Pages

Sunday, November 15, 2015

ට්‍රැෆික්‌ - විසඳුම් නැති විෂදුම

කොළඹ නගරයේ පමණක්‌ නොව ආසන්න බොහෝ තදාසන්න නගර බොහෝමයක වාහන තදබදය එන්න එන්නම වැඩිවන බවක්‌ පෙනෙන්නට තිබේ. විශේෂයෙන් මේ වාහන තදබදය ඉතා ශීඝ්‍රයෙන් වැඩිවූයේ ආසන්න මාස කිහිපයක සිටය. අධික වාහන තදබදය නිසාම, බොහෝ දෙනෙකුගේ දෛනික වැඩකටයුතුවලටද විශාල වශයෙන් බාධා එල්ලවන බවක්‌ පෙනේ.

විශේෂයෙන් අවස්‌ථා තුනකදී නගරාශ්‍රිතව මේ වාහන තදබදය දකින්නට ලැබේ. එනම් උදැසන කාර්යාල සහ පාසල් කරා පැමිණෙන හෝරා කිහිපය, දහවල් කාලයේ පාසල් නිමවන වේලාවන් සහ පස්‌වරුවේ කාර්යාල නිමවී ජනතාව නිවෙස්‌වලට යන කාල වේලාවන්ය. මෑතක සිට ඒ අතරමැද කාලයේද දැඩි වාහන තදබදයක්‌ හටගන්නා බව බොහෝ මාර්ගවල ගමන් ගන්නා අය දනිති.

පසුගිය සැප්තැම්බර් මාසයේ කාර් රථ දහහතර දහස්‌ තුන්සිය එකක්‌ ලියාපදිංචි වී තිබුණු බවක්‌ වාර්තාවල දැක්‌වේ. ඉන් සියයට අසූ පහක්‌ම කුඩා කාර් රථය. යතුරුපැදි සංඛ්‍යාව තිස්‌ දහස්‌ දෙසිය හතළිහකි. මේ වාර්තාවලින් පෙනෙන්නේ ඇති හැකි අයගේ වර්ධනයක්‌ පෙන්නුම් කිරීම යෑයි අපට හිතා ගන්නට හැකියාව තිබේ. එහෙත් වර්තමානය වන විට බොහෝ දෙනෙක්‌ තමන්ගේම කියා වාහනයක්‌ මිලදී ගන්නේ රටේ පොදු ප්‍රවාහන සේවය එපමණකටම "අපෝ" වී ඇති නිසා බව කිව යුතුය. 

දුම්රිය, බස්‌ රිය හෝ වේවා කවර පොදු ප්‍රවාහන සේවයකින් වුව මගීන්ට සිදුවන්නේ දැඩි අපහසුතාවට මුහුණ දීමටය. ප්‍රමාදයත්, නිසි පහසුකම් නොමැති වීම, කලට වේලාවට ධාවනය නොවීම මේ ආදී බොහෝ ගැටලු ප්‍රවාහන සේවය සම්බන්ධව මතුවේ. මේ නිසාම පෞද්ගලික වාහනවලින් සිය අවශ්‍යතාවන් සඳහා පැමිණෙන පිරිස ශීඝ්‍රයෙන් වැඩිවී තිබේ. පොදු ප්‍රවාහන සේවයේ අකාර්යක්‍ෂමතාව නිසා අපතේ යන මිනිස්‌ ශ්‍රමය මෙන්ම මේ අවිධිමත් ක්‍රියාවලිය නිසා රුපියල් බිලියන 250 ක පමණ මුදල් ප්‍රමාණයක්‌ වසරක්‌ තුළදී රටට අහිමි වේ.

රටක්‌ සංවර්ධනය වීම යන කාරණයේදී ප්‍රවාහනය යනු අත්‍යවශ්‍ය සාධකයක්‌ බව අමුතුවෙන් කිවයුතු නොවේ. අපට පෙනෙන්නේ ප්‍රශ්නය තිබෙන්නේ වාහන ප්‍රමාණය වැඩිවීමටත් වඩා ප්‍රවාහනය සහ මාර්ග තදබදය අවම කරවා ගැනීම සඳහා වූ විධිමත් ක්‍රියාවලියක්‌ නොමැති වීමේ බවය. 

අති සුඛෝපභෝගී, නවීන වාහන රට තුළ විශාල වශයෙන් දක්‌නට ලැබේ. එහෙත් අපේ රටේ මාර්ගවල වේග සීමා තවමත් පවතින්නේ වසර ගණනාවකට පෙර ස්‌ථාපිත කළ ආකාරයෙන්මය. අවම වශයෙන් පොදු ප්‍රවාහන සේවාවන් සඳහා සහ පුද්ගලික වාහන සඳහා වෙන වෙනම වේග සීමා ලබාදීම කළ යුතුය. මාර්ග තදබදයට බලපාන හේතු අතර වර්තමානයේ වැඩි වශයෙන් දැකිය හැකි කාරණයක්‌ වන්නේ ත්‍රිරෝද රථ සහ යතුරුපැදිකරුවන්ගේ නොහික්‌මුණු ක්‍රියාකලාපයන් බව පෙනේ. අධික මාර්ග තදබදයකදී පවා හැම අස්‌සකින්ම රිංගවමින් ත්‍රිරෝද හා යතුරුපැදි ඉදිරියට පැමිණෙන ආකාරය ඕනෑම කෙනෙකුට නිරීක්‍ෂණය කළ හැකි කාරණයකි. මෝටර් සයිකල් හා ත්‍රිරෝද රථ සඳහා මංතීරු නීති පැය විසිs හතර පුරාම ක්‍රියාත්මක කළ යුතුයෑයි මාර්ග තදබදය ගැන විමර්ශනය කරන බොහෝ දෙනෙක්‌ පසුගිය කාලය පුරාම අදාළ අංශවලට නිරන්තරයෙන් දැනුම් දී තිබුණේ මේ නිසාය.

පසුගිය රජය මඟින් කොළඹට ඇතුළුවන එක්‌ අයෙක්‌ හෝ දෙදෙනෙක්‌ ගමන් කරන වාහන සඳහා සීමා පැනවීමට හා ගාස්‌තුවක්‌ අය කිරීමට සැලසුම් සකස්‌ කරන බවත් ඒ දිනවල වාර්තා විණි. එහෙත් කවර හේතුවක්‌ නිසා හෝ ඒ ගැන කතාබහ යටගොස්‌ තිබේ. අප විශ්වාස කරන්නේ එය කාලෝචිත පියවරක්‌ බවය. එමෙන්ම පසුගිය රජය මඟින් ක්‍රියාත්මක කරගෙන ආ මාර්ග සංවර්ධන කටයුතු සහ ඊට සමගාමීව ප්‍රවාහන පද්ධතිය කළමනාකරණය කිරීමේ වැඩපිළිවෙලද ඇනහිට ඇති බවක්‌ පෙනේ.

මේ වන විට සිදුවන "වන්වේ" (මාර්ගයේ එක්‌ පැත්තකට පමණක්‌ වාහන ධාවනය කිරීම) ක්‍රියාවලියද අසාර්ථක වී තිබෙන්නේ නිසි ක්‍රමවේදයක්‌ හෝ සැලසුමක්‌ නොමැතිව අත්හදා බැලීම් සඳහා ගොස්‌ ඇති නිසා බව පෙනේ.

කෙසේ හෝ මේ තත්ත්වය ඉක්‌මණින්ම විධිමත් ලෙස සැලසුම් කර කළමනාකරණය කර නොගැනීම තවත් බොහෝ අර්බුද නිර්මාණය කිරීමට හේතුවනු ඇති බව සඳහන් කළ යුතුය. එය මාර්ග සංවර්ධන අධිකාරියත්, ප්‍රවාහන අමාත්‍යාංශයත්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවත්, පොලිස්‌ දෙපාර්තමේන්තුවත් එකට එක්‌ව සැලසුම් කළ යුතු ව්‍යාපෘතියක්‌ බවද සඳහන් කළ යුතුය.

http://www.divaina.com/2015/11/14/editor.html

Pic Source

2 comments:

Anonymous said...

පෙරේදා හවස ග්‍රෙගරි පාරේ සිට බතතරමුල්ලට එන්න පැය එක හමාරක් ගතවුනා.

Anonymous said...

මටත් නාරාහේන්පිට සිට කොටුවට එන්න පැය 1. 15 ක් ගියා