Pages

Monday, August 3, 2015

ජාතික ලැයිස්‌තුව කා සඳහා ද?

ජනතා පරමාධිපත්‍යය පාලන තන්ත්‍රයේ අරටුවයි. පාර්ලිමේන්තුවට තේරී පත්වන හැම ජනතා නියෝජිතයෙක්‌ම ජනතාවගේ වැඩි කැමැත්ත මත පාර්ලිමේන්තුවට යෑවෙයි. එහෙත් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් වන වැඩි දෙනෙකුට ජනතා ප්‍රසාදයවත් කැමැත්තවත් නැත.

පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීමේදී ජාතික ලැයිස්‌තුවෙන් ද කීපදෙනෙකු තෝරා ගැනීමක්‌ නිර්දේශ කර ඇත්තේ රටේ ප්‍රබුද්ධ උගත්, සම්භාවනීය චරිත කීපයක්‌ එයට සහභාගි කරවා ගැනීමේ අරමුණින් නම් එහි සාධාරණකමක්‌ හා වටිනාකමක්‌ වෙයි. එහෙත් ජාතික ලැයිස්‌තුවෙන් මන්ත්‍රීවරුන් නම් කිරීමේදී එම යහපත් අරමුණු නොසලකා හැර ඇති බවක්‌ දක්‌නට ලැබේ. ඒ නිසා සුදුස්‌සාට සුදුසුකම නොලැබීමේ යැමක්‌ සිදුවන අතර, නුසුදුස්‌සා එතැනට පත් විමක්‌ සිදුවන බවක්‌ පෙනෙයි.

ජාතික ලැයිස්‌තුවෙන් තේරී පත්වන නියෝජිතයාට ජනතාව පැත්තෙන් බැඳීමක්‌ හෝ වගකීමක්‌ නැත. ඒ නිසා ඒ අයගෙන් ජනතා අපේක්‍ෂාවක්‌ ඉටුවේද යනු සිතිය නොහැකිය.

පාර්ලිමේන්තුවට මහජන නියොජිතයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය සකස්‌ කරන්නට ඇත්තේ දේශපාලන විද්‍යාව කෙරෙහි පැසුණු මණ්‌ඩලයක්‌ විසින් විය හැකිය. ඒ නිසා එම ක්‍රමය විවේචනය කිරීමේ ශක්‌තියක්‌ අපට නැති විය හැකිය. එහෙත් ගෙවී ගිය කාලය මුළුල්ලේ ජාතික ලැයිස්‌තුවෙන් පත් වූ පිරිසගෙන් වැඩි කොටසකගෙන් රටට වූ යහපතක්‌ ගැන දක්‌නට නැත.

පාර්ලිමේන්තුවට නියෝජිතයන් නම් කිරීම හෙවත් මහජන මැතිවරණයකට ඉදිරිපත් වන පුද්ගලයා තුළ විය යුතු උගත්කම විශාරදත්වය පිළිබඳව සොයා නොබැලීමේ අඩුවක්‌ දක්‌නට ඇතත්, කිසිදු අධ්‍යාපන සහතිකයක්‌ නොලත් ජනතා නියෝජිතයන් අතර අති දක්‍ෂයන් ද වු අවස්‌ථා දක්‌නට ලැබේ.

වත්මන් ක්‍රමය යටතේ ආර්ථික පොහෝනා බවක්‌ නොමැති උගතකුට වුවද මහජන මැතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය. මැතිවරණ සටන වූ කලී මුදල් සමඟ කෙරෙන අරගලයක්‌ බැවිනි.

ප්‍රදේශයක්‌ සඳහා මහජන නියෝජිතයකු තෝරා ගන්නේ පක්‍ෂ නායකත්වයේ ඕනෑකමට හා කැමැත්තට මිස ඒ ආසනයේ බහුවිධ පිරිසකගෙන් විමසා බැලීමක්‌ නොවේ. ඒ නිසා පක්‍ෂ නායකයා නම් කෙරෙන පඹයකුට වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාවට සිදුවේ. යටත් පිරිසෙයින් ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට නම් කරන පුද්ගලයා එතෙක්‌ මේ රටට - සමාජයට කළ මෙහෙවර ගැනවත් තක්‌සේරුවක්‌ කර බැලීමේ ක්‍රමයක්‌ වෙතොත් එය ද නරක නැත.

දේශපාලනයට නුසුදුසු පුද්ගලයන්ට පවා ජනතා කැමැත්ත හෙවත් වැඩි ඡන්ද ගණනක්‌ ලබා ගත හැකි වන්නේ එය මුදල් බලය මත හා මැරවර බලය ප්‍රමුඛව කෙරෙන සටනක්‌ බැවිනි.

මහජනතාවගෙන් වැඩි දෙනෙකුට ගැඹුරු දේශපාලන දර්ශනමය හැඟීමක්‌ නැත. ඒ අය බොහෝ විට ඒ මොහොතේදී ලබන 'වාසිය' මත කැමැත්ත අලෙවි කරන බවක්‌ පෙනේ. රටේ ජනතාවගෙන් කොටසක්‌ දන්නා හඳුනන පුද්ගලයා තෝරා ගනි. තව සමහර කෙනෙක්‌ තමා ලබා ඇති පක්‍ෂයේ සාමාජිකත්වය මත කැමැත්ත පළ කරති. තවත් පිරිසක්‌ ආර්ථික වාසිය පමණක්‌ සලකා ඡන්දය විකුණති.

ජාතික ලැයිස්‌තුවෙන් 'වරම' ලැබෙන්නේ එය ලැබිය යුත්තාට නොවන බව කාලය විසින් සනාථ කර ඇත. හැම අතින්ම විශාරදත්වය පමණක්‌ නොව ජනතා ප්‍රණාමය ද ලද බොහෝ දෙනෙක්‌ එතෙක්‌ කළ සේවයට අගැයීමක්‌ නොමැතිව මියගියහ. ඒ අයගේ නාම ලේඛනයක්‌ මේ ලිපිනයට ඇතුළු කළ නොහැක්‌කේ හේතු කීපයක්‌ නිසාය.

මේ රටේ ප්‍රබුද්ධ ලේඛකයෝ වෙති. කවියෝ වෙති. විචාරකයෝ වෙති. මාධ්‍යකරුවෝ වෙති. ගත්කතුවරු වෙති. නීති විශාරදයෝ වෙති. අසම සම ගුරුවරු වෙති. එහෙත් ඒ පිරිසට ජාතික ලැයිස්‌තුවෙන් ඉඩක්‌ ලැබුණු බවක්‌ දක්‌නට නැත.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීමේ කඹ ඇදිල්ලක්‌ මේ දිනවල දක්‌නට ලැබේ. ඒ කඹ ඇදිල්ල ඡන්දය පැවැත්වෙන ක්‍රමයට පමණක්‌ සීමා වී ඇත. මැතිවරණයක්‌ සඳහා නාම යෝජනා ලැබීමට ඇති සුදුසුකම් පිළිබඳව වාද විවාදයක්‌ නැත. ජාතික ලැයිස්‌තුවෙන් තෝරා ගනු ලබන පිරිසේ සංඛ්‍යාව ගැන මිස ඒ සඳහා වියයුතු සුදුසුකම් ගැන ද වාද විවාද නැත.

මේ රටේ මැතිවරණයක්‌ යනු දැවැන්ත අරගලයකි. ව්‍යාපාරයකි. ධන බලය හා මැර බලය පිළිබඳ යුද්ධයකි. අවුරුදු පහක පමණ කාලයක්‌ සඳහා යස ඉසුරු ලැබීමට කරන ප්‍රයත්නයකි. ඒ නිසා මැතිවරණ සටනට උර දෙන වැඩි දෙනෙක්‌ අනියම් මාර්ගවලින් මුදල් උපයා ගෙන, මුදලේ බලයෙන්ම මැරයන් ළං කරගෙන ආයුධ බලය පසුබිම් කර ගත් ලස්‌සන එහෙත් භයානක සංදර්ශනයකි.

ආචාර්ය පියසේන රතුවිතාන
http://www.divaina.com/2015/08/03/news21.html

Pic Source

0 comments: