Pages

Monday, November 16, 2015

පැරිස්‌ ප්‍රහාරය - අනතුර තේරුම් නොගැනීමේ විපාකය

ජාත්‍යන්තරය නැවතත් සසල වී තිබේ. 2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ලෝකයම ත්‍රස්‌තවාදී ප්‍රහාරයක්‌ නිසා අතිශය කම්පනයට පත් වූ දෙවැනි අවස්‌ථාව පැරිස්‌ ප්‍රහාරයයි. වෙනත් කිසිදු කාරණයක්‌ නිසාම නොව ත්‍ර්‍රස්‌තවාදය, අන්තවාදය, ම්ලේච්ඡත්වය පිළිකුල් කරන ජාතියක්‌ වෙසෙන රටක්‌ හැටියට අපිදු මේ ගැන කම්පා වන්නෙමු. මේ ම්ලේච්ඡත්වය හෙළා දකින්නෙමු. එපමණක්‌ නොව ඝාතනය වූ සියල්ලන් වෙනුවෙන් ශෝකය ද ප්‍රකාශ කර සිටින්නෙමු.

ප්‍රංශයේ පැරිස්‌ නුවරට අයි.එස්‌. අයි. එස්‌. (ISIS) නම් ම්ලේච්ඡ ත්‍රස්‌තයන් එල්ල කළ ප්‍රහාරය ඉතා සංවිධානාත්මක එකකි. එය එක්‌ තැනක්‌, ප්‍රදේශයක්‌ (මර්මස්‌ථානයක්‌) ඉලක්‌ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයක්‌ නොව ස්‌ථාන කිහිපයක්‌ ඉලක්‌ක කරගත් ප්‍රහාරයකි. වැඩි විනාශයක්‌ සිදුකර ප්‍රංශයට (පාඩමක්‌ ඉගැන්වීම) ඒ ම්ලේච්ඡයන්ගේ අරමුණ වී තිබූ බව ද පැහැදිලිය. ඕනෑම ත්‍රස්‌තවාදී සංවිධානයක ස්‌වභාවය එබඳුය.

ඇමරිකානු හා ප්‍රංශ බුද්ධි අංශ විශේෂඥයන් අනාවරණය කරගෙන ඇති ආකාරයට අල්කයිඩා ත්‍රස්‌තයන් සමඟ එකතුව අයි.එස්‌.අයි.එස්‌. සංවිධානය මෙම ප්‍රහාරය සැලසුම් කර තිබේ. මේ වන විට එම ප්‍රහාරයේ වගකීම (ISIS) ත්‍රස්‌තයන් විසින් භාරගෙන තිබේ. ප්‍රශ්නය වන්නේ ලොව පුරා ත්‍රස්‌තවාදී සංවිධාන ගැනත්, ඒ ඒ රටවලට ඇති තර්ජන ගැනත් කල් තියා අනතුරු හඟවන ඇමරිකාව, ප්‍රංශය, ප්‍රමුඛ බොහෝ රටවල බුද්ධි අංශවලට මේ පිළිබඳව වාර්තා වී නො තිබීම ය. විශේෂයෙන් පසුගිය කාලයේ අයි.එස්‌.අයි.එස්‌. සංවිධානයට බැඳී සිටියා යෑයි කියන මෙරට වාසය කළ මුස්‌ලිම් ජාතිකයකු ගැන ලොවට හෙළි කර තිබුණේ ජාත්‍යන්තර බුද්ධි අංශ විසිනි. එම දිනවල එම ජාත්‍යන්තර බුද්ධි අංශ වාර්තා දක්‌වා තිබුණේ තවත් එවැනිම පිරිසක්‌ මෙරටින් පිටව සිරියාවට ගොස්‌ අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තයන් සමඟ එක්‌ව සිටින බව ය. කෙසේ හෝ පැරිස්‌ ප්‍රහාරය එම ජාත්‍යන්තර බුද්ධි අංශ පමණක්‌ නොව, ජාත්‍යන්තර යුද විශේෂඥයන්ට (යුද අපරාධ ගැන විමර්ශනය කරන) ත්‍රස්‌තවාදය සමඟ ගනුදෙනු කරන බොහෝ රටවලට එළැඹ තිබෙන අනතුර ගැන බොහෝ පාඩම් කියා දෙන්නකි. ජර්මන් ජනාධිපතිනිය ත්‍රස්‌තවාදය සහමුලින් ම ඉවත් කර දැමිය යුතු යෑයි කියන්නේ පැරිස්‌ ප්‍රහාරයෙන් පසුව ය. එහෙත් ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වීමේ භයානකකමත්, ත්‍රස්‌තවාදය පෝෂණය කිරීමෙහි ඇති අනතුර ගැනත් ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීමේ යුක්‌ති යුක්‌ත බව පිළිබඳවත් රටක්‌ වශයෙන් ලොවට හෙළි කළේ ශ්‍රී ලංකාවයි. ඒ, වර්තමානය වන විට මේ ම්ලේච්ඡත්වය පිටුදැකිය යුතු යෑයි ද සහමුලින් උපුටා දැමිය යුතු යෑයි ද හඬ නඟන බොහෝ රටවල් ත්‍රස්‌තවාදීන්, විමුක්‌තිකාමීන් ලෙස හැඳින්වූ මොහොතක ය.(ඒ යුතුකම ඉටුකළ මිනිසුන්ට එනිසාම විවිධ කෙණෙහිළිකම් සිදුවීම වෙනම කරුණකි)

බෙදුම්වාදය වෙනුවෙන් ඊනියා නිජබිම් අයිතීන් වෙනුවෙන් සටන් වැද සිටින ම්ලේච්ඡ ත්‍රස්‌තයන්ගේ සැබෑ මූලස්‌ථාන කඳවුරු පිහිටා තිබුණේ යුරෝපයේ බොහෝ රටවලම බව අමතක කළ යුතු නැත. එමෙන්ම රටවල් අතර පවතින සීතල යුද්ධයේදී ඒ ඒ රටවල ත්‍රස්‌ත ක්‍රියාකාරකම් පෝෂණය කරන රටවල් ද පැරිස්‌ ප්‍රහාරයෙන් බොහෝ දේ අවබෝධ කරගෙන ඇති බව නිසැකය.

ත්‍රස්‌ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කර ඇත්තේ දේශ සීමා සියල්ල වසා දමමිනි. එමෙන්ම ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ඇතුළු ලෝක නායකයන් රැසක්‌ ත්‍රස්‌ත ප්‍රහාරය හෙළාදැක තිබේ. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් විනාශ වූ පසු ගොඩනැගූ නිව්යෝර්ක්‌ නුවර නව ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථාන ගොඩනැඟිල්ල ප්‍රංශ ධජයේ වර්ණවලින් ආලෝකවත් කර ඇත්තේ ද එම හෙළාදැකීම සංකේතවත් කරමිනි.

මේ සියලු ලෝක නායකයන් මේ සංකේතවත් හෙළාදැකීමකින් ඔබ්බට ගිය ම්ලේච්ඡත්වය පිටු දැකීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වීමේ මොහොත පැමිණ තිබෙන බව සඳහන් කළ යුතු ය. එය ඇන්ජලා මර්කර් කී ආකාරයේ 'ත්‍රස්‌තවාදීන් සහමුලින් ඉවත් කර දැමීමේ ක්‍රියාවලියකි.

පැරිස්‌ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අයි.එස්‌.අයි.එස්‌. ම්ලේච්ඡයන් යනු එල්.ටී.ටී.ඊ. ම්ලේච්ඡයන්ගෙන් පසු බිහිව තිබෙන කුරිරුතම ත්‍රස්‌ත සංවිධානයයි. තමන්ට එරෙහි තමන්ගේ මූලධර්මවාදී මතවාදයන් පිළි නොගන්නා කිසිවෙකුත් ජීවත් නොවිය යුතු යෑයි විශ්වාස කරන අයි.එස්‌.අයි.එස්‌. ත්‍රස්‌තවාදීන් අමානුෂික ලෙස මිනිස්‌ ඝාතන සිදු කරන්නේ දෙවියන්ගේ නියමය එය බව කියමිනි.

ජාත්‍යන්තරයේ බොහෝ රටවල අන්තවාදී අදහස්‌වලින් හිස පුරවාගත් තරුණ කණ්‌ඩායම්, වැඩිහිටි කණ්‌ඩායම් අයිඑස්‌.අයි.එස්‌. සමඟ එකතු වන්නේ මේ දෙවියන්ගේ නියමය පරිදිය. මේ නිසාම පැරිස්‌ ප්‍රහාරයත් සමගම යුරෝපයේ බොහෝ රටවල් තම දේශපාලන කඳවුරු බවට පත් කරගෙන සිටින සටන්කාමීන් විමුක්‌තිකාමීන් යෑයි කියන දේශපාලන රැකවරණ පතන්නන් දෙස ලෝකය මීටත් වඩා විමසිලිමත් වියයුතු කාලය එළැඹ තිබේ. ජාත්‍යන්තරයට, සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් ද, පැරිස්‌ ප්‍රහාරයෙන් ද මියගිය අහිංසකයන්ට සාධාරණය ඉෂ්ට කළ හැක්‌කේ එලෙසය.

http://www.divaina.com/2015/11/16/editor.html

Pic Source

සබැඳි ලිපි -
[
ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයිhttp://denethharinna.blogspot.com/2015/11/blog-post_63.html
ප්‍රංශ ISIS ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ප්‍රංශයේ ඉස්ලාම් සංක්‍රමණික කදවුරු ගිනිබත් වෙයි!
http://denethharinna.blogspot.com/2015/11/blog-post_74.html
]

0 comments: