පුරා දශක හතරක් මෙරට සාහිත්‍ය ලෝකය නේක වර්ණයෙන් ඒකාලෝක කළ සෝම තාරකාව නිවී ගියේය. 1966 දී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබ ඇරඹූ සිය ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර මෙරට ගම් දනව් සිසාරා පතුරුවා ජන හදවත් නිවා පසුගිය නව වැනිදා අලුයම ඔහු දැයෙන් සමුගත්තේය.
ඔහුගේ ශාස්‌ත්‍රීය සහ නිර්මාණ යුග මෙහෙවර පිළිබඳ මේ වන විටත් බොහෝ දේ ලියෑවී කියෑවී තිබුණද සෝමවීර සේනානායකයන් අපේ ගමේ වීරයකු බවට පත්වන්නේ ඔහු සිය ප්‍රථම නවකතාව ලිවීමත් සමගය. 'ආදරයට බය මිනිස්‌සු' ලොකු අයියාගේ පළමු නවකතාව අපේ ගමේ කෙනෙකු ලිවූ මුල්ම නව කතාව විය. ඉනික්‌බිති අඹු සැමියෝ, මවකගේ ගීතය, එක්‌ටැම් ගෙවල්, මතු දවස, ඉරහඳ පායන ලෝකය, යශෝරාවය, මැණික් නදිය ගලා බසී සහ බලදේවගේ ලෝකය ඔහු අතින් ලියෑවෙන විට ඔහු තුළ වූ දැවැන්ත නිර්මාණ ප්‍රතිභාව මෙරට සාහිත්‍ය කලා ක්‌ෂේත්‍රය පුරා පැතිරී හමාරය. ඔහු 'බලදේවගේ ලෝකය' නිර්මාණය කළ අවදියේ සිට වෘත්තීය පුවත්පත් කලාවේ නිරතවූවකු මෙන්ම ඔහුගේ සමීප ඥාතියකු ලෙස ඔහු ඇසුරේ රැඳෙන්නට මට අවකාශ ලැබිණ. සෝමවීර සේනානායකයන් වඩාත් යොමුව සිටියේ පුවත්පත් විශේෂාංග අංශයට බැවින් ඔහු ඇසුරේ ගුරුහරුකම් ලැබීමට මම භාග්‍යවන්තයෙක් වීමි. නවකයන් නිවැරදි මගෙහි යොමු කරවන්නට ඔහු සිය අත්දැකීම් උපයෝගී කරගත්තේය. 1999 වසරේ දිනක වත්මන සඟරාව සඳහා ලිපියක් ලිවීමට ඔහුගෙන් වේලාවක් වෙන්කරගත් මම කාර්යාලයේ වාහනය ප්‍රමාද වීම නිසා ඔහුගේ නිවසට යන විට මඳක් පමාවිය. සාකච්ඡාව ඇරඹීමට පෙර මට ඔහුගේ අත්දැකීමකට සවන් දීමට සිදුවිය.
ලේක්‌හවුස් එකේ මම වැඩකරන කාලෙ විශේෂාංග ලිපියක් සඳහා සාකච්ඡාවක් කරන්න මහාචාර්ය සෙනරත් පරණවිතාන මහත්තයගෙන් වෙලාවක් ඉල්ල ගත්ත. කාර්යාලයෙන් වාහනයක් නොලැබුණ හින්ද මම නුගේගොඩ පීටර්ස් ප්ලේස් එකට යන විට ටිකක් පරක්‌කු වෙලා. පරණවිතාන මහත්තය පුටුවක වාඩිවෙලා ඇස්‌දෙක පියාගෙන ඉන්නවා. මම 'සර්' කියලා කතා කළා.
"ආ.. ඔහේ ආවද"
"ඔව් සර්... කාර්යාලයෙන් වාහනයක් හම්බ වුණේ නෑ. බස් එක ටිකක් පරක්‌කු වුණා"
"ඇයි ඔහේට බයිසිකල් පදින්න බැරිද?"
පරණවිතාන මහත්තය ඇස් දෙක පියාගෙනම මගෙන් ඇහැව්ව. බයිසිකලයක් පැදගෙන හරි වෙලාවට පැමිණීමේ වැදගත්කම මම අවබෝධ කරගත්තෙ එදා."
අත්දැකීම් ඇසුරෙනුත් නිවැරදිව අභීතව අපක්‍ෂපාතීව කටයුතු කිරීමෙනුත් සෝමවීරයන් සමාජයට ආදර්ශයක් විය. අපේ රටට රූපවාහිනියේ ආගමනයත් සමග නවකතාකරණයෙන් ඔහු හෙළි කළ සාරවත් ජීවන දෘෂ්ටිය රූප මාධ්‍යයට නැගුවේය. දේශීය නව කලා සම්ප්‍රදායකට අත්පොත් තැබූ පළිඟු මැණිකේ, මැණික් නදිය ගලා බසී, මවකගේ ගීතය, යශෝරාවය, දූදරුවෝ වැනි ටෙලි නාට්‍ය රැසක් රචනා කරමින් නිවසේ ආලින්දයට ඔහු ජීවිතය රැගෙන ආවේය.
කාලය හා යුගය විසින් සියල්ල උඩු යටිකුරු කරද්දීත් සෝමවීරයෝ ඒ මහා ප්‍රවාහය හමුවේ නොසැලී සිය නිර්මාණ මෙහෙවර එයට එරෙහිව උඩුගම් බලා මෙහෙයවූහ. "වෙනත් රටවල ටෙලි නිර්මාණ කලාව පහළම තැනකින් පටන් අරගෙනයි ඉහළට ගියේ. අපේ රටේ මේ කලාව ඉහළම තැනකින් පටන් අරන් පහළටම ගියා." අපේ රටේ වර්තමාන ටෙලි නිර්මාණ කලාව පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග පැවති සාකච්ඡාවකදී ඔහු සිත් වේදනාවෙන් කතා කළේය. ටෙලි නාට්‍ය රචනය පිළිබඳ එදා අප අතර පැවති එම සාකච්ඡාව ඔහුගේ නිර්මාණ ජීවිතයේ ඇරඹුම දක්‌වාම ගලා ගියේය.
"මේ කලාව අපට දායාද කළේ අපේ ආතා. මාත් එක්‌ක ගමේ පන්සලට ගිහින් මං ලවා සිල් ඇත්තන්ට ජාතක පොත කියෙව්ව ආතා කොළඹ ඇවිත් ටවර් හෝල් එකෙන් නාට්‍ය බලල ඒවා හිතේ තියාගෙන ගෙදර ගිහින් මටත් ගමේ අයටත් චරිත දීල නාට්‍ය හැදුවා. අපේ තාත්ත ළඟ තිබුණු ග්‍රැමපෝනයෙන් පැරණි ගීත අහන්න මට අවස්‌ථාව ලැබුණා. සමහර පැරණි ගීත අඩංගු එච්. එම්. වී තැටි මට ගෙනත් දුන්නේ ඒ කාලේ ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ රැකියාව කළ පොඩි බාප්පා. ආතා හදපු නාට්‍යත් ග්‍රැමපෝනයෙන් අහපු ගීතත් මගේ ලේඛන කලාවට බලපෑවා."
ටෙලි නාට්‍ය රචනයත් සමගම පෙති ගෝමර චිත්‍රපටයේ තිර රචනය ලිවීමෙන් චිත්‍රපට තිර රචනා කලාවට අවතීර්ණ වූ සෝමවීරයන් සිය 12 වැනි චිත්‍රපට තිර රචනය ලෙස ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරීස් අධ්‍යක්‌ෂණය කළ අම්මාවරුණේ චිත්‍රපටයේ තිර රචනය ලියමින් සිනමාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නියෑලුණේය.
"මගේ තිර රචනා ජීවිතයේ නොමැකෙන සිහිවටනය ලෙස්‌ටර් මහත්තය සමග වැඩ කිරීමයි."
ගිරය ටෙලි නාට්‍යය පිළිබඳ අප සෝමවීරයන් සමග කළ කතා බහක දී ඔහු සඳහන් කළේය. ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස් පීරීස් සිනමාවේදියාණන් සහ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් පිළිබඳ සෝමවීරයන් සිය මතක අවදි කළේ දැඩි අභිරුචියකිනි.
"චරිත තුනක් ටෙලි නාට්‍යයට සංගීතය නිර්මාණය කළේ ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන්. ඒක කරන්න අපි පේරාදෙණියට ගියා. එදා රෑ මමත් තිලක් ගුණවර්ධනයනුත් අමරදේවයනුත් නිදාගත්තෙ එකම කාමරයක. නින්දට වැටුණු ගමන් තිලක් ගොරවන්න ගත්තා. අපි දෙන්නම එළිවෙනකම් හිටියෙ අවදියෙන්. උදේ නැගිටපු තිලක් 'නින්ද නම් ෂෝක් නේද'යි අපෙන් ඇහුවා. අපි කතා නැතිව ඉන්නැද්දි 'ෂෝක් ෂෝක්' කියාගෙනම මිනිහ එළියට ගියා. ඔහු දෙස බලා සිටි අමරදේවයන් 'ගෙරවිල්ලට රිද්මයක් තිබුණ නම් එළිවෙනකන් වුණත් අහගෙන ඉන්න තිබුණා' යෑයි කීවේ එළිවෙන තුරු නොනිදා සිටීමට සිදුවීමටත් වඩා තිලක්‌ගේ ගෙරවිල්ලට රිද්මයක් නොමැතිවීම ගැන කනගාටුවෙන්."
නොයෙක්‌වර අප මුණගැසුණු විට අප උපන් ගමේ අතීත සිදුවීම් සහ වර්තමාන සමාජ සිදුවීම් පිළිබඳ ඔහු කළ කතා බහ අප පුදුමයටත් සතුටටත් පත්කළේය. ඩී. එස්. සේනානායක පරපුර සමග අපේ ඥාතිත්වයක් ඇතැයි වරක් සිය නිවසේ දී ඔහු මා සමග පැවසීය.
"ඩී. එස්. සේනානායක මහත්තය අපේ ළඟම ඥාතියෙක් කියලයි ආතා කියන්නෙ. එතුමාගේ පියාගේ පියාත් අපේ ආතගේ ආතත් එක කුස උපන් සහෝදරයෝලු. ආතගෙ ආත බෝතලේ වලව්වෙ අයට නොගැළපෙන තක්‌කඩිකම් කළ හින්ද පවුලෙන් පලවා හැර තිබෙනවා. ඔහුගේ නම නෝනිස් සේනානායක. අපේ නම්වලට නෝනිස් නාමය ඇවිත් තියෙන්නේ එහෙමයි."
දේශපාලනය පිළිබඳ උනන්දුවක් නැත්තේ මන්දැයි එවැනි අවස්‌ථාවක මම ඔහුගෙන් ඇසුවෙමි.
"ඔය ප්‍රශ්නය දවසක් ටී. බී. ඉලංගරත්නයනුත් මගෙන් ඇහුවා. ඒ ළසඳා නවකතාව ගැන ලිපියක් ලියන්න සාකච්ඡා කරන්න ගිය වෙලාවක. ඒ වෙනකොට ඉලංගරත්න ඇමතිවරයෙක්. දේශපාලනය ගැන මගෙ කිසිම උනන්දුවක් නෑ කියල මම කිව්වා. මම මේ ඔබතුමා ළඟට ආවෙත් ඇමැතිවරයෙක් ළඟට එන හැඟීමෙන් නෙමෙයි ලේඛකයෙක් ළඟට එන හැඟ මෙන් කියල මම කිව්වම බොහෝම හොඳයි කියල ඔහු හිනාවුණා."
දේශපාලනය පිළිකෙව් කළ සෝමවීරයන් අපක්‌ෂපාතීව සිය අදහස් නිරවුල්ව ප්‍රකාශ කරමින් නිර්මාණකරණයේ නියෑලුණේය. බෞද්ධ දර්ශනය සමග අත්වැල් බැඳගත් සාහිත්‍ය නිර්මාණ කාර්යයෙහි පුරෝගාමී මෙහෙවරක නියෑලුණු සෝමවීර සේනානායකයන් මෙරට ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි සිදුකරනු ලැබූ සේවය වෙනුවෙන් ශ්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්‌ගිරි පාර්ශවීය සංඝ සභාව 2002 වසරේදී ධර්ම සාහිත්‍ය කලා චූඩාමණී ගෞරව නාමය ඔහුට පිරිනැමුවේය.
නවකතාකරණයෙන් රූපවාහිනී මාලා ටෙලි නාට්‍ය රචනයටත්, ජනකතා සහ ජාතක කතා ඇසුරෙන් පාරමිතා සහ සිත නිවන කතා ලෙස ඒකාංග ටෙලි නාට්‍ය රචනයටත්, ඉන් අනතුරුව චිත්‍රපට තිර කතා රචනයටත් පිවිසි සෝමවීරයන් බෞද්ධ ධර්ම සාහිත්‍ය කලා විෂයෙහි නිර්මාණ රැසක් බිහි කළේය. සිය ජීවිත කතාව වන අපි තවමත් සංසාරේ කෘතිය දශක හතරක් ඉක්‌ම වූ ඔහුගේ සාහිත්‍ය කලා නිර්මාණ චාරිකාවේ අවසන් මංසලකුණ විය.
එම කෘතියේ අවසන් සෝදුපතත් රැගෙන ඔහු ගංගොඩවිල විශ්වවිද්‍යාලය අසල පිහිටි අප නිවසට පැමිණියේය.
"ඔක්‌කොම හරි..." සිය සුපුරුදු අවිහිංසක සිනහවෙන් මුව සරසාගත් ඔහු අවසන් සෝදුපත මේසය මත තබා ආලින්දයෙන් ඈත පෙනෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වහළ දෙස බලා සිටියේය.
"මගේ විශ්වවිද්‍යාල ජීවිතයත්, නිර්මාණ ජීවිතයත් පටන් ගත්තෙ මෙහෙන්. හැට ගණන්වල විඡේරාම හංදියේ මම මුද්‍රණාලයකුත් පටන් අරගෙන තිබුණ. නුපුරුදු දේවල් කරන්න ගිහිං බංකොලොත් වුණා. පුරුදු කලාව මිසක් අපට වෙන දෙයක් හරි යන්නේ නෑ"
ඔහු සෙමින් නිවසේ පියගැටපෙළ බැස්‌සේය. පසුදා උදයෙන්ම ඔහු ගියේ එදා කුඩා දරුවකු ලෙස ජාතක පොත හිසින් ගෙන තම ආතා සමග ගිය තම උපන්ගම වූ කුඩගම පන්සලේ ඔහුගේ බාල සොහොයුරු වෛද්‍යාචාර්ය පැරකුම් සේනානායකගේ ප්‍රධානත්වයෙන් ගම්වාසීන්ගේ ද උපකාර ඇතිව ඉදිකරන චෛත්‍යයේ කොත පැළඳවීමටය. තම ගතට දැනුණු කිසියම් අපහසුතාවක් නිසා කොත පැළඳවීම සිය බාල සොහොයුරාටම පැවරූ සේනානායකයෝ ආපසු ආහ.
හෘදයාබාධයක් වැළදී පසුදින රාත්‍රියේ ඔහු රෝහල් ගත කෙරිණි.
කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ දී ජීවිතය යන්ත්‍රයකට බාර කොට දින කිහිපයකින් යළි පියවි සිහිය ලද විගස 'මල්ලී, අපේ පොතේ වැඩ කොහොමදැයි ඔහු මගෙන් විමසා සිටියේය. ජීවිතය දිනාගත් මිනිසකුගේ රූපකාය ඒ මොහොතේ මම ඔහු වෙතින් දුටුවෙමි.
දෛවයේ තීරණයට කිසිවකුටත් පිටුපෑ නොහැකි බව දැඩි සේ විශ්වාස කළ සෝමවීරයෝ නිහඬ මුවින් හා නිසල දෙනතින් ඊට අවනත වූහ.
පාලිත සේනානායක
http://divaina.com/sunday/index.php/visheshanga2/4348-2018-06-15-05-44-28
අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්. කුලරත්න මැතිතුමා මෙන්ම අම්බලන්ගොඩ උපන් තවත් සුවිශේෂී චරිතයක් වන ලොකු සතුහේවා මෙත්තානන්ද (එල්. එච්. මෙත්තානන්ද) යන දෙපල මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ යුග පුරුෂයන්ය.
1893.03.31 අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්. කුලරත්න සහ එල්. එච්. මෙත්තානන්ද පටබැදිමුල්ල ඉංග්‍රීසි බෞද්ධ පිරිමි පාසලෙන් සිය මුලික අධ්‍යාපනය අරඹන අතර ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළත් වන ලදී. මෙම දෙදෙනාගෙන් පී. ද එස්. කුලරත්න 1912 වර්ෂයේදී පමණ උසස් අධ්‍යාපනය පිණිස ශිෂ්‍යත්වයක් ලබා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට යන අතර 1915 වර්ෂයේදී කලා අංශයෙන් සහ 1916 වර්ෂයේදී විද්‍යා අංශයෙන් පළමු පංතියේ ගෞරව උපාධි ලබන අතර ඉන් අනතුරුව 1917 වර්ෂයේදී නීති උපාධිය දිනාගනු ලබන්නේය.
1918 වර්ෂයේදී නැවතත් ලංකාවට පැමිණෙන කුලරත්නයන් එතෙක් කලක් පරම විඥානාර්ථ සමිතිය යටතේ පැවැති කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩභාර ගන්නා අතර ඒ වන විට ඔහු වයස අවුරුදු 25 ක් තරම් වූ තරුණ වයසේ පසුවිය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 350 ක් වූ අතර කුලරත්නයන් විසින් ඇති කළ ශිෂ්‍යත්වයක් හේතුවෙන් වසරක් ගතවීමත් සමඟ එම සංඛ්‍යාව සිසුන් දහසක් දක්‌වා ඉහළ අගයක් ගන්නේය. එකල කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටියේ "මරියකඩේ" නම් නොදියුණු වැඩි වශයෙන් මුඩුක්‌කු පැල්පත් තිබූ ප්‍රදේශයකය.
කුලරත්න මහතාගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම හේතුවෙන් පසු කලෙක කොළඹ ආනන්ද විද්‍යාලයය ලංකාවේ පළමු පෙළ විදුහලක් බවට පත් විය. 1923 වර්ෂයේදී පමණ කුලරත්න මහතාගේ මූලිකත්වයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයය ආරම්භ කළ අතර 1932 වර්ෂයේදී පමණ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධිපතිව කටයුතු කර ඉන් අනතුරුව වර්ෂ 1942 දී පමණ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ අටියෙන් විශ්‍රාම ගන්නා තුරු එහි විදුහල්පතිවරයා හැටියට විදුහලට මාහැඟි සේවයක් ඉටු කළේය.
එතුමන් විවාහ වූයේ සිංහල බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ පුරෝගාමී කාන්තාවක් වූ ඉංග්‍රීසි ජාතික හිල්ඩා වෙස්‌ට්‌බෲක් මෙනෙවිය සමඟය. මෙම දෙපලගේ සුසංයෝගයෙන් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, බණ්‌ඩාරවෙල කාන්තා මහ විදුහල, මොරටුව විදුහල, නුගේගොඩ අනුලා බාලිකා විදුහල, පානදුර ශ්‍රී සුමංගල පිරිමි සහ ගැහැනු විදුහල්, මාතර රාහුල විදුහල සහ එදා දික්‌වැල්ල සෙන්ට්‍රල් මේ වන විට විජිත මධ්‍ය මහා විදුහල යන නමින් හැඳින්වෙන විදුහල් බිහි කරමින් මෙරට අධ්‍යාපනය උදෙසා විසල් මෙහෙවරක් සිදු කරන ලදී.
එවකට මෙරට අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ නිදහස් අධ්‍යාපනයේ පියා ලෙසින් හඳුන්වනු ලබන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සංකල්පයකට අනුව රට පුරා මධ්‍ය මහා විද්‍යාල බිහිකිරීමේ සංකල්පයේදී ඔහු කුලරත්න මහතා අමතා අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසය වෙනුවෙන් මධ්‍ය මහා විද්‍යාලයක් පිහිටුවිය යුතු ස්‌ථානයක් විමසූ විට කුලරත්න මහතා විසින් එවකට ඉතාම නොදියුණු හා අඩු අධ්‍යාපනික තත්ත්වයකින් හෙබි වූ එනිසාම දාමරික හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ගහනව පැවති කරන්දෙනිය යෝජනා කළේය. ඒ අනුව බිහි වූ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය කුලරත්න මහතාගේ මුලිකත්වයෙන් ඉදිවූවක්‌ය. එතුමන් සිහිපත් වනු පිණිස අම්බලන්ගොඩ නගරයට සැතපුම් අටක් පමණ උතුරට වන්නට පිහිටි කරන්දෙණිය මධ්‍ය මහ විදුහල් භූමියේ එතුමන්ගේ පිළිරුවක්‌ද නිර්මාණය කොට ඇත. කරන්දෙණියට අමතරව අලුත්ගම බාලිකා විදුහල, කුරුණෑගල මලියදේව විදුහල අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආදියටද කුලරත්න මහතා විසින් ඉටු කළ මෙහෙවර අතිමහත්ය.
විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට අතිමහත් මෙහෙවරක් සිදුකළ කුලරත්න මහතා දේශපාලනයට පිවිස ඇත්තේ 1942 වර්ෂයේදීය. අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසයේ මන්ත්‍රීවරයෙකු වන මෙතුමන් එම වර්ෂයේදීම ජාතික සංගමයේ සභාපතිවරයා බවටද පත් විය. 1956 වර්ෂයේදී බෞද්ධ කොමිෂන් සභාවේ සභිකයෙකු වූ මෙතුමන් 1958/59 වර්ෂ සඳහා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයටද පත්විය.
එතුමන් අනුස්‌මරණය කිරීම පිණිස අම්බලන්ගොඩ හිටපු මන්ත්‍රීවරයෙකු වන රයිටර් තිලකසේකර මහතා විසින් ඇති කරන ලද පී. ද. එස්. කුලරත්න මහ විද්‍යාලය මේ වන විටද ප්‍රදේශයේ නමගිය විදුහල් පවා අභිබවා යමින් සිය විදු ගොස පැතිරුවද අම්බලන්ගොඩ උපන් කුලරත්න මහතාගේ සමකාලීනයෙකු හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නියමුවා වශයෙන් හැඳින්විය හැකි එල්. එච්. මෙත්තානන්ද මහතා ගැන කිසිදු සිහිවටනයක් නොමැතිවීම පළාතට අඩුපාඩුවක් වශයෙන් දුටු අම්බලන්ගොඩ දේශප්‍රේමී සංවිධානයේ සභාපති වන මෙම ලියුම්කරු මෙම යුග පුරුෂයන් දෙදෙනා සිහිවීම පිණිස ස්‌මාරකයක් ඉදිකිරීමට බලාපොරොත්තු වූයේ කලක පටන්ය. ඒ සඳහා කුලරත්න මහතාගේ ප්‍රතිමාව නොමිලයේ ඉදිකර දීම පිණිස කලාකරුවකු ඉදිරිපත් වූවේ ඔහුට අකුරු කියවූයේ පී. ද එස්. කුලරත්න මැතිතුමා වූ හෙයින්ය. එහෙත් එම කලාකරුවාගේ ලිපිය හා ලිපිනය යම් අතපසුවීමක් හේතුවෙන් මේ වන විට අස්‌ථානගතව ඇති බැවින් මෙම ලිපිය කියවන එතුමන් යළි මා අමතනු ඇතැයි මාගේ විශ්වාසය වී ඇත.
අම්බලන්ගොඩ නගර සභාව විසින්ද කලක සිට මෙම යුග පුරුෂයන් සිහිවීම පිණිස යමක් කළ යුතු බවට තීරණය කර ඇතත් පසු කලෙක " කුලරත්න පාර" යනුවෙන් මාර්ගයකට පමණක් එය සීමා කොට ඇත.
අධිනීතිඥ බුද්ධික කුරුකුලරත්න
http://www.divaina.com/2017/07/23/feature20.html
පේරාදෙණිය සහ කොළඹ වෛද්‍ය පීඨයන්හි සිසුන් ශිෂ්‍ය ක්‍රියාකාරීන් ලෙස පත්වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදීය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) සහාය නොමැතිව වෛද්‍ය සිසුන් හුදකලා වූහ. පසුව අන්තරේ සමඟ එක්‌වී අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ස්‌ථාපිත කර අන්තරේ සමඟ එක්‌වී වැඩ කිරීමට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරියෝ කටයුතු කළේය.
<--- ඝාතනයට ලක්‌වූ කොළඹ සරසවියේ වෛද්‍ය සිසුන් 9 දෙනා. ඉහළ වමේ සිට මාරවිල වෙනුර වර්ධිත එදිරිසිංහ, ගම්පහ වතුරගම සරත් කොල්ලුරේ, පන්නිපිටියේ අතුල සේනාරත්න, මැද වමේ සිට පන්නිපිටියේ සිසිර කීර්ති ජයවර්ධන, අම්බලන්ගොඩ කහව පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක ද සිල්වා, පහළ වමේ සිට මහරගම ඇරැව්වල නිශාන්ත සම්පත් එදිරිවික්‍රම, ගාල්ලේ වසන්ත කුමාර කුලතුංග, ලීල් සමරනායක.
වෙද සිසු අරගලය හරහා වෙද සිසුන් 20 කට පමණ 1987 සිටම පක්‌ෂයේ කොක්‌ක ගැසීමට ජවිපෙ සමත්වූ අතර තවත් වෙද සිසුන් 200 කට ආසන්න පිරිසක් අන්තරේට ඉතා හිතවාදීව කටයුතු කළහ. එජාප රජයට එරෙහිව 1988 මාර්තු 07 තීරණාත්මක සටනකට යොමුවීමට ජවිපෙ තීරණය කළ අතර අන්තරේ බල කඳවුර බවට එම කාලයේදී කොළඹ වෛද්‍ය පීඨය පත්ව තිබිණි.
<--- ප්‍රා. සංවිධානය මඟින් 1989 ජූලි 7 ඝාතනය කළ මානව හිමිකම් නීතිඥ චරිත ලංකාපුරගේ දේහය කොළඹ වෛද්‍ය විද්‍යාලයේ තබා තිබූ අවස්‌ථාවේදී එයට අවසන් ගෞරව දක්‌වන ඔහුගේ ගැබිනි බිරිඳ චිත්‍රා සහ ඥාතීන්
කේරි විද්‍යාලයට යාබද කොළඹ වෛද්‍ය පීඨයේ බ්ලොම් නේවාසිකාගාරය අන්තරේ ක්‍රියාකාරිකයන්ගේ තාවකාලික නවාතැනක් සහ පණිවුඩ හුවමාරු මධ්‍යස්‌ථානයක් වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එහි පළමු මහලේ වෙනුර, හේමන්ත, ත්‍රීමාවිතාන ඇතුළු කිහිපදෙනෙක්‌ම සිටි අතර එහි කාමර තුන හතරක අන්තරේ සහ ජවිපෙ ඕනෑම අයකුට විවෘත විය.
<-- ඝාතනය වූ වෛද්‍ය සිසුන් නැවතී සිටි පුංචි බොරැල්ලේ බ්ලොම් නේවාසිකාගාරය
බ්ලොම්හි බහුතර ශිෂ්‍යයන් ද ආගන්තුකයන්ට හැකි අයුරින් සැලකූහ. හදිසි අවස්‌ථාවකදී හමුවූ එවැනි තවත් ස්‌ථානයක් වූයේ මානව හිමිකම් ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ නීති ශිෂ්‍ය ගැමුණු යසස් සෙනෙවිරත්න සිටි රාජගිරියේ ඉම්පාලා සිනමා ශාලාව ඉදිරිපිට වුට් ඉන් නීති ශිෂ්‍ය නේවාසිකාගාරයයි.
වෙද සිසු හඬ පුවත්පත 1987 සැප්තැම්බර් මස ඇරඹූ අතර පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනමතයක් රට තුළ ගොඩනැඟීම එහි අරමුණ විය. වෙද සිසු හඬ පුවත්පත සකස් කිරීමට දායක වූ වෙද සිසුන් කිහිපදෙනකුට වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ ඉල්ලීම අනුව ප්‍රවීණ පුවත්පත් කලාවේදී දයාසේන ගුණසිංහ සහ මෙම ලේඛකයා එක්‌වී දින කිහිපයක මාධ්‍ය පුහුණුවක් ලබාදීමට ද කටයුතු කළේය. පිටු 12 කින් යුත් වෙද සිසු හඬ පුවත්පත මුද්‍රණය කළේ බංගලා හන්දියේ සහ පාගොඩ මුද්‍රණාලයන්හිදීය.
පෞද්ගලික වෙද විදුහලට එරෙහිව වෛද්‍ය ශිෂ්‍ය කමිටුව විසින් සිසු කම්කරු ඒකාබද්ධ විරෝධතා රැස්‌වීම් කළුතර සහ මීගමුව පුරහල, මහනුවර බේක්‌හවුස් සහ කොළඹ නව නගර ශාලාව ඇතුළු ස්‌ථාන 13 කදී පැවැත්වූ අතර ඉන් ගණනාවකට ලේඛකයා සහභාගි විය. ගම්පහ වයි. එම්. බී. ඒ. ශාලාවේදී රැස්‌වීම අවසානයේ අස්‌ගිරියේ නිවසකට රැස්‌වී රාත්‍රි පැවැත්වූ සුහද හමුව තවමත් මතකයෙන් බැහැර නොවේ. වෙනුර, කොල්ලුරේ, වසන්ත, අතුල, සුගත් සමඟ අසල්වැසියකු වූ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී කරුණාදාස සූරියආරච්චි ද එයට එක්‌වී සිටියේය.
වෙද සිසු සටනට ආධාර ලබාගැනීමට සුගතපාල ද සිල්වාගේ මරාසාද් නාට්‍යය වෛද්‍ය පීඨ ශාලාවේදී වේදිකාගත කළේ ද එකලය. එමඟින් ලක්‌ෂ 5 ක පමණ ලාභයක් ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවට ලබාගත හැකි විය. නාට්‍යය අවසානයේදී එළිවන තෙක් පැවති සාදයේදී සුගත් අයියා සමඟ මරාසාද් දෙබස් කණ්‌ඩ වෙද සිසුහූ ප්‍රතිරාවය කරමින් සතුටු වූහ. සුගත් අයියා සමඟ බිරිඳ ශිලා අක්‌කා එහි බොහෝ වේලාවක් රැඳී සිටියේ ඔවුන් දිරිමත් කිරීමට මෙනි.
ත්‍රීමාවිතානගේ දේහය කොළඹ සරසවියේ තිබූ කාලය තුළ ලක්‌ෂයකට අධික පිරිසක් අවසන් ගෞරව දැක්‌වීමට පැමිණියහ. එවිට වෛද්‍ය පීඨය දිස් වූයේ සටන් බිමක් ලෙසය. නීතිඥ චරිත ලංකාපුර 1989 ජූලි 07 ඝාතනය වූ අවස්‌ථාවේදී ඔහුගේ දේහය ද අවසන් ගෞරවය සඳහා වෛද්‍ය විද්‍යාලයට ගෙන ආව ද පසුදා පස්‌වරු 2.10 ට ආරක්‌ෂක හමුදා මෙහෙයුමකින් දේහය යළි පවුලේ ඥාතින්ට භාර දෙන ලදී. එම අවස්‌ථාවේදී විපක්‌ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ දිනේෂ් ගුණවර්ධන, කළුතර තිලක් කරුණාරත්න, අනුරාධපුර ජනක අධිකාරි යන අය ද එහි සිටියේය.
ඝාතනයට ලක්‌වූ කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් 09 දෙනා පිළිබඳ විස්‌තර මෙසේය.
වෙනුර වර්ධිත එදිරිසිංහ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවන වසරේ සිසුවෙකි. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මාරවිල, මදුරන්කුලියේ පදිංචිකරුවෙකි. උපන්නේ 1966 සැප්තැම්බර් 08 ය. තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලා වූ අතර ඔහුට බාල සොහොයුරෙක් සහ සොහොයුරියකි. පියා වූ දොම්පෙ තිලකරත්න එදිරිසිංහ ආයුර්වේද වෛද්‍යවරයෙකි. මව ඥානවතීය. මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ මීගමුවේදී මූලික අධ්‍යාපනය ලබා කොළඹ රාජකීය විද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වූ කණ්‌ඩායමෙන් ඉහළම ලකුණු ලබාගත්තේ ද උසස් පෙළ විද්‍යා අංශයේ දිවයිනේ පළමුවැනි වූයේ ද වෙනුරය. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවේ නායකයාය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1988 මැයි සිට 1989 මැයි දක්‌වා කටයුතු කරන ලදී. 1989 මැයි සිට මියයන තෙක්‌ම ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ කැඳවුම්කරු වශයෙන් කටයුතු කළේය. බම්බලපිටියේදී පැහැරගෙන ගොස් 1989 සැප්තැම්බර් 21 ඝාතනය ලක්‌විය.
ගම්පහ, වතුරේගම පදිංචි සරත් කොල්ලුරේ කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. නාලන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. චතුර කථිකයෙකි. දක්‌ෂ සංවිධායකයෙකි. වෛද්‍ය ශිෂ්‍ය කමිටුවට පත් වූයේ නිලවරණයෙන් සියයට 85 ක් ඡන්ද ලබාගනිමිනි. ත්‍රීමාගේ දේහය වෛද්‍ය පීඨයට ගෙන ඒම සඳහා නායකත්වය දුන්නේ ඔහුය. එම ස්‌ථානයට පැමිණි ආරක්‌ෂක අංශ ප්‍රධානියකු වන මේජර් විජය විමලරත්න සමඟ වාග් සංග්‍රාමයක ද ඔහු පැටලුනේය. වරෙක සරත්ගේ මව ප්‍රාණ ඇපකරුවකු ලෙස තබාගෙන සරත්ට භාරවන ලෙසට ආරක්‌ෂක හමුදා දැනුම්දීමක් කර තිබිණි. අන්තරේ මාතලේ දිසා ලේකම් වශයෙන් සිටියදී 1989 නොවැම්බර් 02 මාතලේ, වෑවලදී වෙඩිතබා ඝාතනය කරන ලදී. සරත්ගේ එකල පෙම්වතිය ද වූයේ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයගේ එක් සොහොයුරකු වූයේ යුධ හමුදා මේජර්වරයකි.
කොළඹ වෛද්‍ය පීඨයේ 83/84 කණ්‌ඩායමේ ශිෂ්‍යයකු වූ අතුල සේනාරත්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ 5 ශිෂ්‍යත්වය සමත්වී කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. සාලිය සහ පණ්‌ඩිතරත්න නමින්ද ඔහු හැඳින්විය. සොයුරු සොහොයුරියන් සිවුදෙනකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ අතුල 1962 මාර්තු 18 වැනිදා උපන්නේය. කොළඹ ගෝතමී විදුහලේ ගුරුවරියක වූ මව විමලා වූ අතර පියා දරුවන් කුඩා කාලයේදීම මවගෙන් වෙන්වී තිබිණි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය (අන්තරේ) කැඳවුම්කරු වශයෙන් 1990 ජනවාරි සිට 1990 මාර්තු දක්‌වා ද 1990 මැයි සිට 1990 අගෝස්‌තු දක්‌වා ද ඔහු කටයුතු කළේය. වෙද සිසුහඬ පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. වසර 1990 මාර්තු මස අතුල අත්අඩංගුවට පත්වූව ද 1990 අප්‍රේල් මස යළිත් පලා ඒමට සමත් විය. මේඝය නැමති ඡායා පිටපත් කරන ලද ප්‍රකාශනය මඟින් බිඳී තිබූ බොහෝ සබඳතා අලුත් කිරීමට අතුල සමත් විය. කැරැල්ලේ පරාජයෙන් පසු අන්තරේ වෙනුවෙන් පුවත්පත් නිවේදන නිකුත් කළේය. කහ උණ සෑදී සිටියදී පවා සම්බන්ධීකරණ රැස්‌වීමක් සඳහා පැමිණි විට පාවාදීමක් මත අතුල යළිත් බොරැල්ලේදී 1990 අගෝස්‌තු 12 අත්අඩංගුවට පත්විය. දේශීය වෛද්‍ය විද්‍යාලයේ සිසුවියකු වූ ඔහුගේ පෙම්වතිය එහිදී පලායැමට සමත්විය. අත්අඩංගුවට ගත් අතුල සේනාරත්න ගම්පහ පොලිසියේ තනිකඩ නිලධාරීන්ගේ පොලිස් බැරැක්‌කයක පිහිටි වධකාගාරයට ගෙනආ අතර එයට පෙර ඔහු පැන යැමට සමත්වූයේ ද මෙම වධකාගාරයෙනි. දෑතට සහ දෙපයට මාංචු දමා එම වධකාගාරයේ සිටි පිරිස 9 දෙනෙකි. ඒ අතර කොලොන්නාවේ විතානගේ, පොලොන්නරුවේ සී. ප. ධනපාල සිල්වා සහ පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ප්‍රථම වසර (ජ්‍යෙෂ්ඨ) දඹුල්ලේ පොඩිබණ්‌ඩා ද විය. සැකකරුවන්ට දරුණු ලෙස වධ බන්ධනවලට මුහුණදීමට සිදුවිය. අවසානයේ ඝාතනයට ලක්‌වූ වෛද්‍ය සිසුන්වූ අතුල සේනාරත්න සහ පොඩිබණ්‌ඩා ද ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනෙක් ගම්පහදී 1990 සැප්තැම්බර් 17 එකම ටයර් සෑයක අවසන් ගමන් ගොස් තිබිණි. ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල 11 දෙනකුට පසුව චෝදනා එල්ල විය.
සිසිර කීර්ති ජයවර්ධන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. පන්නිපිටියේ පදිංචිකරුවකු වූ ඔහුට සොයුරු සොහොයුරියන් තිදෙනෙකි. වසර 1984 දී මුළු දිවයිනේ සිවුවැනි ස්‌ථානයේ වැඩිම ලකුණු ලබා වෛද්‍ය පීඨයට තේරිණි. කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබිය. 'වෙද සිසුහඬ' පුවත්පතේ සංස්‌කාරකවරයෙකි. භීෂණයෙන් පසු විසිරී ගිය ශිෂ්‍ය ව්‍යාපාරය යළි ඒකරාශී කිරීමට කටයුතු කළේය. අන්තරේ කැඳවුම්කරු වශයෙන් 1990 නොවැම්බර් සිට දෙසැම්බර් දක්‌වා අත්අඩංගුවට ගන්නා තෙක් කටයුතු කළේය. වසර 1989 දෙසැම්බර් 17 පස්‌වරු 4.00 ට කොළඹ මහජන පුස්‌තකාලය අසලදී එල්. 200 සුදු වෑන් රථයකින් පැහැරගෙන යන ලදී. පසුව හැව්ලොක් පෙදෙසේ හෙන්රි පේදිරිස් ක්‍රීඩා මණ්‌ඩප වධකාගාරයේ සහ තිඹිරිගස්‌යායේ යටෝරෝ වධකාගාරයේ සතියක කාලයක් රඳවා ගැනීමෙන් අනතුරුව 1989 දෙසැම්බර් 28 ඝාතනයට ලක්‌විය.
පද්මසිරි ත්‍රීමාවිතාන කොළඹ වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. අංකුර කවියෙකි. චිත්‍ර ශිල්පියෙකි. ත්‍රීමාවිතාන උපන්නේ අම්බන්ගොඩ කහව, ගල්දූව ගමේදී 1964 පෙබරවාරි 29 ය. රොන්නදුව කනිටු විදුහලෙන් ද වේරෙගොඩ විජයබා විද්‍යාලයෙන් ද මූලික අධ්‍යාපනය ලැබීය. රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ අන්තරේ ලේකම් වශයෙන් ද සබරගමු පළාතේ ජාතික ශිෂ්‍ය මධ්‍යස්‌ථානයේ ලේකම් මණ්‌ඩලයේ සාමාජිකයෙක් වශයෙන් ද කටයුතු කරමින් සිටියදී 1988 ඔක්‌තෝබර් 22 රත්නපුර ශාන්ත ලූකස් විද්‍යාලය අසලදී තවත් දෙදෙනකු සමඟින් පැහැරගෙන යන ලදී. පසුව ඔක්‌තෝබර් 23 වැල්ලවාය, කොස්‌ලන්ද මාර්ගයේ එල්. ආර්. සී. ඉඩමක තිදෙනාගේම පුළුස්‌සා මරාදමා තිබූ සිරුරු හමුවිය. ත්‍රිමාගේ දේහය කොළඹට ගෙන වෛද්‍ය විද්‍යාලයේ අවසාන ගෞරවය සඳහා තිබූ අතර 1988 ඔක්‌තෝබර් 31 ලක්‌ෂයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් කොළඹ කනත්තේදී අවසන් කටයුතු සිදු විය.
සුගත් අශෝක ද සිල්වා කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙකි. ප්‍රියන්ත නමින්ද හැඳින්විය. අන්තරේ මාතර දිසා ලේකම් විය. අත්අඩංගුවට ගෙන සිටියදී පලායැමට උත්සාහ ගැනීමේදී යළිත් අත්අඩංගුවට ගෙන 1989 ඔක්‌තෝබර් මසදී මාතර, වැලිගමදී ඝාතනය කිරීමෙන් අනතුරුව සිරුර ගඟේa පාවෙමින් තිබියදී හමුවිය. ගඟ පහළදී ජවිපෙ භූගත සගයන් පිරිසක් විසින් ගොඩගෙන විවෘතකර අවසන් ගෞරව දක්‌වා නාඳුනන සොහොනක මිහිදන් කළේය. වෛද්‍ය පීඨයේ පළමු වසරේ ලීල් සමරනායක 1989 අගෝස්‌තු 17 ඝාතනයට ලක්‌විය.
ගාල්ලේ උපන් රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍ය වසන්ත කුමාර කුලතුංග කොළඹ වෛද්‍ය පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යයෙකි. වෛද්‍ය පීඨයට සරමක් ඇඳගෙන පැමිණි ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවාය. එසේම රබර් සෙරෙප්පු දෙකක් පැළඳ සායන පන්තිවලට ගිය ශ්‍රී ලංකාවේ ප්‍රථම සිසුවා ද ඔහුය. පෞද්ගලික වෙද විදුහලට විරුද්ධව සිසු කම්කරු ඒකාබද්ධ රැස්‌වීම් මාලාව සම්බන්ධීකරණය කළේය. දෙහිවල කටුචිකිස්‌සා නේවාසිකාගාරයේදී පැහැරගෙන 1989 දෙසැම්බර් 11 ඝාතනයට ලක්‌විය.
තමාගේ පළමු පෙම්වතා වූ වසන්ත කුලතුංග තිරශ්චීන ලෙස ඝාතනයට ලක්‌වූ බව ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්‌ෂිකා ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 04 පුවත්පතකට ප්‍රකාශ කර තිබිණි. ඉනෝකාගේ පියා එජාප කෘත්‍යාධිකාරි සභිකයකු සහ ජාතික සේවක සංගමයේ නිර්මාතෘ තිදෙනාගෙන් එක් අයෙක් වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්දය. කොළඹ මැගසින් බන්ධනාගාරයට ප්‍රහාරයක් එල්ල කරමින් ජවිපෙ සැකකරුවන් නිදහස් කර ගැනීමේදී ඉන් එක් කණ්‌ඩායමකට රැකවරණය සැලසීමට ද කුලතුංග උදව් කළේය.
කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ කනිෂ්ඨ ශිෂ්‍යයකු වූ නිශාන්ත සම්පත් එදිරිවික්‍රම 1966 ඔක්‌තෝබර් 5 උපන්නේය. තැපැල් දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරියකු වූ ෆැන්සිස් සහ ඩොරින් යන දෙමාපියන්ගේ දෙවැනි දරුවා වූ නිශාන්තගේ සොහොයුරිය චමිලා වූ අතර සොහොයුරා නිලන්ත විය. ප්‍රාථමික අධ්‍යාපනය මහානාම විදුහලෙන් ලැබූ අතර පහේ ශිෂ්‍යත්වයෙන් සමත්ව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. වසර 1986 අපොස උසස් පෙළට පෙනී සිට කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළු වූ නිශාන්ත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සටනේදී එහි ප්‍රකාශන අංශය සම්බන්ධීකරණය කළේය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලයේ ක්‍රියාකාරිකයෙකි. ආරක්‌ෂක අංශ මඟින් 1989 දෙසැම්බර් 31 පෙරවරු 9.20 මහරගම, බෝකුන්දර පාරේ ඇරැව්වල පිහිටි ඔහුගේ නිවසට කඩාවැදුනු අතර එහි සිටි නිශාන්ත සහ ඔහුගේ ඥාතියකු වන පරණමාන අත්අඩංගුවට ගෙන නිවස ඉදිරිපිට දණගස්‌සවා නිවසේ මිදුලේ නතරකර තිබූ කහ පැහැති නවීන පන්නයේ ලාන්සර් රථය ද ආරක්‌ෂක අංශ භාරයට ගන්නා ලදී. මේ අතරතුර ඥාති සොහොයුරා වූ බිම දණගස්‌සවා සිටි පරණමාන අත්අඩංගුවෙන් මිදී පලායැමට සමත්විය.
නිශාන්ත එදිරිවික්‍රමගේ නිවසේදී ආරක්‌ෂක අංශ භාරයට ගත් කහ පැහැති එම මෝටර් රථය සිවුදිනකට පෙර පේරාදෙණිය පශු වෛද්‍ය ශිෂ්‍ය ජනක සෙනෙවිරත්න විසින් ආරක්‌ෂාව සඳහා එම නිවසේ තබාගිය ආරක්‌ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විඡේරත්න මහතා ඝාතනය කිරීමට බෝම්බ සවිකළ මෝටර් රථය වේ. නිශාන්ත හෝ නිවසේ කිසිවකු මේ බව දැන නොසිටි අතර රථයේ බැටරිය නිරතුරුවම අක්‍රීය වන බැවින් එය දෙදිනක් තෙක් නතර කොට යන බව ජනක විසින් නිශාන්තට පවසා තිබිණි. රථය සමගින් අත්අඩංගුවට ගත් නිශාන්ත තිඹිරිගස්‌යායේ මෙහෙයුම් මධ්‍යස්‌ථානයට ද පසුව හෙන්ද්‍රි ප්‍රේදිරිස් උද්‍යානයේ පිහිටි වධ කඳවුරට ද ගෙන යන ලදී. සතියකට පසු මත්තේගොඩ වධකඳවුරට ගෙන ගිය නිශාන්ත 1990 පෙබරවාරි 16 ඝාතනයට ලක්‌විය.
කොළඹ වෛද්‍ය පීඨයේ සිසුන් ගණනාවක්‌ම ආරක්‌ෂක අංශ විසින් එම කාලය තුළ අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී. පසුව ඇතැමකු රැඳවුම් කඳවුරුවල මාස ගණනාවක්‌ම රඳවාගෙන සිටියහ. දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යයකු වූ සමන් කුමාර විඡේතුංග සීදුවේදී පැහැරගෙන ගොස් තිබිණි. වෛද්‍ය පීඨයේ සිසුන් වූ ගම්පහ රදාවානේ අරුණ මුණසිංහගේ පියා සහ කෝට්‌ටේ අරුණ ජයසේකරගේ පියා අත්අඩංගුවට ගත් ආරක්‌ෂක අංශ පසුව ඔවුන් භාරවීමෙන් පසු පවුලේ සාමාජිකයන් නිදහස් කර තිබිණි.
රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය සිසුන් ඇතුළු ජන සංවිධාන කළ සටන අවසානයේ නිමාවූයේ එය කැලණි සරසවියේ වෛද්‍ය පීඨය බවට පත්වෙමිනි.
ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2017/06/25/feature42.html
පුරා වසර තිහක් මුළුල්ලේ අපේ රටට මහත් විනාශයක් සිදු කළ කොටි ත්‍රස්‌තවාදී යුද සමයේ අලිමංකඩ යුද හමුදා කඳවුරට එල්ලවීමට ගිය දරුණු බෝම්බ ප්‍රහාරය සිය ජීවිතය පූජා කරමින් වැළැක්‌වූ මෙන්ම සහෝදර සෙබළුන් 1500 කට ආසන්න පිරිසකගේ ජීවිත බේරා දුන් හසලක වීර ගාමිණී සෙබළා දැයෙන් සමුගෙන මෙම ජුලි 14 වැනි දිනට වසර විසිපහක් සපිරේ.
1966 සැප්තැම්බර් 22 වැනි දින හසලකදී උපත ලද වීර ගාමිණී හෙවත් ගාමිණී කුලරත්න පස්‌දෙනකුගෙන් යුත් පවුලේ දෙවැන්නා විය.
හසලක ප්‍රදේශයේ ගොවියකු වූ වයි. බී. බබානිස් ගාමිණීගේ පියා වූ අතර 1980 දී ඔහු මිය ගියේය. වයි. බී. ජුලියට් නමැති සිය මෑණියන් ද සෙසු සොහොයුරන් සහ සොහොයුරිය සමග ගාමිණී ජීවත් වූයේ හසලක ප්‍රදේශයේ කුඩා නිවෙසකය.
සාමාන්‍ය සෙබළකු ලෙස සේවයට බැඳුණු ගාමිණී කුලරත්න මිය යන විට ලාන්ස් කෝප්‍රල්වරයකු ලෙස සේවය කරමින් සිටියේය.
ගාමිණී රණවිරුවා සිය ජීවිතය පුදා අලිමංකඩ හමුදා කඳවුරේ 1500 කට ආසන්න හමුදා සෙබළුන්ගේ ජීවිත බේරාගනු ලැබුයේ 1991 ජුලි මස 14 වැනි දිනයේදීය.
මෙම වීර ක්‍රියාව වෙනුවෙන් මෙම රණවිරුවා "පරම වීර විභූෂණ" සම්මානයෙන් පිදුම් ලැබීය. පසුව ඔහු සිහිවීමට පිළිරූ දෙකක්‌ද ඉදිකරනු ලැබිණි. ඉන් එකක් ඔහු දිවි පිදූ අලිමංකඩ හමුදා කඳවුර අසල ඉදිකෙරුණු අතර අනෙක් පිළිරුව ඔහුගේ ගම් ප්‍රදේශය වූ හසලක නගරයේ ඉදිකර තිබේ.
රට දැය වෙනුවෙන් සිය දිවි පිදූ හසලක ගාමිණී කුලරත්න රණවිරුවා රටට මෙන්ම දැයට ද මහත් අභිමානයකි.
හසලකදී පුෂ්පෝපහාර දැක්‌වීමක් අද පෙරවරුවේ
හසලක වීර සෙබළා දැයෙන් සමුගෙන මෙම මස 14 වැනි දිනට වර්ෂ 25 ක් සපිරේ. ඒ වෙනුවෙන් හසලක නගරයේ ඉදිකොට තිබෙන වීර ගාමිණී පිළිරුවට පුෂ්පෝපහාර දැක්‌වීම සඳහා සංචාරක සංවර්ධන, ක්‍රිස්‌තියානි ආගමික කටයුතු හා ඉඩම් අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ උපදෙස් පරිදි ඔහුගේ මාධ්‍ය ලේකම්, බස්‌නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍ය ලෝරන්ස් මාදිවල මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් එදින පෙ.ව. 10.00 ට හසලක වීර ගාමිණී පිළිරුව අසලට පැමිණෙන්නට නියමිතය.
හසලක වීර ගාමිණී සෙබළාගේ මෑණියන් සහ පවුලේ අයද මෙම උත්සවයට සහභාගි වන අතර, පාසල් දරු දැරියන් සඳහා අභ්‍යාස පොත් ප්‍රදානයක් ද මෙම අවස්‌ථාවේදී සිදු කිරීමට නියමිතය.
සටහන හා සේයාරූ - ගොකරැල්ල - රණවීර මනුකුලසූරිය
http://www.divaina.com/2016/07/14/news20.html
මුළු රටම වෙලාගෙන සිටි බිහිසුණු දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන ඉලක්‌කය වූයේ ත්‍රිකුණාමලය වරාය ඇතුළු ස්‌වාභාවික සම්පත් වලින් අනූන නැගෙනහිර පළාත අත්පත් කර ගැනීමයි. ඊට එරෙහිව නැගෙනහිර පළාතේ රැඳී සිටිමින් ක්‍රියාත්මක වූ ප්‍රධානතම පුද්ගලයා වූයේ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන්ය. උන්වහන්සේ අපට මුලින්ම හමුවූයේ 1986 වර්ෂයේදීය. දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ භාණ්‌ඩාගාරික මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ යොමු කිරීම මත අප භික්‌ෂු පෙරමුණේ භික්‌ෂුන් වහන්සේ තිස්‌නමක් පමණ එදා සේරුවිල පුදබිමට ගියෙමු. අප රැගත් බස් රථය කන්තලේට ළඟා වී අප ඊට කලින් එහි නොගිය බැවින් පොලිසියෙන් පාර අසද්දී ඔවුන් තැතිගෙන කීවේ දැන් එහි සිවිල් කවුරුවත් යන්නේ නැහැයි කියලයි. එහෙත් අපි එහි ගියෙමු. කොටි තර්ජන තදින්ම පැවති කන්තලේ සේරුවිල මාර්ගයේ කි. මී. අටක් පමණ අපට පයින් යැමට සිදුවිණි. ඒ සියලු දුෂ්කරතාවලට මුහුණ දී සරණකිත්ති නාහිමියන් පුදබිම හා ප්‍රදේශය අතනොහැර රැඳී සිටි නිසාම එම ප්‍රදේශයේ ජනතාවද ප්‍රදේශය අතහැර නොගොස් රැඳී සිටියහ. එය ආරක්‌ෂක හමුදාවන්ට ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට මහා ශක්‌තියක් විය.
සේරුවිල කන්තලේ මාර්ගයේ පස්‌වතාවක්‌ම සේරුවිල නාහිමියන් ඝාතනය කිරීමට කොටි ත්‍රස් තවාදීන් බෝම්බ පුපුරවා තිබුණි. ඇතැම් අවස්‌ථාවලදී එම බෝම්බ පුපුරා වාහනවලින් ගමන්ගත් මිනිසුන්ගේ කෑලි විසිවී යනු පසුපස ජීප් රියෙන් පැමිණි නාහිමියන්ට දැකගැනීමට සිදු වූ බව උන්වහන්සේ අප සමඟ පවසා ඇත. කොටින්ගේ ඉලක්‌කය "පෙරියසාමි" (සේරුවිල නාහිමියන්ම) බව කොටි පණිවුඩ මඟින් නාහිමියන්ට දැනගන්නට ලැබී තිබුණි.
මෙසේ අනතුරුවලට මැදිව වැඩසිටියදී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති, ආර්. ප්‍රේමදාස ජනාධිපති, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඇතුළු දේශපාලන නායකයන් ප්‍රදේශය අතහැර කොළඹට වැඩම කරන ලෙස සරණකිත්ති නාහිමියන්ගෙන් ප්‍රබල ඉල්ලීම් කළත් උන්වහන්සේ කිසි විටෙකත් සේරුවිල පුදබිම හා අහිංසක ජනතාව අතහැරදමා දිවිගලවා ගැනීම උදෙසා බැහැර යැමට සිතුවේවත් නැත. දේශපාලකයන් උන්වහන්සේ බැහැරට යැමට හෙලිකොප්ටරයක් යෑවූ අවස්‌ථාවක දුන් පිsළිතුර මෙසේය. "මං මේ ලෝකෙට එනවිට ගෙනා ටිකට් එකක් තියෙනවා ඒ ටිකට් එකට හිමි ගුවන් යානය ආපු දිනක මං යනවා. එහෙම නැතිව ඔය එක එක ගුවන් යානාවලින් යන්න මං සූදානම් නැහැ" යනුවෙනි.
නාහිමිපාණන්ට අවශ්‍ය වූයේ තම පරාණය බේරා ගැනීමට නොවේ. ඓතිහාසික උරුමය රැක ගැනීමටයි. අහිංසක ජනතාවට ශක්‌තියක් වී ආරක්‌ෂක අංශවලටද මඟ පෙන්වමින් සේරුවිල පුදබිමෙහි රැඳී සිටීමයි. එසේ රැඳී සිටිමින් ජනතාව සුවපත් කිරීමයි. ජනතාවට ආහාරපාන නොමැති අවස්‌ථාවලදී තමන් වහන්සේට සම්බන්ධ කොළඹ ආදී පළාත්වල ව්‍යාපාරිකයන්ට හා හිතවතුන්ට දන්වා ආහාරපාන ලබා දුන්හ. සේරුවිල ආරෝග්‍යශාලාව පන්සලට අයත් භූමියෙහි හදා අවශ්‍ය බෙහෙත් හා උපකරණ ද ලබාදී රෝගීන් සුවපත් කිරීමට වෙහෙසී ක්‍රියා කළහ. ඇතැම් අවස්‌ථාවලදී වෛද්‍යවරයා වූයේද උන්වහන්සේය.
ප්‍රදේශයේ ජනතාව රඳවා තබා ගැනීමට අදාළ සියලු කටයුතුවලට සරණකිත්ති නාහිමියන්ගේ නායකත්වය ලබා දුන්හ. දහම් පාසල් හා පාසල් පවත්වාගෙන යැම, ගොවි සමිති හා විවිධ සමිති පිහිටුවා එමඟින් ජනතාවට සහන සලසාදීම, තරුණයන්ට අවි පුහුණුව හමුදාව මඟින් ලබාදී ගම් රැකගැනීමට පියවර ගැනීම වාර්ෂික සේරුවිල නිකිණි මහා පිංකම ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම වැනි කාර්යයන් රාශියක්‌ම ඉටු කළේ මහා වීරපුරුෂයකුගේ චරිතය ප්‍රදර්ශනය කරමිනි. දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ වශයෙන් අපටද උන්වහන්සේ ඒ උදාර මෙහෙවරට උපකාර වීමට හැකි වීම ගැන සිතා අදටත් අපට සතුටු වීමට හැකිය.
භය යනු පාපයක් ලෙස ධර්මානුකූලව හැදින සිටි නාහිමිපාණන් ත්‍රස්‌තවාදීන් හමුවෙහි අභීත කේසර සිංහරාජයෙක් වූහ. එහෙත් ජනදුක හමුවෙහි උන්වහන්සේගේ හදවත වෙඬරුපිඩක් මෙන් උණු විය. එම ප්‍රදේශයේ සිංහල දෙමළ හා මුස්‌ලිම් සැමට එක ලෙස පිහිට වූහ. එම නිර්භයකම හා කාරුණික ගුණය උන්වහන්සේට උරුම වූයේ තම ආචාර්යපාදොත්තම සේරුවිල පුදබිම සොයාගෙන සංවර්ධනය කළ දඹගස්‌ආරේ ශ්‍රී සුමේධකාර නාහිමිපාණන්ගෙන් බව නොයෙක් විට අප සමඟ ප්‍රකාශ කර ඇත. අදත් අතීතයේ සිට රට දැය සමය රැකගත් අභීත එඩිතර සිංහල භික්‌ෂුන් වහන්සේගේ ප්‍රතිරූපය සේරුවිල සරණකිත්ති හිමියන්ගෙන් අපි ප්‍රත්‍යක්‌ෂව හඳුනා ගතිමු.
භික්‌ෂුන් වහන්සේ නමක් ගැන කියද්දී උපත, පැවිද්ද, උපසම්පදාව, පදවි, තනතුරු ලැබීම උගත්කම් ආදිය ගැන ලියවෙයි. අප කතා නායකයාණන් පිළිබඳව ඒ සියල්ල විවරකොට දැක්‌විය හැකිය. එහෙත් ඒ සියලු කරුණු අභිබවා 1983 සිට මාවිල්ආරු අමුණ කොටි වසා දැමීම හා ඉන්පසුව සිදුවූ බිහිසුණු ත්‍රස්‌තවාදය මැඬලීමට හා ජනතා සුවසෙත සැලසීමට ක්‍රියා කළ ආකාරය මතුවී පෙනෙයි. වරක් උන්වහන්සේ ජනතා සුවසෙත වෙනුවෙන් දිනපතා නොකඩවා වසරක් පුරාම මෛත්‍රි භාවනාවද වැඩූහ. මාවිල්ආරු අමුණ කොටි වසා දැමීමත් සමඟම දෙමළ ත්‍රස්‌තවාදය මැඬලීමේ මානුෂික මෙහෙයුම ඇරඹුනේද සරණකිත්ති හිමිපාණන් වහන්සේගෙනි. එම කරුණු සඳහන් නොකළහොත් එය ලොකු අඩුවක් බැවින් උන්වහන්සේට ගෞරව පිණිස එය මෙහි සඳහන් කරමු.
එදා කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු අමුණ වසා දැමීම නිසා ප්‍රදේශවාසී ජනතාවට ගොවිතැන් කිරීමට පමණක් නොව බීමටද වතුර නැති විය. එම අවස්‌ථාවෙහිද නාහිමියන් තම දිවි කැපකොට උපවාසයකට වාඩි වූහ. "මාවිල්ආරු අමුණ අරිනතුරු උපවාසයෙන් නොනැගිටිමි" යන දැඩි අධිෂ්ඨානය ඇතිව උන්වහන්සේ උපවාසය ඇරඹූ බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක් වන මුංහේනේ මෙත්තාරාම හිමියන්ය. වහාව ක්‍රියාත්මක වූ මා එදා ආරක්‌ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට දුරකථනයෙන් කතා කළෙමි. මාවිල්ආරු අමුණ කොටි වසා දැමීම හේතු කොටගෙන එය අරිනතුරු නොනැගිටින අධිෂ්ඨානයෙන් සේරුවිල නාහිමියන් උපවාසයට වාඩි වී ඇති බවත් කොටි ත්‍රස්‌තවාදීන් කිසි විටෙකත් අමුණ නොඅරිනු ඇති බවත් කියූ විට ලේකම්තුමා දැඩි ස්‌වරයෙන් කීවේ "එහෙනම් හාමුදුරුවනේ අපි අමුණ අරිමු" කියාය. ඊට පසුදා සිටම හතරවටින් කොටින්ට ප්‍රහාර එල්ල වූයේ එතුමන්ගේ හා ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීමෙනි. එදා ඇරඹුණු ප්‍රහාර ක්‍රියාත්මක වී නැගෙනහිර පළාත මුදාගෙන ආරක්‌ෂක හමුදා උතුරුකරයට යොමු වී 2009 මැයි 18 වැනිදා ත්‍රස්‌තවාදය මුළුමනින්ම අවසන් කරනතුරු ක්‍රියාත්මක වූ මානුෂික මෙහෙයුමට නාහිමිපාණන්ගේ පිවිතුරු අධිෂ්ඨාන ශක්‌තිය උපකාර වූවාට කිසිදු සැකයක් නැත. ඒ මහා පිනට එනම් මුළු රටම ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන රටවැසියන්ට අභයදානය දීමේ මහා පුණ්‍ය කර්මයට මුල පිරීම හා ආශිර්වාද කිරීම අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේට නිවන් පිණිස හේතු වේවා!!!
දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි
http://www.divaina.com/2016/05/07/feature02.html
ඩී. බී. ධනපාලයන් පුවත්පත් කලාවේ පතාක යෝධයෙක් වන්නා සේම ඔහුගේ පුත් ඩී. බී. නිහාල්සිංහයන් අපේ සිනමාවේ දැවැන්ත චරිතයක් බවට පත්ව සිටි බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔහු සිනමාවේ පමණක් නොවේ මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේද යුග පුරුෂයෙකි. අපේ රට පමණක්‌ද නැත. මැලේසියානුවන්ටද ඔහු යුග පුරුෂයෙකි. ඒ මැලේසියානු සිනමාව බිහිකිරීමේ පුරෝගාමියා නිහාල්සිංහයන් වන බැවිනි. ඔහු වසර දහයක කාලයක් තුළදී මැලේසියාවට සිනමා කර්මාන්තයක් හඳුන්වා දුන්නේය.
මේ මහා කීර්තිධර සිනමාවේදියා දැන් අප අතර නැත. ඔහු අද (24දා) පෙරවරුවේ කොළඹ කනත්තේදී සිය ජීවිත සිනමාවේ තිරය වසා දමා සදහටම නික්‌මයයි. අපේ සිනමාවේ නිහාල්සිංහ යුගය, සිනමා වංශ කතාවේ නිහාල්සිංහ පරිච්ඡේදය එතෙකින් නිමාවනු ඇත.
ඩියොන්ගු බඩතුරුගේ නිහාල්සිංහ නොඑසේ නම් මහාචාර්ය ඩී. බී. නිහාල්සිංහ උපන්නේ 1939 මැයි 27 දාය. ඔහුගේ පියා මෙරට ශේ්‍රෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ ඩී. බී. ධනපාලයන්ය. මව ප්‍රවීණ චිත්‍ර ශිල්පිණියක වූ රතී ධනපාලය. ඇය රවින්ද්‍රනාත් තාගෝර් ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අවසාන ශිෂ්‍යාවන් කිහිප දෙනා අතර සිටියාය.
නිහාල්සිංහයන් සිනමාවට ආලය කිරීමට පෙළඹුනේ වයස අවුරුදු පහළොවේදීය. එවිට ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකි. මේ කාලයේදී ඔහුට අහම්බෙන් මෙන් සිනමාස් අධිපති කේ. ගුණරත්නම් මහතා හඳුනා ගන්නට අවස්‌ථාව උදාවේ. නිහාල්සිංහ ගුණරත්නම්ගෙන් මිලි මීටර් 16 වර්ගයේ කැමරාවක් ඉල්ලා ගනි. ඒ කැමරාවෙන් ඔහු තරුණ විය නමින් කෙටි චිත්‍රපටයක් හැදුවේය. තරුණවිය ඇලන්සන් මෙන්ඩිස්‌ගේ කතාවකි. ප්‍රෙඩී සිල්වාගේ ප්‍රථම රංගනය රැගත් චිත්‍රපටයද එයයි.
නිහාල්සිංහයන් 1959 දී පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහිදීද ඔහු කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළේය. ඒ නියදරටා නමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රථමවරට සිනමා සංගමයක් බිහි කිරීමේ පුරෝගාමියා වන්නේද නිහාල්සිංහන්ය. ආචාර්ය සරත් අමුණුගම මහතා ද ඔහු සමඟ මේ සඳහා මුල් විය.
නිහාල්සිංහ ආර්ථික විද්‍යා ගෞරව උපාධිධාරීයෙකි. උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටතට ආ නිහාල්සිංහ කැමරාවක් රැගෙන වියට්‌නාම යුද්ධයට ගියේ යුද්ධය රූගත කිරීමටය. ආනන්දයේ කෙඩෙට් කණ්‌ඩායමෙන් මෙන්ම පසු කාලයේදී යුද හමුදාවෙන් ලද පුහුණුවත් නිහාල්සිංහයන්ට වියට්‌නාම් යුද පිටියේ ගත කිරීමට ශක්‌තියක් විය.
වියට්‌නාමයේ සිට ආ නිහාල්සිංහයන් "භක්‌ති" නමින් කෙටි චිත්‍රපටයක් හැදුවේය. එය පොදු රාජ්‍ය මණ්‌ඩල කාඩිස් සිනමා උළෙලේදී සම්මානයට පාත්‍රවිය.
මෙරට ප්‍රථම සිනමාස්‌කෝප් කෙටි චිත්‍රපටය හැදුවේද නිහාල්සිංහය. ඒ 1967 දී "කෙටිකතාව" නමිනි.
සිනිදු සුදුමුදු තලාවේ.....
පිපෙන පෙණ පිඩු සිනාවේ......
සිරි ගුණසිංහයන්ගේ "සත්සමුදුර" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙසත් සංස්‌කරණ ශිල්පියා ලෙසත් නිහාල්සිංහයන් අපේ සිනමාවට පා තැබූවේය. 1968 දී හොඳම සංස්‌කරණ ශිල්පියා ලෙස සරසවි සම්මානයද ඔහු දිනාගත්තේ" සත් සමුදුර" වෙනුවෙනි.
"වැලිකතර" අපේ රටේ ප්‍රථම සිනමාස්‌කෝප් චිත්‍රපටයයි. එය දකුණු ආසියාවේ දෙවැනි සිනමාස්‌කෝප් චිත්‍රපටයද වේ. " වැලිකතර" ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම චිත්‍රපට අධ්‍යක්‍ෂණයයි. ඊට ජනාධිපති, සරසවි සම්මාන කිහිපයක්‌ම හිමි විය.
ඩී. බී. නිහාල්සිංහයෝ 1972 දී රජයේ චිත්‍රපට අංශයේ ප්‍රධානියා විය. ඉන් පසු රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාව පිහිටුවනු ලැබීය. ඔහු චිත්‍රපට සංස්‌ථාවේ ප්‍රථම සාමාන්‍යාධිකාරීවරයා මෙන්ම ප්‍රධාන විධායක නිලධාරීවරයාද විය.
චිත්‍රපටයක් නිර්මාණය කරද්දී එහි තිරනාටකය වැදගත් කාර්යභාරයක් සිදු කරන බව ඔහුගේ මතයයි. එමෙන්ම චිත්‍රපටයක් කිරීමට පෙර ඒ පිළිබඳ ප්‍රාමාණික හැදෑරීමක් කළ යුතු බවද ඔහු විශ්වාස කළේය. එනිසාම චිත්‍රපට සංස්‌ථා සාමාන්‍යාධිකාරිවරයා ලෙස නිහාල්සිංහයන් 1974 දී චිත්‍රපට තිරනාටක රචනා පාඨමාලාවක් ආරම්භ කළේය. ධර්මසිරි ගමගේ, මෙන්ම ඇමැතිවරයෙක්‌ව සිටියදී ටී. බී. ඉලංගරත්නයන්ද මෙම පාඨමාලාව හැදෑරුවේය. අද ප්‍රවීණ මාධ්‍යවේදියකුව කටයුතු කරන දයා පෙරේරාද එවක මෙම පාඨමාලාව හැදෑරූ අයෙකි. ඉන් පසු නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව යටතේ චිත්‍රපට අධ්‍යක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක්‌ද ආරම්භ කළේය. එවක සංස්‌ථාවේ නිෂ්පාදන කළමනාකරු වු පියසිරි ගුණානන්ද ද මේ සඳහා නිහාල්සිංහට සහාය විය.
අපේ සිනමාවේ ස්‌වර්ණමය යුගය ආරම්භ වූයේ නිහාල්සිංහයන් චිත්‍රපට සංස්‌ථාව භාරව කටයුතු කරන සමයේදීය.
"මම චිත්‍රපට සංස්‌ථාවට පත්වන විට මිලියන 29 ක්‌ව තිබූ ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 1978 වන විට මිලියන 79 දක්‌වා ඉහළ නැග්ගා. සය වසරක් තුළ මිලියන 50 ක වැඩිවීමක්. මෙය ඉබේ ඇති වූ ප්‍රාතිහාර්යක් නොවේ. සැලසුම් සහගත වැඩපිළිවෙල සහ හොඳ චිත්‍රපට හැදීමෙන් ලබාගත් ප්‍රතිඵලයක් යෑයි නිහාල්සිංහයෝ වරෙක මේ ලියුම්කරු සමඟ පැවසූහ.
නිහාල්සිංහ 1978 දී "රිදී නිම්නය" 1985 "මල් දෙනියේ සිමියොන්" අධ්‍යක්‍ෂණය කළේය. නවදිල්ලි සිනමා උළෙලේදී ලොව හොඳම නිළිය ලෙස අනෝජා වීරසිංහ රණ මයුර සම්මානය ලැබුවේ මල්දෙනියේ සිමියොන් රංගනය උදෙසාය. කෙළි මඩල නිහාල්සිංහයන් අධ්‍යක්‍ෂණය කළ අවසන් චිත්‍රපටයයි.
සත්සමුදුර, බිනරමලි, දහසක් සිතිවිලි, පාරාවළලු, කැලෑමල්, මුහුදු ලිහිණි යන චිත්‍රපටවල මෙන්ම ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපටවලද කැමරා අධ්‍යක්‍ෂවරයා නිහාල්සිංහය.
1979 දී රාජ්‍ය චිත්‍රපට සංස්‌ථාවෙන් සමුගත් නිහාල්සිංහ ටෙලිසිනේ ආයතනය ආරම්භ කළේය. ඔහු වසර දහයක් එහි ප්‍රධාන විධායක ලෙස කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේද ප්‍රථම ටෙලි නාට්‍ය මලාව ලෙස "දිමුතු මුතු" ඔහු විසින් නිර්මාණය කළේය. දේවිකා මිහිරානි" ප්‍රථම ටෙලි නිළිය වූවා මෙන්ම, අමරසිරි කලංසූරියද ටෙලි නළුවකු වූයේ දිමුතු මුතු ඔස්‌සේය.
ඉන්පසු නිහාල්සිංහ "රේඛා" ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්‍ෂණය කළේය. එවක ගායිකාවක ලෙස ජනප්‍රිය වූ චන්ද්‍රලේඛා පෙරේරා "රේඛා" ඔස්‌සේ ටෙලි නිළියක වූවාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පැබැඳු ගීත රැසක් "රේඛා" ටෙලිනාට්‍යයේ අන්තර්ගත විය. එම ගී අදද ජනප්‍රියය.
සිනමා සක්‌විති ගාමිණී ෆොන්සේකාද ටෙලිනාට්‍ය නළුවකු කළේ නිහාල්සිංහයන්ය. ඒ ඔහුගේ "කලු සුදු" ටෙලි නාට්‍යයෙනි.
1996 දී නිහාල්සිංහයන් හොංකොංහි ටෙලිවිෂන් බ්‍රොඩ්කාස්‌ට් ඕවර්සීස් සමාගම හා එක් විය. ඔහු මැලේසියාවේ ඇස්‌ට්‍රො සමාගමේ සාමාන්‍යාධිකාරී තනතුර හෙබ වූවේය. මැලේසියාවේ සිනමා කර්මාන්තය වඩ වඩාත් වර්ධනය වූයේ ඔහු එහි ගිය පසුවය. මැලේසියාවේ නිෂ්පාදිත වෘත්තාන්ත චිත්‍රපට රැසක විධායක අධ්‍යක්‍ෂවරයා වූයේ ඔහුය. ක්‌වාලාලම්පූර්වලදී නිහාල්සිංහයන් යටතේ මැලේසියානු තරුණ තරුණියන් සිය ගණනක් චිත්‍රපට හා රූපවාහිනී නිර්මාණ නිෂ්පාදනය පිළිබඳ හැදෑරුවෝය.
" මම හැත්තෑ දෙකේදී චිත්‍රපට සංස්‌ථාවේ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරද්දී අපේ සිනමාව තිබූ තත්ත්වය හා සමාන ආකාරයටයි, මා මැලේසියාවට යද්දී එහි සිනමාව පැවතියේ. පස්‌සේ ඒ අය චිත්‍රපට දහයක් විතර නිපදවූවා. අනෙක් පැත්තෙන් රූපවාහිනී තාක්‍ෂණය බොහෝ ඉහළින් තිබුණා. ඩිජිටල් සැටලයිට් ට්‍රාන්ස්‌මිෂන් ක්‍රමයට තිබුණේ. ඒත් ඔවුන්ට පුහුණු ශිල්පීන්ගේ හිඟයක් තිබුණා. මගේ කාර්යය වුණේ ඒ අය පුහුණු කරවීම. චීන, මැලේ සහ ද්‍රවිඩ මැලේසියන් යන වර්ග තුනම හිටියා. මා යද්දී තවත් ටී. වී. චැනල් තිබුණා. ඒත් නීතියක් තිබුණා. මේ අනෙක් ආයතනවලින් කිසිම කෙනෙකු වැඩි මුදලට සොරකම් කරන්න එපා කියා. එනිසා මට "අ" යනු "ආ" යනු ඉඳලා පුහුණු කරන්න සිද්ධ වුණා. " යෑයිද නිහාල්සිංහයෝ මැලේසියාවේ වසර දහයක් ගත කර මෙරටට පැමිණි පසු එහි අත්දැකීම අපට පැවසූවේ එලෙසිනි.
ලොව පැරැණිතම චිත්‍රපට සංවිධානය ලෙස 1915 ඇරැඹි අමෙරිකා එක්‌සත් ජනපදයේ මෝෂන් පික්‌චර්ස් ඇන්ඩ් ටෙලිවිෂන් ඉන්ජිනියරින් සංගමයේ යාවජීව සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයා වන්නේද නිහාල්සිංහයන්ය. අද ලෝක සිනමාව හා රූපවාහිනියේ ප්‍රමිතීන් තීරණය කරන්නේ මෙම සංගමය විසිනි.
ආචාර්ය පදවිය හොබවමින් සිටි ඩී. බී. නිහාල්සිංහයන්ට මීට මාස හයකට පමණ පෙරදී කැලණිය විශ්වවිද්‍යාලය විසින් මහාචාර්ය පදවිය පුද කළේය. ඒ ඔස්‌සේ සිය දැනුම හා අත්දැකීම් මතු පරපුරට දායාද කිරීමට අලුත් පියවරක් ඉදිරියට තැබූ හේ විශ්වවිද්‍යාල ඉතිහාසයේ ප්‍රථමවරට චිත්‍රපට හා රූපවාහිනී සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ආරම්භ කළේය. ඒ කැලණිය සරසවියේය. චිත්‍රපට හා රූපවාහිනී පිළිබඳ ශ්‍රි ලංකාවේ ප්‍රථම මහාචාර්යවරයා වීමේ ගෞරවය ලබා ගත් නිහාල්සිංහයන් යටතේ මෙම උපාධි පාඨමාලාව ඔහු මිය යනතුරු සිදු කෙරිණි.
මෙවන් විශිෂ්ට ගනයේ චරිතයකින් අපේ රට ප්‍රයෝජන ගත්තා දැයි යන සාධාරණ පැනය බොහෝ දෙනාගේ සිත් තුළ ජනිතවේ. අපේ සිනමාව සහ රූපවාහිනිය මැලේසියාවේ සිනමාව හා රූපවාහිනිය තරම් වාසනාවන්ත නැත්දැයි යන පැනයද ඒ සමගම මතුවේ.
කෙසේ වෙතත් අප ප්‍රමාද වැඩිය. නිහාල්සිංහයෝ අද නැත. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කල්යානි නිහාල්සිංහ මහත්මිය ඩී. බී. නිහාල්සිංහයන්ගේ ආදරණීය බිරියයි. එකම පුතා මනීෂ ඔස්‌ටේ්‍රලියාවේ පරිගණක ඉංජිනේරුවරයෙකි.
නිහාල්සිංහයන්ගේ මව රතී ධනපාල මහත්මිය. ඇය මිය ගිය පසු අවසන් කටයුතු කළ අයුරු මෙන්ම මරණ දැන්වීමද ජීවත්ව සිටියදීම ලියා තිබූ බවත් ඒ ආකාරයටම ඔහුගේ සොයුරු ඩී. බී. සුරනිමලගේ අවසන් කටයුතු පැය කීපයක් තුළ සිදු කළ බවත් නුවන් නයනජිත් ලියු නිහාල්සිංහ පුරෝගාමී තෙවැනි ඇස" ග්‍රන්ථයේ සඳහන් වේ.
නිහාල්සිංහයන් එම පොතේ මෙවැනි සඳහනක් කර ඇත.
"මගේ තාත්තා ඉල්ලීමක් කර තිබුණා. ඔහු මිය ගිය පසු පැයක් ඇතුළත අවසන් කටයුතු කරන්න කියා. යක්‌කඩුවේ හිමියන්ට පමණක් මිය ගිය පුවත පවසන ලෙසත් කියා තිබුණා. මගේ අම්මා සිදු කළ ආකාරයටම මගේ මරණ දැන්වීමත් මා ලියා තිබෙනවා. මා මිය ගිය දිනෙක පැය කිහිපයක් ඇතුළත කිසිවෙකුටත් නොදන්වා මගේ අවසන් කටයුතු සිදු කරන්න. ඉන්පසු ඒ දැන්වීම පුවත්පත්වල දකින්නට ලැබේවි."
එහෙත් කනගාටුවෙන් හෝ ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වන්නට ඇත්තේ එකම පුතු තම පියාට අවසන් බුහුමන් දැක්‌විය යුතු නිසාය. අනෙක ජාතික වස්‌තුවක් බඳු වූ අපේ මේ මහා සිනමාකරුවාට අවසන් ගෞරවය දැක්‌වීම සිනමාවට ලැදි සියල්ලන්ගේම අවශ්‍යතාවයක් වන බැවිනි.
අජිත් අලහකෝන්
http://www.divaina.com/2016/04/24/cineart.html
ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් දැන් අසූ අට වැනි වියට එළඹ සිටිති. විසිවන සියවසෙහි පෙරදිග පහළ වූ අතිශය විරළ ගනයේ සංස්‌කෘතික සංගීත කලා ප්‍රාඥයන් ස්‌වල්පදෙනා අතරට ඒකාන්තයෙන්ම අයත්වන පණ්‌ඩිත් අමරදේවයෝ සංගීත ශාස්‌ත්‍රයෙහි ද සංගීත කලා නිර්මාණයෙහිද වෙසරදව එහි දුර්ලභ රසභාවයන්ගෙන් ලක්‍ෂ සංඛ්‍යාත සහෘද ජන හදවත් සුපුෂ්පිත කරවා ඔවුන් සනහා නිවා විස්‌මිත පෙළහර දැක්‌වූහයි කීම කිසිදු අතිශයෝක්‌තියක් නොවේමය. ඔවුන්ගේ සංගීත පාරප්‍රාප්තිය නිසාම භාරතය විසින් පිරිනමනු ලබන 'පද්මශ්‍රී' යන ගෞරව සම්මානය ද අමරදේවයන්ට පිරිනමන ලද්දේය. වෙනත් බොහෝ සම්මානද ජගත් 'මැක්‌සයිසේ' සම්මානය ද ඔහු අබියස තැබුණි.
කුමරවියෙහි පටන්ම ඔවුන් සංගීතය කෙරෙහි ලොල් වන්නේ සසර පුරුද්දක් ලෙසය. සිය පාසල් ඉගෙනුම නිමවා ඉනික්‌බිති භාත්ඛණ්‌ඩේ සංගීත විද්‍යාලයට පිවිසීමේ වරම් ලබන අමරදේවයන්ගේ සංගීත ශාස්‌ත්‍ර බුද්ධිය ඉඳුරා පසක් කර ගත් ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වැනි භාරතයේ අග්‍රගන්‍ය සංගීත විශාරදයෝ මේ ශ්‍රී ලාංකික අංකුර ගාන්ධර්වයන්ට ගුරු මුෂ්ටි නොතබාම සියලු ශිල්ප ප්‍රගුණ කළාහුය. ගෝවින්ද ජෝග් අමරදේවයන්ගේ වයලීන වාදනයෙන් ප්‍රමුදිතව වරක් පවසා ඇත්තේ මේ ගුරුවරුන් අභිබවා යන විස්‌මිත ගෝලයකු බව ය.
රාගධාරී සංගීත සම්ප්‍රදායෙහි පාරප්‍රාප්ත වුවද අමරදේවයන්ගේ මනස තුළ දේශීය සංගීතයක් නිර්මාණ කර ගැනීමේ අරගලයක් ද වැඩෙමින් තිබුණි. භාරතීය නාද තාල සමතික්‍රමණය කරමින් ස්‌වාධීනව "හෙළ ගී ආරක්" සකසා ගැනීමට අමරදේවයෝ කැප වූහ. ඒ වනාහි ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත වැනි සිය පූර්ව ගාන්ධර්ව මාවතට අවතීර්ණ වීමක් ද විය. අනෙක් අතට අමරදේවයන් හා මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතර වූ නිර්මාණාත්මක ඇසුර ද අමරදේවයන්ගේ සංගීත චාරිකාව වෙනසකට යොමු කළ බව ඔහු කීපවරක්‌ම අප සමග ද පවසා ඇත.
භාරතීය නාට්‍ය කලාව, මෙන්ම සංගීතයටද, විශේෂයෙන් රවින්ද්‍රනාත් තාගෝරයන් කෙරෙහි ඉමහත් ගෞරවයක් දැක්‌වූ සරච්චන්ද්‍රයෝ ශාන්ති නිකේතනයට පවා ගොස් එහි සිසුවකු ලෙසද වූහයි කියති. ඒ නිසාම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ අනුදැනුමද අනුබලය ද ලද අමරදේවයන් ද තාගොර් කිවිඳුන් මෙන් ජන ගායනා හා ජන සංස්‌කෘතිය වෙත පෙම් බැඳ ගැනීමද සුවිශේෂ කරුණක් විය.
අමරදේවයන් විසින් සිංහල ගීතය පිළිබඳ කරන ලද අගනා අත්හදා බැලීම්වලදී ජන සංගීතය වෙත නැඹුරු වූ අවස්‌ථා පිළිබඳ අප්‍රමාණව නිදසුන් හමුවෙයි. මඩවල රත්නායකගේ ගීයක් වන "රන්වන් කරල් සැලෙයි" හිදී තුරඟා වන්නමේ ස්‌වර සංගතීන් යොදා ගත් අයුරු අමරදේවයෝ ම විස්‌තර කරති. රන්සළු චිත්‍රපටයේ එන "සිරිපා පියුමේ පිලේ පැදුර" වැනි ගීතවලදී ජනගීවල ප්‍රභවය ද ආකෘතිය ද නිර්මාණාත්මකව භාවිත කළ අයුරු ද රසිකයෝ දනිති.
සිංහල සංගීතය පිළිබඳ අප බොහෝ දෙනෙක් විමසා බලන්නේ ගීතය නමැති අංගය පදනම් කර ගෙනය. ගීතවල ගැබ් වන නාදමාලා පිළිබඳ අප සතු අල්ප දැනුම එයට හේතුවය. කලකට පෙර අප විසින්ම අමරදේවයන් සමඟ කරන ලද සාකච්ඡාවකදීත් ඔහු මේ සංකීර්ණ කරුණ මතු කළේය. සංගීතඥයකු විසින් ඇසුරු කරගනු ලබන නාද රටා - කාල වාදන, ශ්‍රැති ගායනා සංගීතවේදීහු නම් ඉඳුරා දනිති. ඒ නිසාම අමරදේවයන්ගේ පර්යේෂණ ගීවලින් පිරිපුන් "මධුවන්ති", "රස මියුරු", "ස්‌වරවර්ණ වැනි නිර්මාණ පිළිබඳ නමින් පමණක් සඳහන් කර නිහඬ වන්නෙමි.
විශ්වයේ මධුරම ස්‌වරය පිහිටා ඇත්තේ බුදුන් වහන්සේට බව කියති. බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් පිටවන හැම වදනක්‌ම නිවන් දොරට මං පානා ශාන්ත රස දනවන්නකි. මගේ පුහුදුන් සිතට අවංකවම හැඟෙන්නේ ද පණ්‌ඩිත් අමරදේවයන්ගේ මධුර ස්‌වරය ද මේ මිහිමත සියලු ජනහද සුපහන් කරවන්නක් බවය. සැළලිහිණියේ එන කවියක් මෙන්ම වෙස්‌සන්තර ජාතකයේ හෝ යසෝදරවතේ එන කවියක්‌ද අමරදේවයන් විසින් ගායනා කරන ලද අයුරු මෙවේලේ මහඳ තුළ නැඟෙයි.
යසෝදරාවන් හා රහල් කුමරුන් හැර අබිනික්‌මන් කළ සිදුහත් පිළිබඳ මතකය පුබුදු වන "කාරණාව බුදු වනවා" කව් කීපය ගැයූ අමරදේවයන්ට මුළු සිංහල බෞද්ධ ජනතාවම ණය ගැති නොවෙත්ද? ගැමි කවියකුගේ අතිශය අව්‍යාජ හැඟීම් ධාරාව කරුණා රසයෙන් පිරී ඉතිරී ගලා යන බැති ගී ගඟුලක් සේ අප හද නිනාද කරවන්නාහු පණ්‌ඩිත් අමරදේවයෝමය.
අමරදේවයන්ගේ සුගායනයේදී වචනවල ශබ්ද රසයද අර්ථ රසය ද තීව්‍ර වේ. ශබ්ද මාධුර්ය රිද්මයක් සේ නැඟෙයි. එයට අතිශය සරල භාණ්‌ඩයක හඬ ද මුසුවෙයි. සෞන්දර්යෙන් විචිත්‍ර වූ නාද රූපය අප තුළ භාවමය කම්පනයක් දනවමින් අප සමාධිගත කරවයි. මෙවෙලේ මගේ මතකයට නැගෙන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් දිවමන් කල්හි ඔවුන්ගේ එපිටමුල්ල නිවසෙහි රැව් දුන් සංගීත සැඳෑවන් ය. සඳ එළියෙන් නැහැවී ගිය තණ පලස මත සරච්චන්ද්‍රයෝ ද, අමරදේවයෝ ද හිඳ ගනිති. සරච්චන්ද්‍රයන් අතෙහි සිතාරය ද අමරදේවයන් අත වයලීනය ද වෙයි. නොයෙක් රාග තාල ජනශ්‍රැති අලංකාර විධි, ඉමක් කොනක් නොමැතිව ගලා යැම ඇරඹෙයි.
අප තුන් හතර දෙනකුට වඩා නොමැති ඒ සංගීත සමාගම් ඇතැම් දිනවල මැදියම් රැයත් ඉක්‌මවා ඇදී යයි. "ගීත ගෝවින්දය" හා "මේඝ දූතය ද ඒ සා මධුර ස්‌වරයකින් ගයනු මා අසා නැතැයි කීම භාවතීSශය වැණුමක් නොවේ. සරච්චන්ද්‍ර මුවින් ගිලිහෙන උපනිෂද් පාඨ ද අමරදේවයෝ මධුර ගීතාවලියක් කරති.
මහාචාර්ය සරච්චන්ද්‍ර හා පණ්‌ඩිත් අමරදේව සුසංයෝග ද අමරදේවයන්ගේ උත්තුංග කලා දිවියෙහි අතිශය සාඩම්බර වූද රමණීය වූද ඒක දේශයක් නිර්මාණය කරමින් සරච්චන්ද්‍ර දෘෂ්‍ය කලා දහර ඔස්‌සේ ගලා ගිය අයුරු විස්‌මය දනවයි. සරච්චන්ද්‍ර සමරරාධනාවෙන් අමරදේවයන් විසින් රසාලිප්ත කළ නාට්‍ය ගීත නාට්‍ය සංගීතය සරච්චන්ද්‍රයන්ගේ අප්‍රමාණ පැසසුමට ද ලක් විය. වේදිකා නාට්‍ය පිළිබඳව ද මුද්‍රා නාට්‍ය පිළිබඳව ද අමරදේවයන් හා සමපෙළෙහි රැඳවිය හැකි අයෙක් නැතැයි වරක් සරච්චන්ද්‍රයෝ ම ඔවුන්ට විවරණ දුන්හ.
සිංහල ප්‍රබුද්ධ ගී ලෙස මතු මතුව බිහිවන සහෘදයන්ගේ ද නොමඳ වින්දනයට පාත්‍ර වන ගී ගඟුලක්‌ම අමරදේව මුවින් ගලා ගිය අයුරු ද මෙහිලා කෙසේ දක්‌වම් ද? එසේ වුවද ප්‍රබුද්ධ ශ්‍රාවක ශ්‍රවණේන්ද්‍රිය අර්ථභාව රස විචිත්‍රත්වයෙන් ආඪ්‍ය කළ සන්නාලියනේ, "පිපිණු කුසුම", සංසාර ගමනේ, "සඳ හොරෙන් හොරෙන්" මුනිසිරිපා පියුමේ මෙන්ම සසර වසනතුරු ද සිහිපත් නොකර යැමට මගේ සිත ඉඩ නොදෙයි. මේ ගීතාවලියේ ඔහුගේම සංගීත ප්‍රතිභාව තනු නිර්මාණයේ විශිෂ්ටත්වය විදහා පෑ ගීත ද වේ.
අමරදේවයන් අසාමාන්‍ය සංගීතඥයකු වුවද මෙරට පහල වූ අන් බොහෝ සංගීතඥයන්ගේ ස්‌වර නිර්මාණ හා තනු නිර්මාණවලට ගී ගැයීමෙන් ද හේ තම නිහතමානීත්වය ද පළ කළ අයුරු පැසසිය යුත්තේය. ප්‍රේමසිරි කේමදාස, වික්‌ටර් රත්නායක, සෝමදාස ඇල්විටිගල, සරත් දසනායක සනත් නන්දසිරි මෙන්ම රෝහණ වීරසිංහ ද එයින් කීප දෙනෙකි. අමරදේවයන්ගේම විශිෂ්ට නිර්මාණයක් සේ සැළකිය හැකි නන්දා මාලිනියගේ මුවින් ගලා ගිය "ගලන ගඟකි ජීවිතේ ශ්‍රී ලංකා සිනමා ගීතාවලියේ නව ඇරඹුමක් අපට සිහිපත් කරවයි. නන්දාමාලිනි හා නාරද දිසාසේකර ගැයූ රන්මුතුදූව චිත්‍රපටයේ ගීතයට හේ ප්‍රථම සිනමා සම්මානය ද හිමිකර ගත්තේය.
අමරදේවයන්ගේ සංගීත ප්‍රතිභාව දැක්‌වීමට මම අපොහොසත් වෙමි. අමරදේව සංගීත සමුද්‍රය තරණය කිරීමට මා දරණ තැත වනාහි කඩදාසි ඔරුවකින් ඒ රසභාව තරංග නඟනා සංගීත සමුද්‍රයට බැසීමක් බව මටම හැඟෙයි. එහෙයින් ඔවුන්ගේ ගැයුම්වල, වැයුම්වල උද්දීප්ත රසභාව සංගීත ප්‍රතිභාව විමර්ශනය කිරීමට ඒ සඳහාම වූ ප්‍රාමාණිකයන්ට පැවරීම යුක්‌ති යුක්‌ත යෑයි හඟිමි. එසේ වුවද සිංහල සුභාවිත ගීතයට ඔහු විසින් කරන ලද සුවිශිෂ්ට සම්ප්‍රදානයන් නිසාම අමරදේව යනු සංගීතයමයි මම ලියා තබමි. සිංහල ගීතය ස්‌වකීය සංගීත චින්තනයෙන් හා අනුපමේය ප්‍රතිභාවෙන් සමලංකෘත කළ හෙළ දිව මහා ගාන්ධර්වයා ඔහු බවද අප්‍රමාණ පහත් හදින් මම ලියා තබන්නෙමි.
තතු මෙසේ හෙයින් අමරදේවයන්ගේ මුවින් ගිලිහී ගිය ගී ගඟුල අතීතයෙන් වර්තමානයට ද වර්තමානයෙන් අතීතයට ද නිරන්තරව ගලා බසිමින් සිංහල සහෘද ආධ්‍යාත්මය සුවපත් කරවන්නේය. සියලු රසික ජනයා ඒ හඬට ආකර්ශනය වී ඔවුන්ගේ රස භාව ලෝකය ප්‍රකම්පිත වන අයුරු වින්දනය කරති. මට හැඟෙන පරිදි අමරසරය අනුකරණයකළ හැකි මිනිසෙක් තබා දෙවියෙක්‌වත් සිටිතියි මම නම් නොසිතමි. ඒ ශාන්ත ගාම්භීර ස්‌වරය සවනත ගැටෙන හැමවිටකම මගේ සමාධිය වැඩෙයි මට ඒ ගැයුම් ඇසෙද්දී සිහියට නැගෙන අගනා බුද්ධ භාෂිතයක් ඇත. ඒ "දීඝ නිකායේ" සක්‌ක පඤ්හ සූත්‍රයයි.
දිනක් සක් දෙවිඳු සිය දිව්‍ය ගාන්ධර්වයන් වූ පංචසිඛ අමතා බුදුන් වහන්සේ අබියස ගායනයක් දක්‌වන ලෙස ඉල්ලා සිට ඇත. එසඳ පංචසිඛ තෙමේ වීණාව ද වයමින් බුදුන් අබියස සිට ගායනයක් ඉදිරිපත් කළහ. එය ඇසූ බුදුහු මෙසේ වදාළහ.
"පංචසිඛ ඔබගේ වාදනය ගායනය සමඟත්, ගායනය වාදනය සමඟත් එකිනෙක ගැලපේ. වාදනය ගායනය ඉක්‌මවා නොයන්නා සේම වාදනය ඉක්‌මවා ගායනය ද නොයන්නේය." පණ්‌ඩිත් අමරදේවයන්ගේ ගැයුම් හා වැයුම් උදෙසා ද එය ආදේශ කළ හැක්‌කේය.
දැන් මගේ මේ සංක්‍ෂිප්ත සටහන නිම කිරීමට පෙර අමරදේවයන්ගේ සංගීතයේ සාධනීය අංගයක් වූ සිනමා සංගීතය ගැන ද සඳහනක් කළ යුත්තේය. සංගීත නිර්මාණයේදී විශේෂයෙන් තනු නිර්මාණයේදී ඔහුට කිසිදු සංගීත භාණ්‌ඩයක් නොමැතිව එය කළ හැකි බවද කියති. ඒ ඔහුගේ අසාමාන්‍ය සංගීත ශාස්‌ත්‍ර ඥනය නිසා ලද ඵලයකි. සිංහල සිනමාවේ සමාරම්භය සමඟ බැඳුණු ඉන්දියානු සිනමාව නිසා සිංහල චිත්‍රපට සංගීතය ද එහි ම අනුකරණයක් ලෙස විහිද ගියේය. ඒ ගතානුගතික යදම බිඳවැටුණේ ලෙස්‌ටර්ගේ රේඛාව චිත්‍රපටයත් සමඟ ය. සිංහල චිත්‍රපටය අනුකරණ සංගීතයෙන් මුදවා ගැනීමට සුනිල් ශාන්තයන් ගත් මගට පිවිසෙන අමරදේවයෝ ද එහිලා අප්‍රමාණ නිර්මාණ වෙහෙසක් දැරූහ. සිංහල චිත්‍රපට ගීතයේ අනුස්‌මරණීය සමාරම්භයක් ලෙස ප්‍රමාණිකයන්ගේ අවධානයට ලක්‌වූ "ඉපිද මැරේ" (කරුණාරත්න අබේසේකර) ගීතය ගයන ලද්දේ අමරදේවයන් විසිනි. පසු කලක අමරදේවයන්ගේ සංගීත නිර්මාණ සිංහල චිත්‍රපට රැසකම අපට හමුවේ. රන්මුතු දූව, ගම්පෙරළිය, ගැටවරයෝ රන්සළු දෙලොවක් අතර, පරසතු මල්, සාරවිට, මඩොල්දූව, සිරිබෝ අයියා, තුංමංහන්දිය ඉන් කීපයකි. මේ ඇතැම් චිත්‍රපටයක් සඳහා ඔහු විසින්ම සංගීතවත් කර ගයන ලද ගීත කෙතරම් විශිෂ්ටදැයි ඒවා ඇසූ හා අදත් අසන ශ්‍රාවකයෝ දනිති. චිත්‍රපට ගීතය කෙරෙහි අභිනව රසයක් මෙන්ම සියුම් සංවේදී භාවයක් ද උත්පාදනය කිරීමට අමරදේවයන්ට හැකි විය. රසභාව පෝෂණය හා අවස්‌ථාවෝචිත ධාරණාවන් උත්පාදනය සඳහා ඔහුගේ ගායනයට සමීප කළ හැකි ගායනයක් ද නැත. මගේ මතකය නිවැරැදි නම් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වරක් අමරදේවයන්ගේ ස්‌වරය පමණක් භාවිත කරමින් හන්තානේ කතාව චිත්‍රපටයේ තේමා සංගීතය නිර්මාණය කර තිබුණි. එහි කිසිදු විස්‌මයක් නැත. අමර ස්‌වරයම සංගීතයක් බව එයින්ම තහවුරු වී ඇත. අමර ස්‌වරය තුළ නිනාද වන්නේ සිංහල සංස්‌කෘතියේ රිද්ම රටාව බව මහාචාර්ය සරච්චන්ද්‍රයන් පවසන්නේ ද අමරදේවයන්ගේ ස්‌වරයෙහි ගැබ් වන ගැඹුරත් භාව පූර්ණ ගුණයත් නිසාය.
තතු මෙසේ හෙයින් පණ්‌ඩිත් අමරදේවයෝ හෙළ දිව අසිරිමත් ගාන්ධර්වයාණෝය යන විරුදාවලියට අත්‍යයන්තයෙන්ම නිසි වන්නාහුය. සංගීත කලා, දර්ශන, රසවාද, භාෂා ශාස්‌ත්‍ර යන සියලු සියත් ලකුණින් ආඪ්‍ය වූ අමරදේවයන් මේසංසාර වෘක්‍ෂයෙහි මධුර ඵලයක් සේ දැක්‌වීම මැනවි. සිංහල සහෘද ජන මණ්‌ඩප හා වියත් පර්ෂ ද මැද සුදිලෙන වරම් ලද භාග්‍යවන්තයා ඔහුමය. ශාස්‌ත්‍රීය සංගීතය ද ජන සංගීතය ද මනාව සුසංයෝග කරමින් පෙරදිග සංගීත ලකුණක් සේ දැක්‌විය හැකි ප්‍රබල අනන්‍යතාවක් සංගීතයට එක් කළ අසිරිමත් සංගීත කලා ප්‍රාඥයා ලෙස ඔහු මතු මතුව එන පරපුරවල ද ගෞරවයට ද අභිමානයට ද පාත්‍ර වනු නිසැකය. අමරදේව සංගීත භූමිකාව සමතික්‍රමණය කිරීමට හෝ ඉක්‌මවා යැමට වෙනත් සංගීතඥයෙක් මෙතෙක් පහළ වී ඇතැයි කිව නොහැක. අමරසරයෙන් ම ගායනා කර සිංහල රසික ජන හද නිදන් කළ ඒ ස්‌වර වර්ණිත ගී සමුදාය සසර වසන තුරුම හෙළ දෙරණේ රැව් පිළිරැව් දෙනු කවුරු වලක්‌වත්ද? මේ පාරිභෝගික ධනවාදී වනාන්තරය සෞන්දර්යයෙන් ආඪ්‍ය කළ අසාමාන්‍ය සංගීත මුනිවරයකුගේ ආගමනය අප අභිමානයෙන් සිහිපත් කළ යුතු වන්නේය.
අමරදේවයෝ ස්‌වකීය චාම් සරල විලාශයෙන් ද නිහතමානී ගුණයෙන් ද පරිපූර්ණව සිටිති. ඔහු කිසිවිටක කිසිවකුට දැඩිකම් නොපාති. ළතෙක් මුදු ගුණ ඔහු කෙරෙහි නිබඳව පවතී. සඳෙහි සියුමැලි ගුණය ද හිරුගේ තෙද ගණය ද එක්‌බඳුව පවත්නා දුලබ ගණයේ උත්තමපුරුෂයකු ලෙස මම අමරදේවයන් දකිමි. ඒ නිරහංකාර සංගීත මුණිවරයාණන්ට ආයු, වර්ණ, බල, සුඛ, ප්‍රඥ නිබඳව වැඩේවායි ද ප්‍රාර්ථනා කරමි. අමරදේව නාමය සදාකල් රැව් පිළිරැව් දේවා!
මහරු සත්සර සයුර එතෙර වී නැණ නැවින
සසර පින් පුරන ලද පන්සිළුට සම බැවින
නුවර ගම් දොර නොහැර හදින් හද රස මවන
අමර සර රසෝඝය හෙළ දෙරණ ගිම් නිවන
- ගාසු
http://www.divaina.com/2015/12/06/feature09.html
පූජ්‍ය මාදුළුවාවේ ශ්‍රී සෝභිත හිමිපාණන් මේ භවය අතැර ගියේ දුකින්ද, නොඑසේනම් සතුටින්ද යන්න අපි හරියටම නොදන්නෙමු. එහෙත් සංසාර ගමනේ මෙවර නවාතැන අත්හැර දමන විට උන්වහන්සේ මහත් ශෝකයෙන් පසුවූ බව අයෙක් කියතොත් අපි එයට ඉඳුරාම එකඟ වෙමු. උන්වහන්සේ නික්‌ම යන්නේ තමන් පැතූ ලෝකය ඉදිවන සේයාවක්‌වත් නොදැකය. උන්වහන්සේ තුළ ස්‌වල්ප වුව සතුටක් ජනිත වන්තේ නම් ඒ එකම එක කාරණයක් නිසාය. එනම් තමන් වටකරගෙන සිටි, රටත්, ජාතියත් ආගමත් ගැන කිසිදු හැඟීමක් නොතිබූ එන්. ජී. ඕ. හැතිකරයෙන් ගැලවී වැඩ වසන්නට අපවත විසින් උන්වහන්සේට අවස්‌ථාව සලසනු ලබන නිසාය.
1980 න් පසු මේ රට සහ ජාතිය අවදි කළ ප්‍රමුඛ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා දෙනමක් වැඩ විසූහ. පූජ්‍ය ගංගොඩවිල සෝම හිමි ඉන් එක් භික්‌ෂුවකි. අනෙක් භිෂුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිපාණෝය. මේ භික්‌ෂු දෙනමම රට බෙදීමට විරුද්ධ වූහ. සෝභිත හිමිපාණෝ තවත් ඉදිරියට යමින් විධායක ජනාධිපති ධුරයට විරෝධය පළ කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළහ. මේ අනුව උන්වහන්සේගේ ප්‍රමුඛතම දේශපාලන සතුරා බවට ඡේ. ආර්. ජයවර්ධන පත්වන්නේය. 1976 න් පසු ඡේ. ආර්. දේශපාලන සතුරා කර ගැනීමට කෙනකු උත්සුක වන්නේද එය සමාන වන්නේ සියතින් ගෙල සිඳ ගැනීමටය. විධායක බලයට එරෙහිව, රට කැඩීමට එරෙහිව, රට බේරා ගැනීමේ යුද්ධයට පéව සෝභිත හිමියන් ඇතුළු ජාති හිතෛෂීන් සංවිධානය කළ රැස්‌වීම්වලට එකල සිටි කුලී මැරයෝ එළව - එළවා පහර දුන්හ. එහෙත් සෝභිත හිමිපාණන්ගේ ගෙල සිඳීමට උන්වහන්සේ අතට කඩුව දීමට ඡේ. ආර්. ට කවදාවත් හැකි වූයේ නැත. අන්තිමට එවකට තිබූ යූ. එන්. පී. ආණ්‌ඩුව කොපුව නැතිවම කඩුව ඉණේ ගසාගත් බැවින් ආණ්‌ඩුවේ ඉනපටිය කැපී ප්‍රජාතන්ත්‍රවාදයේ රෙද්ද බිම හැලිණ.
විධායක ජනාධිපති ක්‍රමය අතුගා දැමීමේ ඒකායන අපේක්‌ෂාව කාගෙන් හෝ ඉටුකර ගත හැකි යයි සිතමින් සෝභිත හිමියෝ කාලයෙන් කාලයට දේශපාලන නායකයන්ට රැවටුණාහ. නූතන දේශපාලනඥයා යනු භික්‌ෂුවකගේ පමණක් නොව ආගම් වක්‌තෘවරයකුගේ කනින් වුව රිංගා යැමට සමත් හපනෙකි. ඒ අනුව බලය ලබා ගන්නා තුරු උන්වහන්සේ පිටුපසින් ගොස් බලය ලද වහාම උන්වහන්සේට ඉස්‌සරවීම මේ කපටි දේශපාලනඥයෝ නිතර කළහ. කිසිදු දේශපාලනඥයකු බලයෙන් පහකිරීම උන්වහන්සේගේ අරමුණ නොවීය. උන්වහන්සේ කල්පනා කළේ බලයේ සිටින දේශපාලනඥයා ලවා විධායක බලය නැතිකර ගැනීමටය. එසේ බැරි බව දැනෙන විට අදාළ දේශපාලනඥයා අත්හැර දැමූ උන්වහන්සේ විධායක බලය අහෝසි කරවා ගත හැකි වෙනත් දේශපාලනඥයකු දෙසට හැරුණේය.
තම අරමුණ උදෙසා දිවි පරදුවට තබා වැඩ කළ ද තම අරමුණු වෙත යැමට උවහන්සේට නොහැකිවීම සංවේගජනක කාරණයකි. විධායක බලය අහෝසි කිරීම වෙනුවට උන්වහන්සේ විසින් දක්‌නා ලද්දේ ජනාධිපති මුක්‌තිය අහෝසි කරනු ලැබීම පමණි. බෞද්ධ භික්‌ෂූන්ට නොවඳින, දේශපාලන ව්‍යාපාරයකදී බෞද්ධ භික්‍ෂුවකට වැඳීම නුසුදුසු යෑයි කියන කාලකණ්‌ණි සිවිල් සමාජය සමඟ වැඩ කිරීමට මතු අත්භවයේදීවත් උන්වහන්සේට නොලැබේවා!
http://www.divaina.com/2015/11/15/editorial.html
Pic
Source
සබැඳි ලිපි -
[
සෝභිත හිමියන්ට ගල් පෙරලුවෝ ද දැල් දැමුවෝද පව් සම කර ගත්හ!http://denethharinna.blogspot.com/2015/11/blog-post_45.htmlමෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!http://denethharinna.blogspot.com/2015/11/blog-post_43.htmlහිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙතිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ සිය තුඟු දෑ, සසුන් මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන සිටිති. නුවර ගම්දොර යන හැම තැන්හිම උන්වහන්සේ අපවත්වීම නිසා උපන් සොවින් කම්පිතව එසවූ කහ පැහැ දද තවමත් දිලෙනු පෙනෙයි. සිව්දිගින් ඇදුණු ජන ගඟ ජයවර්ධනපුර කෝට්‌ටේ කඳුළින්ද සුසුමින්ද කැළඹවූ සෙයකි. ගමින් ගම දොරින් දොර නැඟුණු සදහම් ස්‌වරය ද ඉනික්‌බිතිව සමාජ දේශපාලන භූමිකාවෙන් නැඟුනු අභීත ස්‌වරය ද එක් බඳුව ජනතා හද ආකර්ෂණය කළ දිව්‍යමය නාදයක් සේ අහස් කුස ද ජනහද තුළ ගිගුම් දෙයි.
සෝභිත හිමියෝ මධුර ස්‌වර ඇත්තාහ. අභීත විලාස ඇත්තාහ. තමන් වහන්සේ ජීවත් වූ යුගය උඡ්වලිත කළා වූද, භික්‍ෂුත්වය යනු ස්‌වාධීන වූද, ස්‌වායත්ත වූද ස්‌වතන්ත්‍ර වූද, අධිෂ්ඨානශීලී වූද, වීර්යෙන් පරිපූර්ණ වූද, උත්තරීතර භූමිකාවක් බව ස්‌වකීය ජීවන චර්යාවෙන් තහවුරු කළා වූද පරමාදර්ශී බුද්ධ පුත්‍රයකු ලෙස සෝභිත නාහිමියෝ ජන ගෞරවයටද ජන බුහුමනටද පාත්‍ර වී සිටියහ. ඒ නිසාම උන්වහන්සේ අප ජීවත් වූ යුගය ආලෝකවත් කළ මහා ප්‍රදීපයක් වූ සේක. අප වෙනුවෙන් අභීතව අවදියෙන් ද විමර්ශනශීලීවද ක්‍රියා කළ උන්වහන්සේ සිංහයෙක් බඳු වූ සේක. ඒ සිංහ විලාසයෙන් ඔද වැඩුණු විශිෂ්ට යතිවරයකු පිළිබඳ ආවර්ජනය අපටද සුවයකි. දිය බුබුළක් සේ නැඟී දිය ඇල්ලක් සේ ගලා ගිය සුන්දර බුද්ධ පුත්‍රයාණන්ගේ මතකය මොන තරම් ශාන්තියක් ද? උන්වහන්සේ පිළිබඳ අප්‍රමාණ ධාරණාවන් මෙවේලේ මා හද පිබිදෙයි.
බොහෝ තන්හි තම තමන් හද පමණින් උන්වහන්සේ පිළිබඳ කෙරුණු ආවර්ජනයන් නෙත ගැටුණි. කෙනෙක් ඒ විස්‌මිත සංඝ චර්යාවේ අතීත ප්‍රවාහයන් නොදැක හෝ එයට උඩින් සක්‌මන් කර ගියහ. බුදු පුතකු වුවද කිසිවිටක ජාති, ආගම් කුල මානයෙන්. නොදැපුණු අපිස් ජීවිතයක පරමාදර්ශය නිසාම උන්වහන්සේට සිංහල, දෙමළ මුස්‌ලිම්, කල්‍යාණ මිත්‍රයෝ ද බොහෝ වූහ. ඒ හැම හදවතකම හැම දැසකම උන්වහන්සේ වෙනුවෙන් සුසුමක් කඳුලක් නැඟුණි.
අප සෝභිත හිමියන් දකින්නේ පාලක පාලිත යන දෙපක්‍ෂයටම අවනත නොවූ, ලාභයට, කීර්තියට, ප්‍රශංසාවට ගිජු නොවූ සූරාකෑමට, අසාධාරණයට අයුක්‌තියට පමණක් නොව නිල බල තනතුරු වරප්‍රසාද යනාදී සියල්ලටම නොඇලුණා වූද උදාර, උත්තම චරිත ශක්‌තියකින් හෙබි අසමසම මාර්ගෝපදේශකයකු ලෙසය. ජනතාවට, රටට, මව්බිමට අනර්ථයක් සිදුවන බව දුටු හැම මොහොතකම උන්වහන්සේ නැඟී සිටි අයුරු අප පමණක් නොව රටම දත් සත්‍යයකි.
බුදුන් වහන්සේ භික්‍ෂූත්වය පිළිබඳව විග්‍රහ කළ පරිදිම "භික්‍ෂුව යනු ප්‍රශ්නවලින් පැන නොයන්නෙකි. ඒවා සමග ඇලීම් බැඳීම් තබා නොගත්තෙකි. ජන දුකට පිහිට වෙමින් ඔවුන්ට සම්මා දෘෂ්ටිය ලබා දෙන්නෙකි" යන බුද්ධ වචන අනුවම සෝභිත හිමියෝ ද සිය සමාජ මෙහෙවර ඉටු කළහ. උන්වහන්සේ කිසි විටෙක චිරාගත සම්ප්‍රදාය සුරැකීමේ පිළිවෙතක පිහිටා ක්‍රියා නොකළහ. භික්‍ෂුත්වය දේශපාලන අවියක් බවට පත්වීමටද උන්වහන්සේ ක්‍රියා නොකළහ. එහෙත් ඇතැම් විටෙක දේශපාලන දැල්කාරයෝ උන්වහන්සේගේ ක්‍රියාදාමයන්ගෙන් එගොඩ වූහයි ද අපි දනිමු.
සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ ව්‍යාපාරයේ ක්‍රියාකාරී ආරම්භය ලෙස උන්වහන්සේගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන සමය දැක්‌වුවද උන්වහන්සේගේ අභීත සමාජ භූමිකාවේ කාහල නාදය සමාජ ගත වන්නේ 1978 ඇතිවූ දේශපාලන හා සමාජ ප්‍රතිපත්තීන් සමග වූ ගැටුම තුළින් යෑයි මම කල්පනා කරමි.
සෝභිත හිමියන්ගේ සමාජ දැක්‌ම හා විරෝධාකල්ප හැඩගැන්වීම කෙරෙහි උන්වහන්සේගේ තරුණ භික්‍ෂු ජීවිතය තුළ හමුවූ මහා යතිවරුන් කීප නමකගේම චරිත හේතු වූ අයුරු උන්වහන්සේ අප සමඟ ද වෙනත් සමාජ කතිකාවලදී ද ප්‍රකාශ කර ඇත. විදුලකර සම්ප්‍රදායේ පැවිදි පඬි මිණිරුවන් බඳු වු යක්‌කඩුවේ ප්‍රඥරාම නාහිමි - සිරිසීවලී නාහිමි මෙන්ම කොටහේනේ පඤ්ඤාකීර්ති නාහිමි ද උන්වහන්සේගේ පරමාදර්ශී චරිත වූහ.
සෝභිත හිමියන් විසින් ආරම්භ කරන ලද ජනතා සටන් වලියෙහි ස්‌වර්ණමය ලකුණු 80 දශකයේ අපි දිටිමු. ඒ වූ කලී 'දිවයින' පුවත්පත ආරම්භ වූ වකවානුවද විය. ඡේ. ආර්. ගේ ධර්මිෂ්ට සමාජ කඩතුරාවට වහන් වූ බොහෝ සමාජ ක්‍රියාකාරීන් මුළු ගැන්වෙද්දී සෝභිත හිමියෝ 'දිවයින' පුවත්පත සමඟ සමීප වූහ. එකල උද්ගත වූ ආන්දෝලනාත්මක සිදුවීම් කීපයකදීම සෝභිත හිමියන්ගේ මැදිහත් වීම මෙන්ම උන්වහන්සේට අවකාශ සලසාදීම පිළිබඳව 'දිවයින' ද ඡේ. ආර්. ගේ උදහසට ලක්‌විය.
ගැටඹේ පන්සලට කටු කම්බි ගැසීමේ සිද්ධිය ඡේ. ආර් පාලනයේ නිර්දයභාවය විදහා දැක්‌වූවකි. මෙහිදී සෝභිත හිමියන්ගෙන් ආණ්‌ඩුවට එල්ල වූයේ දැඩි විරෝධයකි. එසේම විජය කුමාරතුංගට එල්ල වු නැක්‌සලයිට් චෝදනාවේදීත් සෝභිත හිමියන්ගේ විවේචන 'දිවයින' පත්‍රයේ පළවීම ද ආණ්‌ඩුවේ කනස්‌සල්ලට හේතු විය. ඡේ. ආර්. ගේ විධායක ක්‍රමයට මෙන්ම මනාප ඡන්ද ක්‍රමයට එරෙහිව සෝභිත හිමියන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරය සඳහා 'දිවයින' ද පූර්ණ අනුග්‍රහයක් දැක්‌වීය.
ආණ්‌ඩුවේ දැඩි මර්දනය මෙන්ම 80 ජුලි වර්ජකයයන්ට දැක්‌වූ ප්‍රතිචාරය ද සෝභිත හිමියෝ නොඉවසූහ. විවෘත ආර්ථික පිළිවෙත සමග ඇරඹුණු සමාජ සංස්‌කෘතික පරිහානිය දුටු උන්වහන්සේ එයට එරෙහිව සමාජය දැනුවත් කිරීමටද ක්‍රියා කළහ. මෙහිදී සෝභිත හිමියෝ සිංහල බල මණ්‌ඩලය නමැති ව්‍යාපාරය වෙතටද ඇදී ගියේය. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද 'ධර්මිෂ්ට සමාජය' නමැති කෘතිය ද මෙකල බිහිවූ අතර එයට ද ආණ්‌ඩුව කුපිත වී සිටියේය.
පසුව සිංහල බල මණ්‌ඩලය විසින් සංවිධානය කරන ලද රැස්‌වීමකදී මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත් සෝභිත හිමියන්ටත් මැර ප්‍රහාරයක් එල්ල විය. එයද පාලකයන්ගේ අනුදැනීමෙන් සිදුවූ බවට චෝදනා එල්ල විය. සෝභිත හිමියන්ගේ 'මව්බිම සුරැකීමේ ව්‍යාපාරය' ආරම්භ වූයේ මේ පසුබිම තුළය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සංවිධානය වූ පිටකොටුවේ බෝධිය අසල සත්‍යග්‍රහයට සිරිමාවෝ බණ්‌ඩාරනායක, දිනේෂ් ගුණවර්ධන, මෙන්ම සෝභිත හිමියෝ ද එක්‌වූහ. පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්‌වූ හිමියන් පොලිස් අත්අඩංගුවට ද ගනු ලැබුණි.
මෙබඳුම සිද්ධියක් නාරාහේන්පිට අභයාරාම භූමියේදීත් සිදු විය. ඒ ඡේ. ආර්. ගේ මැයි දින තහංචිය බිඳ දැමීමේ රැස්‌වීමකි. මේ රැස්‌වීමේදී පොලිස් වෙඩි පහරින් දෙදෙනකු මියගියහ. එදා උන්වහන්සේගේ ජීවිතය බේරුණේ හාස්‌කමකින් මෙනි. මෙලෙස ඇරඹුණු සෝභිත හිමියන්ගේ සමාජ දේශපාලන ව්‍යාපාරය 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග ට බලයට ඒමටද රුකුලක් විය. ඇත්ත වශයෙන්ම සෝභිත හිමියන්ගෙන් චන්ද්‍රිකාට විරෝධයක් එල්ල නොවූයේ ඇය විසින් විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සඳහා දෙන ලද ප්‍රතිඥව නිසාය.
සෝභිත හිමියන්ගේ අතිශය තීරණාත්මක මැදිහත්වීම වූයේ ප්‍රභාකරන්ගේ ත්‍රස්‌තවාදයට එරෙහිව මේ රටේත් ඉන් බාහිරවත් සිදු කළ ක්‍රියාකාරකම්ය. මේ ජාතික අවශ්‍යතාව 'දිවයින' උර මතට වැටෙද්දී සෝභිත හිමියෝ එයට දායක වූ අන් අය සමග එක් වූහ. ඊළාම්වාදීහු පමණක් නොව උන්ට කඹුරන්නෝ ද එහිදී සෝභිත හිමිට මෙන්ම 'දිවයින'ට ද අවලාද නැඟූහ.
මෙහිදී සෝභිත හිමියෝ බුද්ධ වචනය උපුටා දැක්‌වූහ.
"ආකාශගර්භ සූත්‍රයේ එනවා රට බෙදීමට භික්‍ෂුව විරුද්ධ විය යුතුයි. බෞද්ධ භික්‍ෂූන් මේ රටේ සිටිනතාක් රට බෙදීමට ඉඩ දෙනු බෑ. රාෂ්ට්‍ර භේදය පාලකයන්ට තහනම් කළේ බුදුහාමුදුරුවො. ඒ නිසා මට ඒකට එකඟ වෙන්ට බෑ."
සෝභිත හිමියන්ගේ හඬ එදා ජාත්‍යන්තරය ද වෙව්ලවන්නක් විය. කුප්‍රකට "බුඩිසම් බිටේ්‍රඩ්" ග්‍රන්ථයේ කවරය සැකසුණේ උන්වහන්සේ උද්වේගයෙන් ජනතාව අමතන ඡායාරූපයකින්ය. ඒ කෘතිය ඊළම්වාදයට ආ වැඩූ තම්බයියාගේ ය. 'දිවයින'ටත් සෝභිත හිමියන්ටත් ජාතිවාදයේ වසුරුවලින් ගසද්දීත් 'දිවයින' හෝ සෝභිත හිමියන් මෙල්ල නොවූ අයුරු ඒ ඉතිහාසය දන්නෝ දනිති එහෙත් දෛවයේ සරදමකට මෙන් එදා උන්වහන්සේට ආක්‍රෝශ පරිභව කළෝ ද ඒ පව් සමා කර ගැනීමට මෙන් එහිමි ගුණ ගැයූහ. හිමි මෙහෙවර ඇගයූහ.
රට වෙනුවෙන් හමුදාව වෙනුවෙන් මෙන්ම මායිම් ගම්මානවල අසරණයන් වෙනුවෙන්ද උන්වහන්සේ කැප වූහ. පසු කලෙක උන්වහන්සේ උතුරේ අනාථයන් ට ද එලෙසම පිහිට වූහ. සිංහල බෞද්ධ කඳවුර සමඟ උන්වහන්සේ සෘජුවම සිටි ඒ යුගය තුළ වුවද උන්වහන්සේ ජාතිවාදී හෝ ආගම්වාදී උසිගැන්වීම් අනුමත නොකළ බවද සඳහන් කළ යුතුය. වරක් උන්වහන්සේ අප සමග ප්‍රකාශ කළේත් මේ ත්‍රස්‌තවාදය පරාජය කර අප උතුරේ ජනතාව දිනාගත යුතු බවය. අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයන්, මුස්‌ලිම් නායකයන් මරමින් අපේක්‌ෂා කරන විමුක්‌තිය කුමක්‌ද යන්නත් එයින් දෙමළ ජනතාවට ලැබෙන ශාන්තිය කුමක්‌ද යන්නත් උන්වහන්සේ අභීතව ප්‍රශ්න කර සිටියහ. ඒ ඇසූ දෙමළ ජනතාවද උන්වහන්සේ කෙරෙහි පෙම් බැඳ ගත්හ. උන්වහන්සේ සැබෑ සමානත්මතාවාදියෙකු ලෙස පිළිගත්හ.
ඡේ. ආර්. ගේ මෙන්ම චන්ද්‍රගේ දේශපාලන භාවතියට එරෙහිව වූ උන්වහන්සේ මහින්ද රාජපක්‍ෂ පිළිබඳව ද අපේක්‍ෂාවෙන් සිටියේ ඔහුගෙන් රටට වුවමනා සමාජ දේශපාලන ප්‍රතිසංස්‌කරණ සිදුවනු ඇතැයි යන අවංක අදහසින් ය. මහින්දගේ පාලන සමයේ උන්වහන්සේ තුළ ඉමහත් කම්පාවක් ඇති කළ සිද්ධියක් වූයේ එදා ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුවු රාජපක්‍ෂ මෙහෙයුමය. ඇතැම් ඇමැතිවරන්ගේ දූෂණ ක්‍රියාකාරකම් මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිචාර ද නිසා උන්වහන්සේ රාජපක්‍ෂ පාලනය සමග ද ගැටුණි.
"ෆොන්සේකා නිදහස් කරන්න. ඔහු වෙනුවෙන් අප අත්අඩංගුවට ගන්න" අපව හිරයට දාන්න" වරක් උන්වහන්සේ සෝකී එහෙත් අභීත ස්‌වරයෙන් කීහ.
ඡේ. ආර්. ගෙන්, චන්ද්‍රිකාගෙන් මහින්දගෙන් ඉටු නොවූ සමාජ දේශපාලන අරමුණ යථාර්ථයක් බවට පත් කිරීමට සෝභිත හිමියෝ දැඩිව සනිටුහන් කරගන්නාහු ඉක්‌බිති සිවිල් සමාජය දෙසට හැරෙති.
"මේ සමාජය වෙනස් කිරීමත් භික්‍ෂුවට අයිති කාර්යයක් මමය. මගේය කියල මුකුත් නැති ගේ දොර ඉඩකඩම්, යාන වාහන වතුපිටි මුකුත් නැති ඒවා පිළිබඳ ආලයක් බැඳීමක් නැති, සංකල්ප ගැනත් බැඳීම් නැති නිදහස්‌ම පුද්ගලයා භික්‍ෂුව බවයි බුදුන් වදාලේ, සමාජයෙන් ඈත් නොවී සමාජ මෙහෙවරක නිරත වන්නේ එහි නියාමකයා වන්නේ භික්‍ෂුව, අපේ බුදුහාමුදුරුවෝ වදාරනව. මගේ සම්, මස් නහර, ලේ වියළී ඇට පමණක් ඉතුරු උනත් මං බුදුවෙලා මිසක් මෙතැනින් නැගිටින්නේ නෑ කියල. ඒ සිංහ ස්‌වරය බුද්ධ පුත්‍රයන් වන අපටත් උරුමයි. ඒ වීර්ය, ඒ අධිෂ්ඨානය මා ගොඩනගා ගත යුතුයි. මා මේ සමාජ ක්‍රමයට තුඩු දුන් ඒ ජරපත් දේශපාලන ක්‍රමය ඉවත් කරනවා. ඒ සඳහා කැප වෙනවා."
ඒ සෝභිත හිමියන්ගේ පරම අධිෂ්ඨානයේ දෝංකාරයයි. පරාජිතයකු ලෙස පසු නොබැස ජයග්‍රාහී ලෙසින් නැඟී සිටීම සඳහා සෝභිත හිමියෝ එලෙස ජනතාව ඉදිරියේ ප්‍රතිඥා දුන්හ. අභිනව දේශපාලන යුගයක සමාරම්භයට තුඩු දුන්නේ උන්වහන්සේගේ ඒ සමාජ ආමන්ත්‍රණයයි.
සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උදෙසා වූ සිය භික්‍ෂූ චර්යාවේ උත්කෘෂ්ට අරමුණ වෙනුවෙන් සෝභිත හිමියන් යොමු වන්නේ ඒ අනුවය. සෝභිත හිමියන් අපේක්‍ෂා කළ දේශපාලන ප්‍රතිසංස්‌කරණයේ සාධනීය වෙනසක් සිදුවූ බව පෙනුණත් උන්වහන්සේ තුළ තරමක කනස්‌සල්ලක් වූ බවක් ද සමහරු කීහ. ජනතා බලය ජනතා පරමාධිපත්‍යය දේශපාලනඥයන්ට තෑගි ඔප්පුවකින් ලබා දීමේ ක්‍රමය වෙනස් කර සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා කැප වූ සෝභිත හිමියෝ එහි සියලු පල නෙළා ගැනීමට පෙර වේලාසනින්ම සමුගෙන ගොස් සිටිති.
සෝභිත හිමියන් අධිපති වූයේ කෝට්‌ටේ නාග විහාරයට වුවද උන්වහන්සේ මේ රටේ උත්තරීතර සංඝ නායකයකු ලෙසද සංඝ පීතෘවරයකු ලෙසද ජනතාවගේ බුහුමනට පාත්‍ර වූහ. උන්වහන්සේට තාන්න මාන්න නොරිසි විය. කීර්ති ප්‍රශංසා නොරිසි විය.
ලෝකයේ සදාකාලික ගෞරවයට පාත්‍ර වන බුදුන් වහන්සේ සල් ගසක් යට උපත ලද පරිදිම, ක්‍රිස්‌තුස් වහන්සේ ගව මඩුවක උපත ලද පරිදිම සෝභිත හිමියෝ ද පාදුක්‌කට නුදුරු මාදුළුවාව ග්‍රාමයේ වඩු මඩුවක උපත ලැබූහ. එගම ගොවියකුගේ පුතකු ලෙස මෙලොව එළිය දුටු ඒ දරුවා මෙලක විප්ලවීය සමාජ දේශපාලන හා භික්‍ෂු භූමිකාවක සාඩම්බර චරිතයක් ලෙස ඉතිහාසයට එක්‌වීම කවර ආශ්චර්යයක් ද?
සෝභිත හිමියන්ගේ අන්තිම කැමැත්තක් ගැනද මාධ්‍යවල සටහන් විය. නිසැකයෙන්ම උන්වහන්සේ සාටෝප රාජ්‍ය ගෞරව හමුදා ප්‍රණාම රිසි නොවෙතියි සිතිය හැකිය. ඒවා උන්වහන්සේගේ චාම් සරල පැවැත්ම සමඟ නොසැසඳෙන දේවල්ය. මිරිවැඬි සඟලත්වත් දෙපයේ ලන්ට නොරිසිවූ ඒ හිමියන්ගේ අල්පේච්ඡ ජීවිතය ගැන කවර කථාද? එහෙත් අපගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වන්නා වූ ඉත්තෑපානේ ධම්මාලංකාර මහ නාහිමියෝ සෝභිත හිමියන්ට රාජ්‍ය ගෞරව ලබාදිය යුතුයෑයි සංඝාඥාවක් කරත් නම් එය නොමැනවැයි කියන්නෝ කවරහුද? සැබැවින්ම සෝභිත හිමියන් බඳු යුග කාරක ධර්ම සන්නිවේදකයකුට, පරම ප්‍රජාතන්ත්‍රවාදියකුට නොදෙන රාජ්‍ය ගෞරව කුමකටදැයි අපටද සිතේ. අනෙක් අතට සත්‍යය හා යුක්‌තිය උදෙසා කැපවීම නිසාම යම් යම් සමාජ බලවේගවල මෙන්ම බලලෝභීන්ගේ වෛරයට, හිංසාවට, අවමානයට, අපකීර්තියට ද පාත්‍ර වූ උන්වහන්සේට ඒ සියලු කොටස්‌වල ගෞරවය ද ප්‍රණාමය ද හිමිවීම අප දකින්නේ සමාජ හා ඓතිහාසික යුක්‌තියක් ඉටු වීමක් ලෙසය. බුදුන්ට ගල් පෙරලූ දෙව් දත් පරපුරේ අයත් නොයෙක් නින්දා අපහාස කළ චිංචමානවිකා පරපුරේ අයත් අවසානයේදී සෝභිත හිමියන් පරම පූජනීය සංඝ පීතෘවරයකු ලෙස සතර සංග්‍රහ වස්‌තුවෙන් පිරිපුන් යතිවරයකු ලෙස උදාර මනුෂ්‍යයකු ලෙස භක්‌තියෙන් ගෞරවයෙන් පූජා කිරීම ද සියලුදෙනාගේ ම පහන් සංවේගයට හේතු වනු නිසැකය.
භික්‍ෂුව යනු සමාජ යුක්‌තිය උදෙසා, ජනතාවගේ ජීවිතය සුවපත් කිරීම උදෙසා කැප විය යුතු උතුම් බෝධිසත්වයෙක් ලෙසද බෝධි චර්යාවතාරයේ දක්‌වා තිබේ. භික්‍ෂුවකගේ හද තුළ ගිගුම් දෙන්නේ යහපත් ප්‍රාර්ථනාවන්ය.
"කෙනෙක් මට දොෂාරෝපණ කළත්, හිරිහැර කළත් වෛරකළත් මම එය විඳිමි. එහෙත් මා නිසා අන් කිසිවකුට එසේ පීඩාවක් හිරිහැරයක්, අයසක් නොවේවා. මගේ පා දොවන අයටද මට පරුෂ වචනයෙන් බනින අයට ද මගේ වෙනසක් නැත. මම අසරණයන්ට සරණ වෙමි. ගිලනුන්ට වෙදැ'දුරු වෙමි. අඳුරට එළියවෙමි. ඔවුන්ට දීපයක් වෙමි. සිනහවක් නැති මුවග සිනහවක් වී පිපෙන්ටද බතක් නැති පැක සුවඳ බතක් වෙන්ට ද මම ප්‍රාර්ථනා කරමි. ඇස කඳුළ පිස, හිත නිවන, ගිනිනිවන මෙත් ගඟුලක් වෙම්වා. මම සියලු සතුන්ගේ සේවයට ද දාසතාවයට ද රිසි වෙමි. අනිත්‍ය ආත්ම කොට ගත් මගේ මේ සිරුර ද ජනතාවගේ හිත සුව පිණිස පූජා වේවා".
මේ සෝභිත නාහිමියන්ගේ හද තුළ රැව් දුන් ප්‍රාර්ථනා සමූහය බව මම අවසන් වශයෙන් ලියා මගේ කාලයේ ශේ්‍රෂ්ඨ යතිවරයාණන් වහන්සේට ගෞරවය පූර්වකව, උන් වහන්සේගේ දෙපා මත සිතින් මහිස හොවා වන්දනා කර ඒ මහඟු ගුණ යළි යළිත් සිහිකර උන්වහන්සේ අපේක්‍ෂා කරන බෝධියකින් නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරමි.
- ගාමිණී සුමනසේකර
http://www.divaina.com/2015/11/15/feature13.html
සබැඳි ලිපි -
[
මෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!http://denethharinna.blogspot.com/2015/11/blog-post_43.html
හිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙතිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]
භික්ෂුන් වහන්සේලා දේශපාලනයෙහි යෙදීම නොමනා දෙයකැයි බොහෝ දෙනා කියති. එහෙත් ලක්‌දිව බුදු සමය ලැබුණු අනුරාධපුර යුගයේ සිටම භික්‍ෂුහු දේශපාලනයේ යෙදුණහ. රජවරු අනුශාසනා ලැබුවේ භික්‍ෂු සංඝයාගෙනි. කුමාරවරු, සෙනෙවිවරු රජවරු බවට පත් කළේ භික්‍ෂුන් වහන්සේලාගේ අනුග්‍රහයෙනි. භික්‍ෂුන් කෙතරම් තදින් දේශපාලනයේ යෙදුනේද යත්, සමහර රජවරු අතින් භික්‍ෂුන් වහන්සේලා මැරුම් කෑහ. ඇතැම් රජවරු භික්‍ෂුන් වහන්සේලාගේ සිවුරු ගලවා උරහිසෙහි දුසිල් ලකුණ හංවඩු ගසා රටින් නෙරපා දැමූහ.
ඒවා ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් භික්‍ෂුවරු දේශපාලනයේ යෙදීම අත්හලේ නැත. රට ජාතිය බිඳ වැටුණු හැම අවස්‌ථාවකම භික්‍ෂුවරු පෙරමුණට ආහ. මැරුම් කෑහ. ඒ දේශපාලනය වෙනුවෙනි. අදටත් පාරේ පෙළපාලි යන ශිෂ්‍යයන් අතර මහජනයා අතර භික්‍ෂුන් වහන්සේලා පෙරමුණේ වඩිති.
භික්‍ෂුන් වහන්සේලා සිටින්නේ ධර්මය දේශනා කරන්නටත්, දන් පිළිගන්නටත්, පාංශකූලය පිළිගන්නටත් පමණකැයි සිතන බෞද්ධයෝ සිටිත්. එහෙත් තමන් සිවුර දරා සිටින්නේ ඒ කාර්යයන් කිහිපය සඳහාත් ඉන් බාහිරව පඩික්‌කම් පුරවන්නටත් නොවන බව ක්‍රියාවෙන් පෙන්නුම් කරන භික්‍ෂුන් වහන්සේලාද සිටිත්.
නමුත් දේශපාලනයෙහි යෙදීම යනු යූ. එන්. පී. හෝ ශ්‍රී ලංකා ඡන්ද රැස්‌වීමට නැගී අහවලා දිනවීම සඳහා කතා පැවැත්වීමේ දේශපාලනය නොවේ. භික්‍ෂුවක් දේශපාලනයේ යෙදීම ඊට වඩා බොහෝ දුර ගිය ඉදිරිගාමී වැඩපිළිවෙළකි. දිනන පක්‍ෂයට හෝයියා කීම පිරිසිදු දේශපාලනය නොවේ. වාරියපොල සුමංගල හිමි, සුද්දාගේ මහනුවර මඟුල් මඩුවේදී ඉංග්‍රීසි කොඩිය ඉරා දැමුවේ ශ්‍රී ලංකා ද්වීපයෙහි ස්‌වෛරීත්වය වෙනුවෙනි. අන්තිමේදී සුමංගල හිමි අපවත් වී වදාළේ ඒ වරදට සිරබත් කමින් සිටියදීය.
කුඩහකපොල හාමුදුරුවන් අල්ලා ගත් ඉංග්‍රීසීහු රජු කවුද රජු කොහිදැයි එහිමි සොලවමින් ඇසූහ. රජුත් රටත් පාවා නොදෙමියි ස්‌ථාවරයේ සිටි කුඩහකපොල හිමියෝ නොදනිමියි කීහ. රජු සැඟව සිටින්නේ කොහිදැයි කුඩහකපොල හිමි දන්නා බව ඉංග්‍රීසිහු දැන සිටියහ. එහෙත් රහස හෙළි නොකරමින් කුඩහකපොල හිමියෝ සුද්දාගේ වෙඩි පහරට ළයදී අපවත් වී වදාළහ. ඒ රට වෙනුවෙනි.
ශ්‍රී ලංකා භික්‍ෂු ඉතිහාසය පුරා රට වෙනුවෙන් කැප වූ භික්‍ෂුන් වහන්සේලා මුණගැසේ. ඒ හිමිවරු දේශපාලනයේ නියෑලුනේ හේතු ඇතිවය. පාලකයා අධාර්මික වන විට යුක්‌තියට පිටුපාන විට රට පාවා දෙන විට ඊට එරෙහිව අරගල කළ යතිවරු මහ මගට බැස්‌සාහ. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලබුදූවේ සිරිධම්ම හිමිගේ ගැටඹේ පන්සල වටා කටු කම්බි ගැසුවේ එහිමි ඡේ. ආර්. ගේ ඒකාධිපතිත්වයට එරෙහිව කතා කළ නිසාය.
එමෙන්ම වරප්‍රසාදවලට ලෝභී සිතින් දේශපාලන ලෝකය බදාගත් හිමිවරුද ඒ අතර සිටියහ. එම යතිවරු කුඩු, එතනෝල් දේශපාලකයන්ගේ අත්වල පිරිත් නූල් ගැට ගැසූහ. තව තවත් සොරකම් කරනු පිණිස යහතින් කල් ගෙවනු සඳහා සෙත් පිරිත් සඡ්ජායනා කළහ. ලේ ගෑවුනු අත්වලින් බෙදූ දන් පිළිගත්හ. ඒ දේශපාලකයන්ගේ බලයට නැමුණු බැවිනි. කළ හැක්‌කක් නොවූ බැවිනි. එයද දේශපාලනයේ යෙදීමකි.
තවත්පෙළක් සඟගණ දේශපාලකයන් වැරදි බැව් දැන දැනත් ඔහුට සුදු හුණු ගෑමේ ව්‍යාපාරයෙහි යෙදුනහ. ඒ වරප්‍රසාද පිණිසය. සැප සම්පත් පිණිසය. පන්සලට අලි පැටියෙක් ලබා ගැනීම වැනි ලාමක කාරණාවලටය.
මාදුළුවාවේ සෝභිත හිමියෝ දිදුලන්නේ මෙවැනි සඟ ගණ මැදය. උන්වහන්සේ දේශපාලනයේ යෙදුනහ. එහිමි දේශපාලන අතීතයකින් පිළිපන් සඟ නමකි. එහිමි තරුණ කළ විද්යෝද්‍ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පදවිය දැරූවෙකි. විශ්වවිද්‍යාලයක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වීම විරල දුලභ ස්‌ථානයකි.
මෑත ඉතිහාසයේ පරාජය කළ නොහැකිම දේශපාලනඥයා මහින්ද රාජපක්‍ෂ මහතාය. මාදුළුවාවේ සෝභිත හිමි රාජපක්‍ෂ පාලනය බිඳ හෙළීමට ප්‍රමුඛවම වැඩ කොටසක් ඉටුකළ භික්‍ෂුන් වහන්සේය. වරෙක පොදු අපේක්‍ෂකයා ලෙසද එහිමිගේ නම යෝජනා විය.
රාජපක්‍ෂ පාලනය බිඳ වැට්‌ටවීමෙන් සෝභිත හාමුදුරුවෝ අපේක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පැරදවීම නොව ඒ වන විට දූෂිත වී තිබුණු දේශපාලන සමාජය නව ප්‍රතිසංස්‌කරණයකට පොළඹවා පිරිසිදු දේශපාලන සක්‌මන් මළුවක් නිර්මාණය කර ගැනීමය. සෝභිත හිමි තුළ තිබුණේ ජනාධිපති පදවිය අහෝසි කිරීම, සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කර ගැනීම වැනි යහපත් ප්‍රාර්ථනාය. එසේ නොමැතිව මහින්ද රාජපක්‍ෂ පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන රජ කරවීමේ කොන්ත්‍රාත්තුවක් නොවේ. උන්වහන්සේ "සාධාරණ සමාජයක්" යන තේමාවෙන් අදහස් කළේ කණ්‌ඩායමක් බිම හෙළා තව කණ්‌ඩායමක් රජ කරවීම නොවේ.
කබල රත් වූ වෙලාවේ රොටිය බා ගන්න යෑයි උන්වහන්සේ හඬ නැගුවේ මූලික කාර්යය ජනාධිපති පදවිය අහෝසි කරගත යුතුය යන මතයේ පිහිටාය. කොන්ත්‍රාත්කරුවකු වූයේ නම් උන්වහන්සේට තිබුණේ දෙන දෙයක් වළඳාගෙන වෙන දෙයක් බලාගෙන වැඩ හිඳින්නටය. එහෙත් උන්වහන්සේ නොනැවතුනහ. මේ යන්නේ අප අනුදැන වදාළ පාරේ නොවේයෑයි සෝභිත හාමුදුරුවෝ අලුත් ආණ්‌ඩුවට තරයේ කියා සිටියහ. මේ ක්‍රියාත්මක වන්නේ සාධාරණ සමාජයක් ය යන පාඨය නොවන බැව් උන් වහන්සේ හඬ නගා කියූහ. අරගලය අනුදැන වදාළහ.
හොඳ දේශපාලන සමාජයක් සඳහා නම් පිරිසිදු නායකයන් අවශ්‍යය ය. යහපත් මග පෙන්වන්නන් අවශ්‍යය. සෝභිත හාමුදුරුවන්ගේ අභාවය මෙහෙවර නිමා නොකොට නික්‌ම යැමක් වන්නේ එබැවිනි.
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
http://www.divaina.com/2015/11/15/feature08.html
සබැඳි ලිපි -
[
හිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙති
http://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]