Pages

Saturday, August 29, 2015

පළමු ආණ්ඩුව පිහිටුවීම - අතීතයෙන් කතාවක්‌

අපේ රටේ බොහෝ දේ අදට වඩා හොඳින් අතීතයේදී ක්‍රියාත්මක වී ඇති බව ඉතිහාසය පරිශීලනය කිරීමේදී පැහැදිලිය. ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික, සෞඛ්‍යය, මෙන්ම දේශපාලනික වශයෙන්ද අතීත කරුණු සලකා බැලීමේදී ඒ සියල්ල අදට වඩා ගුණාත්මක බවින් දියුණු තත්ත්වයක තිබූ බව අවබෝධ කරගත හැකිය.

අද අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අතීතයේද මේ තත්ත්වය මීට වඩා ගුණාත්මකව පැවැති බව පෙනේ. එදාද පක්‍ෂ විපක්‍ෂ එක්‌ව ආණ්‌ඩු කර ඇති අතර "දිය යටින් ගින්දර ගෙන යැමට" වඩා සෘජු ප්‍රතිපත්තියක සිට කටයුතු කළ බව පෙනෙන්නට ඇත. අද අපි මේ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ අතීතයේ දේශපාලන ක්‍රියාකාරකම් විමර්ශනය කරමින් එයින් අද අපේ සමාජයට යම් අවබෝධයක්‌ ලබා දෙන්නටය.

අපේ රට යටත් විජිතයක්‌ව පැවැති අවධියේ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා ඊට අනුබද්ධව සම්මත කර ගන්නා ලද ලංකා නිදහස්‌ ව්‍යවස්‌ථාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී විවාදයට ගත් අවස්‌ථාවේ ඊට විරුද්ධව ඡන්දය දුන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු තිදෙනකු පමණි. මන්ත්‍රණ සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. ඒ මන්ත්‍රීවරුන් වූයේ බිබිලේ විජයානන්ද දහනායක, හැටන් නතේෂ අයියාර් හා පත්කළ මන්ත්‍රී ඇක්‌ස්‌ පී. ෆයිවා යන මහත්වරුන්ය. එකල වාමාංශික මන්ත්‍රීවරුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටියේ නැත. හිටියේ අතුරු මැතිවරණයකින් ජය ගත් දහනායක මහතා පමණි. මෙම පනතට සහාය ලබා ගැනීමට උතුරේ දෙමළ මන්ත්‍රීවරුන් එකතු කර ගැනීමට ඇමැති මණ්‌ඩලයට හැකි විය. ඔවුන් සහයෝගය දැක්‌වූයේ යම් යම් කාරණා යළි සලකා බැලිය යුතුය යන කොන්දේසිය මතය.

කෙසේ වුවද එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වූයේ නැත. වාමාංශික පක්‍ෂ නීති විරෝධී පක්‍ෂ ලෙස නම්කර තිබුණි. සිංහල මහ සභාව හා ජාතික සංගමය පිහිටුවා තිබුණද ඒවායේ ක්‍රියකාරිත්වයද දියාරු මට්‌ටමක තිබූ බව පෙනෙන්නට තිබිණි. ඒ බව පැහැදිලි වන්නේ ඇතැම් මන්ත්‍රීවරු ජාතික සංගමය හා සිංහල මහ සභාව නියෝජනය කළද රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඒ පිළිබඳ තැකීමක්‌ නොකිරීමය. ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ සංගමයට සිටියේද එක්‌ මන්ත්‍රීවරයකු පමණි.

එදා සම්මත කර ගත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වීමට නම් දේශපාලන පක්‍ෂ ක්‍රමය අනිවාර්ය විය. මේ අනුව එදා ඇමැති මණ්‌ඩලයේ සිටි ඩී. ඇස්‌. සේනානායක මහතා (සභානායක) එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා (සිංහල මහ සභාව) ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා (ලංකා ජාතික සංගමය) යන මේ තිදෙනා නව පක්‍ෂයක්‌ බිහි කිරීමට එකඟ වූහ. ඒ අනුව 1946 සැප්තැම්බර් මාසයේදී කුරුඳුවත්තේ ෆාම් කෝට්‌ මන්දිරයේදී රැස්‌ වී එක්‌සත් ජාතික පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ පිහිටුවා ගනු ලැබිණි. මෙම පක්‍ෂයට උතුරේ මන්ත්‍රීවරුන් කීප දෙනකුද සම්බන්ධ කර ගන්නා ලදී. මේ අනුව යාපනයේ අරුණාචලම් මහදේව (එවකට ස්‌වදේශ ඇමැති) මහතා කන්කසන්තුරේ ඇස්‌. නඩේෂන් මහතා සහ ජගනාදන් ත්‍යාගරාජා යන මහත්වරු එජාපයේ ආරම්භක දෙමළ සාමාජිකයෝ වූහ. මේ අතර ලංකා මුස්‌ලිම් ලීගයේ නායක පත්කළ මන්ත්‍රී ටී. බී. ජයා මහතාද ලංකා යෝනක සංගමයේ නායක පත්කළ මන්ත්‍රී ඒ. ආර්. ඒ. රාෂික්‌ මහතාද එජාපයට පත්වූ පළමු මුස්‌ලිම් ජාතිකයෝ වූහ. ඉන් පසුව පැවැති මැතිවරණය සඳහා තනි විපක්‍ෂයක්‌ ලෙස එජාපය කඩිමුඩියේ අපේක්‍ෂකයන් තෝරා ගැනීමට කටයුතු කළේය. මේ අවස්‌ථාවේදී ඩී. එස්‌. සේනානායක මහතා හා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා අතර මතබේද ඇති විය. එවකට හම්බන්තොට මන්ත්‍රීවරයා වූයේ උග්‍ර බණ්‌ඩාරනායක අනුගාමිකයකු වූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය. ඔහු අලුතින් නම් කරනු ලැබූ බෙලිඅත්ත මැතිවරණ කොට්‌ඨාසයට තරග කරන බව දැනුම් දී තිබුණි. එහෙත් ඩී. එස්‌. සේනානායක මහතා බෙලිඅත්ත අසුනට ඩී. පී. අතපත්තු මහතා පත් කළ යුතු යෑයි තීරණය කර තිබුණි. උඩුගම ආසනය සඳහාද අපේක්‍ෂකයන් පත් කිරීමේදී මෙවැනිම මතබේද ඇතිවිය. උඩුගම අසුනට ඩී. එස්‌. ගුණසේකර මහතා පත් කළ යුතු බව බණ්‌ඩාරනායක මහතා සඳහන් කරද්දී ඩී. එස්‌. සේනානායක මහතා හෙට්‌ටිආරච්චි නම් අයෙකු නම් කළේය. දෙපාර්ශ්වයේ මෙම මතබේදය උග්‍ර වීම නිසා බෙලිඅත්ත, වැලිගම, උඩුගම හා ජාඇල යන මැතිවරණ කොට්‌ඨාස විවෘත අසුන් ලෙස නම් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. කෙසේ වුවද බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ මහතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගත් අතර යාබද පිහිටි හම්බන්තොට අසුනද ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතා ජයගත්තේය.

මෙසේ පැවැති උණුසුම් මැතිවරණයේදී එජාපයට ජයගත හැකි වූයේ මුළු ආසන 95 න් ආසන 42 ක්‌ පමණි. මෙම මැතිවරණයේදී වාමාංශික පක්‍ෂ ආසන 20 ක්‌ද ලංකා ඉන්දියානු සංගමය ආසන 7 ක්‌ හා ලංකා දෙමළ සංගමය ආසන 7 ක්‌ද දිනා ගත්තේය. ඉතිරි ආසන ස්‌වාධීන කණ්‌ඩායම් විසින් දිනාගෙන තිබිණි. මෙම මැතිවරණයේදී එජාපය නියෝජනය කළ ඇමැතිවරු තිදෙනෙක්‌ම පරාජයට පත්වී සිටියහ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්‌ඩලය 10 කට සීමා විය. සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා මහනුවර ජය ගත්තේ වැඩි ඡන්ද 205 කිනි. ඡන්ද පෙත්සමක්‌ ඉදිරිපත් වීමෙන් ඔහුට එම අසුනද අහිමි විය.

මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ අද මෙන් එදාද තනි පක්‍ෂයකට රජයක්‌ පිහිටුවිය නොහැකි විය. එජාපය ලංකා ඉන්දියානු සංගමය හා ලංකා දෙමළ සංගමය එකතු කරගෙන රජයක්‌ පිහිටුවීමට උත්සාහ දරන අතරේදී වාමාංශික පක්‍ෂ හා ස්‌වාධීන මන්ත්‍රීවරු ශ්‍රී නිශ්ශංක මහතාගේ වැල්ලවත්ත පිහිටි යමුනා නිවසට එකතු වී රජයක්‌ පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කළේය. එහෙත් වාමාංශික මන්ත්‍රීවරුන් පිරිසක්‌ ස්‌වාධීන මන්ත්‍රීවරුන් සමඟ රජයක්‌ පිහිටුවීමට එකඟ නොවූ නිසා එම සාකච්ඡා අසාර්ථක විය. අවසානයේදී ඩී. එස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයක්‌ පිහිටු වූ අතර එම රජයේ කථානායක ලෙස එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා පත්කර ගැනිණි.

නව පාර්ලිමේන්තුවේ පළමු පනත වූයේ පුරවැසි පනතය. මෙම පනත සාකච්ඡාවට ගනිද්දී ලංකා ඉන්දියානු සංගමය එජාප විරෝධී වාමාංශික හා ස්‌වාධීන මන්ත්‍රීවරුන් සමඟ එක්‌ව කටයුතු කළේය. එයට හේතු වූයේ ඉන්දියානු සම්භවයක්‌ ඇති අයගේ ඡන්ද බලයට මෙම පනතින් දැඩි සීමා පැනවීමය. මේ වන විට ලංකා දෙමළ සංගමය රජයට සම්බන්ධ වී සිටියේය.

මේ පනතට විරුද්ධව වාමාංශික හා ස්‌වාධීන මන්ත්‍රීවරු 20 ක්‌ ඡන්දය පාවිච්චි කළහ. එසේ විරුද්ධ වූ මන්ත්‍රීවරු වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, සෝමවීර චන්ද්‍රසිරි, රොබට්‌ ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, හෙන්රි පීරිස්‌, කිලිනොච්චියේ පෙරේරා, චම්ලි ගුණවර්ධන, විලියම් සිල්වා, ඩබ්ලිව්. දහනායක ප්‍රේමලාල් කුමාරසිරි, හැරී අබේගුණවර්ධන, ලක්‍ෂ්මන් රාජපක්‍ෂ, ජී. නිශ්ශංක, ජී. බී. සුබසිංහ, අයි. ඇම්. ආර්. ඊ. ඊරියගොල්ල, ඡේ. සී. ජී. කොතලාවල, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රෙජී පෙරේරා, ක්‌ලොරන්ස්‌ බස්‌නායක සහ ඩී. එස්‌. හෙට්‌ටිආරච්චිය.

මේ අතර ලංකා දෙමළ සංගමයේ ඇස්‌. චෙල්වනායගම්, සී. වන්නියසිංහම් යන මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුවේ නියෝජනය කළ දෙමළ සංගමයෙන් ඉල්ලා අස්‌වී ෆෙඩරල් පක්‍ෂය පිහිටුවා ගන්නා ලද්දේය. ජී. සුන්දරලිංගම් මහතා ඇමැති මණ්‌ඩලයෙන් අස්‌වී ඊළාම් රාජ්‍යයක්‌ අවශ්‍ය බව සඳහන් කරමින් නව ව්‍යාපාරයක්‌ ආරම්භ කළේය.

මේ තත්ත්වය මෙසේ ඇදී යද්දී 1951 එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ඇතුළු පිරිස රජයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරම්භ කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදී විපක්‍ෂයක උපත ලෙස සැලකේ.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/08/28/feature.html

Pic Source

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌! දැන්වත් බෞද්ධ නායකයන් රට වෙනුවෙන් එක්‌විය යුතුයි - ෆයිසාල් රශීන්

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌ බවත් රටේ බෞද්ධ නායකයන් එදා සිටම එකාට එකා කුලල් කා ගැනීම හේතුවෙන් බොහෝ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයන් රැසක්‌ රටට අහිමි වී විනාශව ගිය බවත් රටේ වර්තමාන දේශපාලන වාතාවරණය අනුව බෞද්ධ නායකයන් බුද්ධිමත් තීරණයක්‌ ගත යුතු බවට තමා අවධාරණය කරන බවත් හම්බන්තොට ලොව ප්‍රථම සුනාමි ගමේදී පැවැති විශේෂ උත්සවයකදී එහි නිර්මාතෘ හිටපු ඉරාන තානාපති සාම බළකායේ නායක රශීන් මහතා පැවැසීය.

පක්‍ෂ පාට කුමක්‌ වුවත් ලංකාවේ ඉතිහාසය බලන විට බෞද්ධ නායකයන් එකිනෙකා කුලල් කා ගැනීම හේතුවෙන් එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේ පටන් ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග, රන්ජන් විඡේරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, රෝහණ විජයවීර යන ශ්‍රේෂ්ඨ බෞද්ධ මොළ රාශියක්‌ අපට අහිමි වූ බවද රශීන් මහතා මෙහිදී පැවසීය.


හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය ජයග්‍රහණය කර, රට සීග්‍ර සංවර්ධනයක්‌ කර ගෙන ගිය අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු බවත් එතුමාගේ සේවය මතුවටත් රටට අවශ්‍ය බවත් මෙහිදී පෙන්වා දුන් රශීන් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දේශපාලන අත්දැකීම් බහුල ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් ඇති ප්‍රබල ශ්‍රේෂ්ඨ නායකයකු බවත් කියා සිටියේය.

ශ්‍රේෂ්ඨ බුදු දහමේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. යන බුදු වැකියට අනුව අතීතය අමතක කර රටේ අනාගතය හා මතු පරපුර වෙනුවෙන් වත් මෙම ශ්‍රේෂ්ඨ නායකයන් තිදෙනා එකතු වී රට ගොඩනඟන්නට කටයුතු කරන්නේ නම් එය මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට කරන ගෞරවයක්‌ බවත් රශීන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මහනුවර මල්වතු මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා මත මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ සහ තීනියාවල පාලිත නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම යටතේ සහ අනෙකුත් රටේ ප්‍රධාන පන්සල් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම් මත ශ්‍රේෂ්ඨ වූ බෞද්ධ නායකයන් එකමුතු කිරීමේ ව්‍යාපාරයක්‌ වහාම ඇරඹිය යුතු බවද මෙහිදී රශීන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම උත්සවය සඳහා සිංහල, මුස්‌ලිම්, දෙමළ, සියලු ජාතීන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

වසන්ත ලියනගේ
http://www.divaina.com/2015/08/28/news29.html

Pic Source

Wednesday, August 26, 2015

සම්මුතිය අබියස

තීරණාත්මක මැතිවරණයක්‌ නිමා විය. මැතිවරණයෙන් පසුව ලියන ප්‍රථම සිකුරු දැක්‌ම මෙයයි. ඉකුත් මැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවල මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයෙන්ද වාර්තා වූ සිද්ධීන් කීපයක්‌ ඔබේ අවධානයට යොමු කිරීම මේ ලිපියේ අරමුණයි.

එල්. ටී. ටී. ඊ. හිතවාදියකු වූ ශිවාජිලිංගම්, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග වැදුනේ එජනිස කණ්‌ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිවය. මහින්ද රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද ලක්‍ෂ 4 ක්‌ ද ඉක්‌මවා ජයගනු ලැබුව ද ශිවාජිලිංගම්ට ලබාගත හැකි වූයේ මනාප 9 ක්‌ පමණි. අපේ සිංහල සාහිත්‍යයේ ගුත්තිල මූසිල වාදය තරගය අපට සිහියට එන්නේ මෙවන් අවස්‌ථාවලය. මෙරට ජනතාවට මැතිවරණ රැස්‌වීමක්‌ තබා මළගමකට වත් නිදහසේ ගමන් කරන්නට ඉඩක්‌ නොතිබූ යුගය අවසන් කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. ඔහු ඇතුළු එවකට රජය ස්‌ථාපිත කළ සාමය හා සමගිය සහිත වූ ජනසමාජයේ ඔහුට එරෙහිව ඡන්ද සටනට පැමිණි සිවාජිලිංගම් "මූසිලයෙකි" එදා මූසිලට අත් වූ ඉරණම මෙදා සිවාජිලිංගම්ටද අත්කර දී ඇත.

පසුගිය මැතිවරණය පුරාවටම අපේ ඇතැම් දේශපාලනඥයන් අඳ බිහිරි ගොළුවන් සේ කළ කී දේ තමන්ටම පාරාවළල්ලක්‌ වේ යෑයි නොසිතන්නට ඇත. විශේෂයෙන් අද මාධ්‍ය තුළ නිතර කතාබහ කෙරෙන "අප්පච්චි මළෝ" කණ්‌ඩායමට අත්වූ ඉරණමද එවැන්නකි. එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයට ආවොත් අපි පරදිනවා යෑයි කියූ එස්‌. බී. දිසානායක පරදවන්නටද ජනතාව තීන්දු කර ඇති බව ප්‍රතිඵලවලින් සනාථ විය. ඔහු පරාජයට පත් වී ඇත්තේ නවකයන් කීපදෙනකු ඔහු ලබාගත් මනාප ප්‍රමාණයට වඩා කීප ගුණයකින් ජයග්‍රහණය කරවමින් වීමද වැදගත් කාරණයකි.

මැතිවරණ සමයේ කුරුණෑගල එස්‌. බී. නාවින්න මහතා එහි වේදිකාවකදී සඳහන් කළේ පසුගිය ජනවාරි 8 දා ශ්‍රීලනිප ලේකම්ට පැරදුන රාජපක්‍ෂ මෙදා ශ්‍රීලනිප භාණ්‌ඩාගාරිකට පරදින බවය. මැතිවරණ ප්‍රතිඵලවලට අනුව රාජපක්‍ෂ මහතාට වඩා බොහෝ සෙයින් අඩු මනාප ලැබ දියවන්නාවෙන් ගොඩවන්නට වරම් ලැබූ නාවින්න මහතාට මේ වන විට පක්‍ෂයේ භාණ්‌ඩාගාරිකකම අහිමිව ඇත. එමෙන්ම මෙම රැස්‌වීමේදී නාවින්න මහතා කළ තවත් ප්‍රකාශයක්‌ මෙම ලිපියේ සාකච්ඡා කිරීම වටිනවා යෑයි සිතමි. ඔහු සඳහන් කළේ බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස්‌ නොඇරි බළල් පැටියෙක්‌වත් ගෙන නොඑන්නැයි අපේ පැරැණි ප්‍රස්‌ථාපිරුලක්‌ ඇති බවත් හම්බන්තොටින් කුරුණෑගලට සංක්‍රමණය වූ මහින්ද රාජපක්‍ෂ මෙවර ලබන්නේ දරුණු පරාජයක්‌ බවත්ය.

නාවින්න මහතාගේ ඉහත ප්‍රකාශය අනුව පෙනී යන්නේ ඔහු හිතාමතාම හෝ නොදැනුවත්කමින් හෝ සමකාලීන ඉතිහාසය විකෘති කර ඇති බවය. මේ ඉතිහාසයටත් වඩා අප අවධානය යොමු කළ යුතු වන්නේ බෙන්තර ගඟෙන් එගොඩ සිට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා කුරිරු ත්‍රස්‌තවාදය විනාශ කර රටට සාමය උදාකිරීම එස්‌. බී. නාවින්න මහතා අමත කර දමා ඇත්තේ ද්වේෂයෙන් විය හැකිය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උපත සිදු වූයේද කුරුණෑගල මාවතගම ඡන්ද කොට්‌ඨාසයේ පිහිටි ශ්‍රී නිශ්ශංක මහතාගේ තිරගම වත්තේ බංගලාවේදීය. එහි ප්‍රථම රැස්‌වීමට සහභාගි වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ශ්‍රී නිශ්ශංක හා අදත් ජීවතුන් අතර සිටින හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා ඇතුළු ප්‍රගතිශීලී නායකයන් කීපදෙනෙකි.

ශ්‍රී නිශ්ශංක මහතා බලපිටියේ උපන්නෙකි. ශ්‍රී ලංකාවේ අද්විතීය ගණයේ නීතිඥවරයකු වූ ඔහු සල්ගල ආරණ්‍ය පිහිටවූ ශ්‍රේෂ්ඨ බෞද්ධයෙකි. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල ආසනය නියෝජනය කරමින් තරග කර විශිෂ්ට ජයක්‌ ලබා ගත්තේය. නාවින්න මහතා මේ ප්‍රකාශය කරන විට වේදිකාවේ එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිට ඇත. වික්‍රමසිංහ මහතාටද බෙන්තර ගඟෙන් එහා සම්බන්ධයක්‌ ඇති බව නාවින්න මහතාට අමතක වූවා හෝ ඒ ගැන නොදැන සිටියා විය යුතුය. කෙසේ වුවද කට ඇති පලියට මෙවැනි ප්‍රකාශ කරන දේශපාලනඥයන් මේ උත්සාහ කරන්නේ යළිත් මෙරට උඩරට පහතරට බේදයක්‌ ඇතිකරන්නට දැයි අපට ඇත්තේ සැකයකි. අපේ රටට තිබෙන ප්‍රශ්න හොඳටම ඇතිය. බල තණ්‌හාවට රටට හෙණ ගැහුවත් කමක්‌ නෑ යෑයි සිතාගෙන කටයුතු කරන මෙවැනි දේශපාලනඥයන් පිළිබඳව අප අවදියෙන් සිටිය යුතුය.

මේ අතරේ පසුගිය කාලයේ කච්චතිව් දූපත යළි කරලියට ගෙනවිත් තිබිණි. ඒ තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට යවන ලද ලිපියකට අනුවය. එම ලිපියෙන් ජයලලිතා මහත්මිය ඉල්ලා තිබුණේ කච්චතිව් දූපත ආපසු ඉන්දියාවට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය. ජයලලිතාගේ මේ ඉල්ලීමට ඇත්තේද දිගු ඉතිහාසයකි. 1984 වර්ෂයේදී ඉන්දියාවේ විරෝධතා උත්සවයක්‌ පැවැත්විණි. එයට නිමිත්ත වී තිබුණේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දී විසිවසරක්‌ පිරීමය. එයට විරෝධය පෑමට මෙම උත්සවය සංවිධානය කර තිබිණි. කරුණානිධි, ඇම්. ජී. රාමචන්ද්‍ර යන අයගේ පක්‍ෂ පමණක්‌ නොව වෙනත් දෙමළ පක්‍ෂවල නියෝජිතයන්ද මෙම විරෝධතා උත්සවයට සහභාගි වී සිටියහ. මේ දිනවල මදුරාසියට ගොස්‌ සිටි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ හිටපු මන්ත්‍රී චාවකච්ෙච්රියේ ජී. ඇම්. නවරත්නම් හා යාපනයේ හිටපු මන්ත්‍රී වී. යෝගේස්‌වරම්ද මෙම විරෝධතා සමුළුවට සහභාගි වූහ. උග්‍ර එල්. ටී. ටී. ඊ. හිතවාදියකු වූ වයිකෝද මෙම සමුළුවට සහභාගි වී සිටි අතර එහිදී ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ඔහු පොඩි "හින්ට්‌" එකක්‌ ද ගැහුවේය. වයිකො සඳහන් කළේ "අපේ යාපනේ මිත්‍රයෝ ඒ දවස්‌වල පුවත්පත්වලට ප්‍රකාශයක්‌ කරමින් ලංකාවට කච්චතිව් ලැබීම ගැන සතුට පළ කර තිබුණා" යනුවෙනි.

එහිදී වහාම නැගී සිටි නවරත්නම් මහතා ඔහු අත තිබූ "සන්ඩේ ඔබ්සවර්" පුවත්පතේ ප්‍රකාශයක්‌ පෙන්වමින් අපි අපේ නායකයා එදා ප්‍රකාශ කළ දෙයින් අදත් වෙනස්‌වෙලා නැතැයි සඳහන් කළේය. චෙල්වනායගම් මහතාගේ ප්‍රකාශය එදා "ඔබ්සවර්" පුවත්පතේ පළවී තිබුණේ ණ්‌ජයජය්එසඩැ සි a ඡ්රඑ දෙ ඕමසක sරස ක්‌බන් යනුවෙනි. මෙය එදා සමුළුවේදී ප්‍රදර්ශනය කළ නවරත්නම් මහතා කීවේ අපි අපේ පෙඩරල් ප්‍රතිපත්තිය කිසිසේත් අතහැර හෝ වෙනස්‌ කර නැති බවය. අද උතුරේ දෙමළ නායකයන්ගේ කියුම් කෙරුම් හා මෙවැනි සිද්ධි අතර ඇති සබඳතාවයද අප හොඳින් වටහාගත යුතුය.

කෙසේ වුවද අපට දැන් ඇත්තේ අලුත් ආණ්‌ඩුවකි. අලුත් ආණ්‌ඩුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ජයග්‍රහණයෙන් පසු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ සියලු බේද පසෙකලා සම්මුතිවාදයෙන් රට දියුණු කරන්නට සූදානම් බවය. එය ඉතා වැදගත්ය. දේශපාලන වේදිකාවලදී එකිනෙකා මොන දේ ප්‍රකාශ කළත් ඒ සියල්ල තාවකාලිකය. දැන් අප සියල්ලෝම බලාසිටින්නේ නව පාර්ලිමේන්තුව රටත් ජනතාවත් වෙනුවෙන් කටයුතු කරන ආකාරයයි.

1948 දී නිදහස ලැබූ අප තවමත් ඉබි ගමනේ සංවර්ධනයට පියමනින රටකි. අපට පසු නිදහස ලැබු රටවල් අද දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුය.

පිරිසිදු ථෙරවාදී බුදුදහමෙන් පෝෂණය වී ඇති අපේ රට ලෝකයේ දියුණුම රටක්‌ ලෙස ඉදිරියට ගෙන යැමට බාධාවක්‌ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සියලු දෙනා එකට එකතුව වැඩ කිරීමය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහන් කරන අන්දමට සම්මුතිවාදයෙන් කටයුතු කිරීම යහපත් ප්‍රවේශයකි.

දැන් අප බලා සිටින්නේ ඒ අලුත් වැඩපිළිවෙළ දෙසය.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/08/21/feature.html

Pic Source

රාජ්‍ය සේවාව ජනතා සේවාවක්‌ කිරීමට යහපාලනයටවත් හැකිවේද?

ගෞරී ඉන්දීය මෝදි රජයේ කැබිනෙට්‌ටුවේ අමාත්‍යවරියකි. ඇය පසුගියදා අපේ රටේ කාන්තා සම්මේලනයක්‌ ඇමතීමට පැමිණියාය.

මගේ ජීවිතය පටන්ගත්තේ හෝටලයක පිඟන් සෝදන්නියක්‌ හැටියටයි. කොයි වෙලාවකවත් මගේ රස්‌සාව බාල පහත් රස්‌සාවක්‌ හැටියට හිතුවෙ නෑ. එයත් එක්‌ රස්‌සාවක්‌. පිඟන් ටික මම හරියට හේදුවා. පිඟන් බිඳී යන්නේ පිඟන් සෝදන අය අතින් යෑයි කීවත් මගේ අතින් එක පිඟානක්‌වත් බිඳුණේ නෑ. මම එය ඉතා සැලකිල්ලෙන් වගකීමෙන් කරගෙන ගියා. මගේ සේවය ගැන පැහැදුණු හෝටල් හිමියා මගේ පඩිය රුපියල් දහයකින් වැඩි කළා. ජීවිතය මම පටන් ගත්තෙ මෙහෙමයි. තමන් කරන වැඩේ කුමක්‌ වුවත් එය හරියට කරන්න මම නිතරම උනන්දු වුණා. මගේ ඒ ජීවන පැවැත්ම තමයි මාව කැබිනට්‌ ඇමැති ධුරය දක්‌වා ගෙනාවෙ. අදත් මම එහෙමයි. මම අද ජනතාවගෙන් ලොකු වැටුපක්‌ ගන්නවා. ජනතාව මට යාන වාහන - නිල නිවාස ආදි සියලු වරදාන ලබාදීල තියෙනවා. එහෙම මම ඒ වරදාන ලබා ගන්නෙ ජනතාවගෙන්. එහෙම නං මම බැඳී ඉන්නවා මගේ දවසේ මුළු කාලයම ජනතාව වෙනුවෙන් කැප කරන්න. මට දවසේ පැය විසිහතර මදි. අදත් මා ළඟට එන කිසිවකු මූණු පුළුටු කර ගෙන යන්නෙ නෑ. මගේ ඉදිරියේ කිසිම අයෙකුට හිටගෙන ඉන්න ඉඩ දෙන්නෙ නෑ. මා ළඟට කෙනකු පැමිණි ගමන් මම හුනස්‌නෙන් නැගිටල අමුත්තා අසුනක වාඩි කරවල ඉන්පස්‌සෙයි මම වාඩි වෙන්නෙ. මා ඉදිරියට එන්නෙ මාව ජීවත් කරවන මගේ ස්‌වාමිවරු ඒ අයට ගරු බුහුමන් දක්‌වල ඒ අය පැමිණි කාරණය ඉක්‌මනින් කරල දීල, පිටත් කිරීම මගේ වගකීමක්‌. මට දවසේ ලැබිය හැකි උපරිම සතුට හා වින්දනය තමයි මා ඉදිරියට එන අයට උපකාර කරල ඒ අයගෙ ගැටලු විසඳල දීල සිනාමුසු මුහුණින් ආපසු පිටත් කිරීම.

කාලයක්‌ හෝටලයේ පිඟන් සෝදල හොඳ වැඩකාරියක්‌ හැටියට නමක්‌ දිනාගත් ගෞරී දැන් ඇමැති මණ්‌ඩලයේ ක්‍රියා ශූර ඇමැතිවරියක්‌ හැටියටද කීර්තිමත් වී සිටී. ඊට පාදක වී ඇත්තේ ඇය සතුවී ඇති වැඩකිරීමේ ගුණයයි.

ජනතාව වෙනුවෙන් සේවය කරන්නට බැඳී සිටින අපේ රටේ බොහෝ රාජ්‍ය නිලධාරීන්ට නිලධාරිනීන්ට ගෞරීගේ චරිතාපදානය හොඳම පාඩමකි. අප සමග එකවර නිදහස ලබාගත් ඉන්දියාව අහස උසට දියුණු වන්නටත් අපේ රට අපායට ළංවන්නටත් හේතුවී ඇත්තේ අපේ රටේ රාජ්‍ය සේවාව තුළ කිඳා බැස ඇති ඈලි මෑලි මුස්‌පේන්තු ගතියයි. අපේ රටේ ද රටට හා ජනතාවට ආදරය ඇති රාජ්‍ය නිලධාරීන් නැතුවාම නොවේ. කලක්‌ අනුරපුර දිසාපති ලෙස සේවය කළ අමරහේවා මද්දුම මහතා ගෞරීගේ රාජ්‍ය සේවා ප්‍රතිපත්තිය අකුරටම අනුගමනය කළේය. ඔහුගේ නිල කාමරයට ඇතුළුවන දොරටුව ළඟ පාපිස්‌සක්‌ තබා තිබුණි. පයේ තැවරී තිබූ දූවිලි එම පාපිස්‌සේ පිසදාන ගමන්ම එතෙක්‌ ඔළුවේ කැකෑරෙමින් පැවැති විවිධ ප්‍රශ්න මනසින් මුදාහැර දිසාපති පුටුවට ගියේය. දිසාපති මේසය ඉදිරිපස තමන් වාඩිවී සිටින පුටුවට සමාන පුටු දෙකක්‌ තබා තිබිණ. තමා ළඟට එන සෑම මිනිසෙකු ම සිනාවකින් පිළිගෙන ඉදිරි පුටුවේ වාඩි කරවා ඔහුගේ ප්‍රශ්නයට ඉවසිල්ලෙන් කන් දුන්නේය. ඒ ප්‍රශ්නය ඔහුට විසඳිය හැකි ප්‍රශ්නයක්‌ වූයේ නම් කිසිදු පමාවක්‌ නැතිව අවශ්‍ය රාජකාරි කටයුතු කරදී පිටත් කරනු ලැබීය. ඔහුට විසඳිය නොහැකි ප්‍රශ්නයක්‌ නම් ඒ ප්‍රශ්නය විසඳා ගැනීමට යායුතු තැනත්, විසඳා ගන්නා ක්‍රමයත් ඔහුට කියාදී ඔහු නියමිත තැනට යවන්නේය. ඒ මිනිසා දිසාපතිවරයාගෙන් බැහැර වන්නේ මොන තරම් සතුටින්ද?

අදත් රජයේ කාර්යාලවලින් එබඳු නිහතමානී සේවාවක්‌ මහජනතාවට ලැබෙන්නේද? බොහෝ තැන්වලදී ප්‍රශ්න රැගෙන යන ජනතාව නිවටයෝය. මෝඩයෝය. කිසිවක්‌ කර කියා ගත නොහැකි මෝල්ලුය. රජයේ බොහෝ කළමනාකරුවන් තුළ පවත්වන්නේ මෙබඳු බමුණු කුලයේ ආකල්පයන්ය. අද රජයේ සේවකයන් විශේෂයෙන් කළමනාකරුවන් පත්ව සිටින්නේ ජනතාවට සේවය කරන්නට නොව දේශපාලකයන්ට සේවය කරන්නටය. නැතහොත් දේශපාලකයන් කියන දේ කරන්නටය. සැබවින්ම අද ඇත්තේ මහජන සේවයක්‌ නොව දේශපාලකයන් සඳහා පවත්වාගෙන යන සේවයකි. ඒ තරමටම රාජ්‍ය සේවාවේ අභිමානය, ගෞරවය, වගකීම, දියාරු වී ගොස්‌ තිබේ. දේශපාලකයා කියන්නේ කුමක්‌ද? රාජ්‍ය කළමනාකරුවන්ගේ දහමත්, ආයතන සංග්‍රහයත් වන්නේ එයයි. අද බොහෝවිට දෙපාර්තමේන්තුවල ප්‍රධානීන් පුටුවේ නැත. සොයා බැලුවොත් ඔවුන් දේශපාලකයා පිටුපස ගිය බව අසන්නට ලැබේ. දේශපාලකයා යන යන තැන බොහෝ විට ලේකම්වරයා ද දෙපර්තමේන්තු ප්‍රධානියාද ඔහුගේ අතවැසියන් පරිද්දෙන් දේශපාලකයා පසුපස ඇදී යයි. ඔහුගෙන් සේවය ලබා ගැනීමට ඔහුගේ කාර්යාලයට එන ජනතාව පැයගණන් රස්‌තියාදුවී සිට ඔහු නැති තැන ආපසු යති. ඊළඟ දවසේත් මහජනයාට බොහෝ විට සිදුවන්නේ මේ අන්දමට රස්‌තියාදු වීමටය. අභිමානවත් රාජ්‍ය සේවාව අද හෑල්ලු වී ඇති තරම?

අද රජයේ සේවයට පැමිණෙන බොහෝ අය තුළ ජනතාවට සේවය කිරීමේ ආකල්පයක්‌ ඇත්තේම නැත. දේශපාලකයා පත්වීමක්‌ දුන්නේය. ඒ අනුව කාර්යාලයට පැමිණෙන්නේය. පොත අත්සන් කරන්නේය. කැරකි කැරකී කාලය ගත කරමින් සිටින්නේය. අන්තිමට සවස තුන හතර වනවිට මාරුවී යන්නේය. රජයේ සේවය කියන්නේ මෙයට යෑයි මෑතකදී පත්වන බොහෝ අය සිතා සිටිති. අන්දරේ සිල් සමාදන් වීමට දැන සිටියේ නැත. "සිල් ගැනීම" ගැන පාඩම කියා දුන් ඔහුගේ බිරිඳ පන්සලට ගොස්‌ හාමුරුවන් කියන කියන දේ කියා සාදු කියන ලෙස අන්දරේට කියා දුන්නේය. අන්දරේ පාන්දරින්ම සිල් ගැනීම සඳහා සුදු රෙදිත් පොරවාගෙන පන්සලට ගියේය. හාමුදුරුවන් තවමත් දොර වසාගෙන නිදිය. අන්දරේ දොරට ගැසීය. හාමුදුරුවන් "මොකාද බොල"? යෑයි ඇසීය. අන්දරේ ද "මොකාද බොල?" යෑයි කීවේය. තෝ විහිළු කරනවාද? හාමුදුරුවන් කීය. අන්දරේ ද ඒ පදය කීවේය. තොට මගෙන් මොකවත් ඕනෑද? හාමුදුරුවන් කීය. අන්දරේද ඒ කතාව කීවේය. අන්තිමට හාමුදුරුවන් දොර ඇරගෙන මෝල්ගසත් රැගෙන මොහු පාරේ එළවන්නට විය. අන්දරේ සිල් ගත්තේ ඒ අන්දමටය. වර්තමානයේ අලුතෙන් පත්වන රාජ්‍ය සේවකයන් ද බොහෝ විට අනුගමනය කරන්නේ අන්දරේ සිල්ගත් ක්‍රමයයි. කාර්යාලයේ ස්‌වභාවය, පළපුරුදු අය සේවය කරන අන්දම මෙවැනි දේ දකින අසන ආධුනික රජයේ සේවකයන් අන්දරේ සිල්ගත් ආකාරය අනුගමනය කරති. ඒ සේවා රටාව නිසා ජනතාවගේ ප්‍රශ්න කාර්යාලයීයේ ලිපිගොනු තුළ කැකෑරෙමින් පවතී. කාර්යාලීය සේවකයන් කාලය ගෙඩිය පිටින්ම ගිල දමා හැන්දෑවට ගෙදර යති.

අද රාජ්‍ය සේවාව යම් යම් අයට රැකියා සපයන ආයතනයක්‌ මිස ජනතාවට සේවය කරන ආයතනයක්‌ නොවේ. මේ තරමටම අද රාජ්‍ය සේවාව අභිමානයෙන් ගිලිහී ගොස්‌ රක්‍ෂා සපයන ආයතනයක්‌ පමණක්‌ බවට පත්වී ඇත.

සුද්දාගේ කාලයේදී ලිපියක්‌ ලියා අවසන් කළේ "ඔබේ යටහත් සේවක" යන පදය අගට යෙදීමෙනි. මේ යටහත් සේවක යෑයි රජයේ සේවකයා කීකරු වන්නේ මහජනතාවටය. නමුත් අද එවැන්නක්‌ අහන්නවත් නැත. අද රාජ්‍ය සේවයේ සිටින සුළු සේවකයාගේ පටන් ලේකම්වරයා දක්‌වා වූ හැමදෙනාම "යටහත් සේවක" යෑයි දෙකට තුනට නැමෙන්නේ දේශපාලකයාටය. රාජ්‍ය සේවයේ යෙදී සිටින බොහෝ කළමනාකරුවන්ගේ කොන්ද බිඳී ගොස්‌ ඇත. මහජනයා රජයේ කළමනාකරුවන් ඉදිරියේ නිවටයෝය. රජයේ කළමනාකරුවන් දේශපාලකයන් ඉදිරියේ නිවටයෝය.

මේ රටේ රාජ්‍ය භාෂාව සිංහලය. නමුත් රජයේ කළමනාකරුවන් බොහෝවිට කියන්නේද කරන්නේද ලියන්නේද ඉංගී්‍රසි භාෂාවෙනි. රජයේ සේවකයා මේ තරම් ඉංගිරිසියට ගැතිවූ යුගයක්‌ සුද්දා කාලයේදීවත් තිබුණේ නැත. 

රාජ්‍ය සේවයේ කළමනාකරණ මට්‌ටමේ සිටින බොහෝ අය බමුණුකුලයට අයත් වෙති. ඔවුන් අතර කේවට්‌ටලා, දේවින්දලා ගෝවින්දලා බහුලය. මහෞෂධවරු සිටින්නේ ඉතාමත් කලාතුරකිනි. දේශපාලකයන්ට කේලාම් කියාගෙන පුටුව රැකගෙන මල්ල පුරෝ ගන්නා කේවට්‌ට රාළලා බොහෝ සේ සිටිති. රට පස්‌සටය. ජනතාව මුල්ලටය. දේශපාලකයන් සහ කේවට්‌ට රාළලා පෙරමුණේ ගමන් කරති. 

මුගටියා අඳු ගසේ නිතරම දැවටෙන්නාක්‌ මෙන් උතුරු මැද පළාතේ එක්‌ අමාත්‍යාංශ ලේකම්වරයකු නිරන්තරයෙන්ම ඇමැතිවරයා වටේ දැවටෙන්නට විය. ඇමැතිවරයා නිල කාමරයට ගිය ගමන් ලේකම්වරයා ද පසුපසින් ගොස්‌ එකත් පස්‌සව හිට ගනී.

ඇයි. ඇමැතිවරයා විමසයි.

ඔව් සර්....

මං අහන්නේ ආවේ ඇයි කියලා

නිකං ආවා සර්.

නිකං ආව නම් නිකං නොඉඳ ගිහිං වැඩක්‌ බලාගන්න. ඇමැතිවරයා කීය. තවදුරටත් මේ ගැන සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ අදාළ ලේකම්වරයා තවමත් සිය තනතුරට සුදුසුකම් සපුරා නැති බවය. කේවට්‌ට බමුණන් බිහිවන්නේ මෙවැනි අයගෙනි.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2015/08/22/feature02.html

Pic Source