Pages

Saturday, March 28, 2015

ජාතික ගීය දෙමළින් ගැයීමේ අර්බූදය

ඒ 2016 වසරේ නිදහස් සමරු උළෙලයි. කවුරුත් සීරුවෙන් සිටින්නේ ජාතික ගීතය ගායනා කිරීමටයි. ජනපති සිරිසේන “ශ්‍රී ලංකා මාතා“ ලෙස ජාතික ගීතය ගායනා කරන විට ප්‍රධාන ඇමති විග්නේශ්වරන් එය ගයනු ඇත්තේ “ශ්‍රී ලංකා තායේ“ යනුවෙනි. සමහරවිට අගමැති වික්‍රමසිංහ එය “මදර් ශ්‍රි ලංකා“ ලෙස ද ගැයීමට ඉඩ තිබේ.

2016 දී නිදහස් උළෙල මගේ සිතේ මෙසේ මැවුණේ දෙමළ බසින් ජාතික ගීතය ගායනා කිරීමට නිල පිලිගැනීමක් ලබා දීමට රටේ ඉහළම පාලන අධිකාරිය වන ජාතික විධායක සභාව තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළ බැවිනි. එහි දී මනෝ ගනේෂන් මන්ත්‍රිවරයා කළ යෝජනාවට ජනාධිපති සිරිසේන එකඟ වූ බව සැල වූ හෙයිනි.

1951 සිටම ජාතික ගීතය දෙමළට පරිවර්තනය කර දෙමළ සමාජයේ ගායනා කරයි. එය කිසිවෙකුගේ විරෝධයකට ලක් නොවී වසර 64ක් භාවිතා කර ඇත. ඇත්තෙන්ම දෙමළ ජනතාව ජාතික ගීතය පරිවර්තනය කර තේරුම් ගැනීම යහපත් දෙයකි. ජාතික ගීතයක් පැවතීමේ ප්‍රමුඛ අරමුණක් වන්නේ ජාතිය පිළිබඳ අභිමානයක් සහ ආදරයක් ජනතා සිත් තුල ඇති කිරීමයි. 

අපේ ජාතික ගීය ශබ්ද රසයෙන් මෙන්ම අර්ථ රසයෙන් ද අනූනය. “සුන්දර සිරි බරිනි” යනුවෙන් එහි අපේ මව්බිමේ සුන්දරත්වය වර්ණනා කරයි. දෙමළ ජනතාව විසින් දෙමළ ගීතය ගායනා කරන වාරයක් පාසා එම වර්ණනාව ඔවුන්ගේ හදවතට කා වැදුනොත් මෙම සුන්දර බිම බෝම්බ පුපුරුවා විනාශ කිරීමට ඔවුන්ට සිත් නොවනු ඇත. එමෙන්ම මව්බිම දෙපළු කර වෙනම රාජ්‍යයක් බිහි කිරීමට සටන් කළ පිරිසක් අර්ථය තේරුම් ගනිමින් “එක මවකගේ දරු කැළ බැවිනා” යනුවෙන් ගායනා කිරීම අපේ ජයග්‍රහණයකි.

ජාතික ගීතයේ දෙමළ පරිවර්තනයක් තිබිය දී එය දෙමළ සමාජයේ වසර 64ක් පුරා ගායනා කරමින් තිබිය දී මනෝ ගනේෂන් හදිසියේ ජාතික විධායක සභාවට කරන ඉල්ලීම කුමක්ද? දැනට සිදුවන්නේ ජාතික ගීතයේ දෙමළ පරිවර්තනය හුදු අවබෝධය පිණිස දෙමළ බසින් ගායනා කිරීමක් පමණි. එය අපේ ජාතික ගීතය නොවේ. එය කිසිම නිල උත්සවයක ගායනා කිරීමට නොහැක. කෙටියෙන් පැවසුවොත් එය අපේ ජාතික ගීතය නොවේ. එය තවත් එක් දෙමළ ගීතයක් පමණි. මනෝ ඉල්ලා සිටින්නේ එම ගීතය ලංකාවේ ජාතික ගීතය බවට පත් කර දෙන ලෙසිනි.

මනෝ ගනේෂන් මෙන්ම වත්මන් ආණ්ඩුව ද පූර්වාදර්ශ සොයා හැරෙන්නේ ඉන්දියාව දෙසටයි. නමුත් ඉන්දියාවේ රාජ්‍ය භාෂා 2ක් සහ ජාතික භාෂා 23ක් තිබුණත් ජාතික ගීතය ගායනා කරන්නේ පුරාණ බෙංගාලි බසින් පමණි. එමෙන්ම රාජ්‍ය භාෂා තුනක් තිබෙන සිංගප්පූරුවේ ජාතික ගීතය ගායනා කරන්නේ මැලේ බසින් පමණි. ඊට හේතුවක් ද තිබේ. ජාතික ගීතය සහ ජාතික කොඩිය සලකන්නේ ජාතික අනන්‍යතාවයේ සහ ජාතික සමගියේ සංකේත ලෙසයි. නිදහස් දිනයේ සමස්ත ජාතිය වෙන වෙනම ජාතික ගීතය ගයත් නම් එතන ජාතික සමගිය තිබේ ද? එමෙන්ම ජාතික අනන්‍යතාවය මතු වන්නේ ලංකාවට ආවේණික වූ එකම භාෂාව වන සිංහල භාෂාවෙන් ජාතික ගීතය ගායනා කිරීමෙනි.

ඉන්දියාව සහ සිංගප්පූරුව පිළිබඳ නිදසුන් දෙස බලා තමන්ට වාසි සහගත රටවල් පමණක් පෙන්වා දෙන බවට යමෙක් මට චෝදනා කිරීමට පුළුවන. ස්විට්සර්ලන්තය ජාතික ගීතය ගායනා කරන්නේ ජර්මානු, ප්‍රංශ, ඉතාලි සහ රොමාන්ෂ් යන රාජ්‍ය භාෂා හතරෙනි. කැනඩාවේ දී රාජ්‍ය භාෂා වන ඉංග්‍රිසි සහ ප්‍රංශ යන භාෂා දෙකෙන්ම ජාතික ගීතය ගායනා කරයි. මේ පිළිබඳ දකුණු අප්‍රිකානු අත්දැකීම හරිම අපූරුය. ජාතික ගීතයේ පද මාලාව සෑදී ඇත්තේ රාජ්‍ය භාෂා 11න් 4ක්ම භාවිතා කරමිනි. මෙම රාජ්‍යයන්ට එක් රාජ්‍ය භාෂාවකට වඩා වැඩි ගණනක් ජාතික ගීතය ගැයීම සඳහා යොදා ගත හැකි නම් ලංකාවට එය කළ නොහැක්කේ මන්දැයි කෙනෙකුට ප්‍රශ්න කළ නොහැක.

ඉහත රාජ්‍යයන්ට රාජ්‍ය භාෂා එකකට වැඩි ගණනක් තිබෙන්නේ ඓතිහාසික හේතුන් මතය. ස්විට්සර්ලන්තය බිහි වන්නේ ජර්මනියේ ඉතාලියේ සහ ප්‍රංශයේ කොටස් වී තිබුණු කුමාර රාජ්‍ය ගණනාවක් එකතු වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එමෙන්ම කැනඩාව බිහි වුණේ ප්‍රංශ සහ ඉංග්‍රිසි යටත් විජිත එක් වී ෆෙඩරල් රාජ්‍යයක් බිහි කිරීමෙනි. එබැවින් මෙම රාජ්‍යයන් එකතු වීමේ දී තමන්ගේ භාෂා අනන්‍යතාවයන් පවත්වා ගැනීම සඳහා ජාතික ගීතය සෑම භාෂාවකින් ගැයීමට තීරණය කරන ලදී. එමෙන්ම එකී කිසිම භාෂාවක් මෙම රටවල් වලට ආවේණික නොවන බව ද මෙහිලා සිහිපත් කළ යුතුය.

සිංහල ලංකාවට ආවේණික බසකි. එබැවින් සිංහල බස ජාතික අනන්‍යතාවයේ සංකේතයකි. එමෙන්ම ස්විට්සර්ලන්තය හෝ කැනඩාව මෙන් නොව ලංකාව බිහි වුණේ දෙමළ ඊළම සහ සිංහලේ රාජ්‍යය එක් වී ෆෙඩරල් රාජ්‍යයක් ගොඩ නැගීමෙන් නොවේ. එසේ දෙමළ ඊළම ෆෙඩරල් රාජ්‍යයක් සඳහා එක් වූයේ නම් දෙමළ ඊළම බිහි කිරීමේ සටනට සුජාත භාවයක් ලැබේ. එබැවින් දෙමළින් ජාතික ගීතය ගැයීමෙන් ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැරදි චිත්‍රයක් ලෝකයට ලබා දෙන අතර එය බෙදුම්වාදයට උඩ ගෙඩි දීමකි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වන වගන්තියට අනුව ජාතික ගීතයේ පදමාලාව තුන්වන උපලේඛණයේ දැක්වෙන පදමාලාව විය යුතුය. එනම් සිංහල පදමාලාව නිල ජාතික ගීතයයි. එය අකුරටම ඉටු කරමින් නිදහස් දිනය ද ඇතුළුව ජාතික උත්සවයන්හී දී ජාතික ගීතය ගැයෙන්නේ සිංහලෙන් පමණි. එය වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ අනුමැතියට අමතරව ජනතාව විසින් ජනමත විචාරණයක දී අනුමත කළ යුතුය. නමුත් ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට අනුමැතිය ලබා දී ඇත්තේ හත්වන වගන්තිය සංශෝධනය කිරීමකින් තොරවය. ඒ අනුව ජනාධිපතිවරයා දෙමළින් ජාතික ගීතය ගැයීමට එකඟ වීම හරහා පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇත. එය දෝෂාභියෝගයක් ගෙන ඒමට හැකි මට්ටමේ බරපතල වරදකි.

මගේ නම උදය ප්‍රභාත්ය. එය ඉංග්‍රිසියෙන් ලියන විට මෝර්නින් ෂයින්ඩ් ලෙස නොලියමි. ඒ වෙනුවට කරන්නේ සිංහල වචන ඉංග්‍රිසීයෙන් ලිවීමයි. අප හින්දි හෝ ඉංග්‍රිසි සිංදුවක් සිංහලෙන් ලියන විට එම වදන් සිංහල අකුරෙන් ලියනු මිස එහි අර්ථය සිංහලට හැරවීමක් නොකරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රිසි පිටපතේ ජාතික ගීතය දක්වා ඇත්තේ “ශ්‍රී ලංකා මාතා“ ලෙස මිස “මදර් ශ්‍රි ලංකා“ ලෙස නොවේ. එබැවින් “ශ්‍රී ලංකා තායේ“ පදමාලාව අනිවාර්රයෙන්ම පරිවර්තන දෝෂයකි.

මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීම හරහා සමාජයේ තුල නැති ප්‍රශ්නයක් ඇති කර තිබේ. ජනාධිපතිවරයා තමන් අතින් වූ වරද පිලිගෙන ජාතික ගීතය පිළිබඳ දැනට පවතින ස්ථාවරය ඒ අයුරින්ම පවත්වා ගැනීම ජාතික සමගියට මෙන්ම ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය ට ද සුබ දායකය.

උදය ප්‍රභාත් ගම්මන්පිල FB Fan Page

0 comments: