නොමිලේ රැහන් රහිත අන්තර්ජාල පහසුකම් (වයි-ෆයි) ලබාදීමේ පළමු අදියර ලබන සඳුදා (30දා) කොළඹ කොටුව දුම්රිය ස්‌ථානයෙන් ආරම්භ කරනු ලැබේ.
ඒ අනුව ලබන සඳුදා (30දා) පෙරවරු 9.30ට කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය අසලදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් නොමිලේ වයි-ෆයි ලබාදීමේ පළමු අදියර ආරම්භ කෙරේ.
මීට අමතරව රටේ තෝරාගත් ස්‌ථාන දහසක පමණ මෙම වයි-ෆයි කලාප ස්‌ථාපිත කරනු ලබයි.
විශ්වවිද්‍යාල, වෙනත් වෘත්තීය අධ්‍යයන ආයතන, ප්‍රධාන පෙළේ දුම්රිය ස්‌ථාන, බස්‌නැවතුම්පළවල්, සියලුම ශික්‍ෂණ, දිස්‌ත්‍රික් හා ඒ ශ්‍රේණියේ මූලික රෝහල්, මහජන උද්‍යාන, මහජන පුස්‌තකාල, මහජනයා බහුල ලෙස පැමිණෙන රජයේ කාර්යාල, දිස්‌ත්‍රික් ලේකම් කාර්යාල හා කෞතුකාගාර ආදී ස්‌ථානවල මෙම වයි-ෆයි කලාප විවෘත කිරීමට නියමිතය.
ප්‍රභාත් විතාන
http://www.divaina.com/2015/03/28/news04.html
Pic
Source
සබැඳි ලිපි -
[
සඳුදා සිට නොමිලේ ‘වයි ෆයි‘ - ලබා දෙන ප්‍රදේශ මෙන්න...http://denethharinna.blogspot.com/2015/03/blog-post_72.html
]
අන්තවාදී පිරිස්‌වල ක්‍රියාවන් හේතුවෙන් නැගෙනහිර මුහුදේ මසුන් අල්ලන සංක්‍රමණික දකුණේ ධීවරයන් විශාල පිරිසක් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.
ධීවර පවුල් 400 - 500 ත් අතර ප්‍රමාණයකට නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීමට ඉඩ නොදීම නිසා මෙම තත්ත්වය හට ගෙන ඇතැයි සඳහන් වේ.
කාලයක් තිස්‌සේ හලාවත හා මීගමුව ප්‍රදේශවල සංක්‍රමණික සිංහල ධීවරයන් නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලූ බවත්, දැනට දින කිහිපයක් තිස්‌සේ නැගෙනහිර ක්‍රියාත්මක අන්තවාදී පිරිස්‌වල විරෝධතා හේතුවෙන් ධීවර කටයුතුවල නිරත වීමට හැකියාවක් නැති බවත් ධීවරයෝ පවසති.
ජාතිවාදය මතු කරමින් නැගෙනහිර ක්‍රියාත්මක ඇතැම් අන්තවාදී පිරිස්, රජයේ ප්‍රබල මුස්‌ලිම් හා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් මෙන්ම ප්‍රාදේශීය දේශපාලනඥයන් ද මෙම විරෝධය පිටුපස සිටින බව සඳහන් කරන ධීවරයෝ කාලයක් තිස්‌සේ කරගෙන යන ධීවර රැකියාව දැන් කරගෙන යැමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද සඳහන් කරති.
ත්‍රිකුණාමය දිසාපති හා ධීවර අධ්‍යක්‍ෂවරයා ඉවත් කරන ලෙසට ඉල්ලා මෙම අන්තවාදී පිරිස් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතව සිට ඇතැයි ද සඳහන් වේ.
නැගෙනහිර මුහුදේ මසුන් අල්ලමින් සිටි සංක්‍රමණික ධීවරයන්ගේ බෝට්‌ටුවකට ද ගිනි තබා විනාශ කිරීමට මෙම අන්තවාදී පිරිස් පසුගියදා පියවර ගෙන තිබිණි.
කෙසේ නමුත් ත්‍රිකුණාමලය දිසාපති, ප්‍රදේශයේ ධීවර අධ්‍යක්‍ෂ ඇතුළු ධීවර සංගම් එක්‌ව කළ සාකච්ඡාවකින් පසුව ධීවර යාත්‍රා 48 කට නැගෙනහිර මුහුදේ මසුන් ඇල්ලීම සඳහා අවසර ලබාදී ඇති අතර, යාත්‍රා 10 කට නීත්‍යානුකූලව අවසර ලබා දීමට පියවර ගෙන ඇත.
නැගෙනහිර ක්‍රියාත්මක මෙම අන්තවාදී පිරිස්‌වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඉල්ලමින් හලාවත හා මීගමුව යන ප්‍රදේශවල ධීවරයන් උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරතව ඇත.
ලසිත දුමින්ද - සමන් මල්ලවආරච්චි
http://www.divaina.com/2015/03/28/provin.html
Pic
Source
සබැඳි ලිපි -
[
බෝට්‌ටු ගිනි තබා සංචාරක ධීවරයන් පන්නා දැමූ මූසලු අන්තවාදයේ ත්‍රීකුණාමලයේ අවනඩුවhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_8.html
]
ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයට නව පිටුවක් එක්‌කරමින් ප්‍රථම වරට යුද හමුදා නිලධාරියකු වෙත ෆීල්ඩ් මාර්ෂල් නිලය ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය.
මෙතෙක් මෙරට යුද හමුදා නිලධාරියකු දරන ඉහළම නිලය ලෙස තිබූ ජෙනරාල් නිලය අභිබවා ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල් නිලයෙන් පිදුම් ලැබූ සරත් ෆොන්සේකා ලොව සිටින සීමිත ෆීල්ඩ් මාර්ෂල්වරුන් කීපදෙනා අතරට පැමිණියේ ශ්‍රී ලංකාවට ගෞරවයක් සහ කීර්තියක්‌ද අත්කර දෙමිනි.
එතෙක් තරු හතරේ ජෙනරාල් නිලය දරමින් සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාට තරු පහේ ෆීල්ඩ් මාර්ෂල් නිලය පිරිනැමීම එක්‌තරා ආකාරයක ආන්දෝලනාත්මක සිදුවීමක් බවට ද පත්විය.
ඇතැමුන් එයට දේශපාලන මුහුණුවරක් දීමටද උත්සාහ දැරූහ. එමෙන්ම එයින් ත්‍රිවිධ හමුදා අතර ප්‍රශ්නයක් ඇති කිරීමට ද ඇතැමුන් කටයුතු කළහ. ඒ නාවික හා ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරුන් වන වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලකටද ෆීල්ඩ් මාර්ෂල් නිලයට සමාන නිල පිරිනැමිය යුතු බව පවසමිනි.
ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් නිලය හිමිවීම සැබැවින්ම එක්‌තරා දෛවෝපගත සිදුවීමක් ලෙස ද සැලකිය හැක.
තිස් වසරක ශාපකාරී කුරිරු යුද්ධය තුන් වසරක කෙටි කාලයකින් අවසන් කර ඓතිහාසික යුද විජයග්‍රහණයත්, රටට සම්පූර්ණ නිදහසක් ලබාදීමට ප්‍රමුඛ යුද නායකත්වය දුන් එවක හිටපු යුද හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ජෙනරාල් නිලයට උසස්‌වී කෙටි කලකින් එම නිලය පමණක් නොව සියලුම යුදමය තත්ත්වයන් අහිමි වී නිකම්ම නිකං සරත් ෆොන්සේකා බවට පත්විය.
ඔහුගේ නිලයන් සියල්ල අහිමිකර ඔහුගේ නම ඡායාරූප පවා යුද හමුදා මූලස්‌ථානය ඇතුළු සියලුම හමුදා කඳවුරුවලින් ඉවත් කෙරිණි. යුද විජයග්‍රහණයට අදාළ උත්සවවලදී ඔහුගේ නම පවා ප්‍රකාශ කිරීම තහනම් විය. සමරු කලාප, ලිපි ලේඛන ආදියෙහිද ඔහුගේ නම සඳහන් කිරීමට ඉඩක් නොවීය.
කොටින්ම 2005 - 2009 කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාවට යුද හමුදාපතිවරයකු නොසිටියේ සේ කටයුතු සිදුකෙරිණි. යුද හමුදාව එසමයේ යුද්ධය කර ඇත්තේ යුද හමුදාපතිවරයකු සහ යුද නායකත්වයයවක් නොමැති ඕපපාතික තත්ත්වයක් තුළ බව සිතෙන අයුරින් ජෙනරාල් ෆොන්සේකාගේ නාමය යුද හමුදාවෙන් මකා දමන ලදී.
යුද්ධයට අදාළ වීඩියෝපට, ඡායාරූප ඔහු නොමැති ඒවා තෝරා ප්‍රචාරය කළේය. කොටින්ම සරත් ෆොන්සේකා වැනි කෙනෙක් යුද හමුදාවේ කවදාවත් සිටියේම නැති ලෙසට සියලු කටයුතු සිදුවිය.
මෙහිදී සිදුවූ තවත් එක්‌තරා සිදුවීමක් සිහියට නැගේ. එය මීට අදාළ නිසා සටහන් කරමි.
2010 සිට 2014 දක්‌වා කාලයේ පැවැති යුද හමුදා සංවත්සරයනට අදාළ විශේෂ ලිපියක් මවිසින් වාර්ෂිකව 'දිවයින' පුවත්පතේ පළකිරීමට කටයුතු කළ අතර ඒ සඳහා හමුදා ඉතිහාසයට අදාළ තොරතුරු සටහනක් යුද හමුදා ජනමාධ්‍ය අංශයෙන් ගෙන්වා ගතිමි. සෑම වසරකම එවූ එම සටහනෙහි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම නොවීය. අංක 01 සිට පිළිවෙළින් හිටපු යුද හමුදාපතිවරුන්ගේ නම් ඇතත් අංක 18 ක් සහ ඒ යටතේ හමුදාපතිවරයකුගේ නමක්‌ද නොවීය. 17 ට පසු ඇත්තේ 19 වැනි හමුදාපතිවරයාගේ නමයි.
නමුත් මේ කරුණ මේ මගේ සිත් ගත්තේ නැත. මා ලිව් සෑම ලිපියකටම හමුදා ලේඛනයේ නැති අංක 18 ට අදාළ යුද හමුදාපති වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම සඳහන් කිරීමට මම වග බලා ගතිමි.
එසේ මකා දමා තිබූ ඒ නාමය නැවත හමුදා ඉතිහාසයේ ලියෑවී දෛවෝපගත ආන්දොලනාත්මක ලෙස ඔහුට ෆීල්ඩ් මාර්ෂල් නිලයද හිමිවිය. අහිමි කළ ජෙනරාල් නිලය ද ආපසු හිමිවී, ඉන් නොනැවතී මෙරට යුද හමුදාවේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ඉහළම තැනට ඒමට වරම් හිමිකර දීමට තරම් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන්ගේ දෛවය ඔහුට බොහෝ කාරුණික විය.
මේ අතර යුද හමුදාවට කාලයක පටන් බලපෑ ප්‍රධාන ප්‍රශ්නයකට එක්‌තරා විසඳුමක් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සේනාධිනායකයා ලෙස වැදගත් පියවරක් ගෙන ඇත.
ඒ නිවාඩු නොමැතිව සේවය හැරගොස් සිටින යුද හමුදා සෙබළුන්ට හා නිලධාරීන්ට නිත්‍යනුකූලව සේවයෙන් අස්‌වීම සඳහා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කිරීමයි.
මෙම පැනගොස් සිටින සෙබළුන්ගේ ප්‍රශ්නය දෙස මානුෂිකව හා සංවේදීව බලා එම සෙබළුන්ට ගෞරවාන්විතව සේවයෙන් අස්‌වී සමාජය වෙත ගොස් නිදහසේ ජීවත්වීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අවධානයෙන් යුතුව උපදෙස් දී ඇත.
ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ මෙහෙයවීම මත සාර්ථක වැඩපිළිවෙළක් සකස්‌කර අප්‍රේල් 02 වැනිදා සිට 16 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
ඒ අනුව මේ වන විට 41,330 ක් වන නිවාඩු නොමැතිව සේවය හැර ගොස් සිටින හමුදා සාමාජිකයන් පිරිසකට නීත්‍යනුකූලව අස්‌වීමට මහඟු අවස්‌ථාවක් හිමිවී ඇත.
නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන අයවලුන් අස්‌කිරීමේ පිළිවෙළට අනුව සිදුකෙරෙන වර්ග කිරීම්
1. යුද්ධ හමුදාව වෙත කිසිදු මුදලක් ගෙවීමට නොමැති සහ අස්‌කිරීම් සඳහා නීතිමය බාධාවක් නොමැති අයවලුන්
2. කිසිදු නීතිමය බාධාවක් නොමැති ඒකක අනිවාර්ය ඉතිරිකිරීම්, යුහ යහ සාධක අරමුදල සහ සුවසහන වෛද්‍ය යෝජනා ක්‍රමයේ ඇති ඉතිරි මුදලින් යුද්ධ හමුදාව වෙත ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට හෝ ඇපකරුවන්/ළඟම ඥාතීන්ගෙන් අයකිරීම සිදුකර අස්‌කිරීමට හැකියාවක් ඇති අයවළුන්
3. නීතිමය චෝදනා නොමැති ඒකක අනිවාර්ය ඉතිරි කිරීම්, යුද යහ සාධක අරමුදල සහ සුවසහන අරමුදලින් හෝ වෙනත් ඉතිරි කිරීම් මුදලින් යුද්ධ හමුදාව වෙත ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට හෝ ඇපකරුවන්/ළඟම ඥාතීන්ගෙන් අයකර පියවා ගැනීමට කටයුතු කර තවදුරටත් රු. 50,000.00 ට වඩා නොවැඩි රජය වෙත හෝ යුද්ධ හමුදාව වෙත මුදල් අයවීමට ඇති අයවලුන්ගේ එම අයකිරීම් කපාහැර ඔවුන් යුද්ධ හමුදාව වෙතින් අස් කිරීමට කටයුතු කිරීම
4. නීතිමය ගැටලු ඇති විනය කඩකිරීම්වලට ලක්‌ව වංචා, දූෂණ/අක්‍රමිකතා, සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ අයවලුන් පවතින නීතිමය ප්‍රතිපත්තීන්ට අනුව ක්‍රියාකර යුද්ධ හමුදාවෙන් අස්‌කිරීම
මේ පිළිබඳව අදහස් දැක්‌වූ යුද හමුදා මූලස්‌ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියා සිටියේ පොදු සමා කාලයේ පැමිණෙන සෙබළුන් රඳවා තබා ගැනීමත් හෝ දඬුවම් ලබාදීමක් සිදු නොකරන බැවින් කිසිදු බියක් සැකක් නොමැතිව පැමිණෙන ලෙස දන්වා සිටින බවයි.
මෙම පොදු සමා කාලයේ නොපැමිණෙන සෙබළුන් අත්අඩංගුවට ගෙන නීතිමය දඬුවම් ලබාදීමට ක්‍රියාකරන බවද මේජර් ජෙනරාල් හතුරසිංහ අවධාරණය කළේය.
සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2015/03/28/feature02.html
සබැඳි ලිපි -
[
තරුවක් වටා පළඳන තරු පහ... ෆීල්ඩ් මාර්ෂල්, මාර්ෂල් ඔෆ් ද ෆිලීට්, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස්http://denethharinna.blogspot.com/2015/03/blog-post_23.html
]
ඒකීය රාජ්‍යය තුළින් දෙමළ ජනතාවට යහපතක් සිදුවන්නේ නැතැයි උතුරු පළාත් මහ ඇමැති සී. විග්නේෂ්වරන් මහතා යාපනයේදී ප්‍රකාශ කර ඇත.
උතුරු පළාතේ පළාත් රජයක් ඇති බව පවසා ඇති විග්නේෂ්වරන් මහතා එම රජයට තම අභිමතය පරිදි කටයුතු කිරීමට ඉඩ දෙන්නේ නැතැයි ද සඳහන් කර තිබේ.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තුළින් සමාන්තර පාලන දෙකක් රට තුළ ක්‍රියාත්මක වීම නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බවද දක්‌වන විග්නේෂ්වරන් මහතා ඒකීය රාජ්‍යය තුළින් බෞද්ධාගමට හා සිංහල භාෂාවට මුල් තැන දී ඇති බවට චෝදනා නගා ඇත.
උතුරු නැගෙනහිර ජනතාව රටේ ජනතාව සමග සම්බන්ධ කිරීම නිසා දෙමළ ජනතාව සුළු ජාතිය බවට පත් වූයේ යෑයි ද ඔහු වැඩිදුරටත් දක්‌වා තිබේ.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2015/03/28/news03.html
Pic
Source
රටම ආවරණය වන අන්දමින් නොමිලේ අන්තර්ජාල පහසුකම් සැපයීමේ වැඩසටහන යටතේ ‘වයි ෆයි‘ කලාප කිහිපයක් ලබන සතියේ සඳුදා සිට ආරම්භ කිරීමට සුදානම් බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ වැඩසටහන් කළමණාකරු ගවස්කාර් සුබ්‍රමනීයම් මහතා පවසා ඇති බවට වාර්ථාවේ.
තවද ලබන සඳුදා මෙහි සමාරම්භක නිල උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විමට නියමිත බවත් සුබ්‍රමනීයම් මහතා පැවසු අතර එම උත්සවයට සමගාමීව ‘වයි ෆයි‘ කලාප 26ක් ඇරැඹීමට සුදානම් බව ඒ මහතා පවසා ඇත.
මුලික අදියරේ නොමිලේ ‘වයි ෆයි‘ ලබා දෙන ප්‍රදේශ මෙලෙසය. තවද මෙම ප්‍රදේශ වල දුම්රිය ස්ථානයන්, බස් නැවතුම්පළවල්, රෝහල්, මහජන පුස්තකාල, ගුවන් තොටුපල, සහ සෙනඟ වැඩිපුර ගැවසෙන ස්ථානයන් වල නොමිලේ ‘වයි ෆයි‘ ලබා ගත හැකි බවට වාර්ථාවේ.
කොළඹ කොටුව
පොළොන්නරුව
මාතර
යාපනය
නුවර
ගාල්ල
පේරාදෙණිය
කටුනායක
රත්නපුර
දෙහිවල
නුවර දළදා මාලිගාව
මිරිදිවල
බත්තරමුල්ල
http://lankafocusnews.com/?p=37369
Pic
Source
ඉදිරියේ පැවැත්වෙන මහ මැතිවරණය මනාප ක්‍රමය අහෝසි කර කොට්ඨාස ක්‍රමයට පැවැත්වෙන අතර පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව 255ක් දක්වා ඉහළ යනු ඇති බවට වාර්ථාවේ.
කොට්ඨාස ක්‍රමය ආසන 160ක්ද දිස්ත්‍රික් 22න් සමානුපාතික ක්‍රමය යටතේ ආසන 70ක්ද ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරු 20 ක්ද තෝරාපත්කර ගැනීමට නියමිතය. ජාතික ලැයිස්තුවේ එම 20 දෙනාගෙන් 5ක් අනිවාර්යයෙන් කාන්තාවන් විය යුතුය.මෙම මැතිවරණ සංශෝධනය 20 වැනි සංශෝධනය ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවට වාර්ථාවේ.මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ හිටපු ජනාධිපතිනිය මේ සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවද දැනගන්නට ඇත.
http://lankafocusnews.com/?p=37390
Pic
Source
ලොව ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන මෙහෙයුම්කරු ආසියාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත. ලොව ජනගහනයෙන් 60% ක් ජීවත් වන ආසියානු කලාපය දුප්පත්කම අතින්ද බලපෑමට ලක්ව ඇති බව ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවට වාර්ථාවේ. චීනයේ ශැංහයි නගරයේ පැවැත්වෙන ආසියානු බෝආ සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ අදහස් පළකර ඇති බවට වාර්ථාවේ.
පොදු ඉරණමක් කරා ගමන් කරන ආසියානු කලාපය සහ අනාගතය යන්න මෙවර බෝආ සමුළුවේ තේමාව වෙයි.මෙම සමුළුව සදහා ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, ස්විඩනය, රුසියාව ඇතුළු රටවල් 15ක රාජ්‍ය නායකයින් සහභාගී වු බවට වාර්ථාවේ.
http://lankafocusnews.com/?p=37396
Pic
Source
මේ වන විට යුරෝපා සංගමය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත වරක් තහනම් කර ගැනීමට හැකි වු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙය මෑත කාලීනව ලද විශිෂ්ටතම රාජතාන්ත්‍රාක ජයග්‍රහණයක් බව ඒ මහතා සඳහන් කර ඇති බවට වාර්ථාවේ.
මෙම ජයග්‍රහණයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ ලැබෙනු ඇති බවත්, එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත හිස එසවීම වැලැක්වීම සඳහා ප්‍රඥාවන්තව කටයුතු කරන වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තහවුරුවීමක් මෙමගින් සිදුවන බවත්, හෙතෙම සඳහන් කර ඇති බවට වාර්ථාවේ.
http://lankafocusnews.com/?p=37406
Pic
Source
උතුම් පැවිදි ජීවිතය ගතකරන අපි, පාංශකූල චීවරය, පිණ්‌ඩපාතයෙන් යෑපීම, කැළයේම හුදෙකලාව ජීවත්වීම, එකවේලක් යෑපීම කියන කාරනා නිවන් මාර්ගය මෝදුකොටගැනීමට, සත්තිස් බෝධිපාර්ශ්වික ධර්මයන් වැඩීමට උපකාරක ධර්මයන් බවටයි පත්කොට ගතයුත්තේ. එසේ නැතිව එම උපකාරක ධර්මයන් නිවන් මාර්ගයේ ඵලයක් හැටියට ගැනීමට නොවෙයි. මොකද භික්‍ෂුව දැකලා තිබෙනවා, සමහර පිංවත් ස්‌වාමීන්වහන්සේලා එකවේලක් පිණ්‌ඩපාතයෙන් යෑපීම නිසා තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටු වෙනවා. පංශකූල චීවරය දැරීම තුළින් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුනාය කියලා සතුටුවෙනවා. වනයේ හුදෙකලාව වැඩසිටීමෙන් තමාගේ පැවිදි දිවියේ අරමුණු ඉටුවුණාය කියලා සතුටුවෙනවා. මේ සියලුම කාරණා උතුම් නිවන් මාර්ගයට, නිවන් අවබෝධයට මග පෙන්වන උපකාරක ධර්මයන් පමණය කියන කාරණය අපි දකින්න ඕනේ.
නිවන් මාර්ගයට අවශ්‍ය කරන උපකාරක ධර්මයන් හෙවත් හේතූන් , ඵලය හැටියට ගත්තොත් පිංවත් ඔබ සකුළුදායි තරුණයා සිටිය තැනයි සිටින්නේ (සති දෙකකට පෙර පළවූ ලිපියේ ඒ ගැන සඳහන් විය)
භික්‍ෂුවට මේ මොහොතේ, වර්තමානයේ සිට ඒ අතීත භික්‍ෂු ජීවිතය දෙස ආවර්ජනාත්මකව බැලීමේදී භික්‍ෂුවට පෙනෙන්නේ කිසිම සැලසුම් කිරීමකින් තොර ගමනක්, ඉතාමත් හොඳ සැලැස්‌මක් ඇතිව ඇවිත් තිබෙන ස්‌වභාවයයි. මා සැලසුම් නොකළ මේ ගමන, සැලසුම් කරනු ලැබුවේ මගේ සංස්‌කාර ධර්මයන් විසින්මයි. සංස්‌කාරයන්ට පුදුමාකාර ශක්‌තියක්, හැකියාවක් තිබෙනවා, ගමනක් වැරදි හෝ නිවැරදි දිශාවට සැලසුම්කර දෙන්න. දුරුකළ යුතු දේ දුරුකරමින්, සමීපකර ගතයුතුදෙය සමීපකර ගනිමින්, දුරුකළ දෙයත්, සමීපකොටගත් දෙයත් කෙරෙහි තෘෂ්ණාව හීනකොටගෙන පැමිණි ගමනේ අතීතය දෙස ආපහු හැරී බැලීමේදී භික්‍ෂුව දකින්නේ හිස්‌වූ ජීවිතයක් මිස, කටුසටහන්වලින් යුත් මතක සටහන් ගොන්නක් නොවේ. මොකද භික්‍ෂුව ජීවිතය ජයගත්තා හෝ පරාජය වූවා නොව, තරගයෙන් ඉවත්වූවා පමණි. ජයත් පරාජයත් යන දෙකම ලෝකයට විවෘත වූ ධර්මතාවයන්ය.
වේලාව සවස 5.00ට විතර ඇති. භික්‍ෂුව වැඩසිටින කඳුකර ප්‍රදේශයට වේගයෙන් සුළඟ හමනවා. කඩින් කඩ වැසිත් ඇතිවෙනවා. පරිසරය අඳුරු කරලා තිබෙන්නේ. ලොකු වැස්‌සක පෙරනිමිති පේනවා. මේ වැස්‌සට ගම්වැසියෝ කියන්නේ මහියංගන පෙරහැර වැස්‌ස කියලා.
අතුරුභෝග කුඹුරුවල වගාකරලා තිබෙන, ගමේ ගොවි මහත්වරුන්ට මේ වැස්‌ස බලාපොරොත්තු ඉහළ නංවනවා. වැස්‌ස ගැන කථාකරනකොට මතකයට එන්නේ වැස්‌ස වලාහක දෙවියන්ව. වැස්‌සවලාහක දෙවියන්ට ලස්‌සන දූවරු දෙදෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලොකු දුවගේ නම කෝකන්දා, පොඩි දුවගේ නම චුල්ල කෝකන්දා. මේ දිව්‍ය දියණියන් දෙදෙනා එයාලගෙ පිරිවර දිව්‍ය යෙහෙළියන් පිරිවරාගෙන වළාකුළු මත සෙල්ලම් කරනවා. කාමච්ජන්දයන් විඳිනවා.මේ වැස්‌සවලාහක දූවරු දෙදෙනා පිංකම්වලට ගොඩක් කැමතියි. මනුෂ්‍ය ලෝකයේ සිල්වත් ස්‌වාමීන්වහන්සේලා ධර්මදේශනා කරනකොට, මේ අය කාමච්ජන්දයන් විඳලා වැසි වස්‌සන්නේ නැහැ. නමුත් මේ අයට පාලනය කරන්න බැරි වැසි තිබෙනවා. ඒවා ඇතිවන්නේ සතර මහා ධාතුවේ කිපීම් නිසා. අකුණු ගහලා, ගොරවලා, සුළඟ හමලා ඇතිවෙන ධාරාණිපාත වාර්ෂාවන් සතර මහා ධාතුවේ කිපීම් නිසා ඇතිවන වැසි. මේවා පාලනය කරන්න වැස්‌ස වලාහක දෙවියන්ට හෝ ඔහුගේ දූවරු දෙදෙනාට බැහැ. එමනිසා ඔබ කරන පිංකම් ධර්මදේශනා අසාර්ථක කරමින් ලොකු වර්ෂාවන් වහිනකොට, ඔබ වැස්‌ස වලාහක දෙවියන්ට, එම දිව්‍ය දියණියන්ට බනින්න එපා. ඒ අය අහිංසකයි. පිංවත් ඔබලා පිංකමක් කරනකොට පුංචි පුංචි මල්වැසි වස්‌සලා එම පිංකම්වලට ආශිර්වාද කරන්නේ එම පිංවත් දිව්‍ය දියණියන්මයි.
භික්‍ෂුව මේ මොහොතේ වැඩසිටින කුටිය පිහිටි දුප්පත් ගම්මානයේ ගම්වැසියන්ට භික්‍ෂුව නිතරම කියනවා, ධර්මයට සම්බන්ධ යම් ප්‍රශ්නයක් තිබෙනවා නම් පිණ්‌ඩපාත වේලාවෙදි අහන්න කියලා. ඒ පිංවතුන් අසන්නේ දානයේ ලුණු ඇඹුල් බලන්න හොඳද නැද්ද කියලා. බුද්ධ පූජාව පූජාකළාට පස්‌සේ එය විසිකරන්න හොඳද කියලා. ඉන් එහා ප්‍රශ්නයක් එම පිංවතුන් අසන්නේ නැහැ. එම නිසාම සංසාර බියට අදාළව බණ ටිකක් ඒ අයට කියලා දෙනවා. මේ අයට සංසාරය තව කොතෙක් දීර්ඝ වෙයිද? තවත් කල්ප විනාශ කිහිපයකට මේ අය මුහුණදෙයිද? භික්‍ෂුව නැවතිලා සිටිනවා. ලෝකය ගලාගෙන යනවා. ගලාගෙන යනවා කියන්නේ සංස්‌කාර රැස්‌වෙනවා. නැවතී සිටින තැන සිට ලෝකය දෙස බලනකොට කරුණාවක්‌මයි සකස්‌වෙන්නේ. එම නිසා භික්‍ෂුව මෙලෙස සටහන් ලියනවා. බණ කියනවා. නමුත් ජීවිතය නැවතිලා. විපාකය පිණිස සකස්‌වෙන අතීත සංස්‌කාර හරි හරියට විපාක දෙනවා. කෙනෙකුට සංස්‌කාර විපාක දෙනකොට, තවකෙනෙක් හරිහරියට සංස්‌කාර රැස්‌කරගන්නවා. කෙනෙක් නැවතුනත්, තවකෙනෙක් ඔහු නිසා හරි හරියට දුවනවා. ලෝකය ඒ සුපුරුදු ආකාරයෙන් ගලාගෙන යනවා. නමුත් නැවතී සිටින භික්‍ෂුව එය දකිනවා. ජීවිතය කියන්නේ ප්‍රශ්නාවලියක්. එම ප්‍රශ්නාවලිය කථාකරලා විසඳගන්න බැහැ. උපත නිරෝධය කිරීමෙන්මයි, ප්‍රශ්නාවලිය අවසන්කොට ගතහැක්‌කේ.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2015/03/29/feature05.html
මම වෘත්තීය චිත්‍රපට විචාරකයකු නොවෙමි. එබැවින් මා ඔබ හමුවේ මෙම සටහන තබනුයේ හුදු කලා රසිකයකු හා දේශප්‍රේමියකු වශයෙන් එය නැරැඹීමෙන් ලත් ආශ්වාදය ඔබ ඉදිරියේ දිගහැරීම සඳහා ය.
1956 න් පසු පසුගිය දශකයේ යළිත් මේ රට තුළ ඇති වූ ජාතිකත්වය, දේශමාමකත්වය හා ආගමික පුනරුද ප්‍රබෝධයේ එක් වැදගත් පැතිකඩක් වශයෙන්ද, සිංහල සිනමා කලාවේ එක්‌තරා කූඨ ප්‍රාප්තියක් වශයෙන්ද මම මෙය දකිමි. සිංහල දේශයේ අභිමානවත් හා සාඩම්බර ඉතිහාස කතාවේ හර පද්ධතීන් ආරක්‍ෂා කරමින්, ප්‍රබලව උලුප්පා දක්‌වමින් නූතන සිනමාවේ සියලු මහිමයන් කලාත්මකව භාවිතා කරමින් දුටුගැමුණු වත මෙවැනි විචිත්‍රවත් සිනමා සිත්තමකට නැගීම පිළිබඳව පළමුව ජයන්ත චන්ද්‍රසිරියන්ටත්, දෙවනුව නිෂ්පාදක ගුණපාල රත්නසේකරයන්ටත් එම ප්‍රාතිහාර්යට සම්බන්ධ වූ සියලු දෙනාටත් සමස්‌ත ජාතියේම නොමඳ උපහාරය හිමිවිය යුතු යෑයි මම සිතමි.
අසීමිත කුසලතා ඇති ප්‍රතිභාපූර්ණ, නිර්මාණශීලී ජයන්ත චන්ද්‍රසිරි නමැති මේ කලාකරුවා මා පළමුවරට දුටුවේ මීට දශක කීපයකට පෙර රූපවාහිනි තිරය මත දිගහැරුණු, තවත් විශිෂ්ට කලාකරුවකු වූ බුද්ධදාස විතානාරච්චිගේ විශිෂ්ට රංගනයෙන් ඔපවත් වූ "දඬුබස්‌නාමානය" ටෙලිනාට්‍ය තුළිනි. මා පාසල් යන අවධියේ ශ්‍රී ලංකා මාසික සඟරාවේ පළවූ පුරාවිදු දැරණියගලයන්ගේ පුරාණ සිංහල සටන් කලාව පිළිබඳ රූ සටහන් හැරුණුකොට දඬුබස්‌නාමානයේ දුටු පරිදි රංගනයක් වැනි දෙයක් ඊට පෙර කිසිදාක මා දැක නැත. දඬුබස්‌නාමානය කොතරම් මා සිත් ගත්තේ දැයි කිවහොත් එම වසරේ ටෙලි නාට්‍යයන්ට ලැබෙන සම්මානයන් සියල්ල එයට ලැබිය යුතු බව මගේ බිරිඳටද කීවෙමි. මගේ නිගමනය සනාථ කරමින් මට මතක හැටියට එම වසරේ සම්මාන සියල්ලම මෙන් එයට ලැබිණ. "දඬුබස්‌නාමානය" සහ පසු කලෙක "අකාල සන්ධ්‍යා" තුළින් දුටු එම අපූරු අංකුර කලාකරුවා කවදා හෝ මේ රටේ සිනමා ක්‌ෂේත්‍රයේ විප්ලවයක් කරන අයකු වන බවට එදා මා තුළ ඇතිවූ විශ්වාසය "මහරජ ගැමුණු" හරහා අද ඉටුවී තිබීම ගැන බෙහෙවින් ප්‍රීති වෙමි.
"මහරජ ගැමුණු" සිනමා කාව්‍යයට පදනම් වී ඇත්තේ එළාර දුටුගැමුණු සටනයි. ඒ වූ කලී, ඉරහඳ පෑයූ දා සිටම ස්‌වභාව සෞන්දර්යෙන් හා ආර්ථික සමෘද්ධියෙන් ආඪ්‍ය වූ මේ රම්‍ය දිවයින අත්පත්කොට ගැනීම සඳහා කෞටිල්‍යවාදී ඉන්දියානු ආක්‍රමණිකයන් විසින් නොනවතින මුහුදු රළ මෙන් දියත් කෙරෙන ආක්‍රමණාවලියේ එක් සිද්ධියකට විරුද්ධව තම මව්බිම රැකගැනීම සඳහා දුටුගැමුණු රජතුමාගේ නායකත්වයෙන් දියත් කරනා ලද ආහ්ලාදජනක, වීරෝදාර සංග්‍රාමයයි. සිනමාව තුළින් දුටුගැමුණු වත ජාතියට කීමේදී ඓතිහාසික උරුමයද මනා සේ රකිමින් මේ සිංහල දේශයේ රජුගේ මෙන්ම බෞද්ධ භික්‍ෂුවගේද කාර්යභාරය සහ උරුමය විශිෂ්ට අන්දමින් නිරූපණය කොට ඇත.
කිසි දිනක සුව නොවන කෞටිල්‍යවාදී නිධන්ගත රෝගයකින් පෙළෙන දුෂ්ට ඉන්දියානු ව්‍යාප්තවාදයේ සනාතනික ආක්‍රමණවලින් රට රැක ගැනීමේ සිංහලයාගේ ආත්ම ආරක්‌ෂණවාදී වීරෝදාර සටන් පිළිබඳ සනාතනික ශෝක ගීතය වශයෙන් මා විසින් හඳුන්වනු ලබන ලංකා ඉතිහාස කතාවේ වැදගත්ම සංසිද්ධියක් නිදාගෙන සිටින ජාතියක් අවදි කිරීම සඳහා මේ අන්දමින් ප්‍රබලව සිනමාවට නැංවීමෙන් ජයන්ත චන්ද්‍රසිරි සිදුකොට ඇති මෙහෙය ප්‍රශංසනීයය.
රජුන්, රැජිනියන් හා කුමාරවරුන් තම රටවැසියා වෙනුවෙන් ඉටුකළ යුතු යුතුකම් රන් හුයක් සේ කතාන්තරය පුරාම ගලා යයි. ඒ අතරම ගැමුණු කුමරු මාගමට කැටිව යැමට පැමිණි නන්දිමිත්‍ර යෝධයා සමග කෙරෙන කතාබහේදී "කුමාරවරුන් බොරු කීවත් ගොවියන් බොරු නොකියන බව නඟාලීමෙන් වර්තමානයේ සිටින දේශපාලන කුමාරවරුන්ටද සියුම් උපහාසයක් කිරීමට ජයන්ත අමතක නොකරන බව පෙනේ. අව්‍යාජ සිංහල ගැමියාගේ නියම ප්‍රතිරූපයද ඉන් විදහා දැක්‌වෙයි.
කොත්මලේ සිට මාගමට යන විට ගැමුණු කුමරු සමගින් සාලිය කුමරකුද එසේම බිසවක්‌ද යෑවීමෙන් මහාවංශ කතුවරයා අපට නොවිසඳා ඉතිරිකොට ගිය ගැටලුවක්‌ද ජයන්ත නිරාකරණය කොට ඇත. ඒ සමග ධර්මසේන හිමියන්ද අභිබවා මානව චර්යා ධර්මතාව පිළිබඳ යථාර්ථයද ඔහු පෙන්වාදී ඇතැයි සිතමි. මේ නිර්මාණය තුළින් මනමේ නාට්‍යයේ මනමේ කුමරිය නින්දාවෙන් නිදොස් කරවා ගැනීම සඳහා එදිරිවීර සරච්චන්ද්‍රයන් යොදාගත් උපාය ජයන්ත විසින්ද මෙහිදී යොදාගෙන තිබීම ප්‍රශංසනීයය.
අනෙක් අතින් සිංහල බෞද්ධ රාජ්‍යයේ භික්‍ෂුවගේ කාර්යභාරය සහ උරුමය මෙන්ම වගකීමද කතාව පුරාම ගලායන අන්දමින් හසුරුවා ඇත. විශේෂයෙන්ම ගැමුණු කුමරු හා තිස්‌ස කුමරුන්ගේ පිරිස් අතර සිදුවීමට යන සටනේදී දෙපාර්ශ්වයේ අවි ගැටීමෙන් මතුවන ගිනිපුළිඟු මෙන්ම, මැරී වැටෙන සිය දහස් ගණනක් දැන් දැන් දක්‌නට ලැබේ යයි නරඹන්නන් විසින්ම ත්‍රාසයෙන් බලා සිටිද්දී යුද පෙරමුණු දෙක මැදින් ආකස්‌මිකව මතුවී ඉදිරියට ඇදෙන බැබළෙන කසාවතින්, එක් වචනයකුදු නොබැණ යුද්ධය වැළැක්‌වූ අයුරුද විශිෂ්ට සිනමා අවස්‌ථාවකි. මෙවැනි දර්ශන තුළින් ශේ්‍රෂ්ඨ ජාතියක් සතු සමාජ හරයන් ඉස්‌මතුකොට දක්‌වා තිබීමද අපූරුය. එළාර, කාවන්තිස්‌ස, විහාරමහා දේවි සහ ගැමුණු කුමරුගේ චරිතද ඉතා විශිෂ්ට අන්දමින් හසුරුවා ඇත. මෙහිලා ජැක්‌සන් ඇන්තනී (එළාර), ශ්‍රියන්ත මෙන්ඩිස් (කාවන්තිස්‌ස), කුසුම් රේණු (විහාරමහා දේවි) සහ උද්ධික ප්‍රේමරත්න (ගැමුණු) යන නම්ද කිසි විටෙකත් අමතක කළ නොහැක.
දුටුගැමුණු - එළාර පුවතේ වැදගත්ම කොටස යුද්ධය වුවද විශේෂයෙන්ම මහියංගණයේ සිට රජරට දක්‌වාත්, එතැන් සිට විජිතපුරය දක්‌වාත් බලකොටු පිට බලකොටු විනාශ කරමින් කෙරුණු යුද්ධය මෙන්ම විජිතපුර සටනද ලුහුඬින් සටහන් වීම මා සිතට ප්‍රහේළිකාවකි. එසේම එළාර රජු මියයැමෙන් පසු සිද්ධීන් අතර සතුරාට පවා ගෞරව කිරීමේ සිංහල රාජ නීතිය උලුප්පා දක්‌වන අවස්‌ථාව, එළාර සිහිවටන ස්‌තූපය නිර්මාණය ආදිය මෙන්ම දුටුගැමුණු රජුගේ පශ්චාත් යුද ආශ්චර්යන් වන රුවන්වැලිසෑය, ලෝවාමහාපාය ආදී ශාසනික සේවාවන් මෙන්ම ඒ සියල්ලටමත් වඩා තුන්හෙළය එක්‌සේසත් කිරීමේ පුවත උලුප්පා නොදැක්‌වීම සිංහලයේ අසහාය මහා නරපතියාට සිදු කෙරුණු අසාධාරණයක් දෝයි මට සිතිනි. එසේම සිවුරු හැර යුද්ධයට පැමිණි ථෙරපුත්තාභය යුද්ධයෙන් පසු කෙළෙස් සොරුන් සමග යුද්ධයට නික්‌ම ගිය පරමාදර්ශනද සඳහන් වූයේ නම් වර්තමානයේ සිටින දේශපාලන හා ව්‍යාපාරික භික්‍ෂූන්ට පණිවුඩයක් දීමට හැකිව තිබිණැයිද මට සිතුණි.
කෙසේ වුවද තිර රචනය මත රූප රාමු දිගහැරෙන විට මගේ රට හා සම්ප්‍රදායන් පිළිබඳ මහත් ආඩම්බර බවක් මට දැනුණාක් මෙන්ම මා සරසවි සිසුවකුව සිටියදී දුටු ඔබ ඤපප්බාපැබඑ සහ ඵඑ ඵදබඑ රකද වැනි චිත්‍රපට මා සිහියට නැගුණේ නිතැතිනි. එසේම තවමත් තරුණ ජයන්ත චන්ද්‍රසිරි කලාකරුවා මා දකිනුයේ සිංහල නාට්‍ය වංශ කතාවේ අනාගත සරච්චන්ද්‍ර කෙනෙක් වශයෙනි. ගායන ක්‌ෂේත්‍රයේ අමරදේව සහ නන්දා මාලිනී වැනි චරිතයකි. එසේම සංගීත ලෝකයේ කේමදාස කෙනෙකි. තමන් සතු අසීමිත සුරුවිරුකම් යොදා හෙට දිනයේ මහා පරාක්‍රමබාහු වත සහ සිංහලේ උඩරට රාජධානියට සහ එහි වැසියන්ට බ්‍රිතාන්‍ය යටත්විජිතවාදී ආක්‍රමණිකයන් විසින් සිදු කරන ලද විනාශයන් අලලා විශ්ව සිනමාකරණයකට සුදුසු නිර්මාණ දෙකක් කිරීමටද ජයන්ත චන්ද්‍රසිරියන්ට ශක්‌තිය, ධෛර්ය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.
අවසාන වශයෙන් මේ රටේ ඉතිහාසය, සම්ප්‍රදායන් සහ ජාතික උරුමයන් පිළිබඳ මෙලෝ අවබෝධයක් හෝ හැඟීමක් නැති වල්මත්ව පිස්‌සු කෙළිමින් නයිට් ක්‌ලබ්වල කුණුවෙමින් අයාලේ යන තරුණ තරුණියන්ට සහ රටේ අනාගතය භාර ගැනීමට සිටින සියලුම පාසල් සිසුන්ටද "මහරජ ගැමුණු" වැනි චිත්‍රපට බැලීමට අවස්‌ථාව ලබාදෙන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලීමටද මම මෙය අවස්‌ථාවක් කර ගනිමි.
ආචාර්ය සුදත් ගුණසේකර
http://www.divaina.com/2015/03/29/feature08.html
සබැඳි ලිපි -
[
'මහරජ ගැමුණු' දුටු ගැමි තරුණයන්ගේ හෘද සාක්‌ෂිය
http://denethharinna.blogspot.com/2015/03/blog-post_46.html"මහරජ ගැමුණු" වෙතින් සහෘද ජනතාවට පිරිනැමෙන්නේ වෛරය නොව, ආදරයයි!http://denethharinna.blogspot.com/2015/03/blog-post_96.html"මහරජ ගැමුණු" - මේ ඔබේම කථාවයි! මහා ඉතිහාසයක උරුමකරුවනි, ඔබේ සමවැදීම අත්‍යාවශ්‍යයි!http://denethharinna.blogspot.com/2015/01/blog-post_91.htmlවීරත්වය මනුශ්‍යත්වය පමණකින්ම ඔපකළ ඒ පොළවේ උපන් ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා පිළිබඳ ජීවන වෘත්තාන්තය - මහරජ ගැමුණුhttp://denethharinna.blogspot.com/2014/09/blog-post_9.html"මහරජ ගැමුණු" රූගත කිරීම් ඇරඹේ...http://denethharinna.blogspot.com/2014/02/blog-post_8475.htmlජයන්ත යළි "මහරජ ගැමුණු" වැඩ අරඹයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_9527.html
]
ඒ 2016 වසරේ නිදහස් සමරු උළෙලයි. කවුරුත් සීරුවෙන් සිටින්නේ ජාතික ගීතය ගායනා කිරීමටයි. ජනපති සිරිසේන “ශ්‍රී ලංකා මාතා“ ලෙස ජාතික ගීතය ගායනා කරන විට ප්‍රධාන ඇමති විග්නේශ්වරන් එය ගයනු ඇත්තේ “ශ්‍රී ලංකා තායේ“ යනුවෙනි. සමහරවිට අගමැති වික්‍රමසිංහ එය “මදර් ශ්‍රි ලංකා“ ලෙස ද ගැයීමට ඉඩ තිබේ.
2016 දී නිදහස් උළෙල මගේ සිතේ මෙසේ මැවුණේ දෙමළ බසින් ජාතික ගීතය ගායනා කිරීමට නිල පිලිගැනීමක් ලබා දීමට රටේ ඉහළම පාලන අධිකාරිය වන ජාතික විධායක සභාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළ බැවිනි. එහි දී මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ යෝජනාවට ජනාධිපති සිරිසේන එකඟ වූ බව සැල වූ හෙයිනි.
1951 සිටම ජාතික ගීතය දෙමළට පරිවර්තනය කර දෙමළ සමාජයේ ගායනා කරයි. එය කිසිවෙකුගේ විරෝධයකට ලක් නොවී වසර 64ක් භාවිතා කර ඇත. ඇත්තෙන්ම දෙමළ ජනතාව ජාතික ගීතය පරිවර්තනය කර තේරුම් ගැනීම යහපත් දෙයකි. ජාතික ගීතයක් පැවතීමේ ප්‍රමුඛ අරමුණක් වන්නේ ජාතිය පිළිබඳ අභිමානයක් සහ ආදරයක් ජනතා සිත් තුල ඇති කිරීමයි.
අපේ ජාතික ගීය ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන් ද අනූනය. “සුන්දර සිරි බරිනි” යනුවෙන් එහි අපේ මව්බිමේ සුන්දරත්වය වර්ණනා කරයි. දෙමළ ජනතාව විසින් දෙමළ ගීතය ගායනා කරන වාරයක් පාසා එම වර්ණනාව ඔවුන්ගේ හදවතට කා වැදුනොත් මෙම සුන්දර බිම බෝම්බ පුපුරුවා විනාශ කිරීමට ඔවුන්ට සිත් නොවනු ඇත. එමෙන්ම මව්බිම දෙපළු කර වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සටන් කළ පිරිසක් අර්ථය තේරුම් ගනිමින් “එක මවකගේ දරු කැළ බැවිනා” යනුවෙන් ගායනා කිරීම අපේ ජයග්‍රහණයකි.
ජාතික ගීතයේ දෙමළ පරිවර්තනයක් තිබිය දී එය දෙමළ සමාජයේ වසර 64ක් පුරා ගායනා කරමින් තිබිය දී මනෝ ගනේෂන් හදිසියේ ජාතික විධායක සභාවට කරන ඉල්ලීම කුමක්ද? දැනට සිදුවන්නේ ජාතික ගීතයේ දෙමළ පරිවර්තනය හුදු අවබෝධය පිණිස දෙමළ බසින් ගායනා කිරීමක් පමණි. එය අපේ ජාතික ගීතය නොවේ. එය කිසිම නිල උත්සවයක ගායනා කිරීමට නොහැක. කෙටියෙන් පැවසුවොත් එය අපේ ජාතික ගීතය නොවේ. එය තවත් එක් දෙමළ ගීතයක් පමණි. මනෝ ඉල්ලා සිටින්නේ එම ගීතය ලංකාවේ ජාතික ගීතය බවට පත් කර දෙන ලෙසිනි.
මනෝ ගනේෂන් මෙන්ම වත්මන් ආණ්ඩුව ද පූර්වාදර්ශ සොයා හැරෙන්නේ ඉන්දියාව දෙසටයි. නමුත් ඉන්දියාවේ රාජ්‍ය භාෂා 2ක් සහ ජාතික භාෂා 23ක් තිබුණත් ජාතික ගීතය ගායනා කරන්නේ පුරාණ බෙංගාලි බසින් පමණි. එමෙන්ම රාජ්‍ය භාෂා තුනක් තිබෙන සිංගප්පූරුවේ ජාතික ගීතය ගායනා කරන්නේ මැලේ බසින් පමණි. ඊට හේතුවක් ද තිබේ. ජාතික ගීතය සහ ජාතික කොඩිය සලකන්නේ ජාතික අනන්‍යතාවයේ සහ ජාතික සමගියේ සංකේත ලෙසයි. නිදහස් දිනයේ සමස්ත ජාතිය වෙන වෙනම ජාතික ගීතය ගයත් නම් එතන ජාතික සමගිය තිබේ ද? එමෙන්ම ජාතික අනන්‍යතාවය මතු වන්නේ ලංකාවට ආවේණික වූ එකම භාෂාව වන සිංහල භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමෙනි.
ඉන්දියාව සහ සිංගප්පූරුව පිළිබඳ නිදසුන් දෙස බලා තමන්ට වාසි සහගත රටවල් පමණක් පෙන්වා දෙන බවට යමෙක් මට චෝදනා කිරීමට පුළුවන. ස්විට්සර්ලන්තය ජාතික ගීතය ගායනා කරන්නේ ජර්මානු, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් යන රාජ්‍ය භාෂා හතරෙනි. කැනඩාවේ දී රාජ්‍ය භාෂා වන ඉංග්‍රිසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ජාතික ගීතය ගායනා කරයි. මේ පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම හරිම අපූරුය. ජාතික ගීතයේ පද මාලාව සෑදී ඇත්තේ රාජ්‍ය භාෂා 11න් 4ක්ම භාවිතා කරමිනි. මෙම රාජ්‍යයන්ට එක් රාජ්‍ය භාෂාවකට වඩා වැඩි ගණනක් ජාතික ගීතය ගැයීම සඳහා යොදා ගත හැකි නම් ලංකාවට එය කළ නොහැක්කේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ නොහැක.
ඉහත රාජ්‍යයන්ට රාජ්‍ය භාෂා එකකට වැඩි ගණනක් තිබෙන්නේ ඓතිහාසික හේතුන් මතය. ස්විට්සර්ලන්තය බිහි වන්නේ ජර්මනියේ ඉතාලියේ සහ ප්‍රංශයේ කොටස් වී තිබුණු කුමාර රාජ්‍ය ගණනාවක් එකතු වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එමෙන්ම කැනඩාව බිහි වුණේ ප්‍රංශ සහ ඉංග්‍රිසි යටත් විජිත එක් වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එබැවින් මෙම රාජ්‍යයන් එකතු වීමේ දී තමන්ගේ භාෂා අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා ජාතික ගීතය සෑම භාෂාවකින් ගැයීමට තීරණය කරන ලදී. එමෙන්ම එකී කිසිම භාෂාවක් මෙම රටවල් වලට ආවේණික නොවන බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.
සිංහල ලංකාවට ආවේණික බසකි. එබැවින් සිංහල බස ජාතික අනන්‍යතාවයේ සංකේතයකි. එමෙන්ම ස්විට්සර්ලන්තය හෝ කැනඩාව මෙන් නොව ලංකාව බිහි වුණේ දෙමළ ඊළම සහ සිංහලේ රාජ්‍යය එක් වී ෆෙඩරල් රාජ්‍යයක් ගොඩ නැගීමෙන් නොවේ. එසේ දෙමළ ඊළම ෆෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වූයේ නම් දෙමළ ඊළම බිහි කිරීමේ සටනට සුජාත භාවයක් ලැබේ. එබැවින් දෙමළින් ජාතික ගීතය ගැයීමෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැරදි චිත්‍රයක් ලෝකයට ලබා දෙන අතර එය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තියට අනුව ජාතික ගීතයේ පදමාලාව තුන්වන උපලේඛණයේ දැක්වෙන පදමාලාව විය යුතුය. එනම් සිංහල පදමාලාව නිල ජාතික ගීතයයි. එය අකුරටම ඉටු කරමින් නිදහස් දිනය ද ඇතුළුව ජාතික උත්සවයන්හී දී ජාතික ගීතය ගැයෙන්නේ සිංහලෙන් පමණි. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කළ යුතුය. නමුත් ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට අනුමැතිය ලබා දී ඇත්තේ හත්වන වගන්තිය සංශෝධනය කිරීමකින් තොරවය. ඒ අනුව ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට එකඟ වීම හරහා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත. එය දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි මට්ටමේ බරපතල වරදකි.
මගේ නම උදය ප්‍රභාත්ය. එය ඉංග්‍රිසියෙන් ලියන විට මෝර්නින් ෂයින්ඩ් ලෙස නොලියමි. ඒ වෙනුවට කරන්නේ සිංහල වචන ඉංග්‍රිසීයෙන් ලිවීමයි. අප හින්දි හෝ ඉංග්‍රිසි සිංදුවක් සිංහලෙන් ලියන විට එම වදන් සිංහල අකුරෙන් ලියනු මිස එහි අර්ථය සිංහලට හැරවීමක් නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රිසි පිටපතේ ජාතික ගීතය දක්වා ඇත්තේ “ශ්‍රී ලංකා මාතා“ ලෙස මිස “මදර් ශ්‍රි ලංකා“ ලෙස නොවේ. එබැවින් “ශ්‍රී ලංකා තායේ“ පදමාලාව අනිවාර්රයෙන්ම පරිවර්තන දෝෂයකි.
මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීම හරහා සමාජයේ තුල නැති ප්‍රශ්නයක් ඇති කර තිබේ. ජනාධිපතිවරයා තමන් අතින් වූ වරද පිලිගෙන ජාතික ගීතය පිළිබඳ දැනට පවතින ස්ථාවරය ඒ අයුරින්ම පවත්වා ගැනීම ජාතික සමගියට මෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය ට ද සුබ දායකය.
උදය ප්‍රභාත් ගම්මන්පිල FB Fan Page
ජාතික ආණ්‌ඩුවක් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පිහිටුවා තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‌ෂ එය තුළ නොමැති බැවින් මෙය සැබෑවටම ජාතික ආණ්‌ඩුවකටත් වඩා සභාග ආණ්‌ඩුවකි. එහෙත් මෙරට ප්‍රධානතම දේශපාලන පක්‌ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය ඉතිහාසයේ පළමු වරට එක්‌ව තිබෙන නිසා මෙය ඓතිහාසික අවස්‌ථාවකි. මෙතෙක් පාර්ලිමේන්තුව තුළ සුළුතරයක් වූ ආණ්‌ඩුව නව ජාතික රජයත් සමඟ ශක්‌තිමත් වී තිබේ. කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව බිහිවීමත් සමඟ ඇමති ධූර ලැබුණු සමහරුන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සමීපතයන් වූ අතර ඇතැමුන් පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැඩි ලෙස විවේචනයට ලක්‌කළ අය වූහ. කෙසේවෙතත් දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවට මෙය හොඳ නිදසුනකි. දේශපාලනයේ හැටි එලෙසය. කෙසේ වෙතත් මේ වන විට ඇමති සංඛ්‍යාව 77 දක්‌වා ඉහළ නැග තිබේ. ඉදිරියේදි තවත් පිරිසකට ඇමති ධූර ලබාදෙන බවද සඳහන්ය. මේ අනුව බලන කල පසුගිය රජය හා වර්තමාන රජය අතර වැඩි වෙනසක් නැතැයි පවසන්නෝද සිටිති. මේ අතර නව ඇමති තනතුරු හේතුවෙන් තම විෂයයන් අහිමි වූ ඇතැම් ඇමතිවරු හා තම අමාත්‍යාංශය වෙත තවත් ඇමතිවරුන්ට පත්වීම් දීම නිසා බලතල බෙදී යාම නිසා බිඳුණු සිත් ඇතිව සමහරුන් සිටින බව සඳහන්ය.
මහින්ද රාජපක්‌ෂ නැවත අගමැතිවරයා බවට පත්කරලීමේ අරමුණින් රට පුරා පවත්වන රැස්‌වීම් මාලාවේ ප්‍රධානතම රැස්‌වීමක් පසුගියදා රත්නපුරදි පැවැත්වුණි. ඊටද අති විශාල ජනකායක් සහභාගි වූහ. එහි විශේෂිතම සිදුවීම වුයේ ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගිවීමය. මෙය බරපතළ තත්ත්වයක් වන්නේ රත්නපුර රැලියට සහභාගිවීම ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ සාමාජිකයන්ට තහනම් කර තිබියදීත් මන්ත්‍රීවරුන්ද සමඟ අතිවිශාල ප්‍රමාණයක් ඊට සහභාගිවීම නිසාය. එහෙත් පක්‌ෂයක් ලෙස එම රැස්‌වීමට ගිය අයට විනය පියවර ගන්නට ගියහොත් එය පැහැදිලි ලෙසම පක්‌ෂය තුළ මහා පිපිරීමක් වන්නට ඉඩ තිබේ. කෙලෙස හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හා මහින්ද රාජපක්‌ෂ ත්‍රිත්වය සමගි කරවන්නට කිසියම් පාර්ශවයකට හැකිවන්නේ නම් අතිශය ශක්‌තිමත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයක් ගොඩනගා ගතහැකි බව සාමාන්‍ය ශ්‍රී ලංකාකාරයන්ගේ අදහසය. පක්‌ෂය දෙකට තුනට කැඩීම යනු වසර ගණනක් විපක්‌ෂයට යාමත් එක්‌සත් ජාතික පක්‌ෂයේ ජයග්‍රහණයත් බව ඔවුන්ගේ අදහසය. එහෙත් මහින්ද රාජපක්‌ෂ විසින් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සම්බන්ධයෙන් 2005 - 2006 කාලයේ ගත් පියවර හේතුවෙන් දැන් ඔහුට එය පාරාවළල්ලක් වී ඇති බව පවසන්නෝද සිටිති. එම නිසා බලය ඇති සැවොම මේ බලය තාවකාලික බවත් එය යම් දවසක සැමටම ලැබෙන බවත් සිතා කටයුතු කිරීම සුදුසුය. තමන්ට ඇමති ධූර, විපක්‌ෂ නායක, අගමැති හා ජනාධිපතිවරණ අපේක්‌ෂකත්වය ආදි සියල්ල ලබාදුන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හට කෘතවේදීත්වය පළකරමින් ඇයට යම් ගෞරවනීයත්වයක් ඇතිකරන්නට එදා මහින්ද ක්‍රියාකළේ නම් අදටත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්‌ෂය. තමන් එදා ඒ කළ වරද ඔහු පිළිගත යුතුය. එසේම මෙය වර්තමාන නායකයන්ටද හොඳ පාඩමක් වනු ඇත. සරත් ෆොන්සේකා සිරගත කිරීම, ශිරාණි බණ්‌ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරීම, විපක්‌ෂය අඩපණ කරමින් මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම, තමන්ට හිතවත් ඇතැමුන් කළ බරපතළ වැරදිවලට එරෙහිව පියවර නොගැනීම වැනි තම අතින් සිදු වූ වැරදි තීරණ ගැන යළි සිහිකරන්නට අද මහින්ද රාජපක්‌ෂට හොඳ අවස්‌ථාවක් ලැබී තිබේ. ඒ වැරදි තීරණ ගන්නට තමාව පොළඹවන ලද පුද්ගලයන් අද සිටින්නේ කොහේදැයි සොයා බැලූ විට එම තීරණවල බරපතලකම ඔහුටම හොඳින් වැටහෙනු ඇත.
අනෙක් අතට පක්‌ෂය තුළ නිල වශයෙන් කිසිදු බලයක් මේ අවස්‌ථාවේ නොමැති කෙනෙක් වෙත මේ අන්දමට පක්‌ෂ සාමාජිකයන්ගේ ආකර්ෂණයක් ඇත්නම් වර්තමාන නායකත්වයද යථාර්ථය වටහාගත යුතුය. එක්‌කෝ ඊට වඩා ආකර්ශනීය වැඩපිළිවෙළක් දියත් කරමින් පක්‌ෂයේ සියලුදෙනා ඒකරාශී කරගන්නට වහාම වැඩපිළිවෙළක් දියත් කළ යුතුය. එසේම පක්‌ෂ නායකයා ලෙස කටයුතු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ ඕනෑවටත් වඩා සමීප සම්බන්ධතා පැවැත්වීම නතර කළ යුතුය. එහෙත් ජනාධිපතිවරණයේදි එක්‌සත් ජාතික පක්‌ෂය ලබාදුන් සහයෝගයද අමතක කළ නොහැක. එහෙත් එම ජනාධිපතිවරණයේදි එක්‌සත් ජාතික පක්‌ෂය නොමැතිව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය අසීරු මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන්නට එක්‌සත් ජාතික පක්‌ෂය තනිව තරග කළේ නම් ඔවුන්ට එය ජයගන්නට හැකියාවක්‌ද නොවීය. කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව හරහා ඇමති ධූර පිරිනැමීම මගින් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය තුළ තම පාර්ශවයට ප්‍රබලයන් ආකර්ෂණය කරගන්නට වත්මන් නායකත්වයට හැකි වී තිබේ.
කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවූ මන්ත්‍රීවරු මහින්ද වෙත යන්නට හේතුවක් තිබේ. ඉදිරි මහමැතිවරණයේදි ජනතාව වෙත ගොස් තනිවම කුමක් පවසන්නද යන ප්‍රශ්නයද ඔවුන් වෙත තිබේ. පසුගිය කාලය පුරාම මැතිවරණ ජයග්‍රහණ වලට පදනම් වූයේ යුධ ජයග්‍රහණය හා මහින්ද රාජපක්‌ෂය. මේ හේතුව නිසා පසුගිය කාලය පුරාම ඔවුන් හැමතැනම ගියේ මහින්ද රාජපක්‌ෂ ඉදිරියට තබා ගෙනය. අනෙක් අතට මහින්ද රාජපක්‌ෂද වෙනත් කිසිදු කෙනකුට තනි ගමනක් යා හැකි තත්ත්වයක් ඇති නොකරන්නට වග බලා ගෙන තිබුණි. මේ නිසා ඉදිරි මැතිවරණය සඳහා තනිව ජනතාව වෙත යන්නට බොහෝ දෙනකුට නොපුළුවන. අනෙක් අතට මහින්ද නැතිව ගමට ගොස් ඡන්දය ඉල්ලන්නටද නොහැකි වී ඇත්තේ මහින්දට ගම්බදව ඇති ජනප්‍රියතාව නිසාය. කෙසේ වෙතත් යම් ආකාරයකින් මහින්ද වෙනම පක්‌ෂයකින් තරග කරන්නට තීරණය කළහොත් ඉතිහාසයේ ශක්‌තිමත්ම තුන්වන බලවේගය බිහිවන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයේ මන්ත්‍රීවරුන් යම් පිරිසක් ඔහු සමඟ එක්‌වීම වැළැක්‌විය නොහැක. එසේම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක් ඔහු ලබාගන්නා අතරම ඒ හරහා මෙරට නායකත්වයට පත්වන පක්‌ෂය ඔහුගේ සහය ලබාගත යුතුම වන තත්ත්වයක් ඇතිවිය හැක. පසුගිය මහින්ද රාජපක්‌ෂ පාලනයට එරෙහිව වත්මන් ආණ්‌ඩුව එල්ලකරන දූෂණ චෝදනා තුළින් ගම්බද ජනතාව තුළ එතරම් වෙනසක් ඇති නොකරන බව පෙනී යයි. එහි බලපෑමක් ඇත්තේ මධ්‍යම පාන්තිකයන්ට හා ඉහළ මධ්‍යම පාන්තිකයන්ටය.
අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බලයක් නොමැති වුවත් රට පුරා බහුතර ශ්‍රී ලංකා නිදහස් පාක්‌ෂිකයන් තවමත් සිටින්නේ ඔහු සමඟ බව රට පුරා ඔහු යන යන තැන රැස්‌වන ජනතා රැල්ල අනුව පෙනේ. අද ඔහු සැමදාම පුවත් මවයි. මෙය කිසිදිනෙක පරාජයට පත් වූ දේශපාලනඥයකු හට හිමි වූ තත්ත්වයක් නොවේ. ආණ්‌ඩුව මෙය පාලනය කරන්නට ගියහොත් සිදුවන්නේ තවතවත් ජනතාව ඔහු වෙත ළංවීමය.
මේ අතර යහ පාලන ආණ්‌ඩුවට දින අසූවක් පමණ ගතව තිබේ. එම දින අසූව දෙස ආපසු හැරී බැලීමේදි රටේ විවිධ සිදුවීම් රාශියක් සිදුවුවත් ඒවා තුළ පොදු ජනතා බලාපොරොත්තු ඉටුවූවාදැයි යන්න ගැටලුවකි.
රජය විසින් ලබාදෙනු ලැබුවා යෑයි උදම් අනන බොහෝ දේ තමන්ට ලැබී ඇතැයි සාමාන්‍ය ජනතාව නොසිතති. ජීවන වියදමට සහනයක් නොලැබීම නිසා සාමාන්‍ය ජනතාව පසුවන්නේ අපහසුතාවලිනි. ඉන්ධන මිල අඩුවීමේ වාසිය වාහන ඇති අයට මිස සෙසු ජනතාවට ලැබී නැත. ඉන්ධන මිල අඩුවීමට සාපේක්‌ෂව අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩුවූයේ නැත. ගෑස්, කිරිපිටි, තිරිඟු පිටි ආදිය අඩුවීමේ වාසිය නිසා ආහාර මිල ගණන් අඩු කර නැත. පාන් ගෙඩියක මිල පමණක් අඩු වුවත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර නැත. ඇතැම් බේකරි ඉන් පසු මිල වැඩිකිරීම් පවා සිදුකර ඇත. ආප්ප, තේ සහ කිරි තේ සඳහා ආණ්‌ඩුව මිල පාලනයක් ඇති කළද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මේ නිසා මේ සහන ජනතාවට ලැබෙන වැඩපිළිවෙළකට වහාම ආණ්‌ඩුව යායුතුව තිබේ. ඉන්ධන මිල අඩු නොකර එම මුදල සෘජුවම ලංකා විදුලිබල මණ්‌ඩලයට සහනාධාරයක් ලෙස ලබාදී ඒ හරහා විදුලි බිල සියයට පනහක් පමණ අඩුකළේ නම් එය රටේ සියලුම දෙනාට ලැබුණු සහනයක් වන්නට ඉඩ තිබුණි. එසේම එවිට භාණ්‌ඩ නිෂ්පාදකයන් ලවා සෘජුවම රජයට මැදිහත්වී භාණ්‌ඩ මිල අඩු කළ හැකිව තිබිණි.
මේ අතර දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එහි ඇතැම් බලතල වර්තමාන ජනාධිපතිවරයා හට පමණක් හිමිවන බවත් ඉන්පසු පත්වන ජනාධිපතිවරුන්ට හිමි නොවන බවත් සඳහන්ය. මෙලෙස වුවමනා වුවමනා ආකාරයට රටක ප්‍රධානතම ලියවිල්ල වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස් කළ හැකිද යන්න ගැටලුවකි.
දහනවවන ව්‍යවස්‌ථා සංශෝධනයට ජාතික හෙළ උරුමයේ විරෝධය හා එය පාර්ලිමේන්තුවේ පරාජය කරන බවට ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පක රණවක ඇමතිවරයා පවසා තිබේ. ඔහු පවසන්නේ යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා පඹයකු කර ඇති බවත්, සියලු බලතල අගමැතිවරයාට ලබාදී ඇතිබවත්ය. එසේම ජනාධිපතිවරයා සෑම විටම අගමැතිවරයා ගෙන් විමසා කටයුතු කළ යුතු බවට වන වගන්තිවලට ඔහු විරෝධය පළ කර තිබේ. පසුගියදා ජනතාව දුන් ජනවරමට මෙය විරුද්ධ බවද ඔහු පවසා තිබේ.
ඡන්දයෙන් බලයට එන්න බැරි අය ව්‍යවස්‌ථා වංචාවකින් බලයට එන බවත් මෙය පාර්ලිමේන්තුවේදි පරාජය කරන බවත් ඔහු කියා සිටී.
කෙසේ වෙතත් මේ වන විට යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් කීපයක් ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. මේ අතර මෙවන් වැදගත් වෙනස්‌කම් සම්බන්ධයෙන් තීරණය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට බොහෝ දෙනා පවසති. ඡේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගෙනා ව්‍යවස්‌ථාවේ වැරදි අදටත් බොහෝදෙනා කතා කරති. චෝදනා කරති. මේ ව්‍යවස්‌ථාව මෙදා හදිසියේ සම්මත කරගතහොත් රටට ගැළපෙන ව්‍යවස්‌ථාවක් සම්මත කර නොගැනීමේ පාපයට ඊට සම්බන්ධවුවන්ට ජනතාව සදාකල් දෙස් දෙවොල් තබනු ඇත. එම නිසා කලබලයකින් තොරව ජනතා අදහස් විමසමින් නිවැරදි තීරණ ගත යුතුය.
මේ අතර ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග පවසන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයට අවශ්‍ය පරිදි අප්‍රේල් 23 වැනිදා හෝ ආසන්නයේ ආණ්‌ඩුව විසුරුවන්නේත් මහා මැතිවරණයක් හදිසියේ පවත්වන්නේත් නැති බවය. නව මැතිවරණ ක්‍රමය ඇතිකිරීමෙන් පසු ඡන්දයකට යන්නට ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයත් කථිකා කරගෙන සිටිති. මේ අනුව අගෝස්‌තු මාසයේ හෝ සැප්තැම්බර් මාසයේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ මහමැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු තමන්ගේ පවුලේ අයගෙන් හා හිතවතුන්ගෙන් අමාත්‍යංශ පුරවා තිබේ. තමන් යටතේ ඇති ආයතනවලට නුසුදුස්‌සන් පත් කර තිබේ. මේ අතර තවත් ඇමතිවරුන් පිරිසක් ලොව වටා සවාරි යමින් සිටිති. මේවා ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අවධානයෙන් සිටිය යුතුය. මෙය යහපාලනය තුළ ජනතාව බලාපොරොත්තු වුවක් නොවේ. එදා ප්‍රසිද්ධියේ විවේචනය කළ දේවල් එසේ විවේචනය කළ අය විසින්ම අද කරනු ලැබීම දෛවයේ සරදමකි. කෙසේවෙතත් තමන්ගේ අමාත්‍යංශ හා ඒ යටතේ ඇති ආයතනවල වියදම් අඩුකරමින් උත්සව නොපවත්වමින් කටයුතු කරන ඇමතිවරුන් පිරිසක්‌ද වෙති. එම නිසා රජය කලයුත්තේ ඒ ඒ අවස්‌ථානුකූලව කළයුතු කළ යුතු ආකාරය හා වියදම් පාලනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය ආයතනයකටම චක්‍රලේඛනයක් යෑවීමය.
යාපනයේ අධි ආරක්‌ෂිත කලාපය තුළ වූ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් දකුණේ සිංහල ජනතාව බලන්නේ සැකයෙනි. සංහිඳියාව ඇතිකිරීමේ පියවරක් ලෙස මෙය කළයුතු වුවත් මේ ඊට අවස්‌ථාවද යන්න සිතා බැලිය යුතුය. ජාතික ගීය දෙමළෙන් ගැයීමේ ප්‍රශ්නයද එවැනිම ප්‍රශ්නයකි.
ඇතැම් ආයතනවලට අලුතින් පත්කර ඇති ඇතැම් නිලධාරීන් හට මේ කටයුතු කරගෙන යන ආකාරය ගැන කිසිදු අත්දැකීමක් නැත. ඇතැම් ආයතනවල වැඩ කරන ආකාරය තමන් හට කියාදෙන ලෙස ඉල්ලා සිටි නව පත්වීම් ලද අය සිටින බවද පැවසේ.
අපේ රටේ මැතිවරණ දින තීරණය කරන්නේ තවදුරටත් ජ්‍යෙතිෂවේදීන් විසින් බවට ඇතැමුන් චෝදනා කරති. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා සියල්ල අහිමි කරගත්තේ ජ්‍යෙතිෂ්‍යවේදින්ගේ අනාවැකි නිසාය. ඔහුගේ එම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත් ජාත්‍යන්තර ඔත්තු සේවාවන් ඔහුගේ ජ්‍යෙතිෂවේදින්ට මුදල් ගෙවා මිලට ගෙන හිටපු ජනාධිපතිවරයා මැතිවරණයකට පොළඹවාගත් බව පැවසේ. එම එක ජ්‍යෙතිෂවේදියකු හිටපු ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්නට විශේෂ උපක්‍රම යොදා තිබූ බවද කියනු ලැබේ.
එකසත් ජාතික පක්‌ෂය මේ වන විට රට පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකම පාහේ ඉදිරි මැතිවරණය ඉලක්‌ක කරගෙන ආසන ප්‍රතිසංවිධානය සිදුකරගෙන යයි. එසේම ආසනවලට පත් කළ යුත්තේ පළපුරුදු මෙන්ම දක්‌ෂ පුද්ගලයන්ය. ඔවුන් මහ ජනතාව අතර සිටින පුද්ගලයන් විය යුතුය. එසේ නොකොට විශේෂයෙන්ම ගම්බද ආසන ජයගත නොහැක.
මේ අතරේ ශ්‍රී ලංකාව වෙත ඉන්දියානු බලපෑම හා එයින් මතුවන ප්‍රශ්න දිගින් දිගටම දැකිය හැක. ඉන්දිය ධීවර ප්‍රශ්න හා ඉන්දිය ක්‍රියාකාරකම් නිසා මතුවන ප්‍රශ්න මෙන්ම ඒ තුළින් සෙසු රටවල් අමනාප කර නොගන්නටද කටයුතු කළ යුතුය. මේ අතරේ චීනයේ ආයෝජනයක් වන දැනට තාවකාලිකව නවතා දමා ඇති පෝට් සිටි ව්‍යාපෘතියද යළි අරඹන බව සඳහන්ය.
ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2015/03/29/politics06.html
Pic
Source
තම රටේ ඉතිහාසය ඉගැන්වීම ලෝකයේ බොහෝ රටවල පාසල් අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වෙයි. එක් කලෙක ලක්‌දිව පාසල්වල මෙන් ම සරසවිවල ද අනිවාර්ය නො වුව ද ඉතිහාසය ඉතා ජනප්‍රිය විෂයක් බවට පත්ව තිබිණි. එහෙත් ඇතැම් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණවලින් විශ්වවිද්‍යාල පාඨමාලාවෙන් ඉතිහාසය කප්පාදු වී ගිය අතර එය උගැන්වීම පිළිබඳව පාසල්වල තිබූ උනන්දුව ද ක්‍රමයෙන් හීන වී ගොස් අන්තිමේ දී පාසල් විෂය ධාරාවෙන් එය සහමුලින්ම තුරන් වී ගියේ ය. මෙය නිවැරදි කළ යුතුබවට නො කඩවා ගෙන ගිය අරගලයේ ප්‍රතිඵලයක් වශයෙන් 1983 දී එය නැවත වරක් පාසල් විෂයයක් කළ යුතු ය යන්න ප්‍රතිපත්තියක් වශයෙන් පිළිගන්නා ලදුව දැන් එය පාසල් විෂය ධාරාවේ හර විෂයක් බවට පත්කර තිබේ. එය ජාතිය වෙනුවෙන් ගත් තීරණයක් හැටියට සැලකිය යුතු වෙයි.
දැන් තිබෙන බරපතළ ම ප්‍රශ්නය වනුයේ ඉතිහාස පෙළ පොත් හා අතිරේක කියවීම් පොත් නොමැති වීම හා විෂයානුබද්ද දැනීමෙන් හා ඊට සමාන පරිචයෙන් සන්නද්ධ ගුරුවරුන් විරල වීමයි. මේ ගැටලුව විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අවශ්‍ය පියවර කීපයක් ම වරින් වර ගෙන තිබෙන බව සතුටෙන් සඳහන් කළ යුතුය. පෙළ පොත් සම්පාදනය ඒ අතර වැදගත් තැනක් ගනියි. මේ අතර 10 ශ්‍රේණිය ඉතිහාස 2015 සිට ක්‍රියාත්මක වන අ.පො.ස. සා.පෙළ පළමු වසර ඉතිහාස විෂය නිර්දේශය අලලා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් පළ කළ පෙළ පොත් අලුත්ම කෘතිය වේ. මෙම මහඟු කාර්යයට දායක වු සියලු දෙනාට අප ස්‌තුතිවන්ත විය යුතු අතර එහි ගුණාත්මකභාවය වැඩි කිරීම සඳහා ප්‍රයෝජනයට ගත හැකි වේ යෑයි හැඟෙන අදහස් කීපයක් ඉදිරිපත් කිරීමේ හා එම ග්‍රන්ථයේ පෙනී යන අඩුපාඩු පෙන්වා දීමේ හා වැරදි කීපයක් නිවැරදි කිරීමේ බලාපොරොත්තුවෙන් මෙම ලිපිය ලියනු ලැබේ. මේ කරුණු අදාළ පාර්ශ්වවලට පෞද්ගලික ව යොමු නොකොට පුවත් පතකට නිකුත් කරනු ලබන්නේ දැනටමත් මෙය පාසල්වලට බෙදා හැර ඇති නිසා වැඩි දෙනාගේ ප්‍රයෝජනය සලකා මිස වෙහෙස මහන්සියෙන් එය සම්පාදනය කළ නිලධාරි මහත්ම-මහත්මීන් හෝ වියත් සංස්‌කාරක මණ්‌ඩලය ඇතුළු ලේඛක මණ්‌ඩලය ප්‍රසිද්ධියේ අපහසුතාවකට පත්කිරීම සඳහා නොවන බව ඔවුනට ඇති ආදරයෙන් හා ගෞරවයෙන් අවංකව ම කිය යුතුය. තවද මෙය ඉතිහාසය ඉගැන්වීම නැවත ආරම්භ කිරීම පමණක් මදි බවද නිවැරදිව හා නිසි ලෙස එය ඉගැන්විය යුතු බවද විවිධ මාධ්‍ය මගින් බොහෝ කලක පටන් අප පෙන්වා දෙන කරුණක් තවදුරටත් ඉදිරියට ගෙන යැමක් පමණක් වශයෙන් සලකන ලෙස ද කරුණාවෙන් ඉල්ලා සිටිමි.
පොතේ සැලැස්‌ම හා පාසල් පොත් ලිවීමේ ආචාර ධර්ම
මෙම පොත 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් සඳහා පළ කළ පෙළ පොතක් මිස ඊට පහළ මට්‌ටමේ සිසුන් සඳහා හෝ වියත් ලෝකය සඳහා සපයන ලද්දක් නොවන බව අප අමතක නොකළ යුතු ය. ඊට අනුරූප වන පරිද්දෙන් සැලැස්‌ම සකස් විය යුතුවා සේ ම අන්තර්ගතය මතභේදයට තුඩු දෙන කරුණුවලින් තොර විය යුතු අතර ම මුළුමනින් ම නිවැරදි විය යුතුය. එසේ ම වචන ලිවීමේ දී ඒකාකාරී විය යුතුය. නිවැරදි විය යුතුය. සිංහල භාෂාවෙන් එබඳු ග්‍රන්ථයක් රචනා කිරීමේ දී නල, ණල ල ල ළ භේදය හා පද බෙදීම ආදිය ගැන ද සැලකිලිමත් විය යුතු වේ.
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන හා අශෝක අධිරාජ්‍යයේ ආගමික දේශපාලන හා සමාජික බලපෑම් ගැන කිසිදු සඳහනක් මෙහි නො වීම ග්‍රන්ථයේ සැලැස්‌මෙහි වූ අඩුපාඩු නිසා සිදු වූවක් සේ පෙනේ. ශ්‍රී ලංකාවේ සමාජය නමින් ඇති හතරවන ඒකකය යටතේ ඇති 4.3 සංස්‌කෘතිය නම් වූ අනුමාතෘකාව තුළ බුදුසමය පිළිබඳ යම් විස්‌තරයක් ඇති බව සැබෑ වුවත් දිවයිනේ ඉතිහාසයට අසීමිත බලපෑම් එල්ල කළ බුදුසසුන පිහිටුවීම විශේෂයෙන් සංඝ සංස්‌ථාවේ ආරම්භය හා විකාශනය විස්‌තර කිරීම වෙන ම ඒකකයක් වශයෙන් සැලසුම් කළ යුතුව තිබුණි. එසේ නොමැති නම් අශෝක අධිරාජ්‍යයේ බලපෑම කියා දීම සඳහා වෙන ම ඒකකයක් හෝ කොටසක් සැලසුම් කොට ඒ යටතේ එය කළ යුතුව තිබිණි. දිවයිනේ ඉතිහාසයෙහි අනන්‍යතාවට බල පෑ සිංහල බුද්ධාගමට හිමි තැන පෙළ පොතේ දී ළමයාට කියා දිය යුතුය.
ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය යනුවෙන් ඇති පළමුවන ඒකකය නිරවුල් නැත. එම මාතෘකාව දකින විට ම හැඟී යන්නේ පොදුවේ ඉතිහාස විෂය හැදැරීම සඳහා ඉවහල් වන මූලාශ්‍රය පිළිබඳ සාකච්ඡාවක් එහි ඇතුලත් වන බවය. එහෙත් කියවන විට පෙනී යන්නේ මූලික වශයෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය පිළිබඳ සාකච්ඡාවකට එය සීමා වී ඇති බවයි. එහි වරදක් නැති නමුත් එම මාතෘකාව අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීමේ මූලාශ්‍රය යනුවෙන් සංශෝධනය විය යුතුය. අන් සෑම ඒකකයක් ම උචිත පරිදි ශ්‍රී ලංකාවේ ජනාවාස ආදි වශයෙන් ශ්‍රී ලංකා යන්න ද සහිතව සඳහන්ව තිබීම නිසා ඊට අනුව මාතෘකා යෙදීමේ ඒකීය බවක් ද ඒ අනුව රැකේ.
දිවයිනේ ඉතිහාසයට තීරණාත්මක බලපෑම් එල්ල කළ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම ගැන කිසිවක් මෙහි සඳහන් ව නැත්තේ ඇයි ද යන්න නො තේරේ. එසේ වූයේ එය වෙනත් ශ්‍රේණිවල දී කියා ඇති බැවින් ද ඉදිරි පොත්වල දී කියන්නට බලා පොරොත්තු වන බැවින් ද? එසේ නම් එය හැඳින්වීම යටතේ සඳහන් කළ යුතුවන්නේ එය ඉහත දැක් වූ ලෙස දිවයිනේ ඉතිහාසය හා තදින් බැඳී පවතින බැවිනි. මා සිතන විදියට නම් එය සඳහන් කළ යුතු සුදුසු ම තැන මෙතැනයි. මේ කරුණු අනුව ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම එහි ඉතිහාසයට බල පෑ අන්දම හා ශ්‍රී ලංකා ඉතිහාසය හැදැරීම මූලාශ්‍රය යනුවෙන් පළමුවන ඒකකය නම් කළා නම් හොඳ යෑයි සිතේ. වෙනත් ඒකක නම් කිරීම පිළිබඳව ද ප්‍රශ්න තිබේ. ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම යන්නේ ඇති විකාශය යන වචනය විකාශනය විය යුතුය. අන්තර්ගතයේ එය නිවැරදි ව ලියා ඇත. (36 පිට) සමහරුන් විසින් පටලවා ගන්නා මේ වචනය මෙසේ දෙවිදියකට ලියූ විට ශිෂ්‍යයන් පමණක් නොව ආධුනික ගුරුවරු ද නොමග යති. සිවුවන පාඩම් ශීර්ෂයේ ඇති සමාජය යන්න අන්තර්ගතය හා ගැලපේදැයි සිතා බැලියයුත්තේ එහි අන්තර්ගතයේ ඇත්තේ සමාජයට අයත් කරුණු පමණක් නොව සභ්‍යත්වයට හෝ ශිෂ්ටාචාරයට අයත් පුළුල් කරුණු නිසාය. තවද සමාජ සංවිධානය පිළිබඳව හයවැනි හා අටවැනි ඒකකවල ද විස්‌තර වේ. වියළි කලාපයේ පැරණි නගර පිරිහීම හා නිරිතදිග නව රාජධානි බිහිවීම යන්න අනුරාධපුර හා පොලොන්නරු රාජධානි බිඳවැටීම හා නිරිතදිග රාජධානි බිහිවීම යනුවෙන් සංශෝධනය විය යුතු යෑයි සිතේ.
මෙලෙස පළමුවැනි පාඩම මගින් මූලාශ්‍රය හඳුන්වා දීමෙන් පසුව දෙවැනි, තෙවැනි හා සිවුවැනි ඒකක පිළිවෙළින් ශ්‍රී ලංකාවේ ජනාවාස හා දේශපාලන විකාශනය කියා දීමේ අරමුණෙන් ගොනු කොට ඇති බව පෙනෙන අතර ඒවා අතරත් පළමුවැනි ඒකකය අතරත් පූර්වාපර වශයෙන් සම්බන්ධයක් ඇති බැවින් ඒ පෙළගැස්‌ම හොඳය. එහෙත් ඊළඟ ඒකක තුන පිළිවෙලින් සමාජ තත්ත්වය හා ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්‍ෂණය පිළිබඳව හා ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය කියා දීම සඳහා යොදා ගැනීම සුදුසු නොවෙන්නේ නැවත වරක් මුඛ්‍ය වශයෙන් දේශපාලන ඉතිහාසය කීම සඳහා හත්වැනි අටවැනි හා නවවැනි පාඩම් පිළිවෙලින් අනුරාධපුර, පොලොන්නරු රාජධානි දෙකේ බිඳ වැටීමත් නිරිතදිග රාජධානි බිහිවීමත් මහනුවර රාජධානිය විස්‌තර කිරීමත් අරමුණු කර ගනිමින් පෙළ ගස්‌වා තිබීම නිසාය. මේවා අතර හා ඊට පෙර පාඩම් අතර සම්බන්ධයක් නැති අතර දේශපාලන ප්‍රවාහය මහනුවර රාජධානිය දක්‌වා නො කැඩී ගලා යන්නට ඉඩ නොදී සියලු රාජධානිවලට පොදු කරුණු වන සමාජ තත්ත්වය, පැරණි විද්‍යාව හා තාක්‍ෂණය හා ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය වැනි දේ ඒ අතරට රිංග වීම ඉතිහාසය නිරවුල්ව හා අනුක්‍රමික ව ඉගෙන ගැනීමට ශිෂ්‍යයාට ඇති ඉඩකඩ අහුරයි.
අසංවිධාන ස්‌වරූපය
අසංවිධානාත්මක ස්‌වරූපය මූලාශ්‍රය ඒකකය තුළ වැඩිපුර දක්‌නට ලැබීම එහි ඇති තව අඩුපාඩුවකි. සාහිත්‍ය මූලාශ්‍රය පිළිබඳ පොදු හැඳින්වීමක්. සාහිත්‍ය මූලාශ්‍රය යටතේ කර ඊළඟට දේශීය සාහිත්‍ය මූලාශ්‍රය ග්‍රන්ථ හඳුන්වා දී ඊට පසුව නැවත වරක් සාහිත්‍ය මූලාශ්‍රවලට අදාළ පොදු කරුණු කියා ඊළඟට විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය (මෙහි අනුමාතෘකාව ඇත්තේ විදේශීය මූලාශ්‍රය යනුවෙන් පමණක් මිස විදේශීය සාහිත්‍ය මූලාශ්‍රය යනුවෙන් නො වීම අඩුපාඩුවකි) හඳුන්වා දී නැවතත් සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රයෝජන යන මාතෘකාවක් යටතේ පොදු හැඳින්වීමක් කර තිබේ.
සාහිත්‍ය මූලාශ්‍රය හා පුරාවිද්‍යා මූලාශ්‍රය යනුවෙන් මූලාශ්‍රය වර්ග දෙකකට බෙදෙන බව නිවැරදිව පළමුව පවසා ඊට පසුව මූලාශ්‍රය වර්ග වශයෙන් සන්දේශ (සන්දේශ යන්න සමහර තැන්වල ලියා ඇත්තේ සංදේශ යනුවෙනි. ලන්දේසි යන්න ද ලංදේසි යනුවෙන් ලියූ තැන් ඇත) ප්‍රශස්‌ති කාව්‍ය හා හටන් බෙදා දක්‌වයි. මේවා වර්ග නොව සිංහල සාහිත්‍ය මූලාශ්‍රවල ප්‍රභේදයෝ ය. තවත් තැනක ග්‍රීක මූලාශ්‍රය හා රෝම මූලාශ්‍රය ආදිය ද වර්ග හැටියට දක්‌වයි. මේවා ද වර්ග නොව විදේශීය සාහිත්‍ය මූලාශ්‍රයවල ප්‍රභේදයෝ යි. තවත් වගුවක අභිලේඛන ලියා ඇති මාධ්‍ය වශයෙන් ශිලා ලිපි, බිත්ති, තඹ තහඩු, රන් තහඩු, දැවල් මැටි පුවරු හා භාජන දක්‌වයි. මේවායින් ශිලාලිපි මාධ්‍යයක් හැටියට තර්ක කොට ගත හැකි නමුත් ශිලා ලිපි හා බිත්ති ආදිය එක් ගණයකට දාන්නේ කෙසේද? කියන්නට අවශ්‍යව තිබුණේ ද ශිලා ද? එය නම් බිත්ති ආදිය සමඟ ගැලපේ. තර්ක කරමින් මේවා මාධ්‍ය හැටියට ගත හැකි වුවත් මූලාශ්‍රය විභාගයේ දී මාධ්‍ය හැටියට ගනු ලබන්නේ භාෂා යි. මේවා සලකනු ලබන්නේ අභිලේඛන ලිවීම සඳහා භාවිත කළ ස්‌ථාන හෝ ද්‍රව්‍ය හැටියට යි. මාධ්‍ය අනුව මූලාශ්‍රය බෙදා දක්‌වන්නේ නම් සිංහල, දෙමළ, පාලි හා පෘතුගීසි ආදි වශයෙන් බෙදා දැක්‌විය යුතු වේ. තවත් කරුණක් නම් 1.1 මූලාශ්‍රය වර්ගීකරණය හා 1.3 පුරාවිද්‍යා මූලාශ්‍රය ආරක්‍ෂා කර ගැනීම යන දෙක අතරට 1.2 වශයෙන් ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම යන්න රිංගවන්නේ කෙසේ ද යන්න යි. මා හිතන විදියට මෙම වැදගත් මාතෘකාව කෙටියෙන් හෝ අන් සියල්ලට පෙර සමහරවිට පළමුවැනි ඒකකයේ පළමුවැනි අනුමාතෘකාව යටතේ සාකච්ඡා කළ යුතු ව තිබිණි.
අඩුපාඩු හා වැරදි කරුණු
පැරණි පොත් ගැන විවේක බුද්ධියෙන් සඳහන් කර නැති බව ඇතැම් තැන්වලින් පෙනේ. 105 පිටේ ඇති මේ වැකිය බලන්න මෙකල පාලි භාෂාවෙන් ලියෑවුණු වැදගත් කෘති කිහිපයක් ද වෙයි. විශුද්ධි මාර්ග සන්නස්‌ස, සමන්තකුට වර්ණනා, රසවාහිනී, සාර සංග්‍රහ, භේස (ජ) මංජුසා නම් වෙද පොත, භත්ථවනගල්ල විහාර වංසය හා ථූප වංසය උදාහරණ වේ. (විසුද්ධිමග්ග සන්නය මෙහි ලියා ඇත්තේ විශුද්ධි මාර්ග සන්නස යනුවෙනි) පැරණි විසුද්ධිමග්ග සන්න දෙකක් තිබේ. ඉන් එකක් නම් දෙවැනි පරාක්‍රමබාහු රජතුමා විසින් ලියන ලද විසුද්ධිමග්ග සිංහල සන්නය හා වාචිස්‌සර තෙරුන් විසින් ලියන ලද විසුද්ධිමග්ග සංෙ€ප සිංහල සන්නය යි. ඒ දෙක ම සිංහල පොත් මිස පාලි පොත් නොවේ. සමන්ත කූට වර්ණනා නමින් හෝ සාර සංග්‍රහ නමින් පාලි පොත් නම් කරන්නේ නැත. ඒවා පිළිවෙලින් සමන්තකූට වර්ණනා හා සාරසංග්‍රහ විය යුතු ය. වියත්තු මේ වෙනස දනිති. ළමෝ නො දනිති. ළමුන්ට ලියන පොත් මුළුමනින් නිවැරදි විය යුතුය. ළමා මනසට වැරදි ව්‍යවහාරයක් ඇතුල් වුවහොත් එය නිවැරදි කිරීම ලේසි නොවන බැවිනි.
මෙහි ඇති සියලු අඩුපාඩු පෙන්වා දීම මෙවැනි ලිපියකින් කළ නොහැකි නිසා තව එක කරුණකට හෝ දෙකකට මෙය සීමා කරමි. පට්‌ඨානගාම (25 පිට) ඉන් එකකි. වරාය ආශ්‍රිත ගමපාලි හෝ සංස්‌කෘත භාෂාවෙන් ව්‍යවහාර කරන ලද්දේ පට්‌ඨානගාම යන්නෙන් නොව පට්‌ටනගාම යන්නෙනි. ශිල්ප ශාස්‌ත්‍ර ග්‍රන්ථවල එය හඳුන්වා ඇත්තේ නොයෙක් ධන-ධාන්‍යයෙන් ආඪ්‍ය වූ ද, සාගරයෙන් වට වූවා වූ ද, සංචාරක වෙළඳුන්ගෙන් ගැවසී ගත්තා වූද (භූ භෞතික) ඒකකය පට්‌ටන යයි කියනු ලැබේ. යනුවෙනි. අපරික්ත ගම් (28) යනු තව එකකි. එය අපරික්ත ගම්විය යුතු ය. ක්‍රි. පූර්ව 250 ට පමණ අයත් සෙල්ලිපියක් අභයගිරි විහාරයෙන් ලැබී ඇති බවත් එහි දෙමළ භික්‍ෂුවක් ගැන සඳහන් වන බවත් 60 වන පිටේ කියෑ වේ. ක්‍රි. පූ. පළමුවැනි සියවසේ දී ඇරඹි අරමක් වශයෙන් හැම ම දන්නා අභයගිරි විහාරයෙන් ක්‍රි.පූ. 250 ට අයත් සෙල්ලිපියක් ලැබෙන්නේ කෙසේද? මේ කියන සෙල්ලිපිය අභයගිරි දෙමළ ගහපති ලිපිය නමින් හඳුන්වන සුප්‍රකට ලිපිය විය යුතු ය. එය අයත් වන්නේ ක්‍රි.ව. පළමුවැනි සියවසට පමණ ය. තවද මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා එහි ඇති ශමණෙ යන්න සලකනු ලබන්නේ භික්‍ෂුවක් හැඳින්වීමට යොදන පදයක් වශයෙන් නොව පෞද්ගලික නමක් වශයෙනි. මතභේද සහිත මෙවැනි දේ පෙළ පොත්වල නො තිබිය යුතුය.
ඒ ඒ ඒකකවල අන්තර්ගතයේ දක්‌නට ඇති අඩුපාඩු බොහෝ ය. ශ්‍රී ලංකාවේ ජනවාස යටතේ ඇති විස්‌තරයේ අනවශ්‍ය ලෙස ප්‍රාග් ඓතිහාසික ජනාවාස පිළිබඳ කථාන්තරය දිග් ගස්‌සා තිබේ. ඇත්ත වශයෙන් ම එම විස්‌තරය පාසල් මට්‌ටම ඉක්‌මවා ගොස් ඇත. අනවශ්‍ය සිතියම්වලින් එය ගහණය. මේ විස්‌තර සංක්‍ෂිප්ත කොට විජය, පණ්‌ඩුවාසදේව-භද්දකච්චානා හා පණ්‌ඩුකාභය පුරාවෘත්තිවලට සම්බන්ධ ජනාවාස ගැන සඳහන් කළ යුතුව තිබුණි. ඒවා ගැන කිසිදු සඳහනක් නැත්තේ කුමන හේතුවක් නිසාදැයි අපට නො තේරේ. ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති අනුරාධපුරය පිහිටුවන ලද්දේ කවුරුන් විසින් ද යන්න වත් අඩු තරමින් මෙහි සඳහන් ව නැත.
වියරණ දොස්
උන් වහන්සේ..... පැමිණියේ ය. උන්වහන්සේ විසින්...... තැබීය. (8 පිට) ගොළුබෙල්ලන් ආහාරයට ගැනීමට ප්‍රාග් ඓතිහාසික වැසියන් මහත් රුචියක් දැක්‌වීය. (16) ගම්ප්‍රධානීන් දසදෙනෙකුගෙන් සමන්විත වූ මණ්‌ඩලයක් මගින් ගම් කිහිපයකින් සැදුම් ලත් ප්‍රදේශයක පරිපාලනයට සම්බන්ධ ගැටලු විසඳීමෙහි නිරත විය. (29 පිට) පුතෙක් වන (102) යනු උදාහරණ කීපයක් පමණි. ඇතැම් සිංහල වචන ලියන විට ඒවායේ අක්‍ෂර වින්‍යාසය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එසේ නො වුණ බැවින් දඹදෙනිය 87 දඹදෙනිය (101 134 පිටු) ගම්පොල (101 පිට) ගම්පොළ (101 පිට) සැලළිහිණි (2 පිට) සැළලිහිණි (105 පිට නිවරැදි අක්‍ෂර වින්‍යාසය සැලළිහිණි යන්න බව වැලිවිටියේ සෝරත නාහිමියෝ වෙසතුරුදා සන්නය උපුටා දක්‌වමින් පෙන්වා දෙති. ශ්‍රී සුමංගල ශබ්දකෝෂය 1078 පිට) වැනි වචන දෙයාකාරයකට ලියෑවී ඇත. නල ණල ලල ළ භේදය හතරවන ශ්‍රේණියේ සිසුන්ට පවා උගන්වන බැවින් මෙවැනි පාඩම් පොත්වල නිවැරදි ව එය භාවිත කළ යුතු ය. පද බෙදීම ගැන ද සැලකිල්ලක් දැක්‌විය යුතු ය. කළේහ (102 පිට) පැමිණියේ ය (102 පිට) පැමිණියේය (102 පිට) හා සිටිය හ (61 පිට) යනාදිය ගැන අවදානය යොමු කිරීම වටී. මේවායෙන් ඇතැම් ඒවා ගැන සම්මතයක් නැති බැවින් ඒ පිළිබඳ ව අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමු විය යුතු ය.
මහාචාර්ය ඇස්. බී. හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2015/03/27/feature.html
Pic
Source
ලෝකයේ අති සාර්ථක ආර්ථික කතාන්දරයක් ලෙසින් සැලකිය හැකි සිංගප්පූරුව ලෝකයේ සුපිරිතම ආර්ථිකයක් බවට හැරවූ අසාහය නායක ලී ක්වාන් යූ අවුරුදු 91 ක් ආයු වළදා පරලෝ සැපත්විය. සිංගප්පූරුවට මෙම වාසනාව ගෙන දුන්නේ ලී විසින් නිර්මාණය කළ අවංක මෙන්ම ප්‍රායෝගික ආණ්ඩුව හේතුවෙනි. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරමින් ඉදිරියට යෑමට දඟලන අපිටද මෙම ප්‍රායෝගික නායකයාගේ ජීවිතයෙන් ඉමහත් ආදර්ශයක් ලබාගත හැකිය.
1959 දී සිංගප්පූරුව නැමති ධීවර ගම්මානයේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වී වසර 31 ක් එම ධූරය දරා 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගන්නා විට සිංගප්පූරුව ආයෝජන පාරාදීසයක් බවට පත්ව තිබුණි. 1990 දී ඔහු අග්‍රාමාත්‍ය ධූරයෙන් සමුගත්තද සිංගප්පූරුවේ ප්‍රතිපත්ති සම්පාදනය වෙනුවෙන් ඔහුගේ යෝධ සෙවණැල්ල මියයන තුරුම වැටී තිබුණු බව අනාවරණය වේ.
ලී, ඉපදෙන්නේ සිංගප්පූරුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යටත් විජිතයක්ව තිබියදීයි. ඔහු තරුණ වියට පත්වන විට ජපානය විසින් සිංගප්පූරුව මත මුදාහළ යටත් විජිතවාදී පාලනයේ විලිලැජ්ජා සහිත බව ඔහුගේ හදවතේ ගැඹුරටම කිඳා බසී.
පසුව, උසස් අධ්‍යාපනය සඳහා ලන්ඩනයට යන ලී, කේම්බ්‍රිජ් සරසවියේ දීප්තිමත් ශිෂ්‍යයෙකු වන්නේය. ඔහු යුද්ධය අවසන් වූ පසුව නැවතත් සිංගප්පූරුව බලා පැමිණෙන්නේ යටත් විජිතවාදයට එරෙහි අරගලයට පණ දීම සඳහායි. මේ අනුව, පීපල්ස් ඇක්ෂන් පාටි (PAP) නැමති දේශපාලන පක්ෂය බිහිකිරීමේ පුරෝගාමියෙකු ලෙස ලී, පෙරමුණේ සිටී.
සිංගප්පූරුව 1959 දී බ්‍රිතාන්‍යයෙන් ස්වයං රාජ්‍යත්වය දිනාගැනීමේදී මෙම පක්ෂයේ නායකයා වූයේ ඔහු වන අතර ඔහු සිංගප්පූරුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්විය.
ලී ක්වාන් යූ මහතාගේ දේශපාලන දර්ශනය ආන්දෝලනාත්මක එකක් වන අතර සමහරුන් දැඩි ලෙස විවේචන එල්ල කරද්දීත් ඔහු සිංගප්පූරුවට දැඩි නීති සහ දඬුවම් හඳුන්වාදීමට පියවර ගත්තේය. මේ ආකාරයෙන් සිංගප්පූරුව විනය ගරුක සහ පිරිසිදු රටක් බවට පත්කිරීමට ඔහුට හැකිවිය. ලී ක්වාන් යූ යටතේ සිංගප්පූරුව ආණ්ඩුවේ දැඩි පාලනයට යටත්වූ රාජ්‍යයක් බවට පත්වන අතර වාර්තා වන ආකාරයට තිබී ඇත්තේ ඉතා සීමා සහිත මහජන උද්ඝෝෂණ ප්‍රමාණයකි. මෙවන් පරිසරයක් තුළ සිංගප්පූරුවේ අඩු බදු, ඉතා දියුණු පාසැල් පද්ධතිය, අපරාධ අඩුවීම, ආයෝජනයට හිතැති නීති, දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීම නිසා බටහිර සමාගම් විසින් ඉතාමත් ආකර්ශනීය ආයෝජන මධ්‍යස්ථානයක් ලෙසින් සිංගප්පූරුව තෝරා ගන්නේය.
මේ අනුව, අග්නිදිග ආසියාවේ සහ නැගෙනහිර ආසියාවේ ව්‍යාපාරික කටයුතු කරන බොහෝ යුරෝපීය සමාගම් ප්‍රමුඛ ලොව දැවැන්ත සමාගම් සිය මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත්කර ගන්නේ සිංගප්පූරුවයි.
ඒකාධිපති නායකයෙකු ලෙසින් වැජඹුණු ලී ක්වාන් යූ හට සිංගප්පූරුව දැවැන්ත ලෙස පාලනය කිරීමේ බලය තිබුණු අතර ඔහු විසින් සිය විරුද්ධවාදීන් සිරගත කර තිබෙන අවස්ථාද තිබේ.
වාර්තාවන ආකාරයට ඔහුගේ සමයේදී ජනමාධ්‍යවේදීන් සහ දේශපාලන විරුද්ධවාදීන් පාලනය කිරීම සඳහා විශාල වශයෙන් අධිකරණය භාවිතා කර තිබෙන අතර මේ පිළිබඳව ලී, වෙත දැඩි විවේචන එල්ල වී ඇත.
සිංගප්පූරුව අපිරිසිදු වන බව පවසමින් ලී ක්වාන් යූ එරට chewing gum අලෙවිය පවා වරක් තහනම් කර තිබේ.
කෙසේවෙතත්, ඔහු මෙවන් ගමනක් රැගෙන ගොස් කුඩා සිංගප්පූරුව ලොව ධනවත්ම රාජ්‍යයක් බවට පත්කිරීමට සමත්විය.
අනාගත අවස්ථාව තම මනසින් දැක අධිෂ්ඨානයකින් යුතුව සිය ජනතාව එය වෙත රැගෙන ගොස් ඔවුන්ගේ ජීවිත ආලෝකමත් කළ හෙයින් ඔහු ලෝක සම්භාවනාවට පාත්‍රවී තිබෙන්නේ ඒකාධිපතියෙකු ලෙසින් නොව අසාහය නායකයෙකු ලෙසයි.
වර්ග කිලෝමීටර් 716 කින් යුතු ලක්ෂ 53 ක් පමණ සිටින නගරයක් වන සිංගප්පූරුව ලෝකයේ දැවැන්ත රාජ්‍ය සමග කරට කර සිටින රටක් බවට පත්කිරීම ඔහුගේ අද්විතීය නායකත්වයේ ප්‍රබලත්වය පෙන්වීමට තිබෙන ජීවමාන සාක්ෂියයි.
ලී, ඔබට සුභ ගමන්!
අද දෙරණ