Pages

Tuesday, November 10, 2015

හිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙති

සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජනතා ව්‍යාපාරයේ නායක සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත නා හිමියෝ ඊයේ (08දා) අලුයම 4.30ට පමණ සිංගප්පූරුවේ මවුන්ට්‌ එළිසබෙත් රෝහලේ දී අපවත්වීම සමස්‌ත ශ්‍රී ලංකාවාසීන්ගේම දැඩි ශෝකයට හේතුවී තිබේ.

පතිරගේ දොන් අප්පුහාමි හා කරලිනාහාමි යුවලට දාව 1942 මැයි නව වැනි දා මාදුළුවාව ගමේ දී පී. ඩී. රත්නසේකර නමින් උපත ලැබූ උන්වහන්සේ 1955 දී සසුන් ගතව 1962 දී උපසම්පදාව ලැබූහ. එතැන් පටන් රටදැය සමය වෙනුවෙන් තම ජීවිතයම කැප කළෝය.

මාදුළුවාවේ සෝභිත නාහිමියෝ මෑත කාලීනව අපේ රට ජාතිය මුහුණදුන් සෑම ව්‍යසනකාරී අවස්‌ථාවකම පාහේ ඉදිරියට එමින් ඊට එරෙහිව සටන් කළ උත්තමයෙකු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

උන්වහන්සේ සතුවූ අද්විතීය වාග් චාතුර්ය සෝභිත හිමියන් මෙරට භික්‌ෂු සමාජයෙහි විශේෂයෙන් කැපී පෙනෙන්නට හේතුවිය. මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද නාහිමියන්ගෙන් පසු ශ්‍රී ලාංකික භික්‌ෂු වංශයෙහි අද්විතීය කථීකයා මාදුළුවාවේ සෝභිත නාහිමියන්ය.

උන් වහන්සේටම අනන්‍යවූ ගැඹුරු කටහඬ, දේශනා ශෛලිය, උච්චාරණ විලාසය මෙරට ජනතාවගේ උන්නතිය සඳහාම විය. සෝභිත හිමියන් සිය දේශනවලදී ඉදිරිපත් කරන ලද අතිශය විචිත්‍ර උපමා උපමේය, ක්‌ෂණිකව මතුවන කවීත්වයෙන් පිරි කියුම්, හාස්‍යය උපහාසය මෙන්ම අර්ථවත් අදහස්‌ වලින්ද යුක්‌ත දේශන ශෛලිය මෙරට ජන හදවත් වැළඳ ගත්තේය. 

එදා එජාප ආණ්‌ඩුව ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියානු අගමැති රජිව් ගාන්ධිගේද සහභාගිත්වයෙන් අත්සන් කිරීමට එරෙහිව 1987 ජුලි 28 වැනිදා කොටුව බෝගහ අසළ 20,000කට ආසන්න ජනතාවගේ සහභාගිත්වයෙන් පැවති විරෝධතා ව්‍යාපාරයට නායකත්වය දුන්නේද මාදුළුවාවේ සෝභිත හිමියන්ය. ඡේ. ආර්. ජයවර්ධන පාලන සමයේ ඉන්දියානු හමුදා ආක්‍රමණය සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු උන්වහන්සේ මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කළෝය.

පසුකාලීනව මහින්ද රාජපක්‌ෂ පාලන සමයේදී එදා නිදා සිටි විපක්‌ෂය අවදි කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කිරීමේ ක්‍රියාවලියට මෙන්ම වර්තමාන යහපාලන රජය පිහිටුවීම සඳහාවූ ක්‍රියාවලියටද මූලික වූයේ උන්වහන්සේ ය.


යුද්ධය අවසන් කිරීමෙන් පසු විධායක ජනාධිපති ක්‍රමය හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස මහින්ද රාජපක්‌ෂ රජයෙන් ඉල්ලීම් කළ සෝභිත හිමියෝ එය ඉටුනොවුනු කල පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්‌ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා වෙහෙසුණහ. 

ඉන්පසු සැමට පිළිගත හැකි පොදු අපේක්‌ෂකයකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා තෝරාගැනීමට මෙන්ම නොයෙකුත් වෙනස්‌කම් ඇති පාර්ශවයන් අතිවිශාල ප්‍රමාණයක්‌ එකම වේදිකාවකට ගෙන එමින් පොදු අපේක්‌ෂකයාගේ ජයග්‍රහණය උදෙසා උන්වහන්සේ රටපුරා යමින් දිවා රෑ නොබලා වෙහෙසුණහ.

ඉන් පසු පොදු අපේක්‌ෂකයාගේ ජයග්‍රහණයෙන් පසුව දින සියයේ ආණ්‌ඩුව පිහිටුවා ස්‌වාධීන කොමිෂන් සභා හැකි ඉක්‌මණින් ස්‌ථාපිත කරන ලෙස හා ඡන්ද ක්‍රමය වෙනස්‌ කරන ලෙස උන්වහන්සේ එම ආණ්‌ඩුවට ද බල කළහ.

තමන්ද මූලික වී ඇති කළ වර්තමාන ආණ්‌ඩුවේ කැබිනට්‌ මණ්‌ඩලය ඇමැතිවරුන් 30 කට සීමානොකර ජාතික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බව පවසමින් විශාල ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම පිළිබඳව තමන් බලවත් කම්පාවට හා කලකිරීමට පත් වන බව උන්වහන්සේ වර්තමාන ආණ්‌ඩුවේ නායකයන්ට මුහුණටම පැවසූහ. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ඇතිවූ තත්ත්වයන්හිදී එය විවේචනය කළ උන්වහන්සේ   ජනතාව විසින් ප්‍රතික්‌ෂේප කළ අය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්‌තුවෙන් පත්කර ඔවුන්ට ඇමැති තනතුරු දීම ඉතාමත් අශෝභන, විලිලැඡ්ජා නැති වැඩක්‌' යෑයි පැවසූහ. කියන්නට ඇතිදේ නොබියව ප්‍රකාශ කරන්නට උන්වහන්සේ කිසිදා නොපැකිලුනහ.

කෙසේ වෙතත් උන්වහන්සේගේ අවසන් කාලයේ රටේ සිදුවූ බොහෝ දේ උන්වහන්සේගේ සතුටට හේතු නොවීය. එම නිසා රටේ දේශපාලන ක්‌ෂේත්‍රය තුළ වර්තමානය වනවිට කළකිරීම් ඇති කරන සිදුවීම් අසන්නට හා දකින්නට ලැබෙන බැවින් සියලු දේශපාලන කටයුතුවලින් ඉවත්ව හුදෙකලාව සිටීමට තීරණය කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ උන්වහන්සේ ඒ බව රටේ ප්‍රධානීන්ටද දන්වන්නට තරම් එඩිතර වුහ.

අද වන විට අපේ රට ජාතිය විදේශ බලවේගවල දැවැන්ත බලපෑම්වලට යටත්වෙමින් පවතී. දිවිපුදා රැකගත් දේශය යළි කැබලි වලට කඩන්නට වෙරදරන පිරිස්‌ රණවිරුවන් ඊනියා මානව හිමිකම් හා විවිධ චෝදනා යටතේ සිරගත කරන්නට මාන බලමින් සිටිති. රටේ ප්‍රධාන රජයේ නිලධාරීන් දූෂණ චෝදනා මත ප්‍රශ්න කරමින් සිවිල් ජනතාව තොග පිටින් ඝාතනය කළ කොටි ත්‍රස්‌තවාදී සැකකරුවන් තොගපිටින් නිදහස්‌ කරන්නට සියල්ල සූදානම් මොහොතක සෝභිත හිමියෝ මෙසේ රටෙන් ජාතියෙන් සමුගැනීම අවාසනාවකි. පුරා වසර හැත්තෑතුනක ජීවිත කාලය තුළ රට, දැය, සමය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ මේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයාණන් වහන්සේගේ අපවත්වීම සිදුවන්නේ සමාජයට මඟපෙන්වීමට උන් වහන්සේලා සිය දහස්‌ ගණනක්‌ අවශ්‍යව ඇති සමයකය. 

http://www.divaina.com/2015/11/09/editor.html

Pic Source

0 comments: