‍යාගමික ආක‍්‍රමණයක්.. කෝවිලක් ඉදි කරන්න සූදානම්..

වවුනියාව නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි ඓතිහාසික වටිනාකමකින් යුතු වඩිනාගල බෞද්ධ නටබුන් සහිත ස්ථානය අන්‍ය ආගමිකයින් පිරිසක් විසින් ආක්‍රමණය කොට ඔවුන්ගේ කෝවිලක් ඉදි කිරීමේ සූධානමක් පවති.

මීට දින දහයකට පමණ ඉහතදී මේ ස්ථානයේ නිධන් හෑරීමට දකුණේ සිට පැමිණි හතර දෙනෙකු පොලිස් අත් අඩංගුවට පත් වූ අතර ඉන් පසුව එම ස්ථානයේ කිසියම් පිරිසක් විසින් කෝවිල් ඉදිකිරීම සඳහා වැඳුම් පිදුම් කිරීමට පියවර ගෙන ඇත.

එහිදී කෝවිල ඉදිකිරීමට පටන් ගෙන ඇති පිරිස කියා සිටින්නේ එම ස්ථානය තමන්ගේ ආගමට අයත් නිසා නිධානය බේරා ගැනීමට කෝවිලක අවශ්‍යතාවය මතුව තිබෙනා බවටයි.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මීට වසර ගණනාවකට පෙර මේ ස්ථානය බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යා ස්ථානයක් බවට හදුණාගෙන ඇති අතර එය තවුරු කිරීමක්ද සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

යුද්ධය නිසා එම පළාත් වලට පසුගිය කාලයේදී නිලධාරීන් නොයෑම නිසා එම බෞද්ධ නටබුන් සහිත පුරාවිද්‍යාත්මක ස්ථාන වෙනත් ආගම් වල අයිතියට පත්ව තිබෙන බවටත් නෙඩුන්කේණී ඕලුමඩුව පළාතේ පිහිටි වඩිනාගල අතීතයේ දන්තධාතූන් වහන්සේද වැඩම කරවීමේ ගමන්මාර්ගයේ එක් සන්ධිස්ථානයක් බවටද වවුනියාවේ බෞද්ධ බැතිමතුන් කියා සිටිති.

බෞද්ධ නටබුන් සහිත ස්ථානයට වර්තමානයේදී සිදුවන විනාශය වහාම නවත්වා බෞද්ධ නටබුන් ආරක්ෂා කිරීමේ වැඩපිලිවලක් දියත් කල යතු බවටද වව්නියාවේ බෞද්ධ බැතිමතුන් වැඩි දුරටත් කියා සිටිති.

– වන්නි රොමේෂ් මධුෂංඛ
LCN

වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි

දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර අඩම්පනේ පුරාණ දෙමටමල් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු කොත් පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවය අද දින එනම් 2018 අගෝස්තු මස 20 සඳුදා සිදු විය. මිරිසවැටිය රාජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තරුණ මැතිතුමන්ගේ අතින් කොත පැළදවීම සිදු විය.

අනුරාධපුර නගයේ සිට පුත්තලම පාරේ කිලෝමීටර් 21 ගිය තැන හමුවන අඩම්පනේ විදුහල අසලින් ඇති පාරේ කිලෝමීටරයක් ගිය විට පිහිටි අඩම්පනේ ගම්මානයේ ඓතිහාසික දෙමටමල් විහාරය පිහිටා ඇත. එය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයට අයත් ය. රජරට පිහිටි දර්ශනීය, මනස්කාන්ත පුදබිමක් ලෙස සැලකෙන දෙමටමල් විහාරයේ එක් පසෙකින් කුඹුරු යායකුත් අනෙක් පසින් අඩම්පනේ වැවත් දක්නට ලැබේ. ථූපාරාමයේ නිධන් කිරිමට දඹදිව සිට රැගෙන ආ නිදන් වස්තුවලින් කොටසක් දෙමටමල් චෛත්‍යයේ තැන්පත් කළ බව අඩම්පනේ වැසියන් පරම්පරාගතව රැකගෙන ආ ජනප්‍රවාදයේ දැක්වේ. යක්‍ෂ ගෝත්‍රික පාරම්පරික බල කදවුරක් වූ අඩම්පනේ ජනතාව අද ද ඒ අනන්‍යතාව රැකගෙන සිටිති. ප්‍රමාණයෙන් 4000 පමණවන අඩම්පනේ ජනතාවගේ ආවාහ-විවාහ කටයුතු එම පවුල් අතරම සිදු වේ. මිහිදු හිමියන් රුගෙන ආ සද්ධර්මය කෙරෙහි පැහැද යක්‍ෂ ගෝත්‍රයෙන් මහණ වූ භිෂූන් වහන්සේලා උදෙසා දේවානම්පියතිස්ස රජු දෙමටමල් විහාරය කෙරවූ බව දැක්වේ. දෙවන පෑතිස් අණින් යක්‍ෂ ගෝත්‍රයේ ප්‍රාදේශිය නායකයා වූ දෙමටමල් විසින් සැලසුම් සකස් කර නිර්මාණය කර මහරහතන් වහන්සේලාට පූජා කළ හෙයින් පුදබිම ‘‘දෙමටමල් විහාරය’’ වූ බව වැඩි දුරටත් කියවේ.

අලි කොටි වලසුන්ගේ ග්‍රහණයට නතුව තිබූ දෙමටමල් පිං බිම 1960 දශකයේ යලි සොයාගත් පසු එහි පිහිටි ගිරි ලිපි දෙක සෙනරත් පරණවිතාන සූරීන් කියවිමට උත්සාහ දැරුවද කාලයාගේ ඇවෑමෙන් අකුරු මැකී ඇති හෙයින් එය මුළුමනින් කියවීමට හැකි වී නැත. පසුව එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන්වහන්සේ පුදබිමේ පිහිටි ගිරි ලිපි පිටපත් කරගෙන කියවීමට මහත් ප්‍රයතනයක් දරන ලදි.

මාගේ මූලිකත්වයෙන් දෙමටමල් විහාර චෛත්‍යය සංවර්ධන සමිතිය පිහිටුවා විහාරස්ථානය අද තිබෙන තත්වයට යලි ගොඩනගන ලදි. 1980 දශකය වන විටත් සිව්පා කොටින්ගේ රජ දහනක්ව පැවැති පුදබිම එලිපෙහෙලි කර මාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමක් එහි නතර කරවන ලදි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව ගල්තලාව මත නටබුන්ව පැවැති දාගැබ, පිළිම වහවහන්සේලා, කටාරම් කෙටූ ගල්ගෙවල්, දිය නොසිදෙන ගල් පොකුණ, සිරිපතුල සහ සෙල්ලිපි සංරක්‍ෂණයට පියවර ගන්නා ලදි. 2011 ජනවාරි මස 19 දින චෛත්‍යරාජයාණන්වහන්සේට මංගල ශීලා ප්‍රතිස්ථාපනය කර, ගොවිතැනින් ජීවත් වන අඩම්පනේ වැසියන්ගේ අපරිමිත කැපකිරීම හේතුවෙන් චෛත්‍යය මනරම් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරිමට අපට හැකි විය.

අනුබුදු මිහිදු හිමියන්ගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජු කෙර වූ දෙමටමල් විහාරය හේතුවෙන් යක්‍ෂ ගෝත්‍රික ජනතාව බුදු දහම කෙරෙහි තව තවත් පැහැද සිංහල ජාතියේ කොටස්කරුවන් බවට පත් විය. පසු කාලීනව මේ පුදබිම කේන්ද්‍ර කරගෙන අවට යක්‍ෂ ගෝත්‍රික ජනාවාස පැවති ඌත්තුවෙල්ලිය, තන්තිරිමලය, බිල්ලෑව, හීනුග්ගල, අන්දරවැව කුරුළුපෙත්තාගල, ආඩියාගල, රාජාංගනය සහ හස්තිකුච්චිය පාෂාන උන්නත මත ආරාම සංකීර්ණ ස්ථානගත විය.

සිත නිවන තැනක්, භාවනාවට සුදුසු තැනක් ලෙස දෙමටමල් විහාරයේ ගල්තලාවට පැමිණෙන ඕනෑම කෙනෙකුට හැගීමක් ඇති වේ. මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයේ පාරිශුද්ධ වූ මේ පිං බිමේ විවිධ හාස්කම් ඇති බව අත්දුටු ගැමියෝ බොහෝමයකි. රාත්‍රියට මේ ස්ථානයට අරක්ගෙන සිටින දෙවි දේවතාවෝ ආලෝක ධාරා විහිදුවමින් ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ සහ රුවැන්වැලි සෑ රදුන් වන්දනාවට පිටත් වෙති.

වසර 2300 කට පසු යලි කොත් පැළද වූ දෙමටමල් විහාරයේ ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජනතාවත් තව 2500 වසරක් ආරක්‍ෂා වේවා; රැකවරණය ලැබේවා.

මහවිලච්චියේ විමල ස්ථවිර, අඩම්පනේ දෙමටමල් පූරාණ රජමහා විහාරාධිපති සහ උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක
Lanka C News

Wednesday, August 1, 2018

යාපනයේ කැළයකින් බෞද්ධ උරුම නටබුන් රැසක්‌ හමුවෙයි

යාපනයේ පුතූර් ප්‍රදේශයේ කැලයක බෞද්ධ උරුමයන් සහිත නටබුන් රැසක්‌ හමුවී ඇතැයි යාපනය පුරා විද්‍යා කාර්යාලය ප්‍රකාශ කරයි.

මේ බෞද්ධ පුරාවස්‌තු පිළිබඳව ස්‌ථීර වශයෙන් යමක්‌ පැවසිය නොහැකි බව කියා සිටින යාපනය පුරා විද්‍යා කාර්යාලයේ නිලධාරීන් මේ පිළිබඳව උසස්‌ නිලධාරීන් දැනුවත් කොට ඇති බවද පැවසීය.

යුද සමයේදී යාපනයේ කැලෑබද ප්‍රදේශවල පිහිටි පුරාවස්‌තු රැසක්‌ම විනාශ වී ගොස්‌ ඇති බව පවසන පුරා විද්‍යා නිලධාරීන් මෑතකදී නිලධාරීන් හා සේවකයින් දෙපාර්තමේන්තුවට අලුතින් බඳවාගෙන ඔවුන්ගෙන් විශාල පිරිසක්‌ උතුරේ රාජකාරී කටයුතුවල යෙදවීමත් සමගම මෙවැනි නව පුරාවස්‌තූන් සොයා ගැනීමට හැකි වී ඇති බවද පුරාවිද්‍යා නිලධාරීහු කියා සිටිති.

දිනසේන රතුගමගේ
Divaina