ඩෙංගු, මැලේරියා ඇතුළු සියලු මදුරු වර්ග පැමිණීම වළක්වන ගෙවත්තෙහි වගා කළ හැකි පැළ වර්ග 12 ක් බටහිර පර්යේෂකයින් විසින් මේ වන විට හඳුන්වා තිබේ.
මදුරුවන් පැමිණීම වළක්වන මෙම පැළ වර්ග වනුයේ පැඟිරි (සිටුනෙල්ලා), දාස්පෙතියා (මැරගෝල්ඩ්), සේර (ලෙමන්ග්‍රාස්), මදුරුතලා, ලැවැන්ඩර්, පෙපර්මින්ට්, රෝස් මරා, බැසිල්, පෙති රෝයල්, ගෙරනියම්, හෝස්මින්ට් හා අඟරාටම් යං. මෙම පැළ වර්ග ගෙවත්තෙහි තැබීමෙන් මදුරුවන් පැමිණීම වළක්වන බව පර්යේෂණවලදී අනාවරණය වී ඇතැයි බටහිර මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම මදුරු විකර්ශක පැළ අතුරින් පැඟිරි, දාස්පෙතියා, සේර හා මදුරුතලා ශ්‍රී ලංකාවට ආවේණික වූ පැළ වීම නිසා ඒවා ස්වාභාවික මදුරු විකර්ශක වශයෙන් භාවිත කළ හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රෙෂීලා සමරවීර මහත්මිය අප කළ විමසීමකදී "දිවයින"ට පැවැසුවාය.
මෙම පැළ වර්ග ගෙවතුවල තබා ගැනීම මෙන්ම ඩෙංගු මදුරුවන් දෂ්ට කරන උදැසන 6-9 හා සවස 4-6 අතර කාලයන් තුළ පැඟිරි තෙල් සම මත ආලේප කිරීම නින්දට යැමේදී මදුරු දැල් භාවිත කිරීම, අත්දිග ලා පැහැති ඇඳුම් පැළඳීම (ඩෙංගු මදුරුවන් තද පැහැති ඇඳුම්වලට ආකර්ෂණය වන බව හෙළි වීම නිසා) මදුරුවන් දෂ්ට කළ ස්ථානය කැසීමෙන් වැළැකීම (ආසාදනයක් බවට පත්විය හැකි නිසා) වැනි පියවර ඩෙංගු පැතිරෙන මෙම සමයේ අනුගමනය කිරීම වැදගත් බවද ඇය කීවාය.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2017/07/18/news10.html
මේ කාලය රටට බෙහෙවින් විපත්තිදායක සමයක් බව පෙනේ. කලක සිට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවිතැනට සිදුවූ මහාපරිමාණ හානිය නිසා රට තුළ දැඩි ආහාර ප්‍රශ්න ජනිත වූයේය. ඉන්පසුව පැවැති අධික වැසි නිසා ජල ගැලීම්, නිවාස හානි සහ නායයාම් නිසා ජාතික වශයෙන් සිදුවූයේ පිරිමසාලිය නොහැකි තරම් ආපදා තත්ත්වයකි. මෙවන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ප්‍රබල විපතකට පත්ව සිටින ජනතාවට "ඩෙංගු" උණ රෝගයත් මාරාන්තික තත්ත්වයට රට පුරා ව්‍යාප්ත වී රෝහල් පිරී ඉතිරී යන තරමට රෝගය ප්රබලවීම ජනතාවට උසුලා සිටිය නොහැකි තරම් බලවත් විපතක් වී තිබේ.
පසුගියදා පුවත්පත් වාර්තා කරන්නේ පසුගිය මස (ජුනි) ලංකාවේ ඩෙංගු රෝගීන් වාර්තා වූයේ, 15000 ක් බවයි. නමුත් මේ මාසය (ජූලි) වන විට 76000 (හැත්තෑහයදහස) ද ඉක්මවා ඇති බවක් වාර්තා වේ.
මෙම උණ රෝගය සීග්‍රයෙන් පැතිර යැම වළකාලීමටත්, මාරාන්තික තත්ත්වයට පත් නොවී රෝගීන් සුවපත් කිරීමේ වගකීම, වගකීමකින් යුක්තව ඉටුකිරීමට තරම් හැකියාවක් ඇති ආයුර්වේදය වැනි පොහොසත් වෛද්‍ය ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාව වැනි රටකට මෙවන් සෞඛ්‍ය අභියෝගයකට මුහුණපෑමට සිදුවීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.
මේ රටේ සෞඛ්‍ය සේවය පවත්වාගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් වෛද්‍ය ක්‍රම දෙකක සහාය ලබාගනී. එනම් බටහිර වෛද්‍ය සේවය සහ ආයුර්වේද වෛද්‍ය සේවයයි. මෙම වෛද්‍ය ක්‍රම දෙකටම සමාන්තර තත්ත්වයක් නීතිමය වශයෙන් හිමිව ඇතත්, රට තුළ බටහිර වෛද්‍ය ක්‍රමයට පවතින "සුජාත" තත්ත්වය. ආයුර්වේදයට නොපවතින බව නොකියා නොහැකිය. මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෙනමම ලිපියකට අවකාශ තබාගෙන මෙම ලිපිය ප්රස්තුත මාතෘකාව කෙරෙහිව යොමුවීම වඩාත් උචිත යෑයි මම සිතමි.
බහුල ලෙස රෝගීව මියයමින්, වසංගත ස්වරූපයෙන් රෝගය පැතිර යමින් මෙම "ඩෙංගු" උණ රෝගය කොතරම් බරපතළ තත්ත්වයක් උදාකර ඇත්දැයි කියතහොත්, රටේ රාජ්‍ය නායකයා පවා මීට මැදිහත් වන තත්ත්වයට පත්ව තිබේ. පසුගිය සතියේ ජාතික රූපවාහිනිය මගින් ප්‍රචාරය වූ මීට අදාළ වැඩසටහනට ජනාධිපතිතුමන්ද, සෞඛ්‍ය අමාත්‍යතුමන්ද බටහිර වෛද්‍යවරුන්ද, වෙනත් විද්වතුන්ද, විද්‍යුත් ජනමාධ්‍ය නියෝජිතවරුන්ගේද, සහභාගිත්වයෙන් එදින මධ්‍යම රාත්‍රිය දක්වාත් ප්‍රචාරය වූ සහ ජුලි 1 දින දහවල් කාලයේ නැවත ප්රචාරයවූත් සාකච්ඡාව ගැනද යමක් කියයුතුව තිබේ.
එම සාකච්ඡාව අවසානයේදී එකී සාකච්ඡාව මෙහෙයවූ ජාතික රූපවාහිනියේ මාධ්‍යවේදී චමින්ද කුලරත්න මහතා විසින් මෙම "ඩෙංගු" උවදුර මැඬලීම සඳහා ආයුර්වේදයෙන් ගතහැකි කාලෝචිත සේවය විමසීම පිළිබඳව චමින්ද කුලරත්න මහතාට අපි ස්තුති කරමු. "ඩෙංගු උණ රෝගය" සාර්ථකව සුවකිරීමට සහ පැතිරයාම ඵලදායීව වළකාලීමට ආයුර්වේදය තුළ පවතින ප්‍රබල හැකියාව පිළිබඳව ජනතාවට දෛනිකව ප්‍රයෝජන ගතහැකි කාලෝචිත උපදේශයක් ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශය නියෝජනය කරමින් අදහස් දැක්වීම සඳහා ආයුර්වේද වෛද්‍යවරයකු එහි නොසිටීමෙන් එහි පැවැති හිඩැස පුරවාලිය නොහැකි වීම ගැන අපි කනගාටු වෙමු.
උණ රෝග සුව කිරීම සඳහා බෙහෙවින් සාර්ථක ඖෂධ වේදයක් සහිත ආයුර්වේදය පොහොසත් තත්ත්වයක පවතින ශ්‍රී ලංකාව වැනි රටක දිනකට රෝගීන් රැසක් මියයමින්, වසංගත තත්ත්වයෙන් පැතිර යන "ඩෙංගු" වැනි උණ රෝගයක් ජාතික සෞඛ්‍ය සේවයට අභියෝගයක් වන තරමට පත්ව තිබීම සැබැවින්ම ශෝචනීය තත්ත්වයකි.
මා මේ බව සඳහන් කරනුයේ, මීට වසර දසක දෙකතුනකට (1985) පූර්ව කාලයේදී "ඩෙංගු උණටත්" වඩා බෙහෙවින් ප්‍රබල වූ මදුරු මාර්ගයෙන් ව්‍යාප්ත වූ, නූතන වෛද්‍ය වේදය ජැපනීස් එන්සෙපලයිටීස් යනුවෙන් හැඳින්වූ "මොළේ ඉදිමීමේ උණ රෝගය"ද අනුරාධපුර ප්‍රදේශයේ දිනකට රෝගීන් 10-15 ක් පමණ මිරමින්, වසංගත තත්ත්වයෙන් පැතිර ගියාය. දරුණු උණ රෝගය සුවකිරීම සඳහා බටහිර වෛද්‍ය ක්‍රමය ඖෂධයක් ඒවන විටත් නිපදවා නැති බව ශ්‍රී ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ද ඒ සඳහාම ලෝක සෞඛ්‍ය සංවිධානය (උHධ) මගින් වූ බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රජයට කරගත හැකි විකල්ප සෞඛ්‍ය විසඳුමක් නොමැති අවස්ථාවේත් ආයුර්වේදයට භාරවූ එම වගකීම සාර්ථකව ඉටුකරමින් ඉතා කෙටි කාලයක් තුළදී (එක් මාසයක් ඇතුළතදී) රෝගය සුවකළා පමණක් නොව වසංගත ස්වරූපයෙන් පැතිරයැම වළකාලීමටද එදා ආයුර්වේද වෛද්‍යවරු ක්‍රියා කළහ. එම විශ්මිත ආයුර්වේද වෛද්‍ය සේවය අන්තර්ජාතික ඇගයීමකට ලක්වීම නිසා ඒ සඳහා ලෝක සම්මානයක්ද ආයුර්වේදයට හිමිවූයේය.
එදා සෘෂි යුගයේ සිට පැවත එන විශ්මිත ආයුර්වේදය මෙදාත් විශ්වකර්ම ලෙස අන්තරාදායක තත්ත්වයේ පසුවන ලෙඩුන් පවා සුවකරමින් සනාථකර ඇත්තේ, වත්මන් ආයුර්වේදයද ජාතික සෞඛ්‍ය සේවය සඳහා නැතිවම බැරි විෂයයක තත්ත්වයක පවතින බවය.
ආයුර්වේදය යනු ප්රතිජීවී නොව සජීවී ඖෂධවේදයක් සහිත වෛද්‍ය දර්ශනයකි. සැබැවින්ම උණ රෝග සුවකිරීම සඳහා බෙහෙවින් පොහොසත් ඖෂධවේදයක් සහිත මේවන විට ලෝක ආකර්ෂණයද දිනා ඇති ආයුර්වේදය වැනි සොබාදහමටද අනුකූල වූ වෛද්‍ය ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටකට මදුරු බලපෑමෙන් හටගන්නාවූ "ඩෙංගු" වැනි උණ රෝගයක් අභියෝගයක් වන තරමට ප්‍රබලවී තිබීමෙන් පෙනීයන්නේ අපේ ජාතික සෞඛ්‍ය සේවයේ පවතින දුබල භාවයයි. මෙවන් අවස්ථාවලදී ආයුර්වේදයේද උපරිම සේවය කාලෝචිතව ලබාගැනීමට තරම් ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයද සමත් වූයේ නම් "ඩෙංගු" මැඬලීමට කියුබාවේ හෝ ඔස්ටේ්රලියාවේ මදුරුබීජ නාශක සොයා යැමට අවශ්‍ය නොවිය හැකිව තිබුණි.
ආයුර්වේදය යනු ඝාතක - නාශක හෝ මාරක විෂයයක් නොවේ.
මරණය කරවන තැනැත්තා මාරක ඝාතක හෝ නාශක වන අතර, ජීවය කරවන්නා "ජීවක" නම්වේ. මෙවැනි මදුරු උවදුරු පැවැති අවස්ථාවලදී සොබාදහම විසින් මිනිසාගේ රැකවරණය සඳහා දායාද කළ පැලෑටි කිහිපයක්ම තිබේ.
"මදුරුතලා" පැළෑටිය ඉන් ප්‍රධාන තැනක් ගනී. එම පැළෑටිය මගින් මදුරුවා මර්දනය කරන නිසා එය "මදුරුතලා" නමින් නම්දී ඇත. එය "මදුරුමරා" යනුවෙන් නම් නොවූයේ එම පැළෑටිය මාරක - ඝාතක හෝ නාශක තත්ත්වයක් නොවූ හෙයිනි. එසේම - පැඟිරිමානා - අගිල් - සාම්බ්‍රානි වැනි දැද මදුරුවා පලවා හැරීමට විශේෂ ගුණදායී වූ පැළෑටීන්ය. මේවා සංයෝග කර එමගින් උදේ - සවස නිවාස තුළ දුම් ඇල්ලීමෙන් ඉතා පහසුවෙන් මදුරුවා පලවා හැර ආරක්ෂා විය හැකිය. අපේ පැරණි මවුවරු දෛනික චාරිත්‍රයක් වශයෙන් පවත්වාගත් ගෙමිදුල් වටේ අතුපතුගා එක්වන කොළරොඩුවලට ගිනි දැල්වීමෙන් පැන නඟින දුමාරය නිසාද මදුරු උවදුරෙන් ආරක්ෂා වීමට ආරක්ෂක චාරිත්‍රයක් වූයේය.
ශ්‍රී ලංකාව වැනි ග්‍රීෂ්ම කලාපීය රටවල මැසි - මදුරු - මකුණු - මකුළු ආදී විවිධ කෘමීන් බහුලවීම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ. මෙම ස්වාභාවික තත්ත්වය මත මෙකී සත්ත්වයා සමූල ඝාතනය කිරීමද කළ හැකි දෙයක් නොවේ. සැබැවින්ම මිනිසාගේ රැකවරණය සඳහා අප රටට අදාළ නොවූ ඉහත කී මාරක - ඝාතක හෝ නියත පිළිවෙත පවත්වාගත යුතුද නොවේ. එහෙත් මිනිස් වාසස්ථාන ආශ්රිත ප්‍රදේශ තුළ එකී රෝගකාරක සත්ත්aව උවදුරෙන් රැකවරණ සලසා ගැනීම සඳහා පරිසරය පිරිසිදුව තබා ගැනීම අත්‍යවශ්‍ය වන බවද නොසළකා නොසිටිය යුතුව ඇත.
ඩෙංගු උවදුරෙන් ආරක්ෂා වීම සඳහා මදුරු මර්දක ඉහත කී දේශීය ඔසු ධූපය පිළිබඳ ජනතාව දැනුවත්කර එම ඔසුදුම් ජනතාව වෙත පහසුවෙන් සපයාදීමෙන් මෙම රෝග ව්‍යාප්තිය සාර්ථකව වළකාගත හැකිය.
ඉහත කී "ඩෙංගු උණ" පහසුවෙන් සුව කිරීම සඳහා ආයුර්වේදයේ එන "රසෞෂධ" ඔසු වර්ග ජනතාවට හඳුන්වාදී ඒවා පහසුවෙන් ලබාගැනීමේ ක්‍රමවේදයක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති ආයුර්වේද ඖෂධ සංස්ථාවට පහසුවෙන් සිදුකළ හැකිය. මෙකී උණ රෝග සුවපත් කිරීමේ ප්‍රබල හැකියාවක් ඇති ආනන්ද භෛරව රසය ශ්‍රී ජයමංගල රසය, ශ්‍රී ජයතිලක රසය, සෞභාග්‍ය රසවටිකාව ආදී බෙහෙවින් ගුණදායක වූ රස ඖෂධ ඉතා ඵලදායී ප්රතිකාරයෝ වෙති.
මෙම ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම වෛද්‍යරුන්ට ඉතා දුෂ්කරය. එනිසා නාවින්නේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව සතු මහා පරිමාණ ඖෂධ නිෂ්පාදනාගාරය මගින් එහි සේවයේ නියුතු උසස් දැනුමැති වෛද්‍ය මණ්ඩලයේ හා පළපුරුදුකම්වලින් අනූන පුහුණු කාර්ය මණ්ඩලයේද සහාය ඇතිව මෙම ඖෂධ හා ඉහතකී මදුරු මර්දක ධූපය මහා පරිමාණයෙන් නිපදවා රට පුරා බෙදාහැරීමෙන් මෙම මදුරු උවදුර ඉතා පහසුවෙන් හා ඉතා කෙටි කාලයක් තුළදී මර්දනය කළහැකි බව අත්දැකීම් සහිත වෛද්‍යවරයකු වශයෙන් වගකීමකින් යුක්තව ප්‍රකාශ කරමි.
වෛද්යාචාර්ය එම්. බී. රත්නායක
http://www.divaina.com/2017/07/16/feature38.html
එච්.අයි.වී. ඒඩ්ස් ගැන බියක්, චකිතයක් මෙලෙස අපගේ රටේදීම ඇති වීම අතිශය සාධාරණ හා කාලෝචිතය. ඒ, එච්.අයි.වී. /ඒඩ්ස් මර්දනයේ යහපත් ප්‍රතිඵල, දක්වන ලොව අන් බොහෝ රටවල් මෙන් නොව, වර්තමානයේ එච්.අයි.වී/ ඒඩ්ස් වර්ධනයේ අයහපත් සළකුණු දක්වන රටවල් නවයට ශ්‍රීලංකාව ද ඇතූළත්ව ඇති හෙයිනි.
2016 දෙසැම්බර් අවසානය වන විට මෙතෙක් ශ්‍රී ලංකාව තුළ වාර්තාගත වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සඛ්‍යාව සටහන් වන්නේ 2557 ක් වශයෙනි. ඒ 1640 ක් වන පුරුෂයන්ද 917 ක් වන කාන්තාවන්ද එකතුවය. මෙපිරිසෙන් 656 දෙනකු ඒඩ්ස් රෝගී තත්ත්වයට පත්වන විට, ඒ අනුව ජීවිතයෙන් සමුගත් සංඛ්‍යාව දැක්වෙන්නේ 418 කිනි. මෙතෙක් වාර්තා වී ඇති ළදරු ආසාදිතයන් සංඛ්‍යාවෙන් 80 කි.
2016 වසර තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක් වන විට, 2015 වසර තුළ අදාළ සංඛ්‍යාව සටහන් වූයේ 234 කිනි. එක් මසකදී අලුතින් එකතු වන ආසාදිතයන් සංඛ්‍යාව දළ වශයෙන් 20 ක් පමණ වන විට , වාර්තා නොවන පිරිසක්ද ඇතුළත් වන්නේ ඇස්තමේන්තුගත දත්ත අතරටය. ඇස්තමේන්තුගත දත්ත අනුව දැක්වෙන්නේ ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතව දැනට ජීවත් වන පිරිස සංඛ්‍යාවෙන් 4100 ක් ලෙසටය.
2015 අවසානය වන විට, ලෝකයේ ජීවත්ව සිටි එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 36.7 කිනි. 2015 වසර තුළ අලුතින් ආසාදනයට ලක් වූ පිරිස මිලියන 2.1 ක් වන විට ඒඩ්ස් තත්ත්වයට පත්ව මිය ගිය පිරිස සටහන් වූයේ මිලියන 1.1 ක් ලෙසටය. ලෝකයේ එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යා ලේඛන අනුව උප සහරානු අප්‍රිකා රටවල් මිලියන 25.5 ක ආසාදිතයන් සංඛ්‍යාවක් සමඟ පළමු තැනට පත්වන විට, ආසියා හා පැසිපික් කලාපීය රටවල් දෙවන තැනට පත්වනනේ මිලියන 5.1 ක ආසාදිතයන් සංඛ්‍යාවක් සහිතවය.
එච්.අයි.වී. ආසාදනය ද ඇතුළත් වන්නේ ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කාණ්ඩයටය. වෙනත් ලිංගාශ්‍රිත රෝග මෙන්ම එච්.අයි.වී. ආසාදනය ද සිදුවන්නට ප්‍රධානව ඉඩ සැලසෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ වන අනාරක්ෂිත ලිංගික සබඳතාවය ය. ආසාදිත රුධිරය ශරීරගත වීම හා ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්වීම වයිරසය ලැබිය හැකි අනෙක් ආකාරයන්ය.
රුධිර පාරවිලයනයකදී එච්.අයි.වී. ආසාදනයට ලක්වීමේ අවකාශය බෙහෙවින් විරලය. ඒ අදාළ රුධිර සාම්පලය සඳහා එච්.අයි.වී. රුධිර ප්‍රතිදේහ පරීක්ෂණය (HIV ANTIBODY TEST) අනිවාර්යයෙන් සිදුවන හෙයිනි. එච්.අයි.වී. රුධිර පරීක්ෂණයේදී සොයා බැලෙන්නේ, සිරුරට ඇතුළු වූ වයිරසය නිසා රුධිරයේ ඇති වන ප්‍රතිදේහ (ANTIBODIES) නම් කොටසය. එම ප්‍රතිදේහ අදාළ පරීක්ෂණයේදී පෙන්නුම් කළ හැකි තත්ත්වයට පත්වන්නේ වයිරසය ශරීරගත වී සති තුනක සිට මාස තුනක් දක්වා වන කාලයකදීය. මෙම කාල සීමාව හඳුවන්වනු ලබන්නේ කවුළු සමය (WINDOW PERIOD) ලෙසිනි. රුධිර පාරවිලයනයකදී විරල සිදුවීමක් ලෙස, කවුළු සමය තුළ පසුවන ආසාදිතයකුගේ රුධිරය භාවිතාවීමකදී එච්.අයි.වී. ආසාදනයකට ලක්වීමට ඉඩ ඇත.
ඖෂධ ශරීරගත කිරීමකදී හෝ පරීක්ෂණ සඳහා රුධිරය ලබා ගැනීමකදී භාවිතා වන එන්නත් කටු හා සිරින්ජර් එක් වතාවක් පමණක් යොදා ගන්නා හෙයින්, එවැනි මාර්ගයකින් ආසාදනය ලැබීමේ අවකාශය අද විරලය. ශල්‍ය උපකරණ පවා තවත් රෝගියකු සඳහා යොදා ගැනේනේ නිසි ප්‍රමිතීන්ට අනුව සිදුවන ජීවානුහරණ ක්‍රියාවලියකින් අනතුරුවය. එහෙත්, මත්ද්‍රව්‍ය විදගන්නා පුද්ගලයන් අතර හවුලේ සිදුවන එන්නත් කටු, සිරින්ජර් භාවිතය එච්.අයි.වී. ආසාදනය ලැබෙන තවත් එක් සැලකිය යුතු මාර්ගයක් බවට පත්ව ඇත.
එච්.අයි.වී. ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්වීමේ අවදානම සටහන් වන්නේ සියයට 20 ත් 45 ත් අතර ප්‍රතිශතයකිනි. එලෙස දරුවා ආසාදනයට පත්වීම ගර්භණී අවස්ථාවේදී, ප්‍රසූතියේදී හෝ ප්‍රසූතියෙන් පසු මව්කිරි දීමේදී සිදුවිය හැකිය. එහෙත් ගර්භණී මවගේ ආසාදිත බව කලින් හඳුනා ගත් විටකදී, දරුවා ආසාදනය වීමේ අවදානම සියයට 8 ක අවම ප්‍රතිශතයක් දක්වා අඩුකර ගැනීමේ හැකියාව පවතී. එවැනි අවස්ථාවකදී ඒ සඳහා මවට ප්‍රති වෛරස ඖෂධ සැපයීමත්, සිසේරියන් සැත්කමකින් දරු උපතට ඉඩ සැලසීමත්, උපතින් පළමු සති කිහිපය තුළ දී දරුවාටද ප්‍රතිවෛරස ඖෂධ සැපයීමත් සිදුවනු ඇත. ගර්භණී මාතෘ සායනයේදී සිදුවන වෙනත් රුධිර පරීක්ෂණ සඳහා යොදා ගන්නා රුධිර සාම්පලයෙන්ම, එච්.අයි.වී. රුධිර පරීක්ෂාවද සිදුකොට ගැනීමට සැකයක් ඇති විටෙකදී සිය කැමැත්ත ලබාදීම වැදගත් වන්නේ එහෙයිනි.
වයිරස බහුල වශයෙන් පවතින්නේ, එච්.අයි.වී. ආසාදිතයකුගේ ලිංගික තරලයේ සහ රුධිරයේය. ඒ හැරෙන්නට ආසාදිත මවකගේ මව්කිරිවලද වයිරසය සුළු ප්‍රමාණයකින් පැවතිය හැකිය. ආසාදනයක් සිදු විය හැකි ප්‍රමාණයකින් ෙ€ටයෙහි වයිරසය නොපවතින හෙයින් සිප ගැනීමකින් ආසාදනය ලැබීමේ ඉඩක් නැත. වයිරසය බාහිර පරිසරයට නිරාවරණය වීමකදී ක්ෂණිකව විනාශ වන්නේ, මිනිස් සිරුරෙන් බැහැරව එහි ජීවී ස්වභාවය නොපැවතෙන හෙයිනි. මදුරුවන් ඇතුළු වෙනත් සත්වයන්ගේ සිරුරු තුළ පවා මේ වයිරසයට ජීවී ස්වභාවයෙන් පැවතිය නොහැකි හෙයින්, රෝගය මදුරුවන් මඟින් පැතිරීමේ අවකාශයක් ද නැත. ස්පර්ශයෙන්, පොදු පහසුකම් පරිහරණයෙන් හෝ වෙනත් සමීප ඇසුරකින් එච්. අයි. වී. ආසාදනයක් සිදුවීමේ කිසිදු හැකියාවක්ද නොපවතී.
වයිරසය සිරුරට ඇතුළු වූ පුද්ගලයකු හැඳින්වෙන්නේ එච්.අයි.වී ආසාදිතයකු ලෙසිනි. එච්.අයි. වී. ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වන්නේ 'ඒඩ්ස්' රෝගී තත්ත්වයයි. ආසාදිතයාගේ සිරුරේ ප්‍රතිශක්තිය හෙවත් වෙනත් රෝගවලට ඔරොත්තු දීමේ ශක්තිය ක්‍රමයෙන් අඩුවීමට අනුව 'ඒඩ්ස් ' තත්ත්වයට ළඟාවීම සිදුවනු ඇත. පුද්ගලයකුගේ සිරුරෙහි ප්‍රතිශක්තිය පවත්වා ගැනීමේ කාර්යයේදී රුධිර වසා සෛල (LYMPHOCYTES) අත්‍යවශ්‍යය. එච්. අයි. වී. ආසාදනයකදී රුධිර වසා සෛල ක්‍රමයෙන් විනාශයට පත්වන්නේ, ඒ තුළ වයිරසය වර්ධනය වීමට අනුවය. එච්. අයි. වී. ආසාදිතයකු ඒඩ්ස් තත්ත්වයට පත්වීම සඳහා ගත වන කාලය සාමාන්‍යයෙන් වසර 8 ත් 10 ත් අතර විය හැකි මුත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට අදාළ කාල පරාසයන් වෙනස් වීමේ අවකාශයද ඇත.
වයිරසය ශරීරගත වී සති 2 ත් 4 ත් අතර දක්වා වන කාලයකින් පසුව එළඹෙන්නේ එච්. අයි. වී. ප්‍රාථමික අවස්ථාවය. (PRIMARY HIV INFECTION) එහිදී ඇති විය හැක්කේ හිසරදය, උණ, ශාරීරික වේදනාව, සමෙහි දද, කැස්ස, වසා ගැටිති ඉදීමීම හෙවත් කුද්දෙටි ඇති වීම, කෑම අරුචිය, වමනය හා පාචනය වැනි රෝග ලක්ෂණයන්ය. තවත් සති දෙකක පමණ කාලයකදී මෙම රෝග ලක්ෂණ ඉවත්ව යැම සාමාන්‍ය ස්වභාවයය.
එච්. අයි. වී. ආසාදනයේ දෙවැනි අවස්ථාව වන්නේ, ප්‍රතිශක්තිය අඩුවීමේ ආරම්භක අවදියය. (EARLY IMMUNE DEPLETION)) එහිදී සිදුවන්නේ, යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන අතරතුරදී, සුළු අසනීප තත්ත්වයන් විටින් විට හට ගැනීමය. සිරුරෙහි විවිධ ස්ථානයන්හි වසා ගැටිති ඉදිමීමද මෙම අවදිය තුළ සිදු විය හැකිය.
ඉන් අනතුරුව එළඹෙන්නේ ප්‍රතිශක්තිය අඩුවීමේ අතරමැදි අවදියය.
(INTERMEDIATE IMMUNE DEPLETION)) සිරුරෙහි ප්‍රතිශක්තිය සැලකිය යුතු පමණකින් අඩුවීමේ ප්‍රතිඵලය ලෙස විවිධ රෝගකාරක ආසාදනයන්ට ලක්වීම එහිදී සිදුවනු ඇත. උණ, සිරුරෙහි බර අඩුවීම, සමෙහි ඇතිවන විවිධ ආසාදන හෝ කැපොසි සාර්කෝමා (CAPOSI SARCOMA) නම් පිළිකා තත්ත්වයන්, මුඛයෙහි ඇතිවන දිලීර හා වයිරස් ආසාදන, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හට ගන්නා විවිධ ආසාදන එහිදී දැකිය හැකි තත්ත්වයන්ය.
ප්‍රතිශක්තිය විශාල ලෙස අඩුවීමේ අවදිය ලෙස හැඳින්වෙන 'ඒඩ්ස්' රෝගී තත්ත්වය එච්.අයි.වී. ආසාදනයේ අවසාන අවස්ථාවය. විවිධ රෝගකාරක ආසාදනයන්ට පහසුවෙන් ලක් වන මෙම අවදිය තුළදී, සිරුරෙහි බර විශාල ලෙස අඩුවීම, මසකට වැඩි කාලයක් පැවතිය හැකි උණ හෝ පාචනය, පෙනහලු හැරුණු කොට සිරුරෙහි විවිධ ඉන්ද්රියයන් හා පද්ධතීන්ට පැතිරුණු ක්ෂය රෝගය, අසාමාන්‍ය නියුමෝනියා රෝග තත්ත්ව, අන්නස්‍රෝතය හෙවත් ගලනාලය දක්වා පැතිරුණු කැන්ඩිඩා දිලීර ආසාදන, මධ්‍ය ස්නායු පද්ධතියෙහි විවිධ ආසාදන හෝ කලකට ඉහතදී ශරීරගත වූ පැපොල වයිරසය නැවත ක්‍රියාකාරී වීමෙන් සිරුරේ ඇතැම් ස්ථානවල හටගන්නා 'හර්පීස් සොස්ටර්' නම් ආසාදන තත්ත්වයන් ඇති විය හැකිය.
එච්. අයි. වී. ආසාදිතයකු සඳහා සැපයෙන ප්‍රතිකාරයේ ඉලක්කය වනුයේ, ඒඩ්ස් රෝගී තත්ත්වයට ලක්වීමේ අවස්ථාව පමා කිරීමය. ආසාදිතයන් නියමිත කාල සීමාවන් තුළදී පරීක්ෂාවට ලක් කිරීමත්, හට ගැනීමට අවකාශය ඇති වෙනත් ආසාදන තත්ත්වයන් ඒ අනුව වළක්වාළීමත් එහිදී සිදුවනු ඇත.
එච්. අයි. වී. ආසාදනයක් සම්පූර්ණව හෙවත් නිට්ටාවට සුව කළ හැකි ඖෂධයක් මෙතෙක් සොයා ගෙන නොමැත. දැනට භාවිතයෙහි පවතින ප්‍රතිවෛරස ඖෂධ (Anti Retroviral Drugs) මඟින් සිදුවනුයේ එච්. අයි. වී. ආසාදිතයකුගේ රුධිරයේ ඇති වන වයිරස සංඛ්‍යාව අවම අගයක පවත්වා ගැනීමයි. එලෙස ප්‍රති වෛරස ලබා දිය යුතු අවස්ථාව තීරණය වනුයේ, ආසාදිතයකුගේ ප්‍රතිශක්තිය පිළිබඳ තත්ත්වයන් සොයා බැලෙන CD 4 සෛල සංඛ්‍යාව (CD 4 CELL COUNT) හෝ වයිරස ප්‍රමාණය (VIRAL LOAD) යන විශේෂිත පරීක්ෂණයන්හි දැක්වෙන අගයයන් අනුවය.
එච්. අයි. වී. ආසාදනයට ලක් වූ අවස්ථාවක, 'ඒඩ්ස්' රෝගී තත්ත්වයට පත්වීම හැකිතාක් පමා කොට ගැනිමේදී අවශ්‍ය වන්නේ, නිසි පරිදි මනසටද, සිරුරටද, ලැබිය යුතු ප්‍රතිකාරය හා උපකාරයය. සිය ජීවිතයේ අපේක්ෂිත සැලසුම් යම් පමණකින් හෝ අවසන් කර ගැනීමට ඒ ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යය. එහෙත්, සියල්ලන්ටත්, විශේෂිතව තරුණ පෙළටත් වඩාත් වැදගත් වන්නේ, මේ අනතුරුදායක පරිසරයේදී වුවද එච්. අයි. වී. ආසාදනයකට ලක් නොවී, අපේක්ෂිත සැලසුම් නිසි පරිදි ඉටුකර ගනිමින් ජීවිතය යහපත්ව ගොඩනඟා ගැනීමය. එහිදී, පවතින අනතුර පිළිබඳ නිවැරදි දැනුම පමණක් නොව අනතුරේ නොවැටෙන්නට ඒ දැනුම භාවිතයෙන් විය යුතු ආකල්ප වර්ධනයද කාලීන වුවමනාවන්ය.
1981 දී ලෝකය හඳුනා ගත් මේ අනතුර, 1986 දී ශ්‍රී ලංකාවටද සපැමිණ මේ වන විට විසිඅට වසරකි. එතෙක් මෙතෙක් එච්. අයි. වී. ආසාදනය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ වෙනස්කම් රැසකි. ඒ අනුව, ආසාදනය මෙරටට පිවිසි අවදිය තුළදී අලුතින් ආසාදනයට පත් පිරිසෙන් වැඩි ප්‍රතිශතය මැදිවියට හිමි වූ නමුත් අද එහි වැඩි ප්‍රතිශතයකට හිමිකම් දක්වන්නේ වයසින් අවුරුදු 25 ත් 29 ත් අතර තාරුණ්‍යය. එදා විදේශයට ගොස් ගෙන ආ ආසාදනය වෙනුවට මෙදා නොඅඩුව වාර්තා වන්නේ අති පහසුවෙන් සිය දේශයේදීම ලක්වන ආසාදනයය.
එච්. අයි. වී. ආසාදිතයෙක් දුටු පමණින් හඳුනා ගැනීමේ හැකියාවක් ද නැත. වයිරසය ශරීරගතව වසර කිහිපයක් යන තෙක් කිසිදු රෝග ලක්ෂණයක් බැහැරට ප්‍රකාශ නොවීමේ ස්වභාවයට අනුව, හදිසි ලිංගික සබඳතාවයකදී කිසිවකුට සිය සහකරු හෝ සහකාරිය ලෙස එච්. අයි. වී. ආසාදිතයකු හමුවීමේ සම්භාවිතායකට ලැබෙන්නේ පහළම අගයක් නොවේ.
ජීවිතය කඩා නොවැටෙන්නට, මේ අහිතකර වටපිටාව පිළිබඳ ඇත්ත කතාව, නිතිපතාම සිතින් විමසා හරි හැටි කියවා බැලීම අවශ්‍යය. එසේ වන්නේ නම්, අහිතකර වටපිටාවේදී වුවද හිතකරව ජීවත්වීමට ලැබෙන අවකාශය අතිශයින් ප්රමාණවත්ය.
වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි
http://www.divaina.com/2017/03/26/feature04.html

හැත්තෑව දශකයට පෙර මෙරට ජීවත් වූ නම ගිය චණ්ඩින්ගෙන් වුණත් ගත යුත්තක් තිබිණ. සරදියෙල් ටයිප් එකේ පොඩි විඡේලා, මරදන්කඩවල යකඩයා ලා සමාජය තුළ එක්තරා විදියක ලෙජන්ඩ් ද (පුරාවෘතයන්) විය. අප කුඩා කල පොළොන්නරුවේ පොඩි විඡේ සිංදුව අහනකොට පොඩි ත්‍රිල් එකක් ඇඟට දැනුණේ ය. එහෙත් හැත්තෑව දශකයෙන් පසු එළැඹි යුගයේ බිහිවුණු පාතාලයේ ලුම්පන් අපතයන් ගේ චරිතාපදානවල ගත යුත්තක් ඇත්තේම නැත. ආයුධ පෙන්වන්න ගියාම උන් බල්ලන් බළලුන් වගේ මරා දැමුණු පසු සමාජයට පොඩි ත්‍රිල් එකක් දැනුනේ ය. (වැඩේ අවනිතික වුවත්) හැත්තෑව දශකයට පෙර අපේ සමාජයේ හිටියේ ගම්මිරිස් වලට පැපොල් ඇට කලවම් කරපු, මීකිරි වලට එළකිරි කලවම් කරපු, එළකිරි වලට වතුර කලවම් කරපු, කරවල, සීනි වල බර වැඩි කරන්න වතුර ඉහපු, ගුල්ලො ගහපු මුං ඇට ටික අවුවෙ තියලා ගුල්ලන් ඉවත් කොට පෙති කර පෙති මුං ඇට විකුණපු ජාතියේ මුදලාලිලා ය. මේ වැඩ මගෝඩි වැඩ වුණාට මේ ජාතියේ මුදලාලිගේ ජිවිත වල වුව ගත යුත්තක් තිබිණ. ඔවුන්ට හිතක් පපුවක් තිබිණ. ඔවුන් අසල්වාසීන්ගේ ලෙඩට දුකට පිහිට විය. ඔවුන් හොඳ ආදර්ශවත් දරුවන් හැදීය. ඒ ඔක්කෝටම වැඩියෙන් ඔවුන් කළ මගෝඩි වැඩ නිසා පාරිභෝගිකයන්ගේ ජීවිත වලට තර්ජනයක් ඇති වූයේ නැත. එහෙත් හැත්තෑව දශකයෙන් පසු එළැඹි වර්තමාන ලාංකීය වෙළෙඳපොළ ඊට පෙර පැවති වෙළෙඳපොළට වඩා ඉඳුරාම වෙනස් එකකි. වර්තමාන ඇතැම් වෙළෙඳුන් සිදු කරන කූට අපරාධ සෘජුවම මනුෂ්‍යයන්ගේ ජීවත් වීමේ අයිතිය සමඟ සම්බන්ධ වී පවතී. විශේෂයෙන්ම මිනිසුන් කන බොන දේවල්, ඇඟේ ඉහේ ගාන දේවල් වලට දැන දැනම වස විස ප්‍රහාර එල්ල කරන මේ ගරිල්ලා මාකට් එකේ බිහිසුණු ස්වරූපය පිළිබඳ එළැඹෙන්නට පිළිවන් අවදානම පිළිබඳ සවිඤ්ඤානිකභාවයකින් යුතුවම අප දිගින් දිගටම හෙළිදරවු කර සිටිමු.

අප එකල අනුභව කළ තිරිඟු පිටි වල, හාල් වල, මුං ඇට වල සාමාන්‍යයෙන් ගුල්ලන් (සජීවී) සිටියේ ය. පණු කැදලි තිබිණ. එහෙත් අද වෙළෙඳපොළේ එවැනි බාල සවුත්තු ආහාර දකින්නට නැති තරම් ය. විශේෂයෙන් ආනයනික ආහාර ජීවානුහරණය කිරීම සඳහා දියුණු තාක්ෂණික සහ රසායනික ක්‍රම විධි අනුගමනය කිරීමට හැකි වීම ආහාර සුරක්ෂිතතාව විෂයෙහිලා රටක් ලෙස අප ලැබූ ජයග්‍රහණයක් ය. සජීවී කෘමීන්ගෙන් ආහාරවලට සිදු වන හානිය වළක්වා ගැනීම සඳහා ආහාර තොග පිටින් ගබඩා කර තැබෙන කන්ටේනර් සහ ගබඩාවල සනීපාරක්ෂාව, ඒවායේ සිටින කෘමීන්, කෘමි බිත්තර, පිලා අවස්ථා, කෘන්තකයින් විනාශ කිරීම සඳහා අනුගමනය කළ රසායනික ක්‍රමයක් වන්නේ එම ආහාර ගබඩා දූමායනය කිරීමයි. මෙකී දූමායන කටයුත්ත සඳහා භාවිත කරනුයේ උග්‍ර විසැති හලා හළ වස වර්ගයන් ය. (නිසි ක්‍රමවේදයට අනුව දූමායනය කළ පසු ආහාරවල සෞඛ්‍යයට අහිතකරභාවයක් ඇති වන්නේ නැත.)
මේ සඳහා භාවිත කරන එක් රසායනික ද්‍රව්‍යයක් වන ඇලුමිනියම් පොස්පයිඩ් (Aluminium phosphide) වනාහි ඉතාමත් භයානක විෂ වර්ගයක් වන අතර මේවා පෙති හෝ කුඩු වශයෙන් නිෂ්පාදනය කෙරේ. ඇලුමිනියම් පොස්පයිඩ් වලට ජල වාෂ්ප හෝ හයිෙඩ්‍රාක්ලෝරික් අම්ලය මිශ්‍ර වීමෙන් පොස්පීන් වායුව ජනනය වෙයි. පෝස්පීන් වායුව අංශු මාත්‍රයක් ආඝ්‍රාණය කිරීමෙන් හෝ ඇලුමිනියම් පොස්පයිඩ් සුළු මාත්‍රාවක් ආමාශගත වීමෙන් මිනිසෙකු තත්පර කිහිපයක දී මරණයට පත් වේ. මේ සඳහා කිසිදු ප්‍රති ඖෂධයක් ද නොමැත. මෙය භයානක සමූල ඝාතන රසායනික අවියක් ලෙස යුද්ධ කටයුතු සඳහා භාවිත කර ඇත. එකල වරායේ නැව්වල ගබඩා දූමායනය කිරීම සඳහා භාවිත කළ මෙම දූමායන රසායනික ද්‍රව්‍යයන් භාවිතය සහ නියාමනය මුළුමනින්ම වරාය සෞඛ්‍ය අංශය මගින් සිදු කෙරී ඇත. මේ සඳහා භාවිත කරන ඇලුමිනියම් පොස්පයිඩ් වැනි රසායනික ද්‍රව්‍යයන් මෙරටට ආනයනය සහ භාවිත කිරීම පළිබෝධනාශක පනතින් දැඩි සේ පාලනයට යටත් කර ඇති අතර, ඒවා රතු ලේබල් දරන පළිබෝධනාශක ඝනයට වැටේ. කෙසේ වෙතත් මෙම රසායනික ද්‍රව්‍ය මේ වන විට ආනයනය කිරීම සහ භාවිත කිරීමට පුද්ගලික අංශයේ ආයතන කිහිපයකට ලයිසන් ලබා දී ඇති බව දැනගන්නට ඇති අතර මේවා සම්බන්ධ කටයුතු පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ සෘජු අණසකට සහ අධීක්ෂණයට යටත් විය යුතු බව ද පැවසේ.
ඇලුමිනියම් පොස්පයිඩ් භාවිත කළ යුතු නිසි ක්‍රමවේදය
මෙම රසායනික ද්‍රව්‍යයන් ආහාර ගබඩා සහ ගුදම් සඳහා යෙදීමේදී අනුගමනය කළ යුතු දැඩි කොන්දේසි සහ ක්‍රියාමාර්ග රාශියක් ඇත. ඇලුමිනියම් පොස්පයිඩ් භාවිත කරන්නට අවසර දී ඇත්තේ පෙර කී, ඒ සඳහා බලපත්‍රයක් ලබා ඇති ආයතනවලට පමණක් වන අතර, එම ආයතන තුළ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් තාක්ෂණික නිලධාරීන් සිටිය යුතුය. මෙම තාක්ෂණික නිලධාරියා ඇලුමිනියම් පොස්පයිඩ් වලින් යම් ආහාර ගබඩාවක් දූමායනය කිරීමට ප්‍රථමව ඔක්සිජන් ටැංකියක් සහිත වායු රෝධක ආරක්ෂිත විශේෂ ඇඳුමක් ඇඳගත යුතු වන අතර, ඇලුමිනියම් පොස්පයිඩ් පෙති භාජනයකට දමා වායු රෝධක (ආහාර ගබඩා වායු රෝධනය කිරීම සඳහා ඒ සඳහා සකස් කළ විශේෂ වායු රෝධක ආවරණ අදාළ සමාගම් විසින් සැපයීය යුතුය.) ගබඩාව තුළ පසෙකින් තැබිය යුතුය. මෙහිදී නිකුත් වන පොස්පීන් වායුව මගින් දූමායනය සිදු වී ගබඩාව තුළ සිටින කෘමීන් සහ කෘන්තකයින් මෙන්ම ආහාර තුළ සිටින කෘමි බිත්තර යනාදිය විනාශ විම සිදු වෙයි. එසේ තැබීමෙන් පසු අදාළ ගබඩාව දින තුනක කාලයක් සම්පූර්ණයෙන් වසා දමා විවෘත කිරීම සම්පූර්ණයෙන් තහනම් බවට දැන්වීම් ප්‍රදර්ශනය කළ යුතුව ඇත. එසේ කිරීමෙන් පසු පෙර කී ආරක්ෂිත ඇඳුම් ඇඳ ගත් තාක්ෂණික නිලධාරියා විසින් අදාළ ගබඩාව විවෘත කර, තව එක් දිනක් යන තුරු හොදින් වාතනය වීමට සැලැස්විය යුතුය. එහිදී පෙර කී රසායනික ද්‍රව්‍ය අඩංගු භාජනය තුළ ඉතිරිව පවතින ශේෂ කුඩු ආරක්ෂිතව වළ දැමීම ද අදාළ තාක්ෂණික නිලධාරියා විසින්ම කළ යුතුව ඇත. කෙසේ වෙතත් ආහාර මතට ඇලුමිනියම් පොස්පයිඩ් යෙදීම සපුරා තහනම් වන අතර, රෝග වැළැක්වීමේ සහ රෝග ස්පර්ශකයින් වෙන් කර තැබීමේ ආඥා පනතේ විධි විධාන පරිදි ජලය අඩංගු ආහාර ද්‍රව්‍ය දූමායනය කිරීම ද තහනම් වෙයි.
බ්ලැක් මාකට් එකේ අවභාවිත කෙරෙන තහනම් විෂ රසායනික ද්‍රව්‍ය
දූමායනය කිරීමේ නිසි ක්‍රමවේදය එසේ වුවද සපුරා තහනම් කළ ග්ලයිපොසේට්, කුරේටර් ආදී කෘමිනාශක බ්ලැක් මාකට් එකේ සුලභව භාවිත වන්නාක් සේම, මේ වන විට ඇලුමිනිම් පොස්පයිඩ් නැමති හලාහළ වස ද්‍රව්‍යයද නිසි පාලනයකින් තොරව ආහාර තොග ගබඩාකරුවන් අතර බරපතල ලෙස අවභාවිත කෙරෙන බව දැනගන්නට ඇත. මේ සඳහා පළමු සාක්ෂිය හමු වන්නේ කුරුණෑගල ප්‍රදේශයෙනි. ඉබ්බාගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන එච්. ආර්. එස්. එස්. බණ්ඩාර හේරත් මහතාට ලැබුණු ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරු විසින් සිදු කරනු ලබූ වැටලීමකට අනුව ඇලුමිනියම් පොස්පයිඩ් නමැති උග්‍ර විෂ රසායනිකය ඒ සඳහා බලපත්‍ර ලැබූ ආයතනයක පුහුණුව ලැබූ නිලධාරියෙකු විසින් සිදු කරනු වෙනුවට ආහාර තොග වෙළෙන්දා ගේ වෙළෙඳසැලේ සේවය කරනු ලබන කම්කරුවෙකු ලවා කෙළින්ම ආහාර මතට කුඹුරට යූරියා ඉසින්නාක් සේ ඉසිනු ලබන බව හෙළි වී ඇත. කෙසේ වෙතත් අදාළ ආහාර ගබඩාව මුද්‍රා තබා රස පරීක්ෂකවරයා වෙත යවනු ලැබූ ආහාර සාම්පලවල ඇලුමිනියම් පොස්පයිඩ් අඩංගු වන බවට හෙළි වීම නිසා ආහාර ටොන් ගණනාවක් අධිකරණ නියෝග මත විනාශ කර ඇත.
දෙවැනි සිදු වීම වාර්තා වන්නේ කලුතර ප්‍රදේශයෙනි. ගැබිනි මවුවරුන්ට බෙදා දීමට සූදානම් කර තිබූ ආහාර තොගයකට යම් විෂ රසායනිකයක් යොදනු ලබන බවට ගර්භණී මවකගෙන් ලද ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වූ කලුතර නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණ්ඩායමක් සිදු කළ වැටලීමක දී අනාවරණය වී ඇත්තේ පණුවො කාපු කරවල සහ හාල් මැස්සන් ඇතුළු ආහාර තොගයකට ඇලුමිනියම් පොස්පයිඩ් භාවිත කර ඇති බව ය. මෙහිදී යම් ප්‍රමාණයකට නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇතත් ගැටලුව වන්නේ මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පණුවන් සහ කෘමීන් හානි කළ ආහාර මෙසේ විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කර නැවත සකස් කර හොඳ ආහාර ලෙස වෙස් ගන්වා වෙළෙඳපොළට නැවත එවීමේ කූට වෑයම මෙමගින් හෙළි වීම ය.
පෙර කී බලපත්‍රලාභී ආයතනයක් ලවා නිසි ක්‍රමවේදයට අනුකූලව දූමායන කටයුතු සිදු කර ගැනීම සඳහා විශාල මුදලක් ගෙවිය යුතු වීම නිසාවෙන් නිසි ක්‍රමවේදය අනුගමනය කරන්නට ආහාර තොග වෙළෙඳුන් වැඩි මනාපයක් නොදක්වන බැවින් සහ ඇලුමිනියම් පොස්පයිඩ් රසායනිකය කළු වෙළෙඳපොළ තුළ රිසි සේ මිල දී ගන්නට තිබෙන බැවින් මෙසේ මෙම රසායනිකය දරුණු ලෙස අවභාවිතයකට ලක් වෙමින් තිබෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා අවධාරණය කර සිටී. මෙම තත්ත්වය දරුණු ඵල විපාක වලට හේතු විය හැකි බැවින් මෙකී අවභාවිත කටයුත්ත පාලනය සහ නියාමනය කිරීමට අවැසි නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් නොපමාව ගත යුතුව ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටින අතර, මෙවැනි විෂ රසායනික ද්‍රව්‍යයන් භාවිත කර ඇතැයි සැක කෙරෙන ආහාර තොග ගබඩා පරීක්ෂා කිරීමේ දී විෂ වායුවලට නිරාවරණය වන්නට නිලධාරීන්ට සිදු විය හැකි බැවින් ආවාට ගියාට එවැනි කටයුතුවල නිරත නොවන ලෙස ද උපුල් රෝහණ මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ඉල්ලා සිටී.
මෙවැනි විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු යෑයි සැක කෙරෙන ආහාර තොග අත්අඩංගුවට ගත් පසු ඒවා නිදහස් කරන ලෙස ඇතැම් බලධාරීන්ගෙන් සහ දේශපාලනඥයන්ගෙන් කෙරෙන ඉල්ලීම් සහ බලපෑම් වල නිමක් නොමැති බවත්, මෙවැනි කටයුතුවල නිරත වන නිලධාරීන් කිසිදු ඇගයීමකට හෝ දිරි ගැන්වීමකට ලක් නොවන බවත් මෙම නිලධාරීන් හොඳින්ම දනී. මෙවැනි කටයුතුවල නිරත වීම නිසාවෙන් එළැඹිය හැකි විපාක පිළිබඳවද දැන දැනම තම ආදරණීය මනුෂ්‍ය වර්ගයා උදෙසා කැප කිරීම් කරන උතුම් මිනිසුන් එකෙකු දෙදෙනෙකු නිසාවෙන් මෙවැනි වංචනික සහ පාතාලේ වැඩ කිඩ හෙළි වීම රටේ භාග්‍යයක් බවද අපි මෙහිලා ලියා තබමු.
මම දිනක් හාලිඇල සතිපොළේ පළතුරු වෙළෙන්දෙකුගෙන් අන්නාසි මිල දී ගනිමින් සිටියෙමි. එම ස්ථානයට පැමිණි වෙනත් පාරිභෝගිකයෙකු මේ අන්නාසි අමුයි නේ, මේවා ඉදවාගෙන එන්න තිබුණා නේ යෑයි පැවසීය. මිනිස්සු කන දේවල්නේ මහත්තයෝ බෙහෙත් ගහලා ඉදවන එක හරි නෑනේ. වෙළෙන්දා පැවසීය. ඇයි අපේ අමාත්‍යංශයෙන් පලතුරු වලට බෙහෙත් ගහල ඉදවන එක නිර්දේශ කරල නේ තියෙන්නේ. ඒකේ හානියක් නෑනේ. කෘෂිකර්ම අමාත්‍යංශයෙ නිලධාරියෙකු යෑයි සිතිය හැකි පෙර කී පාරිභෝගිකයා වෙළෙන්දාට උපදෙස් ලබා දෙන ලදී. පලතුරු කෘත්‍රිමව ඉදවීම ආරම්භ කෙරුණු මුල්ම කාලයේ මෙම අත්දැකීමට මුහුණ දෙන්නට මට සිදු විය. එකල පලතුරු කෘත්‍රිමව ඉදවීම සහ ඒ සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍යයවල පැටිකිරිය පිළිබඳව මා ඒ හැටි දැන සිටියේ ද නැත. එහෙත් මේ වන විට වෙළෙඳපොළේ ස්වාභාවිකව ඉදවූ පලතුරු සොයා ගැනීම කළු නික සොයනවා වැනි තත්ත්වයකට පත්ව ඇත. අද වන විටත් කෘත්‍රිමව පලතුරු ඉදවීම නියාමනය කරන්නට නීතියේ ප්‍රතිපාදන නොමැත. නියපොත්තෙන් කපන්න තිබෙන දේවල් නිසි කලට කපා නොදැම්මොත් චේන් ෂෝ එකකින්වත් කපා දමන්නට නොහැකි බවට මේ එක් උදාහරණයක් පමණි.
ඒ කාලේ පොඩි විඡේලා, මරු සිරාලා පිටුපස දේශපාලකයින් හෝ නිලධාරීන් සිටියේ නැත. රටේ ඇත්තන්ගේ කරුමෙට වර්තමාන පාතාලය මෙන්ම පෙර කී ගරිල්ලා මාකට් එකට පිටුපසින් ද රඟන ඇතැම් අමන දේශපාලනඳයන් සහ නිලධාරීන් සිටී.
ගැමුණු සාලිය පෙරේරා - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ බදුලු දිස්ත්‍රික් ශාඛාවේ මාධ්‍ය ප්‍රකාශක
http://www.divaina.com/2017/03/12/feature20.html
අධික පිටි සහිත පාන්, අල, චිප්ස් හා එළවළු වර්ග අධික උෂ්ණත්වයක් යටතේ දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර කිරීම (ටෝස්ට්) මඟින් පිළිකා කාරක රසායන ද්‍රව්‍යයක් වන "ඇක්‍රිලමයිඩ්" නිපදවීම නිසා ඒවා ආහාරයට ගැනීම සෞඛ්‍යයට හානි කර බව එක්සත් රාජධානියේ ආහාර විද්‍යාඥයන් විසින් සිදු කරන ලද පර්යේෂණවලදී අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය මත එම පිටි අධිකව අඩංගු ආහාර වර්ග හැකිතාක් දුඹුරු පැහැ ගැන්වෙන තෙක් කර නොකර රන්වන් පැහැයට හුරු කහ වර්ණ ගැන්වෙන තෙක් අඩු උෂ්ණත්වයක කර කිරීමෙන් පිළිකා කාරක රසායන ද්‍රව්‍යය නිපදවීම වළක්වා ගත හැකි බව එම විද්‍යාඥයෝ පෙන්වා දෙති.
අමු අර්තාපල් අල ශීතකරණයක තැන්පත් කිරීමෙන්ද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවීම සිදු වන බව පර්යේෂණවලදී සනාථ වී ඇතැයි ඔවුහු කියා සිටිති. මේ නිසා අමු අර්තාපල් සිසිල් ස්ථානයක සෙල්සියස් අංශක 6 ට අඩු උෂ්ණත්වයක් යටතේ තැන්පත් කර තබා ගත යුතු බව පර්යේෂණ වාර්තා දක්වති.
ටෝස්ට් කිරීමේදී මෙන්ම සෙල්සියස් අංශක 120 ට වැඩි උෂ්ණත්වයක් යටතේ බේක් කිරීමේදී හා ගි්රල් කිරීමේදී "ඇක්‍රිලමයිඩ්" නමැති පිළිකා කාරක රසායන ද්‍රව්‍ය නිපදවෙන බව අනාවරණය වී තිබේ.
සිගරට් දුමෙහිද මෙම "ඇක්‍රිලමයිඩ්" නමැති රසායන ද්‍රව්‍ය විශාල වශයෙන් අන්තර්ගතව පවතී.
ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2017/01/24/news08.html
Pic
Source
එක්තරා සංගමයක් මගින් සැප්තැම්බර් මස 25 වැනි ඉරිදා පුවත්පත්හි දැනට තහනමට ලක් කර ඇති පූර්ණ වල්නාශකයක් වන ග්ලයිෆොසේට් නොහොත් රවුන්ඩ්අප් පිළිබඳ පක්ෂග්රාහි දැන්වීමක් පළ කර තිබිණි. එමගින් බලවත් උත්සාහයක් දරා ඇත්තේ ග්ලයිෆොසේට්සහ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල ව්‍යාප්තව ඇති මාරාන්තික වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බවට විද්‍යාත්මක සාක්ෂි ප්‍රමාණවත් නොමැති බවත් අප රටේ මෙම කෘෂි රසායනිකය තහනමට ලක්වීමට හේතු වූයේ වකුගඩු රෝගයට මූලික හේතුව ග්ලයිෆොසේට් භාවිතය යන වැරදි මතය සමහර පුද්ගලයන් විසින් දරුණු ලෙස පාලකයින්ගේ සිත් තුළ කාවැද්දීම බවයි. නමුත් අදාළ දැන්වීම දැමූ සංගමය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාල වාර්තාවක් උපුටා දක්වමින් (16 පිටුව) පෙන්වා දෙන්නේ එය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක හා අසත්‍ය ප්‍රකාශයක් බව හා එකී වාර්තාවේ කිසිම විටෙකත් ග්ලයිෆොසේට් වකුගඩු රෝගය හා කිසිදු සම්බන්ධයක් දක්වා නොමැත යන්නය. නමුත් සැබෑව නම් දැනට කරන ලද පරීක්ෂණ කිහිපයක ප්‍රතිඵල උපුටා දක්වමින් වාර්තාව දක්වා ඇත්තේ, ග්ලයිෆොසේට් වකුගඩු රෝගයට වන දායකත්වය සියයට සියයක් නිවැරදිව තහවුරු කිරීමට එම දත්ත පමණක් ප්‍රමාණවත් නොවන බවත් එමනිසා පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි බව මිස මතය සම්පූර්ණයෙන්ම අවිද්‍යාත්මක සහ සාවද්‍ය බව කිසිවිටෙකත් එහි දක්වා නොමැති වීමය.
ග්ලයිෆොසේට් තහනම අවිද්‍යාත්මක තොරතුරු මත පදනම්ව ආවේගශීලීව සමහරෙකු දේශපාලන වාසි ලබා ගැනීමට කරන ලද තකතීරු වැඩක් යන මතයේ දිගින් දිගටම එල්බගෙන සිටින විද්‍යාඥයින්ට, ව්‍යාපාරිකයින්ට, ආදී සියල්ලට කරන සරල අභියෝගය නම් ලොව පිළිගත් අන්තර් ජාතික සඟරාවක පළවූ ලෝක මට්ටමේ කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් මෙම රසායනිකය මානව සෞඛ්‍යයට කිසි ලෙසකින්වත් හානිකර නොවන බව ඔප්පු වූ තොරතුරක් හැකිනම් සපයන ලෙසයි. ඇමරිකානු පරිසර ආරක්ෂණ ආයතනය (Eඡ්) දක්වන පරිදි ග්ලයිෆොසේට්වල පිළිකාකාරක ගුණ තිබිය හැකි බව එහි නිෂ්පාදකයා වූ එරටේම දැවැන්ත කෘෂිරසායන සමාගමක් වූ මොන්සැන්ටෝ විද්‍යාඥයින් මීට අවුරදු 35 කට පෙර සිට දැනසිටි බවයි. 1978 - 1986 ක්ෂීරපායි සතුන් යොදා කරන ලද පර්යේෂණ ප්‍රතිඵල වලින් ඒ බව තහවුරු වී ඇති නමුත් මොන්සැන්ටෝ සමාගම සහ Eඡ් ආයතනය අතර ඇති සහයෝගීතාව මෙම පරීක්ෂණ ප්‍රතිඵල පිටතට යාම හැකිතාක් දුරට වළක්වා ඇත. මීයන්ගේ වකුගඩු විනාශවීමට ග්ලයිෙµdසේට් හේතු වී ඇති බව ද මේවායින් තහවුරු විය. පිළිකා වලට හේතුවිය හැකි ගැටිති මීයන් පරම්පරා තුනක් ආශ්රයෙන් කරන ලද පර්යේෂණ වලදී තහවුරු විය. ග්ලයිෆොසේට් වල් නාශකය වෙළඳපොළෙහි ඇත්තේ රවුන්ඩ්අප් ලෙසින් වන අතර එහි ග්ලයිෆොසේට් රසායනිකයට අමතරව තවත් රසායනික අපද්‍රව්‍ය මුසු කර ඇත. මෙසේ මුසු කරනුයේ ග්ලයිෆොසේට් රසායනිකයේ වල් මැරීමේ ක්‍රියාකාරීත්වය තවදුරටත් වැඩි කිරීමටයි. උදාහරණයක් ලෙස පොලි එතොක්සිලේටඩ් ටැලොව මඟින් හෙවත් POEA මිනිස් කළල, වැදෑමහ සහ පෙකෙනි වැලෙහි සෛල වලට අධික විෂ සහිත බව ඔප්පු වී ඇත. කාන්තා ශරීරයේ හෝමෝන සමතුලිතතාව බිඳ දැමීම මඟින් දරුවන් පිළිසිඳ ගැනීමට විශාල බාධා ඇති වීමත්, විකෘති කළල වර්ධනය සහ ගබ්සාවීම් විශාල වශයෙන් වැඩි වීමට ග්ලයිෆොසේට් භාවිතය හේතු වී ඇති බව සොයා ගෙන ඇත. ස්නායු දුර්වල වීම හේතුවෙන් වන අංශභාගය, පාකින්සන් රෝගය, ආහාර මාර්ගයේ ආබාධ ආදී තවත් රෝගී තත්ත්වයන්ට ග්ලයිෆොසේට් සම්බන්ධ බව තහවුරු වී ඇත.
අප රටට අමතරව නෙදර්ලන්තය, ප්‍රංශය, බ්‍රසීලය, ජර්මනිය, ආජන්ටිනාව, බර්මුඩා වැනි රටවල් ද මෙම හානිකර කෘෂිරසායනය එම රටවල තහනම් කිරීමට වහා කටයුතු යොදා ඇත. නැතිනම් යොදමින් පවතී. ශරීරගත විෂ උදාසීන කරනු ලබන එන්සයිම ග්ලයිෆොසේට් මඟින් විනාශ කරන බවත් එමනිසා මෙම රසායනිකය අනෙකුත් විෂ ද්‍රව්‍ය සඳහා මිනිස් ශරීරය විවෘත කිරීමද කරනු ලබයි. මේ අනුව පැහැදිලි වන කරුණක් නම් විෂයයි සැක සිතූ මෙවැනි කෘෂිරසායනවල විෂ විද්‍යාත්මක පර්යේෂණ වල දියුණුවත් සමඟ තව තවත් තහවුරු වන බව විනා ඒවායෙහි ආරක්ෂිත බව තහවුරු නොවන බවයි. වගාවන්හි වල් මර්දනය කිරීම කිසිසේත් ග්ලයිෆොසේට් නොමැතිව මහා පරිමානයෙන් කළ නොහැකි බවත් ඒනිසා තේ, ඉරිගු ඇතුළු අප රටේ වගාවන් සියල්ල විනාශයේ අභිමුවට පනවා ඇති තහනම නිසා පැමිණ ඇති බව හඬ නගා කියන කෘෂි විද්‍යාඥයින්ගෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. - එනම් මහා පරිමානයෙන් වල් මර්දනයට ඇති එකම ක්‍රමවේදය මේ ග්ලයිෆොසේට්ද? යන්නයි.
අවුරුදු 2500 ඈතට දිවයන කෘෂි ඉතිහාසයකට හිමිකම් කියන සහ විශ්වවිද්‍යාල හතකින් කෘෂි විද්‍යාඥයින් බිහි කරන කෘෂිකාර්මික රටක් වන අප රටේ කෘෂි තාක්ෂණය මෙතරම් නොදියුණු වීම ගැන අපි මවිත වෙමු. විෂ රසායනික වලින් තොර මහා පරිමාණ භාවිතයට ගැලපෙන ක්ෂණික වල් නාශක ක්‍රමවේද වන අධෝරක්ත, ක්ෂුද්‍ර තරංග, තාප වල් නාශක යන්ත්‍ර පළමුව මෙරටට හඳුන්වා දීමත් පසුව ඒවා මෙහිම නිෂ්පාදනය සඳහා කරන වැඩ පිළිවෙලක් ගැන කිසිදු පර්යේෂණ ආයතනයකින් හෝ විද්‍යාඥයෙකුගෙන් අසන්නට නොලැබේ. අසන්නට ලැබෙන්නේ යෝජනා දෙකකි. එනම් ග්ලයිෙµdසේට් තහනම වහා ඉවත් කිරීමට පියවර ගැනීම සහ ග්ලයිෆොසේට් වෙනුවට වෙනත් ක්‍රියාකාරී රසායනයන් ආනයනය කර බෙදා හැරීමක් ගැන පමණි. ශ්‍රී ලාංකීය කෘෂි විද්‍යාඥයින් එම ක්ෂේත්රයට සම්බන්ධ ගැටලුවක් විසඳීම සඳහා ඉදිරිපත් වන ආකාරය මෙය යි. මෙවැනි යෝජනා බලාපොරොත්තු විය හැක්කේ කෘෂි අමු ද්‍රව්‍ය ආනයනය කරවන්නෝ දේශපාලනඥයන්ගෙන් මිස විද්‍යාඥයන්ගෙන් නම් නොවේ. මේ තත්ත්වය සළකා බැලූ කල අප දේශයේ ආහාර සුරක්ෂිතභාවය පවත්වා ගැනීම සඳහා දැවැන්ත වැඩපිළිවෙලක් කඩිනමින් අවශ්‍යව ඇත. අවුරුදු දහස් ගණනකට කලින් සියයට සියයක් දේශීය තාක්ෂණය සහ අමුද්‍රව්‍ය භාවිතා කර විදේශ රට වලට පවා අපනයනය කිරීමට තරම් ආහාර අතිරික්තයක් නිෂ්පාදනය කිරීමට හැකියාව තිබූ සහ මායා, මෙසපොටේමියා, නයිල්, ඉන්දු නිම්න වැනි දැවැන්ත කෘෂි ශිෂ්ටාචාර වලට නොදෙවෙනි කෘෂි තාක්ෂණයකට උරුමකම් කියූ ශ්‍රී ලංකාව මේ වන විට අවාසනාවන්ත ලෙස විදේශ තාක්ෂණය සහ අමුද්‍රව්‍ය මත යෑපෙමින් තම ශ්‍රමය පමණක් සපයමින් කරනු ලබන ආහාර නිෂ්පාදන රටාවකට තල්ලු වී ඇති ආකාරය මනාව පිළිබිඹු වේ. තම පුරවැසියන්ගේ ආහාර අවශ්‍යතා සඳහා පරාදීන වීම තරම් අවාසනාවක් රටකට තිබිය හැකිද? මෙයින් වහා ගොඩ ඒම සඳහා පාලකයින්, විද්‍යාඥයින් සහ සමස්ත පුරවැසියන් පක්ෂ, ජාති, ආගම් භේද වලින් තොරව කැපවීම අත්‍යාවශ්‍ය වේ.
මහාචාර්ය ජී. අයි යාපා, කෘෂිවිද්‍යා පීඨය, සබරගමු විශ්වවිද්‍යාලය.
http://www.divaina.com/2016/11/13/feature33.html
අද වනවිට රට පුරාම උදෑසනට සහ සවසට තම ශරීර සුවතාවය සඳහා ඇවිදින පිරිස දැකගත හැකිය.
එසේ වී ඇත්තේ අද බොහෝ දෙනා යතුරු පැදි, මෝටර් රථ ආදිය භාවිතය බහුලව සිදුකිරීමත් එක බස් නැවතුමක් වුව පයින් ගමන් කිරීමට පුරුදුව නොසිටීමත්, ක්ෂණිකව සැකසූ ආහාර පාන ගැනීමට හුරුව සිටීමත් නිසා තරබාරුවට පත්ව සිටීම, අධි රුධිර පීඩනයට ලක්ව සිටීම හා දියවැඩියාව රෝගයට ගොදුරුව සිටීම නිසාය. ශරීර සුවතාවය සඳහා ඇවිදීමත් දැන් විලාසිතාවක් වී ඇත. ඇතැම් දෙනා ශරීර සුවතාවය සඳහා ඇවිදින්නට යන්නේ උත්සව අවස්ථාවකට සහභාගි වන ලෙසිනි. මාල වළළු වලින් සැරසී කොණ්ඩා විලාසිතා වලින් යුක්තව ඇවිදීමට යන ඇතැම් දෙනා පවසන්නේ මුළු දවසම ගෙදරට කොටුවී සිටින නමුත් එළියට බහින්නේ ශරීර සුවතාවය සඳහා බැවින් එවැනි අවස්ථාවකදී හෝ හැඩවැඩවී සිටිය යුතු බවය.
තවත් සමහරු ඇවිදින්නේ අධික සීනි සාන්ද්‍රණයෙන් යුත් බීම වර්ග වල රස බලමිනි.
මෙය ශරීර සුවතාවය සඳහා ඇවිදීමට සුදුසු බීමක්දැයි අපි ඒ ගැන විමසා බලමු. ඇවිදීම යනු අපට නොමිලයේ ලබා ගත හැකි ව්‍යායාමයකි. ඒ සඳහා ශරීර සුවතා මධ්‍යස්ථානයකට යා යුතු නැහැ. නිරෝගී පා යුගලක් ඇති අයෙකුට පෘථිවියේ වට ප්‍රමාණය මෙන් දෙගුණයක දුරක් ඇවිදිය හැකිය. වයස අවුරුදු සියයක් දක්වා වුව හොඳින් ඇවිදිය හැකිය. දිනකට අවම වශයෙන් කිලෝමීටර් 3 1/2 ක උපරිම වශයෙන් කිලෝමීටර් 40 ක්ද ඇවිදිමේ හැකියාව අප දෙපා සතුව තිබේ.
ඇවිදීමට ගැලපෙන පාවහන්
අපට දිනපතා නිරෝගීව ඇවිදීමට හැකියාව උදාකර ගැනීමට නම් ඇවිදීම නිසා දෙපාවලට සිදුවිය හැකි අනතුරු අවම කරගත යුතුය.
ඒ සඳහා නම්‍යශීලී ක්‍රීඩා සපත්තු දෙකක් භාවිතා කල යුතුය. එම සපත්තුවේ අඩිය අඟල් 1/2 ක් හෝ අඟලක් පමණ තිබිය යුතුය. සෙරප්පු, අඩි උස සපත්තු, අඩිය ඉතා තුනී ක්‍රීඩා සපත්තු සහ දෙපාවලට සිරවන ලෙස සැකසුනු පාවහන් ඇවිදීම සඳහා සුදුසු නැත. ඉන් සිදුවන්නේ ඇවිදීම නිසා දණහිස්වලට අධික පීඩනයක් ඇතිවීම නිසා දණහිස් ආබාධ ඇතිවීමය.
ඇඳුම්, පැළඳුම්
ඇවිදීම සඳහා යොමුවීමේදී කපු යට ඇඳුම් භාවිතා කළ යුතුය. කාන්තාවන් තම තන පට සඳහා ක්‍රීඩා තනපට (Sචදරඑ ඊර්) භාවිතා කිරීමට යොමු විය යුතුය. ඇවිදීම සඳහා ඇඳුම් තෝරා ගැනීමේදී සුදු පැහැති ඇඳුම් භාවිතය වඩාත් සුදුසුය. ඉන් හිරුඑළිය පරාවර්තනය කිරීම නිසා ශරීරයට අනවශ්‍ය උණුසුමක් ඇති නොවේ.
ඇවිදීමේදී දෙපා පළදින මේස්, ලුණු වතුර හෝ උණු වතුර හෝ විෂබීජ නාශකයක් යෙදූ පිරිසිදු ජලයෙන් දිනපතා සෝදා හොඳින් වියළා ගතයුතුය.
එසේ නොවුණහොත් දෙපාවල ඇඟිලි කරු නිතර බැක්ටීරියා දිලීර වර්ග මගින් ආසාදනය විය හැකිය.
රූපලාවන්‍ය ආලේප
ඇවිදීමේදී ශරීරය උණුසුම් වී දහදිය ගලන නිසා රූපලාවන්‍ය ආලේප වර්ග ආලේප කර ගැනීම සුදුසු නැත. අවශ්‍ය නම් හිරු එළියෙන් සම ආරක්ෂාවීම සඳහා ක්‍රීම් වර්ගයක් සම මත ආලේප කර ගත හැකිය.
ආහාර පාන ගැනීම
ආහාර පාන ගැනීම ඇවිදීම ආරම්භ කිරීමට පැය 1 1/2 කට පෙර ආහාර පාන ගත යුතුය. ඇවිදීමේ යෙදී අවසන් වූ පසු ආහාර ගත යුත්තේ පැයක් පමණ ගතවූ විටය.
ඇවිදීමේදී ශරීරයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති නිසා ඇවිදීම අවසන් කළ වහාම ආහාර ගතහොත් ශරීර උෂ්ණත්වය තවත් වැඩිවී හෘදයාබාධ ඇතිවීමට පවා හේතුවේ. ඇවිදීමෙන් පසු පළතුරු යුෂ පානයක් ගත හැකිය. එයත් කැලරි 50 ට අඩු පානයක් විය යුතුය. ඇවිදීමේ ව්‍යායාමයේ යෙදෙන අතර තුර තේ හෝ කෝපි පානය මධ්‍යසාර දුම්වැටි පානය අහිතකරය. ඉන් ශරීරය උත්තේජනය වී ශරීර ක්‍රියාකාරිත්වය ඉහළ යා හැකිය. එවිට රුධිර නාල පුපුරා යැම වැනි භයානක අනතුරුවලට ලක්විය හැකිය.
ශරීරය පිරිසිදු කර ගැනීම
ඇවිදීමේ ව්‍යායාම සිදුකිරීමෙන් පසු ස්නානය හෝ ඇඟපත සෝදා ගැනීම කළ යුත්තේ පැය භාගයක් පමණ ගිය පසුය. එවිට ශරීරයේ පැවැති අධික ක්‍රියාකාරිත්වය සාමාන්‍ය තත්ත්වයට පත්වේ. ව්‍යායාම කිරීමෙන් පසු ශරීරය පිරිසිදු කර ගැනීම සඳහා භාවිතා කළ යුත්තේ සාමාන්‍ය ඇල් ජලයයි. උණු ජලය හෝ ශීතල ජලය ඒ සඳහා භාවිතා නොකළ යුතුය.
ඇවිදීමේ ව්‍යායාමයේ යෙදීමට පෙර
තම ශරීර බර අඩුකර ගැනීමට, අධිරුධිර පීඩනය පාලනය කර ගැනීමට වැනි කරුණු මූලික කරගෙන ඇවිදිනවිට වෛද්‍යවරයකු වෙත ගොස් තම රුධිර පීඩනය හදවතේ ගැස්ම පරීක්ෂා කරගත යුතුය.
උපදෙස් : එංගලන්තයේ රාජකීය ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනයේ මානව චාලක විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය අසංග විජයරත්න, සකස් කළේ - උපාලි ද සේරම්
http://www.divaina.com/2016/10/16/feature39.html
1960 දී උපත ලද මාරි මොනික් රොබින් ප්‍රංශ ජාතික රූපවාහිනී මාධ්‍යවේදිනියක්, වාර්තාමය චිත්‍රපට නිෂ්පාදිකාවක් ලෙස ප්‍රචලිත වන අතර, ඇය විසින් හෙළිදරව් කරන ලද විවිධ ජාවාරම් හෝ සමාජ අගතීන් අළලා සැකසුණු වීඩියෝ පට, චිත්‍රපට හා පොත්පත් ඉතා වේගයෙන් ජනයා අතර පැතිර ගියේය. ඇය බොහෝ සම්මානයන්ගෙන් පිදුම් ලැබූයේ සමාජ ආරක්ෂණය හා තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඇය අතින් වූ මෙහෙය නිසාවෙනි. මෙම සමාජ සේවය නිසා ඇතැම් විට ඇයට ලැබුණේ අප්‍රමාණ කෙනෙහිලිකම් හා පීඩනයන්ය. නමුත් ඇය සවිමත් මවක් ලෙස ලෝකයේ සියලුම දුවා දරුවන් වෙනුවෙන් යහපත් හෙට දිනක් බිහිකරලීමට කැපවී සිටින්නීය.
ඇය වසර 30 ක් තිස්සේ ජනමාධ්‍යවේදිනියක්, පර්යේෂිකාවක්, කතුවරියක් ලෙස කටයුතු කළ අතර 'මොන්සැන්ටෝ සමාගමට අනුව ලෝකය' (The world According to Monsanto, 2008) නමැති භාෂා 22 කට පරිවර්තනය වූ කෘතියේ සම්පාදිකාව වූවාය. මෙතුමිය විසින් මොන්සැන්ටෝ සමාගම සහ ඔවුන්ගේ විනාශයන් අළලා සිදු කරන ලද පර්යේෂණ චිත්‍රපටය රටවල් 50 කට අධික ප්‍රමාණයක ව්‍යාප්ත විය. මෙතුමිය අප රටට පැමිණියේ ශ්‍රී ලංකාවේ පැතිර පවතින වකුගඩු රෝගයට විෂ රසායනිකවල ඇති සම්බන්ධතාව ගැන චිත්‍රපටයක් සිදු කිරීමටයි. ඒ අතරවාරයේදී පසුගිය දිනක ඇය විසින් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනයේ දී (SEMA) ග්ලයිෆොසේට් සහ මොන්සැන්ටෝ සමාගමට එරෙහිව පළ කළ අදහස් මෙසේ දක්වා සිටිමු.
මොන්සැන්ටෝව මේ වන විට ලෝක ගෝලයම අනතුරට හෙලමින් විෂ රසායනික ලෝකයට එන්නත් කරමින් සිටින පසුබිමක මෙවැනි සංවාදයක් ඇතිවීම ඉතා වැදගත් වෙනවා. වර්තමානය වන විට ඔවුන් නිෂ්පාදනය කළ විෂ රසායනවලින් බොහෝමයක් තහනම් කරලා. ඒවායින් කිහිපයක් DDT හා PCBs අදටත් මිනිස් සිරුරට ඇතුල් වෙමින් මිනිසා රෝගී තත්ත්වයන්ට පාත්‍ර කරනවා. මේවා මීට වසර 30 කට පමණ පෙර තහනම් කළත් අද බිහිවන දරුවා පවා රෝගී කරවන්නේ ලේ සහ ජාන පවා විකෘති කරමින්.
මොන්සැන්ටෝ පිළිබඳව නිව්යෝර්ක් කොටස් වෙළඳපළේ ඇති චෝදනා සැලකීමේදී මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ගෙනයාම, ඉහත සඳහන් කළ PCB යන විදුලි උත්පාදක යන්ත්‍රවලට භාවිත කළ තෙල් වර්ගවල අන්තර්ගත විෂ රසායනිකය මිහිපිට ජීවීන්ට අහිතකර නොවන්නක්ය යන්න ප්‍රකාශ කර ජනතාව මුලා කරවීමෙන්ම තහවුරු වෙනවා. මෙය කැනඩාවේදී මිනිසාට අහිතකර සංයෝග 02ක් ගවයන්ගේ කිරි ප්‍රමාණය වැඩි කිරීමට යොදා ගැනීමත්, එය වසන් කිරීමට කැනඩා සෞඛ්‍ය ක්ෂේත්රයේ වගකිවයුත්තන්ට අල්ලස් ලබා දීම පිළිබඳව වන නඩු මාලාවක් මොන්සැන්ටෝවේ තුච්ඡ උපායන්, සඳහා ලිත සාක්ෂි සපයනවා. මෙම උදාහරණයන් දෙකේදීම ඒවායේ තහනම් කිරීම සඳහා මගේ පොත් සහ චිත්‍රපටවලින් යම් සත්‍ය පෙන්වාදීමක් සිදුවූවා. මේ සියල්ල සිදු කරන්නේ Revolving Door (කැරකෙන දොරවල්) ක්‍රමයක් මගිනුයි. මොන්සැන්ටෝවේ විද්‍යාඥයන් කලකදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආදී තීරණාත්මක ආයතනවල තීන්දු තීරණ ගන්නා මුල් පුටුවලට පත්වෙනවා. නැවත ඔවුන් දේශපාලනයට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව නැවත මොන්සැන්ටෝව ආදී දූෂිත සමාගම්වලට යනවා. මෙය දිගුකාලීනව බැලූවොත් ඔබ රටේත් දකින්න පුළුවන් වේවි. මෙවැනි සාධක 50 කට වඩා මම ලිඛිතව පෙන්වා දී තිබෙනවා.
මොන්සැන්ටෝ වියට්නාමයේදී භාවිත කළ Agent Orange වැනි විෂ ද්‍රව්‍ය පිළිබඳව හා ඔවුන්ගේ නිෂ්පාදන විද්‍යාත්මකව බොරු තර්ක හා න්‍යායන් මගින් ඇතැම් විද්‍යාඥයන් මුලාව සඳහා යොදාගන්නවා. මෙසේ විද්‍යාත්මක බොරුව සඳහා යොදාගන්නා විද්‍යාඥයන් "විද්‍යාත්මක ගණිකාවන්" ලෙසයි මා හඳුන්වන්නේ. මේ වගේ විද්‍යාඥයන් සඳහා මා කොතෙකුත් උදාහරණ ලිතව මගේ ප්‍රකාශවලින් පෙන්වා දී තිබෙනවා. ඇතැම් විද්‍යාඥයන් අහිතකර දෑ පිළිබඳව කළ යුතු පරීක්ෂණ නොකර බලා සිටීමෙන් ඔවුන්ට උදව් දෙනවා. මෙවැනි විද්‍යාඥයන් තීන්දු තීරණ ගන්නා බල අධිකාරයට කරන වැරදි මඟපෙන්වීම නිසා රටවල්වලට ගන්න වෙලා තියෙන්නේ වැරදි තීරණයන්.
මෙය ඔබ රටේ ග්ලයිෆොසේට් පිළිබඳව සිදු වෙමින් පවතිනවා. ඔබ රටේ පුවත්පත්වල ග්ලයිෆොසේට් මිනිසාට බලපෑමක් නොමැති බව පුන පුනා කීමට උත්සාහ කළත් එහි බලපෑම පිළිබඳව ගිය අවුරුද්දේ, 2015 දී ඉන් ඇති පිළිකාකාරක ස්වභාවය ලෝක සෞඛ්‍ය සංවිධානය හෙළි කළා. ග්ලයිෆොසේට් කියන්නේ වල් නාශකයක්. එය පොළවට වැටී පැය 02ක් ඇතුළත විනාශ වන බව අසත්‍යයක්, එසේ නම් බොහෝ කාලයකට පසුත් ඔබ අපේ යුරෝපයට එවන නිෂ්පාදන වලින් මේවා හමුවන්නේ කොහොමද? මෙය තමයි විද්‍යාඥයන් සිදුකරන ජනතා මුලාව. ග්ලයිෆොසේට් පිළිබඳව සිදුකළ දහසකට වඩා විද්‍යාත්මක පර්යේෂණවලින් 200 ක් පමණ ඉතා හොඳ විද්‍යාත්මක පදනමක් තිබෙන ඒවායි. මේවා පදනම් කරගෙන තමයි ග්ලයිෆොසේට් බොහෝදුරට පිළිකාකාරකයක් (Probable cardinogen - 2 B) 2 කාණ්ඩයට නම් කෙරෙන්නේ. 1 ඛාණ්ඩයට අයත් වන්නේ මිනිසාට අදාළව සිදු කළ පර්යේෂණ මගින් පිළිකාකාරක බවට දත්ත වාර්තා කළ සංයෝගයි. මෙය ඇස්බැස්ටෝවලට සිදු කළත් වල් නාශකයක් වෙනුවෙන් මිනිසා භාවිතා නොකිරීම නිසා පමණයි ග්ලයිෆොසේට් 1 ඛාණ්ඩයට ඇතුළත් නොවන්නේ. දිගු කාලීන ග්ලයිෆොසේට් භාවිතය නිසා පිළිකාවලට ගොදුරුවන බව විද්‍යාත්මක සත්ත්ව සෛල හා වෙනත් ජීවීන් භාවිතයෙන් සිදුකළ පර්යේෂණවලින් හොඳින්ම අවබෝධ වී තිබෙනවා. මේ සාධක මිනිසාට පිළිකා ඇති කිරීමට ග්ලයිෆොසේට්වල ඇති සම්බන්ධය මොනවට පැහැදිලි කරනවා. බේයර්, මොන්සැන්ටෝ, සින්ජෙන්ටා ආදී කූප්රකට සමාගම් සියල්ල වෙනුවෙන් කටයුතු කරන විද්‍යාඥයන් මේවායේ විෂ සැඟවීමේ තුච්ඡ උපායන් විද්‍යාත්මකව කරමින් සිටිනවා. මෙයට එක් සාධකයක් බේයර් සමාගම විසින් මොන්සැන්ටෝව මිලයට ගැනීම. මේ සියල්ලන්ගේ එකම ඉලක්කය වී ඇත්තේ එනම්, ජනතාවට අහිතකර, පරිසරයට අහිතකර ද්‍රව්‍ය විකුණමින් විශාල ලාභ ඉපැයිමයි.
ග්ලයිෆොසේට් වැනි උග්‍ර විෂකාරකවලට ඔරොත්තු දෙන බීජ නිෂ්පාදනය ඔවුන්ගේ තවත් කූප්රකට කටයුත්තක්. ජාන විකෘති කළ (GM foods) බීජ ලෙස තිරිඟු, සෝයා හා බඩ ඉරිඟු ලොව පුරාම භාවිත කරමින් සිටිනවා. ඔබ රටේ බඩඉරිඟු ව්‍යාපෘතියත් එවැන්නක්. ඔබ දන්නේ නැතුව ඇති ඔබ භාවිත කරන බඩ ඉරිඟු ග්ලයිෆොසේට්වලට ප්‍රතිරෝධී බව. විද්‍යාඥයන් මුලාවේ හෙළමින් ඔවුන් මෙම බීජ වර්ග ඔබ රටවල් තුළ ව්‍යාප්ත කර තිබෙනවා. මෙයට ඔබ හසු වී හමාරයි.
ග්ලයිෆොසේට් කියන්නේ පිරිසිදුකාරකයක්. 1964 දී ස්ටෝµa (Stauffer Chemical company) නම් සමාගම විසින් මෙය හඳුන්වා දෙන්නේ වෙනත් අයන හා ඛණිජ (විශේෂයෙන් බැර ලෝහ) සමඟ එක්වී පිරිසිඳු කාරකයක් ලෙස ක්‍රියාකිරීම නිසායි. මෙය ඔබ රටේ වකුගඩු රෝගයට හේතු සොයා ගැනීමට එක් සාධකයක් විය හැකියි. හොඳ අයන මෙන්ම අහිතකර අයනයන්ද බැඳ තබා ගැනීම නිසා පසේ පෝෂණය අඩු වීමත් ග්ලයිෆොසේට් නිසා සිදුවන බව සත්‍යයක්. ඔබට තේරේවී ඇයි ඔබේ විද්‍යාඥයන් මේ පර්යේෂණ නොකරන්නේ කියලා.
බොහෝ ගොවීන්ට ජාන විකෘති බීජ හා විෂ රසායනිකවලින් බැහැරව කලින් පැවති ගොවිතැනට යාමේ කැමැත්තක් තිබුණත් මේ විෂම චක්‍රය ඔවුන් මෙම උගුලේ හිර කරගෙන සිටිනවා.
ග්ලයිෆොසේට් ප්‍රතිජීවකයක් හැටියටත් ක්‍රියා කරනවා. සියලු හිතකර බැක්ටීරියාවන් මරා දමමින් අපගේ බඩවැලේ අහිතකර බැක්ටීරියාවන් ප්රමුඛ කරමින් මිනිස් ජීවිතවලට බලපෑම් ඇති කරවීම පිළිබඳව දැන් විද්‍යාත්මක පර්යේෂණ සිදුවෙනවා. සතුන්ගේ ආහාර මාර්ගයේ ඇතිවන ආසාමාන්‍යතා වගේම ලිංගික බෙලහීනතාව නිසා සතුන් නිසරු වෙලා. මීට ප්‍රධානතම හේතුව, සෝයා, බඩඉරිඟු හා තිරිඟුවලට කෙළින්ම ග්ලයිෆොසේට් යෙදීමයි. අප ආහාරයට ගන්නා කිරි හෝ මස්වල ග්ලයිෆොසේට් තිබෙන්නේ කෙසේද යන්න පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුවිය යුතුයි. මේ සියල්ල විද්‍යාත්මක පසුබිමක් සහිත කාරණා, හෝමෝන පද්ධතියට ඇති කරන බලපෑම මිනිසාගේ අනාගත සෞඛ්‍යයට කෙසේ බලපායිද යන්න පිළිබඳව තවමත් සැකයක් තියෙනවා. මිනිසාගේ ප්‍රතිශක්තිය හා ආරක්ෂණ යාන්ත්රණයට සිදුකරන හානිය, පිළිකාකාරක බව හා ප්‍රතිජීවක හැකියාව. මිනිසාගේ අනාගත සෞඛ්‍යයට ප්‍රබල හානියක් ඇති කරාවි. මේ නිසා අපි යුරෝපයේ පාරිභෝගිකයා ලෙස දැඩි ලෙස වර්ජනය කරනවා මෙසේ ග්ලයිෆොසේට් රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර.
මේ සියල්ල සලකා බලා අපි තීරණය කළා මොන්සැන්ටෝවට විරුද්ධව නීතිමය ක්රියාමාලවකට යන්න. දැන් එය යුරෝපයේ දියත් වෙනවා. ලෝකයේ සියලු රටවල මෙය ආරම්භ කර තිබෙනවා. මේ සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම අප ප්‍රංශයේදී පෙත්සම් යොමු කිරීමක් මඟින් මේ වසරේ ඔක්තෝබර් මැදදී කිරීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා ඔබ රටේ විද්‍යාඥයන් කිහිපදෙනකු, විශේෂයෙන්ම වෛද්‍ය චන්න ජයසුමන මේ සඳහා ඉදිරිපත් වෙනවා. රටවල් කිහිපයක ජනතා පෙළගස්වමින් තිබෙනවා. මේ සමාගම්වලින් මේ වනතුරු ජනයා ලෙඩ වීම නිසා සිදුවූ ආර්ථික හානිය නැවත ඉල්ලා සිටීමට කටයුතු කරනවා. ඔබේ රටේ වවන්නේ ග්ලයිෆොසේට් අඩංගු තේ නම් අප රටේ හා යුරෝපයේ සිටින මාගේ සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා එම නිෂ්පාදන මිලදී නොගන්නා හැටියට. මන්ද මවක් ලෙස එයයි ඔවුන්ට දිය හැකි උසස්ම පණිවුඩය.
Monsanto Glyphosate Tribunal ලෙස අන්තර්ජාලයේ සෙවීමෙන් ඔබට මේ කටයුතු පිළිබඳව තවත් වැඩිදුර විස්තර ලබා ගත හැකි වේවි. මෙහිදී අප ගෝලීයව යහපත් නිගමනයක් හා හිතකර පිළිතුරක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මොවුන් විසින් සිදු කළ නූතන ජීවී සංහාරය, ජෛව මංකොල්ලයක්. මේ නිසා කී දෙනෙක් ගොවීන් ලෙස, මවුවරුන් ලෙස, පාරිභෝගිකයන් ලෙස මිය යන්නට ඇත්ද ?. මෙයට ඔවුන් පිළිතුරු දිය යුතු වෙනවා. විසඳුම් හා අලාභයන් වෙනුවෙන් සමස්ත ජනතාව හා නූපන් ජනතාව වෙනුවෙන් වන්දි ගෙවිය යුතු වෙනවා.
ජගත් කණහැරආරච්චි - සචිත්ර යාපා
http://www.divaina.com/2016/10/10/feature01.html
සබැඳි ලිපි -
[තහනම තිබියදීත් කන්ටේනර් පිටින් ගෙන්වූ වකුගඩු මාරයා 'ග්ලයිපොසේට්'http://denethharinna.blogspot.com/2015/05/blog-post_59.htmlපොහොර වර්ග තුනක් ආනයනය තහනම්http://denethharinna.blogspot.com/2015/03/blog-post_63.htmlදේශීය ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයෙන් වකුගඩු රෝග නිවාරණයට පියවරhttp://denethharinna.blogspot.com/2014/08/blog-post_71.htmlපර්යේෂණ සාර්ථකයි! දේශීය වෙදකමෙන් වකුගඩු රෝගීන් සනීපයි!http://denethharinna.blogspot.com/2014/07/blog-post_3942.htmlරජරට වකුගඩු රෝගයට මුල විෂ කාරකයක් ශරීරගත වීමයි. පිළිකා මඬින දේශීය සහල් කන්න - වෛද්‍ය චන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/06/blog-post_2822.htmlවකුගඩු රෝගීන් මෙන්න මෙහෙම කන්න බොන්නhttp://denethharinna.blogspot.com/2014/05/blog-post_2560.htmlවකුගඩු රෝගයෙන් අත්මිදෙන්න දේශීය සහල් පරිභෝජනය කරන්න - වෛද්‍ය ඡන්න ජයසුමනhttp://denethharinna.blogspot.com/2014/04/blog-post_346.htmlලංකාවේ වකුගඩු පර්යේෂණය - 2013 වසරේ කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ හොඳම පර්යේෂණය ලෙස පිදේhttp://denethharinna.blogspot.com/2014/04/2013.htmlශ්‍රී ලංකික විද්‍යාඥයෝ අභිරහස් වකුගඩු රෝගයේ රෝග යාන්ත්‍රණය පර්යේෂණ මඟින් සොයා ගනිතිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_21.htmlවකුගඩු රෝගයට හේතුව කෘෂි රසායනවල ඇති කැඩ්මියම් හා ආසනික් - පර්යේෂණ ප්‍රතිඵල එළිදකියිhttp://denethharinna.blogspot.com/2014/02/blog-post_7225.htmlවකුගඩු රෝග ඇතුළු බොහෝ බෝ නොවන රෝගවලට මුල අපි කන වස විසයhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_6452.htmlරටම වකුගඩු රෝග අවදානමේhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_5645.htmlවකුගඩු රෝගය නිසි ප්‍රතිකාර ක්‍රම පාලනය කළ හැකියි - විශේෂඥ වෛද්‍ය රජීව දිසානායකhttp://denethharinna.blogspot.com/2014/01/blog-post_695.htmlරජරට වකුගඩු රෝගයට බෙහෙත් පැරණි වී වර්ගවල – පර්යේෂණ මඟින් චන්න ජයසුමන හෙළි කරයිhttp://denethharinna.blogspot.com/2013/12/blog-post_313.htmlඋඩරට ගොවීන්ගේ පොහොර රජරට වකුගඩු ලෙඩ කරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_549.htmlඋතුරු මැද වකුගඩු රෝගයට ප්‍රධානම හේතුකාරකයා කැඩ්සියම් - නවතම පර්යේෂණ වාර්තාවක් හෙළිකරයිhttp://denethharinna.blogspot.com/2013/10/blog-post_6556.htmlගොවිතැන සහ වකුගඩු රෝගය - 'වකුගඩු මාවත'http://denethharinna.blogspot.com/2013/09/blog-post_8541.htmlවකුගඩු රෝගයට හේතුව කැඩ්මියම් සහ ආසනික් - ලෝක සෞඛ්‍ය සංවිධානයhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_28.htmlඅතීතයේ රජරට ජනශූන්‍ය කළ මහ ලෙඩේ වකුගඩු රෝගය ද?http://denethharinna.blogspot.com/2013/09/blog-post_7144.html
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසන් වාර්තාව අනුව රජරට වකුගඩු රෝගීන්ගේ මුත්රාවල ආසනික් ප්‍රමාණය ග්‍රෑම් 1කට මයික්‍රෝ ග්‍රෑම් 92.44 තෙක් වැඩියි - චන්න ජයසුමන
http://denethharinna.blogspot.com/2013/08/1-9244.html
]
වෛද්‍ය දුමින්ද රණවීර - පීනස බෝ නොවෙන රෝගයක් ලෙස වර්ගීකරණය වන තත්ත්වයක්. ඒත් කල් ගිහින් පීනස නරක් වුණාම නියුමෝනියාව, ක්ෂයරෝගය වැනි භයානක රෝග තත්ත්වයන් ඇති වීමට පුළුවන්. පීනස බෝ නොවුණාට ක්ෂය රෝගය බෝ වන බව අප මෙහිදී සිහියේ තබා ගත යුතුයි.
ප්රශ්නය - අද පීනස් රෝගීන්ගේ ගණන එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ශ්වසන පද්ධතියේ රෝග හැදෙන අය ඉතා භයානක ලෙස ගණනින් වැඩි වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා. මෙයට හේතුව මොකක්ද?
වෛද්‍ය දුමින්ද රණවීර - ප්‍රධාන හේතුව දුහුවිල්ල වෙන්නත් පුළුවන්. දුහුවිලි තිබෙන්නේ එළිමහනේ විතරක් නොවෙයි. කම්හල් ඇතුළෙත් දුහුවිලි තිබෙනවා. ඇඟලුම් ෆැක්ටරි ඇතුළේ නූල් සහ රෙදිවල තිබෙන කුඩා අංශු තිබෙනවා. වැඩ බිම්වල ඕනෑ තරම් දුහුවිලි තිබෙනවා. මේ දුහුවිලි ශරීරගත වුණාම ඒවා අසාත්මික අයට නාසයෙන් දිගින් දිගටම සොටු එන්නට පටන් ගන්නවා. සමහරුන්ට ශීතල සුදුසු නැහැ. සිසිල් බීම, අයිස්ක්‍රීම් අසාත්මිකයි. ඒවා පරිහරණය කළ විට පීනස හැදෙනවා.
ප්රශ්නය -පීනස් රෝගයට සුදුසු අත් බෙහෙත් තිබෙනවාද?
වෛද්‍ය දුමින්ද රණවීර - ඔව්. දිගින් දිගටම සාමාන්‍ය මට්ටමින් පීනස තිබෙන අය දවසක් හැර දවසක් පහත සඳහන් සරල කසාය පානය කළ විට පීනස පාලනය වෙනවා. ඒ කියන්නේ නිට්ටාවටම සනීප නොවුණත් සොටු දියර ගැලීම ඇනහිටිනවා. ගොටුකොළ දඬු මිටක්, වළඟසාල් මිටක් සහ රතුලූනු ගෙඩි හතක් පමණ අරගෙන වතුර කෝප්ප 7 ක් දමලා එය එක කෝප්පයට හින්දලා පානයන කළ යුතුයි. මෙය සුදුසු වන්නේ පීනස අලුතෙන්ම හැදුණ අයට විතරයි. රෝගය යම් ප්‍රමාණයකට බරපතළ වූ අයකුට පහත සඳහන් ප්‍රතිකාරය සුදුසුයි.
ගොටුකොළ මිටක්, (මේ ගොටුකොළ ගම්වල වැවෙන කුඩා ප්‍රමාණයේ පත්‍ර සහිත සිංහල ගොටුකොළ වීම වැදගත්) රතුලූනු ගෙඩි 7 යි. මේ ද්‍රව්‍ය දෙක කුඩා වංගෙඩියක දමා හොඳින් කොටා රෙදි කැබැල්ලක දමා හොඳින් ඉස්ම ටික මිරිකා ගන්න. මේ ඉස්ම උදේ හවස පානය කළ හැකි නම් මූලික අවස්ථාවේ පවතින පීනස සම්පූර්ණයෙන්ම නවත්වා ගත හැකියි. ගොටුකොළ කියන්නේ පීනසට ඉතාම යෝග්‍ය ඖෂධයක්. ගොටුකොළ සම්බෝලයක් (රතුලූනු සහ අමු මිරිස් ලියා දමන ලද) ආහාර වේලට එකතු කරගන්නට හැකිනම් එය පීනස නොවැළඳීමට හේතුවක් වෙනවා. ඉහත සඳහන් ගොටුකොළ රතුලූනු ඉස්ම දින 7 ක් නොකඩවා පාලනය කළ විට තමන්ටම වටහා ගන්නට පුළුවන් එහි ඇති ගුණය මොකක්ද කියලා.
ගොටුකොළවල ගුණාගුණ - ගොටුකොළවල උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ Centella asiatica යන්නයි. මෙය ඉන්දියානු උප මහාද්වීපය ඇතුළු ආසියාතික රටවලට ආවේණික වූ ශාකයක්. ගොටුකොළවලට කිසි විටෙකත් රසායනික පොහොර නොයෙදිය යුතුයි. කුඹුරුවලින් ගලා එන වල් නාශක සහ කෘමි නාශක වැව්වලට ගලා විත් නෙළුම් අලවලට උරා ගන්නවා වගේ ගොටුකොළවලට ඕනෑම රසායනික ද්‍රව්‍යයක් උරා ගන්නවා. ඒ නිසා වාණිජ වැවිල්ලක් ලෙස ගොටුකොළ වවන අය ඒ සඳහා රසායනික පොහොර යොදා නොගත යුතුයි. ගොටුකොළ මැල්ලුමට යහමින් පොල් මිශ්‍ර කිරීම ඉතා සුදුසු බවයි සිංහලයන්ගේ මතය. ඉන්දුනීසියාව ගොටුකොළ ගන්නේ සලාද කොළයක් ලෙසයි. තායිලන්තය සහ වියට්නාමය ගොටුකොළ ඉස්මවලින් සෞඛ්යාරක්ෂක පානයක් හදනවා. මැලේසියාවෙත් මෙය සලාද කොළයක්. බංගලාදේශය ගොටුකොළ සහ බත් මිශ්‍ර කර ආහාරයට ගන්නවා. ඕනෑම ආහාරයක් ඖෂධයක් බවට පරිවර්තනය කරගත හැකිය යන විශ්වාසය ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල තිබෙනවා. ඒ අනුව ඔවුන් ආහාර රැසකට ගොටුකොළ මිශ්‍ර කර එම ආහාරය ඖෂධයක් බවට පරිවර්තනය කර ගන්නවා. ආසියාතික සම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමය තුළ වෙරිකෝස් හෙවත් නහර ගැට ගැසීම, නහරවල කොලෙස්ටරෝල් තැන්පත් වීම, සොරයිසිස් වැනි රෝගවලදී ඖෂධයක් ලෙස ගොටුකොළ පාවිච්චි කරනවා. ගොටුකොළ ආයුකාලය වැඩි කර ගැනීම සඳහා යොදාගත හැකි බව චීනයේ පාරම්පරික විශ්වාසයයි. 1677 දී චීනයේදී උපන් ලී- චිං- යූඑන් නමැති ආත්මාරක්ෂක සටන්ක්රම විශාරදයා ගොටුකොළ තම ආහාර වේලේ ප්‍රධාන ආහාරයක් කරගත් නිසා අවුරුදු 256 ක් ජීවත් වූ බව වාර්තා වෙනවා.
(නොමිලේ උපදෙස් සඳහා 0372249276, 0773018158 යන අංකවලින් විමසන්න.)
වෛද්‍ය දුමින්ද රණවීර - සාකච්ඡා කළේ සංඛනාද වෙදගෙවත්ත
http://www.divaina.com/2016/10/09/feature02.html
ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමනයන් විසින් රචිත 'වකුගඩු සටන'' කෘතිය අගෝස්තු 3 වැනි දා එළිදැක්විණි. චන්න ජයසුමන නම් වූ වෛද්‍යවරයා, පර්යේෂකයා සහ සමාජ ක්‍රියාකාරිකයා වකුගඩු සටන් බිමට අවතීර්ණ වී දශකයකට ආසන්න කාලයක් ලබාගත් අත්දැකීම් සහ රෝගයට අදාළ විද්‍යාත්මක පැතිකඩ එම කෘතිය මගින් මනාව ඉදිරිපත් කොට ඇත. මේ රටේ නිදහස් අධ්‍යාපනයට පින්සිදු වන්නට අහිංසක පොදු ජනතාවගේ මුදලින් අධ්‍යාපනය ලබාගෙන සමාජ හිණිමගේ ඉහළට නගිමින් තමාට අතදුන් පහළ තලයට පස්ස හරවන උගතුන්ට චන්න විසින් බරපතළ අභියෝගයක් එල්ල කොට ඇත.
චන්න ජයසුමනයන් වකුගඩු සටන්බිමට කඩා වැදීමට පෙර වසර 10 ක පමණ කාලයක් තිස්සේ එම සටන රෝගීන් සහ රෝගය අතර සටනක් ලෙස පැවතින. යම් මට්ටමකට එය යම් වෛද්‍යවරු පිරිසක් සහ රෝගය අතර සටනක් ලෙසද දක්නට ලැබුණි. අද වන විට එම සටනින් 25000 කට අධික අසරණයන් පිරිසක් පරාජය වී දිවි අහිමි කොට ගෙන ඇත. එසේම තවත් 75000 කට අධික පිරිසක් නිරායුධව එම සටන් බිමේදී එකා බැගින් ඇද වැටෙමින් ඇත. සටන් බිමේ ඇද වැටෙන සෑම ගොවියකුම පරාජය භාර ගන්නේ තම දරු පවුලද දරිද්‍රතාවය තුළ ගිල්ලවමිනි.
මෙම විෂම චක්‍රයට මුහුණදෙමින්, වකුගඩු රෝගීන් තනිතනිව තම රෝගය සමඟ සටන් වදින විට යම් වෛද්‍යවරු පිරිසක් රෝගියා සහ සැබෑ රෝගකාරකයෙන් ව්‍යක්තව රෝගය සමඟ හුදකලා සටනක නියෑළුනි. හඳුනානොගත් වකුගඩු රෝගය නමැති ලේබලය යම් වෛද්‍යවරු පිරිසක් විසින් සොයාගන්නේ එම හුදකලා සටනේ ප්‍රතිඵලයක් ලෙසය. ඒ නිසා බොහෝ කාලයක් තිස්සේ සටනේ සැබෑ නිර්මාතෘවරුන් හෙවත් ගොවියාගේ සැබෑ සතුරා හඳුනා ගැනීමට නොහැකි විය. චන්න ජයසුමන ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම හඳුනා නොගත් සතුරා හඳුනා ගැනීමේ සටන ආරම්භ කරන විට 'හඳුනානොගත්' වෙළඳනාමයේ අයිතිකරුවන් පළමු වටයේදීම යුද්ධ ප්‍රකාශ කළේය. මුල් වටයේදී ඔවුන් බොහෝ දෙනෙකු ඒ වන විට කරන ලද විවිධ පර්යේෂණවල ඊනියා සොයා ගැනීම් චන්න ජයසුමනලා විසින් අභියෝගයට ලක්කිරීම එම විරෝධයට හේතු විය.
එහෙත් ඒ වන විට පැනනගිමින් තිබෙන තත්ත්වය දෙස අවධානයෙන් සිටි සැබෑ සතුරා හෙවත් බහුජාතික කෘෂි රසායන සමාගම් විසින් චන්න විරෝධී ඊනියා විද්වත් බල ඇනිය තම ග්‍රහණයට යටත් කර ගනු ලැබීය. ඒ සඳහා මහා විශාල මුදලක් ඔවුන් වියදම් කළා යෑයි සිතිය නොහැක. බොහෝ විද්වතුන් විශේෂයෙන්ම විශ්‍රාම යාමෙන් පසුව එම සමාගම්වල රැකියා බලාපොරොත්තු වූ පිරිස් තුට්ටු දෙකට තම ආත්මය පවාදුන් බවට බොහෝ චෝදනා එල්ල විය. යම් පිරිස් එසේ විවිධ ප්රතිලාභ සඳහා කෘෂි රසායන සමාගම්වල න්යායපත්රයට යටත්වන විට තවත් පිරිස් හුදු චන්න විරෝධී හීනමානය නිසාම එම බහුජාතක සමාගම්වල කුලීකරුවන් බවට පත්විය. පලිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප්රමුඛ ඉහළ පෙළේ කෘෂිකාර්ම නිලධාරීන් රාශියක් කෘෂිරසායන සමාගම් තුරුලේ සිට චන්න ජයසුමනලාට තාක්ෂණික මෝටාර් ප්‍රහාර එල්ල කළහ. ඊනියා හඳුනා නොගත් වකුගඩු රෝගය කෘෂිකාර්මික වකුගඩු රෝගය බවට තහවුරු වන විට එම ප්‍රහාර තව තවත් තීව්ර විය. එම තත්වයට මුහුණ දීම සඳහා චන්න ජයසුමන වෛද්‍යවරයා පර්යේෂකයකුගේ භූමිකාව ඉක්මවා යමින් සමාජ ක්රියාකාරිකයකුගේ භූමිකාව අතට ගනිමින් වකුගඩු සටන යුද්ධයක් බවට හැරවීය. එනම් සටන් පෙරමුණු රාශියක් විවෘත කරමින් සතුරාට පහරදීමේ උපාය මාර්ගය තේරීමට චන්නලා සමත් විය.
කෙසේ වෙතත් පොදු ජනතාවට දැන් මතු පිටින් පෙනෙන්නේ ''සටන් විරාමයක්'' පවතින බවය. එහෙත් සතුරා තම අවි බිම තබා නැත. ගතවන සෑම දිනකම දස දෙනා බැගින් සටනේ ගොදුරු බවට පත්වේ. එසේ සටනට ගොදුරුවන පිරිස සෑම වසර 4 කට වරක් දෙගුණයක් වන බව පර්යේෂකයන් විසින් ඔප්පු කොට ඇත. ඒ නිසා පළමුවෙන්ම ඊනියා ව්‍යාජ සටන් විරාමය ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීමට කිසිවකුට ඉඩ නොදිය යුතුය. දෙවනුව සටන් විරාමය හෙවත් කෘෂි රසායන සමාගම්වල සූක්ෂම නව සටන් සැලසුමට ගොදුරු නොවී සතුරා තම සටන් බිමට කැඳවීමට මහජනයා සූදානම් විය යුතුය.
අද වන විට මිත්‍ර පාර්ශ්වය ලෙස මහජනයා වෙනුවෙන් පෙනී සිටින රජය දැනුවත්ව සහ නොදැනුවත්ව යන ආකාර දෙකටම සටන් කරන්නේ සතුරාගේ සටන් සැලසුමට අනුවය. තහනම් කළ බව කියන කෘෂිරසායන, විශේෂයෙන්ම වකුගඩු රෝගයට හේතුවන බවට තහවුරු වී ඇති රසායනික වෙළෙඳපලේ පස්ස දොරෙන් ඕනෑම ප්‍රමාණයක් ලබාගත හැක. එකම වෙනස ඒ සඳහා ගොවියාට වැඩි මිලක් ගෙවීමට සිදුවීම පමණි. ඊට අමතරව ග්ලියිෆොසේට් වැනි විෂ රසායනික නාමිකව තහනම් කළද ඊට වඩා දසගුණයකින් විෂ සහිත ගලයිෆොසෙට් නම් වූ නව රසායනික වලට පලිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලය විසින් බලපත්‍ර ලබාදී ඇත. අද වන විට එම කර්යාලය කෘෂිරසායන සමාගම්වල රහස් ලේකම් කාර්යාලයක් බවට පත් වී ඇත. අනෙක් පැත්තෙන් ඊනියා සටන් විරාමය ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම සඳහා රජය විසින් වතුර පිරිසිදු කිරීමේ යන්ත්‍ර සහ රුධිර කාන්දු කරන යන්ත්‍ර ලබාදීමේ ප්රචාරක ව්‍යාපාරයක්ද දියත් කොට ඇත. ඒ තුළ අහිංසක රෝගීන් හෙවත් යුද්ධයේ ගොදුරු පෙන්වා ජාවාරම් කිරීමේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ජාලයක්ද බිහිවී ඇත.
මෙම තත්වය වෙනස් කිරීමට යම් පිරිස් දැනට ඉතා සද්භාවයෙන් කරනු ලබන ''අහිංසක වැඩ'' වලින් පමණක් හැකි වන්නේ නැත. තෝරාගත් සුළු භූමි ප්‍රදේශයක ඉතා දුක් මහන්සියෙන් වස විස නැතිව සම්ප්‍රදායානුකූල වී ප්‍රභේද වගා කළද ඒවාට වෙළෙඳපළේ සාධාරණ මිලක් ලැබෙන්නේ නැත. අවසානයේදී එම ක්රියාවලියද බහු ජාතික කෘෂිරසායන සමාගම් විසින් ලාභ ඉපයීමේ ව්‍යාපාරයක් ලෙස තම ග්‍රහණයට නතුකර ගෙන ඇත. ඒ මගින් සමස්ථ කෘෂි රසායන භාවිතයේ අඩුවක් හෝ සමස්ථයක් ලෙස ස්වභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමක් විධිමත්ව සිදුවන්නේද නැත. එසේම රෝගයට ගොදුරු වූ ප්‍රදේශවල ජනතාවගේ ජීවන තත්වය වෙනස් කිරීම සඳහා අවම වශයෙන් දීර්ඝකාලීනව පානිය ජලය ලබාදීමේ වැඩපිළිවෙලක් හෝ විධිමත්ව දියත් වී නැත. අතන මෙතන ක්‍රියාත්මක වන අවිධිමත් සහ දිර්ඝකාලීනව පවත්වාගත නොහැකි ඊනියා දේශපාලන ව්‍යාපෘතිවලින් මහජන මුදල් ගසාකෑම හැර අඩුතරමින් ආදර්ශයක් ලෙස පෙන්විය හැක 'ආදර්ශ ව්‍යාපෘතියක්' නිර්මාණය වී නැත.
මේ නිසා දිර්ඝකාලීනව මහා පින්තුරය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා රජය සමඟ දේශපාලන සටනක් ආරම්භ කිරීම වකුගඩු යුද්ධයේ එක් පෙරමුණක් බවට පත්කළ යුතුය. යම් මධ්‍යස්ථ විද්වතුන් රටට කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් අවශ්‍ය බවට හඬක් නැඟූ පමණින් ප්රශ්නය විසදෙන්නේ නැත. පවතින තත්ත්වය තුළ ඊනියා ප්‍රතිපත්ති කෘෂිරසායනික සමාගම්වල ගෝල බාලයන්ට උවමනා ආකාරයට සකස් කිරීමේ වැඩි ඉඩක් ඇත. ඒ නිසා ප්‍රතිපත්තිය ලේඛනගත කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික රාමුව සහ ඊට අදාළ අවම ප්රමිතීන් පිළිබඳ කථිකාව මහා සමාජය විසින් ආරම්භ කළ යුතුය. අප රටේ නිදහස් සෞඛ්‍ය සේවය සහ නිදහස් අධ්‍යාපනය දිවි පුදා හෝ රැකිය යුතුය යන සමාජ සම්මතයක් ඇත. එහෙත් ඊට සමානව රටේ ආහාර සුරක්ෂිතතාව රැකීම මුල්කරගෙන දේශීය ගොවියා සහ දේශීය කෘෂිකර්මාන්තය රැකිය යුතු යෑයි සමාජ සම්මතයක් ගොඩනැඟී නැත. දැන් ඊට කාලය පැමිණ ඇත.
වගුගඩු රෝගය පමණක් නොව තවත් බොහෝ සෞඛ්‍ය ගැටලු තුරන් කිරීම සඳහා අවශ්‍ය දේශීය කෘෂිකර්මාන්තය ප්‍රචලිත කළ හැක්කේ එම පූර්ව කොන්දේසිය ඉටුවුවහොත් පමණි. වෙනත් වචනවලින් කියන්නේනම් බටහිර රටවල් තම රටවල ආහාර නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා මීට වසර 60 කට පෙර යොදාගත් ප්‍රතිපත්ති අප පමාවී හෝ ක්‍රියාත්මක කළ යුතුය. ඒ අනුව ගොවියාට තම ආහාර නිෂ්පාදනය සඳහා සාධාරණ මිලක් ලබාදීම සඳහා ආනයනික ආහාර සඳහා ලබාදෙන බදු සහන වහා අහෝසි කළ යුතුය. දකුණු කොරියාව වැනි රටවල ආනයනික ආහාර වලට බදු පනවා දේශීය කර්මාන්තය රැකගන්නා ලෙස ඉල්ලමින් ජනතාව විදි බසිති. අප රටේ සිදුවන්නේ එහි සම්පූර්ණ අනෙක් පැත්ත වීම කුමන සරදමක්ද? අප රටට ආහාර ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබාදෙන්නේ රහසිගතවය. නමුත් අප ආවඩන බටහිර රටවල ඒවා සියල්ල විනිවිද භාවයෙන් සිදු වේ. ඒ අනුව සටනේ අවම ප්‍රමිතිය ලෙස තිරිඟු පිටි, කිරිපිටි, සිනී ඇතුළු ප්‍රධාන ආනයනික ආහාර සඳහා මිල සූත්‍ර හඳුන්වා දී දේශීය ගොවියාට සාධාරණ මිලක් ලැබෙන ලෙස ඒවාට බදු පැන විය යුතු බව පිළිගත යුතුය.
කෘෂි රසායනික වලින් තොරව ස්වාභාවික ගොවිතැන් ක්‍රම මගින් නිපදවන ආහාර වලට හොඳ මිලක් ලැබේනම් නිෂ්පාදනය වැඩි කිරීමේ ව්‍යාජ කෙටිකාලීන ක්‍රමවේද පෙන්වා කෘෂිරසායනික ප්‍රචලිත කිරීම පහසු වන්නේ නැත. පොහොර සහනාධාරය පොහොර ලෙස ලබා නොදී ඊට අදාළ සෑම රුපියලක්ම ස්වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීමේ කොන්දේසිය යටතේ දිරිගැන්වීමක් ලෙස මුදල් වශයෙන් ලබාදිය යුතුය. ඒ සඳහා ගොවිජන බැංකුව නැවත ආරම්භ කළ යුතුය. ගොවියා සමාගම්වල වැඩවසම් ග්රහණයෙන් මුදාගත හැක්කේ එවැනි සහනදායී බැංකු ක්‍රමයක් මගින් ඔවුන්ට මූල්‍ය සහන ලබාදෙන්නේ නම් පමණි. එම මූල්‍ය සහන කෘෂි රසායන අවම කිරීම සහ ස්වාභාවික ගොවිතැන් ක්‍රම ප්‍රචලිත කිරීම සඳහා පෙළඹවීමේ උපාංග ලෙස භාවිත කළ හැක.
ඔවුන් තම ගොවීන්ට සහනාධාර ලබාදෙන්නේ අඩු මිලට අප වැනි රටවල ආහාර ප්රතාපනය කොට දේශීය කෘෂිකර්මාන්තය විනාශ කිරීම සඳහාය. දැනට විවිධ පර්යේෂණවලින් ඔප්පු වී ඇති ඇති ආකාරයට සමස්ථතලෝකයටම බටහිර රටවල් ලබාදෙන සහනාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 10 කට අඩු වුවත් ඔවුන්ගේ නිර්දේශ අනුව අප වැනි රටවල ක්‍රියාත්මක කරන විනාශකාරී වගාක්රම සහ හඳුන්වාදෙන බෝග නිසා පසට සහ පරිසරයට සිදුවන හානිය බිලියන 20 කට ඇස්තමේන්තු කොට ඇත. අප වැනි රටවල ප්‍රතිපත්ති සම්පාදකයින් ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙළමින් අත්‍යවශ්‍ය ආහාර ආනයනය දිරිමත් කරන අතර කෙටිකාලීන වෙළෙඳ පොළ වාසිය සඳහා යම් ආහාර වර්ග අපනයනය සඳහා වගාකිරීම දිරිමත් කෙරේ. එහි එක් තකතීරු අන්තයක් වන්නේ එක් ගමකට එක් බෝගයක් තේමාව යටතේ ඊනියා අපනයන ගම්මාන පිහිටුවීමය. සත්ව ආහාර සඳහා අපනයනය කිරීමට වානිජ වශයෙන් ධාන්‍ය නිෂ්පාදනය දිරිගැන්වීමද එවැනිම උදාහණයකි. ඒ සියල්ල මගින් අධික කෘෂි රසායනික භාවිතය දිරිගැන්වේ.
අප රට තිරිගු පිටි ආනයනය සඳහා රු. මිලියන 40000 ක් වැය කරන විට කෙසෙල්ගෙඩි සහ අනෙකුත් පළතුරු අපනයනයෙන් උපයන්නේ රු. මිලියන 2000 කට අඩු මුදලකි. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිලාභය දේශීය පරිභෝජනය සඳහා ආහාර නිෂ්පාදනය කිරීමට වඩා ඉතා අඩු මට්ටමක පවතී. අනෙක් පැත්තෙන් ගත්විට කුකුල් මස් කිලෝග්‍රෑම් 1 ක් නිපදවීම සඳහා බඩ ඉරිගු කිලෝග්‍රෑම් 4 ක් අවශ්‍ය වේ. වකුගඩු රෝග කාරක ග්ලයිපෝසෙට්, කාබාෆියුරාන් වැනි රසායනික වැඩි වශයෙන් යොදාගන්නේ බඩ ඉරිඟු වගාව සඳහාය. එම නිසා ආහාර පරිභෝජන සංස්කෘතිය වෙනස් කර ගැනීම මෙන්ම කුඩා පරිමාණයෙන් ගෙවතු වගාව මගින් බෝග වගාව සහ සත්ව පාලනය දිරිමත් කිරීමද වකුගඩු සටනේ ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධක බවට පත්වේ. අප ඓතිහාසිකව අහාර වර්ග 800 ක් පමණ පරිභෝජනය කළ ජාතියකි. අද එම ප්‍රමාණය 50 දක්වා පමණ අඩු වී ඇත. ඒ නිසා තෝරාගත් ආහාර කිහිපයක නිෂ්පාදනය වැඩි කිරීම සඳහා අධික ලෙස කෘෂි රසායන භාවිතය දිරිමත් කිරීමට බහුජාතික කෘෂිරසායනික සමාගම්වලට හැකියාව ලැබී ඇත.
ඊට අමතරව පවතින තත්වය වෙනස් කිරීමට නම් කෘෂිරසායනික සමාගම්වල කුලීකරුවන් ලෙස රාජ්‍ය සේවය තුළ රාජකාරී කොට විශ්‍රාම යෑමෙන් පසුව එම සමාගම්වලම රැකියාවක් ලබාගැනීම සඳහා ගොවියා සහ රට පාවාදෙන නිලධාරීන් යමපාලනයකට යටත්කළ යුතුය. කෘෂිරසායනික සමාගම්වල අලෙවි නියෝජිතයන් විසින් ගොවීන්ට උපදෙස් දෙනක්රමය වෙනුවට සැබැලෙසම දේශීය කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා උපදෙස් දෙන නව ව්‍යාපෘති සේවයක්ද රටට අවශ්‍ය වේ. එසේම පලිබෝධ නාශක පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කොට එහි ක්‍රියාකාරීත්වය මහජන අධීක්ෂණයට යටත්කළ යුතුය. ඒ සියල්ලටම ඉහළින් පවත්වාගතයුතු මූලික උපාය මාර්ගික පිළිගැනීමක් ඇත. ඒ බේග මුල්කරගත් කෘෂිකර්මාන්තයක් වෙනුවට ගොවියා සහ ආහාර සුරක්ෂිතතාව මුල්කරගත් කෘෂිකර්මාන්තයක් දිරි ගැන්වීමයි.
එසේම එම ක්‍රියාමාර්ගවල දිර්ඝකාලීන ප්‍රතිඵල ලැබෙන තෙක් දැනට රෝගයට ගොදුරුව ඇති ජනතාවගේ සුබ සාධනය සඳහා විධිමත් ආකෘතියක් යටතේ විසඳුම් ලබාදිය යුතුය. උදාහරණයක් ලෙස දිර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි ආකාරයට පිරිසිදු පානීය ජලය ලබාදීම සඳහා බහුවිධ ක්‍රමවේද හඳුන්වාදීම ප්රමුඛ වේ. එසේම පොදුවේ රටට බත සපයන ගොවි ජනතාව දරිද්‍රතාවයෙන් ගලවා ගැනීම පොදු මහත් ජනතාවගේ වගකීමක් බවට සමාජ සම්මතයක් ඇතිකොට ඒ සඳහා රාජ්‍ය මුදල් යෙදවිය යුතුය. වකුගඩු සටන යුද්ධයක් බවට පත්කොට ජයග්රහණයෙන් අවසන් කිරීම සඳහා ඒ සෑම සටන් පෙරමුණකම සටන් වැදිය යුතුය. එය චන්න ජයසුමනලාට තනිව කළ හැකි දෙයක් නොවේ. ඔවුන් සටනේ පෙරමුණු කිහිපයක ජයග්‍රහණ අත්පත්කොට දී ඇත. දැන් සියලු දේශපාලන පක්ෂ සහ පොදු ජනතාව අනෙකුත් සටන්බිම්වල සටන් තම අතට ගත යුතුව ඇත. ජාතියක් ලෙස අප ඊට සූදානම් නොමැත්තේනම් අවසන් ප්‍රතිඵලය වන්නේ සමස්ත ජාතියම ඊට ගොදුරු වීමය. එය කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.
වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්ඩාර
http://www.divaina.com/2016/09/05/feature01.html
Pic1
Source
Pic2
Source
භාවනා කරන විට රන්ඩු සරුවල් නතරවේ...
ආශාවෙන් කන කෑමද ප්‍රතික්ෂේප කරයි...
අලස බව දුරුවේ...
භාවනා කිරීමෙන් ඔබ තවත් ශක්තිමත් වන්න...
බර අඩු කර ගැනීමේ නිවැරදි වැඩසටහනකදී නිසි ඉලක්කය තෝරා ගෙන වීර්යය වැඩීමත්, නිසි ආහාර පාලනයත්, ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කිරීමෙන් ඒවා වෙන වෙනම ක්‍රියාත්මක කොට ලැබෙන ප්‍රතිඵල වල එකතුවට වඩා උසස් ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ලැබෙයි. නිදසුනක් ලෙස ආහාර පාලනය තනිව ක්‍රියාත්මක කිරීමෙන් කෙනකුට කිලෝ දෙක හමාරක බරක් මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. එසේම ඒ කෙනාට ව්‍යායාම තනිව ක්‍රියාත්මක කිරීමෙන් කිලෝ ග්‍රෑම් භාගයක බරක් මසකට අඩු කර ගත හැකි යෑයි සිතමු. අදාළ කෙනා නිසි ආහාර පාලනයත් නිසි ව්‍යායාම ලබාගැනීමත් එකවිට ක්‍රියාත්මක කළහොත් ලැබිය යුතු ප්‍රතිඵලය කිලෝ ග්‍රෑම් තුනක් වුවත් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් ඔහුට ලැබෙයි . එසේ ඉතා හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්නේ ආහාර පාලනය මගින් ව්‍යායාම කිරීමත් ව්‍යායාම කිරීම මගින් ආහාර පාලනයත් අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් කෙරෙමින් ධනාත්මක චක්‍රයක් සේ ක්‍රියා කරන නිසාය. එයට නිසි වීර්යය වැඩීමේ ක්රායාවලියත් මනස සතුටෙන් තබාගැනීමත් එක් වූ විට ඊටත් ඉහළ ප්‍රතිඵලයක් ලබා ගත හැකිය. එසේම එවිට එය ස්ථිර සහ කල් පවත්වා ගත හැකි ප්‍රතිඵලයක්ද වෙයි.
"භාවනා කරනවද?'' යන ප්රශ්නය ඇසූ විට ඔබ දෙන පිළිතුරද අපි අත්දැකීමෙන්ම දනිමු. එවිට අපට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි. "අපේ රාජකාරිය කරන්න ගියහම, ළමයින්ගෙ වැඩ ටික කරන්න ගියහම, ගෙදර වැඩ ටික කරන්න ගියහම ඕව කරන්න අපට කෙහෙන්ද වෙලාවක්. අපට තියෙන වැඩ ටිකට දවසෙ පැය 24 ත් මදි.''
භාවනා කිරීම එසේ වෙලාව නැතැයි අත්හැර නොදමන්න. සිත ඒකාග්රව තබාගැනීමට ආශාවන් පාලනය කරගැනීමට භාවනාව තරම් ඔසුවක් තවත් නැත. ඔබ ඕනෑම කෙනකුට භාවනා කළ හැකිය. අවම වශයෙන් ඔබ අදහන ආගමවත් එයට බාධාවක් කර ගත යුතු නැත. ඕනෑම කෙනකුට අවම වේලාවකින් කළ හැකි සරල භාවනා ක්‍රමයක් ඔබට පහදා දෙන්නට අප දැන් සූදානම්.
මෙම භාවනාව පටන් ගැනීමට දවසට අවශ්‍ය වන්නේ විනාඩියක් පමණයි. අප භාවනාව සඳහා පැයක්, පැය භාගයක් හෝ පැය කාලක් යෝජනා කළානම් වේලාව නෑ කියන පදනමෙන් එය අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප වනවා. එහෙත් විනාඩිය එම පදනමෙන් ඔබට ප්‍රතික්ෂේප කළ නොහැක්කේ දවසකට විනාඩි 1440 ක් තරම් විශාල ප්‍රමාණයක් තිබෙන බැවිණි. "මට නම් විනාඩියක්වත් සොයාගන්න බෑ මම නැගිට්ට වෙලාවෙ ඉඳන් නිදාගන්නකල්ම වැඩමයි'' කියා කියන අය ද අප අතර සිටී. කලබල නොවන්න. ඒ අයටත් අපි වේලාව සොයා දෙන්නෙමු. ඔබ සියලු දෙනාම දවසේ වැඩ නිම වී නින්දට යයි. නිදාගන්නා තැනට ගොස් දිගා වූ සැනින් නින්ද යන්නේ නැත. වෙන වේලාවක් සොයාගත නොහැකි අයට අන්න ඒ නින්ද යනකන් ගතවන විනාඩි කීපයෙන් එකක් වෙන්කර ගෙන මෙම භාවනාව කළ හැකිය. එවිට නපුරු සිහින නොපෙනෙන සැපවත් නින්දක් ඔබට ලැබෙන බවටද කිසිම සැකයක් නැත.
කුමක්ද මේ භාවනාව? ඔබ මුළු දවසේදීම එනම් විනාඩි 1440 දිම හුස්ම ගන්නවා. පිටකරනවා. හැබැයි ඒක වෙන්නෙ ඉබේටම. ඔබ දන්නෙ නෑ මොකක්ද වෙන්නෙ කියල. අපි වෙන්කර ගත්ත මේ විනාඩියෙදි හුස්ම ගන්න පිටකරන ක්‍රියාවලිය එහෙම අපට නොදැනි වෙන්ඩ ඉඩ දෙන්නේ නෑ. ඒ පිළිබඳව සිහියෙන්, සතියෙන්, කල්පනාවෙන් පසුවෙමින් මනසින් මෙනෙහි කරමින් තමයි එය සිදුවන්නට ඉඩදෙන්නේ. එය ආනාපාන සති භාවනාවයි.
මුලින්ම ඔබ ඉන්නා ඉරියව්වේ හැකි උපරිම අයුරින් සන්සුන් වන්න. මෙය ඉඳගෙන, සිටගෙන හෝ නිදාගෙන යන ඕනෑම ඉරියව්වකින් කළ හැකිය. ඔබට වදයක් වේදනාවක් අපහසුතාවයක් ඇති කළ දේවල් මොහොතකට අමතක කරන්න. දැන් අපේ භාවනාව සඳහා ඔබ සුදානම්.
ඔබ හුස්ම ගන්නා විට මෙසේ සිතන්න. ''මම දැන් සිසිල් වාතය මගේ නාස් පුඩුවලින් ක්‍රමානුකූලව ඉහලට හුස්ම ගන්නවා. ''ඊළඟට මෙසේ සිතන්න. ''ඉහළට ගත්තු හුස්ම මගේ පෙනහළුවල එහෙම නැත්නම් සිරුර තුළ මම මොහොතක් රඳවාගෙන සිටිනවා''. ඊළඟට මෙසේ සිතන්න ''මම රඳවාගෙන සිටි හුස්ම දැන් ක්‍රමානුකූලව උණුසුම් වාතය විදිහට මම මගෙ නාස්පුඩුවලින් පිටකර හරිනවා" මෙසේ හුස්ම ගන්නා ක්‍රියාවලියත් එය ඔබේ සිරුරට දැනෙන ආකාරයත් මෙනෙහි කරමින් මනසින් දකිමින් ඒ පිළිබඳව සිහියෙන් සතියෙන් පසුවෙමින් වාර 15 - 20 ඉහත විස්තර කළ පරිදි නැවත නැවතත් කරන්න. ඒ සඳහා විනාඩියක් විනාඩි එකහමාරක් වැනි කාලයක් ගතවේවි. මෙම භවනාව අවසානයේ ඔබේ මනසට විශාල සැහැල්ලුවක් සතුටක් දැනෙනවා. එය අද කළ වේලාවට හෝ ඔබට හැකි වෙනත් වේලාවක හෙටත් කරන්න. එලෙස සතියක් දවස් 10 ක් සති දෙකක් ආදී වශයෙන් දිගටම එය ප්‍රගුණ කරන්න.
ඔබේ අභ්‍යන්තරයේ ඉතා විශාල වෙනසක් ඇතිවීම නියතයි. එය ඔබ ඔප්පුකරගන්නේ කෙසේද? මෙවැනි මානසික අභ්‍යාස දවසක් දෙකක් කර බොහෝ දෙනා ගුණයක් නොදැනෙන බැවින් අතහැර දමනවා. එබැවින් එහි ගුණය ඔබටම ඔප්පුකර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඔබටත් මටත් සෑම පෘතග්ජන පුද්ගලයෙකුටමත් කේන්ති යනවා. කේන්ති නොයන්නේ රහතන්වහන්සේලා වැනි සිත උපරිම තලයට දියුණු කරපු අයට පමණයි. නමුත් භාවනා කිරීම ආදි මානසික අභ්‍යාස වලින් අපට ඇතිවන මෙම කේන්තියාම තුනී කරගන්න පුළුවන්. අප විස්තර කළ පරිදි මෙම භාවනාව ඔබ සතියක් දවස් 10 ක් සති 2 ක් වැනි කාලයක් දිගටම ප්‍රගුණ කර බලන්න. කේන්ති යාම ඉතාම පැහැදිලිව අඩුවෙනවා. කේන්තිය කියන්නේ වෛරය, ද්වේශය, ක්‍රෝධය මුසු ව්‍යාධිජනක මනෝභාවයක්. කේන්තියාම අඩුවෙනව කියන්නෙ මෛත්‍රී සහගත සිතිවිලි වැඩෙනව කියන එකයි. ඒ කියන්නෙ පැහැදිලිවම මනස දියුණු වෙලා.
මේ භාවනාව දිගටම කරගෙන යනකොට වෙනදා ඔබ රණ්ඩුවට ගිය කාරණයකට තවදුරටත් රණ්ඩු කරගන්න අවශ්‍ය වන්නේ නෑ. ඔබේ ජීවිතය බොහොම පහසු වෙනවා. අන් අය සමග ඉතාම සහයෝගයෙන් කටයුතු කිරීමට ඔබට හැකිවෙනවා.
භාවනා කිරීම ආදි මානසික අභ්‍යාසවලින් මනස යම් මට්ටමකට දියුණු කර ගත් විට අපට හානිකර ආශාවන් පාලනය කරගැනීමට පුළුවන් වෙනවා. අප වැඩසටහනට අදාලව සළකා බැලුවොත් වැළකිය යුතු සියල්ලෙන් ඉතාම හොඳින් වැළකීමට හැකිවෙනවා. කළ යුතු සියල්ල ඉතාම හොඳින් කළ හැකි වෙනවා.
දැන් අප බර වැඩි අයට තම සිත පාලනය කරගැනීමට නොහැකිව ආශාවන්ට අවනතව හානියක් කරගන්නා අවස්ථාවක් සලකා බලමු. ඔබ අප වැඩසටහන ඉගෙන ගෙන ගෙදර ගිය පසු ඔබේ ගෙදරට එන අමුත්තෙක් ගැන සිතන්න. අමුත්තා විශාල ප්‍රමාණයේ අයිසිං කේක් ගෙඩියක් හෝ ලීටර් හතරේ අයිස්ක්‍රීම් බඳුනක් ගෙනාවා යෑයි සිතන්න. එවිට ඔබට ඇත්තේ එම කෑම කෑමට ඇති කෑදරකමට වහල් වන සිතක් නම් සිදුවන්නේ කුමක්ද? සිත අප වැඩසටහනේ සිට ''ජබොහ්'' ගා අයිස් බඳුන තුළට හෝ අයිසිං කෙක් ගෙඩියට පැනීමයි. අප ඔබට කේක් අයිස් ක්‍රීම් කෑමට තහනම් පැනවූවා යෑයි අප කෙරෙහි අප්රසාදයක්ද ඔබට ඇතිවිය හැකිය. නමුත් ඔබ අප ඉහතින් පෙන්වා දුන් පරිදි භාවනා ආදී මානසික අභ්‍යාසයන් සිදුකර සිත යම් මට්ටමකට දියුණු කරගෙන ආසාවන් පාලනය කරගත්තොත් ඒ රස අධික කෑම ඔබට ලැබුණා කියා ඒවා කන්නට ඔබට කෑදර කමක් ඇතිවන්නේ නැත.
මෙහිදී අප පිළිබඳව කියනවානම් ලෝකයේ ඇති රසවත්ම කෙක් ගෙඩිය අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ලෝකයේ ඇති රසවත්ව අයිස්ක්‍රීම් බඳුන අප ඉදිරියෙන් ගෙනවිත් තිබ්බත් ඒවායින් ඉවසන්නට බැරිතරම් සුවඳක් හැමුවත් ඒවා කන්නට තබා ඒවා දෙස බලන්නටවත් අපට නම් ආසාවක් ඇතිවන්නේ නැත. ඇත්ත වශයෙන්ම ඒවා අපට දැන් පිළිකුල්ය. සමහරුන් සිතන්නේ අප පෙරේතකමින් කෙල ගිලිමින් ඒවායින් ඉතා ආයාසයෙන් වැළකෙන බවයි. නමුත් අප එය කරන්නේ සිත පාලනය කරගැනීමෙන් මිස අශාව වළක්වාගැනීමට දැඩි ආයාසයක් යෙදීමෙන් නොවේ. එසේ සිත පාලනය කරගැනීමට නම් ඔබ අප ඉහතින් විස්තර කළ භාවනාකිරීම් ආදී මානසික අභ්‍යාසයන් ප්‍රගුණ කළ යුතුයි. එවිට ඔබට හානිකර ආශාවන් මැඬපවත්වා ගැනීම ඉතාම පහසු දෙයක් වනවා. ඔබට ඉලක්කයට යාමත් ලබාගත් ප්‍රතිඵල රැකගැනීමත් ඉතාම පහසු දෙයක් බවට පත් වෙනවා.
අප වැඩසටහනෙන් නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් මානසික සතුටේ සැහැල්ලුවේ ඒකාග්‍රතාවයේ ඇති වැදගත්කම අපි මේ වන විට ඉතාම හොඳින් තේරුම් ගෙන ඇත්තෙමු. එසේම එම හොඳ තත්ත්වයට පත්වන්නේ කෙසේ දැයි කියා අපි සාකච්ඡා කළෙමු. නමුත් අද අපේ රටේ සෑම දෙනාම පාහේ සතුට විනෝදය සොයන්නේ සතුට ලැබෙන්නේම නැති දෙයකිනි. එහිදී ද අප රටේ කාන්තා පාර්ශවය ඒ සඳහා වැඩි ඇබ්බැහියක් දක්වන බවද පෙන්වා දිය යුතුය.
හරියට උයන්නේවත් නැතිව බාගෙට ඉදිච්චා බෙදාගෙන එසේ නැත්නම් ක්ෂණික කෑමවලින් හෝ ''චූන් පාන්'' වලින් පිඟන් පුරවාගෙන කළුවර වැටීගෙන එනවිට යන්නේ කුමක් ඉදිරියටද? අප එය ප්රශ්නය නගන විටම සහභාගිත්වය දෙන පිළිතුර වන්නේ ටී වී එක ළඟට යන්නයි. ඒක ළඟින් ඉඳගෙන පැය ගාණක් එක දිගට බලන්නේ මොනවාද? පිළිතුර ටෙලි නාට්‍ය යන්නයි. එසේ ටෙලිනාට්‍ය බැලීමෙන් සතුටක් සැනසිල්ලක් ලැබෙනවද? ටෙලි රසයට ඇබ්බැහි වූ බොහෝ දෙනා ඊට පිළිතුරු දෙන්නට මැලිය. නමුත් ඒ ගැන විවේචනාත්මකව බැලිය හැකි අය පවසන්නේ ඒ නාට්‍ය වල තියෙන ප්‍රශ්න ටික ඔලුවට දාගත්තහම තිබිච්ච සතුටත් නැතිවෙන බවයි. නූතන සමාජය ටෙලි නාට්‍ය රැල්ලට ගසාගෙන යන අවිචාරවත් සමාජයක් බවට පත් වී ඇති නිසා ටෙලි නාට්‍ය බැලූ විට ලැබෙන්නේ සතුටද? දුකද? කියා අප හොඳින් විග්රහ කර ගත යුතුය.
අපට සතුට ලැබීමට නම් අප නැරඹිය යුත්තේ සතුටෙන් සිටිනා කෙනෙක් හෝ කණ්ඩායමක්. අප වැඩසටහනට සහභාගි වීමට පැමිණි අයගෙන් මෙහිදී අප විමසන්නේ ඔබ ආ වේලේ සිට අප මිනිස්සුන්ට බනිමින්, අඩි හප්පමින්, ගස්සමින්, තරහෙන් පුපුරමින් පසුවූවා නම් එසේත් නැත්නම් අපට ඇති මොකක් හෝ දුක් අඳෝනාවක් කියා අඬමින් හොටු කඳුළු පෙරාගෙන පසුවූවානම් සහභාගිවන්නට පැමිණි ඔබට වැඩසටහන අතරතුරේදී අවම වශයෙන් සිනහ රැල්ලක්වත් පහල වෙනවාද යන්නයි. ''එහෙම කලානම් අපට වැඩසටහන එපාවෙනව. ඒත් අපි අද මේ වැඩසටහනට සහභාගි වුණේ ඉතාම සතුටෙන්.'' සහභාගිත්වයේ ප්‍රතිචාරය එබඳුය.
අප වැඩසටහන තුළදී නිතිපතා නිරීක්ෂණය කරන දෙයක් වන්නේ එයට සහභාගීවීමේදී ඔනෑම කෙනෙකුට අවම වශයෙන් එක් වතාවක් වත් ප්‍රසන්න සිනා
රැල්ලක් පහල වන බවයි. ඇත්ත වශයෙන්ම සිනහව යනු සතුටේ ප්රකාශනය යි. මනෝ විද්‍යාඥයින් පවා පවසන්නේ සිනහවීමේදී මුහුනේ මාංශපේශි සිය ගණනක් ඇතුළු මුළු සිරුරම ඉතාම සෞඛ්‍යානුකූල අන්දමින් උද්දීපනය වන බවයි. අප වැඩසටහන ගැන පැවසූ දෙයින් ඔබ තේරුම් ගත යුත්තේ අප කෙනෙත් හෝ කණ්ඩායමක් දිහා බලා ඉන්නා විට අප තුළ ඇතිවන්නේද ඔවුන් නිරූපණය කරන මනෝභාවයන්ට අනුරූප මනෝභාවයන් බවයි.
ටෙලි වැල බැලීමට වාඩිවන්නේ ලොකු කෑම පිඟානක් බෙදාගෙනය. එය ටෙලිය දෙස බලාගෙන කටට දෙකට ගිල දමයි. එහෙත් බඩ පිරෙන්නේ නැත. මන්ද යත් සිත තිබෙන්නේ ටෙලියේ බැවිනි. එවිට නැවත නැවතත් බෙදාගෙන විත් කන්නට සිදුවෙයි. සමහරු මෙහිදී පවසන්නේ ''සර් කියන කථාව සහතික ඇත්ත. හදිස්සියෙ පි`ගානට උඩින් හූනෙක් කැරපොත්තෙක් වැටුණත් ඒකත් ගිල දානව. මොකද එච්චරටම හිත තියෙන්නෙ ටී.වි එකේ. පැය ගණනක් කිසිම ශක්ති වැයවීමක් නොකර විශාල පි`ගන් ගණනක් ආහාර ගිලදැමීමෙන් සිදු වන්නේ තරබාරු බව තව තවත් වර්ධනය වීම පමණි.
ඇයි මේ තරම් ළමයින් සහ මිනිස්සු ලෙඩකරවන ලෙඩකරවල අකාලයේ මරල දාන ඉතාම භයානක ආහාර පානවලට අපේ රටේ මිනිස්සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ? එවැනි රෝගකාරක ආහාරවලට නිදසුන් කීපයක් නම් කෝලා බීම ඇතුළු බෝතල් පැණි බීම, සොසේජස් ආදී මස් නිෂ්පාදන, කාන්තාවන්ගේ තියෙන ඇට ටිකත් දියකරන අධි කැල්සියම් කිරිපිටි ආදියයි. මේ වගේ වැරදි ආහාර පානවලට මේ රටේ මිනිස්සු මෙච්චර ඇබ්බැහි වෙලා තියෙන්නෙ අප වැනි වෛද්‍යවරයෙක් කියලද? එහෙම නැත්නම් රටට ජාතියට යම් වගකීමක් තියෙන වෙනත් කෙනෙක් කියලද? පිළිතුර කිසිසේත්ම නැත යන්නයි.
එහෙමනම් කොහොමද මේ භයානක ''සර්පයො'' ටික මිනිස්සුන්ගෙ හිස් ගෙඩිවලට රිංගාගෙන තිබෙන්නේ. පිළිතුර වන්නේ වෙළෝද දැන්වීම්වලින් යන්නයි. යම්කිසි විකාශන කාලයක් තුළ වෙළෝද දැන්වීම් විතරක් පෙන්වනවා යෑයි පැවසුවොත් කිසිකෙනෙක් එය බලන්නේ නැත. එබැවින් කළ යුත්තේ මෙම වෙළෝද දැන්වීම් ටික පෙන්වා ගන්නට ගැලපෙන ටෙලියක් නිර්මාණය කර හැකි උපරිමයෙන් ඒ අතරට වෙළෝද දැන්වීම් කවා විකාශනය කිරීමයි.
මොහොතක් සිතන්න. අලුත් කිරිපිටි වර්ගයක් හරි කේක් වර්ගයක් හරි අයිස්ක්‍රීම් වර්ගයක් හරි සොසේජස් වර්ගයක් හරි ගැන ආකර්ෂණීය වෙළෝද දැන්වීමක් හදලා නළු නිළියොයි ක්‍රිකට් ගහන හාදයොයි දාල ටෙලි නාට්‍යයක් අතරට වරින් වර පෙන්වනවා. ඔන්න දැන් අර අලුත් සරපයා ඔළුවට රිංගා ගන්නවා. දැන්වීම කීප සැරයක් දකින අපේ රටේ මිනිස්සුන්ට දැන් ඉවසීමක් නෑ සුපිරි වෙළෝද සැලකට ගිහිල්ල මේව ගේන කල්. ගිහිල්ල මේවයින් මලු පුරවගෙන ඇවිල්ල ඒව කාල බීල තියෙන ලෙඩ වැඩිකර ගන්නවා, නැති ලෙඩ හදාගන්නවා, ජීවිතය කොටකර ගන්නවා. එහෙම නම් දැන් අපට හොඳටම පැහැදිලියි සතුට විනෝදය පතාගෙන ටෙලිනාට්‍ය බැලුවොත් ලැබෙන්නෙ සතුට නොව දුක, ලෙඩ සහ අකල් මරණය බව.
ආහාර පාලනයත් ව්‍යායාමත් එකට එකවිට ඒකාබද්ධව කිරීමෙන් ඔබට අප වැඩසටහනෙන් කෙටිකලක් තුළ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත හැකිය. එසේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගැනීම සඳහා අප ඉහත විස්තර කළ අයුරින් ඔබේ මනසද හැකි තරම් සතුටෙන් සැහැල්ලුවෙන් ඒකාග්‍රතාවයෙන් තබාගන්න. එසේම මම මට නියමිත ඉලක්කයට බර අඩුකර ගන්නව අඩුකර ගන්නවාමයි කියල දැඩි අදිෂ්ඨානයක් හිතේ ඇතිකර ගන්න. කවුරු මොනතරම් මන්දෝත්සාහී කලත් මම ආයෙ ආපසු හැරෙන්නෙ නෑ කියලත් අදිෂ්ඨාන කරගන්න. එම අදිෂ්ඨානයන් නැවත නැවත මෙනෙහි කරන්න. ඔබේ සිතේ විර්යය ධෛර්යය හැකි තරම් වඩාගන්න.
වීර්යය වැඩීමත් ආහාර පාලනයත් ව්‍යායාමත් මනස සතුටෙන් තබාගැනීමත් එක විට කිරීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලැබේ.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි
http://www.divaina.com/2016/09/04/feature06.html