
එළාරගෙන් සිංහලයන් වාසය කළ මාගමට නිතර කරදර ඇති වුණි.මාගම රජ කළ කාවන්තිස්ස රජතුමා, මහවැලි ගඟ අසබඩ කසාතොට නම් ස්ථානයෙහි සිංහල හමුදාවක් නවතා තැබුවේ ය. මේ හමුදාව භාරව සිටි දිඝාභය කුමාරයා, ගමේ සැම ගෙදරකින් ම එක් අයෙකු බැඟින් මේ සිංහල හමුදාවට බැඳිය යුතු යැයි අණ බෙරයක් යැවී ය. මේ අණ කඩවිට ගමේ වාසය කළ සංඝට ද දුතයකුගේ මාර්ගයෙන් අසන්නට ලැබිණි. ඔහු තම පුතුන් කැඳවා මේ ගැන කැමැත්ත විමසි ය. “ ඇයි තාත්තා, කිසි ම වැඩක් නො කර කකා බිබී හුරතල් වෙවී ඉන්න පොඩි පුතාව යවන්න. අපි ගොවිතැන් කරන්න, වෙළඳාම් කරන්න කොච්චර මහන්සි වෙනව ද? ” යැයි නිමලගේ සොයුරෝ හය දෙනා කියා සිටියහ. සංඝ තම බාල පුතු වු නිමල, දීඝාභය කුමාරයා වෙත යැවීමට තීරණය කළේ ය.
නිමල ඉර පායන්නට කලින් කඩවිටි ගම සිට කසාතොටට පිටත් වුණි. ඉර පායන විට ම ඔහු දීඝාභය කුමරු මුණ ගැසුනේ ය. “කවද ද ගෙදරින් ආවේ?” කුමරු විමසීය. “යොදුන් දොළහ අවේ පාන්දරි ම යි” නිමල කීවේ ය. මේ කතාව අසා කුමරු පුදුම වුණි. මෙපමණ ඉක්මනට ගමන් කරන්න පුළුවන් ද කියා පරීක්ෂා කිරිමට කුමාරයා නිමල ඇමතී ය. “යළුවා මට පොඩි උදව්වක් ඕනෑ. මගේ කුණ්ඩල කියලා යාළු බමුණෙක් ඉන්නවා, මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ. ඔහු ලග තියෙනවා පිටරටින් ගෙනා සඳුන්, කපුරු ආදිය තවරපු රෙදි පිළි. මේ ලියුමත් ගෙන ගිහින් ඔහු දෙන දෙයක් ගෙනෙන්න. ”යැයි කීවේ ය. නිමල යොදුන් නවයක් දුර ගෙවා, උදය වරුවේ ම ගොස් කුණඩල බමුණා මුණ ගැසුණේ ය. “ කවද ද කසාතොට ඉඳන් ආවේ?” බමුණා ඇසී ය. “උදේට කාලා පිටත් වුණා” නිමල කී ය. එහෙනම් වැවට ගිහින් නාලා එහෙම එන්න. බමුණා නිමලට කීවේ ය. ඔහු වැව තිබෙන තැන දන්නේ නැත. නිමල අනුරාධපුරයේ තිසා වැවට ගොස් නා, ශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ ථුපාරාමයට මල් පූජා කොට මානෙල් මල් පොකුණකින් මල් කඩාගෙන උදේ කාලයේ ම බමුණා වෙත පැමිණියේ ය. “ කොහෙ ද දරුවො ගියේ? ” බමුණා ඇසීය. නිමල සියළු පුවත් පැවසීමෙන් පසු ඔහුගේ ගමන් වේගය ගැන බමුණා පුදුමයට පත් විය. මොහු ගැන දැනගතහොත් එළාර රජු තම සේනාවට බඳවා ගනීවි යැයි සිතා කාවන්තිස්ස රජතුමා වෙත හසුනක සියලු විස්තර ලියා දීඝාභය කුමරු වෙත යැවී ය. කුමරු මෙය දැක බොහෝ සතුටු වී නිමලට මසුරන් දහසක් දෙන ලෙස නියම කළේ ය.
http://nilawije.blogspot.com/2012/11/normal-0-false-false-false-en-us-x-none.html
0 comments:
Post a Comment