Pages

Saturday, March 25, 2017

ඒඩ්ස්‌ - අනතුරට නොවැටෙන්නට!!!

එච්.අයි.වී. ඒඩ්ස්‌ ගැන බියක්‌, චකිතයක්‌ මෙලෙස අපගේ රටේදීම ඇති වීම අතිශය සාධාරණ හා කාලෝචිතය. ඒ, එච්.අයි.වී. /ඒඩ්ස්‌ මර්දනයේ යහපත් ප්‍රතිඵල, දක්‌වන ලොව අන් බොහෝ රටවල් මෙන් නොව, වර්තමානයේ එච්.අයි.වී/ ඒඩ්ස්‌ වර්ධනයේ අයහපත් සළකුණු දක්‌වන රටවල් නවයට ශ්‍රීලංකාව ද ඇතූළත්ව ඇති හෙයිනි.

2016 දෙසැම්බර් අවසානය වන විට මෙතෙක්‌ ශ්‍රී ලංකාව තුළ වාර්තාගත වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සඛ්‍යාව සටහන් වන්නේ 2557 ක්‌ වශයෙනි. ඒ 1640 ක්‌ වන පුරුෂයන්ද 917 ක්‌ වන කාන්තාවන්ද එකතුවය. මෙපිරිසෙන් 656 දෙනකු ඒඩ්ස්‌ රෝගී තත්ත්වයට පත්වන විට, ඒ අනුව ජීවිතයෙන් සමුගත් සංඛ්‍යාව දැක්‌වෙන්නේ 418 කිනි. මෙතෙක්‌ වාර්තා වී ඇති ළදරු ආසාදිතයන් සංඛ්‍යාවෙන් 80 කි.

2016 වසර තුළ අලුතින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 244 ක්‌ වන විට, 2015 වසර තුළ අදාළ සංඛ්‍යාව සටහන් වූයේ 234 කිනි. එක්‌ මසකදී අලුතින් එකතු වන ආසාදිතයන් සංඛ්‍යාව දළ වශයෙන් 20 ක්‌ පමණ වන විට , වාර්තා නොවන පිරිසක්‌ද ඇතුළත් වන්නේ ඇස්‌තමේන්තුගත දත්ත අතරටය. ඇස්‌තමේන්තුගත දත්ත අනුව දැක්‌වෙන්නේ ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතව දැනට ජීවත් වන පිරිස සංඛ්‍යාවෙන් 4100 ක්‌ ලෙසටය.

2015 අවසානය වන විට, ලෝකයේ ජීවත්ව සිටි එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වූයේ මිලියන 36.7 කිනි. 2015 වසර තුළ අලුතින් ආසාදනයට ලක්‌ වූ පිරිස මිලියන 2.1 ක්‌ වන විට ඒඩ්ස්‌ තත්ත්වයට පත්ව මිය ගිය පිරිස සටහන් වූයේ මිලියන 1.1 ක්‌ ලෙසටය. ලෝකයේ එච්.අයි.වී ආසාදිතයන් සංඛ්‍යා ලේඛන අනුව උප සහරානු අප්‍රිකා රටවල් මිලියන 25.5 ක ආසාදිතයන් සංඛ්‍යාවක්‌ සමඟ පළමු තැනට පත්වන විට, ආසියා හා පැසිපික්‌ කලාපීය රටවල් දෙවන තැනට පත්වනනේ මිලියන 5.1 ක ආසාදිතයන් සංඛ්‍යාවක්‌ සහිතවය.

එච්.අයි.වී. ආසාදනය ද ඇතුළත් වන්නේ ලිංගාශ්‍රිත රෝග හෙවත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග කාණ්‌ඩයටය. වෙනත් ලිංගාශ්‍රිත රෝග මෙන්ම එච්.අයි.වී. ආසාදනය ද සිදුවන්නට ප්‍රධානව ඉඩ සැලසෙන්නේ ආසාදිත පුද්ගලයකු සමඟ වන අනාරක්‌ෂිත ලිංගික සබඳතාවය ය. ආසාදිත රුධිරය ශරීරගත වීම හා ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්‌වීම වයිරසය ලැබිය හැකි අනෙක්‌ ආකාරයන්ය.

රුධිර පාරවිලයනයකදී එච්.අයි.වී. ආසාදනයට ලක්‌වීමේ අවකාශය බෙහෙවින් විරලය. ඒ අදාළ රුධිර සාම්පලය සඳහා එච්.අයි.වී. රුධිර ප්‍රතිදේහ පරීක්‍ෂණය (HIV ANTIBODY TEST) අනිවාර්යයෙන් සිදුවන හෙයිනි. එච්.අයි.වී. රුධිර පරීක්‍ෂණයේදී සොයා බැලෙන්නේ, සිරුරට ඇතුළු වූ වයිරසය නිසා රුධිරයේ ඇති වන ප්‍රතිදේහ (ANTIBODIES) නම් කොටසය. එම ප්‍රතිදේහ අදාළ පරීක්‍ෂණයේදී පෙන්නුම් කළ හැකි තත්ත්වයට පත්වන්නේ වයිරසය ශරීරගත වී සති තුනක සිට මාස තුනක්‌ දක්‌වා වන කාලයකදීය. මෙම කාල සීමාව හඳුවන්වනු ලබන්නේ කවුළු සමය (WINDOW PERIOD) ලෙසිනි. රුධිර පාරවිලයනයකදී විරල සිදුවීමක්‌ ලෙස, කවුළු සමය තුළ පසුවන ආසාදිතයකුගේ රුධිරය භාවිතාවීමකදී එච්.අයි.වී. ආසාදනයකට ලක්‌වීමට ඉඩ ඇත.

ඖෂධ ශරීරගත කිරීමකදී හෝ පරීක්‍ෂණ සඳහා රුධිරය ලබා ගැනීමකදී භාවිතා වන එන්නත් කටු හා සිරින්ජර් එක්‌ වතාවක්‌ පමණක්‌ යොදා ගන්නා හෙයින්, එවැනි මාර්ගයකින් ආසාදනය ලැබීමේ අවකාශය අද විරලය. ශල්‍ය උපකරණ පවා තවත් රෝගියකු සඳහා යොදා ගැනේනේ නිසි ප්‍රමිතීන්ට අනුව සිදුවන ජීවානුහරණ ක්‍රියාවලියකින් අනතුරුවය. එහෙත්, මත්ද්‍රව්‍ය විදගන්නා පුද්ගලයන් අතර හවුලේ සිදුවන එන්නත් කටු, සිරින්ජර් භාවිතය එච්.අයි.වී. ආසාදනය ලැබෙන තවත් එක්‌ සැලකිය යුතු මාර්ගයක්‌ බවට පත්ව ඇත.

එච්.අයි.වී. ආසාදිත මවකට ලැබෙන දරුවා ආසාදනයට ලක්‌වීමේ අවදානම සටහන් වන්නේ සියයට 20 ත් 45 ත් අතර ප්‍රතිශතයකිනි. එලෙස දරුවා ආසාදනයට පත්වීම ගර්භණී අවස්‌ථාවේදී, ප්‍රසූතියේදී හෝ ප්‍රසූතියෙන් පසු මව්කිරි දීමේදී සිදුවිය හැකිය. එහෙත් ගර්භණී මවගේ ආසාදිත බව කලින් හඳුනා ගත් විටකදී, දරුවා ආසාදනය වීමේ අවදානම සියයට 8 ක අවම ප්‍රතිශතයක්‌ දක්‌වා අඩුකර ගැනීමේ හැකියාව පවතී. එවැනි අවස්‌ථාවකදී ඒ සඳහා මවට ප්‍රති වෛරස ඖෂධ සැපයීමත්, සිසේරියන් සැත්කමකින් දරු උපතට ඉඩ සැලසීමත්, උපතින් පළමු සති කිහිපය තුළ දී දරුවාටද ප්‍රතිවෛරස ඖෂධ සැපයීමත් සිදුවනු ඇත. ගර්භණී මාතෘ සායනයේදී සිදුවන වෙනත් රුධිර පරීක්‍ෂණ සඳහා යොදා ගන්නා රුධිර සාම්පලයෙන්ම, එච්.අයි.වී. රුධිර පරීක්‍ෂාවද සිදුකොට ගැනීමට සැකයක්‌ ඇති විටෙකදී සිය කැමැත්ත ලබාදීම වැදගත් වන්නේ එහෙයිනි.

වයිරස බහුල වශයෙන් පවතින්නේ, එච්.අයි.වී. ආසාදිතයකුගේ ලිංගික තරලයේ සහ රුධිරයේය. ඒ හැරෙන්නට ආසාදිත මවකගේ මව්කිරිවලද වයිරසය සුළු ප්‍රමාණයකින් පැවතිය හැකිය. ආසාදනයක්‌ සිදු විය හැකි ප්‍රමාණයකින් ෙ€ටයෙහි වයිරසය නොපවතින හෙයින් සිප ගැනීමකින් ආසාදනය ලැබීමේ ඉඩක්‌ නැත. වයිරසය බාහිර පරිසරයට නිරාවරණය වීමකදී ක්‍ෂණිකව විනාශ වන්නේ, මිනිස්‌ සිරුරෙන් බැහැරව එහි ජීවී ස්‌වභාවය නොපැවතෙන හෙයිනි. මදුරුවන් ඇතුළු වෙනත් සත්වයන්ගේ සිරුරු තුළ පවා මේ වයිරසයට ජීවී ස්‌වභාවයෙන් පැවතිය නොහැකි හෙයින්, රෝගය මදුරුවන් මඟින් පැතිරීමේ අවකාශයක්‌ ද නැත. ස්‌පර්ශයෙන්, පොදු පහසුකම් පරිහරණයෙන් හෝ වෙනත් සමීප ඇසුරකින් එච්. අයි. වී. ආසාදනයක්‌ සිදුවීමේ කිසිදු හැකියාවක්‌ද නොපවතී.

වයිරසය සිරුරට ඇතුළු වූ පුද්ගලයකු හැඳින්වෙන්නේ එච්.අයි.වී ආසාදිතයකු ලෙසිනි. එච්.අයි. වී. ආසාදනයේ අවසාන ප්‍රතිඵලය වන්නේ 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වයයි. ආසාදිතයාගේ සිරුරේ ප්‍රතිශක්‌තිය හෙවත් වෙනත් රෝගවලට ඔරොත්තු දීමේ ශක්‌තිය ක්‍රමයෙන් අඩුවීමට අනුව 'ඒඩ්ස්‌ ' තත්ත්වයට ළඟාවීම සිදුවනු ඇත. පුද්ගලයකුගේ සිරුරෙහි ප්‍රතිශක්‌තිය පවත්වා ගැනීමේ කාර්යයේදී රුධිර වසා සෛල (LYMPHOCYTES) අත්‍යවශ්‍යය. එච්. අයි. වී. ආසාදනයකදී රුධිර වසා සෛල ක්‍රමයෙන් විනාශයට පත්වන්නේ, ඒ තුළ වයිරසය වර්ධනය වීමට අනුවය. එච්. අයි. වී. ආසාදිතයකු ඒඩ්ස්‌ තත්ත්වයට පත්වීම සඳහා ගත වන කාලය සාමාන්‍යයෙන් වසර 8 ත් 10 ත් අතර විය හැකි මුත්, පුද්ගලයාගෙන් පුද්ගලයාට අදාළ කාල පරාසයන් වෙනස්‌ වීමේ අවකාශයද ඇත.

වයිරසය ශරීරගත වී සති 2 ත් 4 ත් අතර දක්‌වා වන කාලයකින් පසුව එළඹෙන්නේ එච්. අයි. වී. ප්‍රාථමික අවස්‌ථාවය. (PRIMARY HIV INFECTION) එහිදී ඇති විය හැක්‌කේ හිසරදය, උණ, ශාරීරික වේදනාව, සමෙහි දද, කැස්‌ස, වසා ගැටිති ඉදීමීම හෙවත් කුද්දෙටි ඇති වීම, කෑම අරුචිය, වමනය හා පාචනය වැනි රෝග ලක්‌ෂණයන්ය. තවත් සති දෙකක පමණ කාලයකදී මෙම රෝග ලක්‌ෂණ ඉවත්ව යැම සාමාන්‍ය ස්‌වභාවයය.

එච්. අයි. වී. ආසාදනයේ දෙවැනි අවස්‌ථාව වන්නේ, ප්‍රතිශක්‌තිය අඩුවීමේ ආරම්භක අවදියය. (EARLY IMMUNE DEPLETION)) එහිදී සිදුවන්නේ, යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන අතරතුරදී, සුළු අසනීප තත්ත්වයන් විටින් විට හට ගැනීමය. සිරුරෙහි විවිධ ස්‌ථානයන්හි වසා ගැටිති ඉදිමීමද මෙම අවදිය තුළ සිදු විය හැකිය.

ඉන් අනතුරුව එළඹෙන්නේ ප්‍රතිශක්‌තිය අඩුවීමේ අතරමැදි අවදියය.

(INTERMEDIATE IMMUNE DEPLETION)) සිරුරෙහි ප්‍රතිශක්‌තිය සැලකිය යුතු පමණකින් අඩුවීමේ ප්‍රතිඵලය ලෙස විවිධ රෝගකාරක ආසාදනයන්ට ලක්‌වීම එහිදී සිදුවනු ඇත. උණ, සිරුරෙහි බර අඩුවීම, සමෙහි ඇතිවන විවිධ ආසාදන හෝ කැපොසි සාර්කෝමා (CAPOSI SARCOMA) නම් පිළිකා තත්ත්වයන්, මුඛයෙහි ඇතිවන දිලීර හා වයිරස්‌ ආසාදන, ලිංගේන්ද්‍රිය ආශ්‍රිතව හට ගන්නා විවිධ ආසාදන එහිදී දැකිය හැකි තත්ත්වයන්ය.

ප්‍රතිශක්‌තිය විශාල ලෙස අඩුවීමේ අවදිය ලෙස හැඳින්වෙන 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වය එච්.අයි.වී. ආසාදනයේ අවසාන අවස්‌ථාවය. විවිධ රෝගකාරක ආසාදනයන්ට පහසුවෙන් ලක්‌ වන මෙම අවදිය තුළදී, සිරුරෙහි බර විශාල ලෙස අඩුවීම, මසකට වැඩි කාලයක්‌ පැවතිය හැකි උණ හෝ පාචනය, පෙනහලු හැරුණු කොට සිරුරෙහි විවිධ ඉන්ද්‍රියයන් හා පද්ධතීන්ට පැතිරුණු ක්‍ෂය රෝගය, අසාමාන්‍ය නියුමෝනියා රෝග තත්ත්ව, අන්නස්‍රෝතය හෙවත් ගලනාලය දක්‌වා පැතිරුණු කැන්ඩිඩා දිලීර ආසාදන, මධ්‍ය ස්‌නායු පද්ධතියෙහි විවිධ ආසාදන හෝ කලකට ඉහතදී ශරීරගත වූ පැපොල වයිරසය නැවත ක්‍රියාකාරී වීමෙන් සිරුරේ ඇතැම් ස්‌ථානවල හටගන්නා 'හර්පීස්‌ සොස්‌ටර්'  නම් ආසාදන තත්ත්වයන් ඇති විය හැකිය.

එච්. අයි. වී. ආසාදිතයකු සඳහා සැපයෙන ප්‍රතිකාරයේ ඉලක්‌කය වනුයේ, ඒඩ්ස්‌ රෝගී තත්ත්වයට ලක්‌වීමේ අවස්‌ථාව පමා කිරීමය. ආසාදිතයන් නියමිත කාල සීමාවන් තුළදී පරීක්‍ෂාවට ලක්‌ කිරීමත්, හට ගැනීමට අවකාශය ඇති වෙනත් ආසාදන තත්ත්වයන් ඒ අනුව වළක්‌වාළීමත් එහිදී සිදුවනු ඇත. 

එච්. අයි. වී. ආසාදනයක්‌ සම්පූර්ණව හෙවත් නිට්‌ටාවට සුව කළ හැකි ඖෂධයක්‌ මෙතෙක්‌ සොයා ගෙන නොමැත. දැනට භාවිතයෙහි පවතින ප්‍රතිවෛරස ඖෂධ (Anti Retroviral Drugs) මඟින් සිදුවනුයේ එච්. අයි. වී. ආසාදිතයකුගේ රුධිරයේ ඇති වන වයිරස සංඛ්‍යාව අවම අගයක පවත්වා ගැනීමයි. එලෙස ප්‍රති වෛරස ලබා දිය යුතු අවස්‌ථාව තීරණය වනුයේ, ආසාදිතයකුගේ ප්‍රතිශක්‌තිය පිළිබඳ තත්ත්වයන් සොයා බැලෙන CD 4 සෛල සංඛ්‍යාව (CD 4 CELL COUNT) හෝ වයිරස ප්‍රමාණය (VIRAL LOAD) යන විශේෂිත පරීක්‍ෂණයන්හි දැක්‌වෙන අගයයන් අනුවය. 

එච්. අයි. වී. ආසාදනයට ලක්‌ වූ අවස්‌ථාවක, 'ඒඩ්ස්‌' රෝගී තත්ත්වයට පත්වීම හැකිතාක්‌ පමා කොට ගැනිමේදී අවශ්‍ය වන්නේ, නිසි පරිදි මනසටද, සිරුරටද, ලැබිය යුතු ප්‍රතිකාරය හා උපකාරයය. සිය ජීවිතයේ අපේක්‍ෂිත සැලසුම් යම් පමණකින් හෝ අවසන් කර ගැනීමට ඒ ක්‍රියාමාර්ගය අත්‍යවශ්‍යය. එහෙත්, සියල්ලන්ටත්, විශේෂිතව තරුණ පෙළටත් වඩාත් වැදගත් වන්නේ, මේ අනතුරුදායක පරිසරයේදී වුවද එච්. අයි. වී. ආසාදනයකට ලක්‌ නොවී, අපේක්‍ෂිත සැලසුම් නිසි පරිදි ඉටුකර ගනිමින් ජීවිතය යහපත්ව ගොඩනඟා ගැනීමය. එහිදී, පවතින අනතුර පිළිබඳ නිවැරදි දැනුම පමණක්‌ නොව අනතුරේ නොවැටෙන්නට ඒ දැනුම භාවිතයෙන් විය යුතු ආකල්ප වර්ධනයද කාලීන වුවමනාවන්ය.

1981 දී ලෝකය හඳුනා ගත් මේ අනතුර, 1986 දී ශ්‍රී ලංකාවටද සපැමිණ මේ වන විට විසිඅට වසරකි. එතෙක්‌ මෙතෙක්‌ එච්. අයි. වී. ආසාදනය සම්බන්ධයෙන් රට තුළ ඇති වූ වෙනස්‌කම් රැසකි. ඒ අනුව, ආසාදනය මෙරටට පිවිසි අවදිය තුළදී අලුතින් ආසාදනයට පත් පිරිසෙන් වැඩි ප්‍රතිශතය මැදිවියට හිමි වූ නමුත් අද එහි වැඩි ප්‍රතිශතයකට හිමිකම් දක්‌වන්නේ වයසින් අවුරුදු 25 ත් 29 ත් අතර තාරුණ්‍යය. එදා විදේශයට ගොස්‌ ගෙන ආ ආසාදනය වෙනුවට මෙදා නොඅඩුව වාර්තා වන්නේ අති පහසුවෙන් සිය දේශයේදීම ලක්‌වන ආසාදනයය.

එච්. අයි. වී. ආසාදිතයෙක්‌ දුටු පමණින් හඳුනා ගැනීමේ හැකියාවක්‌ ද නැත. වයිරසය ශරීරගතව වසර කිහිපයක්‌ යන තෙක්‌ කිසිදු රෝග ලක්‌ෂණයක්‌ බැහැරට ප්‍රකාශ නොවීමේ ස්‌වභාවයට අනුව, හදිසි ලිංගික සබඳතාවයකදී කිසිවකුට සිය සහකරු හෝ සහකාරිය ලෙස එච්. අයි. වී. ආසාදිතයකු හමුවීමේ සම්භාවිතායකට ලැබෙන්නේ පහළම අගයක්‌ නොවේ.

ජීවිතය කඩා නොවැටෙන්නට, මේ අහිතකර වටපිටාව පිළිබඳ ඇත්ත කතාව, නිතිපතාම සිතින් විමසා හරි හැටි කියවා බැලීම අවශ්‍යය. එසේ වන්නේ නම්, අහිතකර වටපිටාවේදී වුවද හිතකරව ජීවත්වීමට ලැබෙන අවකාශය අතිශයින් ප්‍රමාණවත්ය. 

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2017/03/26/feature04.html

0 comments: