Pages

Wednesday, August 26, 2015

සම්මුතිය අබියස

තීරණාත්මක මැතිවරණයක්‌ නිමා විය. මැතිවරණයෙන් පසුව ලියන ප්‍රථම සිකුරු දැක්‌ම මෙයයි. ඉකුත් මැතිවරණ සමයේදී දේශපාලන වේදිකාවල මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තයෙන්ද වාර්තා වූ සිද්ධීන් කීපයක්‌ ඔබේ අවධානයට යොමු කිරීම මේ ලිපියේ අරමුණයි.

එල්. ටී. ටී. ඊ. හිතවාදියකු වූ ශිවාජිලිංගම්, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයෙන් තරග වැදුනේ එජනිස කණ්‌ඩායම් නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිවය. මහින්ද රාජපක්‍ෂ මහතා මනාප ඡන්ද ලක්‍ෂ 4 ක්‌ ද ඉක්‌මවා ජයගනු ලැබුව ද ශිවාජිලිංගම්ට ලබාගත හැකි වූයේ මනාප 9 ක්‌ පමණි. අපේ සිංහල සාහිත්‍යයේ ගුත්තිල මූසිල වාදය තරගය අපට සිහියට එන්නේ මෙවන් අවස්‌ථාවලය. මෙරට ජනතාවට මැතිවරණ රැස්‌වීමක්‌ තබා මළගමකට වත් නිදහසේ ගමන් කරන්නට ඉඩක්‌ නොතිබූ යුගය අවසන් කරනු ලැබුයේ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙනි. ඔහු ඇතුළු එවකට රජය ස්‌ථාපිත කළ සාමය හා සමගිය සහිත වූ ජනසමාජයේ ඔහුට එරෙහිව ඡන්ද සටනට පැමිණි සිවාජිලිංගම් "මූසිලයෙකි" එදා මූසිලට අත් වූ ඉරණම මෙදා සිවාජිලිංගම්ටද අත්කර දී ඇත.

පසුගිය මැතිවරණය පුරාවටම අපේ ඇතැම් දේශපාලනඥයන් අඳ බිහිරි ගොළුවන් සේ කළ කී දේ තමන්ටම පාරාවළල්ලක්‌ වේ යෑයි නොසිතන්නට ඇත. විශේෂයෙන් අද මාධ්‍ය තුළ නිතර කතාබහ කෙරෙන "අප්පච්චි මළෝ" කණ්‌ඩායමට අත්වූ ඉරණමද එවැන්නකි. එමෙන්ම මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයට ආවොත් අපි පරදිනවා යෑයි කියූ එස්‌. බී. දිසානායක පරදවන්නටද ජනතාව තීන්දු කර ඇති බව ප්‍රතිඵලවලින් සනාථ විය. ඔහු පරාජයට පත් වී ඇත්තේ නවකයන් කීපදෙනකු ඔහු ලබාගත් මනාප ප්‍රමාණයට වඩා කීප ගුණයකින් ජයග්‍රහණය කරවමින් වීමද වැදගත් කාරණයකි.

මැතිවරණ සමයේ කුරුණෑගල එස්‌. බී. නාවින්න මහතා එහි වේදිකාවකදී සඳහන් කළේ පසුගිය ජනවාරි 8 දා ශ්‍රීලනිප ලේකම්ට පැරදුන රාජපක්‍ෂ මෙදා ශ්‍රීලනිප භාණ්‌ඩාගාරිකට පරදින බවය. මැතිවරණ ප්‍රතිඵලවලට අනුව රාජපක්‍ෂ මහතාට වඩා බොහෝ සෙයින් අඩු මනාප ලැබ දියවන්නාවෙන් ගොඩවන්නට වරම් ලැබූ නාවින්න මහතාට මේ වන විට පක්‍ෂයේ භාණ්‌ඩාගාරිකකම අහිමිව ඇත. එමෙන්ම මෙම රැස්‌වීමේදී නාවින්න මහතා කළ තවත් ප්‍රකාශයක්‌ මෙම ලිපියේ සාකච්ඡා කිරීම වටිනවා යෑයි සිතමි. ඔහු සඳහන් කළේ බෙන්තර ගඟෙන් එගොඩ සිට ඇස්‌ නොඇරි බළල් පැටියෙක්‌වත් ගෙන නොඑන්නැයි අපේ පැරැණි ප්‍රස්‌ථාපිරුලක්‌ ඇති බවත් හම්බන්තොටින් කුරුණෑගලට සංක්‍රමණය වූ මහින්ද රාජපක්‍ෂ මෙවර ලබන්නේ දරුණු පරාජයක්‌ බවත්ය.

නාවින්න මහතාගේ ඉහත ප්‍රකාශය අනුව පෙනී යන්නේ ඔහු හිතාමතාම හෝ නොදැනුවත්කමින් හෝ සමකාලීන ඉතිහාසය විකෘති කර ඇති බවය. මේ ඉතිහාසයටත් වඩා අප අවධානය යොමු කළ යුතු වන්නේ බෙන්තර ගඟෙන් එගොඩ සිට පැමිණි මහින්ද රාජපක්‍ෂ මහතා කුරිරු ත්‍රස්‌තවාදය විනාශ කර රටට සාමය උදාකිරීම එස්‌. බී. නාවින්න මහතා අමත කර දමා ඇත්තේ ද්වේෂයෙන් විය හැකිය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උපත සිදු වූයේද කුරුණෑගල මාවතගම ඡන්ද කොට්‌ඨාසයේ පිහිටි ශ්‍රී නිශ්ශංක මහතාගේ තිරගම වත්තේ බංගලාවේදීය. එහි ප්‍රථම රැස්‌වීමට සහභාගි වූයේ එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක, ශ්‍රී නිශ්ශංක හා අදත් ජීවතුන් අතර සිටින හිටපු අගමැති දි. මු. ජයරත්න මහතා ඇතුළු ප්‍රගතිශීලී නායකයන් කීපදෙනෙකි.

ශ්‍රී නිශ්ශංක මහතා බලපිටියේ උපන්නෙකි. ශ්‍රී ලංකාවේ අද්විතීය ගණයේ නීතිඥවරයකු වූ ඔහු සල්ගල ආරණ්‍ය පිහිටවූ ශ්‍රේෂ්ඨ බෞද්ධයෙකි. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයට කුරුණෑගල ආසනය නියෝජනය කරමින් තරග කර විශිෂ්ට ජයක්‌ ලබා ගත්තේය. නාවින්න මහතා මේ ප්‍රකාශය කරන විට වේදිකාවේ එජාපෙ නායක රනිල් වික්‍රමසිංහ මහතාද සිට ඇත. වික්‍රමසිංහ මහතාටද බෙන්තර ගඟෙන් එහා සම්බන්ධයක්‌ ඇති බව නාවින්න මහතාට අමතක වූවා හෝ ඒ ගැන නොදැන සිටියා විය යුතුය. කෙසේ වුවද කට ඇති පලියට මෙවැනි ප්‍රකාශ කරන දේශපාලනඥයන් මේ උත්සාහ කරන්නේ යළිත් මෙරට උඩරට පහතරට බේදයක්‌ ඇතිකරන්නට දැයි අපට ඇත්තේ සැකයකි. අපේ රටට තිබෙන ප්‍රශ්න හොඳටම ඇතිය. බල තණ්‌හාවට රටට හෙණ ගැහුවත් කමක්‌ නෑ යෑයි සිතාගෙන කටයුතු කරන මෙවැනි දේශපාලනඥයන් පිළිබඳව අප අවදියෙන් සිටිය යුතුය.

මේ අතරේ පසුගිය කාලයේ කච්චතිව් දූපත යළි කරලියට ගෙනවිත් තිබිණි. ඒ තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා ජයරාම් ඉන්දීය අගමැතිවරයාට යවන ලද ලිපියකට අනුවය. එම ලිපියෙන් ජයලලිතා මහත්මිය ඉල්ලා තිබුණේ කච්චතිව් දූපත ආපසු ඉන්දියාවට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවය. ජයලලිතාගේ මේ ඉල්ලීමට ඇත්තේද දිගු ඉතිහාසයකි. 1984 වර්ෂයේදී ඉන්දියාවේ විරෝධතා උත්සවයක්‌ පැවැත්විණි. එයට නිමිත්ත වී තිබුණේ කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා දී විසිවසරක්‌ පිරීමය. එයට විරෝධය පෑමට මෙම උත්සවය සංවිධානය කර තිබිණි. කරුණානිධි, ඇම්. ජී. රාමචන්ද්‍ර යන අයගේ පක්‍ෂ පමණක්‌ නොව වෙනත් දෙමළ පක්‍ෂවල නියෝජිතයන්ද මෙම විරෝධතා උත්සවයට සහභාගි වී සිටියහ. මේ දිනවල මදුරාසියට ගොස්‌ සිටි ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ හිටපු මන්ත්‍රී චාවකච්ෙච්රියේ ජී. ඇම්. නවරත්නම් හා යාපනයේ හිටපු මන්ත්‍රී වී. යෝගේස්‌වරම්ද මෙම විරෝධතා සමුළුවට සහභාගි වූහ. උග්‍ර එල්. ටී. ටී. ඊ. හිතවාදියකු වූ වයිකෝද මෙම සමුළුවට සහභාගි වී සිටි අතර එහිදී ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ට ඔහු පොඩි "හින්ට්‌" එකක්‌ ද ගැහුවේය. වයිකො සඳහන් කළේ "අපේ යාපනේ මිත්‍රයෝ ඒ දවස්‌වල පුවත්පත්වලට ප්‍රකාශයක්‌ කරමින් ලංකාවට කච්චතිව් ලැබීම ගැන සතුට පළ කර තිබුණා" යනුවෙනි.

එහිදී වහාම නැගී සිටි නවරත්නම් මහතා ඔහු අත තිබූ "සන්ඩේ ඔබ්සවර්" පුවත්පතේ ප්‍රකාශයක්‌ පෙන්වමින් අපි අපේ නායකයා එදා ප්‍රකාශ කළ දෙයින් අදත් වෙනස්‌වෙලා නැතැයි සඳහන් කළේය. චෙල්වනායගම් මහතාගේ ප්‍රකාශය එදා "ඔබ්සවර්" පුවත්පතේ පළවී තිබුණේ ණ්‌ජයජය්එසඩැ සි a ඡ්රඑ දෙ ඕමසක sරස ක්‌බන් යනුවෙනි. මෙය එදා සමුළුවේදී ප්‍රදර්ශනය කළ නවරත්නම් මහතා කීවේ අපි අපේ පෙඩරල් ප්‍රතිපත්තිය කිසිසේත් අතහැර හෝ වෙනස්‌ කර නැති බවය. අද උතුරේ දෙමළ නායකයන්ගේ කියුම් කෙරුම් හා මෙවැනි සිද්ධි අතර ඇති සබඳතාවයද අප හොඳින් වටහාගත යුතුය.

කෙසේ වුවද අපට දැන් ඇත්තේ අලුත් ආණ්‌ඩුවකි. අලුත් ආණ්‌ඩුවේ අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීමට නියමිතය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව ජයග්‍රහණයෙන් පසු කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ සියලු බේද පසෙකලා සම්මුතිවාදයෙන් රට දියුණු කරන්නට සූදානම් බවය. එය ඉතා වැදගත්ය. දේශපාලන වේදිකාවලදී එකිනෙකා මොන දේ ප්‍රකාශ කළත් ඒ සියල්ල තාවකාලිකය. දැන් අප සියල්ලෝම බලාසිටින්නේ නව පාර්ලිමේන්තුව රටත් ජනතාවත් වෙනුවෙන් කටයුතු කරන ආකාරයයි.

1948 දී නිදහස ලැබූ අප තවමත් ඉබි ගමනේ සංවර්ධනයට පියමනින රටකි. අපට පසු නිදහස ලැබු රටවල් අද දියුණු තත්ත්වයට පත්ව ඇත්තේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුය.

පිරිසිදු ථෙරවාදී බුදුදහමෙන් පෝෂණය වී ඇති අපේ රට ලෝකයේ දියුණුම රටක්‌ ලෙස ඉදිරියට ගෙන යැමට බාධාවක්‌ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ සියලු දෙනා එකට එකතුව වැඩ කිරීමය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සඳහන් කරන අන්දමට සම්මුතිවාදයෙන් කටයුතු කිරීම යහපත් ප්‍රවේශයකි.

දැන් අප බලා සිටින්නේ ඒ අලුත් වැඩපිළිවෙළ දෙසය.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/08/21/feature.html

Pic Source

0 comments: