Pages

Showing posts with label උරුමයක අසිරිය. Show all posts
Showing posts with label උරුමයක අසිරිය. Show all posts

Saturday, August 25, 2018

වසර 2300කට පසු යක්ෂ ගෝත්‍රික පිං බිමක් කල එළි වෙයි

දෙවන පෑතිස් රජ සමයේ ඉදිකරන ලදැයි සැලකෙන අනුරාධපුර අඩම්පනේ පුරාණ දෙමටමල් විහාරස්ථානයේ චෛත්‍යරාජයාණන්වහන්සේ ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු කොත් පැලැදවීමේ පුණ්‍ය මහෝත්සවය අද දින එනම් 2018 අගෝස්තු මස 20 සඳුදා සිදු විය. මිරිසවැටිය රාජමහා විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥාණතිලක නායක ස්වාමීන් වහන්සේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීමෙන් පසු රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන තරුණ මැතිතුමන්ගේ අතින් කොත පැළදවීම සිදු විය.

අනුරාධපුර නගයේ සිට පුත්තලම පාරේ කිලෝමීටර් 21 ගිය තැන හමුවන අඩම්පනේ විදුහල අසලින් ඇති පාරේ කිලෝමීටරයක් ගිය විට පිහිටි අඩම්පනේ ගම්මානයේ ඓතිහාසික දෙමටමල් විහාරය පිහිටා ඇත. එය නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨශයට අයත් ය. රජරට පිහිටි දර්ශනීය, මනස්කාන්ත පුදබිමක් ලෙස සැලකෙන දෙමටමල් විහාරයේ එක් පසෙකින් කුඹුරු යායකුත් අනෙක් පසින් අඩම්පනේ වැවත් දක්නට ලැබේ. ථූපාරාමයේ නිධන් කිරිමට දඹදිව සිට රැගෙන ආ නිදන් වස්තුවලින් කොටසක් දෙමටමල් චෛත්‍යයේ තැන්පත් කළ බව අඩම්පනේ වැසියන් පරම්පරාගතව රැකගෙන ආ ජනප්‍රවාදයේ දැක්වේ. යක්‍ෂ ගෝත්‍රික පාරම්පරික බල කදවුරක් වූ අඩම්පනේ ජනතාව අද ද ඒ අනන්‍යතාව රැකගෙන සිටිති. ප්‍රමාණයෙන් 4000 පමණවන අඩම්පනේ ජනතාවගේ ආවාහ-විවාහ කටයුතු එම පවුල් අතරම සිදු වේ. මිහිදු හිමියන් රුගෙන ආ සද්ධර්මය කෙරෙහි පැහැද යක්‍ෂ ගෝත්‍රයෙන් මහණ වූ භිෂූන් වහන්සේලා උදෙසා දේවානම්පියතිස්ස රජු දෙමටමල් විහාරය කෙරවූ බව දැක්වේ. දෙවන පෑතිස් අණින් යක්‍ෂ ගෝත්‍රයේ ප්‍රාදේශිය නායකයා වූ දෙමටමල් විසින් සැලසුම් සකස් කර නිර්මාණය කර මහරහතන් වහන්සේලාට පූජා කළ හෙයින් පුදබිම ‘‘දෙමටමල් විහාරය’’ වූ බව වැඩි දුරටත් කියවේ.

අලි කොටි වලසුන්ගේ ග්‍රහණයට නතුව තිබූ දෙමටමල් පිං බිම 1960 දශකයේ යලි සොයාගත් පසු එහි පිහිටි ගිරි ලිපි දෙක සෙනරත් පරණවිතාන සූරීන් කියවිමට උත්සාහ දැරුවද කාලයාගේ ඇවෑමෙන් අකුරු මැකී ඇති හෙයින් එය මුළුමනින් කියවීමට හැකි වී නැත. පසුව එල්ලාවල මේධානන්ද නායක ස්වාමීන්වහන්සේ පුදබිමේ පිහිටි ගිරි ලිපි පිටපත් කරගෙන කියවීමට මහත් ප්‍රයතනයක් දරන ලදි.

මාගේ මූලිකත්වයෙන් දෙමටමල් විහාර චෛත්‍යය සංවර්ධන සමිතිය පිහිටුවා විහාරස්ථානය අද තිබෙන තත්වයට යලි ගොඩනගන ලදි. 1980 දශකය වන විටත් සිව්පා කොටින්ගේ රජ දහනක්ව පැවැති පුදබිම එලිපෙහෙලි කර මාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේනමක් එහි නතර කරවන ලදි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ද සහයෝගය ඇතිව ගල්තලාව මත නටබුන්ව පැවැති දාගැබ, පිළිම වහවහන්සේලා, කටාරම් කෙටූ ගල්ගෙවල්, දිය නොසිදෙන ගල් පොකුණ, සිරිපතුල සහ සෙල්ලිපි සංරක්‍ෂණයට පියවර ගන්නා ලදි. 2011 ජනවාරි මස 19 දින චෛත්‍යරාජයාණන්වහන්සේට මංගල ශීලා ප්‍රතිස්ථාපනය කර, ගොවිතැනින් ජීවත් වන අඩම්පනේ වැසියන්ගේ අපරිමිත කැපකිරීම හේතුවෙන් චෛත්‍යය මනරම් ආකාරයෙන් ප්‍රතිනිර්මාණය කිරිමට අපට හැකි විය.

අනුබුදු මිහිදු හිමියන්ගේ අනුශාසනා පරිදි දේවානම්පියතිස්ස රජු කෙර වූ දෙමටමල් විහාරය හේතුවෙන් යක්‍ෂ ගෝත්‍රික ජනතාව බුදු දහම කෙරෙහි තව තවත් පැහැද සිංහල ජාතියේ කොටස්කරුවන් බවට පත් විය. පසු කාලීනව මේ පුදබිම කේන්ද්‍ර කරගෙන අවට යක්‍ෂ ගෝත්‍රික ජනාවාස පැවති ඌත්තුවෙල්ලිය, තන්තිරිමලය, බිල්ලෑව, හීනුග්ගල, අන්දරවැව කුරුළුපෙත්තාගල, ආඩියාගල, රාජාංගනය සහ හස්තිකුච්චිය පාෂාන උන්නත මත ආරාම සංකීර්ණ ස්ථානගත විය.

සිත නිවන තැනක්, භාවනාවට සුදුසු තැනක් ලෙස දෙමටමල් විහාරයේ ගල්තලාවට පැමිණෙන ඕනෑම කෙනෙකුට හැගීමක් ඇති වේ. මහරහතන් වහන්සේලාගේ පාද ස්පර්ශයේ පාරිශුද්ධ වූ මේ පිං බිමේ විවිධ හාස්කම් ඇති බව අත්දුටු ගැමියෝ බොහෝමයකි. රාත්‍රියට මේ ස්ථානයට අරක්ගෙන සිටින දෙවි දේවතාවෝ ආලෝක ධාරා විහිදුවමින් ජය ශ්‍රීමහා බෝධීන් වහන්සේ සහ රුවැන්වැලි සෑ රදුන් වන්දනාවට පිටත් වෙති.

වසර 2300 කට පසු යලි කොත් පැළද වූ දෙමටමල් විහාරයේ ඓතිහාසික චෛත්‍යරාජයාණන් වහන්සේගේ ආනුභාවයෙන් සිංහල ජාතියත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජනතාවත් තව 2500 වසරක් ආරක්‍ෂා වේවා; රැකවරණය ලැබේවා.

මහවිලච්චියේ විමල ස්ථවිර, අඩම්පනේ දෙමටමල් පූරාණ රජමහා විහාරාධිපති සහ උතුරු මැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක
Lanka C News

Sunday, June 17, 2018

විමුක්‌තිකාමී ධර්මද්වීපවාසී අප අද කළ යුත්තේ කුමක්‌ද?

පළමුව අප අපේ මවුබිමේ සුවිශේෂ පිහිටීම සිහියට නඟා ගත යුතුය. ඉන්දියන් සාගරයේ මුතු ඇටය යන විරුද නාමය ලැබූ ලංකාවට සමාන දිවයිනක්‌ ලොව කිසිම කලාපයක නැත. වර්ග සැතපුම් විසිපන්දහසක්‌ පමණ වූ කුඩා දිවයිනක්‌ වුවද අඩි හත් දහසක්‌ තරම් උස පිදුරුතලාගල වැනි කඳු සහ ලෝක පූජිත සිරිපා සටහන සහිත සමනොළ කඳු වැනි සුවිශේෂ සුන්දර කඳු ඇත්තේද ඉන්දියන් සාගරයේ මුතුඇටය වන් ලංකාද්වීපයේය. බුදු සිරිපා සටහන සහිත සමනළ කන්දට සම්බන්ධ කඳුවැටිය ගැන "සිංහලයේ කීර්ති රඳනා රන් සමනළ රක්‌ෂා කරනා සෙන්පති මුල වාගේ පෙනෙනා බෑණ සමනළ කුණු දිය පර්වත ගවරවිලේ මහ කන්දේ ඔද තෙජ මහසිහ රාජබැම්ම වාගේ එවැනි හෙළ මවුබිමේ උදාරත්වය පිළිබඳ ගැයෙන ගීතයන්ද ලියවී ඇත. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ගායකයාණන් වූ අමරදේවයන් විසින් ගයනු ලබන "සිරිපා පියුමේ රොන්සුණු විසිරේ නිවී පහන් වී ළය සැනහේ මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ බැන්ද වියන් සේ පුළුන්වළා පාවී යයි නිසංසලේ" වැනි ගීත පරිසරයේ සුන්දරත්වය හා පූජනීයත්වය ප්‍රකාශ කරන ගීතයන් වේ. බුදුන් වහන්සේට පිදූ දේශයේ පූජනීයත්වය සමඟ ලක්‌වැසි අප සැම නැවත නැවතත් සිහිපත් කළ යුත්තේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණ දී ජාතික ආගමික සංස්‌කෘතික උරුමය රැකගන්නට සමත් වූ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක වීරයන්ගේ උදාරත්වයයි. විදේශ ආක්‍රමණ දහසයකට තබා විදේශ ආක්‍රමණ දහයකටවත් මුහුණ දී තම උරුමය රැක ගන්නට සමත් වූ සිංහලයන් වැනි ජාතියක්‌ ගැන ලෝකයේ කිසිම කලාපයකින් අසන්නට නොලැබේ. 

 සුවිශාල ඉන්දියානු අර්ධ මහාද්වීපයේ උතුරු හා මධ්‍යම ප්‍රදේශවලින් බුදු සසුන අතුගා දමන්නට කිල්ජීභක්‌තියාර්ගේ ඉස්‌ලාමීය හමුදාවන්ට හැකි වුවද ඉන්දියන් සාගර කලාපයකට යටත් කළ මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍යයට පවා ලංකාවේ බුදු සසුන හා උතුම් හෙළ බොදු සංස්‌කෘතික උරුමය විනාශ කළ නොහැකි විය. පුංචි ශ්‍රී ලංකාව යටත් කර අඩ සියවසක්‌ ගත වන්නට පෙර මුණ්‌මඩි චෝල මණ්‌ඩල අධිරාජ්‍ය බලය පරදවා රට දැය සමය සුරැකිව රැකගෙන ඉන්දියන් සාගර කලාපයට අයත් සියලුම ජනතාවන්ට විමුක්‌තිකාමී විජයග්‍රහණයේ ආදර්ශය ලබාදෙන්නට කීර්ති විජයබාවන් ප්‍රමුඛ සිංහල දේශප්‍රේමීන්ට හැකි වූ බව නීලකණ්‌ඪශාස්‌ත්‍රී වැනි ඉන්දියානු ඉතිහාසඥයින්ගේ පවා ප්‍රශංසාවට ලක්‌ වී තිබේ. පුලහFථ, භාහිය, පිලයමාර හා පණයමාර ආදී පස්‌මහ දෙමළ ආක්‍රමණිකයන්ගේ පටන් පොළොන්නරුව ලේ විලක්‌ බවට පත් කර රජරට යකුන් නැටූ පිටියක තත්ත්වයට පත් කළ කාලිංග මාඝ ආදී කිසිදු ආක්‍රමණිකයකුට රුවන්මැලි මහා සෑයේ කොත් කැරලි ගලවාගෙන ගියද ධාතු ගර්භය දක්‌වා චෛත්‍යය බිඳින්නට නොහැකි වූ නිසාම ධාතු කරඬු පැහැරගත නොහැකි විය. අනුරාධපුර මහමෙව්නාවේ ලෝක ප්‍රකට සමාධි පිළිමය හෝ බුදු හිමියන්ගේ මහා පෞරුෂය නිරූපිත අවුකන බුදු පිළිමය බිඳහෙළන්නට පරසතුරු ආක්‍රමණිකයන්ට නොහැකි විය. පොළොන්නරුව ලේ විලක්‌ කළ කුරිරු ආක්‍රමණිකයා වූ කාලිංග මාඝට පවා ලෝක ප්‍රකට ගල් විහාර පිළිම විනාශ කළ නොහැකි වූයේ ඒ ශේ්‍රෂ්ඨ උරුමය රකින්නට කැපවුණු දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක වීරයන්ගේ ආත්ම පරිත්‍යාගයන් නිසාය. ඉතිහාස යුග ගණනක්‌ තිස්‌සේ අවුකන පිළිමය වැනි ශේ්‍රෂ්ඨ නිර්මාණ රැක ගන්නට හැකි වූ නිසාම මහගමසේකර වැනි අපේ යුගයේ ගේය පද රචකයන්ට "ඉහළ නිල්වන් අහස විනිවිද නැඟෙන ඔබගේ යෝධ බදු බඳ මගේ කුදු බව පසක්‌ කරවයි" වැනි ගී ලියන්නට හැකි වූවා මෙන්ම "කෙළෙස්‌ මළ පිරි නුවර අතහැර බවුන් වඩනට වනේ වැඩි ඔබ සොයා ආවෙමි පොළෝ තලයේ" යනුවෙන් සිත් සනසන ගායනාවන් කරන්නට අමරදේවයන්ට හැකි විය. 

 මහියංගන හා කැලණි විහාරවල පටන් තිස්‌සමහාරාම, සේරුවිල මංගල මහා චෛත්‍යය, රුවන්මැලි මහ සෑ, අභයගිරි හා ඡේතවන චෛත්‍ය දක්‌වාත් දඹදෙණි, යාපහුව, කුරුණෑගල රිදී විහාර ආදී දාගැබ් පිළිම නිර්මාණ දක්‌වාත් මධ්‍ය කඳුකරයේ ගඩලාදෙණි, ඇම්බැක්‌කේ හා දෙගල්දොරු විහාර දක්‌වාත් අස්‌ගිරි, මල්වතු විහාර හා දළදා මාලිගාව දක්‌වා වූ ශේ්‍රෂ්ඨ නිර්මාණයන් රැකගෙන ලොවම ආකර්ෂණය කරන මහා පෙරහැර පැවැත්වීමට සිංහල බෞද්ධයන්ට හැකි වූයේ විදේශ ආක්‍රමණ දහසයකට මුහුණදී සිංහලේ මහා සංස්‌කෘතික උරුමය රැක ගැනීම සඳහා දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක මුතුන්මිත්තන් විසින් කරන ලද උදාර පරිත්‍යාගයන් නිසාය. ධර්මද්වීපවාසී අප හැම අද පළමුවම කළ යුත්තේ ඒ ශේ්‍රෂ්ඨ ලෝක උරුමයන් රැකගන්නට දිවිපිදූ කෝටි සංඛ්‍යාත උතුම් මුතුන්මිත්තන්ගේ උදාර ආත්ම පූජාවන් සිහිකරමින් ඉතිහාසගත ඒ ශේ්‍රෂ්ඨයන්ගේ ආදර්ශය අනුව ඉදිරියට යන්නට අධිෂ්ඨාන සහගත වීමයි. ඉස්‌ලාම් ආක්‍රමණිකයන්ට මුහුණදී තම උතුම් උරුමය රැකගන්නට මැලේසියානු බෞද්ධයන්ට හා ලොව ලොකුම දුපත් රාජ්‍යය වූ ඉන්දුනීසියාවේ කෝටි සංඛ්‍යාත බෞද්ධයන්ට නොහැකි වුවද ශත වර්ෂ එකහමාරක්‌ තරම් වූ අධිරාජ්‍යවාදී බ්‍රිතාන්‍ය පාලනයෙන් හෝ මිෂනාරි අධ්‍යාපනයෙන් අතිමහත් සිංහල බෞද්ධ බහුතරය වෙනස්‌ කළ නොහැකි විය. අවුරුදු සියයකටත් වැඩි කාලයක්‌ තිස්‌සේ නැවත නැවතත් කළ උඩරට ආක්‍රමණ මගින් සිංහලේ ජනගහනයෙන් තුනෙන් පංගුවක්‌ ඝාතනය කිරීමට කාලතුවක්‌කුකාර ලෝක බලවතා වූ පෘතුගිසීන්ට හැකි වුවද සිංහලයන් සියයට දහයක්‌වත් කතෝලක ආගමට හරවා ගන්නට කුරිරු පරංගි බලයට නොහැකි විය.

 ඉංගී්‍රසි ඉගෙන ගන්නට හා අධිරාජ්‍යවාදී පාලකයන්ගෙන් තාන්නමාන්න ලබා ගැනීම සඳහා එංගලන්ත සභාව, මෙතෝදිස්‌ත සභාව වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි පාර්ශ්වයන්ට එක්‌ වූවන්ගෙන් වැඩි දෙනකු පවා නැවත සම්‍යක්‌ දෘෂ්ටි මාර්ගයට හරවා ගන්නට මහා සංඝරත්නයේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමා ප්‍රමුඛ ශාසන මාමක වීරයන්ට හැකි විය. හෙන්රි ස්‌ටීල් ඕල්කට්‌ තුමා, බ්ලැවැට්‌ස්‌කි මැතිනිය හා මියුසියස්‌ හිsඟින්ස්‌ වැනි ඇමරිකානු, රුසියන් සහ ඉංගී්‍රසි ජාතික උතුමන්ට හා උතුමියන්ට අපේ උතුම් උරුමය වෙනුවෙන් සුවිශාල කැපකිරීම් කළ හැකි වී නම් පූජ්‍ය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ධම්මාලෝක හිමි, වැලිගම සුමංගල හිමි හා වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි වැනි උතුම් හිමිවරුන්ගේ ආදර්ශය අනුව යන අපේ යුගයේ මහා සංඝරත්නයටද ජාතියේ අධ්‍යාත්ම ශක්‌ති උල්පත වූ බුදු සසුන නව පණ ගන්වන්නට හැකිවනු ඒකාන්තය. අවශ්‍ය වන්නේ ධර්ම ඥනය සමඟ උදාර ජාතික ඉතිහාසය පිළිබඳ දැනීම වර්ධනය කරගෙන සේවයට කැපවීමයි. බෙදුම්වාදයට ආධාර අනුබල දෙන නව යටත් විජිතවාදීන්ගේ කූටෝපාය මාර්ගයට යට නොවී රටත් ජාතියත් සිංහලේ මහා සංස්‌කෘතියත් මවුබිමේ සුන්දර පරිසරයත් රැකගෙන බුදුන් වදාළ ශ්‍රී සද්ධර්මය ලෝක ජනතාවට නිවැරදි ලෙස පහදා දෙන්නට අපේ පරපුරින් මෙන්ම ඊළඟ පරම්පරාවලින්ද ධර්ම ඥනයෙන් පිරිපුන් සේවයට කැපවුණු ශේ්‍රෂ්ඨයන් සිය දහස්‌ ගණනක්‌ බිහි විය යුතුය. පුරා අවුරුදු හැටකට වැඩි කාලයක්‌ සේවයට කැපවීමේ අත්දැකීම් ඇති හැත්තෑහත් වැනි වියේ පසුවන මේ ලිපිය ලියන මට ලක්‌වැසි ජනතාවගේ ජාතික ඉතිහාසය හදාරා සිංහලේ මහා සංස්‌කෘතික උරුමය ගැඹුරින් අවබෝධ කරගෙන ලෝක ශාසන සේවය උදෙසා කැපවන්නැයි ඉල්ලා සිටීමේ අයිතියක්‌ තිබේ. මා එසේ කියන්නේ තමන් ආදර්ශවත් නොවී අන් අය නිවැරදි මගට හරවාගත නොහැකි හෙයිනි. 

 වත්මන් පරපුරේ සියලු දේශප්‍රේමීන් ජාතිහිතෛෂී ශාසනමාමක පින්වතුන් ජාතියේ මුරදේවතාවූන් වහන්සේලා වන සේවයට කැපවුණු මහා සංඝරත්නයත්, මහා සංඝරත්නයේ මාර්ගෝපදේශකත්වය අනුව යමින් තමන්ගේ ඉරිදා නිවාඩු දිනය දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා කැපකරන ලක්‌ෂය ඉක්‌ම වූ දහම් ගුරු භවතුනුත් පුද්ගලික පංතිවලට නොගොස්‌ රූපවාහිනි කාටූන් ආදී විගඩම්වලට යට නොවී ඉරිදා උදැසනින් දහම් පාසල් යන ලක්‌ෂ විසිපහ ඉක්‌ම වූ දරුවනුත් තමන් හරියට නොකා නොබී හෝ තියෙන දෙයක්‌ දරුවන්ට කන්නට බොන්නට දී දරුවන්aa සුදුවතින් සරසා දහම් පාසල් කරා යවන උතුම් දෙමාපියනුත් ආදර්ශයට ගත යුතුය. සේවයට කැපවුණු ආදර්ශවත් උතුම් මිනිසුන්ට කළ නොහැකි යහපත් දෙයක්‌ නැත. හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට විෙද්‍යාදය පිරිවෙන පිහිටුවා එහි ශාඛා පිහිටුවන්නට මගපාදමිනුත් රත්මලානේ ශ්‍රී ධම්මාලෝක, ධම්මාරාම හිමිවරුන්ට විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවා එහි ශාඛා රටපුරා ගොඩනඟන්නට ක්‍රියා කරමින් අධිරාජ්‍යවාදී මිෂනාරි අධ්‍යාපන අභියෝගය ජය ගන්නට හැකි වී නම් වාදීභසිංහ මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමියන්ට පානදුරාවාදය වැනි මහා වාද මගින් දේව නිර්මාණවාදී බටහිර චින්තනය පරාජය කළ හැකිවී නම් හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වැනි ලෝක පූජිත ධර්මධර උතුමන්ගේ ආශීර්වාදය ලැබූ අනගාරික ධර්මපාලතුමාට ඇමරිකාවේ චිකාගෝ නුවර දාර්ශනික සමුළුවේ පැවැත්වූ ශේ්‍රෂ්ඨ දේශනයෙන් පටන්ගෙන ලොව පුරා ධර්මදූත මෙහෙවරක යෙදෙමින් බටහිර හා පෙරදිග රටවල් රැසක මහාබෝධි සමාගමේ ශාඛා පිහිටුවා බුදු දහමේ උතුම් පණිවුඩය ජාත්‍යන්තර මට්‌ටමට ගෙන යන්නට හැකිවී නම් මුද්‍රිත මාධ්‍ය, ගුවන්විදුලි, මාධ්‍ය හා රූපවාහිනි මාධ්‍ය ආදී විවිධ පහසුකම් තිබෙන යුගයක රට, දැය, සමය පුබුදුවා මාතෘ දේශයත්, ජාතියත්, බුදු සසුනත් ශ්‍රී ලංකාවේ සුන්දර පරිසරයත් රැකගෙන ජාතික හා ජාත්‍යන්තර මෙහෙවරක යෙදෙන්නට අපේ පරපුරටද හැකි විය යුතු වේ. 

 අනගාරිකව රට පුරා ධර්ම චාරිකාවේ යෙදෙමින් විද්‍යාල, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල ආදී ජාතික පාසල් ඇතුළු පාසල් දෙදහස්‌ ගණනකත් දහම් පාසල් දහසකට වැඩි ගණනකත් රටපුරා පිරිවෙන් සියයකට වැඩි ගණනකත් දේශන පවත්වා වරාය බෞද්ධ සමිතිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ බෞද්ධ සමිතිය, ඛනිජ තෙල් සංස්‌ථා බෞද්ධ සංගමය වැනි විවිධ වෘත්තීය ක්‍ෂේත්‍රයන්හි සංවිධාන රැසකත්, පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ආයතන ගණනාවකත් ස( ණ( ස( ශාඛා සංවිධාන වැනි දීප ව්‍යාප්ත සංවිධානවලත් දේශන පවත්වා කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකා පුහුණු මූලස්‌ථානයේ කළ දේශනවල පටන් කළුතර සේරුපිට සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, කල්පිටිය සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර, අම්පාර සිවිල් ආරක්‌ෂක හමුදා පුහුණු කඳවුර ආදී පුහුණු කඳවුරුවලත් දේශන කර තන්තිරිමලේ හමුදා කඳවුරේ පටන් තිරිකුණාමලේ දක්‌වා හමුදා සංවිධානවල මෙහෙයවීමෙන් හමුදා බල පිරිස්‌ දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසන මාමක හැඟීමෙන් පුබුදු කළ සමාජ ආර්ථික වශයෙන් දුප්පතෙකු වූ මේ ලිපිය ලියන මට ටාටා ඩීමෝ වාහනයේ යමින් රටපුරා රාජසිංහ පැණි වරකා කොස්‌ පැළ අසූදෙදහස්‌ ගණනක්‌ බෙදා දී ජාතික ආර්ථිකය හා පරිසරය සංවර්ධනය කිරීමේ මෙහෙවරක්‌ කළ හැකිවී නම් හොඳ වාහන හිමි සිය ගණන් ආචාර්ය මහාචාර්ය උගතුන්ටත් රටපුරා වන ලක්‌ෂ සංඛ්‍යාත ගුරුවරුන්ටත් ජනතාව දැනුවත් කර ජාතිය අවදි කර රට දැය සමය නඟා සිටුවා මවුබිමේ පරිසරයද සංවර්ධනාත්මක ලෙස පෝෂණය කළ හැකි බවට සැකයක්‌ නැත.

 ජාතික, ආගමික, සංස්‌කෘතික හා සොබා පරිසරවාදී සංවර්ධන සේවාව සඳහා කැපවීමේදී නව යටත් විජිතවාදී බටහිර රටවල තර්ජනවලට බිය යුතු නොවේ. අපේ ත්‍රිවිධ හමුදාවට හා පොලිස්‌ විශේෂ කාර්ය සිවිල් ආරක්‌ෂක හමුදාදී අංශවලට අයත් වූ දේශප්‍රේමීන්ට නව යටත් විජිතවාදී බලවතුන්ගේ ආධාර අනුබල ලැබූ දෙමළ ඊළාම් කොටි ත්‍රස්‌තවාදයට එරෙහිව අධිෂ්ඨාන සහගතව නැඟී සිටිමින් ජීවිත තිස්‌දහක්‌ තරම් සංඛ්‍යාවක්‌ පූජා කර දාසයදහස්‌ ගණනක්‌ තරුණ සෙබළුන් සදාකාලික ආබාධිතයන් වී රට එක්‌සේසත් කළ හැකිවී නම් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අප පසුබට විය යුත්තේ කුමකටද? පුංචි වියට්‌නාම් ජනතාවට ඇමරිකානු උත්තර බලවතාගේ හමුදාවන් පරදවා තම මවුබිමෙන් පලවා හරින්නට හැකිවී නම් ඇමරිකානු නව යටත් විජිතවාදී මූලස්‌ථානයට සැතපුම් සියයකට අඩු දුරකින් පිහිටි පුංචි කියුබාවේ ජනතාවට බටහිර ආධිපත්‍යය පරදවා ස්‌වෛරී, ස්‌වාධීන ජාතික ආරථිකයක්‌ මත පදනම් වූ සමාජවාදී මඟ ගත හැකිවීනම් නව යටත් විජිතවාදී ඇමරිකානු මූලස්‌ථානයේ සිට සැතපුම් දහස්‌ ගණනක්‌ දුරින් පිහිටි ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී අපට ඇමරිකානු තර්ජන පරාජය කළ හැකි බවට සැකයක්‌ නැත. අවශ්‍ය වන්නේ ලොවටම ආදර්ශයක්‌ වූ විමුක්‌තිකාමී අභිමානවත් ඉතිහාස උරුමය මත පදනම් වී නිවහල් අදීන ක්‍රියාමාර්ගයක සංවිධානාත්මකව ඉදිරියට යාමයි.

 අරන්තලාවේදී භික්‌ෂූන් වහන්සේලා තිස්‌ ගණනක්‌ කපා කොටා ඝාතනය කර ගර්භණි මවුවරුන් පවා ඝාතනය කරවා සිංහලයන් රජරටින් පලවා හැරීමේ කුරිරු ප්‍රයත්නයක යෙදුණු මිනීමරු ප්‍රභාකරන් මහත්මයකු ලෙස හඳුන්වන්නට තරම් ජාතිදොaහී වූ දේශපාලනඥයන් සිටියත් දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක අතිමහත් බහුතර ජනතාව ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහීන්ගේ අමන කතාවලින් සසල නොවී වඩාත් ධෛර්යවත්වනු නිසැකය. ඒ දේශෙද්‍රdaහී ජාතිෙද්‍රdaහී කතා අසන දේශප්‍රේමී ජාතිහිතෛෂී ශාසනමාමක ජනතාව සතුරු බලවේගයන් පරාජය කරන්නට එක හිතින් එකමුතුවනු ඒකාන්තය. මේ ලිපිය අවසන් කරන්නට "රත්නදීප ජන්මභූමි ලංකාදීප විජයභූමි යනුවෙන් ගැයෙන සමූහ ගායන ගීතයේ පදවැල් දෙක තුනක්‌ද මේ සමඟ ලියා දැක්‌විය යුතු බව මගේ විශ්වාසයයි. ඒ ගී පද වැල් මෙසේ වේ. 

 "මාණික්‍ය සේ පොළෝගැබේ නිධාන වී ඇත්තෙ ඒ අභීත දූපුතුන් ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ ජීවිතේ පුදා හෙළුE ලේ කඳයි."

 "ගංගා තරංග රාවදී රිදී වණින් පද්ම රේණුයෙන් සුගන්ධ වී රන්කරල් නමා නමා සිත් ප්‍රබෝධයෙන් පුරා එන්නෙ උන් හෙළුE ප්‍රාණ වායුවයි."

 ඉතිහාසගත ඒ කෝටි සංඛ්‍යාත වීරයන්ගේ ප්‍රාණ වායුව වත්මන් පරපුරේ අපේ සිත් සතන් පණගන්වන මහා බලවේගයක්‌ වනු ඒකාන්තය, නිසැකය. අධිරාජ්‍යවාදී වධක කඩුවට මුහුණදෙන මොහොතේ සතුරු හමුදා බලවතුන් පවා විශ්මයට පත් කරන අයුරින් තමමුවින් බුදු ගුණ ගාථා කියෑවෙද්දී එක පහරින් තම හිස සිඳින්නැයි වධකයාට පවා නියෝග කරන තරම් උදාර වූ කැප්පෙටිපොල ඇහැලේපොල වැනි උතුම් වීරයන් සිහිකරන ඒ උදාර වීරයන්ගේ ජීවිත පරිත්‍යාගයට දෙසිය වස පිරෙන මේ අවධියේ ජීවත්වන අප කැප්පෙටිපොල, පුරන්අප්පු මෙන් ආත්ම පූජාවේ මඟ ගන්නට අධිෂ්ඨාන සහගත විය යුතුය. ලොවටම ආදර්ශවත් වන තරම් උදාර වූ වසර දෙදහස්‌ ගණනක ඉතිහාසයෙන් පන්නරය ලැබූ අපේ ජයග්‍රහණය ඒකාන්තය, නිසැකය. 

 මාලේවන ධම්ම විජය හිමි (කලින් අනගාරික ධර්මසේකර තුමා)
http://divaina.com/sunday/index.php/visheshanga2/4297-2018-06-14-07-11-7

සිව් බුදුවරු වැඩම කළ මිහින්තලේ අනුහස්‌ - ලෝකයේ ඉපැරැණිම රෝහල ඉදිවුණේ මෙතැනයි...

අෂ්ටඵල බෝධීන් වහන්සේලාගේ පළමු පැළය රෝපණය කර ඇත්තේ මිහින්තලේ...

මිහින්තලේ මංසන්ධියේ ඉඳලා ඉන්දියාවට වැඩි දුරක්‌ නෑ

තුරු හිස්‌ තෙමන ඉදිකටු වැස්‌ස අවට සීත සළුවෙන් පොරවාගෙනය. තුරු, ගොමු අතරින් ඉගිලෙන සුළඟ ගත දැවටෙන විට සියොළඟම කිතිකැවිණි. විහඟුන්ගේ ගී නාදයට මුසු වූ ගහ කොළ නැළවෙන හඬ මගේ සිත ඒකාත්මික කිරීමට සමත් වූ බව සැබෑය. ගල් පඩි සිය ගණනක්‌ ඉහළට තරණය කළ ද ගතට කිසිදු විඩාවක්‌ නොදැනේ. අවට සොබාසිරිය සිත් පුරා විඳගනිමින්, දැන් අප මේ ගමන් කරමින් සිටින්නේ මෙරට බෞද්ධ සංස්‌කෘතියේ මහගෙදරටය. එනම් මිස්‌සක පව්වටය. මීට වසර දෙදහස්‌ තුන්සිය විසිහයකට පෙර පොසොන් පෝය දිනයේදී මිහිඳු හිමියන් සහ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන භික්‍ෂූන් ද සුමන සාමණේරයන් ද භණ්‌ඩුක උපාසක ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කළ අති උතුම් පුණ්‍ය භූමියටය. දඩ කෙළියේ නිරතව සිටි දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දහසක්‌ සේනාව පංචශීලයේ පිහිටුවමින් ධර්මය අවබෝධ කර දුන් පින්බිමටය.

හතළිස්‌දහසක සේනාවක්‌ ආයුධ බිම තබා පන්සිල් සමාදන් වූ ලෝකයේ ඇති එකම ස්‌ථානය මිහින්තලය පුද බිම පමණි. එමෙන්ම පංචශීලය පිහිටුවීම, පැවිදි කිරීම, උපසම්පදාව, ධර්ම දේශනාව යන සියලු පින්කම් එකම දිනයක, එකම ස්‌ථානයක මෙරට පළමු වරට සිදුකරනු ලැබුවේ ද මිස්‌සක පව්වේදීය. එදා මිහිඳු හිමියන් ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම දේවානම්පියතිස්‌ස රජුට දේශනා කළ චුල්ලහත්ථිපදෝපම සූත්‍ර දේශනාව අදට ද මිස්‌සක පව්වේ රැව් පිළිරැව් දෙන බව සැබෑය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩ සිටි 'මිහිඳු කුටිය' ඒ පුණ්‍ය භූමියේ අදට ද ජීවමානය. මිහින්තලා පුදබිමේ පිහිටි අෂ්ටඵල බෝධිය, විෂ්ණු දේවාලය, කටුසෑය ආශ්චර්ය පිරුණු සිද්ධස්‌ථානය. ආරාධනාගල, මිහිඳු සෑය, මහා සෑය, කණ්‌ඨක චෛත්‍යය, ගිරිභණ්‌ඩ සෑය, අම්බස්‌තල වටදාගෙය, ඇත් වෙහෙර, පෝය ගෙවල්, අටසැට ලෙන්, ධාතු මන්දිරය, මනිනාග මන්දිරය එම පින්බිමේ ඇති සෙසු පූජනීය ස්‌ථානය. මැද මළුව, දාන ශාලාව, සන්නිපාත ශාලාව, පොත්ගුල, රාජගිරි ලෙන නටබුන්ව පැවතිය ද බෞද්ධ බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන සිද්ධස්‌ථානය. එමෙන්ම එම පින්බිමේ ඇති සිංහ පොකුණ, කළුදිය පොකුණ, නාග පොකුණ තිඹිරි පොකුණ, අදට ද දිය පිරුණු විසල් පොකුණුය. මැද මළුවේ දකුණු පසින් වූ ගොඩනැඟිල්ල, මිහින්තලය ප්‍රධාන පියගැට පෙළ, පැරැණි රෝහල, සහ උප ග්‍රන්ථය 1, සෙල්ලිපි, පූර්ව බ්‍රාහ්මීය සෙල්ලිපි, මහාදාඨික මහානාගගේ ගිරිලිපිය, ෂඪ වැනි මිහිඳුගේ පුවරු ලිපි ද්වය, උප ග්‍රන්ථය 2 ද මිහින්තලේ පුද බිමේ ඇති ඓතිහාසික වස්‌තූන්ය. එහෙත් එම සිද්ධස්‌ථාන සහ ඉපරැණි නටබුන් ගැන බෞද්ධ සමාජයේ කතාබහට ලක්‌වන්නේ ඉතාම අඩුවෙනි. බොහෝ බෞද්ධයන්ට මිහින්තලය සිහිපත් වන්නේ පොසොන් පෝය කිට්‌ටු වන විට පමණි. එහෙයින් අපි මිහින්තලේ රජමහා විහාරාධිපති ශාස්‌ත්‍රපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් සහ මිහින්තලේ පුරාණ ගම්වැසියන් හමු වී මෙරට බෞද්ධාගමේ තිඹිරිගෙදර ඉතිහාසය සහ ආශ්චර්ය ගැන සාකච්ඡා කළෙමු. මේ පෙළගැසෙන්නේ මිහින්තලේ ආශ්චර්යය ගැන කියෑවෙන කතාවය...

"මිහිඳු හාමුදුරුවෝ හිතුමතේ මිහින්තලයට වැඩම කළා නොවේ. බුද්ධගයාවේ බුදුවරු පහළ වන්නා සේම ලක්‌දිව බුද්ධ ශාසනය පිහිටුවනු ලබන්නේ මෙරට කේන්ද්‍රස්‌ථානය වූ මිහින්තලයේදී. ඒ වගේම මේ කල්පයේ පහළ වූ සිව් බුදුවරු මිශ්‍රක පව්වට වැඩම කර ඇති බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා. සිව් බුදුවරු මිහින්තලයට වැඩම කළේ මේ බිමේ තියෙන ආශ්චර්යයට. අපි මිහින්තලේ ආශ්චර්යය ගැන කතා කරන්න ඕන ඒ ඉතිහාස කරුණුත් පාදක කරගෙනයි..." මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් අපේ කතාවට එසේ ප්‍රවේශයක්‌ ලබාගත්තහ.

"අනුරාධපුර අටමස්‌ථානය පිහිටුවන්න මිහිඳු මහරහතන්වහන්සේ දේවානම්පියතිස්‌ස රජුට උපදෙස්‌ දී ඇත්තේ මිශ්‍රක පව්වේ වැඩහිඳිමින්. අරිට්‌ඨ ඇමැති ඇතුළු ලාංකීය කුලදරුවන් හැට එක්‌දෙනකු සසුන්ගත කළේ මේ පින්බිමේදී. මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායමත්, සසුන්ගත කළ හැට එක්‌නමත් පළමු වස්‌ වැසීම සිදු කරන්නේ මිහින්තලා පින්බිමේ ඇති අටසැට ලෙන්වල. ඒ වගේම තිස්‌ස රජුගේ ඉල්ලීමක්‌ අනුව මෙරටට වැඩම වූ ධාතූන් වහන්සේලා සොළොස්‌මස්‌ථානයන්වලට බෙදා දී ඇත්තේ මේ පින්බිමේදී. (දළදා ධාතූන් වහන්සේ හැර) මිනිස්‌සු ගස්‌, ගල්වලට වැඳුම් පිදුම් කරනවා දැකලා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක්‌ වැඩමවීමට මිහිඳු මහරහතන් වහන්සේට අදහස පහළ වෙන්නේ මේ පින්බිමේදී. ඒ අනුව මිහිඳු හාමුදුරුවෝ ඇතුළු ධර්ම දූත කණ්‌ඩායම වැඩම කරලා මාස හයක්‌ සම්පූර්ණ වෙනකොට සංඝමිත්තා තෙරණිය, කුල දහඅටක සේනාවක්‌ සමඟ ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවක්‌ මෙරටට වැඩමවාගෙන පැමිණියා. සංඝමිත්තා තෙරණිය වැඩම කිරීමත් සමඟ භික්‍ෂුණි ශාසනය ආරම්භ වුණා. ශාරීරික, උද්දේශික, පාරිභෝගික සියලු වස්‌තූන් මිනිසුන්ගේ වන්දනාවට පාත්‍ර කෙරුණා. ඒ සමඟ තමයි මෙරට ආගම, දහම, සංස්‌කෘතිය සියලු සකලාංග බිහිවුණේ. හිත් පිත් නැති කළු ගල්වලට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්‌ඛා සතර බ්‍රහ්ම විහරණ ඔබ්බලා ප්‍රතිමා වහන්සේලා නිර්මාණය කෙරුණේ. මෙරට බෞද්ධ ජනතාව තුළ බෝසත් ගතිගුණ ඇති කළේ මිහිඳු හාමුදුරුවො. ඒ උත්තම හිමි වැඩ සිටි මිහිඳු කුටිය අදටත් ලෝක බෞද්ධයාගේ වන්දනාවට පාත්‍ර වෙනවා. අෂ්ඨඵල බෝධීන් වහන්සේ අදටත් විරාජමානයි. ශ්‍රී මහා බෝධියෙන් පැළ වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේලාගෙන් පළමු පැළය රෝපණය කරලා තියෙන්නේ මිහින්තලේ පූජා භූමියේ..."

"මිහිඳු හිමියන්ගේ කාලයේ නිර්මාණය කරපු මිහින්තලේ ඉස්‌පිරිතාලය ලෝකයේ පැරැණිම රෝහල. ඒ රෝහල් භූමියෙන් සොයාගත්ත මෙවලම් කොහෙන් ගෙනද්ද කියලා පුරාවිද්‍යා නිලධාරීන්වත් තවම නිගමනය කරලා නෑ. රෝහලේ තිබුණු ශල්‍ය උපකරණ වෙනත් ග්‍රහලෝකවලින් ගෙනත් ඇති බවට ජනප්‍රවාද පවතිනවා. ඒවා මහා විස්‌මිත දේවල්. ඒ වගේම තමයි මිහින්තලේ හතරමංහන්දිය. භූගෝලීය පිහිටීමට අනුව මිහින්තලේ හතරමං හන්දියේ ඉඳලා ඉන්දියාවට විශාල දුරක්‌ නෑ. ඒ වගේම මිහින්තලේ හන්දියේ ඉඳලා මෙරට සෑම දිසාවකටම යන්න පුළුවන්. මිහින්තලා පුද බිම කියන්නේ උත්තම පින්බිමක්‌. ඒ බිමේ තියෙන සෑම සිද්ධස්‌ථානයක්‌ම අනුහස්‌ පිරිලා. නටබුන් ලෙස ශේෂ වූ සිද්ධස්‌ථානවල පවා හරි පුදුම දේවල් වෙනවා..."

"මිහින්තලේ උඩමළුවේ, අෂ්ටඵල බෝධිය ළඟ විෂ්ණු දේවාලය අසල සුනඛයන්ට කැත කරන්න බෑ. වැරැදිලාවත් සුනඛයෙක්‌ හිටියොත් මහා රෑට කෑගහගෙන දුවනවා. ආයෙත් ඒ සතා පේන්නවත් එන්නේ නෑ. සමහර දවස්‌වලට උදේට අෂ්ටඵල බෝධිය වටා අතුගාන්න දෙයක්‌ නෑ. පොළොව පිරිමැද්ද ඉඳල් පාරවලුත් තියෙනවා. ඒත් පිරිමැදපු කෙනෙක්‌ නෑ. ඒ වගේම රෑ නවයට, දහයට දේවතා එළි පාත් වෙනවා නිතරම අපි දකිනවා. සමහර දවස්‌වලට රෑට විදේශිකයන් ඇවිත් ඡායාරූප ගන්නකොට ඒ පින්තූරවල එළි තියෙනවා. ඒවා දැකලා ඒ මිනිස්‌සුන්ටත් පුදුමයි. එක්‌දහස්‌ නවසිය පනස්‌ ගණන්වල මහා සෑයේ බුදුරැස්‌ විහිඳිලා තියෙනවා. ඉඳ හිට අෂ්ටඵල බෝධිය ළඟට විශාල සුදු නායෙක්‌ ඇවිත් පෙනිලා යනවා. කැලෑව ඇතුළෙන් මහා රෑට පිරිත් හඬ, හේවිසි හඬ ඇහෙනවා. රෑට සුදු ඇඳ ගත්තු අය ඇවිත් බෝධිය ළඟ භාවනා කරනවා පේනවා. ළඟට යනකොට කවුරුවත් නෑ. මස්‌ මාංශවලින් වැළකිලා බෝධීන් වහන්සේට පුද සත්කාර කරගෙන ඉන්න අයට ඔය දේවල් පේනවා. අපි දවසට හතර වරුවක්‌ තේවාව කරනවා. උදේ පාන්දර පහට, හතට බුද්ධ පූජාව, දවල් බුද්ධ පූජාව, හවස ගිලන්පස පූජාව කරනවා. සෙනසුරාදා, බදාදා දවස්‌ දෙකේ විෂ්ණු පූජාව පවත්වනවා..."

"විෂ්ණු දේවාලයත් අනුහස්‌ පිරුණු තැනක්‌. දවසක්‌ අපේ ප්‍රධාන දායක මහත්මයකුගේ කිරි හරක්‌ කිහිපදෙනෙක්‌ හොරකම් කරගෙන ගිහින්. හොරකම කරපු පුද්ගලයාව හොයාගෙන ගිහින් අපි කිව්වා පොලිසී ගානේ යන්නේ නෑ, අපිට හරක්‌ ටික දෙන්න කියලා. මිනිහා හොරකම් කළේ නෑ කියලා පරසක්‌වල ගැහුවා. ඊට පස්‌සේ මම කිව්වා මට කරන්න දෙයක්‌ නෑ, මේ මහත්තයා විෂ්ණු දේවාලයට ගිහින් පලි ගහයි කියලා. මම කිව්වා වගේම හරක්‌ අයිතිකරු විෂ්ණු දෙවියන් ඉදිරියට ගිහින් නඩුව කිව්වා. එදා රෑ දොළහ වෙනකොට කිහිපදෙනෙක්‌ හරක්‌ හොරකම් කරපු පුද්ගලයාව උස්‌සාගෙන පන්සලට ආවා. අත, පය පණ නෑ. අදටත් ඒ මනුස්‌සයාගේ අත, පය පණ නෑ. ඒ වගේ සිද්ධි අනන්තයි. විෂ්ණු දේවාලයට ගිහින් දුක කියලා බාරයක්‌ වුණොත් පිහිට අනිවාර්යයි. කටුසෑයෙත් එහෙමයි. නිරන්තරයෙන්ම අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙන තැනක්‌. කඩවර, සහ බහිරව හත්කට්‌ටුව හොඳට සහ නරකට දෙකටම ක්‍රියාත්මක වෙනවා. නරක පැත්තේ අත්දැකීම් මට නෑ. හොඳ පැත්තේ අත්දැකීම් මටත් තියෙනවා. සඵල නොවී කල්මැරෙන බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා දෙන්න කියලා කටුසෑයට බාරයක්‌ වුණහම සතියෙන්, දෙකෙන් ප්‍රතිඵල ලැබිලා තියෙනවා. අත්දුටුයි, ප්‍රත්‍යක්‍ෂයි. සෙනසුරාදා, බදාදාට කටුසෑය ළඟ ඉඩක්‌ නෑ සෙනඟ පිරිලා. ඒ සේරම එන්නේ බාර හාර වෙන්න. බලාපොරොත්තු සඵල වෙච්ච අය බාර ඔප්පු කරන්න. ඒ වගේම තමයි අෂ්ටඵල බෝධිය ළඟට ඇවිත් දුකක්‌, කරදරයක්‌ කියලා පිහිටක්‌ ප්‍රාර්ථනා කළොත් අනිවාර්යයෙන්ම ශාන්තියක්‌ අත් වෙනවා. බාබාලා පරක්‌කු අම්මලා ඇවිත් දින හතක්‌ බෝධී පූජා පැවැත්තුවම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා කියලා මේ ගම්වල දායකයෝ මාත් එක්‌ක කියලා තියෙනවා. එහෙම පූජා පවත්වලා ප්‍රතිඵල ලබාගත්ත අය මටත් ඇවිත් පිං දීලා යනවා. ඒ දේවල් මිහින්තලේ පුරාණ ගම්වාසීන්ගෙන් ඇහුවම මට වඩා හොඳට කියයි..." අපේ කතාව වෙනත් මානයකට යොමු කරමින් ධම්මරතන හාමුදුරුවෝ නිහඬ වූහ.

අප අතර නිහඬතාවකි. අම්බස්‌තලය පීරාගෙන හමන සුළඟේ ඝෝෂාව නොඇසෙන්නට මැද මළුවේ කිසිදු හඬක්‌ නොනැඟෙයි. මගේ දෙනෙත් අම්බස්‌තලය සිසාරා දිවෙයි. නිල්ලෙන් දිළෙන වන පෙත මැද අඹ පිරුණු ගස්‌ තවමත් දෙනෙත්හි පැටලේ. තණ උලා කන මුව රංචු ඇස නොගැටුණාම නොවේ. මේ බිම ජාතියේ පිනටම පහළ වූ පින්බිමකි. එදා රට පාලනය කළ ඉංග්‍රීසිහු පවා අම්බස්‌තලයේ ජීවත් වන සතුන් මැරීම තහනම් කරමින් පූජා භූමිය පුරා තැන, තැන දැන්වීම් ප්‍රසිද්ධ කරමින් මේ පින්බිමට වැඳුම් පිදුම් කළහ. එහෙත් රටේ කරුමයකට අපේ නායකයන් මෙරට බෞද්ධ ආගමේ මහගෙදරට පැමිණෙන්නේ පොසොන් උත්සවයේ ආලෝක පූජාව විවෘත කිරීමට පමණි. මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හාමුදුරුවෝ පවසන පරිදි මිහින්තලේ පුදබිමේ අඩු පාඩු ගොඩකි. එමෙන්ම අපේ කාලේ මස්‌ වැද්දෝ අම්බස්‌තලයේ ජීවත් වන මුවන් මරාගෙන කති. එවැනි පාපකාරි තිරිසනුන්ට ඒ පව් මිහිපිටදීම පඩිසම් දෙන්නේය. ඒ බව අපිට කීවේ අත්දැකීම් සහිත ප්‍රදේශවාසියෙකි. ඒ කතාව ඇතුළුව මිහින්තලය පූජා භූමියේ අනුහස්‌ ලබන සතියේ ද පෙළගැස්‌වීමට අපගේ කැමත්තය...

තරංග රත්නවීර, මිහින්තලේ රංගචතූ
http://divaina.com/sunday/index.php/visheshanga1/4350-2018-06-15-05-44-30

Sunday, December 3, 2017

ශ්‍රී ලංකාවේ ශ්‍රී පා සටහන් හතරක්‌ තිබේද?

2008 දෙසැම්බර් දොළහට යෙදුණු උඳුවප් පුර පසළොස්‌වක පෝයෙන් මෙවර ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ විය. අවාරය හය මාසයක්‌ ගෙවී රත්නපුර ගල්පොත්තාවල රජමහා විහාරයෙන් රිය පෙරහරින් නල්ලතන්නියට වැඩම වූ සමන් දේව රූපය සුමන කූඨ හෙවත් ශ්‍රීපාද කඳුවැටියට වැඩමවීමෙන් ශ්‍රී පාද වන්දනා සමය ඇරඹෙයි. එදා පාරිසරික හේතු මත අවාරය දෙවියන්ට ශ්‍රී පාදය වෙන් වූ කාලය ලෙස බැතිමත්හු සැලකූහ. තද වර්ෂාව, දැඩි සුළඟ ඝන මීදුම සැර අකුණු, ගස්‌ කඩා වැටීම්, ගල් ගැල වී පෙරළීම් පියගැට මාර්ග වසා ගෙන එන බොර වතුර කඳන්, තද පාළුව, දිවියන් ඇතුන් එළියට බැසීම වැනි හේතු මත අවාරය එදා උදා විය.

 බුදුහිමි මහියංගණයට වැඩි විට බණ අසා සෝවාන් වූ යක්‍ෂ ගෝත්‍රික ලාංකික ප්‍රාදේශීය අධිපතියෙකු වූ සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් බුදුහිමි තුන්වැනිවර ලංකාවට වැඩි විට සමනල කඳු මත ශ්‍රී පාද ලකුණ පිහිටුවා ඇත. ලංකාවේ උස අතින් පස්‌වැනි ස්‌ථානය දරන සමනල කඳු ගැටය අඩි 7360 උසය. මෙය නම් රැසකින් හැඳින්වෙයි. ශ්‍රී පාදය සමන්ත කූඨ, සුමනගිරි සුමන කූඨ, ලංකා පබ්බත, රෝහණ පබ්බත, ශිවන් ඔලි පාදම්, බබාද මලෙයි, පීකෝද ඇඩම්, ඇඩම්ස්‌ පීක්‌ ඉන් කීපයකි. සමන් දෙවියන්ගේ බිසව හා පුතෙකු ගැන සීතාවක කල ලියවුණු සැවුල් සංදේශය කියන අතර "ප්‍රපංච සුදනී" "පාලි ග්‍රන්ථයේ සුමන දෙවිඳුගේ "කාලි" නමැති දුව ගැන කියයි. එතුමා ශ්‍රී පාද අඩවියට අධිගෘහීත අතර වාහනය සුදු ඇතෙකි. සමන් දෙවියන් යනු ආටානාටිය සූත්‍රයේ එන අටවිසි යක්‍ෂ සේනාධිපතියෙකු වූ සුමන විය හැක. එතුමාගේ වැඩිමහල් සහෝදරිය වූ "මහලොකු" තවමත් යක්‌ෂ පිරිවර ඇතිව යක්‍ෂ නායිකාවක්‌ ලෙස මහියංගණ අඩවියේ පුද ලබයි. සමන් දෙවියන් කවුද? යනු අදහස්‌ කීපයකි.

 මහියංගණය අඩවියේ විසූ යක්‍ෂ ගෝත්‍රික ප්‍රදේශ අධිපතියෙකි. මහලොකු යක්‍ෂ නායිකාව තාම මහියංගණය පුදයි.

 දඹදිව රජගහනුවර සිට බුදුහිමි සමඟ දෙවැනි වර කිරිපලු රුකක්‌ රැගෙන වැඩි සමිද්ධි සුමනයි.

 "රාමායණය" කතාවේ එන රාමාගේ සොහොයුරු ලක්‌ෂ්මණයි. පසුකල ඇති වූ මේ අදහස වැරදිය.

 මහායාන බෝධිසත්වයකු වූ සමන්තභද්‍රය. පොතාල කඳුමුදුනේ වසන සමන්ත භද්‍ර කහපාටය. සුදු ඇතා වාහනයයි. නළලේ ධ්‍යානි බුදුරුවක්‌ දරයි. සමන් යනු වේද ග්‍රන්ථවල එන යම දෙවි බව "ද ගෝඩ් ඔෆ් ඇඩම්ස්‌ පීක්‌" ඉංග්‍රීසි ග්‍රන්ථයේදී මහාචාර්ය පරණවිතාන කියයි. යම කරුණාවට අධිපතිය. (පිතුරාජ නමින් හැඳින්වූ වළගම්බා රජු යම රජු මෙන් දේවත්වය ආරූඪ කර ගත් බව පරණවිතාන මහතා කියයි.)

 සමනල කඳු මත සිව් බුදුවරුන්ගේ පා සටහන්

 පොළොන්නරුවේ පළමු විජයබාහු රජුගේ (ක්‍රි. ව. 1055-1111) අඹගමුව ශිලා ලිපිය අනුව මේ මහාභද්‍රකල්පයේ පහළ වූ කකුසඳ, කෝනාගම, කාශ්‍යප හා ගෞතම යන සිව් බුදුවරුන්ගේ පා සටහන් ශ්‍රී පාද කඳු මුදුන මත ඇත.

 වෙනත් සිරිපතුල්

 යන්නම්මදාය නදියා පුලිනේචතීරේ...." ප්‍රකට ගාථාවෙන් බෞද්ධ ලෝකයේ ශ්‍රී පාද සටහන් ඇති ස්‌ථාන ගැන කියවෙයි. එහි යෝනකපුර යනු සියමේ සච්චබද්ධ පර්වතය බව සෙනරත් පරණවිතාන මහතා කියයි. ඒ මක්‌කම නොවේ. දඹදිව නර්මදා නදී තීරයේ එක්‌ සිරිපතුලක්‌ ඇත.

 ශ්‍රී පාදයේ සිරි පතුල මුල්කල මුල්හීනයානයේ නොසලකා හැර ඇත

 මහාවිහාරය මුල්කර ගත් ථෙරවාදීන් ශ්‍රී පාදය පිහිටුවීම දළදා වැඩමවීම වැනි ආමිෂ පූජා ගැන වැඩි සැලකිල්ලක්‌ දක්‌වා නැත. පාලි සමන්ත පාසාදිකාව අන් සියලු ආගමික තොරතුරු වාර්තා කළත් සමනල මත ශ්‍රී පාද පිහිටුවීම ගැන නොකියයි. මහාචාර්ය මලලසේකරගේ "ඩික්‌ෂනරි ඔෆ් පාලි ප්‍රෝපනවුන්ස්‌" ග්‍රන්ථය අනුව ශ්‍රී පාදය මත සමනල පිහිටුවීම සැක කරයි. හීනයාන හෙවත් ථෙරවාදී මූලාශ්‍රවල සමනල මත ශ්‍රී පාද පිහිටුවීම හා ඒ ගැන විස්‌තර ඉතා අඩු ලෙස සටහන් වෙයි. ඒ ගැන වැඩි උනන්දුවක්‌ දක්‌වා ඇත්තේ මහායාන බෞද්ධයන්ය. හේතුව ඔවුන් ආමිෂ පූජා හා භක්‌ති වාදය ගැන වැඩි සැලකිල්ලක්‌ දැක්‌වීමයි.

 ශ්‍රී පාද අඩවිය අවට පැරැණිම තොරතුරු

 මහාචාර්ය දැරණියගල අනුව ලංකාවේ ශිලා යුගය රත්නපුර හා බලංගොඩ යනුවෙන් යුග දෙකකට බෙදෙයි. ඉන් වඩා පැරණි රත්නපුර සංස්‌කෘතියයි. ඉන්පසු බලංගොඩ සංස්‌කෘතියට අයත් "හෝමෝසෙපියන් බලංගොඩෙන් සිස්‌" මානවයා ජීවත් විය. එකල ඉන්දියාව හා ලංකාව එකම බිමක්‌ විය. මේ මානවයන්ගේ ඇටසැකිලි 55 පමණ දැනට ලැබී ඇත. අවුරුදු 125,000 තරම් ඈතට අපේ ශිලා යුගය විහිද යයි. අද සිටින වැද්දන් පැවත එන්නේ මේ බලංගොඩ මානවයාගෙනි. ශ්‍රී පාද අඩවිය අවට රත්නපුර හා බලංගොඩ ශිලා යුග පැතිර තිබුණි. මහාවංශය අනුව කුවේණි මැරුම් කෑ පසු ඇගේ දරු දෙදෙනා වූ ජීවහත්ථ හා දිසාල පලා ගියේ සමනල අඩවියටයි. ඔවුන් දෙදෙනාගෙන් පුලින්ද හෙවත් වැද්දන් පැතිර එන බව මහාවංශය කියයි. (එහෙත් වැද්දන් ඊට වඩා පැරණිය) මුහුදේ ඈතට සමනල කන්ද දිස්‌වන බැවින් ලංකාවට ආ මුල්ම ආර්ය කණ්‌ඩායම් ශ්‍රී පාදය දැන සිටි බව පෙනෙයි. මහායාන මූලාශ්‍ර අනුව ලංකා හෙවත් ශ්‍රී පාද කඳු මුදුනේදී බුදුහිමි ලංකාවතාර සූත්‍රය දේශනා කර ඇත. ශ්‍රී පාදය අවට විහිදී ඇති ගල් ගුහා මුල් කාලීන වැද්දන් ජීවත් වූ අතර පසුව ඒවා මුල්ම ලාංකික බෞද්ධ භික්‌ෂූන්ගේ වාසස්‌ථාන විය. අනුරාධපුර යුගයේ ථෙරවාදීන් ශ්‍රී පාදය ගැන දක්‌වා ඇති සැලකිල්ල ඉතා අඩුය.

 අනුරාධපුර ශ්‍රී පාදය

 චූලවංශය හා මහාබෝධිවංශ ගැටපදය අනුරාධපුර තිබූ ශ්‍රී පාදයක්‌ ගැන තොරතුරු කියයි. 1961 විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ "චින්තන" සඟරාවට ලිපියක්‌ සපයන මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා අනුරාධපුර ථූපාරාමය අසල අනුරාධපුර ශ්‍රී පාද ලාංඡනය පිහිටි බව කියයි. එය ආගමික ගොඩනැඟිල්ලකට යට වීමෙන් පසුව අප්‍රකට විය.

 අභයගිරිය ශ්‍රී පාදය

 අභයගිරිය විහාරය ගොඩනඟා ඇත්තේ බුදු සිරි පතුලක්‌ මත යෑයි මහායානයට බර අභයගිරියේ විශ්වාසය විය. ථෙරවාදී භික්‌ෂූණී වංශකතාවක්‌ වූ දීපවංශයද අභයගිරි සිරි පතුලක්‌ ගැන කියයි. ලංකාවට පැමිණි චීන ජාතික පාහියන් හිමි කියන පරිදි සිරිපතුල පිහිටා ඇති අභයගිරිය විහාරය අසල භික්‌ෂූන් පන්දාහක්‌ වාසය කරන බව චීන ජාතික පාහියන් හිමි තම ගමන් වාර්තාවේ කියයි.

 කැලණිය සිරිපතුල

 තුන්වැනි වර මණිඅක්‌ත නා රජුගේ ආරාධනාවෙන් බුදුහිමි ලංකාවට වැඩිවිට මණිඅක්‌ත නා රජුට වැඳ පුදා ගැනීමට බුදුහිමි කැලණි ගඟ යට සිරිපතුලක්‌ පිහිටු වූ බව පොළොන්නරු කල ගුරුළුගෝමීන් ලියූ අමාවතුර හා කෝට්‌ටේ කල ධම්මදින්නාචාර්ය විමලකිත්ති හිමි ලියූ " සධර්ම රත්නාකරය" කියයි "අමාවතුර" හා "සධර්මරත්නාකරය " අනුව තුන්වැනි වර ලංකාවට වැඩි බුදුහිමි නාගයින් සඳහා කැලණි ගඟ යට සිරිපතුල පිහිටුවා ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන 
http://divaina.com/sunday/index.php/visheshanga2/1203-2017-12-01-09-49-60

මහනුවර පැරණි රජ මාළිගා සංකීර්ණයේ කතාව

ඕලන්ද ජාතිකයකු හා 1815 අඳින ලද උඩරට නගරය හා රජ මාළිගාවේ සිතියම්ද උදව් විය. රොබට්‌ නොක්‌ස්‌ පරිදි උඩරට රජුට සෙංකඩවල හැර මැද මහනුවර, අළුත්නුවර, නිල්ලඹ, හඟුරන්කෙත, ගලඋඩ යන අතුරු අගනුවරවල් පහක්‌ විය. ඩොයිලි පරිදි උඩගම්පහ හා පල්ලේගම්පහ අදිකාරම් දෙදෙනාට මහනුවර නගරයේ ආරක්‍ෂාව භාර විය. දළදා මැඳුර, රජ මැඳුර හැර ප්‍රධානීන්ගේ නිවාස වැදගත් විය. සාමාන්‍ය ජන නිවාස පැල්පත් විය. මහනුවර ජනගහනය 3000 පමණ විය.

1. දළදා මැඳුර - දැනට ඇති දළදා මැඳුර දෙවැනි විමලධර්මසූරිය (ක්‍රි.ව.1687-1707) තුන්මහල් කර හැදූ මැඳුර නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි.ව. 1707-1739) විසින් දෙමහල් කොට සෑදුවකි. 1765 ඕලන්ද ආක්‍රමණයට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747-1782) දලදා මැඳුර අලුත්වැඩියා කළේය. දළදා මැඳුරට පත්තිරිප්පුව එකතු කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුය. (ක්‍රි.ව. 1798-1815) දෙහිගම නිළමේගේ සැලැස්‌ම අනුව දේවේන්ද්‍ර මූලාචාරියා පත්තිරිප්පුව ඉදිකළේය. රජු මහජනයා ඇමතීම සංදර්ශන නැරඹීම, උත්සව බැලීම කළේ මෙහි සිටයි. දළදා මැඳුර වටා වලාකුළු බැම්ම ඇත.

අටවන පත්තිරිප්පුව - දළදා වැඩම වනවිට පත්තිරිප්පුවට වඩා පහතින් තිබූ අටවන පත්තිරිප්පුවේ සිට රජු හා බිසෝවරු පෙරහැර බැලූහ. අද ඒ නැත.

රජ මැඳුර - රජමැඳුර යාවම දළදා මැඳුර සෑදීම අනුරාධපුර කල සිටම සිදුවිය. මහනුවර නගරයේ නැගෙනහිර රජමැඳුර ඇත. ඉංග්‍රීසි ජාතික පයිබස්‌ පරිදි රජමාළිගය උදාරය. පෙනුම ප්‍රෙෘඪය. කුටි රැසක්‌ විය. ඒ සංකීර්ණය තුළ උස තාප්පයකින් වටකළ උයනක්‌ද විය. ඩේවි පරිදි රජමැඳුර යාර 200 තරම් දිගට ඇත. දළදා මැඳුර හා රජමැඳුරට යාමට දිය අගල හරහා උස්‌පහත් කළ හැකි පාලමක්‌ විය. රජමැඳුරට ඉහළින් හා වටේට මිනිසුන්ට තහනම්වූ උඩවත්ත කැලේ විය. උඩවත්තකැලේ එදා බහිරවකන්ද හා හන්තාන, ගන්නෝරුව දිවිදොස්‌ කන්ද එකම කැලෑවක්‌ ලෙස පැතිරී තිබුණි. ලේවැල්ල තොටින් ඇරැඹුණු පල්ලේකැලේ කැලෑව අද රන්දෙනිගල ජලාශය දක්‌වා විය.

එදා රජමැඳුරේ අංග, ගොඩනැඟිලි මණ්‌ඩප 18 විය. මේ 18 අද 5 වඩා ඉතිරි වී නැත. රජ මැඳුර, මඟුල් මඩුව, මැදවාහළ, පල්ලේවාහළ, උල්පැන්ගෙය, වැවමැද ජයතිලක මණ්‌ඩපය, උඩරට කලා සංගමය හා අනගාරික ධර්මපාල මාවතේ කැන්ඩි ක්‌ලබ් ගොඩනැඟිල්ල දක්‌වා රාජ මාළිගා ගොඩනැඟිලි විය. රජමාළිගා ඉතිරි ගොඩනැඟිල්ල 1966 පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කටු ගෙයක්‌ විය. මහනුවර රාජ්‍යයේ මුල සිටම මේ ස්‌ථානයේ රජමැඳුර විය. පෘතුගීසී ඕලන්ද හා 1803 ඉංග්‍රීසීන් ඒ ගිනිතැබීම නිසා දැනට ඉතිරිව ඇති රජ මාළිගා මන්දිර ශාලාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අළුතින් ඉදිකර ඉතිරිව තිබූ ඒවා අළුත්වැඩියා කළ බව හැඟෙයි. අද ඉතිරි ගොඩනැඟිල්ලට නැඟීමට පියගැට පෙළකි. ප්‍රධාන ශාලාව අඩි 140 තරම් දිගය. අඩි 50 තරම් පළලය. බිත්තියේ ඉදිරිපස දොර අසළ හංස, සිංහ හා නෙළුම් මල් මෝස්‌තර තිබී මතුකර ඇත. ප්‍රධාන උළුවස්‌ස, දොර කැටයම් කර ඇත. ප්‍රධාන දොර අඩි 8 ක්‌ තරම් උසය. 6 තරම පළලය. පිටුපස දිගටම පටු බරාඳයකි. අඩි 40Ü15 ප්‍රධාන කාමර 3 හා කුඩා කාමර 3 ක්‌ එහි තිබී ඇත. රජ මැඳුරේ ඉහළ තට්‌ටුවක්‌ විය. දැනට ඉතිරි ශාලාව ඇතුළතින් උඩට නැගීමට තරප්පු පෙළක්‌ද පිටතින් නැගීමට පියගැටපෙළක්‌ තිබුණු බව පෙනෙයි. පිටත තිබූ පියගැට දෙකක්‌ තවම ඉතිරි වී ඇති බව සංස්‌කෘතික කැණීම් බාරව සිටි පී, බී. මණ්‌ඩාවල මහතා කියයි. දෙමහල් ගොඩනැඟිල්ල, වහළ පෙති උළු වසා තිබුණි. රජ මැඳුර හා දළදා මැඳුර ආරක්‍ෂාවට පවුර, දිය අගල හා මඩ අඟල විය. ගොඩ වී පස්‌ පිරී තිබූ දියඅඟළ 1947-50 අතර පාදා සැකසුවේ පරණවිතාන මහතා ය. රජමැඳුර පසුකර විෂ්ණු දේවාලය දක්‌වා දියඅගල මතුකිරීම 1963 පසු සිදුවිය. දියඅගල එදා වර්තමාන ජනාධිපති මන්දිරය වටා ත්‍රිකුණාමලය වීදියේ මැද ටි්‍රනිටි විදුහල අවට තිබූ බොර වැව දක්‌වා විහිදී තිබුණි. මඩ අගල අඩි 20 පළල විය. දිය අගලේ එදා නෙළුම්, ඕලු ගහණ විය. දළදා මැඳුර, රජමැඳුරට ඇතුළුවීමට උස්‌ පහත් කළ හැකි පාලමක්‌ විය. ඒ අසල දැවැන්ත නුග ගසක්‌ විය. කුංකුණාවේ හිමිගේ වස්‌ කවියකින් මේ නුගගස ගැළවී පාවී ගොස්‌ බෝගම්බර වැවට වැටුණු බව එයි.

ඕලන්දයින් - ඉංග්‍රීසීන් රජමැඳුර ගිනි තැබීම

ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු අඳුරු කුඩා ළැගුම් ගෙවල් හා කුටි කඩා දැමීම (මේ බව ඩේවි කියයි) ජෝන් ඩොයිලි හා ඉන්පසු ඒජන්තවරුන් පදිංචියේදී පැරැණි ගොඩනැඟිලි කඩා වෙනස්‌කිරීම හා 1875 හැත්වැනි එඩ්වඩ් කුමරුගේ ලංකා ගමනයට මහනුවර වෙනස්‌කම් රැසක්‌ කිරීම නිසා රජගෙදර හා පරිවාර ගොඩනැඟිලි රැසක්‌ විනාශ විය.

4. වීදි - මධ්‍ය ලංකා පුරාවෘත්ති ග්‍රන්ථය මහනුවර එදා වීදි 19 දක්‌වයි. දළදා වීදිය, කවිකාර මඩුව සිටි කවිකාර වීදිය - විෂ්ණු දේවාලය තිබූ වෛකුණ්‌ඨ වීදිය - රිදී වීදිය - එදා රජුගේ ඥතීන් විසූ අෂ්ටවංක හා කුඩාරුප්ප වීදි (වර්තමාන අනගාරික ධර්මපාල මාවත) ඉන් කීපයකි.

5. වාහල්කඩ - එදා වාහල්කඩ 9 විය. මහවාහල්කඩ පියගැට 16 නැග රජමැඳුර හා දළදා මැඳුරට ඇතුළු විය යුතුය. කෝරා - මෝහන - පෑතැටි තවත් වාහල්කඩ කීපයකි. පෑතැටි වාහල්කඩ වේලාව නිවේදනය කළ හැකිවිය.

6. මණ්‌ඩප්ප - මණ්‌ඩප හෙවත් ප්‍රධාන ගොඩනැඟිලි 9 විය. මඟුල් මඩුව - දකින මණ්‌ඩපය, ශාන්ති මණ්‌ඩපය - රන් ආයුධ මණ්‌ඩපය, සුපන් මණ්‌ඩපය ඉන් කීපයකි.

7. මහවාසල - රජ වාසළ තුළ මැඳුර මහවාසල නම් විය. එහි රජු සැතපෙන ගෙය, සළු මණ්‌ඩපය, බිසෝ කුටි, බිහි කුටි, බේත් ගබඩා, විවිධ කුටි විය.

8. මැදවාහළ - රජුගේ කිට්‌ටුම ඥතීන් විසූ මැඳුරය. වෙනස්‌කම් සහිතව දැනට ලෝක උරුම - මහනුවර නගර කාර්යාලය එහි ඇත. මැද මිදුල ඇත.

9. පල්ලේවාහළ - එදා රාජකීය අන්ත(පුරය පල්ලේවාහළ විය. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එන විට මෙහි වූ කැටයම් - ලී කණු 32 ගළවා ඉන් කොටසක්‌ මඟුල් මඩුව දිගු කිරීමට යොදා ලී කණු තිබූ ස්‌ථානවල ගඩොල් කුළුණු ඉදිකර ඇත. මැද මිදුල ඇත. අද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ කටුගේ මෙහි ඇත.

10. මඟුල් මඩුව - රාජාධිරාජසිංහ රජු දේවේන්ද්‍ර ලවා අරඹා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල නිමවිය. මුල් මඟුල් මඩුව මෙහිම විය. විසිතුරු ලී කැටයම් කණු ඇත. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු කල ඇමැති රැස්‌වීම් විශේෂ රජකීය උත්සව, මහනඩුව නම් ඉහළම උසාවිය මෙහි විය. ඩේවි පරිදි රජු මද අඳුරේ පහන් එළිය හා සුවඳ දුම් මැද තිර 7 මුවා වී මෙහිදී විදේශ දූථයන් හමුවිය. මුල් ගොඩනැඟිල්ල අඩි 59x55 විය. 1820 අවට මේ ක්‍රිස්‌තු පල්ලිය ලෙස යොදාගෙන ඇත. 1875 හත්වැනි එඩ්වඩ් කුමරු එනවිට වටා වූ කෙටි බිත්ති කඩා තවත් අඩි 31 දිගුකර ඇත. පේළි 4 කණු පේළි 12 පැරැණිය. 4 පේළි 3 අළුතින් 1875 සිටුවා ඇත. මඟුල් මඩුවේදී 1815 ගිවිසුම අත්සන් කළේය. මෙයට නැගීමට දෙපැත්තෙන් තිබූ පියගැටපේළි දෙකක්‌ කැණීම්වලදී මතුවිය. මඟුල් මඩුව දෙපස එදා තිබූ ශාන්ති මණ්‌ඩපය හා දකින මණ්‌ඩපය අද වැනසී ඇත. ශාන්ති මණ්‌පය රජුට යාගහෝම ශාන්ති කළ ස්‌ථානයයි. රජු විදේශීය තානාපතීන් හමුවූයේ දකින මණ්‌ඩපයේදීය. පාලි සිරිරාම සංදේශය - කිරල සංදේශය මේ වර්ණනා කරයි.

11. උඩ ගබඩාව - රජුගේ පෞද්ගලික බඩු ගබඩාව විය.

12. අරමුදලේ ගබඩාව - රාජකීය ප්‍රධාන ගබඩාවයි

13. කිරිමුහුද හා වැව් - 1815 වන විට අඩු ලෙස වැව් 5 හෝ 4 මහනුවර විය.

1. දෙවැනි රාජසිංහ රජු කළ බව සිතිය හැකි දැනට බෝගම්බර පිටිය ලෙස ගොඩ කර ඇති පැරණි බෝගම්බර වැව

2. ටි්‍රනිටි - විද්‍යාර්ථ විද්‍යාල අවට තිබූ 1832 වැනසී ගිය බොර වැව

3. දෙවැනි රාජසිංහ රජු කළ වැව් 32 න් එකක්‌ විය හැකි රාජකීයයන් නෑමට ගිය උඩවත්ත කැලේ වැව

4. 1810-12 ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වෙනුවෙන් මීගස්‌තැන්න මහාදිකාරම් ලවා ටිගොල්වෙල වෙල්යායේ සෑද වූ කිරිමුහුද (බෝගම්බර අළුත් වැව - කිරිමුහුද - අලකොළ වැව - සෙංකඩගල වැව මෙයට යෙදුණු නම්ය)

5. මහයාය - මාවිල්මඩ අවට පැතිර තිබූ ගබඩා වැව හෙවත් මහඉහවැව මහයියාව

ඉන් කිරි මුහුද නගරයට මනා අලංකාරයක්‌ විය. වැව වටා දියරැළි බැම්ම විය. රජු බිසෝවරුන් සඳහා දළදා මැඳුර ඉදිරිපිට බිසවුන් දිය නෑ උල්පැන්ගෙය විය. ඉංග්‍රීසීන් උඩරට අල්ලා ගත් පසු 1857 උල්පැන්ගෙය වසා දෙමහල් පුස්‌තකාලයක්‌ ඉදිකර ඇත. පුරාවිද්‍යා කැණීම්වලදී යළි උල්පැන්ගේ මතුකර ඇත. මේ අඩි 40 තරම් දිග අඩි 20 තරම් පළලය. උල්පැන්ගෙය සිට වැව මැද දූපතට යාමට පාළමක්‌ වූ බව හැඟෙයි. එවැන්නක ශේෂයක්‌ උල්පැන්ගේ යට බැම්මේ අල්ලා ඇත. වැව මැද රජුගේ ජයතිලක මණ්‌ඩපය (කුණ්‌ඩශාලාව හෙවත් සීතල මාළිගාව) විය. එහි සිට උඩවත්තකැලේට විහිදුණු උමගක්‌ ගැන කියෑවෙයි. වැව වටා බැම්මේ විසිතුරු ගස්‌වැල් විය.

14. රන් ආයුධ මණ්‌ඩපය - රජුගේ රන් ආයුධ විය

15. මුද්දර මණ්‌ඩපය - රාජකීය නිළ ලාංජන විය

16. හරවක්‌කාර මඩුව - රජු කඩු ශිල්ප - මල්ලව පොර නැරඹූ මඬුවයි

17. කවිකාර මඬුව - රජුට ප්‍රශස්‌ති වන්දිභට්‌ටයන් සිටි ස්‌ථානයයි. (දළ මැඳුරේ තවම කවිකාර මඩුව ඇත.)

18. දෙමළ ඉලංගම්මඩුව - රජු නැටුම් ගැයුම්වලින් පිනවූ නිළියන් සිටි බිමයි.

19. මහාමළුව - දළදා මැඳුර පටන් ඇතැම් විට අද ඔරලෝසු කණුව ඇති බිමට ළං වන තුරු අද ඇති ක්‌වීන්ස්‌ හෝටලය සීමාව ඉක්‌මවා මහමළුව තිබෙන්නට ඇත. ප්‍රධාන උත්සව, සැණකෙළි, පෙරහර, රජු මහජනයා ඉදිරියේ පෙනී සිටීම මහ මලුවේ සිට ඉටුවිය. පසු කල මෙය මහමළුව හා මද්දුම බණ්‌ඩාර උද්‍යානය ලෙස දෙකට බෙදුණි. (දැනට ඇති බෝගම්බර වැවේ වතුර ගලා ගොස්‌ වැටුණු තවත් වැවක්‌ එයට පහළින් වූ බව "උඩරට කැරැල්ල -3" ග්‍රන්ථයේ තෙන්නකෝන් විමලානන්ද කියයි. ඒ දැනට ඩී. එස්‌. සේනානායක පුස්‌තකාලය අවට බිමේ වූවා විය යුතුය.

20. දේව සංහිඳ - මහදේවාලය (විෂ්ණු) හා නාථ දේවාලය අතර බිමේ විය.

21. යුක්‌තියේ ඝණ්‌ඨාරය - අධිකාරම හෝ දිසාව දෙන ලද තීන්දුවකට විරුද්ධව රජු වෙත අභියාචනා කිරීමට - හැඬවීමට තිබූ සීනුවකි. නාථ දේවාල බිමේ කෙළවර විය. එළාර රජු ගැන කතාවේදී යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන කතාන්දර කීපයක්‌ එයි. එළාර රජුට පසු යුක්‌තියේ ඝණ්‌ඨාරය ගැන සඳහන් එකම අවස්‌ථාවයි.

22. ඇතුන් නාවන වළ - තිබූ ස්‌ථානය අප්‍රකටයි.

23. කුණම් මඩුව - රජුගේ කුණම් ගබඩා කර තිබූ තැනයි. අද ඒ වැව රවුමේ උඩරට කලා සංගම් ගොඩනැඟිල්ලයි. දෙවැනි ලෝක යුද්ධය කල මෙහි යුද හමුදා රෝහලක්‌ විය. අද උඩරට කලා සංගමය ඇත.

24. රජුගේ අටුව - අනගාරික ධර්මපාල මාවතේ පිහිටි "Kandy Club" (කැන්ඩ් ක්‌ලබ් නිවස) එදා රජුගේ අටුව විය.

25. රජ මැඳුරේ රජුගේ අසුන් බැඳීමට යෙදූ කණු දෙකක්‌ තවම ඇත.

26. කච්ෙච්රිය පිටුපස උඩවත්ත කැලේ රජ පවුල දියනෑ පිහිල්ලක කොටසක්‌ හා රජ මැඳුරේ වූ ගල් ආසන තුනක්‌ රජගෙදර කටුගේ ඇත. රජු හා බිසවුන් දිය නෑමට ගිය ස්‌ථාන අතර දළදා මැඳුර අසළ උල්පැන්ගෙය, බෝගම්බර වැව ඉස්‌මත්තේ රජපිහිල්ල - ලේවැල්ලේ ගිනිනිල්ල දියඇල්ල (අද නැත) කීපයකි.

27. මල්වත්ත - රජ බිසවුන්ට වෙන්වූ පසු කළ මල්වතු විහාරය ඉදිවිය.

28. නිලමේවරුන්ගේ වලව් - නිලමේවරුන්ගේ වළව් රජමැඳුර අසළ විය. පිළිමතලව්වේ වළව්ව 1817 රජයට ගන්නා ලදුව 1832 ඒ ඉංග්‍රීසි ආණ්‌ඩුකාර මැඳුර ඉදිවිය. අද ඒ ජනාධිපති මැඳුරයි. ඇහැලේපොල වළව්ව අද බෝගම්බර රිමාන්ඩ් හිරගෙදරයි. දුනුවිල වළව්ව මහනුවර නගර සභාව වන අතර දෙහිගම වළව්ව අද දෙහිගම හෝටලයයි.

29. ගම්පළ කල ඉදිවූ නාථ දේවාලයේ රජුගේ නම් පටබැඳීම හා ඉසතෙල් ගෑම විය. විෂ්ණු දේවාලයේ දී රාජාභිෂේක උළෙල විය.

30. පැරැණි බෝගම්බර වැව මායිමේ හිස්‌ ගසා දැමීම හා ස්‌ත්‍රීන් දියේ ගිල්වීම සිදුවිය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂක එස්‌. කේ. ජයවර්ධන
http://divaina.com/sunday/index.php/visheshanga2/1181-2-13

සිංහලේ අසම සම කළ ඒ සිරිමහා බෝධියේ වැඩමවීම

සම්බුද්ධශාසනය හා බැඳී පවත්නා වසරේ වෙසක්‌ පෝය, පොසොන් පෝය හා ඇසළ පෝය තරමටම උඳුවප් පෝයද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක්‌ ගනී. ඊට පාදක වී ඇත්තේ සජීවී සම්බුදු හිමියන් බඳු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය සහ පිරිවරින් සිංහලේට වැඩමවා, මහමෙව්නා උයනේ වඩා හිඳුවීම සහ මෙහෙණි සස්‌න මෙහි ස්‌ථාපනය කිරීමය.

 සිංහලේ රජරටට වැඩම කර වඩා හිඳුවන ලද සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව, වඩාත් උතුම් වන්නේ දැනට ලෝකයේ ජීවමානව පවත්නා සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද එකම බෝධීන් වහන්සේ මෙය වන බැවිනි.

 දඹදිව පිහිටි ශ්‍රී සම්බෝධියට ධර්මාශෝක රාජ සමයේදීම "නිස්‌සාරක්‌ඛා" නම් වූ දුශ්ශීල රජ මෙහෙසිය විසින් විෂ සහිත මඩුකටු ගස්‌සවා බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය නැති කරන ලදී. ඉන්පසු යළිත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධිය "ශශාඩක" නම් වූ හින්දු පාලකයෙකු විසින් කප්පවා විනාශ කරන ලද නමුත් යළිත් වරක්‌ ශ්‍රී මහා බෝධිය දලුලා වැඩුණේය. ඉන්පසුව පරිසරයේ හමා ගිය දැඩි සුළඟකට ශ්‍රී මහා බෝධිය පෙරළී ගියේය. මේ අනුව තෙවරක්‌ විනාශයට පත් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ වර්තමානයේ පවත්නේ සිව්වැනි වරටත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධියයි.

 මීට අමතරව දඹදිව සැවැත් නුවර ඡේතවනාරාමයේ ආනන්ද මාහිමිපාණන් විසින් බෝධියක්‌ ස්‌ථාපනය කරන ලදුව එය අද දක්‌වාම පවත්නා නමුත් එය සැබෑ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් වැඩුණ බෝධි රාජයකි. මේ අනුව සම්බුදු හිමිපාණන්ගේ පහස ලද අද ලෝකයේ පිහිටි එකම බෝධිය වන්නේ වසර දෙදහසකට වඩා පැරණි සිංහලේ රජරට මහමෙව්නා උයනේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධි රාජයාණන්ය. මෙහි ඇති සම්භාවනීයත්වය හා උත්තරීතර බව එපමණක්‌ම නොවේ.

 සම්බුදු හිමියන්ගේ පූර්ව අධිෂ්ඨාන ශක්‌තියෙන් සෘද්ධි බලය පා දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මව් බෝධි රාජයාගෙන් වෙන්ව ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කර තිබූ කටාහයට වැඩම කිරීම තවත් අද්භූත සංසිද්ධියකි. ධර්මාශෝක රජතුමා විසින් රනින් නිම කර තිබූ මේ කටාහනේ වටරවුම අඩි 13 1/2 කි. උස අඩි 7 1/2 කි. කටාහනේ මුවවිටේ ඝනකම අඟල් අටක්‌ පමණ වේ. මෙම රන් කටාහය දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට යාව වටේ තිර ඇද සුවඳ දුම් දල්වා සපැමිණි සියලු දෙනා දොහොත් මුදුන් දී වැඳ සිටියහ.

 දක්‍ෂිණ ශාඛාව ශ්‍රී මහා බෝධියෙන් වෙන්කර ගැනීමට කැපීමක්‌ හෝ කැඩීමක්‌ සිදු නොවීය. ධර්මාශෝක රජු ඇතුළු රාජකීය පිරිස මෙසේ ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් ඇතිව පුදදී සිටින විට ශ්‍රී මහා බෝධියේ කඳ සහ දක්‍ෂිණ ශාඛාව ඉතිරි වන්නට සෙසු කොටස්‌ හිටිහැටියේම අතුරුදන් විය. ඇදහිය නොහැකි වූ මේ ප්‍රාතිහාර්යය සියෑසින්ම දැකගත් ධර්මාශෝක රජතුමා දෙවරක්‌ නොසිතා එකෙණෙහිම සමස්‌ත ජම්බුද්වීපයම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව හා ප්‍රධාන කඳ ඉතිරිව තිබියදී සෙසු කොටස්‌ අන්තර්ධාන වීමෙන් පසු ධර්මාශෝක රජතුමා විසින් ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට ළංවන සේ ඉදිකර තිබූ ස්‌වර්ණමය මණ්‌ඩපය තබා ඒ මත රත්රන් කටාහය තැන්පත් කරනු ලැබීය. ඉන්පසු ධර්මාශෝක රජු දක්‍ෂිණ ශාඛාවට සමීප වන සේ ඉදිකර තිබූ තවත් මැණික්‌ එබ්බවූ රන් පුටුවට නැගී දක්‍ෂිණ බෝධි ශාඛාව වටා ඉරක්‌ අඳිමින් එම ශාඛාව ඉබේම ගැලවී රන් කටාහයට වැඩම කෙරේවායි අධිෂ්ඨානය කළේය. එම අධිෂ්ඨානයත් සමඟ ශ්‍රී මහා බෝ කඳින් දක්‍ෂිණ ශාඛාව ඉබේම ගැලවී සමීපයේ පැවති රන් කටාහයේ තැන්පත් වී රන් කටාහය තුළ මුල් ඇදී එහි ස්‌ථාවර විය. සම්බුද්ධ බලයෙන් සිදු වූ මේ ප්‍රාතිහාර්යය ඉෂ්ට සිද්ධ වූයේ සම්බුද්ධ හිමියන්ගේ පංච මහා අධිෂ්ඨාන බලයෙන් බව සිංහල බෝධි වංශයෙහි විවරණය කර තිබේ.

 සම්බුදු හිමිපාණන්ගේ එම පස්‌විධ ප්‍රාර්ථනා මෙසේ විය.

 1. ධර්මාශෝක රජු යම් දිනෙක ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට යන්නේද, ඒ මොහොතේ දක්‌ෂිණ ශාඛාව ඉබේටම මුල් කඳින් වෙන්ව ස්‌වර්ණමය කටාහය තුළ තැන්පත් වීම.

 2. ඒ අවස්‌ථාවේ දක්‌ෂිණ ශාඛාවේ බෝපත්වලින් සවණක්‌ රැස්‌ පිටතට කාන්දු වීම

 3. ශ්‍රී මහා බෝධියේ සෙසු කොටස්‌ අහසට වැඩම කොට පුරා සතියක්‌ අදෘශ්‍යමානව අහසේ වැඩ විසීම.

 4. සිය දකුණු අකු ධාතුව සිංහලේ රජරට ථූපාරාම ගර්භයේ වඩා හිඳුවන දවසේ යමක මහා ප්‍රාතිහාර්යය පෑම.

 5. සිය සිරුරේ ද්‍රෝණයක්‌ තරම් වූ ධාතු කන්දරාව සිංහලේ රජරට ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාගේ ගර්භයෙහි තැන්පත් කරන දා සැබෑ සම්බුදු රූපයෙන් අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය පැවැත්වීම.

 මෙම පංච මහා අධිෂ්ඨානයන්ට අන්තර්ගත ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වූයේ සම්බුදු හිමිගේ අනුහසිනි. එසේ නම් සිංහලේ රජරට මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවට ජීවමාන සම්බුද්ධ හිමියන් ආරූඪ වූවාක්‌ මෙන් බුදුගුණ, බුදු බලය, බුදු ප්‍රාතිහාර්යය, බුදු වින්තනය, බුදු ආශිර්වාදය යන කරුණු සහමුලින්ම ඊට අන්තර්ගත වී ඇත. ඒ අනුව අනුරාධපුර මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති සම්බුදු හිමියන්ගේ පහස ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ජීවමාන බුදුන් බඳු යෑයි සිතා ගරු බුහුමන් ඇතිව අප විසින් වැඳ පුදා ගැනීම කළ යුතුය.

 එවකට සිංහලේ අනුරපුර මහමෙව්නාවේ වැඩ විසූ මිහිඳු මාහිමියන්ගේද උපදෙස්‌ ඇතිව දෙවනපෑතිස්‌ රජතුමා විසින් එවා තිබූ දූතයන්ගේ ඉල්ලීම් එනම් ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම කරවා ගැනීම පිළිබඳ ඉල්ලීම ඉටු කරන්නේ කෙසේ දැයි ගැටලුවකට මුහුණ දුන් ධර්මාශෝක රජතුමා ඒ පිළිබඳව උපදෙස්‌ අනුශාසනා ලබා ගැනීමට මොග්ගලීපුත්ත තිස්‌ස මහ රහතන් වහන්සේ බැහැ දුටුවේය. එම අවස්‌ථාවේ මොග්ගලී පුත්තතිස්‌ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රජතුමාට උපදෙස්‌ දෙමින් සම්බුදු හිමියන් පරිනිර්වාණ මංචකයේදී ඉෂ්ට සිද්ධ කළ පංච මහා අධිෂ්ඨානයන් රජුට කියා දුන්නේය. ධර්මාශෝක රජතුමා ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට ශක්‌තියක්‌ වූයේ ඒ සම්බුදු ප්‍රාර්ථනා අවබෝධ කර ගැනීමෙන් පසුවය. මේ අනුව ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට තීරණය කරගත් ධර්මාශෝක රජතුමා යටකී පරිදි ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ උතුම් ජීවමාන සම්බුදු හිමියන් බඳු දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට මූලික කටයුතු සැලසුම් කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව භාර වූයේ බෝධි ගුප්ත කුමාරයාටය. ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම වීමේ පූජනීය ගමනට සූදානම් කළ පිරිස භාරව ගියේ සුමිත්ත කුමාරයාය. ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් දැක්‌වීමේ කාර්යය භාරව චන්ද්‍රගුප්ත කුමාරයා සූදානම් කළේය. බෝධි රාජයාණන් නිතර නෑවීම සඳහා රත්තරං කෙණ්‌ඩි අටක්‌ සහ රිදී කෙණ්‌ඩි අටක්‌ සූදානම් කොට එම පැන් වැඩීමේ කාර්යය බිසෝවරුන් සිව් දෙනෙකුට පවරනු ලැබීය. මේ සියල්ල සැලසුම් කිරීමෙන් පසු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණින් වහන්සේට පවරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවෙන් වැටුණ එක්‌ ඵලයක්‌ රෝපණය කිරීමෙන් පසු එයින් බෝ පැළ අටක්‌ පහළ වූ බව බෝධිවංශ කියයි. මෙම පැළ අට දඹකොල පටුන, තිවක්‌ක බමුණුගම, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර සෑගිරිය, කතරගම, සඳුන්ගම, ප්‍රථම චෛත්‍ය ස්‌ථානය, යන තැන්වල රෝපණය කරන ලද බව වංශකතාවල දැක්‌වේ. තන්තිරිමලය, කටියාව, යාපහුව, මහියංගණය, සේරුවාවිල, බෙල්ලන්විල, සිතුල්පව්ව, පැපිලියාන, වනවාස, බෙලිගල්ල, වැලිගම, වෙල්ගම ආදී ස්‌ථාන 32 දෙතිස්‌ඵල බෝධිය රෝපණය කරන ලද බව සඳහන් වේ. 

 ශ්‍රී මහා බෝධිය සිංහලේට වැඩම කරද්දී ඒ සමඟ පැමිණි පිරිස්‌ පිළිගෙන, සත්කාර කොට ඔවුන්ට සුදුසු තනතුරු ප්‍රදානය කිරීමටද තිස්‌ස රජතුමා අමතක කර නැත. සිංහල බෝධි වංශයෙහි දැක්‌වෙන අන්දමට බෝධි ගුප්ත හා සුමිත්ත කුමාරවරුන්ට ශ්‍රී මහා බෝධියේ ආරක්‍ෂාව පවරා "මහලේනා තනතුර" ලබාදී පදිංචියට මාළිගා තනා දී ඇත. චන්ද්‍රගුප්ත, දේවගුප්ත, සූර්ය ගුප්ත, ගෝතම, ජුතින්දර ආදී කුමාරවරුන්ටද ශ්‍රී මහා බෝධිය හා බැඳුණු මූලික රාජකාරි පවරා පදිංචියට නිවාස තනා දී ඇත. එසේම එක්‌ එක්‌ කුලවලින් පැමිණ සිටි ප්‍රධානීන්ට ද ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ රාජකාරි පවරා දී වාසස්‌ථාන සලසා දී ඇත. එදා තිස්‌ස රජු විසින් මේ අයට පවරන ලද බෝධි රාජකාරී අද දක්‌වාම ඒ ඒ පවුල්වල අය විසින් අඛණ්‌ඩව කරගෙන යනු ලැබේ. මේ අතර ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් දැක්‌ වූ ගරු බුහුමන් මුල්කොට ඉන්දියාවේ ධර්මාශෝක රජු විසින් සිංහලේ මහ රජුට එනම් තිස්‌ස රජුට "දේවානම්ප්‍රිය" යන සම්මාන නාමය සමඟ තුටු පඬුරු රැසක්‌ එවන ලද බව මහාවංශයේ දැක්‌වෙයි. තිස්‌ස රජු " දේවානම්පියතිස්‌ස" වූයේ ඉන්පසුවය. දිගින් අඩි 360 ක්‌ පළලින් අඩි 270 ක්‌ද ඇති බෝ මළුවේ මැද මාලක තුනකින් යුතු, තුන්වැනි මහලයේ ශ්‍රී මහා බෝධිය වඩා හිඳුවා ඇත. පොළවේ සිට අඩි 20 ක්‌ පමණ උඩකින් ශ්‍රී මහා බෝධිය අදටත් වැඩ වෙසෙයි.

රළපනාවේ ධම්මජෝති හිමි, අනුරාධපුර ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
http://divaina.com/sunday/index.php/visheshanga2/1201-2017-12-01-09-49-58

Saturday, July 22, 2017

අවුකන-රැස්‌වෙහෙර බුදු පිළිම නෙලූ දෙසොහොයුරන්ගෙන් තරගයෙන් පැරදුණු ගල් වඩුවා ගල් පර්වතයෙන් බිමට පැන දිවි නසා ගනී!

කලාවැව කිට්‌ටුව පිහිටි අවුකන බුදු පිළිමය හා කැකිරාවෙන් ඔබ්බෙහි පිහිටි රැස්‌වෙහෙර බුදුපිළිමය සමකාලීනව නිර්මාණය වූ බුදුපිළිම දෙකකි. පිහිටි ගලේ නෙළා ඇති මේ යෝධ හිටි බුදුපිළිම පිහිටි ගලේම නෙරා ඇති බුදුරූ ඉදිරියට විදහාපායි. බුද්ධ රූප පිටුපසින් ස්‌වාභාවික ගල්තලාවට පෑහී පවතී. වඩාත් කලාත්මක පරිසමාප්ත බුදු පිළිමය අවුකනයි. රැස්‌ වෙහෙර අවුකන සමඟ සසඳනවිට මටසිලිටු බව අඩුය. බිමින් මේ බුදු පිළිම දෙක අතර පරතරය සැතපුම් පහළොවකට කිට්‌ටුය. ඒ වටරවුමේ මාර්ග ඔස්‌සේ යා යුතු බැවිනි. එහෙත් අහස්‌ දුර සැතපුම් පහකට අඩුය. රැස්‌ වෙහෙර පිළිමය ගැන රසවත් ජනකතාවක්‌ පවතී. ගලේවෙල මහා විද්‍යාලයේ උපගුරුවරයකු ව අප සිටියදී අප මිත්‍ර ජයතිලක මහතා සමඟ අසීරු පටු රැස්‌වෙහෙර පාරේ ගිනියම් අව්වේ පාපැදියකින් රැස්‌වෙහෙරට යැමට හැකිවිය. ගිනියම් අව්ව ඇඟපත පුළුස්‌සයි. පාපැදිය පැදවූ ජයතිලක විඩාවෙන් හෙම්බත් ව ඇත. ඉදිරියේ හිඳගෙන ගිය මගේ දෙපා හිරි වැටී ඇත.

තේ කෝප්පයක්‌ බීමට අසල පිහිටි කුඩා කඩයකට අපි ගොඩ වැදුනෙමු. එහි සිටි මහල්ලෙකු මේ කතාවට මුල පිරුවේය. මේ කිට්‌ටුව ගමක එක පවුලක්‌ හිටියා බුදු පිළිම ගලෙන් නෙළන ශිල්පි පරම්පරාවක්‌ . බොහෝම ලස්‌සනට රුවට ඔපයට හැඩ වැඩ කරලා බුදු පිළිම නෙළන්නට ඒ පවුලට පරම්පරාවෙන් උපන් හපන්කම් තිබුණා. පියා මහලුය. දැන් ළඟ පාතක මිසක්‌ ඈත වැඩට ගියේ නෑ. ඔය කාලේ තමා අවුකන පිළිමෙයි රැස්‌ වෙහෙර පිළිමෙයි නෙළන්නට ඉදිරිපත් වෙන්න කියලා ශිල්පීන්ට දන්වලා රඡ්ජුරුවෝ රටේ අණබෙර ගැහැව්වේ. ගමේ අණබෙර ගහන කොට අර මහලු පියා ගිහින් අණ බෙරය නැවැත්තුවා. මගේ පුත්තු දෙන්නා ඔය බුදුපිළිම දෙක නෙළන්න --- හපන්නු කියලා දැන්නුවා අණ බෙරකාරයා එක්‌ක පියයි පුත්තු දෙන්නයි රජවාසලට ගියා. 

රඡ්ජුරුවෝ සන්තෝෂවෙලා එකම දවසේ පිළිම දෙකේ වැඩ නැකතට ආරම්භ කරන්නට කීවා. හොඳ සුබ වේලාවක්‌ බලලා පුත්තු දෙන්නා පිළිමවල වැඩ ආරම්භ කළා. ඒ අයගේ පවුලට රජවාසලෙන් කෑම බීම යෑපුම් ආහාර ද්‍රව්‍ය සැරෙන් සැරේ ලැබුණා. අවුරුදු තුනක්‌ දෙන්නා වෙන වෙනම පිළිම දෙක නෙළුවා. අයියා තමා අවුකන පිළිමේ නෙළුවේ. රැස්‌වෙහෙර පිළිම නෙළුවේ මල්ලී. හැම පසළොස්‌වක පෝයකම දෙන්නා ගෙදර ඇවිත් පිළිමවල කරපු වැඩ කොටස්‌ විස්‌තර කරනවා. ඔහොම පිළිම දෙක නෙළුවේ තරගෙට වාගේ.

මහල්ලා බුලත් විට සපමින් ගිනියමෙන් පුපුරු ගහන අව්වේ මිදුලට බැස කඩේ ඉදිරිපිට තිබූ රූස්‌ස ගහයට තබා ඇති බංකුවේ වාඩිවී අප දෙස බලයි.

"ඉතින් මොකද වුණේ?"

අවුරුදු තුනක්‌ ගතවෙලා ගියා. අයියා නෙළපු අවුකන පිළිමේ වැඩ ඉවරයි. හරියටම පසළොස්‌වක පෝයදා වෙන කොට පිළිමේ වැඩ මුළුමනින්ම ඉවර කරන්න පුළුවන්කම ලැබෙනවා. රැස්‌වෙහෙර පිළිමය නෙළුවේ බාල සහෝදරයා ඒකේ ඔපමට්‌ටම් කරන්නට තව වැඩ ඉතිරි වුණා. තවත් කාලයක්‌ ගියාමයි රැස්‌වෙහෙරේ පිළිමේ වැඩ ඉවර වෙන්නේ.

පසළොස්‌වක පෝයට දෙබෑයෝ ගමට ආවා. තමන්ගේ පිළිමේ වැඩ ඉවරයි කියලා අවුකන පිළිමේ නෙළු අයියා කීවා. බාල සහෝදරයාට ලොකු වේදනාවක්‌ ඇති වුණා. වැඩි කතාබහක්‌ නැතිව පසළොස්‌වක පොහොය ගෙවිලා එයා රැස්‌ වෙහෙරට ගියා. තමන් නෙළපු පිළිමේ දිහා පැය ගණනක්‌ ගල් ගැහිලා වගේ බලා සිටියා. හිත එක අරමුණකට ගත්තා. සහෝදරයාට වුණත් පරාජය ලැඡ්ජාවක්‌. බුදු පිළිමයත් එක්‌ක තියෙන ගල් පර්වතයට ශිල්පියා නැග්ගා. දැස්‌ පියා ගත්තා. හුලඟත් එක්‌කම බිමට පැන්නා. මුළු ශරීරයම ලේ විලක්‌ මැද කෑලි කෑලි විසිරිලා ගියා. රඡ්ජුරුවෝ ගම්වැසියෝ බොහෝම විස්‌සෝපවෙලා ගෞරවයෙන් ශිල්පියාගේ ආදාහනය සිද්ධ කළා. නෙළන්නට ඉතිරිවෙලා තිබුණු කොටස්‌ අදත් ඒ විදිහටම තියෙනවා. 

ඔහු කතාව නවතා අප දෙස බලයි.

තුනුරුවන්ගේ පිහිටයි. මහත්තයලා ගිහින් එන්න.

රැස්‌වෙහෙර පිළිමය අවට පරිසරය නරඹන විට මහලු ගැමියා කී කතාව අපට මතක්‌ විය.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ එස්‌. කේ. ජයවර්ධන
http://www.divaina.com/2017/07/23/feature04.html

Aukana Pic Source
Reswehera Pic Source

Sunday, May 21, 2017

ගිරිහඬු සෑය බෞද්ධයන්ට අමතකද?

 අරුණළු ක්‍රමයෙන් පැතිර යමින් පැවතිණි. ත්‍රිකුණාමල වැසියන් එළඹුණු නව දිනයට සූදානම් වන ආකාරයක්‌ තවම දක්‌නට නැත්තේ නගරය පුරා ජනශූන්‍ය බවක්‌ දිස්‌වුණු බැවිනි. නැගෙනහිර පළාතේ අගනුවරට ජීවිතයේ ප්‍රථම වතාවට පිවිසි මට අතීතයේ සිද්ධි මතක්‌විය. ඒ ත්‍රිකුණාමලය නගර මධ්‍යයේ බුදු පිළිමයක්‌ තැන්පත් කළ පසු කොටි හිතවාදීහු හර්තාල් කළ අන්දමත් පිළිම වහන්සේට එල්ල වූ අත්බෝම්බ ප්‍රහාරයත් සිහිවිය. දැන් ඒ කොටි හර්තාල් ඉතිහාසයට එක්‌වී ඇතත් උතුරු නැගෙනහිර බුදු පිළිම විරෝධය නම් නතර වී නැත. උතුරු මහ ඇමැති සී.වී. විග්නේශ්වරන් දෙමළුනි නැගිට්‌වි" නොඒසේනම් "එළුග තමිල්" යනුවෙන් උද්ඝෝෂණ පැවැත්වුවේද මේ බුදු පිළිම විරෝධය හරහා ජාතිවාදය අවුලන්නටය.

ත්‍රිකුණාමලය නගර මධ්‍යයෙන් ගමන් කළ අප කෙළින්ම ගමන් කළේ කෝනේශ්වරම් කෝවිල වෙතය. එතැනට ගියේ කෝවිල වැඳ පුදා ගැනීමට නොව නැගෙනහිර අහසෙන් හිරු මතුවනු දැකබලා ගැනීම සඳහාය. ඉර සේවය දැක ගැනීමේ මහත් උනන්දුවක්‌ පැවැතියේ අපේ ගමන් සගයකු වූ මංගල අයියාටය. මංගලත් තිවංකත් ඉර සේවය ඡායාරූපයට ගැනීමට උනන්දු වුවද මම කෝවිල් භූමියේ සක්‌මන් කරමින් සිටියෙමි. පූසාරිවරු කිහිපදෙනකු පෙරවරු 6.30 ට පැවැත්වෙන පූජාවට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියහ.

බැතිමතුන් සියල්ලන්ටම කලින් පැමිණ සිටියේ මහළු දෙමළ කතකි. ඇය පුලාසනියක්‌ විය. බැතිමතුන්ගේ සිඟමන් යෑදීම 

රැකියාවක්‌ වශයෙන් කරන්නේද යන හැඟීම ඇතිවූයේ ඇය මෙතැනට පැමිණියේද ත්‍රිරෝද රථයකින් වීම නිසාය. කවරක්‌ නමුත් භූමිය තවමත් බැතිමතුන්ගෙන් හිස්‌වූ නිසා ඇයටද රුපියල් විස්‌සක්‌ ලබාදී අපි යළි ගමන ආරම්භ කළෙමු. 

නිලාවේලි වෙරළේ නවාතැන්පළට යැමට ප්‍රථම අපේ අවශ්‍යතාවය වූයේ ගිරිහඬු සෑය වන්දනා කිරීමය. ඒ සඳහා ත්‍රිකුණාමලයේ සිට සැතපුම් විසි නවයක්‌ ගමන් කළ යුතුය. එම සැතපුම් විසිනවය ගමන් කළ විට මුහුදු වෙරළබඩ පිහිටි තිරියාය ගම්මානය හමුවේ. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ නැගෙනහිර කඩ්ඩුකුලම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ තිරියාය ගම පිහිටා ඇත. ත්‍රිකුණාමල පුල්මුඩේ මාර්ගයේ 27, 28 සැතපුම් කණු අතරින් හැරී තිරියාය ගමට පිවිසිය හැක.

අප තිරියායට පිවිසෙන විට එහි පැවැතියේ ජනශූන්‍ය ස්‌වභාවයකි. අප පිළිගන්නට පැමිණි අමුත්තෝ වූ කලී බලු රංචුවක්‌ පමණකි. වාහනයෙන් බැස ඉදිරියට යනවිටත් බලු රංචුව අපට මඟ පෙන්වමින් ඉදිරියට ඇදෙන්නට විය. ගිරිහඬු සෑය බෞද්ධයන්ට අමතක වී ඇත්දැයි සිතුණේ එහි තිබුණු පාළු ස්‌වභාවය නිසාය. කුඩා සාමණේර හිමිනමක්‌ තවත් පුද්ගලයකු සමඟ යම් වැඩක නිරත වෙමින් සිටින අයුරු දක්‌නට ලැබිණි. විහාර මාර්ගයේ තිබූ එකම වෙළෙඳපළද වසා දමා තිබිණි.

දහතුන්වන සියවසට අයත් පූජාවලියේ සඳහන් වන අන්දමට ලක්‌දිව නැගෙනහිර වෙරළෙහි තිරියාය නමින් හැඳින්වෙන ස්‌ථානයේ පිහිටි ස්‌ථූපය හිටුවන ලද්දේ තපස්‌සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා විසිනි. ඔවුන් විසින් බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ අවස්‌ථාවේ උන්වහන්සේගෙන් ලැබුණු කේශ ධාතු තැන්පත් කොට මෙම ථූපය ඉදිකළ බව පූජාවලියේ කියෑවේ.

තපස්‌සු භල්ලුක විසින් නිදන් කළ කේශ ධාතුන් පිළිබඳව බෞද්ධ රටවල් කිහිපයක තරගයක්‌ පවතින බව රහසක්‌ නොවේ. බුරුම බෞද්ධයන් පිළිගන්නේ තපස්‌සු භල්ලුක විසින් ඉදිකළ චෛත්‍යය ස්‌වදගොන් චෛත්‍යය බවකි.

කවරක්‌ නමුත් තිරියාය වටදාගෙය 1951 වසරේදී කණින ලදී. එහිදී සත්වැනි අටවැනි සියවස්‌වලට අයත් සංස්‌කෘතික සෙල්ලිපියක්‌ හමුවිය. එහි සඳහන් පරිදි මෙම ස්‌ථූපයේ පෞරාණික නාමය වූයේ ගිරිකණ්‌ඩි චෛත්‍යයයි. බුදුන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ ත්‍රපෂ්‍ය සහ වල්ලික (තපස්‌සු භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම චෛත්‍ය කළ බව එහි සඳහන් වේ.


පඩිපෙළ් නගිමින් තිරියාය වටදාගෙයට පිවිසෙන විට මහ සයුර හොඳින් දර්ශනය වෙයි. අතීතයේ මෙහි කැණීම් සිදුකරනවිට තිරියාය වටදාගේ වටමළුව අඩි 79 ක විෂ්කම්භයකින් යුක්‌ත වී ඇත.


භූමිය පුරා බෞද්ධ කොඩිවලින් සරසා තිබුණද එහි දක්‌නට ලැබුණේ පාළු ස්‌වභාවයකි. ඒ වන්දනාවට කිසිම උවැසි උවසුවකු පැමිණ නොසිටීම නිසාය. නිරන්තරව බෞද්ධ ජනයා වැල නොකැඩී ඇදී එන ස්‌ථානයක්‌ ලෙස ගිරිහඬු සෑය හැඳින්විය නොහැකිය. නමුත් සිංහල බෞද්ධයන් මේ ස්‌ථානවලට නිරන්තරව පැමිණිය යුතුය. එය මේ ස්‌ථාන තවත් චිරාත් කාලයක්‌ ආරක්‌ෂා වීම සඳහා පැහැදිලිව බලපාන කරුණකි.

ගිරිහඬු සෑය මලින් පුදන්නට අපට මල් නොතිබුණද මහත් භක්‌තියෙන් යුතුව මේ බෞද්ධ උරුමය වන්දනාමාන කළෙමු. පැරණියෝ රුවන්වැලිසෑය මලින් වසා මලින් පිදු ආකාරයටම මේ වෙහෙරටද පුද පූජා සිදු කරන්නට ඇත. දෙවැනි පරාක්‍රමබාහු රජ විසින් විසුද්ධි මග්ගයට ලියන ලද පාලි පොතෙහිද ගිරිකණ්‌ඩ මහා විහාරය ගැන සඳහන් වේ.

පඩිපෙළ දිගේ උඩට යනවිට බිම තිබූ පොල්ලක්‌ රැගෙන ගියේ සෙල්ලමට මෙනි. එයත් රැගෙන යළි පහළට බසින විට චෛත්‍ය ආරක්‌ෂාව වෙනුවෙන් සිටින සිවිල් ආරක්‍ෂක භටයාගේ සිය අඩුම කුඩුම රැගෙන ඉහළ නගින අයුරු දක්‌නට ලැබිණි. මාදුටු ඔහු "මොකද පොල්ලක්‌ අරගෙන" යෑයි සිනහසෙමින් විමසා සිටියේය. නිකම් අරගෙන ගියා යෑයි කීවෙමි. ඔව් පොල්ලක්‌ අරගෙන යන එක හොඳයි. කැලේ ඉන්න මුවෙක්‌ උඩට යන අයට අනිනවා සමහර වෙලාවට ඌ මටත් ඇන්නා යෑයි ඔහු ප්‍රකාශ කළේය. 

අප යළි පහළට යනවිටත් බලු රංචුව එතැනම විය. මේ කණ්‌ඩායම සමඟ යළි ගමන්අරඹුවෙමු. වාහනය අසලට ගියද බලු රංචුව අප පසුපස්‌සෙන් විය. මොවුන් බඩ ගින්නේ සිටින බව අවබෝධවුවත් මේ කණ්‌ඩායමට දීමට කිසිවක්‌ අප සතු වූයේ නැත. කඩයක්‌ සොයා ගැනීමට තවත් කිලෝ මීටර් ගණනාවක්‌ යා යුතු බව එතැන සිටි අයෙක්‌ අප සමඟ පැවැසීය. ඉදින් කවරක්‌ කරන්නද? වාහනයට නැග්ගද උන් වාහනය ඇතුළටම වගේ හොම්බ දමා ඉව කරන්නට විය. බලු රංචුවට බිස්‌කට්‌ටුවක්‌වත් ලබාදීමට නොහැකිව මුසප්පු සිත් ඇතිව අපි නැවත ත්‍රිකුණාමලය බලා ගමන් ඇරඹුවෙමු. හිරු රශ්මිය අධික වීම නිසා තිරියාය මාර්ගය උණුසුමෙන් දැවෙන්නට විය.

චතුර පමුණුව 
http://www.divaina.com/2017/05/21/feature20.html

දිගාමඬුළු ඉතිහාසයේ විශිෂ්ටත්වයේ සලකුණ රජගල ව්‍යාපෘතිය නවතී..!

අපේ අතීත මුතුන් මිත්තන් කළ ඒ මහා කලා නිර්මාණ අප සියලුම දෙනා මවිතයට පත් කරයි. අදට ද මහා ආඩම්බරයෙන් කතා කරති. මේ වන විට ලොවම මවිත කරවන එවන් විශිෂ්ට නිර්මාණයක්‌ නැරඹීම සඳහා බොහෝ දෙනකු පිය නඟන්නේ අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවලටය. නමුත් ඒ වනවිට රට වටා වන වදුලට යටව ගොස්‌ තවමත් ඉතිහාසයේ අනාවරණය නොවුණ කරුණු සමඟින් එවන් උරුමයන් ඇත්තේ පස්‌ තට්‌ටු යට සැඟව ගොස්‌ය.

දිගාමඬුලු මිටියාවත ද අතීත රජ දරුවන්ගේ පහස ලබමින් සංවර්ධනය වූ පුරවරයකි. බුදුන්ගේ පා පියුමෙන් පහස ලද දීඝවාපිය සෑරදුන්ගේ අවට පූජා භූමියේ කැණිම් කටයුතු තවමත් ඇත්තේ ඉබි ගමනේය. එම නිසා අතීතයේ බොහෝ වංහුන් අදට ද ඇත්තේ සැංගීය.

මීට දශක කිහිපයකට පෙර සොයා ගත්ත ද නිසි අවධානයක්‌ යොමු නොවුණ දිගාමඬුලු ඉතිහාසයේ පුරාවිද්‍යා උරුමයන් අතරින් අගරජු වන්නේ රජගල පුදබිමය. අක්‌කර 1025 ක වපසරියකින් යුත් මෙපින්බිම ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්‌ෂිතය වශයෙන් සැලකේ. මෙය වන වදුළෙන් වැසී යැම නිසා නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්‌ව විනාශ වෙමින් පැවති ස්‌ථානයක්‌ විය. යාන්තමින් ගරා වැටුණු ස්‌ථාන කිහිපයක්‌ පමණක්‌ හෙළි පෙහෙළි කිරීම නිසා මීට වසර කිහිපයකට ඉහතදී ඉතා අඩු පිsරිසක්‌ පමණක්‌ මෙම පුදබිම නරඹන්නට පැමිණීයේය. ඒත් මෙහි දකින්නට ලැබුණේ ඉතා සීමිත පුරාවස්‌තු ප්‍රමාණයකි. 

නමුත් ලංකාවට මිහිඳු සමිඳු පැමිණී බව සඳහන් සුවිශෛෂී සෙල්ලිපිය ඇත්තේ මෙම පුදබිමේය.

යේ ඉමදිප පඨමය 
ඉඩිය අගතන 
ඉඩිය තෙරහ
මහින්ද තෙරහ තුබේ

මේ දිවයිනේ සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්‌ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ධාතු තැන්පත් කළ ථූපයයි ලෙස සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය අර්ථ දක්‌වා තිබුණි.

මම සෙල්ලිපිය බුදු දහම ලක්‌දිවට ගෙන ඒමේ පුරාවෘත්තය තහවුරු වන සුවිශේෂීම සෙල්ලිපියකි. ඒ පමණක්‌ නොව ඒ ධාතු තැන්පත් කළ මිහිඳු සෑය ද අදට ද ඒ අතීත උරුමයේ වටිනාකම කියාපාමින් රජගල පර්වත මුදුනේ වැජඹෙමින් තිබේ.


සද්ධාතිස්‌ස රජුගේ පුත් ලඡ්ජතිස්‌ස කුමරයා විසින් මෙම පුදබිම ගොඩනැඟු බවට සාක්‌ෂි හමුව තිබේ. මහා වංශයේම පුදබිම සඳහන්ව ඇත්තේ ගිරිකුම්බල ලෙසිනි. රජගල පුරාවිද්‍යා පුදබිමේ අපේ ඉතිහාස උරුමයන් බොහෝමයක්‌ වන වදුළට යටව ගොස්‌ තිබියදී අනාවරණය වන්නට වූයේ මැතකදී සිදුකරන ලද ව්‍යාපෘතියට පින් සිදුවන්නටය. එනිසා බොහෝ දෙනකුගේ නිssසි අවධානයට ලක්‌ නොවුණ මෙම පුදබිමට 2012 වසරේ සිට නිසි අවධානය යොමු විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්‌ව ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකානු රජයේ ආධාර මෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සහ මහා භාණ්‌ඩාගාරයේ දායකත්වය ඇතිව මෙම රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහචාර්ය ප්‍රශාන්ත බී. මන්ඩාවල, මහාචාර්ය පත්මසිරි කන්නංගර, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි, ආචර්ය කේ. එම්. ඇලෙක්‌සැන්ඩර්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු පුරාවිද්‍යා අංශයේ දස්‌කම් දැක්‌වූ විද්වතුන් පිරිසක්‌ මෙම රජගල ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ලදී. 

මෙම පුරාවිද්‍යා භුමියේ කැණීම් ආරම්භ වන්නට වූහ. ඒ කැණිම්වලට පසුව පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු සිදුවන්නට විය. රජගල අතීත උරුමයේ දැක පැමිණෙන්නෝ මහා පුදුමයට පත් වන්නට වූහ. කැඩී බිඳී විසිරී ගිය ගල් පාත්‍රය සහ ඒ ස්‌ථානයේ තිබුණු පුරාවිද්‍යා නටබුන් කැණීම් කර නැවත සංරක්‌ෂණය කර අතීතයේ තිබූ ආකාරයට එම උරුමය දැක බලා ගන්නට හැකි වන ආකාරයෙන් නැවත ගොඩනඟන්නට වූහ. 2012 වසරේ ආරම්භ කරන ලද මෙම පුරාවිද්‍යා වැඩබිමේ වැඩකටයුතු 2015 වසරේ සිට 2020 දක්‌වා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ලෙස ක්‍රියාත්මක වන්නට වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බොහෝ කැණීම් ඉබි ගමනේ සිදු වන විට හෝ ඇතැම් ව්‍යාපෘතින් අතරමඟ නතර වන විට මෙම රජගල ව්‍යපෘතිය වේගයෙන් තම ඉලක්‌කය සපුරා ගනිමින් සිටින්නට වූහ. 

මෙම රජගල ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් කටයුතු කළ රත්නායක මහතා ඇතුළු 20 කට ආසන්න පර්යේෂණ නිලධාරී පිරිසක්‌ සමඟින් මෙම කැණිම්වලට සහය දැක්‌වූ අනියම් කම්කරුවන් පිරිසත් සමඟ 150 කට ආසන්න පිරිසක්‌ මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ සේවය කරන්නට වූහ. ඒ අනුව දුටුවන් මවිත වන ආකාරයේ සොයා ගැනීම් රැසක්‌ද සිදුකර ගන්නට මෙම පිරිසට හැකි විය.

ගලින් කරන ලද ඉපැරණි කුටියක්‌ මෙහිදී සොයා ගැනීමට හැකි විය. ඒ සමඟින් ඉතා වැදගත් තොරතුරු රැසක්‌ සටහන්ව තිබුණු නව ශිලා ලේඛන 08 ක්‌ සොයා ප්‍රකාශයට පත්කරන ලදී. රජගල කඳු මුදුනට යැමට තිබුණු ඉපැරණී මාර්ගයක්‌ කැණිම් කර සංරක්‌ෂණය කිරීමද ඇරඹින. මෙම කඳු මුදුනට පාගමනින් යැම ඉතා අපහසු සහ බොහෝ කාලයක්‌ ගත වන නිසා වාහනයකින් රජගල කඳු මුදුනට යා හැකි මාර්ගයක්‌ ද මෙම ව්‍යාපෘතිය යටතේ සකස්‌ කෙරුණි.

ඔවුහු කඳු මුදුනේ කැඩී බිදී ගිය වැව නැවත සකස්‌ කරන්නට වූහ. ඉතා දුර්ලභ ආකාරයේ නිර්මාණයක්‌ වන කැබලිවලට කැඩී ගොස්‌ තිබූ ගල් පාත්‍ර නැවත සකස්‌ කරමින් එම ගොඩනැඟිල්ල සංරක්‌ෂණය කර නිධන් හොරුන් හාරා පස්‌ කන්දක්‌ බවට පත් තිබූ මධ්‍ය ප්‍රමාණයේ දාගැබ් 02 ක්‌ කුඩා ස්‌ථූප 05 ක්‌ නැවතත් කැණිම් කර සංරක්‌ෂණය කරන්නට වූහ. ඒ සමඟින් දාන ශාලා ඇතුළු ගොඩනැඟිලි 

රැසක්‌ද ලෙන් ගල් උළුවස්‌ස යන ස්‌ථානය ඇතුළු පුරාවිද්‍යා ස්‌මාරකයන් රැසක්‌ සංරක්‌ෂණය කරන ලදී. 

මේ ආකාරයෙන් මෙම රජගල කැණීම් නිසා අනුරාධපුර සහ පොළොන්නරුවට නොදෙවෙනි ආකාරයේ ඉපැරණි නිර්මාණයන් රැසක්‌ මෙහි පැමිණෙන්නන්ට දැක ගන්නට ලැබුණි. මේ ආකාරයෙන් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය රජගල පුරා විද්‍යා වැඩ බිම මහා ආඩම්බරයෙන් දිගාමඬුලු මිටියාවත පුරා සිය ආධිපත්‍ය පතුරුවද්දී කිසිවෙක්‌ නොසිතු= ආකාරයෙන් නිළධාරීන්ගේ ගොබ්බ වැඩ නිසා වැඩ අතරමඟ නතර වන්නට විය.

මෙම සේවකයන්ට වැටුප් ගෙවීම් වැනි කටයුතු සිදුකරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. නමුත් කරුමයක තරම නම් මෙම සේවය කළ නිලධාරීන් ඇතුළු පිරිසකට ජනවාරි සිට මාස 04 වැටුප් තවමත් ලබාදී නොමැත. අනියම් කම්කරුවන්ට මාර්තු මාසයේ සිට වැටුප් ගෙවා නැත. ඒ පමණක්‌ නොව මොවුනට දෙසම්බර් මාසයේ වැටුප ගෙවා ඇත්තේ දින 04 ක්‌ද අඩුවෙනි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ වැඩසටහන් වලදී සේවය කරනු ලබන අනියම් සේවකයකුට රුපියල් 1200 ක්‌ දිනකට ගෙවනු ලැබූවද රජගල ව්‍යාපෘතිය යටතේ දිනකට මෙම අනියම් සේවකයකුට ගෙවනු ලැබුවේ රුපියල් 1000 කි. 2012 සිට මෙහි සේවය කරනු ලබන අනියම් සේවකයන්ට අර්ථ සාධක මුදල් ද ගෙවා නොමැත. මෙම ස්‌ථානයේ වැඩකටයුතු සඳහා මාස ගණනක සිට ඉන්ධන දීමනාව ද ලබාදී නොමැත.

තමන්ට වැටුප් සිංහල අවුරුද්දට ලබෙනු ඇතැයි මෙම සේවකයන් සියල්ලම සිටියේ මඟ බලාගෙනය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගණකාධිවරයා මෙම සේවකයන්ට අවුරුද්දට තබා මේවනකම් නියමිත වැටුප් ගෙවන්නට කටයුතු කර නොමැත. සේවකයන් වැටුප් නොමැතිව දරු පවුල් සමඟින් අවුරුද්දට ඇඳුමක්‌ පැළඳුමක්‌ අරගන්නට බැරිව හූල්ලද්දී පුරාවිද්‍යා ලොක්‌කෝ නම් තම වැටුප සාක්‌කුවේ දමා ගෙන උජාරුවට අවුරුදු කන්නට ඇත. එපමණක්‌ ද නොව මෙම අනියම් සේවකයන්ට මාසයේ 10 වැනිදාට පෙර වැටුප් ගෙවිය යුතු වුවද එම වැටුප් ගෙවනු ලැබුවේ විවිධ දිනවලය. ඇතැම් විට වැටුප් ගෙවනු ලැබුවේ මාසයේ 25 වැනිදාටත් පසුවය.

ඒ නිසා මෙම සේවකයෝ තම වැටුප් ගෙවන ලෙස ඉල්ලා උද්ඝෝෂණද සිදුකරන්නට වූහ. නමුත් ඒවා බීරි අලින්ට වැයූ වීණාවක්‌ම වැනිම විය. ඉතා සාර්ථක ආකාරයෙන් සිදුවෙමින් පැවති රජගල පුරාවිද්‍යා වැඩ බිමේ සංරක්‌ෂණ කටයුතු අතරමග නතර වන ලදී. ඉතා අලංකාර ලෙස මතුවෙමින් ආ පුරාවිද්‍යා භූමිය නැවතත් මේවන විට වන වදුළට යට වෙමින් තිබෙන්නේය.

අවසානයේදී තම වැටුප ඉල්ලා මේ පිරිස අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්‌ දැමූහ. එය පසුගියදා විභාගයට ගත් අතර මෙම සේවකයන්ගේ වැටුප් ගෙවීම පැහැර හැරි ගණකාධිකාරිවරයා ඒ පැත්ත පළාතටවත් ආවේ නැත. නමුත් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එහි පැමිණියේය. එහිදී මේ තොරතුරු සියල්ලම හෙළිවෙද්දී පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයා 18 වැනිදා වන විට වැටුප් ගෙවන්නම් යනුවෙන් කොමිසම හමුවේදී පවසා සිටින්නට විය.

මෙම රජගල ව්‍යාපෘතිය සඳහා මේ වන විට 2012 සිට 2016 දක්‌වා රුපියල් මිලියන 136 ක්‌ වැය වී තිබේ. ඉන් මිලියන 08 ක්‌ පමණ වැය වී ඇත්තේ මෙම රජගල පුරාවිද්‍යා භුමිය මිනින්දෝරු දෙපර්තමේන්තුවේ නිලධාරීන් ලවා සිතියම් ගත කිරීමටය. ඒ අනුව සෑම පුරාවිද්‍යා ස්‌ථානයක්‌ හසුවනසේ ඉතා නිවැරැදි ආකාරයෙන් සිතියම් ගත කිරීමට මිනින්දෝරු නිලධාරීන්ට මාස 03 කාලයක්‌ ගතවන්නට විය. ඒ අනුව පසුගිය කාලයේ මෙම කැණීම් කටයුතු ඉතා විධිමත් ආකාරයෙන් සිදුවන්නට විය. 

කම්කරුවන් මේ ආකාරයෙන් තම රැකියා කරන්නේ ඇඟ රුදාවට නොව බඩ වියත රැක ගන්නටය. දරු පවුල නඩත්තු කරන්නටය. ඉහළ යන ජීවන වියදම ඔස්‌සේ වැටුප ලැබුණ ද ජීවත් වීමට අපහසු කලෙක මාස කිහිපයක්‌ වැටුප් නොලැබීම තුළ මෙම සේවකයන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකටය. පුරාවිද්‍යා කටයුතුවලට සහභාගිවූ පිsරිස ගමේ ගියේ මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදුන් මහාචාර්යවරුන්ගෙන් මුදල් ඉල්ලාගෙනය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් හිඟකම නිසා මේ ආකාරයෙන් ගෙවීම් පමාවෙනු ඇතැයි ඇතැම්හු කියති. නමුත් මාස 04ක්‌ පඩි නොදීම ගැටලු සහගතය. මේ ආකාරයේ මෙම රජගල ව්‍යාපෘතිය එක පිම්මේ 2020 දක්‌වා සිදුකළේ නම් කෙතරම් පුරාවිද්‍යා ස්‌මාරකයන් ප්‍රමාණයක්‌ සංරක්‌ෂණය කරන්නට හැකියාව ලැබේවි ද යනුවෙන් අපට මෙම කාර්ය සඳහා සහභාගි වූ පිරිස්‌ පවසා සිටිති. 

"මේ වන විට මෙම ස්‌ථානයේ කැණීම් කටයුතු විශාල ප්‍රමාණයක්‌ සිදුකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ කඳු මුදුනේ කාර්යාල සහ ගොඩනැඟිලි, වැසිකිළි පද්ධති පවා ඉදිකර තිබෙනවා. රජගල පහළ ද පොලිස්‌ මුරපළ ගොඩනැඟිල්ලක්‌, කාර්යාලයක්‌ සහ වැසිකිළි පහසුකම් ඇති කරලා මෙම පුදබිමේ සංවර්ධන කටයුතු විශාල පිරිසක්‌ සිදුකර තිබෙනවා. ඒ නිසා මේ වන විට රජගල පැමිණි කාට වුණත් අපි මේ ස්‌ථානයට වැය කර තිබෙන මුදලට ඉතා සාධාරණයක්‌ ඉෂ්ට කර තිබෙනවා" යෑයි පේන බවද එහි සේවය කළ පිරිස පවසා සිටිති.

වසර සිය ගණනක්‌ කැලයෙන් යටවූ මෙම පුදබිමේ පුරාවිද්‍යා ස්‌මාරකයන් 700 කට අධික ප්‍රමාණයක්‌ තිබේ. එවන් ස්‌ථානයක සේවය කරන පිරිසට වැටුප් නොගෙවා මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතාලන්නට කටයුතු කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි සොයා බැලිය යුතුය. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණක්‌ කරන්නේ නම් වැඩ සිදුවන්නේ ඉබි ගමනේය. ඒ අතර වැඩේ නොවුණත් අවසානයේදී මුදල් වියදම් ගොස්‌ තිබෙන්නට පුළුවන. ඒ නිසා රජගල ව්‍යාපෘතිය මේ වන විට නතරකර දැමීමේ පිටුපස පුරාවිද්‍යාවේ අඳුරු බලවේගයන් ඇති දැයි සොයා ගැනීම එහි ලොකු මහත්තයා සතු වගකීමකි. එසේ නම් මෙම රජගල වැඩබිම අංජ බකල් කළ පුරාවිද්‍යාවේ නිලධාරීන් පිළිබඳව නිසි තීරණයක්‌ ගත යුතුය.

මෙම ව්‍යාපෘතියේ මුල්‍ය කටයුතු නිසි පරිදි කිරීමට පුරාවිද්‍යාවට නොහැකි නම් මෙහි මූල්‍ය පාලනය කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාර දිය හැකිය. රාජ්‍ය ආයතනයක්‌ නිසා මූල්‍ය පාලනයට අදාළ නීතිරීති අනුව ඒ කටයුතු සිදුකිරීමට අවස්‌ථාව ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවීමට ඉඩ ඇත. යම් මූල්‍ය අක්‍රමිකතාවයක්‌ වන්නේ නම් විගණනය කිරීමට ද හැකියාවක්‌ ඇත. එසේ නොමැති නම් මෙම රජගල ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමේ පාපය සිදු වීමට ඉඩ ඇත.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2017/05/21/feature02.html

Sunday, May 7, 2017

කණ්‌ටක දාගැබ ඉතිහාසය මෙහෙමයි !

ලංකාවාසී බෞද්ධ ජනයාට මිහින්තලය වැදගත් වන්නේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස හා දේවානම්පියතිස්‌ස මහ රජතුමා ඇතුළු දෙපිරිස හමු වූ ඓතිහාසික භූමිය වීම නිසාම නොවේ. වංස කතාවේ ෙච්තියගිරිය, සෑගිරිය ලෙස හැඳින්වූ මිහින්තලය නම් වූ ශේෂ කඳු පන්තිය ආශ්‍රිතව ගොඩනැගුණු අති විශාල බෞද්ධ ආරාමය ලක්‌දිව බුදු සසුන ස්‌ථාපිත වීම කෙරේ බලපෑ ප්‍රධාන මධ්‍යස්‌ථානයක්‌ වීම යන කාරණාව හේතුවෙන් ලංකාවාසී බෞද්ධ ජනයාගේ නොමඳ පූජනීයත්වයට පත්වූහ.

ඓතිහාසික මිහින්තලා මහ සෑය, අම්භස්‌ථල දාගැබ, කණ්‌ටක දාගැබ ප්‍රධාන කොට ඇති අති විශාල දාගැබ් ප්‍රමාණය මෙන්ම බෝධිඝර, දාන ශාලා, ආරාමික ගොඩනැඟිලි, ආරෝග්‍ය ශාලා හා අනෙකුත් ආරාමික නටබුන් අතීත ෙච්තියගිරියේ සුවිශේෂත්වය හා දියුණුව අද දක්‌වාම නිහඬව කියාපායි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසිවන සියවසේ මුල් අවධියේ සිටම මිහින්තලය ආරාමික නටබුන් කෙරේ දැක්‌ වූ උනන්දුව කැපී පෙනේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්‌ ධූරයට පත් කීර්තිමත් පුරාවිද්‍යාඥයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් මිහින්තලයේ නටබුන් පරීක්‌ෂා කිරීමට විශේෂ උනන්දුවකින් කටයුතු කළේය.

පරණවිතාන ශූරීන් විසින් මිහින්තලයේ කණ්‌ටක දාගැබේ සිදු කළ පර්යේෂණ ඇසුරින් මෙතැන් සිට මෙම ලිපිය දිගහැරණුයේ ගාල්ල පුරාවිද්‍යා කාර්යාලයේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර බුද්ධි නාගොඩ විතාන මහතා සමඟ කළ සාකච්ඡාවක්‌ ඇසුරිණි.

මෙම දාගැබ සොයා ගන්නා විට එහි උඩ කොටස්‌ කඩා වැටී පස්‌ කන්දක්‌ සේ තිබී ඇත. 1934 ට පෙර වාර්තාවල දාගැබ හඳුන්වා තිබුණේ 'කිරිබඩපව්ව' නමිනි. නමුත් මෙම දාගැබේ නියම නම කණ්‌ටක දාගැබයි. දාගැබට වයඔ දිගින් පිහිටි ශිලා ලේඛනයක මෙම නම සඳහන්ව ඇත. 

දාගැබේ කැණීම් කටයුතු 1934 දෙසැම්බර් මාසයේ දී ආරම්භ කර ඇති අතර එම කාර්ය 1935 ජුනි මස අවසානය දක්‌වා සිදුකර ඇත. කැණීම් ආරම්භ කිරීමට පෙර දාගැබක කිසිදු සලකුණක්‌ පෙනෙන්නට නොතිබූ බව පරණවිතාන මහතා පවසයි. මෙය මහ ගස්‌ වැවුණු කඳු ගැටයක්‌ ලෙස දිස්‌ විය. 

කණ්‌ටක දාගැබ කවුරුන් විසින් ඉදිකරන ලද්දක්‌ දැයි සඳහනක්‌ නැත. නමුත් ක්‍රිස්‌තු පූර්ව 119- 109 රජ කළ සද්ධාතිස්‌ස රජුගේ පුත් ල-ජතිස්‌ස රජු මෙම දාගැබට 'ගල් කඤ්චුකයක්‌' තැනවූ බව මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව මුල් දාගැබ ල-ජතිස්‌සට පෙර සිටි රජ කෙනෙක්‌ ඉදිකරන්නට ඇත. ඒ අනුව දාගැබ සද්ධාතිස්‌ස රජුගේ හෝ දුටුගැමුණු රජුගේ නිර්මාණයක්‌ විය යුතුය. දුටුගැමුණුට පෙර එළාර රජු රජ වී සිටි බැවින් ඔහුගේ කාලයේ දී මිහින්තලයට අනුග්‍රහයක්‌ නොලැබෙන්නට ඇත. එහෙත් මහාවංසය පවසන ආකාරයට මිහින්තලා මහ සෑයට එළාර රජුගේ රථයෙන් සිදු වූ හානියට පිළියම් වශයෙන් එම දාගැබේ විනාශ වූ කොටස නැවත පිළිසකර කිරීම ගැන පුවතක්‌ සඳහන් වේ. දේවානම්පියතිස්‌ස රජුගේ සොහොයුරු උත්තිය රජුගේ කාලය හැරෙන්නට එළාර රජුට පෙර සිටි සෙසු සොහොයුරන්ගේ කෙටි පාලන කාලවලදී මෙවන් අනුග්‍රහයක්‌ මිහින්තලයට ලැබුණ බවට සාක්‌ෂි නැත. එහෙත් උත්තිය රජු මිහිඳු රජුගේ භෂ්මාවශේෂ තැන්පත් කර සෑගිරියේ මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල දාගැබ් ඉඳිකළ බව මහාවංසය සඳහන් කරයි. (මහාවංසය 20 පරිච්ඡේදය 46 ගාථාව) එහෙත් මිහින්තලයෙන් මිහිඳු සෑය ලෙස මිහිඳු මහ රහතන් වහන්සේගේ භෂ්මාවශේෂ තැන්පත් කොට ඉදි කළ දාගැබක්‌ හඳුනාගෙන ඇති බැවින් කණ්‌ටක දාගැබ උත්තිය රජුගේ කෘතියක්‌ විය නොහැකිය. 

දේවානම්පියතිස්‌ස රජතුමා මිහින්තලයේ කණ්‌ටක දාගැබ අවට අට සැට ලෙන් කරවා මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කළ විස්‌තරයක්‌ මහාවංසයේ සඳහන් වුවත් කණ්‌ටක දාගැබ එතුමා කළ බවට සඳහනක්‌ නැහැ. එසේ නම් නිසැක වශයෙන්ම කණ්‌ටක දාගැබ දුටුගැමුණු රජුගේ හෝ සද්ධාතිස්‌ස රජුගේ කාර්යයක්‌ විය යුතුයි බුද්ධි නාගොඩ විතාන මහතා කියන්නේය.

පරණවිතාන මහතා කණ්‌ටක දාගැබේ කළ කැණීම් කටයුතු අතිශය අසීරු කටයුත්තක්‌. අද මෙන් හෙළි පෙහෙළි නොවූ ගන වනාන්තරයේ වෙසෙමින් ඉතා අඩු පහසුකම් යටතේ කළ පර්යේෂණ කටයුතු බෙහෙවින් අගය කළ යුතුයි දාගැබ මත තිබූ දැවැන්ත ගස්‌ ඉවත් කොට සළපතල මළුව මතුකර ගැනීම සඳහා මතුපිට සිට අඩි 30 ක්‌ පමණ ගැඹුරට කැණීම් කටයුතු සිදු කිරීමට එතුමාට සිදු වුණා. කැණීම් කර ඉවත් කරන ලද පස්‌ වෙනත් නටබුන් යට නොවනසේ දාගැබට දකුණින් හා උතුරින් වූ කඳු බෑවුම්වලට බහාලූ බව එතුමාගේ වාර්තාවේ සඳහන් වෙනවා. සුන්බුන් ඉවත් කළ පසු දාගැබ ගර්භයේ පහළ කොටසුත් මළුවට සම්බන්ධ කොට එකමත එක ඉඳිකර තිබූ පේසා වළලු තුනත් සිව් දිශාවේ වූ වාහල්කඩ (ආයක) හතරක්‌ මතුකරගත හැකි වුණා. දිවයිනේ වෙනත් කිසිදු දාගැබකින් ආරක්‌ෂා වී නොතිබූ ආකාරයෙන් මෙම දාගැබේ වාහල්කඩ දෙකක්‌ හා පේසා වළලු තුනක්‌ ආරක්‌ෂා වී තිබූ බව පරණවිතාන මහතා සඳහන් කරනවා. දාගැබ මතුකර ගන්නා විට එහි උස අඩි 40 ක්‌ පමණ ශේෂව තිබූ අතර වට ප්‍රමාණය අඩි 425 ක්‌ වී යෑයි සඳහන් වෙන බව බුද්ධි නාගොඩ විතාන මහතා පවසන්නේ පරණවිතාන ශූරීන් විසින් කළ පර්යේෂණයේ දුෂ්කර බව පවසමිණි. 

පේසා වළලුවල මුහුණත සමහර කොටස්‌ හුණු ගලින් බැඳ තිබී ඇත. ඉහළම පේසාව, ගල් ඇතිරූ මළුවේ සිට අඩි දහයකුත් අඟල් නවයක්‌ උසින් පිහිටා ඇත. ඉහළම පේසාව මතින් ගර්භය ආරම්භ වේ. ගර්භයේ ද යට කොටස්‌ එනම් ඉහළම පේසාව මට්‌ටමේ දී මුහුණතට හුණුගල් අල්ලා ඉඳිකොට තිබූ බව පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි. මුළු දාගැබට පසු කාලයේ දී ගඩොල් කඤ්චුකයක්‌ එකතු කිරීමෙන් විශාල කර ඇතැයි පරණවිතාන මහතා විශ්වාස කළේය. එසේම මෙම දාගැබට ල-ජතිස්‌ස රජු ගල් කඤ්චුකයක්‌ ඉදි කළේ යෑයි මහාවංශයේ වන සඳහන මතුකරන පරණවිතානයන් එසේ ඉදිකරන ලද ගල් කඤ්චුකය මෙය විය හැකි බවට අනුමාන කරයි. පරණවිතානයන්ගේ සියුම් කැණීම් කටයුතුවලදී දාගැබේ ගර්භයෙන් හා පේසා වළලු මුහුණතෙන් මතුකරගත් හුණු බදාම කොටස්‌ ආරක්‌ෂා කර ගැනීම සඳහා ද කටයුතු සිදු කර ඇත.

පරණවිතානයන්ගේ කැණීම් කටයුතුවලදී මතුකරගත් දාගැබේ වාහල්කඩ හතර ගැන විශේෂයෙන් එතුමාගේ වාර්තාවේ සඳහන් කර ඇත. ඒ ගැන බුද්ධි නාගොඩ විතාන මහතා මෙසේ කීවේය.

දකුණු හා නැඟෙනහිර වාහල්කඩ ඉතා හොඳින් ආරක්‌ෂා වී තිබුණ වාහල්කඩ දෙකයි. උතුරු වාහල්කඩ මදක්‌ විනාශ වී තිබුණත් එය නැවත ප්‍රතිසංස්‌කරණය කළ හැකි මට්‌ටමක වූ බව එතුමා සඳහන් කර තියෙනවා. නමුත් බස්‌නාහිර වාහල්කඩ නැවත අලුත්වැඩියා කළ නොහැකි තරමට කැඩී බිඳී ගොස්‌ තිබූ බව එතුමාගේ වාර්තාවල සඳහන් වෙනවා. කණ්‌ටක චෛත්‍යයේ විශේෂත්වය වන්නේ දැනට ඉතිරි වී ඇති හොඳම වාහල්කඩක්‌ මෙහි තිබීමයි. ඒ ගැන පරණවිතානයන් සඳහන් කරන්නේ මෙසේය. -කණ්‌ටක චෛත්‍යයේ වාහල්කඩ විචිත්‍ර කැටයමින් යුක්‌තය. බිත්ති හිස පිහිටි ඉහළම ලීස්‌තරයට යටින් ඇත්තේ ගණ රූ පෙළකි. ඊට යටින් ඇත්තේ හංස රූ පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බොකු තනා ඇත. හැම බොක්‌කකම දෙපස බිත්ති කණු දෙකකි. හුනෙන් හෝ ඇසුරුම් මැට්‌ටෙන් හෝ තැනූ දේවතා පිළිමයක්‌ හැම බොක්‌කකම තිබී ඇති බව පෙනේ ඒ පිළිම සමහරක කොටස්‌ තවම දැකිය හැකිය. අසල සුන්බුන් මැද තිබී සම්බවුණු සමහර පිළිම හිස්‌ අතර අත්කම් හැටියට බොහෝ වටිනාකමින් යුතු ඇඹුම් මැටි පිළිම හිස්‌ දෙකක්‌ ද විය. ඒ පිළිම ද මුළු වාහල්කඩද පෙර විවිධ වර්ණයෙන් සායම් කර තිබී ඇති බව පෙනේ. අදත් තැනින් තැන ඒ සායම් ලකුණු දක්‌නට ඇත.

කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් හමුවන ඉහත කී ගණ රූප සිත් ඇදගන්නා සුලුය. එහි නිරූපනය වන වාමනයන්ගෙන් සමහරු සංගීත භාණ්‌ඩ වාදනය කරති. එකෙක්‌ නාගයෙකු සමඟ ක්‍රීඩා කරයි. තවෙකෙක්‌ හිසින් සිටියි. ඔවුහු විවිධ ඉරියව් දක්‌වති. සමහර වාමනයන්ට සත්ව හිස්‌ ඇත. ඒ අතර අශ්ව, වල් ඌරු, වානර ආදී හිස්‌ සහිත වාමනයන් මෙම වාහල්කඩ ගණ රූප අතර සිටින බව පරණවිතාන මහතා පවසයි. මෙම ගණ රූප පේළිය මැද දක්‌නට ලැබෙන එක්‌ දළයක්‌ කැඩී ගිය ඇත් හිසකින් යුත් ගණ රූපයක්‌ කෙරේ පරණවිතානයන්ගේ නිරීක්‌ෂණ යොමු විය. මෙහි දක්‌නට ලැබෙන ඇත් හිසක්‌ සහිත ගණ රුව වෙත දෙපසින් විවිධ දෑ අතින් ගත් ගණ රූප පෙළක්‌ වෙයි. මෙම කැටයම සැළකිල්ලට ගත් පරණවිතානයන් එය ගණ දෙවියන්ගේ කැටයමක්‌ යෑයි හඳුනා ගත්තේය. 

අපගේ පෞරාණික නටබුන්වලට වන නිදන් හොරුන්ගේ තර්ජන අතීතයේ ද අඩුවක්‌ නැතිව තිබූ බව පරණවිතාන මහතා කියයි. කණ්‌ටක දාගැබද නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්‌ වී ඇත. නිදන් හොරුන් හෑරූ වළට යටවී තිබී ගලින් තැනූ කරඬු විශාල සංඛ්‍යාවක්‌ පරණවිතාන මහතාගේ පර්යේෂණවලදී සොයාගනු ලැබීය. එම කරඬු දාගැබ් ආකාරයෙන් නිමවා තිබූ බවත් ඒවායේ ශ්‍රද්ධාවන්තයන් පූජා කළ නොයෙක්‌ වස්‌තුවූ බවත් පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කරයි. 

කණ්‌ටක චෛත්‍යයෙන් පාදාගත් ඉතා වටිනා වාහල්කඩ කිහිපය ආරක්‌ෂාකර ගැනීම සඳහා පරණවිතාන මහතා ඉතා උනන්දුවෙන් කටයුතු කළේය. වාහල්කඩේ පහළ කොටස්‌ ගලින් නිර්මාණය කර ඇතත් උඩ කොටස නිර්මාණය කර තිබුණේ ගඩොලෙනි. බොහොමයක්‌ දාගැබ්වල වාහල්කඩේ ඉහළ ගඩොල් ඉදිකිරීම් සියල්ල විනාශ වී ගොස්‌ ඇති හෙයින් කණ්‌ටක දාගැබේ වාහල්කඩෙන් උඩ කොටස පිළිබඳව ලැබෙන සාක්‌ෂි ඉතා වැදගත් ලෙස පරණවිතාන මහතා සැලකීය. කැණීමෙන් පසුව ඇදහැලෙන පළමු වර්ෂාවෙන්ම ඇදවැටෙන බවට අනුමාන කළ වාහල්කඩේ උඩ කොටසේ ගඩොල් බැමි ආරක්‌ෂා කිරීමට එතුමා පොල්අතු වහලයක්‌ කඩිනමින් ඉඳි කළේය.

වඩා හොඳින් ආරක්‌ෂා වී තිබූ නැඟෙනහිර වාහල්කඩේ සංරක්‌ෂණ කටයුතු එතුමා පළමුව ආරම්භ කරනු ලැබීය. ගඩොල් අතරට ඇදී ගොස්‌ තිබූ විවිධ ගස්‌වැල්වල මුල් ඉතා පරිස්‌සමින් උදුරා දමා හිස්‌ කුස්‌තූරවලට බදාම කවා බුරුල් වූ ගඩොල් නැවත ශක්‌තිමත් කර ඇත. එසේම වෙනත් ක්‍රමවලින් අලුත්වැඩියා කළ නොහැකි කොටස්‌ ගලවා පරණ ද්‍රව්‍යම හැකි තරම් දුරට පාවිච්චි කර නැවත බැඳීම සිදුකර ආරක්‌ෂා කිරීමට කටයුතු කර ඇත. එසේම මැද තිබූ බුරුල් වූ ගඩොල් හා බුරුල් වූ පස්‌ ඉවත් කර ඒවාට කොන්ක්‍රීට්‌ යොදා නැවත ශක්‌තිමත් කරන ලද්දේ පිටතට නොපෙනෙන ආකාරයෙන් යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කර ඇත. තවද වාහල්කඩ සංරක්‌ෂණය කිරීමේ දී නොයෙක්‌ රටා කපා තිබූ බදාම කැබලි ද බැම්මේ බොකුවල තබා තිබුණු අලංකාර ඇඹුම් මැටි පිළිම කැබලි ද නැවත ඒ ඒ නියමිත ස්‌ථානවලම තබා සිමෙන්තියෙන් සවිකර ඇත. මේ සඳහා යොදාගත් අලුත් බදාමය පැරණි බදාමයට ගැළපෙන පරිදි පාට කරනු ලැබූ බවද එතුමා වැඩි දුරටත් සඳහන් කරයි.

වාහල්කඩ දෙපස වූ කැටයම් කණු පුපුරා තිබූ හෙයින් සුන්බුන් ඉවත් කළ පසු වර්ෂා කාලයේ දී ඇදවැටේ යෑයි සැක කළ පරණවිතානයන් එම කණු නැවත ශක්‌මත් කිරීමට කටයුතු කළේය. එම කණුවල අභ්‍යන්තරයට වානේ කූරු ගිල්වා ඒවා ශක්‌තිමත් කළේ පිටතට නොපෙනෙන අන්දමටය. පුරාණයේ එම කණු මත තිබූ ඇත් රූප කැටයම් බිම වැටී තිබී එතුමාට කැණීම් කටයුතුවලදී හමුවී තිබුණි. පෙර කී කණුව ශක්‌තිමත් කළ පරණවිතානයන් බිම වැටී තිබූ ඇත් රූප පෙර තිබූ පරිදිම කණුවෙහි මුදුනෙහි සවි කළේය. වාහල්කඩ ඉදිරිපස තබූ ගලින් නෙළුE පූජාසනය නිදන් හොරුන්ගේ කුරිරු පහර දීමට හසුව විනාශ වී තිබූ බව එතුමා සඳහන් කරයි. පසුව එම පූජාසනය හා එයට සම්බන්ධ සියලු ගල් කැබලි එක්‌කර පුරාණයේ තිබූ අයුරින්ම නැවත ස්‌ථාපිත කළේ යෑයි පරණවිතාන මහතා තම වාර්තාවේ සඳහන් කළේය. මේ ආකාරයෙන් නැඟෙනහිර වාහල්කඩට කළ සංරක්‌ෂණ ප්‍රතිකර්ම සියල්ලම අනෙක්‌ වාහල්කඩවලටද කිරීමට එතුමා අතපසු නොකළේය. එහෙත් උතුරු වාහල්කඩ සංරක්‌ෂණයේ දී මහත් වෙහෙසක්‌ දැරීමට සිදු වූයේ එය බෙහෙවින් විනාශ වී දුර්වල වී තිබූ නිසා බව එතුමා කියයි. මේ හේතුව නිසා එම වාහල්කඩ අංක යොදා ගලවා නැවත සවිකිරීමට එතුමාට සිදුවිය. මෙය ඉතා ප්‍රවේශමෙන් හා සැලකිල්ලෙන් කළ යුතු කාර්යයක්‌ වූයේ වාහල්කඩ ඉඳිකර තිබූ හුණුගල් කොටස්‌ බෙහෙවින් දිරා ගොස්‌ තිබූ නිසා යෑයි එතුමා සඳහන් කළේය. 

පරණවිතාන මහතා 1934 දී ආරම්භ කළ කැණීම් හා සංරක්‌ෂණ කටයුතු 1936 පමණ වන විට අවසන් කොට තිබුණා. මිහින්තලා කණ්‌ටක දාගැබ කැණීම් කොට සංරක්‌ෂණය කිරීමේ කාර්ය සඳහා එතුමා ගත් උත්සාහය මෙම වාර්තාවලින් මනාව පැහැදිලි වෙනවා. පරණවිතාන මහතා සිදු කළ විශිෂ්ට කැණීම හා සංරක්‌ෂණ කටයුතු අතර මිහින්තලා කණ්‌ටක චෛත්‍ය කැණීම් හා සංරක්‌ෂණ කටයුතු ද සුවිශේෂ කාර්යයක්‌ බව බුද්ධි නාගොඩ විතාන මහතා සඳහන් කළේය.

පරණවිතානයන් මිහින්තලේ කණ්‌ටක දාගැබේ කළ පුරාවිද්‍යා පර්යේෂණ

ලලිත් චාමින්ද
http://www.divaina.com/2017/05/07/feature03.html