Pages

Sunday, November 22, 2015

ත්‍රස්ත බිය ලොවට දැනෙන මොහොතක, තිස් වසක ත්‍රස්ත බියෙන් මිදුනු අපේ අනාගතය නිශ්චිතද?

ප්‍රංශයේ පැරිස්‌ නුවරට පසුගිය දිනක එල්ල කරන ලද අයිඑස්‌අයිඑස්‌ ත්‍රස්‌ත ප්‍රහාරය හේතුවෙන් සිය ගණනක්‌ අහිංසක වැසියන් මරුමුවට පත් විය. අප ද ඒ සම්බන්ධයෙන් දුක්‌ වුනෙමු. ලෝකයේ සියලුම රාජ්‍ය නායකයන් පාහේ එම ත්‍රස්‌ත ප්‍රහාරය හෙළා දකිමින් ප්‍රංශ ජනාධිපතිතුමාට ශෝක පණිවුඩ එවූහ. බොහෝ අය ප්‍රංශ ජාතික කොඩිය ප්‍රදර්ශනය කරමින් ප්‍රංශය වෙනුවෙන් යාච්ඥා කළහ. ශ්‍රී ලංකා අගමැතිතුමා ද පණිවුඩයකින් ප්‍රකාශ කළේ ප්‍රහාරය හෙළා දකින බවත්, ත්‍රස්‌තවාදයට විරුද්ධව සටන් කළ යුතු බවත් ය. මෙම ත්‍රස්‌ත ප්‍රහාරයේ දී මුළු ලෝකයාගේම අනුකම්පාව සහ සහාය දිනූ පැරිස්‌ වාසීන් ප්‍රහාරයෙන් පසු ත්‍රස්‌තයනට හඬගා කීවේ "අපි බය නෑ" (ඇ aරු බදඑ sජ්රුd) යනු වෙනි.

ත්‍රස්‌තවාදය යනු දේශපාලන අරමුණක්‌ සාක්‌ෂාත් කර ගැනීමට අහිංසක වැසියන් ඝාතනය කිරීම සහ පොදු දේපල විනාශ කිරීමයි. එසේ නම් ත්‍රස්‌තවාදය ඇතිවීමට හේතුව සාධාරණ වුවත්/අසාධාරණ වුවත් ත්‍රස්‌ත ප්‍රහාර සාධාරණීය කළ නොහැක්‌කේ එයින් මිය යන්නේ ඒ "හේතුවට" කිසිසේත්ම සම්බන්ධයක්‌ නැති අහිංසකයන් බැවිනි. ඒ කරුණ නිසාම වරක්‌ ඇමරිකානු ජනාධිපති ද ප්‍රකාශ කළ අයුරින් ත්‍රස්‌තවාදය සම්බන්ධයෙන් ක්‍රියාකරන විට "මධ්‍යස්‌ථයෙක්‌" සිටිය නොහැක. එක්‌කෝ නුඹ ත්‍රස්‌තවාදියෙක්‌ එසේ නැතහොත් ත්‍රස්‌තවාදියෙක්‌ නොවේ. ඒ අනුව ත්‍රස්‌තවාදයට සෘජුව හෝ වක්‍රව සහයෝගය නොදුන්නත්, එම ම්ලේච්ඡ ඝාතනයන් හෙළා නොදකින්නාද ත්‍රස්‌ත ගණයට වැටෙන්නේ ඒ අයුරිනි.

අප ද ත්‍රස්‌තවාදයෙන් වසර 30 ක්‌ බැට කෑ ජාතියකි. අරන්තලාවේ අහිංසක සාමනේරවරුන් කපා කොටා ඝාතනය කරද්දී, අම්පාර ගෝනගල බඩදරු අම්මලාද ඇතුළුව 57 ක්‌ අහිංසකයින් මරා දමද්දී, දුම්රිය තුළ, බස්‌රථ තුළ බෝම්බ තබා සිය ගණනකගේ සිරුරු සීනුවිසුනු කරද්දී, අපේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කොට අප වෙනුවෙන් යාච්ඥා කරන්නට කිසිවෙකුත් ඉදිරිපත් වූ බවක්‌ වසර 39 ක්‌ හමුදාවේ සිටි මටනම් මතක නැත. රටවල් ස්‌වල්පයක්‌ එය හෙළා දුටු නමුත්, අද පැරිස්‌ ප්‍රහාරය වෙනුවෙන් කඳුළු හෙළන බොහෝ රටවල් අපට එල්ලවුනු කිසිම ම්ලේච්ඡ ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ හෙළාදුටුවේ නැත. ගෝලීය දෙමළ සංසදයේ එම්මානුවෙල් පියතුමාගේ සිට අපේ රටේ දෙමළ සංධානයේ කිසිවෙකුත් පවා එල්ටීටීඊ ත්‍රස්‌ත ප්‍රහාර හෙළාදුටුවේ නැත. එසේනම් ඇමරිකානු ජනාධිපති බුෂ්ගේ ප්‍රකාශයට අනුව එසේ හෙළා නොදුටු සියල්ලන්ම වැටෙනුයේ ත්‍රස්‌ත ගණයටය. 

පැරිස්‌ ප්‍රහාරයට පසුව සිරියාවේ අයිඑස්‌අයිඑස්‌ කඳවුරුවලට එල්ලකරන ප්‍රහාර සියගුණයකින් වැඩිවී තිබේ. එයින් සාමාන්‍ය වැසියන් සහ කුඩා දරුවන්ද මියගොස්‌ ඇති අන්දම විද්යුත් මාධ්‍යයෙන් නැරඹිය හැක. නමුත් එක්‌සත් ජාතීන්ගේ සංගමයේ මහලේකම් බෑන්කීමූන් ඒ ගැන සොයාබැලීමට කවදාවත් සිරියාවට නොයනු ඇත. එසේම කිරිකැටියන් පොළොවේ ගසා මැරූ ත්‍රස්‌තයන් හා සටන් වැද උන් නසා දැමූ අපේ සෙබළුන් හට මානව හිමිකම් කඩ කළා යෑයි මොරදෙන එජා මානව හිමිකම් කොමසාරිස්‌ සේඩ් හුසේයින් කිසිකලකත් පසුගියදා සිරියාවට බෝම්බ දැමූ ප්‍රංශ ගුවන් නියමුවන්ට එවන් චෝදනාවක්‌ නොකරනු ඇත. 

1987 දී වඩමාරච්චි මෙහෙයුම අවසාන අදියරේ සිර වී සිටි ප්‍රභාකරන් ඝාතනය කොට ත්‍රස්‌තවාදය නිම කිරීමට ඔන්න මෙන්න කියා තිබිය දී අපගේ ගුවන් අවකාශය උල්ලංඝණය කරමින් ඉන්දියාව ගුවනින් පරිප්පු දමා දැඩි බලපෑම් එල්ල කළ විට එයට බිය වූ අපේ නිවට නායකයෝ අවසන් මොහොතේ එම මෙහෙයුම නවතා දැමීමට අණ කළහ. එසේ නොවුනේනම් ත්‍රස්‌තවාදය අවසාන වන්නේ එදිනය. එදා ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න යන හමුදා හදවත් පමණක්‌ නොව ජන හදවත් ද දිනූ ජනරාල්වරුන්ගේ දෙනෙත දිලිසෙන කඳුළු අප දුටුවෙමු. ඒ, ත්‍රස්‌තවාදයෙන් පීඩා විඳින අසරණ ජනතාව වෙනුවෙන් ඉනූ කඳුළුය. යුද්ධයක්‌ යනු දේශපාලනයේම දිගුවක්‌ බවත්, යුද්ධයක අවසාන ප්‍රථිඵලය රඳාපවතින්නේ දේශපාලනඥයාගේ තීරණය මත බැවින්, යුද්ධයේ ජයග්‍රහණයේ හෝ පරාජයේ වගකීම සම්පූර්ණයෙන් අයත් වන්නේ යුද්ධ කරන ජනරාල්වරුන්ට හෝ අද්මිරාල්වරුන්ට හෝ නොව දේශපාලන නායකත්වයටය යන සුප්‍රසිද්ධ කියමන ඒ සිද්ධියෙන් තවදුරටත් සනාථ වේ.

2009 මැයි මස 18 වන දින ලොව දරුණුතම ත්‍රස්‌තවාදය නිම වුණේ එදින ඒ නරුම ත්‍රස්‌ත නායකයාගේ ඝාතනයත් සමගය. නමුත් ඊට දින කිහිපයකට පෙර ප්‍රංශයේ විදේශ ඇමැති කුෂ්ණ, එංගලන්තයේ විදේශ ඇමැති මිලිබෑන්ඩ් සමඟ කඩිමුඩියේ ලංකාවට පැමිණ ජනාධිපතිට බල කරමින් කියා සිටියේ මෙහෙයුම් වහාම නවතන ලෙසත්, ප්‍රභාකරන්ට නිදහස ලබාදී දේශපාලන විසඳුමකට එළඹෙන ලෙසත්ය. හෙට දින අපේ මංගල සමරවීර විදේශ ඇමැතිතුමා ප්‍රංශයට ගොස්‌ සිරියාවේ සාමාන්‍ය වැසියන් ඝාතනය වන බැවින්, අයිඑස්‌අයිඑස්‌ සංවිධානයට ප්‍රතිප්‍රහාර එල්ල නොකරන ලෙසත්, හැකිනම් ඔහු සමඟ සාකච්ඡා කොට සාමකාමී විසඳුමකට එන ලෙසත් යෝජනා කළ හොත් ඔහුට ලැබෙන ප්‍රතිචාරය කුමක්‌ වේද? ප්‍රංශයේ ජනාධිපතිගේ කෙසේ වෙතත් පැරීසියේ වැසියන්ගෙන් නම් ඔහුට ලැබෙන ප්‍රතිචාර කවරේද යන්න අපට සිතාගත හැක. තවමත් කුෂ්ණ පැරීසියේ සිටින නිසා දුරකථනයෙන් හෝ ඔහුට එවන් යෝජනාවක්‌ කරමින් 2009 මැයි මස ඔහුගේ ශ්‍රී ලංකා චාරිකාව ගැන මතක්‌ කිරීම උචිත යෑයි මට හැඟේ.

එදා වඩමාරච්චි මෙහෙයුමේ දී ඉන්දියාවේ බලපෑමට නිවට උනාක්‌මෙන් නොව මෙදා ප්‍රංශය, එංගලන්තය, ඇමරිකාව වැනි බලගතු බටහිර රාජ්‍යයන්ගේ පවා දැඩි බලපෑම්වලට නතු නොවී ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීමට නිර්භීතව ගත් තීරණය නිසා අපේ ලක්‌වැසි සියලු ජනතාවට ජාතිභේදයකින් තොරව භියක්‌ සැකක්‌ නැතිව ජීවත් වීමේ නිදහස ලැබිණ. ජනපති මහින්ද රාජපක්‌ෂ ඒ ඓතිහාසික තීරණය ගත්තේ බටහිර රටවල් විරසක කරගැනීමෙන් තමාට මතු අනාගතයේ දී මූණ දීමට සිදුවන දේශපාලන අවදානම ද නොතකාය. ජනතාව වෙනුවෙන් ගත් ඒ අවදානම පසුව යථාර්ථයක්‌ වූ අයුරු අද ඉතිහාසයේ ලියවී හමාරය.

අප යුද්ධය ජයග්‍රහණය කළේ රණවිරුවන් 29000 ක්‌ දිවි පුදමින් හා 14000 ක්‌ පූර්ණ ආබාධිත තත්ත්වයකට පත්වෙමින් ය. යුධ ජයග්‍රහණයෙන් පසු වසර 30 ක්‌ තිස්‌සේ විනාශව තිබූ උතුර ශීඝ්‍රයෙන් සංවර්ධනය කෙරින. එය කෙසේ වූවාද කිවහොත් රටේ සංවර්ධන වේගය 7.5% වන විට උතුරේ සංවර්ධන වේගය 22% ඉක්‌මවා තිබුණි.

නමුත් අද අප මූණ පා ඇති ඛේදනීය තත්ත්වය කුමක්‌ ද? තම මුළු දිවියම කැප කොට රටට නිදහස ලබාදුන් රණවිරුවන් සහ ඒ නායකත්වය, ජිනීවා චෝදනා හරහා අසත්‍ය, අභූත චෝදනා තුළින් දඟගෙට යෑවීමට පිඹුරුපත් සැකසීමය. අද වන විටත් ඒ ගුණමකු ක්‍රියාවලිය තුළින් ම්ලේච්ඡ ත්‍රස්‌තවාදයට සෘජුව සම්බන්ධ වූ එල්ටීටීඊ සැකකරුවන් සිරගෙයින් ඇප පිට නිදහස්‌ වීමත්, හමුදා බුද්ධි නිලධාරීන් සිරගෙට යෑවීමත් ආරම්භ වී තිබේ. 

මේ ඊනියා, ජිනීවා යෝජනා වලට පූර්ණ සතුට පළ කළේ කව්ද? උතුරේ යුද්ධයෙන් පසුවද අපේම රණවිරුවන් අහිංසක දෙමළ ජනතාවට නැවත පදිංචි වීමට බ්ම්බෝම්බ 4,95,000 ඉවත් කරන විට ඒ අයට එක කහට තේ කෝප්පයක්‌ හෝ දීමට නොපැමිණි දෙමළ ඩයස්‌පෝරාවය. එසේම 2,95,000 ක්‌ පමණ වූ අවතැන් දෙමළ ජනතාවට මැණික්‌ ෆාම් කඳවුරේ සිටිය දී ඒ අය වෙනුවෙන් එක යෝගට්‌ කෝප්පයක්‌ පිරිනැමීමට ඉදිරිපත් නොවූ ගෝලීය දෙමළ සංසදයයි. එසේම යුද්ධ කළ රණවිරුවෝ තමාගේ වේතනයෙන් කොටසක්‌ පරිත්‍යාග කොට අසරණ දෙමළ පවුල් සඳහා නිවාස 4000 ක්‌ පමණ ඉදිකරද්දී එක නිවසක්‌ තබා නිවසක වහලයකට එක්‌ උළු කැටයක්‌ හෝ ලබාදීමට නොපැමිණි දෙමළ සංධානයයි. දෙමළ ජනතාවගේ සුභසාධනය පිළිබඳ කිඹුල් කඳුළු හෙළමින් කථාකරනවා හැරෙන්න එක සතයකින් හෝ ඔවුනට කිසිදු උදවුවක්‌ නොකළ, එල්ටීටීඊ යේ පරාජයෙන් වියරු වැටී ඇති, ඉහත සංවිධානයන් යුද්ධය ජයගත් රණවිරුවන්ට මෙසේ අසත්‍ය චෝදනා නැගීම පුදුමයට කරුණක්‌ නොවේ.

පැරීසියේ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසුව අද සිරියාවේ අයිඑස්‌අයිඑස්‌ සංවිධානයට පහර දෙන ප්‍රංශ හමුදා භටයින්ට අනාගතයේ දී අපේ සෙබළුන් අද පත්වී ඇති තත්ත්වයට මූණ දීමට සිදුවේයෑයි ඔබ සිතනවාද? නැත. ඒ අන් කිසිවක්‌ නිසා නොව අද දේශාභිමානයෙන් යුතුව "අපි බය නෑ" යනුවෙන් එක හඬින්, එකාවන්ව, දැඩි අදිටනින් කියන පැරීසියානුවන් නිසාය. කවදා හෝ ප්‍රංශයේ නායකයෙක්‌ මතු දිනක හෝ හමුදාවට එරෙහිව එවන් ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට තැත් කළොත් ප්‍රංශ ජනතාව හමුදාවේ සහායට දිවිහිමියෙන් ඉදිරිපත් වනු නොඅනුමානය.

අපේ රටේ ත්‍රස්‌ත සැකකරුවන් නිදහස්‌ කරමින් හිටපු හමුදා බුද්ධි නිලධාරීන් සිරගත කරද්දීත්, හමුදාවට විරුද්ධව අභූත චෝදනා නගමින් දෙමුහුන් අධිකරණයක්‌ මගින් හමුදා නිලධාරීන් පෝරකයට යෑවීමට නිර්දේශයන් ඉදිරිපත් කරද්දීත්, ත්‍රස්‌තවාදය තුරන් වීම හේතුවෙන් ජීවත් වීමේ නිදහස ලබාගත් ලක්‌වැසි ජනතාව, හමුදාව වෙනුවෙන් වචනයක්‌ හෝ නොදොඩන්නේ, පැරීසියානුවන්ට නම් මොකද "අපි නම් බයයි" යෑයි ඔවුන් සිතන නිසාද? ඒ ගැන සිතනකොට මට සියුම් ලැඡ්ජාවත් ඇති වන්නේ ඇයිදැයි නොතේරේ.

රියර් අද්මිරාල් ආචාර්ය සරත් පී. වීරසේකර
http://www.divaina.com/2015/11/22/feature21.html

Pic1 Source
Pic2 Source

0 comments: