Pages

Sunday, November 15, 2015

මෙහෙවර නිමා නොකොට නික්‌ම ගිය - අභීත හිමි සඳ සෝභිත!

භික්‍ෂුන් වහන්සේලා දේශපාලනයෙහි යෙදීම නොමනා දෙයකැයි බොහෝ දෙනා කියති. එහෙත් ලක්‌දිව බුදු සමය ලැබුණු අනුරාධපුර යුගයේ සිටම භික්‍ෂුහු දේශපාලනයේ යෙදුණහ. රජවරු අනුශාසනා ලැබුවේ භික්‍ෂු සංඝයාගෙනි. කුමාරවරු, සෙනෙවිවරු රජවරු බවට පත් කළේ භික්‍ෂුන් වහන්සේලාගේ අනුග්‍රහයෙනි. භික්‍ෂුන් කෙතරම් තදින් දේශපාලනයේ යෙදුනේද යත්, සමහර රජවරු අතින් භික්‍ෂුන් වහන්සේලා මැරුම් කෑහ. ඇතැම් රජවරු භික්‍ෂුන් වහන්සේලාගේ සිවුරු ගලවා උරහිසෙහි දුසිල් ලකුණ හංවඩු ගසා රටින් නෙරපා දැමූහ.

ඒවා ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් භික්‍ෂුවරු දේශපාලනයේ යෙදීම අත්හලේ නැත. රට ජාතිය බිඳ වැටුණු හැම අවස්‌ථාවකම භික්‍ෂුවරු පෙරමුණට ආහ. මැරුම් කෑහ. ඒ දේශපාලනය වෙනුවෙනි. අදටත් පාරේ පෙළපාලි යන ශිෂ්‍යයන් අතර මහජනයා අතර භික්‍ෂුන් වහන්සේලා පෙරමුණේ වඩිති.

භික්‍ෂුන් වහන්සේලා සිටින්නේ ධර්මය දේශනා කරන්නටත්, දන් පිළිගන්නටත්, පාංශකූලය පිළිගන්නටත් පමණකැයි සිතන බෞද්ධයෝ සිටිත්. එහෙත් තමන් සිවුර දරා සිටින්නේ ඒ කාර්යයන් කිහිපය සඳහාත් ඉන් බාහිරව පඩික්‌කම් පුරවන්නටත් නොවන බව ක්‍රියාවෙන් පෙන්නුම් කරන භික්‍ෂුන් වහන්සේලාද සිටිත්.

නමුත් දේශපාලනයෙහි යෙදීම යනු යූ. එන්. පී. හෝ ශ්‍රී ලංකා ඡන්ද රැස්‌වීමට නැගී අහවලා දිනවීම සඳහා කතා පැවැත්වීමේ දේශපාලනය නොවේ. භික්‍ෂුවක්‌ දේශපාලනයේ යෙදීම ඊට වඩා බොහෝ දුර ගිය ඉදිරිගාමී වැඩපිළිවෙළකි. දිනන පක්‍ෂයට හෝයියා කීම පිරිසිදු දේශපාලනය නොවේ. වාරියපොල සුමංගල හිමි, සුද්දාගේ මහනුවර මඟුල් මඩුවේදී ඉංග්‍රීසි කොඩිය ඉරා දැමුවේ ශ්‍රී ලංකා ද්වීපයෙහි ස්‌වෛරීත්වය වෙනුවෙනි. අන්තිමේදී සුමංගල හිමි අපවත් වී වදාළේ ඒ වරදට සිරබත් කමින් සිටියදීය.

කුඩහකපොල හාමුදුරුවන් අල්ලා ගත් ඉංග්‍රීසීහු රජු කවුද රජු කොහිදැයි එහිමි සොලවමින් ඇසූහ. රජුත් රටත් පාවා නොදෙමියි ස්‌ථාවරයේ සිටි කුඩහකපොල හිමියෝ නොදනිමියි කීහ. රජු සැඟව සිටින්නේ කොහිදැයි කුඩහකපොල හිමි දන්නා බව ඉංග්‍රීසිහු දැන සිටියහ. එහෙත් රහස හෙළි නොකරමින් කුඩහකපොල හිමියෝ සුද්දාගේ වෙඩි පහරට ළයදී අපවත් වී වදාළහ. ඒ රට වෙනුවෙනි.

ශ්‍රී ලංකා භික්‍ෂු ඉතිහාසය පුරා රට වෙනුවෙන් කැප වූ භික්‍ෂුන් වහන්සේලා මුණගැසේ. ඒ හිමිවරු දේශපාලනයේ නියෑලුනේ හේතු ඇතිවය. පාලකයා අධාර්මික වන විට යුක්‌තියට පිටුපාන විට රට පාවා දෙන විට ඊට එරෙහිව අරගල කළ යතිවරු මහ මගට බැස්‌සාහ. ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලබුදූවේ සිරිධම්ම හිමිගේ ගැටඹේ පන්සල වටා කටු කම්බි ගැසුවේ එහිමි ඡේ. ආර්. ගේ ඒකාධිපතිත්වයට එරෙහිව කතා කළ නිසාය.

එමෙන්ම වරප්‍රසාදවලට ලෝභී සිතින් දේශපාලන ලෝකය බදාගත් හිමිවරුද ඒ අතර සිටියහ. එම යතිවරු කුඩු, එතනෝල් දේශපාලකයන්ගේ අත්වල පිරිත් නූල් ගැට ගැසූහ. තව තවත් සොරකම් කරනු පිණිස යහතින් කල් ගෙවනු සඳහා සෙත් පිරිත් සඡ්ජායනා කළහ. ලේ ගෑවුනු අත්වලින් බෙදූ දන් පිළිගත්හ. ඒ දේශපාලකයන්ගේ බලයට නැමුණු බැවිනි. කළ හැක්‌කක්‌ නොවූ බැවිනි. එයද දේශපාලනයේ යෙදීමකි.

තවත්පෙළක්‌ සඟගණ දේශපාලකයන් වැරදි බැව් දැන දැනත් ඔහුට සුදු හුණු ගෑමේ ව්‍යාපාරයෙහි යෙදුනහ. ඒ වරප්‍රසාද පිණිසය. සැප සම්පත් පිණිසය. පන්සලට අලි පැටියෙක්‌ ලබා ගැනීම වැනි ලාමක කාරණාවලටය.

මාදුළුවාවේ සෝභිත හිමියෝ දිදුලන්නේ මෙවැනි සඟ ගණ මැදය. උන්වහන්සේ දේශපාලනයේ යෙදුනහ. එහිමි දේශපාලන අතීතයකින් පිළිපන් සඟ නමකි. එහිමි තරුණ කළ විද්යෝද්‍ය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පදවිය දැරූවෙකි. විශ්වවිද්‍යාලයක මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ධුරයට පත්වීම විරල දුලභ ස්‌ථානයකි.

මෑත ඉතිහාසයේ පරාජය කළ නොහැකිම දේශපාලනඥයා මහින්ද රාජපක්‍ෂ මහතාය. මාදුළුවාවේ සෝභිත හිමි රාජපක්‍ෂ පාලනය බිඳ හෙළීමට ප්‍රමුඛවම වැඩ කොටසක්‌ ඉටුකළ භික්‍ෂුන් වහන්සේය. වරෙක පොදු අපේක්‍ෂකයා ලෙසද එහිමිගේ නම යෝජනා විය.

රාජපක්‍ෂ පාලනය බිඳ වැට්‌ටවීමෙන් සෝභිත හාමුදුරුවෝ අපේක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පැරදවීම නොව ඒ වන විට දූෂිත වී තිබුණු දේශපාලන සමාජය නව ප්‍රතිසංස්‌කරණයකට පොළඹවා පිරිසිදු දේශපාලන සක්‌මන් මළුවක්‌ නිර්මාණය කර ගැනීමය. සෝභිත හිමි තුළ තිබුණේ ජනාධිපති පදවිය අහෝසි කිරීම, සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කිරීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කර ගැනීම වැනි යහපත් ප්‍රාර්ථනාය. එසේ නොමැතිව මහින්ද රාජපක්‍ෂ පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන රජ කරවීමේ කොන්ත්‍රාත්තුවක්‌ නොවේ. උන්වහන්සේ "සාධාරණ සමාජයක්‌" යන තේමාවෙන් අදහස්‌ කළේ කණ්‌ඩායමක්‌ බිම හෙළා තව කණ්‌ඩායමක්‌ රජ කරවීම නොවේ.

කබල රත් වූ වෙලාවේ රොටිය බා ගන්න යෑයි උන්වහන්සේ හඬ නැගුවේ මූලික කාර්යය ජනාධිපති පදවිය අහෝසි කරගත යුතුය යන මතයේ පිහිටාය. කොන්ත්‍රාත්කරුවකු වූයේ නම් උන්වහන්සේට තිබුණේ දෙන දෙයක්‌ වළඳාගෙන වෙන දෙයක්‌ බලාගෙන වැඩ හිඳින්නටය. එහෙත් උන්වහන්සේ නොනැවතුනහ. මේ යන්නේ අප අනුදැන වදාළ පාරේ නොවේයෑයි සෝභිත හාමුදුරුවෝ අලුත් ආණ්‌ඩුවට තරයේ කියා සිටියහ. මේ ක්‍රියාත්මක වන්නේ සාධාරණ සමාජයක්‌ ය යන පාඨය නොවන බැව් උන් වහන්සේ හඬ නගා කියූහ. අරගලය අනුදැන වදාළහ.

හොඳ දේශපාලන සමාජයක්‌ සඳහා නම් පිරිසිදු නායකයන් අවශ්‍යය ය. යහපත් මග පෙන්වන්නන් අවශ්‍යය. සෝභිත හාමුදුරුවන්ගේ අභාවය මෙහෙවර නිමා නොකොට නික්‌ම යැමක්‌ වන්නේ එබැවිනි.

චන්ද්‍රසිරි දොඩන්ගොඩ

http://www.divaina.com/2015/11/15/feature08.html

සබැඳි ලිපි -
[
හිමියනි, දනෝ ඔබ නැති සොවින් වැලපෙති

http://denethharinna.blogspot.com/2015/11/blog-post_60.html
]

0 comments: