Pages

Saturday, August 29, 2015

පළමු ආණ්ඩුව පිහිටුවීම - අතීතයෙන් කතාවක්‌

අපේ රටේ බොහෝ දේ අදට වඩා හොඳින් අතීතයේදී ක්‍රියාත්මක වී ඇති බව ඉතිහාසය පරිශීලනය කිරීමේදී පැහැදිලිය. ආර්ථික, සමාජයීය, සංස්‌කෘතික, සෞඛ්‍යය, මෙන්ම දේශපාලනික වශයෙන්ද අතීත කරුණු සලකා බැලීමේදී ඒ සියල්ල අදට වඩා ගුණාත්මක බවින් දියුණු තත්ත්වයක තිබූ බව අවබෝධ කරගත හැකිය.

අද අපේ රටේ ක්‍රියාත්මක වෙමින් තිබෙන දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අතීතයේද මේ තත්ත්වය මීට වඩා ගුණාත්මකව පැවැති බව පෙනේ. එදාද පක්‍ෂ විපක්‍ෂ එක්‌ව ආණ්‌ඩු කර ඇති අතර "දිය යටින් ගින්දර ගෙන යැමට" වඩා සෘජු ප්‍රතිපත්තියක සිට කටයුතු කළ බව පෙනෙන්නට ඇත. අද අපි මේ ලිපියෙන් උත්සාහ දරා ඇත්තේ අතීතයේ දේශපාලන ක්‍රියාකාරකම් විමර්ශනය කරමින් එයින් අද අපේ සමාජයට යම් අවබෝධයක්‌ ලබා දෙන්නටය.

අපේ රට යටත් විජිතයක්‌ව පැවැති අවධියේ සෝල්බරි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව හා ඊට අනුබද්ධව සම්මත කර ගන්නා ලද ලංකා නිදහස්‌ ව්‍යවස්‌ථාව රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී විවාදයට ගත් අවස්‌ථාවේ ඊට විරුද්ධව ඡන්දය දුන්නේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරු තිදෙනකු පමණි. මන්ත්‍රණ සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. ඒ මන්ත්‍රීවරුන් වූයේ බිබිලේ විජයානන්ද දහනායක, හැටන් නතේෂ අයියාර් හා පත්කළ මන්ත්‍රී ඇක්‌ස්‌ පී. ෆයිවා යන මහත්වරුන්ය. එකල වාමාංශික මන්ත්‍රීවරුන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හිටියේ නැත. හිටියේ අතුරු මැතිවරණයකින් ජය ගත් දහනායක මහතා පමණි. මෙම පනතට සහාය ලබා ගැනීමට උතුරේ දෙමළ මන්ත්‍රීවරුන් එකතු කර ගැනීමට ඇමැති මණ්‌ඩලයට හැකි විය. ඔවුන් සහයෝගය දැක්‌වූයේ යම් යම් කාරණා යළි සලකා බැලිය යුතුය යන කොන්දේසිය මතය.

කෙසේ වුවද එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශපාලන පක්‍ෂ ක්‍රියාත්මක වූයේ නැත. වාමාංශික පක්‍ෂ නීති විරෝධී පක්‍ෂ ලෙස නම්කර තිබුණි. සිංහල මහ සභාව හා ජාතික සංගමය පිහිටුවා තිබුණද ඒවායේ ක්‍රියකාරිත්වයද දියාරු මට්‌ටමක තිබූ බව පෙනෙන්නට තිබිණි. ඒ බව පැහැදිලි වන්නේ ඇතැම් මන්ත්‍රීවරු ජාතික සංගමය හා සිංහල මහ සභාව නියෝජනය කළද රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ඒ පිළිබඳ තැකීමක්‌ නොකිරීමය. ජී. ජී. පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ සංගමයට සිටියේද එක්‌ මන්ත්‍රීවරයකු පමණි.

එදා සම්මත කර ගත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක වීමට නම් දේශපාලන පක්‍ෂ ක්‍රමය අනිවාර්ය විය. මේ අනුව එදා ඇමැති මණ්‌ඩලයේ සිටි ඩී. ඇස්‌. සේනානායක මහතා (සභානායක) එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා (සිංහල මහ සභාව) ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා (ලංකා ජාතික සංගමය) යන මේ තිදෙනා නව පක්‍ෂයක්‌ බිහි කිරීමට එකඟ වූහ. ඒ අනුව 1946 සැප්තැම්බර් මාසයේදී කුරුඳුවත්තේ ෆාම් කෝට්‌ මන්දිරයේදී රැස්‌ වී එක්‌සත් ජාතික පක්‍ෂය නමින් නව පක්‍ෂයක්‌ පිහිටුවා ගනු ලැබිණි. මෙම පක්‍ෂයට උතුරේ මන්ත්‍රීවරුන් කීප දෙනකුද සම්බන්ධ කර ගන්නා ලදී. මේ අනුව යාපනයේ අරුණාචලම් මහදේව (එවකට ස්‌වදේශ ඇමැති) මහතා කන්කසන්තුරේ ඇස්‌. නඩේෂන් මහතා සහ ජගනාදන් ත්‍යාගරාජා යන මහත්වරු එජාපයේ ආරම්භක දෙමළ සාමාජිකයෝ වූහ. මේ අතර ලංකා මුස්‌ලිම් ලීගයේ නායක පත්කළ මන්ත්‍රී ටී. බී. ජයා මහතාද ලංකා යෝනක සංගමයේ නායක පත්කළ මන්ත්‍රී ඒ. ආර්. ඒ. රාෂික්‌ මහතාද එජාපයට පත්වූ පළමු මුස්‌ලිම් ජාතිකයෝ වූහ. ඉන් පසුව පැවැති මැතිවරණය සඳහා තනි විපක්‍ෂයක්‌ ලෙස එජාපය කඩිමුඩියේ අපේක්‍ෂකයන් තෝරා ගැනීමට කටයුතු කළේය. මේ අවස්‌ථාවේදී ඩී. එස්‌. සේනානායක මහතා හා එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා අතර මතබේද ඇති විය. එවකට හම්බන්තොට මන්ත්‍රීවරයා වූයේ උග්‍ර බණ්‌ඩාරනායක අනුගාමිකයකු වූ ඩී. ඒ. රාජපක්‍ෂ මහතාය. ඔහු අලුතින් නම් කරනු ලැබූ බෙලිඅත්ත මැතිවරණ කොට්‌ඨාසයට තරග කරන බව දැනුම් දී තිබුණි. එහෙත් ඩී. එස්‌. සේනානායක මහතා බෙලිඅත්ත අසුනට ඩී. පී. අතපත්තු මහතා පත් කළ යුතු යෑයි තීරණය කර තිබුණි. උඩුගම ආසනය සඳහාද අපේක්‍ෂකයන් පත් කිරීමේදී මෙවැනිම මතබේද ඇතිවිය. උඩුගම අසුනට ඩී. එස්‌. ගුණසේකර මහතා පත් කළ යුතු බව බණ්‌ඩාරනායක මහතා සඳහන් කරද්දී ඩී. එස්‌. සේනානායක මහතා හෙට්‌ටිආරච්චි නම් අයෙකු නම් කළේය. දෙපාර්ශ්වයේ මෙම මතබේදය උග්‍ර වීම නිසා බෙලිඅත්ත, වැලිගම, උඩුගම හා ජාඇල යන මැතිවරණ කොට්‌ඨාස විවෘත අසුන් ලෙස නම් කිරීමට දෙපාර්ශ්වයම එකඟ විය. කෙසේ වුවද බෙලිඅත්ත ඩී. ඒ. රාජපක්‍ෂ මහතා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයගත් අතර යාබද පිහිටි හම්බන්තොට අසුනද ලක්‍ෂ්මන් රාජපක්‍ෂ මහතා ජයගත්තේය.

මෙසේ පැවැති උණුසුම් මැතිවරණයේදී එජාපයට ජයගත හැකි වූයේ මුළු ආසන 95 න් ආසන 42 ක්‌ පමණි. මෙම මැතිවරණයේදී වාමාංශික පක්‍ෂ ආසන 20 ක්‌ද ලංකා ඉන්දියානු සංගමය ආසන 7 ක්‌ හා ලංකා දෙමළ සංගමය ආසන 7 ක්‌ද දිනා ගත්තේය. ඉතිරි ආසන ස්‌වාධීන කණ්‌ඩායම් විසින් දිනාගෙන තිබිණි. මෙම මැතිවරණයේදී එජාපය නියෝජනය කළ ඇමැතිවරු තිදෙනෙක්‌ම පරාජයට පත්වී සිටියහ. එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඇමැති මණ්‌ඩලය 10 කට සීමා විය. සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ ජෝර්ඡ් ඊ. ද සිල්වා මහතා මහනුවර ජය ගත්තේ වැඩි ඡන්ද 205 කිනි. ඡන්ද පෙත්සමක්‌ ඉදිරිපත් වීමෙන් ඔහුට එම අසුනද අහිමි විය.

මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ අද මෙන් එදාද තනි පක්‍ෂයකට රජයක්‌ පිහිටුවිය නොහැකි විය. එජාපය ලංකා ඉන්දියානු සංගමය හා ලංකා දෙමළ සංගමය එකතු කරගෙන රජයක්‌ පිහිටුවීමට උත්සාහ දරන අතරේදී වාමාංශික පක්‍ෂ හා ස්‌වාධීන මන්ත්‍රීවරු ශ්‍රී නිශ්ශංක මහතාගේ වැල්ලවත්ත පිහිටි යමුනා නිවසට එකතු වී රජයක්‌ පිහිටුවීමට සාකච්ඡා ආරම්භ කළේය. එහෙත් වාමාංශික මන්ත්‍රීවරුන් පිරිසක්‌ ස්‌වාධීන මන්ත්‍රීවරුන් සමඟ රජයක්‌ පිහිටුවීමට එකඟ නොවූ නිසා එම සාකච්ඡා අසාර්ථක විය. අවසානයේදී ඩී. එස්‌. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයක්‌ පිහිටු වූ අතර එම රජයේ කථානායක ලෙස එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා පත්කර ගැනිණි.

නව පාර්ලිමේන්තුවේ පළමු පනත වූයේ පුරවැසි පනතය. මෙම පනත සාකච්ඡාවට ගනිද්දී ලංකා ඉන්දියානු සංගමය එජාප විරෝධී වාමාංශික හා ස්‌වාධීන මන්ත්‍රීවරුන් සමඟ එක්‌ව කටයුතු කළේය. එයට හේතු වූයේ ඉන්දියානු සම්භවයක්‌ ඇති අයගේ ඡන්ද බලයට මෙම පනතින් දැඩි සීමා පැනවීමය. මේ වන විට ලංකා දෙමළ සංගමය රජයට සම්බන්ධ වී සිටියේය.

මේ පනතට විරුද්ධව වාමාංශික හා ස්‌වාධීන මන්ත්‍රීවරු 20 ක්‌ ඡන්දය පාවිච්චි කළහ. එසේ විරුද්ධ වූ මන්ත්‍රීවරු වූයේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, සෝමවීර චන්ද්‍රසිරි, රොබට්‌ ගුණවර්ධන, කුසුමා ගුණවර්ධන, හෙන්රි පීරිස්‌, කිලිනොච්චියේ පෙරේරා, චම්ලි ගුණවර්ධන, විලියම් සිල්වා, ඩබ්ලිව්. දහනායක ප්‍රේමලාල් කුමාරසිරි, හැරී අබේගුණවර්ධන, ලක්‍ෂ්මන් රාජපක්‍ෂ, ජී. නිශ්ශංක, ජී. බී. සුබසිංහ, අයි. ඇම්. ආර්. ඊ. ඊරියගොල්ල, ඡේ. සී. ජී. කොතලාවල, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රෙජී පෙරේරා, ක්‌ලොරන්ස්‌ බස්‌නායක සහ ඩී. එස්‌. හෙට්‌ටිආරච්චිය.

මේ අතර ලංකා දෙමළ සංගමයේ ඇස්‌. චෙල්වනායගම්, සී. වන්නියසිංහම් යන මන්ත්‍රීවරුද පාර්ලිමේන්තුවේ නියෝජනය කළ දෙමළ සංගමයෙන් ඉල්ලා අස්‌වී ෆෙඩරල් පක්‍ෂය පිහිටුවා ගන්නා ලද්දේය. ජී. සුන්දරලිංගම් මහතා ඇමැති මණ්‌ඩලයෙන් අස්‌වී ඊළාම් රාජ්‍යයක්‌ අවශ්‍ය බව සඳහන් කරමින් නව ව්‍යාපාරයක්‌ ආරම්භ කළේය.

මේ තත්ත්වය මෙසේ ඇදී යද්දී 1951 එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා ඇතුළු පිරිස රජයෙන් ඉවත් වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ආරම්භ කළේය. එය ප්‍රජාතන්ත්‍රවාදී විපක්‍ෂයක උපත ලෙස සැලකේ.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/08/28/feature.html

Pic Source

0 comments: