Pages

Sunday, November 15, 2015

ලන්ඩනයේදී ලියුකේමියා ජයගත් ලංකාවේ දොස්‌තර මහත්තයා - වෛද්‍ය ආචාර්ය සුජිත් සමරසිංහ


ලියුකේමියා හෙවත් රුධිර පිළිකා රෝගය පිළිගැනෙන්නේ සුව කිරීමට නොහැකි රෝගයක්‌ ලෙසයි. එහෙත් වයස සති 14 ක්‌ව තිබියදී ලියුකේමියාව වැළඳී ලන්ඩනයේ "ගේ්‍රට්‌ ඕර්මන්ඩ් ස්‌ට්‍රීට්‌" රෝහලට රැගෙන ආ "ලෙයිලා රිචඩ්ස්‌" දැරියට කරන ලද නව අත්හදා බැලීමේ ප්‍රතිකාරයකින් ඇය දැන් සුවය ලබමින් සිටිනවා. මෙම නව ප්‍රතිකාරය සොයා ගත් වෛද්‍ය කණ්‌ඩායමට ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් වෛද්‍යවරයෙකුත් ඇතුළත්වීම ශ්‍රී ලංකාවටත් ආඩම්බරයක්‌ ගෙන දෙන්නක්‌.

ශ්‍රී ලාංකික දෙමාපියන්ට දාව ලන්ඩනයේ ඉපිද හැදී වැඩුණු දැනට වයස අවුරුදු 41 වන ඔහු විශේෂඥ වෛද්‍ය සුජිත් සමරසිංහයි. ඔහු දැනට "ගේ්‍රට්‌ ඕර්මන්ඩ් ස්‌ට්‍රීට්‌" රෝහලේ රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයායි. ඔවුන් සොයා ගත් නව ප්‍රතිකාර ක්‍රමය ගැන දිවයිනට ඔහු තම කටහඬ අවදි කළේ මෙසේයි.

"ලෙයිලා රෝහලට රැගෙන එන විට ඇයගේ වයස සති 14යි. ඇයට වැළඳී තිබුණේ "ඉන්ෆන්ට්‌ ඇකියුට්‌ ලිම්ෆොබ්ලාස්‌ටික්‌ ලියුකේමියා" (infant acute lymphoblastic leukaemia) කියන සුව කිරීමට ඉතා අසීරු රුධිර පිළිකා රෝගයයි. ඇයගේ රුධිරයෙන් පිළිකා සෛල ඉවත් කිරීමේ අරමුණින් අපි ප්‍රථමයෙන්ම ඇයට "කීමෝ තෙරපි" ප්‍රතිකාරය කළා. එම ප්‍රතිකාර වලින් පසුවත් ඇයගේ රුධිරයේ පිළිකා සෛල ඉතිරිවී තිබුණා. ඉන් පසු අපි "බෝන් මැරෝ බද්ධ කිරීමේ" (Bone Marrow Transplant) ප්‍රතිකාරය සිදු කළා. අවසනාවක මහත මාසයකට පසු නැවත ඇයගේ රුධිරයේ පිළිකා සෛල වැඩෙන්න පටන් ගත්තා.

ඇයව සුව කිරීම සඳහා වෙන ප්‍රතිකර්මයක්‌ නොතිබූ නිසා අපි අලුත් අත්හදා බැලීමක්‌ කරන්න තීරණය කළා. වෙන අයෙකු පරිත්‍යාග කළ රුධිර සාම්පලයකින් සුදු රුධිරානු වෙන් කර රැගෙන ඒවායේ ජානමය ව්‍යුහය කෘත්‍රිම ලෙස වෙනස්‌ කොට ලෙයිලාගේ රුධිර පද්ධතියට එන්නත් කළා. එමගින් අප බලාපොරොත්තු වුණේ ලෙයිලාගේ ලේවල තිබූ පිළිකා සෛල මරා දැමීමයි.

අප බලාපොරොත්තු වූ පරිදිම ඒ ප්‍රතිකාරය හරි ගියා. ඇයගේ ශරීරයේ දැන් පිළිකා සෛල නෑ. අප නැවතත් ඇයට දෙවන "බෝන් මැරෝ බද්ධ කිරීමේ" ප්‍රතිකාරය සිදු කර ඇයව රෝහලෙන් නිදහස්‌ කළා. මෙම ප්‍රතිකර්මය අපි දකින්නේ ප්‍රාතිහාර්යයක්‌ ලෙසයි. මන්ද යත් මේ ප්‍රතිකර්මයෙන් ඇයට සුවයක්‌ නොලැබුණා නම් ඇයට ජීවත්වීමේ කාලය තිබුණේ සති කීපයයි. තවමත් ඇය සුවය ලබා ගතවී ඇත්තේ මාස දෙකක්‌ පමණයි. ඇය නිට්‌ටාවටම සුවය ලබා ඇත්දැයි දැන ගැනීමට තව වසරක කාලයක්‌වත් අවශ්‍යයි.

දැනට අප හිතනවා මෙය සාර්ථක ප්‍රතිකර්මයක්‌ කියා. එනිසා මෙම රෝගයෙන් පෙළෙන තවත් රෝගීන් දස දෙනකුටවත් මෙම ප්‍රතිකර්මය කිරීමට අප බලාපොරොත්තුවෙන් සිටිනවා. මෙම ප්‍රතිකර්මයේ සාර්ථකත්වය මත ඉදිරියේදී අනෙකුත් වර්ගවල පිළිකාවලටත් මෙම ක්‍රමය අනුගමනය කළ හැකි වෙනවා. 

ඉරිදා දිවයින නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය සමරසිංහ මහතා කියා සිටියේ මෙම ප්‍රතිකර්මය ඉදිරියේදී සිදු කරන්නේ නම් කොපමණ මුදලක්‌ වැය වනවාද යන්න පිළිබඳව ඔහුට කිව නොහැකි බවයි. තවද ඔහු නිවාඩුවක්‌ ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ගිය සෑම අවස්‌ථාවකම මහරගම පිළිකා රෝහලට ගොස්‌ එහි වෛද්‍යවරුන් සමග දැනුම හුවමාරු කරගත් බවත් ශ්‍රී ලංකා රජයෙන් හෝ මහරගම පිළිකා රෝහලෙන් ආරාධනාවක්‌ ලැබුනොත් තමාගේ දැනුමෙන් ශ්‍රී ලාංකිකයනට යම් සේවයක්‌ කිරීමට ඉතාමත් අශාවෙන් සිටින බවත් සමරසිංහ මහතා පැවසීය.

එසේම ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ලන්ඩනයේ "ගේ්‍රට්‌ ඕර්මන්ඩ් ස්‌ට්‍රීට්‌" රෝහලට පැමිණ ඔවුන් කරන සැත්කම්වලට සහභාගි වී දැනුම ලබා ගැනීමට ඇති ඉඩ කඩ පිළිබඳවද ඔහු සොයා බලන බව වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහුගේ පුද්ගලික තොරතුරු ගැන කතා කරමින් කියා සිටියේ ඔහුගේ පියා වන ස්‌ටැන්ලි සමරසිංහ මහතා එක්‌දහස්‌ නවසිය හැට ගණන්වල වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයට පැමිණි බවයි. මව සුවිනී එංගලන්තයට පැමිණ ඇත්තේ එක්‌දහස්‌ නවසිය හැත්තෑවේ පමණය. පියා ශ්‍රී ලංකාවේ පානදුර ප්‍රදේශයේ උපත ලද අතර මව ඉපදී ඇත්තේ හොරණ ප්‍රදේශයේය. ස්‌ටැන්ලි සමරසිංහ මහතා එංගලන්තයේ පරිපාලන ක්‌ෂේත්‍රයේ (Civil Servant) නියතුව සිට දැන් විශ්‍රාම සුවයෙන් කල් ගෙවයි.

තමාගේ දෙමාපියන්ට නාවලත් තමාගේ බිරිඳගේ දෙමාපියන්ට නුගේගොඩත් නිවාස තිබෙන නිසා විශේෂඥ වෛද්‍ය සමරසිංහ මහතා නිතර ශ්‍රී ලංකාවට යන බව පවසයි. සමරසිංහ මහතා විවාහ වී සිටින්නේ මූල්‍ය පාලකවරියක්‌ (Financial Controller)) වන ඔමාලි සමගය. ඔවුනට වයස අවුරුදු 12 ක පුතෙකු සහ අවුරුදු 10 දියණියක්‌ වෙති.

විශේෂඥ වෛද්‍ය සමරසිංහ මහතා ඔහුගේ මූලික අධ්‍යාපනය ලබා ඇත්තේ එංගලන්තයේ "සරේ" ප්‍රාන්තයේය. ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා ඇත්තේ ලන්ඩනයේ වෛද්‍ය සිසුන් සඳහා තිබෙන උසස්‌ම පාසල වන "ඉම්පීරියල්" මහා විද්‍යාලයේය. ඔහු රෝහල් පුහුණුව ලබා ඇත්තේ ලන්ඩනයේ "රෝයල් µ්‍රS", "යුනිවර් සිටි කොලේජ්" සහ "ගේ්‍රට්‌ ඕර්මන්ඩ් ස්‌ට්‍රීට්‌" යන රෝහල්වලය.

විශේෂඥ වෛද්‍ය සමරසිංහ මහතා "ගේ්‍රට්‌ ඕර්මන්ඩ් ස්‌ට්‍රීට්‌" රෝහලේ රුධිරය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා ලෙස පත්වී ආවේ 2014 වසරේ පෙබරවාරි මාසයේය. ඊට පෙර ඔහු 2011 වසරේ සිට "නිව්කාසල්" රෝහලේ රුධිරය පිළිබඳ හිටපු විශේෂඥ වෛද්‍යවරයා ය. ඔහුට වෛද්‍ය උපාධියට අමතරව ආචාර්ය උපාධියක්‌ ද සතුව තිබේ.

සුජීව නිවුන්හැල්ල ලන්ඩනයේ සිට
http://www.divaina.com/2015/11/15/feature24.html

සබැඳි ලිපි -
[
ශ්‍රී ලාංකික වෛද්‍යවරයකුගෙන් ලියුකේමියා සුවකරන ප්‍රතිකාරයක්‌http://denethharinna.blogspot.com/2015/11/blog-post_9.html
]

0 comments: