Pages

Thursday, March 23, 2017

බිග් මැච් ප‍්‍රචණ්ඩත්වය අන්තිමයි.. පොලීසියේ හැසිරීම බින්දුවයි.. විනයක්‌ නොමැති අධ්‍යාපනය..!

බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී කලහයක් ඇතිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පල කරන බව ජාතික හෙළ උරුමය පවසයි.

එම පක්‍ෂයේ ප‍්‍රධාන අනුශාසක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි.

අදාල සම්පුර්ණ නිවේදනය මෙසේය.

2017/03/21 වන දින බොරැල්ල යසෝදරා බාලිකා විද්‍යාලයට මහානාම විද්‍යාලීය සිසුන් කඩා වැදී ඇතිකරගත් කලහකාරී තත්ත්වය පිළිබදව අපගේ බලවත් කනස්සල්ල පළමුකොටම පළ කිරීමට කැමැත්තෙමු.

මේ වන විට ආරම්භ වී ඇති අන්තර් පාසල් වාර්ෂික ක‍්‍රිකට් තරග මෙබදු ශෝචනීය සිදුවීම්වලට පසුබිම් වී ඇත. මෙම තරග ආරම්භ වීමට ආසන්නව තිබියදීම මේ පිළිබද අපගේ අදහස් මාධ්‍යවලට පළ කළෙමු. විශේෂයෙන්ම එහිදී අපගේ අවධානය යොමුවූයේ මෙම වාර්ෂික ක‍්‍රිකට් තරග පදනම් කරගනිමින් සිසුන් පෙළපාළි යමින් සිදුකරන විනය විරෝධි මෙන්ම නීති විරෝධි කටයුතු පිළිබදවය. අපගේ පැහැදිලි කිරීමෙන් අනතුරුව ඇතැම් පුද්ගලයන් ඒ පිළිබදව විවේචනාත්මකව මත පළ කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ දිනය තුළ (2017/03/21) කොළඹ මහානාම විද්‍යාලීය සිසුන් යසෝදරා බාලිකා විද්‍යාලයට හා මියුසියස් බාලිකා විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළුව සිදු කළ කටයුතු පිළිබදව අදාල බලධරයන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුමය.

කොළඹ ඞී.ඇස්. සේනානායක විදුහල සහ මහානාම විදුහල අතර පැවැත්වෙන වාර්ෂික මහා ක‍්‍රිකට් තරගය නිමිති කරගනිමින් මහානාම විද්‍යාලීය සිසුන් සිය ගණනක් රථ වාහන පෙළපාලියක නිරත වන අතර ඉහත කී බාලිකා පාසල් දෙකට බලහත්කාරයෙන් කඩා වැදී ඇත. මෙහිදී සිසුන් යසෝදරා බාලිකා විදුහලේ ගුරුවරුන්ට ද පහර දෙන දර්ශන මාධ්‍ය මගින් විකාශය කරනු ලැබීය.

සිසුන් පෙළපාලිය යෑමෙන් නොනැවතී බාලිකා විදුහල් දෙකට බලෙන් ඇතුළුව ඒවායේ දේපළ වලට ද හානිකර ගුරුවරුන්ට ද පහර දී ප‍්‍රචණ්ඩ ලෙස හැසිරීම ලඝු කොට සැලකිය නොහැකිය. මෙම අවස්ථාවේ පොලිසිය හැසිරුණු අකාරය පිළිබදව අප තුළ ඇතිවන්නේ ඉමහත් කලකිරීමකි.

මෙම සිදුවීම් ඔස්සේ මෙරට පාසල් අධ්‍යාපනය පිළිබදව විශේෂ අවධානය යොමු කළ යුතු මොහොතකට අප එළඹ ඇත. සිසුන් තුළ විනය ගොඩනොනගන අධ්‍යාපනය ප‍්‍රතිඵල රහිතය. තවදුරටත් මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ නොදීම සියළු බලධරයන්ගේ වගකීමයි.

පාසල් අධ්‍යාපනය තුළ ක‍්‍රීඩාවද අනිවාර්යයෙන්ම සංවර්ධනය විය යුත්තක් බව අපි පිළිගනිමු. එනමුත් අද වනවිට සිදුවෙමින් ඇත්තේ ක‍්‍රීඩාවේ නාමයෙන් විනය පරිහානියකි. උක්ත සිදුවීම මීට ආසන්නතම එක් උදාහරණයක් පමණි.

ඉහත අසෝභණ සිදුවීමට අදාල සිසුන් සම්බන්ධව මහානාම විද්‍යාලීය විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය ගන්නා පියවර පිළිබදව අපි නෙත් දල්වා බලා සිටිමු. එසේම අධ්‍යාපන අමාත්‍යාංශය හා පොලිසිය මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවරයන් පිළිබදවද අපි දැඩි අවධානයෙන් යුතුව පසුවෙමු. යම් හෙයකින් අදාල බලධාරීන් නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් එය මෙබදු අසෝභන සිදුවීම්වලට දක්වන අනුග‍්‍රහයක් සේ සළකා ඉහත සිදුවීමට එරෙහිව ක‍්‍රියාමාර්ග ගැනීමට අප මැලි නොවන බව ද දැඩිව අවධාරණය කර සිටිමු.

ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්ථවිර, ප‍්‍රධාන අනුශාසක, ජාතික හෙළ උරුමය
Lanka C News

0 comments: