බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නපුරු සතුන් මඟහැර යන්න කියලා. පිංවත් ඔබ සිතන්න. නපුරු බල්ලෙක් සිටිනවා, බුදුරජාණන් වහන්සේ දේශනාකරන්නේ නපුරු බල්ලා මඟහැර යන්න කියලා. ඔබ නපුරු බල්ලා ඉදිරියට ගියොත් ඒ බල්ලා ඔබව සපාකන්න පුළුවන්. සමහර විට ඒ නපුරු බල්ලා ඔබව දැකල දුවන්න පුළුවන්. නපුරු බල්ලා ඔබව දැකල දුවන විට ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. මගේ ශීලයට, මගේ සමාධිය නිසයි නපුරු බල්ලා කරදරයක් නොකර දිවගියේ කියල. ඔබ තුළ මමත්වයේ දැඩිභාවය වර්ධනය කරගන්න ඉහත කාරණා හේතුවෙනවා.
දිනක් පිංවත් මහත්මයෙක් බොහෝම ආඩම්බරයෙන් ප්‍රකාශ කළා, "හාමුදුරුවනේ බිය කියන කාරණය සිතන්නේ නැතිව මම කැලයේ ඈතට ගමන් කළා. එහි වැවක් තිබුණා වැවේ කුළුමීමෙක් ලැගල සිටියා. ඒ කුළුමීමා මාව දැක්‌ක ගමන් අහක බලාගත්තා" කියලා. ඒ මහත්මයා සිතන්නේ කුළුමීමා අහකබලාගත්තේ තමාගේ ශීලයට, සමාධියට ගරුකරල කියලා. භික්‍ෂුව ඒ පිංවත් මහත්මයාට ප්‍රකාශ කළේ ඒ අවස්‌ථාවේ එතැනින් මුවෙක් ගමන්කළත් කුළුමීමා අහක බලාගන්නවා කියලා. මුවා දැකලා මඩේ ලැගල සිටින කුළුමීමා අහක බලාගන්නේ මුවාගේ ශීලයකටද,සමාධියකටද? කියල. බුදුරජාණන් වහන්සේ නපුරු සතුන් මඟහැර යන්න කියලා දේශනාකර තිබියදී යම් පිංවතෙක් නපුරු සතුන් සොයාගෙන යනවා නම් එම පිංවතුන් තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙනවා.
නැවතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙල ප්‍රපාත, මඩ වගුරු, අශූචි වළවල්, කසළ ගොඩවල් මඟහැර යන්නය කියල. පිංවත් ඔබ කල්පනා කර බලන්න කසළ ගොඩවල් නිසා අපේ සමාජයේ පිංවතුන්ලා මොනතරම් නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවාද කියල. තමන්ගේ නිවස ඉදිරිපිට කසළ ගොඩක් දැම්මාය කියල ගහමරාගන්නා මනුෂ්‍යයෝ සමාජයේ සිටිනවා. කසළ ගොඩකින් අශූචි වළකින් හමන දුර්ගන්ධය නිසා මනුෂ්‍ය සමාජය බැණලා, චෝදනා කරලා, ගුටිඇනගෙන නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හෙල ප්‍රපාත ඇති තැන් මඟහැර යන්නය කියලා. හෙලක ප්‍රපාතයක සංඝයා උදෙසා කුටියක් සෑදීම බුදුරජාණන් වහන්සේ විනය විරෝධී ක්‍රියාවක් බවට පත්කරලා තිබෙනවා. කුටියක් බැඳීමේදී ගොනුන් දෙදෙනෙක් බැඳි කරත්තයකට කුටිය වටේ යැමට හැකියාව ඇති ප්‍රමාණයේ ඉඩකඩක් තිබීම අනිවාර්ය වෙනවා. හෙල ප්‍රපාත වැනි ස්‌ථානවල ගැවසීම නිසා නිරතුරුවම අනතුරක් පිළිබඳ බියක් සමගයි ජීවත්වෙන්න සිද්ධවෙන්නේ. ඒ නිසාම නැති ආශ්‍රවයන් ඇතිවෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ අකැමැති කථා, අකැමැති හැසිරීම්, අකැමැති වචන, විරුද්ධ මතවාද ඇති තැන් මඟහැරයන්නය කියලා. වර්තමාන සමාජයේ පිංවතුන්ලා බරපතල ආශ්‍රවයන් ඇතිකරගන්නා අවස්‌ථාවක් තමයි මැතිවරණ කාලසීමාවන් , මාධ්‍ය හරහා, කටකථා හරහා, දේශනාවන් හරහා අනුන් නිසා බරපතල ආශ්‍රවයන් සමාජයේ පිංවතුන්ලා ඇතිකරගන්නවා. ගිහි පිංවතුන්ලා තමන් කැමැති පක්‌ෂයට ඡන්දය ප්‍රකාශ කරන්න. එය ඔබේ ජාතික යුතුකමක් වෙනවා. නමුත් තාවකාලික මැතිවරණ සමයක් නිසා දීර්ඝ කාලීන අකුසල් සකස්‌කර දෙන ස්‌ථාන, අවස්‌ථාවන්, පුද්ගලයන් මඟහැරයන්න පිංවත් ඔබ දක්‍ෂ වෙන්න.
ශීලයේ ශක්‌තියෙන් යුද්ධයක් ජයගත්ත අවස්‌ථාවක් සූත්‍රපිටකයේ තිබෙනවා, මේ යුද්ධය තමයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිදුවුණු සුර අසුර යුද්ධය. දිව්‍යතලයේදියි, මේ යුද්ධය සිද්ධවෙන්නේ. දෙවියන්ගේ කණ්‌ඩායමේ නායකත්වය දරන්නේ තෙරුවන් සරණ ගිය ශක්‍රයා. අසුරයන්ගේ කණ්‌ඩායමේ නායකත්වය දරන්නේ වේපචිත්ති කියන අසුර නායකයා. සුරඅසුර යුද්ධයේදී ශක්‍රයා අසුරයින් අතින් පරාජයට පත්වෙනවා. පරාජය ලැබූ ශක්‍රයා දිව්‍ය අජානීය අශ්වයන් යෙදූ, මාතලී දිව්‍ය පුත්‍රයා රියදුරු වූ අජානේයරථයෙන් වේගයෙන් පලාගියා. පලායන ශක්‍රයා කෙසේ හෝ ජීවග්‍රහයෙන් අල්ලා ගන්න අසුරයින් ශක්‍රයාගේ රථය පසුපසින් වේගයෙන් ලුහුබැඳ පැමිණියා. ශක්‍රයා අජානීය අශ්වරථයෙන් වේගයෙන් පලාඑද්දී හිඹුල්වනය නමැති ප්‍රදේශයක් පසුකරමිනුයි අශ්වරථය වේගයෙන් ගමන්කරන්නේ. දිව්‍යතලයේ මේ හිඹුල්වනය ප්‍රදේශය දිව්‍ය ගුරුළු පක්‍ෂීන් බහුල වශයෙන් කැදලි තනාගෙන ජීවත්වන ප්‍රදේශයක්. පලායන ශක්‍රයා දකිනවා අජානීය අශ්වරථය තවදුරටත් වේගයෙන් ඉදිරියට ගියොත් ගුරුළු පක්‌ෂීන් සහ ගුරුළු කැදලි,ගුරුළු පැටවුන් මැරිල විනාශවෙලා යනවා කියල. ශක්‍රයා තම අජානීය අශ්වරථයේ රියදුරු මාතලීට අණකරනවා මාතලී මම අසුරයින්ට හසුවුණත් ශිල්පදයක් බිඳින්නේ නැහැ කියලා. එම නිසා අශ්වරථය මින් ඉදිරියට ධාවනය කරන්න එපා. මේ අහිංසක දිව්‍ය ගුරුළු පක්‌ෂීන් මැරෙනවා. එම නිසා රථය හරවාගෙන පැමිණි දිශාවටම වේගයෙන්ම පදවන්න කියල. ශක්‍රයා තම ශක්‌තිමත් ශීලය ගැන සත්‍යක්‍රියා කරමිනුයි රථය ආපසු හරවන්න අණකළේ. පැරදී පලායන ශක්‍රයා නැවත තම දිව්‍යරථය හරවාගෙන වේගයෙන් තමන් ඉදිරියට පැමිණෙනවා දැක අනිවාර්යයෙන්ම ශක්‍රයා නැවත ශක්‌තිමත්වී දිව්‍ය සේනාව සමග ප්‍රතිප්‍රහාරය සඳහා පැමිණෙනවායයි සැකසිතූ අසුර පිරිස තම රථය හරවාගෙන පලාගියා. ශක්‍රයාද පලායන අසුරයින් ලුහුබැද ගොස් ඔවුන් අසුරපුරයටම එලවා දැම්මා. සුර අසුර යුද්ධයේදී පළමුව දෙවියන් අසුරයන්ට පැරදී දෙවනුව අසුරයින් පරාජය කර දෙවියන් ජයග්‍රහණය ලබන්නේ දිව්‍යතලයේ හිඹුල්වනය නම් ප්‍රදේශයේ බහුල වශයෙන් ජීවත්වන දිව්‍යගුරුළු පක්‌ෂීන්ට, එම පක්‌ෂීන්ගේ කැදලි පැටවුන්ට අනතුරක්, සත්ත්ව හිංසාවක් සත්ව ඝාතනයක් නොකරනවාය කියන අධිෂ්ඨානයෙන් තම ජීවිත ආශාව පවා අත්හැර ශක්‍රයා තමන්ගේ ශීලය කෙරෙහි ඇතිකරගත් විශ්වාසය නිසාමයි. සමාදන්වූ ශිල්පදයක් කඩ නොකරනවාය කියල ඇතිකරගත් අධිෂ්ඨානය නිසාමයි. ශක්‍රයා සුර අසුර යුද්ධය දිනන්නේ ශීලය සරණ කරගෙනයි. ශීලයේ ශක්‌තියෙන් අතීතයේ ශක්‍රයා ජයග්‍රහණය කළ මේ යුද්ධයේ අර්ථය වර්තමානයේ නම් හාස්‍යයට ලක්‌වෙන්නත් පුළුවන්. මොකද වර්තමානයේ යුද්ධයක් කොයිහැටි වෙතත් මැතිවරණ සමයකදීත් ශිල්පද බිඳිමින්, අකුසල්මූලයන් වඩමින්, නැති ආශ්‍රවයන් වඩවා ගනිමින් තමයි කටයුතු සිද්ධවෙන්නේ. මේවායින් කුමක්‌ද අපි දකින්නේ ශක්‍රයාට තිබෙන පින අපට නැහැයි කියන කාරණයයි. යමක් ලබන්නනම්, යමක් දිනන්නනම් ගොඩාක් පව්කම් සිදුකරගෙන තමයි එය ලබන්න දිනන්න වෙන්නේ, එම නිසා ආශ්‍රවයන් වැඩෙන මෙවැනි ධර්මතාවයක් මඟහැර යන්නය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/11/29/feature05.html
නාගදීපය කිසියම් අර්බුදයකට තුඩු දී ඇති බව පෙනෙයි. එහි නම නයිනතිවු ලෙස වෙනස් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කෙනෙකු වූද නැසීගිය වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඥාතියකු වූද, එම්. කේ. ශිවාජිලිංගම් පවසා තිබේ. ඒ අතර එකී සන්ධානයේම හිටපු නායක සහ ත්‍රිකුණාමලේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් පවසන්නේ නාගදීබය ඒ නමින්ම තිබිය යුතු බවත් එය නයිනතිවු ලෙස වෙනස් කිරීමට තමා විරුද්ධ බවත් ය. වසර 2015 ගැසට් පත්‍රයේ දෙමළ පරිවර්තනය මගින් නාගදීපය හඳුන්වා දී ඇත්තේ නයිනතිවු ලෙස ය. එහිම සිංහල පිටපතෙහි එම නම නයිනතිවු ලෙස යොදා ඇත. මේ අනුව මේ දූපත දෙමළ ජනයාට නයිනතිවු බව ද සිංහලයන්ට නාගදීපය බවද පැහැදිලිය. මනිපල්ලවම් නමැති දෙමළ නමක් ද මේ දූපතට තිබේ. බෞද්ධ ඉතිහාසයට අනුව මෙය බොදු පා පියුම් පහස ලැබූ බිමකි.
බුද්ධත්වයට පත්වීමෙන් වසර හයකට පසු බුදුන් වහන්සේ නාගදීපයට වැඩම කළ හැටිත්, එය උන්වහන්සේගේ දෙවැනි ලංකාගමනය බවත්, එහි විසූ චූලෝදර සහ මහෝදර යන ප්‍රාදේශීය නායකයන් දෙදෙනා මැණික් පුටුවක් සම්බන්ධයෙන් ඇති කරගත් ආරවුලක් උන්වහන්සේ විසින් සමථයකට පත් කෙරුණු හැටිත්, මහා වංශයෙනි සඳහන් ය. ඉන්දියානු දෙමළ සාහිත්‍යයෙහි ඉහළම වකවානුව ලෙස සැලකෙන සංගම් යුගයට අයත් ග්‍රන්ථයක් වන, වසර 2600 කට පෙර ඉන්දියාවේදී ලියන ලද මනිමේකලා නමැති වීර කාව්‍යයෙහි ද මෙකී මැණික් පුටුව ගැන සඳහන් ය. චූලෝදර මහෝදර ආරවුල විස¹ භාග්‍යවතුන් වහන්සේ තම ගමන සිහිවනු පිණිස නාගදීප භූමියෙහි සිරිපා සටහනක් ද පිහිටවූහයි මනිමේකලාවම කියයි. එපමණක්‌ද? එදාබුදු බණ ඇසූ චූලෝදර මහෝදර රජවරු පමණක් නොව නාගදීප වැසි සමස්‌ත ප්‍රජාවම බෞද්ධයන් බවට පත්වූවාහුලු· රජවරු දෙදෙනා මැණික් ආසනය බුදුනට පූජා කළහ. නාගදීපයෙහි අද ඇති චෛත්‍යය තනා ඇත්තේ එම මැණික් ආසනය නිධන් කිරීමෙන් යෑයි උතුරෙහි මතයක් පවතී. එහෙත් දකුණෙහි විශ්වාසය වන්නේ එම මැණික් පුටුව කැලණි විහාරයෙහි වෙහෙර වහන්සේ තුළ තැන්පත් කර ඇති බවය. මෙය වඩාත් තර්කානුකූල පිළිගැනීමකි.
වර්ග සැතපුම් දෙක තුනකට වඩා විශාල නොවන ග්‍රාමසේවා වසම් 3 කින් සමන්විත වූ නාගදීපය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට දකුණු පසට වන්නට සැතපුම් කිහිපයක් ඔබ්බෙන් ය. මෙහි සිට ඉන්දියාවට ඇති දුර සැතපුම් 35 කි. යාපනේ අර්ධද්වීපය සහ නාගදීපය අතර ගමනාගමනය සඳහා බෝට්‌ටු සේවයක් තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ මුල්ම සිතියම මෙයට වසර දෙදහසකට පෙර නිර්මාණය කළ ග්‍රීක උගතකු වන ක්‌ලෝඩියස් ටොලමි නාගදීප දුපත ස්‌ථානගත කරන ලද්දේ යාපනේ අර්ධද්වීපයට දකුණින් ය. ඔහු එය නම් කර ඇත්තේ නාගදීබ ලෙස ය. ඒ පමණක් නොව ඔහු සමස්‌ත යාපනයම හඳුන්වා ඇත්තේ නාගදීබ මාග්‍රාමම් ලෙස ය. සමහර විට මෙහි තේරුම මහා ගම්මානය හෙවත් දිස්‌ත්‍රික්‌කය විය යුතුය. ටොලමි එදා ශ්‍රී ලංකාව හඳුන්වන ලද්දේ ටැප්‍රොබානා (Taprobana) ලෙසය. ඔහු ලංකාවට අයත් ප්‍රධාන දූපත් 20 ක් තම සිතියමෙහි පෙන්නුම් කර ඇත. ටොලමි සිතියමට අනුව එකල සිරිලක අඩුම ගණනේ කුඩා රාජ්‍ය 20 කින් සමන්විත වූ බව පෙනී යයි.
ඉතිහාස කතාවලට අනුව මෙයට අවුරුදු 2500 කට පෙර නාගදීපය සහ යාපනය අර්ධද්වීපය යන දෙකෙහිම ජීවත් වුවෝ නාග ගෝත්‍රිකයෝ ය. නාග ගෝත්‍රිකයන් ඉන්දියානු සම්භවයක් ඇති ප්‍රජාවක් වන අතර, හින්දු ඇදහිල්ල අනුගමනය කරමින් නාගයකුගේ ස්‌වරූපය ගත් දෙවියකු ඇදහීමට පුරුදුව සිටියහ. ඔවුන් කතා කළේ ඉන්දු ආර්ය භාෂා පවුලට අයත් වූද, පාලි සහ සංස්‌කෘත භාෂා පොදු ජනයාගෙන් ඈත් වූ පසු බිහි වූ ඉන්දියානු භාෂාවක් බවට පත් වූද ප්‍රාකෘත භාෂාවෙනි. ධර්මාශෝක රජතුමා (ක්‍රි. පූ. 268 - 232) සෙල්ලිපි කොටවන ලද්දේ ද ප්‍රාකෘත භාෂාවෙනි. ලංකාවේ නාග ගෝත්‍රිකයන්ගේ හොඳම විදේශික මිතුරා වුයේ එවකට වෙනම රටක් ලෙස පැවැති කේරල රාජධානියය. ඉතිහාස කතාවලට අනුව නාග ජනයා යාපනය සහ නාගදීපය ප්‍රදේශවල වාසය කරන කාලයේදී ලංකාවේ සෙසු කොටස්‌වල විසුවෝ යක්‍ෂ, රාක්‌ෂ සහ දේව යන මනුෂ්‍ය ගෝත්‍ර තුනය. ඔවුනතුරින් යක්‍ෂ ගෝත්‍රිකයෝ තායිලන්තය ලෙස හැඳින්වෙන භූමියෙහි ද එදා පැතිර සිටියහ. රක්‍ෂ ගෝත්‍රිකයන් සමඟ මැලේසියාවට සම්බන්ධයක් තිබිණ. දේව යනු ගති පැවතුම්වලින් උසස්, ගුණවත්, සිල්වත් මනුෂ්‍ය කොට්‌ඨාසයකි. පසු කාලයේදී ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරුන් බවට පත් වූවෝ මෙකී දේව ගෝත්‍රිකයෝ යයි කියනු ලැබේ. රාම රාවන යුද්ධයෙන් පසු කේරළයේ මළබාරයට පැන ගිය දේව ගෝත්‍රිකයන්ගෙන් පැවත එන අය අදටත් එහි වෙසෙති.
යාපනයේ සහ නාගදිපයේ විසූ නාග ගෝත්‍රිකයන් අයත් වූවේ, එවකට ඉන්දියාවේ පැවති කුල හතෙන් එකක් වූ දේශ සීමා ආරක්‍ෂා කරන්නන්ගේ කුලයට ය. ඉන්දියාවේ විසූ නාග ගෝත්‍රිකයන්ට ආරක්‍ෂා කර ගැනීම සඳහා පෞර රාජ්‍ය සිය ගණනක් සහ දේශ සීමා එපමණටම වූ නමුත් යාපනයේ විසූ නාගයන්ට එවැනි කරදරයක් නොවීය. එහෙත් චූලෝදර මහෝදර සටන මගින් පෙනී යන්නේ නාගදීපයෙහි කුඩා පෞර රාජ්‍ය දෙකක් තිබෙන්නට ඇති බවය. විජයාගමනයෙන් පසු නාග ගෝත්‍රිකයන් ක්‍රමයෙන් පරිහානියට පත් වන්නට ඇති බව පෙනෙයි. ඒ අතර යාපනයේ ඉතිරිව සිටි නාග ගෝත්‍රික ප්‍රජාව ද නාගදීප දූපතටම සංක්‍රමණය වන්නට ඇතැයි සිතිය හැකිය. නාග ඇදහිල්ලෙන් ඉතිරි වූ අවසන් සලකුණ වන පෙන ගොබ හතක් ඇති නාගයකුගේ පිළිරුවක් අදටත් නාගදීපයේ නාගපුෂානි අම්මන් කෝවිලෙහි ඇත.
නාගදීපය පිහිටි මුහුදු ප්‍රදේශය ඉන්දියානු සාගරයට අයත් මන්නාරම් බොක්‌කය. අතීතයේ පටන් නාගදීප දූපත ප්‍රසිද්ධව ඇත්තේ හක් බෙල්ලන් වෙළෙඳාමටය. යාපනය නගරයෙන් කයිට්‌ස් දූපතට ගොස් එතැනින් පුන්කුඩුතිව් දුපතට යන අයට නාගදීපයට ජනයා ප්‍රවාහනය කරන ජැටිය හමුවෙයි. යුද සමයේදී නාවික හමුදාව විසිනුත්, අද පෞද්ගලික අංශය විසිනුත් පාලනය කරන බෝට්‌ටු සේවය මගින් නාගදීපයට ගමන් කළ හැකිය. පුරාණ රජමහා විහාරය සහ නාගපුෂානි අම්මන් කෝවිල ඊළඟට දැකිය හැකිය. භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ විසින් නාග ගෝත්‍රික ආරවුල විස» තැන පුරාණ රජමහා විහාරය ඉදිකර ඇති බව විශ්වාස කෙරෙයි. එම අවස්‌ථාවේදී බුදුන් වහන්සේට පිදීම සඳහා මල් ගෙනවිත් ඇත්තේ නාගදීපයේ පිහිටි මල්ලාකම් සහ චුන්නාකම් යන ගම්මානවලින් බව පුරා වෘත්තවල සඳහන් වේ. බුදුන් වහන්සේ බැහැදැකීමට කැලණියේ සිට නාගදීපයට පැමිණ සිටි මණිඅක්ත රජතුමා ඊළඟ ලංකාගමනයේදී කැලණියට වඩින ලෙස බුදුන්ට ආරාධණා කළ බව ද සඳහන්ය. බුද්ධාගමනයෙන් පසු නාගදීපය අවට පිහිටි පුවක්‌ගු දිවයින, ක- ආර දිවයින, මන්ද දිවයින යන ගම්මානවල වැසියන් බුද දහම වැළඳ ගත් බව ද කියෑවේ.
වසර 2500 කට පෙර නාගදීපයේ ඉදිකළ බෞද්ධ විහාරය දේවානම්පියතිස්‌ස සහ දුටුගැමුණු මහරජවරුන් විසින් ප්‍රතිසංස්‌කරණය කර ඇත. අනතුරුව ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසී, ලන්දේසි හා ඉංග්‍රීසි හමුදාව නාගදීපය විහාරය වැඳීම සිංහලයන්ට තහනම් කළේය. ඉන් පසු එම ස්‌ථානය නටබුන් විය. 1931 දී එහි වැඩම කළ අම්බලන්ගොඩ රන්දොඹේ සෝමතිස්‌ස නායක හාමුදුරුවෝ, නාගයන් විසින් බුදුනට පුද කළ ද මැණික් පුටුව නිධන්කර තැනූ චෛත්‍යය ලෙස සැලකෙන නටබුන් හඳුනාගෙන එතැන ප්‍රතිසංස්‌කරණය කරවූහ.
නාගදීපයෙහි ඇති විශේෂත්වය වන්නේ එහි සිංහල බෞද්ධ මෙන්ම නාග බෞද්ධ ඉතිහාසයයි. නාගයෝ සිංලයෝ නොවෙති. වසර 2500 කට පෙර නාගදීපයේ වැසි නාගයෝ බෞද්ධයන් වී නාග බෞද්ධ ඉතිහාසයක් ආරම්භ කළහ. ඒ වන විටත් එම භූමියේ නම නාගදීපය නොවන්නට හේතුවක් නැත. ඉන් වසර 500 කට පසු ටොලමි පළමුවන ලංකා සිතියමේ නාගදීප නම 'නාගදීබ' යනුවෙන් සඳහන් කරන්නේ ඉතිහාසයේ සාක්‍ෂිවලට අනුවය.
අනුර සොලමන්ස්
http://www.divaina.com/2015/11/29/feature14.html
සබැඳි ලිපි -
[
මිනිපලග(මැණික් පුටුව) - නාග ගැටුම වළකන්නට වැඩි බුදු හිමි සඳු පා පහස ලද නාගදීපයට කොටි හොල්මන්!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_91.html
]
වවුනියාවේදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හා උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් 25 දා කළ සාකච්ඡාවකදී තීරණය කොට තිබුණේ වවුනියාවට අලුතෙන් පත්කළ දිසාපතිවරයාගේ පත්වීම දෙමළ ජාතික සන්ධානය පිළිනොගන්නා බවයි.
බහුතරයක් දෙමළ වැසියන් වෙසෙන පළාතකට සිංහල ජාතිකයකු දිසාපතිවරයා වශයෙන් පත්කිරීමේදී දෙමළ ජනතාවගේ ප්‍රශ්න හා ගැටලු ඔහුට තේරුම් ගැනීමට නොහැකි නිසා දෙමළ ජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බව දෙමළ ජාතික සන්ධානය පෙන්වා දී තිබේ.
උතුරු පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය පී. සත්‍යලිංගම් පැවසුවේ කලින් වවුනියාවේ දිසාපතිවරයා ජනතාවට සේවය නොකළ නිසා ඔහුව මාරුකොට යවන මෙන් උතුරු පළාත් සභාව යෝජනාවක් ද සම්මත කළ බවයි. පසුව අග්‍රාමාත්‍යවරයාට හා ජනාධිපතිවරයාට ද මේ අසාධාරණය සැලකළ බව ඔහු පැවසීය.
නමුත් අලුතින් පත්කළ දිසාපතිවරයා ද සිංහල ජාතිකයකු වීම නිසා දෙමළ ජාතික සන්ධානය රජයෙන් කළ ඉල්ලීම රජය ගණන් නොගෙන ඇති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
වවුනියාව දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ බන්ධුල හරිශ්චන්ද්‍ර රත්නපුරයට මාරුකොට යවා ඇති අතර වවුනියාවේ නව දිසාපතිවරයා වශයෙන් පත්කොට ඇත්තේ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාරයි.
මේ නව පත්කිරීම තමන්ට පිළිගත නොහැකි නිසා ඒ වෙනුවෙන් රජය යළි දැනුවත් කොට දෙමළ ජනතාවට යම් සාධාරණයක් ඉෂ්ට කර ගැනීමට ක්‍රියාමාර්ගයන් රැසක් ගැනීමට වවුනියාවේදී පැවැති සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.
දිනසේන රතුගමගේ
http://www.divaina.com/2015/11/27/news26.html
Pic
Source
සබැඳි ලිපි -
[
සිංහලයා ජාතිවාදියෙක්ද?
]
කවරම හෝ වර්තමාන කාර්යභාරයක් ගැන කරුණු විමසා බැලීමේදී අතීතයට යොමු වී අතීත ක්‍රියාකාරකම් අනුව වර්තමාන ක්‍රියාකාරකම් කවරේදැයි තීරණය කළ යුතුය. ඒ අනුව පළමු කොටම සිංහල භික්‍ෂුවගේ අතීත කාර්යභාරය විමසා බැලිය යුතුය.
ක්‍රි. පූ. 3 වැනි සියවසෙහි දෙවන පෑතිස් රජු දවස මිහිඳු මහ රහතන් වහන්සේ විසින් බුදු දහම අපට හඳුන්වා දෙන ලද බව ඓතිහාසික සත්‍යයකි. තුනුරුවන් පිළිගෙන බුදු දහමට අනුව කටයුතු කරගෙන යද්දී දිනක් දෙවන පෑතිස් රජතුමා "ස්‌වාමීනී, දැන් මගේ රටෙහි බුදු සසුන පිහිටියේ දැයි" ඇසුවේ ය. "නැත මහ රජ මේ රටේම දෙමවුපියන්ගේ දරුවෙක් පැවිදි උපසම්පදා වී විනය දේශනා කරන තුරු මේ රටෙහි බුද්ධ ශාසනය පිහිටියා වන්නේ නැතැයි" මිහිඳු හිමියෝ පිළිතුරු දුන්හ. ඒ ඇසූ රජතුමා අරිට්‌ඨ කුමරු පැවිදි උපසම්පදා කරවා අනුරාධපුර මහා විහාර සීමාව ද ඉදිරිකර ඒ වන විට මහ රහත් භික්‍ෂුවක්‌ව සිටි අරිට්‌ඨ නම් වූ ප්‍රථම සිංහල භික්‍ෂුව ලවා මහා විහාර සීමාවෙහි විනය දේශනා කිරීමට අවශ්‍ය සියලු කටයුතු මිහිඳු හිමියන්ගේ උපදෙස් පරිදි සංවිධානය කළේය. සිංහල භික්‍ෂු වංශයේ ප්‍රථම භික්‍ෂුව වනුයේ මහා අරිට්‌ඨ තෙරුන් ය. එම භික්‍ෂු වංශයට පැවරුණු සුවිශේෂී කාර්යභාරයයන් දෙකක් විය. එකක් නම් බුද්ධ ශාසනය ආරක්‍ෂා කොට පවත්වා ගෙන යැමයි. දෙවැන්න නම් බුද්ධ ශාසනයේ පැවැත්මට පිහිටාධාර වූ රටේ හා ජාතියෙහි ආරක්‍ෂාව හා මතු පැවැත්ම පිළිබඳ අවශ්‍ය මඟ පෙන්වීමයි. පසු කාලයෙහි එම වැඩපිළිවෙළ රට දැය සමය සුරැකීම යනුවෙන් පැවිදි ගිහි දෙපිරිසේ ම පොදු කාර්යයක් ලෙස තහවුරු විය.
ථෙරවාදී බුදු සසුන පැතිර ගිය වෙනත් රටවල්වලට වඩා මෙරට සිංහල භික්‍ෂුවගේ කාර්ය භාරය වෙනස් වූද, පුළුල් වූද වැඩපිළිවෙළක් විය. මිහිඳු හිමියන් විසින් බුදු සසුන රැකබලා ගැනීමේ වගකීම සිංහලයාට බාරදීමත් සමඟම එම පිළිවෙත ඇරඹුණි. එදා ඇරඹුණු භික්‍ෂු ශාසනය මහා විහාර වංශයයි. අටුවාචාරවරුන් හඳුන්වා ඇත. ථේරවාදී මහා විහාර වංශික භික්‍ෂු සම්ප්‍රදාය යනු අනෙකක් නොව සිංහල භික්‍ෂු වංශයමයි. සියලු දුක් ගෙවා නිවන් ලබා ගැනීම පැවිද්දේ මූලික අරමුණ කරගත් සිංහල භික්‍ෂුන් වහන්සේ "මහණෙනි, දෙවි මිනිසුන් සහිත ලෝකයේ බොහෝ දෙනාගේ හිත සුව පිණිස හැසිරෙව්" යන ප්‍රථම බුද්ධ අවවාදය අනුගමනය කරමින් අනාගතයේ පහළ වන අයගේ හිත සුව පිණිස බුද්ධ ශාසනය හා රට ජාතිය ආරක්‍ෂා කර තැබීමට යොමු වූහ. ඒ අනුව උන්වහන්සේ සිංහල ජාතියේ ගුරුවරයා වූහ. අනුශාසකයා වූහ. අවශ්‍ය විට රජුන් හැදුවේද උන්වහන්සේය. වෙනත් බෞද්ධ රටවල භික්‍ෂුන් වහන්සේ එසේ ක්‍රියාකර නැත. මෑතකදී මියන්මාරයේ භික්‍ෂුන් වහන්සේ ද එවන් වැඩපිළිවෙළකට යොමු වූ බවට තොරතුරු ලැබී ඇත.
ජාතියේ මහා වීරවරයාණන් වූ දුටුගැමුණු මහ රජතුමාට රාජ්‍ය විචාරීමට මෙන්ම සටන් කිරීමට ද සිංහල භික්‍ෂුව මඟ පෙන්වූහ. රුවන්වැලිමහ සෑය වැනි දැවැන්ත ගොඩනැඟිල්ලක ඉංජිනේරු ශිල්පීන් වූයේ ද උන්වහන්සේ ය. වළගම්බා රජතුමා සතුරන්ගෙන් ආරක්‍ෂා වීම සඳහා වසර 14 ක් කැලෑ වැදී සිටි අවදියෙහි එතුමා රැකබලා ගත්තේ අවශ්‍ය උපදෙස් දුන්නේ මහා තිස්‌ස හිමියන් ය. ධාතුසේන කුමාරයා සතුරන්ගෙන් රැක ගැනීමට පැවිදි කරවා අවශ්‍ය සියලු ශාස්‌ත්‍ර උගන්වා අවස්‌ථාව පැමිණි විට සිවුරු හැර රාජ්‍ය බලය අත්පත් කර ගැනීමට සියලු කටයුතු සැදුවේ සිංහල ජාතියේ මහා ලේඛක මහා වංශ කර්තෘ මහානාම හිමියන් ය. සවෙනි පැරකුම්බා රජු කුමාර කාලයෙහි සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීමට පැවිදි කරවා නිසි වයසේදීම රජකම ලබා ගැනීමට සියලු කටයුතු යෙදුවේ වීදාගම මහා මෛත්‍රී මාහිමියන් ය. දොන් ජුවාන් කොනප්පු බණ්‌ඩාර පෘතුගීසි හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බව දැන සිවුරට උඩින් පෘතුගීසි ඇඳුම් ඇඳගෙන කඳවුර තුළට ගොස් ඔහු හමු වී අවශ්‍ය උපදෙස් දී මුළු කඳවුරම විනාශ කොට දමා විමලධර්මසූරිය නමින් සිංහලයේ රජ වීමට වීර වික්‍රමාන්විතව ක්‍රියා කළේ පෘතුගීසි භාෂාව ද හොඳින් කථා කිරීමට හැකියාව ඇතිව සිටි දෙවනගල රතනාලංකාර හිමියන් ය.
ඉංග්‍රීසීන්ට සිංහල රට යුද කිරීමෙන් අත්පත් කරගත නොහැකි වූ විට ගිවිසුමක් මගින් එම කාර්ය ඉටුකර ගැනීමට යොදා ගිවිසුම අත්සන් කිරීමටත් කලින් ඉංග්‍රීසී කොඩිය එසවූ අවස්‌ථාවෙහි එය බිමට ඇද දමා යළි සිංහල කොඩිය ඔසවා සිංහලේ අභිමානය කියා පෑමට එඩිතරව ඉදිරිපත් වූයේ වාරියපොල සුමංගල හිමිපාණන් ය. ඉංග්‍රීසීන් ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළ විට උන්ට එරෙහිව පළමු විමුක්‌ති සටන දියත් කිරීමට නායකත්වය දුන්නේ වෙල්ලස්‌සේ විහාරවල වැඩසිටි නායක හිමිවරු ය. උන්වහන්සේලා සියලු දෙනාම අත්අඩංගුවට ගත් ඉංග්‍රීසීහු අපවත් වන තුරුම යාපනයේ සිර ගෙවල් තුළ රඳවා තැබූහ. සුද්දන්ට එරෙහි දෙවන සිංහල විමුක්‌ති සටනට නායකත්වය දුන් කුඩාපොළ හිමියො සුද්දන් විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබූහ. සිංහල භික්‍ෂුන්ගේ ශක්‌තිය වටහා ගත් බවුන්රිග් ආණ්‌ඩුකාරවරයා එංගලන්තයේ රජුට ලිපියකින් මෙසේ දන්වා සිටියේ. "හිරු නොබසින අධිරාජ්‍යයේ කීර්තිය පතුරුවා ගෙන ආසියාකරයට පැමිණි අපට මේ කුඩා රටේ දී අපේ කීර්තිය රැක ගැනීමට බොහෝ වෙහෙස වීමට සිදු වී ඇත. එයට ප්‍රධාන හේතුව මෙරට සියලුම ගම්වල වසන භික්‍ෂුන් ය. ජනතාව පිළිගන්නේ අප කියන දෙය නොව ඔවුන් කියන දේ ය. අප ඔවුන්ට මහජනතාව අතරට යැම තහනම් කළත් ඔවුන්ට ජනතාව ඇමතීමට අවස්‌ථාව තිබේ. බණට පිරිතට දානයට අවමඟුල් අවස්‌ථාවන්ට සහභාගි වන ඔවුන් අපට විරුද්ධව දේශනා කරනවා" මෙම කරුණු හොඳින් හැදැරූ ඉංග්‍රීසීන් භික්‍ෂුන් පොදු ජීවිතයෙන් බැහැර කර පෞද්ගලිකත්වය තුළ සිරකොට එමගින් සිංහල භික්‍ෂුවගේ බලය සිඳ බිඳ දැමීමට කටයුතු කළහ. භික්‍ෂුන්ට විහාරාධිපතිකම් හා නායකකම් පිරිනමා සුද්දන්ට ගැතිව ක්‍රියාකරන තැනට කටයුතු යෙදීය. භික්‍ෂුන්ට නායකකම් පිරිනමන සන්නස්‌පත්‍රවල වික්‌ටෝරියා මහා අධිරැජනට පක්‍ෂපාතීව කටයුතු කරන බවට වැනි සටහනක් යෙදීමට තරම් ගැතිවන තැනට කටයුතු යෙදීය. සිංහල භික්‍ෂුන් සතුව තිබූ අධ්‍යාපනය හා ආරවුල් නිරවුල් කිරීම පාසල් හා උසාවි ඉදිකර මුළුමනින් ම සුද්දන් අතට ගනු ලැබීය. මෙම ක්‍රියාමාර්ග මගින් සුද්දන් විසින් සිංහල භික්‍ෂුන් පවත්වා ගෙන ආ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙත නතර කරනු ලැබු අතර උන්වහන්සේ පන්සලේ මුරකරුවකු බවට පත් කරනු ලැබූහ. එදා අනගාරික ධර්මපාලතුමන් කිව්වා සේ සුද්දන්ගේ කටයුතු උන්ටත් වඩා හොඳින් ඉටුකරන කලු සුද්දෝ විශේෂයෙන් පාලකයෝ භික්‍ෂුව තම දේශපාලනයේ කොඩියක් ලෙස පමණක් යොදා ගනිති.
සුද්දන්ගේ හා කලු සුද්දන්ගේ උප්පරවැට්‌ටිවලට අසුවීම නිසා සිංහල භික්‍ෂුන් වහන්සේ රට දැය සමය සුරැකීමේ උදාර පිළිවෙතින් බැහැරව ආත්ම ලාභය ගැන වැඩිපුර සිතන තැනට පත් වී ඇත. අලියා උගේ තරම නොදැනීම නිසා කුඩා හෙණ්‌ඩුවකට බයේ මිනිසුන්ට බැල මෙහෙවරකම් කරන්නා සේ සිංහල භික්‍ෂුව ද ධනවතුන්ට හා දේශපාලකයන්ට ගැතිව ක්‍රියාකරති. සුඛෝපභෝගී අහංකාර ජීවිත ගත කරති. ලෝකයේ සිදුවන දේ හා ලෝකයා අපට අටවන උගුල් ගැන හරි අවබෝධයක් නැතිව ප්‍රකාශ නිකුත් කිරීමෙන් භික්‍ෂු ගෞරවයට හානි වන ලෙස ඇතැම් භික්‍ෂුහු ක්‍රියා කරති. වර්තමාන සිංහල භික්‍ෂුන් වහන්සේ පත්ව ඇති මෙම අභාග්‍ය සම්පන්න අවස්‌ථාව පිළිබඳව අවංකවත් හිතට එකඟවත් විමසා බලා අතීත සිංහල භික්‍ෂුන් වහන්සේගේ උදාර පිළිවෙත් සිතට ගෙන ඒ අනුව කටයුතු කිරීමට වර්තමාන භික්‍ෂුව සිතට ගත යුතුය. එහිදී භික්‍ෂුව ක්‍රියාකාරී දේශපාලනයට එක් නොවීමට හා දේශපාලකයන්ගේ අතකොළු බවට පත්නොවීමට ද සිතට ගත යුතුය. අතීත සිංහල භික්‍ෂුව මෙන් රටට දැයට හා සමයට හිතකරව දේශපාලකයන් මෙහෙයවීමේ කාර්යය භික්‍ෂුන් වහන්සේ අතට ගත යුතුය. භික්‍ෂුව කවරම හෝ ශිල්ප ශාස්‌ත්‍ර ක්‍රමයක් ඉගෙන ගත්තද, ඒ සැමට ප්‍රථම බුදුදහම පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබා ගත යුතුය. නායක පදවි හා විහාරාධිපතිකම් දීමට වඩා භික්‍ෂුන්ට එවැනි අධ්‍යාපනයක් ලබාදීමේ වගකීම භික්‍ෂු නායකත්වය විසින් දැඩිව සිතට ගෙන එය ක්‍රියාත්මක කළ යුතුය. බටහිර නව යටත්විජිතවාදයේ බලපෑම හා ඉන්දියානු අධිපතිවාදී වැඩපිළිවෙළ නිසාත් ඔවුන්ට ගැතිව කටයුතු කරන අපේ රටේ අය නිසාත් විනාශයකරා යන රටත්, ජාතියත් සසුනත් බේරා ගැනීමට හැකිවනුයේ මෙරට භික්‍ෂුවට බව තරයේ කියා සිටිමු. භික්‍ෂුන් වහන්සේ වන අපි ඒ සඳහා පෙරමුණ ගනිමු. වැඩ පටන් ගනිමු. වැඩෙහි යෙදෙමු. රට දැය සසුන රැකීමේ උතුම් පිළිවෙතෙහි යෙදෙමු. එය නිවනට ද බාධාවක් නොවේ. මෙලොවට මෙන්ම පරලොවට ද වැඩදායි වේ.
බෙංගමුවේ නාලක හිමි
http://www.divaina.com/2015/11/23/feature01.html
Pic
Source
පසුගිය බ්‍රහස්‌පතින්දා (19 දා) රාවණා බලය සංවිධානයේ භික්‍ෂූන් වහන්සේ පිරිසක් ජනාධිපතිවරයාට විශේෂ සංදේශයක් බාරදී තිබිණි. ඒ, බන්ධනාගාර ගතව සිටින එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් නොකර ඔවුනට එරෙහිව නඩු පවරන්නැයි කියමිනි.
රාවණා බලයේ භික්‍ෂූන් වහන්සේ පිරිස මේ සංදේශය භාරදීමට පෙර සිටම මේ පිළිබඳව විවිධ කතාබහ සමාජයේ මතුව තිබිණි. මේ එල්.ටී.ටී.ඊ. සැකකරුවන් පිළිබඳව එවැනි අර්බුදයක් පැන නැගෙන්නේ ඔවුන් නිදහස් කිරීමට ගත් තීරණයත් සමඟය.
එහෙත් එය එතරම්ම ප්‍රායෝගික නොවන තීරණයක් බව බොහෝ විද්වතුන්, දේශපාලනඥයන් විවිධ අවස්‌ථාවල ප්‍රකාශ කර තිබිණි. එම සැකකරුවන් නිදහස් කිරීම අරබයා පැන නැගෙන ගැටලු සහගත තත්ත්වයක් පැන නැගෙන්නට හේතුව වූයේද ඔවුන් "එල්.ටී.ටී.ඊ. සැකකරුවන්" වීමම විනා අන් කවරක්‌වත් නොවේ. එල්.ටී.ටී.ඊ. සැකකරුවකු යනු අදත් ශ්‍රී ලාංකීය ජන සමාජයේ යම් භීතිය දනවන පසුබිමක් ඇති කරවන ත්‍රස්‌ත කල්ලියක සාමාජිකයකු වේ. ඔවුන් අත්අඩංගුවට ගන්නේද ත්‍රස්‌ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සැකකරුවකු ලෙසිනි. එවිට එවැනි සැකකරුවකු නිකම්ම නිදහස් කිරීමට තීරණයක් ගත් විට සමාජය තුළ නැවතත් කැළඹීමක් ඇතිවීම සාධාරණය. මේ සැකකරුවන් නිදහස් කිරීමට ගන්නා උත්සාහයට එකඟ නොවන්නන් ජාතිවාදීන් යෑයි හංවඩු ගැසීම සාධාරණ නොවන්නේ එබැවිනි. රාවණා බලයේ භික්‍ෂූන් වහන්සේද අවධාරණය කර වදාරන්නේ එම කාරණයයි.
එම එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කර යෑවීමට තරම් සාධාරණ හේතුවක් හෝ රටට ප්‍රකාශ කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමය. නොඑසේ නම් ඔවුන් නිවැරැදිකරුවන් නම් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කවර හේතුවක් නිසාද යන්නත් රටට පැහැදිලි කළ යුතුය. ඒ වරද නිවරද කවරක්‌ද යන්න දැනගැනීම පිණිසය. ජාතික ඒකාග්‍රතාව, සංහිඳියාව උදෙසා වැනි බර කතාවලින් එය සාධාරණීකරණය කිරීම එතරම් හොඳ දෙයක් නොවේ. සංහිඳියාව ඇති කිරීමට එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරනවා වෙනුවට ගත හැකි ඕනෑතරම් පියවර තිබේ. ඒ එකදු පියවරක් හෝ අනුගමනය නොකර හිටිහැටියේ මෙවැනි ක්‍රියාමාර්ගවලට යැම රට නැවතත් අනතුරේ හෙළීමකි.
ප්‍රංශය වරද්දාගත් ආකාරය ගැන දිගින් දිගටම මතක් කර දීමට අවශ්‍ය නැත. ප්‍රංශයේ පමණක් නොව යුරෝපාකරයේ බොහෝ රටවල්වල සමහර නගර, වීථි ලොව පුරා වෙසෙන කුරිරුතම ත්‍රස්‌තවාදීන්ගේ ගුබ්බෑයම්, කඳවුරු බවට පත්ව තිබේ. දෙවියන්ගේ නියමය පරිදි මිනීමරන, රටකින් බාගයක් ඉල්ලමින් බෝම්බ පුපුරවා ගන්නා ත්‍රස්‌තවාදීන් ඒ රටවල හැඳින්වෙන්නේ සටන්කාමීන්, විමුක්‌තිකාමීන් ලෙසය. දැන් එම රටවලම බෝම්බ පුපුරවා ගනිමින් මිනිස් ඝාතන සිදුකරන ම්ලේච්ඡයන් අත්අඩංගුවට ගන්නා විට, අපේ රටේ කිසිදු විමර්ශනයකින් තොරව සැකකරුවන් නිදහස් කිරීම තරම් තවත් අමනෝඥ ක්‍රියාවක් වේද යන්න වැඩි සැලකිල්ලට ගත යුතුය.
විශේෂයෙන් සඳහන් කළ යුත්තේ මේ සැකකරුවන් යෑයි කියන එල්.ටී.ටී.ඊ. කාඩරයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අධික ලෙස මත්පැන් පානය කර කෝලහල කිරීමේ වරදට නොවේ. අනාචාරයේ හැසිරීමේ වරදටද නොවේ. වාහනයක් පදවමින් සිටියදී කිසිවකු අනතුරට පත්වූ නිසාද නොවේ. ත්‍රස්‌තවාදය සම්බන්ධයෙනි. ගුවන් යානාවලට මිසයිල ප්‍රහාර එල්ල කිරීම, බස් බෝම්බ, බිම් බෝම්බ තබා මිනිස් ඝාතන සිදුකිරීම, උතුර නැගෙනහිර ගම්වැසියන්, ළදරුවන් ඝාතනය කිරීම, නාවික යාත්‍රා පිපිරවීම වැනි බරපතළ හා බිහිසුණු අපරාධවලට සම්බන්ධ වූවන් ඒ අතර වේ. නිදහස් කිරීමට පෙර මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට යෑයි සමාජයෙන් දැඩි බලපෑමක් ඒම සාධාරණ නොවේදැයි මඳක් සිතා බලන්න යෑයි අපි වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමු.
කිරි දරුවන් දූෂණය කර, අමු අමුවේ ඝාතනය කළ, පවුල් පිටින් සමූහ ලෙස ඝාතනය කළ සැකකරුවන් සම්බන්ධයෙන්ද සමාජයේ පවතින්නේ එවැනිම මතයක් බව සිහිබුද්ධිය ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. එය ජාතිය හෝ ආගම පිළිබඳව ප්‍රශ්නයක් නොවේ.
වසර ගණනාවක් බන්ධනාගාර ගතව සිටීම නිදහස් කිරීමට තරම් සාධාරණ හේතුවක් ලෙස සැලකිය නොහැක. ජාත්‍යන්තරය මෙන්ම ජාතික වශයෙන්ද සමහර ඊනියා සංවිධාන මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තර්කය වන්නේද එයමය. එහෙත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රටේ පවතින යම් නීතියකට අනුව බව අමතක කළ යුතු නැත. ඒ කිසිවෙකු හෝ නිදහස් වන්නේ නම් එය සිදුවිය යුත්තේද නීති ප්‍රකාරවය. එවැනි වැඩපිළිවෙලකට යැම රටේ ආරක්‍ෂාවට හොඳ බව නැවතත් කිවයුතුය. ආණ්‌ඩුව කළ යුත්තේ කල් නොඇර එවැනි වැඩපිළිවෙළකට යැම මිස "නිදහස් කිරීමට" ඉක්‌මන් වීම නොවේ.
http://www.divaina.com/2015/11/21/editor.html
Pic1
Source
Pic2
Source
මේ දිනවල ශ්‍රී ලංකාවටත්, ඉන්දියානු සාගර ප්‍රදේශයටත් බල පැවැත්වෙන අධික වැසි තත්ත්වය හා කාලගුණ විපර්යාසය පිළිබඳව යමක් පැවසීම වැදගත්ය. ඊට අඩිතාලම වැටුණේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයන් හා සිදුකරන ලද දුරකථන සංවාද සහ ඔවුන් විසින් වසරක් පාසා පවත්වනු ලබන "මෝසම් කතිකාවත" ට එක්‌වීමෙන් ලද තොරතුරු නිසාය.
මෙම "මෝසම් කතිකාවත" 12 වැනි වරටත් පසුගිය 19 දා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී මාධ්‍ය කරන ලද ප්‍රශ්න කිරීම්වලදී දෙපාර්තමේන්තුවේ අනාවැකි කරණ අංශයේ අධ්‍යක්‍ෂ එස්. ආර්. ජයසේකර සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා අනුෂා වර්ණසූරිය මහත්මිය මේ දිනවල ශ්‍රී ලංකාව අවට බල පැවැත්වෙන කාලගුණික තත්ත්වය පිළිබඳව කරුණු දැක්‌වූවේය.
අනුෂා වර්ණසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ මේ දිනවල දිවයිනට බලපාන දෙවැනි අන්තර් මෝසම් තත්ත්වයට අමතරව "මැඩන් ජූලියන් දෝලනය" මගින් රටටත්, ඉන්දියන් සාගරයටත් තද වැසි ඇති කරන බවයි.
අන්තර් මෝසමේ දී කැටි වලාකුළු නිර්මාණය වී (ඇතැම් කැටි වලාකුළු කිලෝමීටර් 12 ක් පමණ උසට වර්ධනය වේ.) පොළොව සමඟ සම්බන්ධව අඩු පීඩන තත්ත්ව ඇති කරගන්නා අතර අකුණු හටගැනීමද සාමාන්‍ය දෙයකි.
එහෙත් 'මැඩන් ජූලියන් දෝලනය' එසේ නොවේ. එය නැගෙනහිර අප්‍රිකානු කලාපයේදී උපත ලබන ඇසට නොපෙනෙන සංඥවකි. නොහොත් පීඩන තත්ත්වයකි. ඉහළ වායුගෝලයත්, මුහුද හෝ ගොඩබිමත් සමඟ එක් වී නිර්මාණය වන මෙම වායුගෝලීය විපර්යාසය අප්‍රිකානු ප්‍රදේශයේ සිට ඉන්දියානු සාගරය හරහා ගමන් කර, පැසිපික් සාගරය මැද හරියේ දී ක්‍ෂය වී යන්නකි. එහෙත් මේ දිනවල පැසිපික් සාගරයේ පවතින එල්නිනෝ තත්ත්වය (එම සාගරයේ දියවැල්වල පවතින උණුසුම් බව) හේතුවෙන් පැසිපික් සාගරයෙන් තවත් ඔබ්බට යැමටද පෙළඹේ.
මෙම 'මැඩන් ජූලියන් දෝලනය' Madden - Julian Oscillation (MJO) ශ්‍රී ලංකාවට පමණක් බලපෑම් ඇති කරන්නක් නොවේ. එය සමකය දිගේ (ආශ්‍රිතව) ගමන් ගන්නා දෙයක් බැවින් සමකයාශ්‍රිත සෑම රටකටම එහි බලපෑම ඇත. මෙහි විශේෂත්වය වන්නේ මෙම දෝලනය පවතින ස්‌ථානයේදී එම ප්‍රදේශයට අධික වර්ෂාව පතිත වීමයි. පසුගිය නොවැම්බර් 8 - 9 - 10 වැනි දිනවලදී මෙම දෝලනය පැවතියේ ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව ආශ්‍රිතව බවත්, ඉන්දියානු ගොඩබිමේ "චෙන්නායි" ප්‍රදේශයේ සිට ඊට පහළ කලාපය දක්‌වා මෙම දෝලනයේ බලපෑම ඇතිවූ බවත් අනුෂා වර්ණසූරිය මහත්මිය කියන්නීය. මේ නිසා අන්තර් මෝසමට අමතරව ඒ දිනවලදී ශ්‍රී ලංකාවට අධික වැසි ඇතිවීමට මෙම මැඩන් ජූලියන් දෝලනය ද හේතුවක් වූ බව ඇය කියන්නීය. එය දැන් තවදුරටත් නැඟෙනහිර දෙසට ගමන් කරන නමුත් ආශ්‍රිත කලාපයේ ඇති බැවින් තවදුරටත් වැසි තත්ත්වයේ බලපෑම රට තුළට බලපාන බවත් පවසන නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකාව කියා සිටින්නේ මැඩන් - ජූලියන් දෝලනය, පොළොවේ (රත්වීම වැනි) සම්බන්ධතා උපයෝගීව නැවත නැවත නැගෙනිර අප්‍රිකානු කලාපයෙන් ඉපිද අපේ රට හරහා සමකය දිගේ ගමන් කර පැසිපික් සාගරයෙන් කෙළවර වන බවය.
මෙම දෝලනයට ආයුෂ ඇත්තේ දින 30 - 60 ත් කාලයකි. එම කාලයේ දී එක් දෝලනයක් ගමන් කර ගමන නිමා කරයි. පෙර දැක්‌වූ පරිදි මෙය ඇසට නොපෙනෙන, එහෙත් කාලගුණයට අති විශාල බලපෑමක් සිදු කරන සංඥවකි. නොහොත් පීඩන ආකාරයකි. එය කාලගුණික සංසිද්ධියකි. දේශගුණික විපර්යාස ගණයට අයත් වූවක් නොවේ. මෙවන් සංසිද්ධීන් අවශ්‍ය වේ. මන්ද· කලාපයට (සමකාශ්‍රිත) වැසි ලබාගැනීම සඳහාය. නොහොත් මැඩන් - ජූලියන් දෝලන සංසිද්ධිය වෙස් වළාගත් ආශිර්වාදයකි. එය තරමක් බියකරුය. මහා වැසි ඇති කරයි. ගංවතුරද, නායයැම්ද, කැළඹිලිවලට හේතුවක් වෙයි. එහෙත් ජලය නමැති අවශ්‍යතාව අපට සපුරා දෙයි. මෙම මැඩන් - ජූලියන් දෝලනය අපට නැතුවත් බැරි ඇතුවත් බැරි දෙයකි. ඒ වැසි ලැබෙන ප්‍රමාණය අනුවය.
මෙම දෝලනය පළමුව හඳුනා ගන්නා ලද්දේ 1971 දී වායුගෝලීය පර්යේෂණ සඳහා වන ඇමරිකානු මධ්‍යස්‌ථානයේ (NCAR) රෝලන්ඩ් මැඩන් (Roland Madden) සහ පෝල් ජුලියන් (Paul Julian) දෙපළ විසිනි. මෙම දෝලනය ඉහළ අහසත්, පොළෝ තලයත් අතර ඇතිවන විශාල පරිමාණයේ පද්ධතියක් බවද, පැයට කිලෝමීටර් 14-29 අතර වේගයකින් නැගෙනහිර දෙසට චලිතයක් ඇති, වැසි උත්පාදනය කරන සංඥමය සංසිද්ධියක් බව ඔවුන් දෙපළ කියයි.
ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2015/11/22/feature20.html
තමන් වහන්සේ ලෝකවාසී ජනතාවට වදාළ බුදු දහම මතු දවසක චිරාත් කාලයක් චිරස්‌ථිතව පවතින්නේ ශ්‍රී ලංකාවේ බව බුදුන් වහන්සේ අනාගතය දෙස බලා කළ හෙළිදරව්ව වඩාත් සපථ කරන්නට ලක් දෙරණෙහි උපත ලැබ පැවිදි දිවියට පත්ව බුද්ධ පුත්‍රයන් බවට පත්වූ භික්‍ෂුන් වහන්සේ අතිමහත් කැපවීමක් සිදු කරති. එම කැපවීම නිසාම බුදුන් වහන්සේ පිරිනිවන් පා වසර දෙදහස් පන්සියයකට අධික කාලයක් ගත වුවද නිර්මල බුදු දහම තවමත් ශ්‍රී ලංකාවේ සුරක්‍ෂිතව පවතී.
මෙලෙස බුදු දහම සුරක්‍ෂිතව පවත්වා ගෙන එන්නට භික්‍ෂුන් වහන්සේ කළ කැපවීම දෙස බලන විට ඒ සඳහා ඇතැම් භික්‍ෂුන් වහන්සේ තමා සතු වූ සුවිශේෂී දක්‍ෂතා උපයෝගී කර ගත්හ.
මෙලෙස තමන් සතුව පැවැති සුවිශේෂී දක්‍ෂතා උපයෝගී කර ගෙන බුදු දහමේ සුරක්‍ෂිත බව වෙනුවෙන් පමණක් නොව රට ජාතිය රැක ගැනීම වෙනුවෙන් තම දිවි පරදුවට තබා කටයුතු කළ භික්‍ෂුවක් ලෙස අතිපූජ්‍ය මාඳුළුවාවේ සෝභිත හිමියෝ හැඳින්විය හැකිය. උන්වහන්සේ කෙතරම් ජනතාව අතරට සමීප වූවා දැයි කියා දැනගත හැකි වූයේ උන්වහන්සේ හදිසියේ අපවත් වු 2015.11.08 වැනිදා සිට ආදාහනය සිදුකළ 2015.11.12 වැනිදා දක්‌වා අවසන් ගෞරව දක්‌වන්නට පැමිණි මහා ජනගංගාව දුටු විටදී ය.
මීට පෙර අපට මෙවන් වූ ජන ගංගාවක් දැක ගත හැකි වූයේ ගංගොඩවිල සෝම හිමියන් අපවත් වූ 2003 දෙසැම්බර් 12 වැනිදා සිට ආදාහනය සිදුකළ 2003 දෙසැම්බර් 24 වැනිදා දක්‌වා වු කාලය තුළදී ය.
මෙලෙස භික්‍ෂුන් වහන්සේ නමක් අපවත් වූ විට බාල, තරුණ මහලු කොයි කවුරුත් අතිශය කම්පාවට පත්වෙමින් ආගම් භේදයකින් තොරව පෙළ ගැසුණු තවත් එක් අවස්‌ථාවක් වූයේ 1986 මැයි මස 29 වැනිදා අපවත් වූ පානදුර අරියධම්ම ස්‌වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙනි.
මෙම භික්‍ෂුන් වහන්සේ තිදෙනාම බුදු දහම ජනතාව අතර සමීප කරවීමට සුවිශේෂී මෙහෙවරක යෙදුනහ.
පානදුර අරියධම්ම ස්‌වාමීන් වහන්සේ එතෙක් පැවැති බෝධි පූජා වන්දනාවට නැවුම් බවක් එක් කරමින් බෝධිපූජා වන්දනා ගාථා අතරට බෝධි පූජා වන්දනා කවි නිර්මාණය කර ගායනා කළහ.
අරියධම්ම හිමියෝ සිය ජීවිතයේ වයස අවුරුදු 46 වැනි වියේදී හදිසියේ අපවත් වූහ.
අපවත්වීම සිදුවන විට උන්වහන්සේ අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටියහ. මෙලෙස අතිශය ජනප්‍රියත්වයට පත් හිමිනමක් හදිසියේ අපවත්වීම පිළිබඳව බොහෝ දෙනාගේ සංවේගයට මෙන්ම සැකයට ද බඳුන් විය. අරියධම්ම හිමියන්ට වස දුන්නා යෑයි එදවස මහත් ආන්දෝලනයක් පැවතුණි. නමුත් එහි සත්‍ය බව සැබෑවටම ඔප්පු කර ගත නොහැකි විය. එනිසා උන්වහන්සේගේ අපවත්වීමට හේතු වූයේ කිසියම් කුමන්ත්‍රණයක් දැයි කියා අනාවරණය නොවූ රහසක් බවට පත්විය.
ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත්වීම ද සිදු වූයේ හදිසියේමය. අපවත්වන විට උන්වහන්සේ 56 වැනි වියේ පසු වූහ. රුසියාවේ ලෙනින් ග්‍රෑන්ඩ් හි සංචාරයක නිරතව සිටියදී සෝම හිමියෝ අපවත් වූහ.
ගංගොඩවිල සෝම හිමියන් සිංහල ජාතිය සහ බෞද්ධාගම රැක ගැනීම වෙනුවෙන් නොබියව සටන් කළහ. ඒ සඳහා උන්වහන්සේගේ චතුර කථිකත්වය කදිම ආයුධයක් විය.
මෙවන් පසුබිමක කටයුතු කරද්දී සෝම හිමියන්ගේ හදිසි අපවත්වීම කිසියම් පිරිසකගේ කුමන්ත්‍රණයක් යෑයි උන්වහන්සේට සමීපව සිටි දායක දායිකාවෝ පවසන්නට වූහ. එනිසාම සෝම හිමියන්ගේ දේහය රුසියාවේ සිට ශ්‍රී ලංකාවට වැඩම කරවූ පසු පශ්චාත් මරණ පරීක්‍ෂණයක් ද පැවැත්වීය. එය පැවැත්වූ වෝහාරික වෛද්‍ය විශේෂඥ මහාචාර්ය නිරිඇල්ලේ චන්ද්‍රසිරි මහතා පැවසුවේ මරණය පිළිබඳ සැකයක් නොමැති බවය. නමුත් ඉන් සෑහීමකට පත් නොවු දායක දායිකාවෝ මේ සම්බන්ධව රජයෙන් කරනු ලැබූ ඉල්ලීමකට අනුව විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලදී. එහි තීන්දුව බෙදුනු තීන්දුවක් විය. ජනාධිපති කොමිසම නියෝජනය කළ එක් පිරිසක් මෙය ස්‌වාභාවික මරණයක් බවටත්, තවත් පිරිසක් මෙය සැක සහිත මරණයක් බවටත් තීන්දු ලබා දුන්හ.
මාඳුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව ද මේ වන විට ඒ අයුරින්ම මත පළ වන්නට පටන් ගෙන ඇත.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා පවසන්නේ සෝභිත හිමියන්ගේ අපවත්වීමට අදාළව බලපෑ නියුමෝනියාවට හේතුව රෝහල්ගතව සිටියදී උන්වහන්සේට නිසි සෞඛ්‍ය පහසුකම් නොලැබීම නිසා මතු වූවක් බවය.
සෝභිත හිමියන්ට ප්‍රතිකාර කළ වෛද්‍යවරු පවසන්නේ තමුනට හැකි උපරිම අයුරින් උන්වහන්සේට නිසි වෛද්‍ය ප්‍රතිකාර සිදු කළ බවය.
මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධව චෝදනා කරනුයේ හදවත් සැත්කමින් පසු උන්වහන්සේ නේවාසිකව වැඩ විසූ පුද්ගලික රෝහලක් සම්බන්ධවය. උන්වහන්සේ එහි වැඩම කරවීම පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට ඔවුහු චෝදනා කරති.
මෙලෙස ජනප්‍රිය භික්‍ෂු චරිත හදිසියේ ම අපවත් වූ විට ඒ සම්බන්ධව සැක සංකා මතු කිරීම තුළින් පැහැදිලි වන්නේ බෞද්ධාගම රැක ගැනීම වෙනුවෙන් ජනතාව අතරට සමීප වන භික්‍ෂුන් වහන්සේලාට එරෙහිව කිසියම් කුමන්ත්‍රණයක් දියත්ව ඇති බවකි.
නමුත් මෙම කුමන්ත්‍රණවලට එරෙහිව නැඟී සිටින්නේ ඉතා කෙටි කාලයක් සඳහා පමණි. එනිසා එම කුමන්ත්‍රණ තවම හෙළි නොවූ අබිරහස් බවට පත්ව ඇත.
එසේ නොවුණා නම් 1986 වසරේදී හදිසියේ අපවත් වූ පානදුර අරියධම්ම හිමියන් අපවත් කිරීමට හේතු වූ බව කියන කුමන්ත්‍රණය හෙළිකර ගැනීමට තිබිණි.
එසේ වූවා නම් ගංගොඩවිල සෝම හිමියන්ගේ දිවි රැක ගැනීමට හැකියාව තිබුණි. නමුත් එය එසේ නොවුණි. එනිසා සෝභිත හිමියන්ගේ ජීවිතයට ද එම කුමන්ත්‍රණකරුවන්ගේ බලපෑම එල්ල වී ඇති බව වර්තමානයේ උන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව පළවන මත අනුව සිතිය යුතුව ඇත.
මෙම කුමන්ත්‍රණකරුවන්ගේ මීළඟ ගොදුර බවට පත්වන්නේ කවර භික්‍ෂූන් වහන්සේද? ඒ ගැන පැවසීමට එම භික්‍ෂූන් වහන්සේ ද හදිසියේ අපවත්වීම වනතුරු අප බලා සිටිය යුතුද?
ජනප්‍රිය භික්‍ෂුන් වහන්සේ නමක් හදිසියේ අපවත් වූ විට උන්වහන්සේගේ අපවත්වීමට කවරහු වගකිවයුතු දැයි කියා චෝදනා එල්ල කරමින් වර්තමානයේ මාධ්‍ය හරහා පහත් ජනප්‍රියත්වයක් අපේක්‍ෂා කරන පිරිසක් බිහි වී ඇත. එනිසා අප වඩාත් පරෙස්‌සම් විය යුත්තේ ඔවුන්ගෙනි. ඔවුනට අවශ්‍ය බුද්ධ ශාසනය රැක ගැනීමවත් රට ජාතිය ආරක්‍ෂා කිරීමවත් මහා සංඝරත්නය රැක ගැනීමවත් නොවේ. කුමන මොහොතක හෝ තම පටු අරමුණු ඉටුකර ගැනීමය. එනම් පහත් ජනප්‍රියත්වයක් ලබා ගැනීමය. එනිසා ඔවුනගේ මීළඟ ඉලක්‌කය සපුරා ගැනීම වළකාලීමට නම් අප සියලු දෙනා කළ යුත්තේ සෝභිත හිමියන්ගේ අපවත්වීමට බලපෑ සැබෑ හේතුව උන්වහන්සේගේ අපවත්වීම දක්‌වා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කර ලොවට හෙළි කිරීමය. එසේ නොමැතිව මාධ්‍ය හරහා චෝදනා එල්ල කරමින් පහත් ජනප්‍රියත්වයක් ලබා ගැනීම නොවන බව සිහිපත් කළ යුතුය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම පිළිබඳව චෝදනා නඟන ඇතැම් දෙනා උන්වහන්සේ ජීවත්ව සිටියදී වචනයෙන් හෝ දුක සැප නොබැලුවෝය.
මෙම කුමන්ත්‍රණකරුවන් නිසා සිදුවන්නේ අප රටේ වෛද්‍ය වෘත්තිය කෙරෙහි ජනතාව අතර සැකයක් මතුවීමය.
අවංකවම සිය වෘත්තියේ යෙදෙන වෛද්‍යවරුන්ගේ සිත් කලකිරීමට පත්වීමය.
එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මින් ඉදිරියට ජනප්‍රිය භික්‍ෂුවකට හෝ පුද්ගලයකුට හදිසි රෝගාබාධයකදී දේශීය රෝහලක වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍යවරු බියවීමයි. ඒ නිසා ඔවුනට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවේ. ඇතැම් විට එය කුමන්ත්‍රණකරුවන්ගේ එක් අරමුණක් විය හැකිය.
උපාලි ද සේරම්
http://www.divaina.com/2015/11/22/feature19.html
දැන් ගෙවී යමින් තිබෙන්නේ භිහිසුණු ත්‍රස්‌තවාදී ප්‍රහාරයක් හමුවේ ප්‍රංශයේ ජනතාව භීතියෙන් මුසපත්ව සිටියදී ප්‍රංශ රජය සිරියානු අයිඑස් රාජ්‍යයට බෝම්බ වැසි වස්‌සවන මොහොතකි.
එහෙත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් මෙහිදී ප්‍රංශයට කියන්නට අපට කතාවක් ඇත. ඒ අයිඑස් ත්‍රස්‌තයන්ට ගහන්නට ගොස් ඇන ගන්නේ නැතිව වහාම උන් සමග සාකච්ඡා කර ප්‍රශ්නය ගොඩින් බේරා ගනිල්ලායි කියාය.
මන්ද තිස් වසරක් පුරා මේ රටට ශාපයක් වූ එල්ටීටීඊය සමග යුද වදිද්දී ශ්‍රී ලංකාවට පැමිණි එවකට ප්‍රංශයේ විදේශ ලේකම්වරයා වූ බර්නාඩ් කුෂ්නර් අපට කියා දුන්නේ ඒ පාඩමය.
බර්නාඩ් කුෂ්නර් එදා ඩේවිඩ් මිලිබෑන්ඩ් සමග හදිසියේම ශ්‍රී ලංකාවට ආවේය. ඒ වන විට එල්ටීටීඊයට එරෙහිව සටන් කළ අපේ රණවිරුවෝ ජයග්‍රාහී මාවතට ප්‍රවේශ වී සිටියහ.
ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මැදමුලනට ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ ප්‍රංශ විදේශ ලේකම්වරයා හා මිලිබෑන්ඩ් ඇතුළු තුන්කට්‌ටුවක් ජනාධිපතිවරයාට කියා සිටියේ යුද්ධය නතර කර සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නය විසඳා ගන්නා ලෙසය.
එහිදී මැදමුලන වත්තේ ගසක් යටදී ඔවුන්ට බෙලිමල් කෝප්පයක් සමග කිතුල් හකුරු කෑල්ලක් දුන් මහින්ද කීවේ "අවසානය දකින තුරු සටන අතහරින්නේ නැහැ.. මේක අපේ ප්‍රශ්නයක්.. ඔයාලා යන්න" කියාය. අවසානයේ කුෂ්නර්ලා මුහුණු බෙරි කරගෙන පිටව ගියහ.
ඒ මහින්දගේ හැටිය. එහෙත් දැන් ත්‍රස්‌තවාදයෙන් බැට කා සිරියාවේ අයිඑස් ත්‍රස්‌තයන්ට බෝම්බ හෙලනුයේ එදා අපට එසේ උපදෙස් දුන් ප්‍රංශය ය. තථාගත බුදු හිමියන් දෙසූ දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය ලොප් කරන්නට ජගතෙක් ලෝකයේ නැත. එය පරම සත්‍යයකි. අද ප්‍රංශය අත්විඳ ඇත්තේ පරම සත්‍යයේ ප්‍රතිඵල නොවේද?
තෙවරක් බුදු පා පහස ලද මේ පිං බිමට අතපොවනා කිසිවකුටත් ඉන් ගැලවී යා නොහැකි වනු ඇත. අප එසේ කියන්නේ ප්‍රභාකරන් වනසා එල්ටීටීඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ වරදට ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර කඳවුර මේ මොහොතේත් අපට රිදවමින් සිටින නිසාය.
අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට වසර 15 කට පසු ඉකුත් දා මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්‌ඩායම ශ්‍රී ලංකාව තුළ හිඳමින් සිදු කළ අපූරු විමර්ශනයෙන් කියෑවුණේද එකී රිදවීමේ කතාවේ අලුත්ම පරිච්ඡේදය ය.
එක්‌සත්ජාතීන්ගේ මෙකී ක්‍රියාකාරී කණ්‌ඩායම් මීට පෙර අවස්‌ථා තුනකදී ද ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ඒ 1991, 1992 සහ 1999 වර්ෂවලදීය. නමුත් එදා ඔවුන් මෙරටට පැමිණ මොන විමර්ශනයක් සිදු කළද 1991 සහ 1992 සංචාරයන්හිදී බටලන්ද වැනි තැන්වලද ගියාද යන්න සැක සහිතය. නමුත් මෙදා ගමනේදී නම් ඔවුන් ගෙඩියේ පොත්ත පමණක් නොව ගෙඩිය තුළ වූ ඇටේ පිළිබඳවද විමර්ශන කළ බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණ.
ඔවුහු ඉකුත් 9 වැනිදා සිට 18 වැනිදා දක්‌වා ශ්‍රී ලංකාව තුළ සිදු කළ විමර්ශනයේදී කිලිනොච්චියට ගියහ. මන්නාරම, යාපනය, මුලතිව්, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාරටද ගියහ. ඒ අතරේ ඇඟ බේරා ගන්නටදෝ ගාල්ලටද ගියහ.
ඒ සියලු සංචාරයන්හිදී ඔවුන් සොයා බැලුවේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති පුද්ගල අතුරුදන්වීම් පිළිබඳවය. 1991 දී සහ 92 දීත් මෙවන් විමර්ශන කණ්‌ඩායම් ශ්‍රී ලංකාවට පැමිණියේ නම් මෙවර ඔවුන් ගාල්ලට ගියේ ඇයිදැයි යන්නද ප්‍රශ්නයකි.
මොකද දකුණේ කොල්ලන් කෙල්ලන් බුරුතුපිටින් අතුරුදන් වූ 1991-92 ට පෙර වර්ෂ වූ 88-89 කාලයේ වන නිසාය.
ඒ කෙසේ වෙතත් ත්‍රිකුණාමලයට ගිය ගමනේදී ජාතික ආරක්‍ෂාවේ රෙද්ද උස්‌සා නොබැලිය යුතු තැන් බලන්නටද ආණ්‌ඩුව ඔවුන්ට ඉඩ දී තිබුණේ ශ්‍රී ලංකා මාතාව විළියෙන් ඇඹරෙද්දීය.
ත්‍රිකුණාමල සංචාරයේදී ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ තිබූ රහසිගත තැන් වෙත මෙකී එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස කැඳවාගෙන යන්නට ඔවුන්ට මග පෙන්වූ සීඅයිඩීය කටයුතු කර තිබිණි.
සීඅයිඩීය එසේ සිදු කළේ කාගේ බහටද යන්න තවමත් අභිරහසකිs. එහෙත් එය සිදු විය. ත්‍රිකුණාමලයට ගිය එක්‌සත් ජාතීන්ගේ නියෝජිත පිරිස නාවික කඳවුරේ තිබූ රහසිගත ගොඩනැගිල්ලක්‌ද පරීක්‍ෂා කළහ. එහි තිබු කුරුටු සටහන්ද ඔවුන්ගේ නිරීක්‍ෂණයට ලක් විය.
අපි තිස් වසරයක් බිහිසුණු ත්‍රස්‌තවාදයකින් බැට කෑ රාජ්‍යයක් වෙමු. එවන් ත්‍රස්‌තවාදයක් අවසන් කිරීමේදී අතට හසුවන සතුරාගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය වූ සාමාන්‍ය තත්ත්වයකි. එහිදී රඳවා ගැනීම්ද සිදු වේ. එහෙත් ඒ රඳවා ගැනීම් කොට්‌ට, මෙට්‌ට ඇඳ ඇතිරිලි දැමූ රෝසමල් යහනා මත තබා කළ නොහැකිය. එය සිදු කළ යුත්තේ සතුරාගේ සියලු බලාපොරොත්තු සුන් කර මානසික පරිවර්තනයකට ලක් වන පරිදිය.
ගෙවී ගිය යුද්ධයේදී අපේ රණවිරුවන් එසේ කළේ නම් එය සිදු කරනු ලැබුවේ පෞද්ගලික අභිමතාර්ථ හමුවේ නොව දේශයේ විමුක්‌තිය උදෙසාය. ඉතින් එසේ ක්‍රියාත්මක වූ හමුදා කඳවුරක ජාතික ආරක්‍ෂාවට හෙට දිනයේද වැදගත් විය හැකි තැන් විජාතිකයන්ට දිගහැර පෙන්වීමට තරම් ආණ්‌ඩුව බොළඳ වූයේ කුමක් නිසාද? වල්ගය පෑගිලාවත්ද?
එලෙස දින දහයකට ආසන්න කාලයක් සිය විමර්ශනය සිදු කළ එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයෝ අවසානයේ ඉකුත් 18 වැනිදා මාධ්‍ය සාකච්ඡාවක්‌ද පවත්වා මෙරටින් පිටව ගියහ.
මෙවර එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන් ලෙස මෙරට අතුරුදන් වූවන් ගැන සොයන්නට ශ්‍රී ලංකාවට පැමිණි බර්නාඩ් දුහයිමේ, තේ උන් බයික් ෂා සහ ඒරියල් ඩුලිට්‌ස්‌කි නමැති තිදෙනා එකී මාධ්‍ය සාකච්ඡාවේදී කිවේ කුමක්‌ද?
"ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා තවමත් අතුරුදන් වූවන්ගේ ඥතීන්ට හිරිහැර කරනවා.. එය වහා නතර විය යුතුයි.. එසේම ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුරේ රහසිගත රැඳවුම් ස්‌ථානයක් පවත්වාගෙන ගොස් තිබෙනවා.. එහි 2010 වසරේදීත් පුද්ගලයන් රඳවා සිටි බව බිත්තිවල තිබූ කුරුටු සටහන් මගින් පැහැදිලි වුණා..
"අප ඉකුත් කාලයේ ශ්‍රී ලංකාවේදී අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥතීන් දෙසීය දෙනකු පමණ හමුවී සාකච්ඡා කළා.. ඒ සාධක යොදාගෙන ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට වාර්තාවක් ඉදිරිපත් කරනු ලබනවා..
කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන් යෝජනා කර ඇති දෙමුහුන් අධිකරණ ක්‍රියාදාමය ක්‍රියාත්මක විය යුතුයි කියා අප සිදු කළ නිරීක්‍ෂණ අනුව නිර්දේශ කරනවා. එය සිදු කළ යුතුයි.. එහිදී වරදකරුවන්ට දඬුවම් දිය යුතුයි. එල්ටීටීඊය මෙන්ම ශ්‍රී ලංකා හමුදාවනුත් මානව අයිතීන් කඩකරමින් කටයුතු කර තිබෙනවා.."
මේ සටහන් වූයේ ඔවුන් මාධ්‍ය සාකච්ඡාවේදී තමන්ගේ විමර්ශනය පිළිබඳ කළ අනාවරණය ය. මෙහිදී පැහැදිලිවම ඔවුන් කියන කරුණක් ඇත. එනම් එල්ටිටීඊය මෙන්ම හමුදාවනුත් වැරදි කර ඇති නිසා දඬුවම් දිය යුතු බවය. එහෙත් දඬුවම් දෙන්නට දැන් එල්ටීටීඊයක් ඇත්තේ කොහෙද? ඒ අනුව මොවුන් මේ පැහැදිලිවම කියනුයේ රට බේරාගත් රණවිරුවා දන්ගෙඩියට යෑවිය යුතු බව නොවේද?
එසේම ඔවුන් මෙහිදී කියන බරපතළම කරුණ වන්නේ ශ්‍රී ලංකාවේදී සිදු කළ විමර්ශනයේ වාර්තාව ලබන සැප්තැම්බරයේදී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කරන්නේ යෑයි යන්නය.
ඇමරිකාව ප්‍රධාන විජාතික කඳවුරේ බහට කන් නොදී ත්‍රස්‌තවාදය පරාජය කිරීම හමුවේ පසුගිය කාලයේ ඇමරිකාව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ගෙන එනු ලැබූ යෝජනාවකට අනුව එවකට මානව හිමිකම් ප්‍රධානී නවනීදන් පිල්ලේ විසින් මෙරට මානව හිමිකම් සහ යුද අපරාධ පිළිබඳ සොයන්නට කමිටුවක් පත් කරනු ලැබිණි.
එහෙත් ඒ කමිටුවට එදා ශ්‍රී ලංකාවට පැමිණීමේ අවස්‌ථාවක් නොවීය. ඔවුන් සිය විමර්ශනය සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවෙන් පිටත සිටය. එහෙයින් එහිදී ලබාගත් සාක්‍ෂි පිළිබඳ යම් ගැටලුකාරී බවක් ඇති වී තිබිණ.
කුමන චෝදනාව අපට එරෙහිව කළද ඔවුනට බලහත්කාරය යොදවා කරන දෙයක් මිස කිසිවක් තහවුරු කිරීමට අවස්‌ථාවක් නොවීය.
නමුත් දැන් ඒ ගැටලුව නැත. අතුරුදන් වූවන් පිළිබඳ සොයන්නට මෙරටට පැමිණි එක්‌සත් ජාතීන්ගේ විමර්ශකයන් ඉදිරිපත් කරනු ලබන වාර්තාවෙන් ඒ ප්‍රශ්නයද විසඳී යනු ඇත. ආණ්‌ඩුව මේ ජාත්‍යන්තරයට විවර කර දී තිබෙන්නේ ඒ මාර්ගය නොවේද?
ඉතින් නුදුරේදීම සියල්ල ඇරඹෙනු ඇත. ජාත්‍යන්තරය අපෙන් ගතයුතු වාඩුව තර්කානුකූලව ගනු ඇත. රට බේරාගත් රණවිරුවා දඟගෙට යද්දී බෙදුම්වාදය යළි දළුලා වැඩෙනු ඇත. සියල්ල හමුවේ අරාජික වූ ශ්‍රී ලංකාවක් බිහිවනු ඇත. අපට දීනයන් සේ බලා සිටීමට සිදු වනු ඇත. ඉන් එහා කිසිත් සිදු නොවන්නේය. මේ රටේ ජනතාව ජනවාරි අටවැනිදා වෙනස සිදු කළේ එය දකින්නද?
මේ හමුවේ අවසන් වශයෙන් කියන්නට දෙයක්‌ද අපට ඇත. එදා ජුදාස් යේසුස් ක්‍රිස්‌තුන් වහන්සේ පාවා දුන්නේ කාසි මල්ලකටය. නමුත් අවසානයේ ජුදාස්‌ට සිදු වූයේ කල්වාරි කැලයේ ගසක එල්ලී සියදිවි නසා ගන්නටය. අද සිදුවෙමින් තිබෙන සියල්ල තුළ යහපාලනය මේ ගමන් කරමින් සිටිනුයේ ද එවන් වූ දේශපාලන දිවි නසා ගැනීමක් වෙත නොවේද?
සමන් ගමගේ
http://www.divaina.com/2015/11/22/feature17.html
ලෝක ඉතිහාසය තුළ තම අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්‍ෂි තරම් රටකට, ජාතියකට වැදගත් වෙනත් යමක් නොමැත. ලෝක නායකයෝ තම රටවල අනන්‍යතාව තහවුරු කෙරෙන සාක්‍ෂි පරම පූජනීයත්වයෙන් සුරක්‍ෂිත කරන්නේ ඒ නිසාය. එහෙත් අපේ දේශපාලකයෝ රටේත් ජාතියේත් ඒ හැඳුනුම්පතට කුණු පුරවති. විකුණති, මුදල් ගරති. අපේ උරුමය ලොවට කියාපාන අරුවක්‌කාලු ප්‍රාග් ඓතිහාසික බිමට කුණු පුරවන මේ අඳබාලයන් පිළිබඳ ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් අවධානය යොමු කොට එය වහාම නතර කළ යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අංශයේ සේවා සම්මානිත මහාචාර්ය ජිනදාස කටුපොත පවසයි.
අරුවක්‌කාලු ඓතිහාසික බිමේ තිබෙන පුරාවිද්‍යාත්මක වටිනාකම කුමක්‌ද?
ලෝක ඉතිහාසයේ මයෝසීන යුගය එනම් මීට වසර මිලියන 23 ක පමණ අතීත ශිෂ්ටාචාරයේ එක්‌තරා සන්ධිස්‌ථානයක් හැටියටයි පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නෙ. එය වර්තමානයේ දකින්නට ලැබෙන ශාක හා සත්ත්වයින්ගේ පරිණාමය පිළිබඳ සාක්‌ෂි සපයන වැදගත් යුගයක්. රටවල් ගණනාවක තිබෙන පෘථිවියේ ඉතිහාසය පිළිබඳ සාක්‌ෂි සපයන මෙබඳු බිම් දැඩි රක්‌ෂිත බවට පත්කර ඒ ඒ රටවල ඉතිහාසය පිළිබඳව භූ විද්‍යාඥයින්, පාරිසරික විද්‍යාඥයින් සහ සත්ත්ව විද්‍යාඥයින් අද පරික්‌ෂණ පවත්වනවා. අරුවක්‌කාලු මයෝසීන හුණුගල් නිධිය සහිත මේ ඉතිහාසගත බිම අපේ රටේ අති ඉපැරණි ඉතිහාසය පිළිබඳ අතිශය වැදගත් සාක්‌ෂි සහිත භූමි ප්‍රදේශයක්. අද අපේ රට නිරක්‌ෂයට උතුරින් පිහිටා තිබුණත් මේ බිමෙන් සොයාගෙන ඇති පොසිල සාක්‌ෂි අනුව ඒ යුගයේ දී අපේ රට පිහිටා තිබී ඇත්තේ නිරක්‌ෂයේ දකුණු ප්‍රදේශයේයි. වෙනත් රටවල් පෘථිවි තලය මත මහාද්වීප ගමන් කළ ආකාරය පිළිබඳ ඉතා වැදගත් සාක්‌ෂි සපයන මෙබඳු බිම් දැඩි රක්‌ෂිත බවට පත්කොට සුරක්‌ෂිත කරමින් තම ඉතිහාසය පිළිබඳ සොයාබලන්නට පරීක්‌ෂණ පවත්වද්දී අපේ රටේ දේශපාලකයින් අපේ ඉතිහාසය ලෝකයට කියාපාන මේ බිම විකුණන්නට අද කටයුතු කරමින් සිටිනවා.
අති ඉපැරණි හුණුගල් නිධිය සහිත මේ බිම කොතරම් ප්‍රදේශයක පැතිර තිබෙනවාද?
පුත්තලමේ සිට වයඹ දිගට යාපනය දක්‌වාත් නැවත ඊසාන දිගටත් මෙය විහිදී තිබෙනවා. පොළොව මතුපිටට පෙනෙන ප්‍රමාණය එතරම් විශාල නැති වුවත් පොළොව යටින් විශාල ප්‍රදේශයකට මෙය පැතිරී තිබෙනවා. කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ නිෂ්පාදන සඳහා මෙහි හුණුගල් භාවිත කර ඇතත් ත්‍රස්‌තවාදී යුද සමයේ එය නැවතුණා. දැන් නැවත පුත්තලම් සිමෙන්ති කම්හලේ නිෂ්පාදන සඳහා මෙම හුණුගල් භාවිත කරනවා.
නොරොච්චෝල ප්‍රදේශයේ අප සිදුකළ භූ විද්‍යාත්මක පර්යේෂණ අනුව මෙම හුණුගල් නිධිය පොළොවට මීටර් 15 ක් පමණ යටින් විශාල ප්‍රදේශයක පැතිරී තිබෙනවා. පුත්තලම් ප්‍රදේශයේදී පොළොව මතුපිටට ආසන්නව පිහිටා තිබෙන මෙම නිධිය නැවත යාපනය ප්‍රදේශය දක්‌වා පොළොව යටින් විහිදී තිබෙනවා. මෙය අපේ රටට පමණක් සීමා වූවක් නොමෙයි. ඉන්දියාව දක්‌වාම මෙය පැතිරී තිබෙනවා.
අපේ රටේ පුරාවිද්‍යාත්මක හා පාරිසරික වටිනාකමකින් යුතු මේ ඉපැරණි බිම අද දේශපාලකයින්ගේ ධනෝපායන මාර්ගයක් බවට පත්ව ඇති බව ඔබ සඳහන් කළා. ඒ ජාතික විපත සිදුවන්නේ කොහොමද?
ලෝකයේ වෙනත් රටවල් මෙබඳු ප්‍රදේශ දැඩි රක්‌ෂිත බවට පත්කොට සුරකිද්දී අපේ දේශපාලකයින් අපේ රටේ අනන්‍යතාව ලොවට කියාපාන මේ බිම කම්හල් හිමියන්ට විකුණමින් මුදල් උපයනවා. ඒ කම්හල් හිමියන් මේ බිමේ හුණුගල් ලබාගැනීමට මතුපිට පස් තට්‌ටුව ඉවත්කොට විශාල කැණීම් සිදුකොට තිබෙනවා. අරුවක්‌කාලු ප්‍රදේශය විවිධ සත්ව හා ශාක වර්ගයන් දහස් ගණනක් ඇති ජෛවවිවිධත්වයෙන් අනූන ප්‍රදේශයක්. විශාල වනාන්තර විනාශ කරමින් ජෛව විවිධත්වය නසමින් සහ අපේ රටේ වසර මිලියන 23 ක පමණ ඉතිහාසය කියාපාන පොසිල සාක්‌ෂි වනසමින් වර්තමාන දේශපාලකයින් ඒ අතීත උරුමය අපේ අනාගත දරුවන්ට අහිමි කරමින් සිටිනවා.
එපමණකුත් නෙමෙයි, මේ බිමේ ඇති හුණුගල් ලබාගැනීමට සිදුකර ඇති කැණීම් නිසා සෑදී ඇති අති විශාල වළවල්වලට කොළඹ එකතුවෙන කුණු දමා පුරවා ඒ මතුපිටට පස්‌දමා ගස් වැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. රටේ ජාතික හැඳුනුම්පත රැඳි බිමට කුණු පුරවන්නේ දෙයියන්ගෙ හාල් කැවිලද? මේ නිසා සිදුවන පාරිසරික විනාශය ගැන අබමල් රේණුවක තරම් අවබෝධයක් මේ අයට නැද්ද?
ඔබ අපේ රටේ මෙබඳු ස්‌ථාන පිළිබඳ පර්යේෂණ සිදුකළ භූ විද්‍යාඥයෙක්. මේ ජාතික විපත පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු ආයතන දැනුවත් කළේ නැද්ද?
පරිසර අමාත්‍යාංශය යටතේ පවත්වාගෙන යන ජෛව විවිධත්වය සුරැකීමේ කණ්‌ඩායමක් අප පිහිටුවාගෙන තිබෙනවා. දැනට වසර 10 ක පමණ සිට ක්‍රියාත්මක වන එම කණ්‌ඩායම අරුවක්‌කාලූ ප්‍රදේශයේ පර්යේෂණ කටයුතු සඳහා වර්ග කිලෝමීටර් කිහිපයක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කළා. මේ බිමෙන් කුඩා ප්‍රමාණයක් හෝ රැකගෙන මෙබඳු බිමක් අපේ රටේ තිබුණා යෑයි කියා හෝ අපේ අනාගත පරපුරට පෙන්වා දීමටයි අපි ඒ යෝජනාව කළේ. කෙසේ හෝ විශාල සටනකින් පසු අලිවල ප්‍රාග් ඓතිහාසික ශිලා මෙවලම් හමුවන මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය, පැරණි මැණුම් කුලුන සහ මයෝසන පොසිල පිහිටි ප්‍රදේශය, පොල්වත්ත පුරාවිද්‍යාත්මක ජෛව පොසිල සාක්‌ෂි සහිත මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය සහ පැරණි වෙඩිපිටිය මයෝසීන පොසිල පිහිටි ප්‍රදේශය යන ප්‍රදේශවල පුරාවිද්‍යාත්මක කැණීම් සිදුකිරීමට අපි වෙන්කර ගත්තා. පසුගිය රජය සමයේ මේ බිමට කුණු පුරවන්නට යෝජනා වූ අවස්‌ථාවේ වයඹ පළාත් පරිසර අධිකාරියේ අධ්‍යක්‌ෂවරයාට මම ඊට දැඩි විරෝධය ප්‍රකාශ කළා. මේ බිමට කුණු පුරවන්නේ නැති බවට ඒ අවස්‌ථාවේ ඔහු ප්‍රකාශ කළත් කොළඹ කුණු කඳු ගෙනැවිත් මේ අතිශය වැදගත් පුරාවිද්‍යා බිම පිරවීමේ යෝජනාව දැන් යළිත් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
අරුවක්‌කාලු බිමට කුණු ගෙනත් දැම්මොත් පුත්තලම් කලපුවත් ඉවරයි. පුත්තලම් කළපුව විනාශ වීමෙන් මත්ස්‍ය සම්පත හා ඒ මත යෑපෙන ධීවර ජන ජීවිතයටත් බරපතල බලපෑම් එල්ල වෙනවා. මන්නාරම් බොක්‌ක සිට අරාබි මුහුද දක්‌වා ප්‍රදේශය දූෂිත කලාපයක් බවට පත් වී දීර්ඝකාලීනව බරපතල පාරිසරික අර්බුදයක් නිර්මාණය වෙනවා. කල්පිටිය දක්‌වා මුහුදු ප්‍රදේශයටත් කඩොලාන පරිසර පද්ධතියටත් බරපතල බලපෑමක් එල්ලවෙනවා.
ඉතා ඉහළ පුරාවිද්‍යාත්මක හා පාරිසරික වටිනාකමක් සහිත මෙබඳු ප්‍රාග් ඓතිහාසික බිමක් වනසන්නේ නැතිව අපේ රටේ කුණු ප්‍රශ්නය විසඳන්න ක්‍රමයක් නැද්ද?
ටෝකියෝ කියන්නෙ ලෝකයේ විශාලම ජනගහනය සහිත නගරයක්. සිංගප්පූරුවත් එහෙමයි. ඒ අය තමන්ගෙ පරිසරය විනාශ කරන්නෙ නැතිව කුණු ප්‍රශ්නය විසඳගෙන තියෙනව. ලෝකෙ මොළේ තියෙන මිනිස්‌සු මේ ප්‍රශ්න විසඳල තියෙන හැටිවත් තේරුම් ගන්න අපේ රටේ සල්ලිවලින් ලෝකෙ පුරා රවුම් ගහන දේශපාලකයින්ට මොළයක් නැද්ද? අද පාර්ලිමේන්තුව තුළවත් මේ ජාතික විනාශය ගැන කටක් අරින කෙනෙක් නෑ.
ලෝකෙ බොහෝ රටවල ජලාශවලට, පාරවල්වලට, පුරාවිද්‍යා බිම්වලට කුණු දැම්මොත් සමාවක් නෑ. හිරේ. ඒ රටවල නීතිය සල්ලිවලට ගන්න බෑ. අපේ රටේ නීතියක් නෑ. හැමතැනම කුණු දානවා. නීතියක් නැති රට කුණුගොඩක්.
සාකච්ඡා කළේ පාලිත සේනානායක
http://www.divaina.com/2015/11/22/feature08.html
බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්‌ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා. මේවා ධර්මානුකූලව දැකීමට ඔබ අදක්‍ෂ නම්, මේවා හේතුවෙන් ඔබ තුළ නැති ආශ්‍රවයන් ඇතිවෙන්න පුළුවන්. ඇති ආශ්‍රවයන් වර්ධනය වෙන්න පුළුවන්.
පිංවත් ඔබ මිථ්‍යාදෘෂ්ටිකභාවයට, අශ්‍රද්ධාවට අදාළ කථාවන්, දේශනයන්, පතපොත, ස්‌ථාන ආදිය මගහැර යන්න. පිංවත් ඔබ අතීතයට සිත යොමුකොට බලන්න, මගහැර යායුතු තැන් මගහැර නොයැම නිසා අතීතයේ ඔබ මොන තරම් නැති ආශ්‍රවයන් ඇති කොටගෙන තිබෙනවාද කියලා. මේ දැක්‌ම තුළ සිටිමින් වර්තමානයේ මග හැර යායුතු තැන් හඳුනාගැනීමට ඔබ දක්‍ෂවෙන්න.
ධර්ම මාර්ගයේ ගමන් කරන පිංවතාට, කාන්තාව කියන්නේ මගහැර යායුතු ධර්මතාවයක්‌මයි. අද දවසේ ඉපදුන දැරියක් තනිවම සිටින ස්‌ථානයක, උපසම්පදා භික්‍ෂුවකට රාත්‍රිය ගතකිරීම බුදුරජාණන් වහන්සේ තහනම් කර තිබෙනවා. අද ඉපදුණු දැරියකගේවත් ශරීරය ස්‌පර්ශ කිරීම උපසම්පදා භික්‍ෂුවකට විනය විරෝධී ක්‍රියාවක් වෙනවා. උපසම්පදා භික්‍ෂුවකට තමන්ගේ අම්මාට කන්න බොන්න දෙන්න කෙනෙක් නැතිනම්, ඒ අම්මාව පෝෂණය කිරීමට බුදුරජාණන්වහන්සේ අවසර දෙනවා. නමුත් අම්මාගෙ ශරීරය ස්‌පර්ශ කිරීම විනය විරෝධී ක්‍රියාවක් වෙනවා. කුඩා දැරියකගේවත් හිසට අතතබා ආශිර්වාද කිරීම විනය විරෝධී ක්‍රියාවක් වෙනවා.
සුදින්න කියන උපසම්පදා භික්‍ෂුව බොහොම හොඳින් ශීලයට ගරුකරමින් ජීවත්වුණ උපසම්පදා භික්‍ෂුවක්. නමුත්, තම ගිහි කාලයේ බිරිඳගේ බලකිරීමක්, පෙළඹවීමක් නිසා ඇය සමග සුදින්න භික්‍ෂුව කාමයෙහි හැසිරීමේ වරද සිදුකරගන්නවා. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවන්නේ කැලය තුළදීයි. දෙවියන් තමයි මේ සිද්ධිය දකින්නේ. දෙවියන් හඬමින් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යවතුන් වහන්ස සුදින්න භික්‍ෂුව උතුම් උපසම්පදාව කිළිටි කළා, කෙළෙසුවාය කියලා. බුදුරජාණන් වහන්සේ සුදින්න භික්‍ෂුව කැඳවලා මේ සිද්ධියේ ඇත්ත නැත්ත විමසනවා. එවිට සුදින්න භික්‍ෂුව පිළිගන්නවා තමන් ගිහි කාලයේ බිරිඳගේ පෙළඹවීම මත, කාමයේ වරදවා හැසිරීමක් සිදුකළ බව. ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 'තුච්ජ පුරුෂය, හිස් පුරුෂය, ඔබ ඔබේ පුරුෂ ලිංගය ගිනි අඟුරු වළකට දැම්මා නම් පිච්චීමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. ඔබ ඔබේ පුරුෂ ලිංගය, නයෙක් සිටින තුඹසකට දැම්මා නම්, නයා දෂ්ට කිරීමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. ඔබ තියුණු මුවහත ඇති සැතක් අරගෙන ඔබේ පුරුෂ ලිංගය කපා දැම්මා නම් රුධිරය ගලායැමේ වේදනාවෙන් ඔබ මියයාවී. එපමණයි සිද්ධවෙන්නේ. නමුත් ඔබ මේ කරගත් පාපක්‍රියාවෙන් ඔබ කල්ප ගණනාවක නිරයේ දුකක් උරුමකරගත්තා' ය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත උපමාවන්ගෙන් පිංවත් ඔබට තේරුම් ගන්න පුළුවන්, කාමය වරදවා හැසිරීමේ වරදට අදාළව සකස්‌වෙන විපාකයන්ගේ රුදුරුභාවය. මේ විපාකයන්ගේ රුදුරුභාවය නිසාමයි, ස්‌ත්‍රිය යනු මගහැර යායුතු ආශ්‍රවයක් ලෙස දේශනා කරන්නේ. එසේ නොවුණහොත් ඔබ ස්‌ත්‍රී පක්‍ෂය, පුරුෂ පක්‍ෂය නිසාම නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කර ගන්නවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඉන්ද්‍රිය අසංවරභාවය ඇති කොට දෙන කාමච්ජන්දයන් වැඩෙන ස්‌ථාන, කාමච්ජන්දයන් වැඩෙන සිතුවිලි මගහැර යන්නය කියලා. ඉන්ද්‍රිය අසංවරභාවයට පත්කරන මොන තරම් දේවල් සමාජය තුළ තිබෙනවාද. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කාම ලෝකයේ ජීවත්වෙන සත්වයා කියන්නේ, ඉරියව් කයක්‌ය කියලා. කාම ලෝකයේ ජීවත්වන සත්වයන්ගෙන් අනුන් තුළ, වඩාත්ම ඉන්ද්‍රිය අසංවරභාවය ඇතිකරන ඉරියව් කයක් පිහිටලා තිබෙන්නේ, සශ්‍රික දිව්‍යතලවල ජීවත්වන දිව්‍යාංගනාවන්ට. දිව්‍යාංගනාවන්ගේ ඉරියව් කය තුළ රිද්මය, ලාලිත්‍යය, ප්‍රභාශ්වරය හොඳින් ප්‍රකටව පෙනෙනවා. දිව්‍යාංගනාවන්ගේ අලංකෘත ඉරියව් නිසා දෙවිවරු අප්‍රමාණව නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවා.
බුදුරජාණන්වහන්සේ වේදියකපච්ච නමැති කන්දේ වැඩසිටිනකොට, සක්‍රයාගේ නියමයෙන්, පන්සිළු දිව්‍යපුත් මුළු වේදිකාපව්වම ආලෝකවත් කරමින් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණෙන්නේ තමන්ගේ බේළුව පාණ්‌ඩු වීණාව අරගෙනයි. පින්සිළු දෙවියා මේ දවස්‌වල සිටින්නේ දැඩි විරහා වේදනාවකින්. පන්සිළු දෙවියා තම ආදරවන්තියගේ වෙනස්‌වීමෙන්, අසරණභාවකට පත්ව සිටින මොහොතකයි බුදුරජාණන්වහන්සේ බැහැදකින්න පැමිණියේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පන්සිළු දෙවියා තම විරහා වේදනාව, ගීතමය ස්‌වභාවයෙන්, වීණාවේ සංගීතයන් සමගින් ගායනා කළා. සක්‌කපඤ්හ සූත්‍රයට අදාළව පන්සිළු දෙවියා ගායනා කළ එක් ගී පදයක් මෙහි සටහන් තබනවා.
'ළහිරු රැස් සෙයින් බබලන, සිරුර කැළුම් ඇත්තී, සොබනා අඟපසඟ ඇත්තී, මට සතුට දෙන්නී, සොඳුර, සොසුලුවනට සුළඟ සේද, පිපාසිතයිනට පැන් සේද, රහතුනට දහම් සේද, ඔබ මට ප්‍රියය සොඳුර'
බුදුරජාණන් වහන්සේ මේ විරහා වේදනාවෙන් පෙළෙන, පන්සිළු දෙවියාගේ සංගීතය මුසු ගායනයට නිහඬව සවන්දී, ගායනය අවසානයේදී පන්සිළු දෙවියාට දේශනා කරනවා 'පන්සිළු, ඔබේ වීණාවේ තත් හඬ, ඔබගේ ගී හඬ සමගද, ඔබගේ ගී හඬ, ඔබගේ වීණාවේ තත් හඬ සමගද හොඳින් ගැලපෙනවා' කියලා 'පන්සිළු, ඔබේ තත් හඬ, ගී හඬ නොයික්‌මේ. ඔබගේ ගී හඬ තත් හඬ නොයික්‌මේ' කියලා. දිව්‍ය සංගීතය සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රයක් පිංවත් ඔබට ඉහත සක්‌කපඤ්හ සූත්‍රයෙන් ලබාගන්න පුළුවන්. ඉහත කාරණාවෙන් පිංවත් ඔබට පැහැදිලිවෙනවා, සශ්‍රික දිව්‍යතලවල ජීවත්වෙන දෙවියන් දිව්‍යාංගනාවන් පවා, කාමච්ජන්දයන් හේතුවෙන්, ආදරය විරහව හේතුවෙන් නැති ආශ්‍රවයන් ඇති කරගන්න ආකාරය.
පිංවත් ඔබ මොහොතක් කල්පනා කරලා බලන්නකෝ, මනුෂ්‍ය සමාජයේ ආදරය, විරහව නිසා, කාමයන්ගේ ආශ්වාදයන් නිසා, මේ ධර්මතාවයන් මගහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසා පිංවත් ඔබ විවාහ බිඳවැටීම්, දික්‌කසාද, සියදිවිනසාගැනීම්, පළිගැනීම් හේතුවෙන් මොනතරම් නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවාද. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවාද කියලා.
ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/11/22/feature05.html