Pages

Sunday, November 22, 2015

ඇමතිවරු වහගෙන යන, පොදු ජනයා දවස ගෙවන ලංකාවේ මාර්ග - බදු පනවා ට්‍රැෆික්‌ අඩු කරන්නට යැම මෝඩ කමක්‌

මාර්ග තදබදය තරම් අද අපේ රටේ නාගරික ජනතාවට දිනපතා බලපාන වෙනත් ප්‍රශ්නයක්‌ නොමැති තරම්ය. මේ දිනවල ඇති වර්ෂාවත් සමඟ මේ ප්‍රශ්නය බරපතළ වී ඇත්තේ උදෑසනටත්, සවස්‌ කාලයටත් මහජනතාව මහපාරේ පැය ගණනාවක්‌ දැඩි අපහසුතාවන්ට පත්කරමින් රස්‌තියාදු කරවමිනි.

අද මේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා වෙනුවට ආණ්‌ඩුව කරන්නට යන්නේ පුද්ගලික වාහන සඳහා නව ගාස්‌තු අයකරන්නට නීති රීති පනවන්නටය. අද වාහනයක්‌ යනු තවදුරටත් සුඛෝපභෝගී දෙයක්‌ නොවේ. අද එය අත්‍යාවශ්‍ය දෙයක්‌ බවට පත්ව තිබේ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවාවන්හි තත්වය ඉතාම පහළ මට්‌ටමක පවතින අප වැනි රටක ජනතාව තමන්ගේ වාහනයක ගමන් කරන්නේ කරන්නට දෙයක්‌ නැතිකමටය. මේ නිසා පුද්ගලික වාහන සඳහා බදු පනවන්න පෙර පොදු ප්‍රවාහන සේවා විධිමත් කිරීම වහාම රජය විසින් කළ යුතුය.

ලොව පොදු ප්‍රවාහන සේවා දියුණු රටවල ජනතාව පොදු ප්‍රවාහන සේවා විශාල ලෙස භාවිත කරන්නේ එමගින් ඉතාම වේගවත් මෙන්ම සුවදායී සේවාවක්‌ ලබා දෙන බැවිනි. එබැවින් අපේ රටේ මාර්ග තදබදයට විසඳුමක්‌ ලබාදෙන ප්‍රධාන ක්‍රමවේදය ලෙස පොදු ප්‍රවාහන සේවා වැඩිදියුණු කිරීම වහාම කළ යුතුව තිබේ. එවිට ජනතාව වැඩි වැඩියෙන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරනු ඇත.

පොදු ප්‍රවාහන සේවා විධිමත්ව පවත්වා ගෙන යාම සඳහා රාත්‍රි බස්‌ සේවා විධිමත් කළ යුතුය. එවිට රාත්‍රි කාලයේ ජනතාව ගමන් බිමන් යැම සඳහා හුරුවනු ඇත. එසේම ඒ සඳහා වෙළඳසැල් රාත්‍රිය තෙක්‌ විවෘත කර තැබීම කළ හැක. රාත්‍රි සේවා සඳහා දැනට මාර්ග බලපත්‍ර බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛන වල සිටින බස්‌ රථ වලට රාත්‍රි කාලයේ බස්‌ රථ ධාවනයට නව බලපත්‍ර ලබාදීම කළ හැක. එසේම හැමවිට පාඩු ලබන බවට මැසිවිලි නගන පෞද්ගලික අංශයේ බස්‌ රථ ලංගම විසින් කුලියට ලබාගෙන ධාවනය කරවීම අවශ්‍ය නම් කළ හැක. මෙය දැනට අසල්වැසි ඉන්දියාවේ පවා සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදයකි.

අනෙක්‌ අතට පොදු ප්‍රවාහන සේවා දියුණු කරන අතරම පොදු ප්‍රවාහන සේවා සඳහා මාර්ගයේ ප්‍රමුඛතාව ලබාදිය යුතුය. අපේ රටේ මහාමාර්ග වල ප්‍රමුඛතාවය හිමිවන්නේ පුද්ගලික රථ වාහන වලටය. එබැවින් මහජනතාව පොදු ප්‍රවාහන සේවා සඳහා යොමුකරවන්නට නම් ප්‍රමුඛතාවය හිමිවිය යුත්තේ පොදු ප්‍රවාහන සේවා වන්ටය. අපේ රටේ ජනතාවගෙන් සියයට අනූවක්‌ම භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවා බව බලධාරීන් මතකයේ තබාගත යුතුය.

රජය ජනතාවට පොදු ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස නව නීති හෝ බදු හෝ පනවන්නේ නම් රජය මුලින් ම කළ යුත්තේ රටේ ඇමැතිවරුන්, අමාත්‍යාංශ ලේකම්වරු, අතිරේක ලේකම්වරු, සභාපතිවරු, ආයතන ප්‍රධානීන් ආදී අයට මුලින්ම දුම්රිය හා බස්‌රථ ආදී පොදු ප්‍රවාහන සේවාවන්හි ගමන් කරවීමය. එය එක අතකින් ආදර්ශයක්‌ මෙන්ම අනෙක්‌ අතින් රටේ ජනතා ප්‍රශ්න මේ අයට සියෑසින් දැක බලා ගන්නටද අවස්‌ථාවක්‌ වනු ඇත. අනෙක්‌ අතට ඉහළ රජයේ නිලධාරීන් පොදු ප්‍රවාහන සේවා භාවිත කරනු දුටු විට සාමාන්‍ය ජනතාව පවා ඒ සඳහා වැඩි වැඩියෙන් යොමුවනු ඇත.

බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා පවා යන්නේ දුම්රියේ තනියමය. ඔහු ආරක්‌ෂකයන් පිරිවරා යන්නේ නැත. යුද්ධය අවසන් වී ඇතත් අපේ රටේ දේශපාලනඥයන් නැවතත් ආරක්‍ෂකයන් සමඟ වාහන පිරිවරා ගමන් කිරීම අරම්භ කර තිබේ. මේ සඳහා වැය වන්නේ රටේ මහජන මුදල්ය. විශේෂයෙන්ම රජයේ ඉහළ නිලධාරීන්ට නිල වාහනය කාර්යාලයේ නිල ගමන් වලට පමණක්‌ භාවිත කළ හැක. විශේෂයෙන්ම රටේ භාවිත වන වැඩිම වාහන සංඛ්‍යාව රජයේ වාහන බැවින් මේවා සීමා කළහොත් මාර්ග තදබදය සැහෙන දුරට අඩුවනු ඇත. අද කොළඹ ජනප්‍රිය පාසල් අසල උදැසනට හා දහවල් කාලයට ළමුන් ඇරලීම හෝ රැගෙන යැම සඳහා එන වාහන පරීක්‌ෂා කළහොත් එයින් සියයට අසුවක්‌ම රජයේ වාහනය. මේ සඳහා බර දරන්නේ රටේ සාමාන්‍ය ජනතාවය. වැය කරන්නේ මහජන මුදල්ය. එම නිසා රජයට අවශ්‍ය නම් මේ සඳහා සීමා පැනවීම මගින් මාර්ග තදබදය අඩුකළ හැකි අතරම විශාල මුදල් ඉතිරියක්‌ද කරගත හැක. 

අනෙක්‌ අතට වත්මන් රජය බලයට පැමිණීමේදී ජනතාවට ලබාදුන් ප්‍රධානතම පොරොන්දුවක්‌ වූයේ සෑම නිවෙසකටම වාහනයක්‌ යන්නය. එයින් නොනැවතී බලයට පත්වීමෙන් පසු අපේ රටේ මහා මාර්ග ඉන්දියානු වාහන වලින් පිරී යන පරිදි නව බදු ක්‍රම සකස්‌ කරන ලදී. එසේම හයිබ්‍රිඩ් වාහන සඳහා ලොව අධිකම බදු පනවමින් පරිසර හිතකාමී මෙන්ම අඩු ඉන්ධන පිරිවැයක්‌ සහිත වාහන මෙරටට පැමිණීම අඩුකරන්නට ආණ්‌ඩුව කටයුතු කළේය. ආණ්‌ඩුවේ මේ ක්‍රියාමාර්ග නිසා පෙර වසරට වඩා ලෝක ඉන්ධන මිල අඩකටත් වඩා මේ වසරේ අඩුවෙද්දී ඉන්ධන අපනයනය සඳහා වැයවන මුදල තවත් රුපියල් මිලියන දහසකින් ඉහළ ගියේ ආණ්‌ඩුවේ වැරදි තීරණ නිසාය. අනෙක්‌ අතට ජනතාවට හැකි තරම් වාහන මිලදී ගන්නට ඉඩහැර ඊට බදු පනවන්නට යැම ජනතාව රැවටීමක්‌ මෙන්ම ගොනාට ඇන්දවීමකි. අනෙක්‌ අතට ශ්‍රී ලංකාව ලොව ඉහළම වාහන බදු පනවා ඇති රටකි. වාහන නිෂ්පාදනය කර ශ්‍රී ලංකාවට එවන්නට වැයවන මුදල මෙන් තුන්හතර ගුණයක්‌ රජය බදු ලෙස අය කරයි. එසේ තිබියදී වාහන සඳහා තව තවත් බදු අය කිරීම සුදුසු නොවේ. 

අපේ රටේ වාහන තදබදය අඩු කරන්නට ජනතාව අතර පාපැදි භාවිතය ජනප්‍රිය කළ යුතුය. ඒ සඳහා පාරේ පාපැදිවලට වෙනම මංතීරුවක්‌ වෙන් කළ යුතුය. පාපැදිවලට බදු සහන ලබාදිය යුතුය. මේ වන විට පාපැදි මිල විශාල වශයෙන් ඉහළ ගොස්‌ ඇති නිසා අඩු මිලට තීරු බදු රහිතව පාපැදි රජය මැදිහත්වී රාජ්‍ය ආයතන හරහා ගෙන්වා මෙරට අලෙවි කළ යුතුය. එය එක පැත්තකින් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවයට හේතුවක්‌ වන අතරම ඉන්ධන නිෂ්පාදනය නොකරන රටක්‌ ලෙස ඉන්ධන සඳහා දරන්නට වන විදේශ විනිමය අඩුකර ගන්නට හේතුවක්‌ වනු ඇත. එසේම පාපැදි නොමිලේ නතර කර තබන්නට ස්‌ථාන බස්‌ හා දුම්රියපොළ අසල රජය මැදිහත්වී ඇති කළ යුතුය. මෙවැනි දේ ලොව බොහෝ දියුණු රටවල පවා සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

මහා මාර්ගයේ වැඩිම තදබදය ඇතිකරන්නේ කන්ටේනර්, ටිපර්, ලොරි හා වෙනත් බරවාහන හා ඉඩම් වාහනය. මේවා උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්‌වා හා සවස 4.00 සිට රාත්‍රි 9.00 දක්‌වා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලද ,ප්‍රධාන නගර වලද මහා මාර්ගවලින් ඉවත් කළ යුතුය. මෙවැනි විශාල වාහන අඩු වේගයෙන් ධාවනය වන අතර මාර්ගයේ විශාල ඉඩක්‌ ගැනීම නිසා මහා මාර්ග තදබදය වැඩිවේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ධාවනය වන බොහෝමයක්‌ බරවාහන නිසි නඩත්තුවක්‌ නොමැති ඒවාය. එම නිසා තත්ත්වය තවත් උග්‍රය. බොහෝ රටවල් මාර්ග තදබදය ඇති වේලාවන්හිදී මෙම නීතිය ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීම දැකිය හැක. මෙය ලංකාවේ ක්‍රියාත්මක කරන්නට විරුද්ධ වන්නේ වාණිජ සංගම් හා තවත් ව්‍යාපාරිකයන් පිරිසකි. එසේම කන්ටේනර දුම්රිය මාර්ග ඔස්‌සේ ගෙනයැම මාර්ග තදබදයට විසඳුමක්‌ මෙන්ම ඉන්ධන වියදම අඩු කරගන්නටද පිළියමක්‌ වනු ඇත. එසේම කන්ටේනර වරායේ සිට ඔරුගොඩවත්තට ගොස්‌ නැවත වරායට පැමිණ භාණ්‌ඩ පැටවීමේ ක්‍රමවේදය නතර කළහොත් බේස්‌ලයින් මාර්ගය, ආමර්වීදිය, ඉඟුරු කඩේ හන්දිය, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස්‌ ප්‍රදේශවල රථවාහන තදබදය අවම කළ හැක. 

උදෑසන අධික මාර්ග තදබදය අඩුකර ගැනීමට හැකි තවත් ක්‍රමයක්‌ වන්නේ ලංකාවේ කාර්යාල හා පාසල් ආරම්භ වන වේලාවන් රථවාහන තදබදය කළමනාකරණය කරගත හැකි ආකාරයට වෙනස්‌ කිරීමය. දැනට පාසල් පටන්ගන්නා උදෑසන 7.30 වේලාව පාසල් විසින් වෙනස්‌ කරගත යුතුය. එනම් පාසල් යම් ප්‍රමාණයක්‌ උදේ හතටත් තවත් යම් ප්‍රමාණයක්‌ උදේ 7.30 ට සහ තවත් යම් ප්‍රමාණයක්‌ උදේ 8.00 ටත් ආරම්භ කළ හැක. ඒවා නියමිත පැය ගණන මත එම කාල පරතරය මත අවසන් වූ විට එකවර වාහන තදබදයක්‌ ඇති නොවේ. රැකියා ස්‌ථාන ද උදෑසන 8.00 සිට 10 .00 දක්‌වා පැය භාගය බැගින් කාල පරතර සහිතව ආරම්භ කළ හැක. එවිට එම කාල පරතරයටම සේවා ස්‌ථාන වල සේවා කාලය තීරණය කරගත හැක. එවිට මාර්ග තදබදය බොහෝ සෙයින් අඩුකළ හැකිය. එසේම උදැසන 6.00 සිට මේවා විවෘත කර තබා තම රාජකාරිය අවසාන කළ පසු පැය අට අවසානයේ සේවක සේවිකාවන්ට නිවසට යන්නට ඉඩදිය යුතුය. මේ ක්‍රම ලොව දියුණු රටවල සාර්ථකව අනුගමනය කෙරෙන අතර මාර්ග තදබදයටද විසඳුම් එයින් ලැබී තිබේ. මේ සඳහා සෑම කාර්යාල හා සේවා මුර සම්බන්ධයෙන් නව නීති ගෙන ආ යුතුය. පාසල් ආරම්භ කරන වේලාව හා කාර්යාල ආරම්භ වේලාව අතර පරතරයක්‌ පවත්වා ගතහොත් පාසැල් සිසුන් ගෙනයන වාහන පාසල්වලට පැමිණි පසු කාර්යාල සේවකයින්ට සිය වාහන මහා මාර්ගයට ගැනීමට හැකිවීමෙන්, වාහන තදබදය කළමනාකරණය කරගත හැකිය. මේවා සම්බන්ධයෙන් රජය වහාම මැදිහත්වී හාම්පුතුන්ගේ සම්මේලනය හා රජයේ ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ යුතුය.

මේ සියල්ල සමඟ කළ යුතු ප්‍රධානතම දෙය වන්නේ පොලිසියට අවශ්‍ය ආකාරයට මහා මාර්ග 'වන්වේ' කිරීම සහ වර්ණ සංඥා ක්‍රියා විරහිත කර දමා සිතූ මතයට වාහන පාලනය කිරීම වහාම අත්හිටුවීමය. මහජන මුදල් කෝටි ගණන් වැයකර මාර්ග සංඥා සවිකර තිබුණද මාර්ගවල රථවාහන පාලනය සිදුකරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිම දැනුමක්‌ නොමැති පොලිස්‌ නිලධාරීන්ය. පාරේ රථවාහන ධාවනය වර්ණ සංඥා මත සිදුවන්නේ නම් ටිකෙන් ටික හෝ වාහන ඉදිරියට ඇදෙයි. එහෙත් අද සිදුවන්නේ පොලිස්‌ නිලධාරීන් වැඩිවෙලාවක්‌ වාහන එක්‌පැත්තකට යෑවීම මගින් වාහන තදබදය දෙගුණ තෙගුණ වීමය.

එසේම හැංගී සිට වාහන ඇල්ලීම පොලිසිය නතර කළ යුතුය. අද අධික වාහන තදබදය ඇති අවස්‌ථාවල පවා පොලිස්‌ නිලධාරීන් වාහන තදබදය අවසන් කරන්නට පියවර ගන්නවා වෙනුවට කරන්නේ හැංගී සිට වාහන ඇල්ලීමය. අනෙක්‌ අතට පොලිස්‌ නිලධාරීන් පෙනෙන්නට සිටින විට රියෑදුරෝ වැරදි කරන්නට බියවෙති. එහෙත් අද පොලිසිය කරන්නේ වරද කරන තුරු හැංගී සිට දඩ මුදල් රැස්‌කිරීමය. මෙය අද ඇතැම් පොලිස්‌ නිලධාරීන් අදායම් මාර්ගයක්‌ද කරගෙන ඇති බව සඳහන්ය. එහෙත් අව්වේ වැස්‌සේ දිවා රෑ නොතකා රථ වාහන පාලනය සඳහා පොලිස්‌ නිලධාරීන්ගෙන් සිදුවන සේවයද සුළු පටු නොවේ.එහෙත් මහා මාර්ගයේ සිටින බොහෝ පොලිස්‌ නිලධාරීන් සිතා සිටින්නේ ඔවුන් මහාමාර්ගයේ අයිතිකරුවන් ලෙසය. රටේ නීතිය කුමක්‌ වුවත් මාර්ගයේ ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ කැලේ නීතියයි. එසේම ඇතැමුන් මහජනතාවට කතාකරන්නට දන්නේ ම නැත. විශේෂයෙන් ත්‍රිරෝද රථ රියෑදුරන් හා මෝටර් සයිකල් තොගපිටින් නවතාගෙන පරීක්‌ෂා කර කවර හෝ වරදක්‌ සොයා දඩ කොළ දෙන පොලිස්‌ නිලධාරීන් බොහෝය.මේ නිසා අද මහජනතාවට රථවාහන පොලිස්‌ නිලධාරීන් වහකදුරු මෙන් තිත්තය.

මාර්ග තදබදය නැතිකරනවා සේම රථවාහන පොලීසිය හා මහජනතාව අතර වර්තමානයේ ඇතිවී තිබෙන දුරස්‌ථභාවය නැති කිරීම සඳහා ද රථවාහන පොලීසියේ ඉහළම බලධාරීන් කටයුතු කළ යුතුය. එයද මාර්ග තදබදය අඩුවීමට හේතුවක්‌ වනු ඇත.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2015/11/22/feature14.html

Pic Source

සබැඳි ලිපි -
[
ට්‍රැෆික්‌ - විසඳුම් නැති විෂදුම
http://denethharinna.blogspot.com/2015/11/blog-post_66.html
]

0 comments: