Pages

Saturday, August 8, 2015

තවමත් ඩයස්‌පෝරාවේ හෝරාවය

ශ්‍රී ලංකාව තුළ එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදය ඇතිවීමත් 1983 "කළුජූලිය" ඇතිවීමත් 1987-89 භීෂණ සමයක්‌ පැවැතීමත් නිසා අප රට තුළ පමණක්‌ නොව ලොව බොහෝ රටවලටද විවිධ ප්‍රශ්න මතු විය. විශේෂයෙන්ම මෙම සිද්ධීන් හමුවේ ශ්‍රී ලංකා රජය හා ත්‍රිවිධ හමුදාව අනුගමනය කළ දැඩි ක්‍රියාමාර්ගවලින් ආරක්‍ෂා වීමට සාමාන්‍ය ජනතාවටත් වඩා ත්‍රස්‌ත ක්‍රියාවන්ට සම්බන්ධ වූවන් සරණාගතයින් ලෙස දේශපාලන රැකවරණ ඉල්ලීම විදෙස්‌ රටවල් මුහුණ දුන් ප්‍රධානම ගැටලුව විය.

මෙසේ සරණාගතයින් ලෙස විවිධ රටවල රැකවරණය ලබා පසුව එම රටවල පුරවැසිභාවයද ලබාගත් පිරිස්‌වල ක්‍රියාකාරකම් එරටවල සමාජයීය ප්‍රශ්න නිර්මාණය කරන්නටද සමත් වූ බව අදටත් විවිධ රටවලින් ලැබෙන වාර්තාවලින් පෙනෙන්නට ඇත.

2014 වර්ෂයේ මැයි මාසයේදී ඇඩ්රේට්‌ නුවර දී ඝාතනයට ලක්‌ වූ සතාසිවම් නැමැති 32 හැවිරිදි දමිළ තරුණයා ගේ මරණය සම්බන්ධයෙන් වරදකරු වී දඬුවම් ලැබුවේ සතීස්‌වරන් සූප්පයියා නැමැති 31 හැවිරිදි දමිළ තරුණයෙකි. මේ දෙදෙනාම ශ්‍රී ලාංකීය සම්භවයක්‌ ඇති වූවන්ය. මිනී මැරීමේ චෝදනාවට විසි අවුරුදු සිර දඬුවමක්‌ ලැබූ සතීස්‌වරන් හා ඔහු අතින් මැරුම් කෑ සතාසිවම්ද බිලිඳු වියේදීම සරණාගතයින් ලෙස ඕස්‌ටේ්‍රලියාවට සංක්‍රමණය වූ පවුල්වල දරුවන්ය. ඕස්‌ටේ්‍රලියාව මෙම මිනීමැරුම් නඩුවේ තීන්දුව ලබා දීමට ගත් කාලය වසර 1 1/2 ක්‌ පමණ විය. අප රටේ නම් ඒ සඳහා වසර 15 ක්‌ පමණ ගත විය හැකිය. නමුත් මේ ලිපියෙන් අප උත්සාහ කරන්නේ ඒ පිළිබඳව ගවේෂණයක්‌ කිරීමට නොවේ.

1983 පටන් දස දහස්‌ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින් දේශපාලන සරණාගතයින් ලෙස ඕස්‌ටේ්‍රලියාවට පලා යැමත් ඒ සමඟ ඇතිවූ දෙමළ ඩයස්‌පෝරාව ඕස්‌ටේ්‍රලියාවේ සැලකිය යුතු දේශපාලන "හෙට්‌ටු" බලයක්‌ ලබා ගැනීම පිළිබඳ කාරණාවත් අද සිදු වෙමින් ඇති දේශපාලන වෙනස්‌කම් පිළිබඳ අවබෝධයක්‌ ලබා ගැනීමට අත්‍යවශ්‍ය යෑයි සිතමි.

1983 වර්ෂයේ අප රටේ ඇති වූ කලු ජූලියෙන් පසුව ඕස්‌ටේ්‍රලියානු රජය (ලෝකයේ තවත් බොහෝ බටහිර රටවල් වැනි) ශ්‍රී ලංකාවෙන් පැමිණි දෙමළ සරණාගතයන්ට තාවකාලික දේශපාලන රැකවරණ දීම අනුමත කළේය. මෙයින් ප්‍රයෝජන ගත් බොහෝ දේශපාලන පිරිස්‌ ආර්ථික වාසි ලබා ගැනීම සඳහා වැඩිපුරම පිටත් වූයේ ඕස්‌ටේ්‍රලියාවටය. ඊට හේතුව වූයේ ලංකාවට ඉතා ආසන්නම දියුණු රට ඕස්‌ටේ්‍රලියාව වීමය. මේ අතර එල්. ටී. ටී. ඊ. යට හිතවත් බොහෝ පිරිස්‌ද දේශපාලන සරණාගතයින් ලෙස මෙසේ ඕස්‌ටේ්‍රලියාවට සංක්‍රමණය වූහ.

වර්ෂ 1988 දී පමණ ඕස්‌ටේ්‍රලියාව අලුත් සංක්‍රමණ රෙගුලාසියක්‌ නීතිගත කළේය. එම නව රෙගුලාසිය Reට435 ලෙස දැක්‌විණි. ඒ අනුව පැරණි යුගෝස්‌ලෝවියා, සර්බියා, කොරේෂීයා, ගොසිනියා, සහ බොන්ටිනිග්‍රෝ වලින් සංක්‍රමණය වන්නන්ට තාවකාලික වීසා ලබා දෙන්නට කටයුතු කළේය. නව රෙගුලාසියට අනුව මෙම තාවකාලික වීසා ලබා දීමට කිසිදු විභාගයක්‌ නොපැවැත්වීය.

අපේ රටේ කළු ජූලියට පින්සිදුවන්නට දෙමළ සරණාගතයින් දහස්‌ ගණනින් ඔස්‌ටේ්‍රලියාවේ නිත්‍ය පදිංචි කරුවන් විය. සිඩ්නි නුවර ඔම්බ්‍රස්‌ උප නගරය සමහරු හඳුන්වන්නේ පුංචි යාපනය නමිනි. 1987 පටන් ආරම්භ වූ භීෂණය නිසා සිංහල තරුණයින්ද දේශපාලන සරණාගතයින් ලෙස ඕස්‌ටේ්‍රලියාවට සංක්‍රමණය වූහ. සිංහල තරුණයින් සඳහන් කළේ තමන්ට ඡේ. වී. පී. ලේබලය අලවා මර්දනය කරන බවය. එමෙන්ම 1991 නොවැම්බර් සිට 1992 ජනවාරි දක්‌වා ලෝක ක්‍රිකට්‌ කුසලාන තරගය පැවැත්වූයේ ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තයේය. ඒ දෙරට සම සත්කාරක රාජ්‍යයන් විය. මේ අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත් ශ්‍රී ලාංකික තරුණයෝ ක්‍රිකට්‌ තරග නරඹන බව කියා වීසා ලබා ගත්තෝය. මේ අයුරින් නීත්‍යානුකූලව ඕස්‌ටේ්‍රලියාවට ඇතුළු වූ බොහෝ දෙනෙක්‌ තමන්ට ලංකා රජය ඡේ. වී. පී. ලේබලය අලවා දඬුවම් කරන බව සඳහන් කරමින් සරණාගත අයදුම්පත් ඉදිරිපත් කළේය.

මෙහිදී එක්‌ සිදුවීමක්‌ ගැන පමණක්‌ සඳහන් කරමි. මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේ තරුණයකු දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේ තමන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ආධාරකරුවකු නිසා ප්‍රදේශයේ දේශපාලන බලවතුන් තමන්ට ඡේ. වී. පී. හංවඩුව ගසා කරදර හිරිහැර කරන බවය. ඔහුගේ පැමිණිල්ල සකස්‌ කර තිබුණේ ඕස්‌ටේ්‍රලියාවට සංක්‍රමණය වී සිටි නීතිඥ කුමාර බිබිලේ මහතාය. ඔහු කීර්තිමත් වෛද්‍ය සේනක බිබිලේ මහතාගේ බාල සොහොයුරාය. එම විභාගයේදී සාක්‍ෂියක්‌ වශයෙන් පළාත් සභා මංත්‍රී මල්ලිමාආරච්චි මහතා පළාත් සභාවේදී කරන ලද ප්‍රකාශයක්‌ද ඉදිරිපත් කර තිබුණි. මල්ලිමාරච්චි මහතාගේ සොයුරෙකු එකල රජයේ විරුද්ධවාදීන් අතින් මරණයට පත් විය.

මල්ලිමාරච්චි මහතා පළාත් සභාවේදී කරන ලද කථාව මෙසේය. "මගේ සහෝදරයා මරා දැමූ අවස්‌ථාවේ ප්‍රදේශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ මා හමුවට පැමිණ කීවේ "සර් කොල්ලෝ ගොඩක්‌ අල්ලලා ගෙනවිත් ඉන්නවා. උන්ගෙන් හත් අටදෙනෙක්‌ මරල පාරට දාන්නද? එවිට මා ඔහුගෙන් ඇසුවේ එහෙම කළොත් මල්ලිට පණ එනවාද කියාය. මා තව දුරටත් කීවේ පොලිසියයි උනුයි දෙගොල්ලම කරපු අපරාධ ඇති. ඕවා නවත්වන්න කියාය.

සරණාගත අයදුම්පතට අමුණා තිබූ මෙම ප්‍රකාශය පිළිගැනීමට සරණාගත අධිකරණය සූදානම් නොවීය. අධිකරණ නිලධාරීන් මෙම අයදුම්පත විභාගය සතියකට කල් දමා ඕස්‌ටේ්‍රලියානු බුද්ධි අංශයට දැන්වූයේ මෙම ප්‍රකාශනයේ නිරවද්‍යතාව තහවුරු කර ගෙන ඉදිරිපත් කරන ලෙසය. මල්ලිමාරච්චි මහතාගේ ප්‍රකාශය සත්‍ය බව ඕස්‌ටේ්‍රලියානු බුද්ධි අංශ වාර්තා කිරීම නිසා තරුණයාට සරණාගත ස්‌ථීර පදිංචිය ලැබිණි. අප මේ ලිපියේ මුලින් සඳහන් කළ ඕස්‌ටේ්‍රලියාවේ සරණාගත රෙගුලාසි 435 යටතේ බොහෝ සිංහල තරුණයින්ද ඕස්‌ටේ්‍රලියාවේ දේශපාලන රැකවරණ ලබා ගත්හ.

මේ අතර තවත් බෝම්බයක්‌ පිපිරුණේය. මෙල්බර්න් නුවර පළවන ෆ්‍රන්ට්‌ලයින් මාසික සඟරාවේ පළ වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනය පිළිබඳ වාර්තාව මහත් ආන්දොලනයක්‌ ඇති කළේය. ඒ 1993 වර්ෂයේදීය. එම වාර්තාවෙන් කියවුණේ ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වූ තැන වෙඩි පහරකින් මියගොස්‌ සිටි තරුණයා රගුනාදන් නැමැත්තෙකු බවත් ඔහු කැනඩාව බලා යාමට අවශ්‍ය පාස්‌පෝට්‌ ආදිය ගැනීමට කොළඹට ආ තරුණයකු බවත්ය. එහෙත් මේ පිළිබඳ පසුව වාර්තා වූයේ රගුනාදන් කොළඹ ලැගුම්හලක සිට අත්අඩංගුවට ගෙන පොලිසියෙන් වෙඩි තබා ලලිත් ඇතුලත්මුදලි මහතා ඝාතනය වූ ස්‌ථානයට ගෙනවිත් දමා ඇති බවය. රගුනාදන්ගේ ජාතික හැඳුනුම්පතද එහි තිබීම විශේෂත්වයකි. මෙම සිද්ධිය දෙමළ ඩයස්‌පෝරාව ලොව ශක්‌තිමත් කිරීමට ප්‍රබල හේතුවක්‌ද විය.

දෙමළ ඩයස්‌ පෝරාව විදේශ රටවල ක්‍රියාත්මක වූයේ දෙමළ පුනරුත්ථාපන සංගමය නමිනි. විදේශවලදී මේ සඳහා විශාල වශයෙන් මුදල් එකතු කළ අතර කැමැත්තෙන් මෙන්ම අකමැත්තෙන්ද මුදල් ලබා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

ආචාර්ය ඒ. කන්දයියා මහතා එවකට ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාගේ සිංහල කථාවක්‌ දෙමළට පරිවර්තනය කළ අයෙකි. ඔහුගේ නිවස ගිනි බත් වීම නිසා ඔහු හා ඔහුගේ පවුලද සරණාගතයින් ලෙස ඕස්‌ටේ්‍රලියාවට ගොස්‌ පදිංචි වී ආදායම ලෙස නාට්‍ය පංතියක්‌ පවත්වාගෙන ගියේ කන්දයියා මහතාගේ බිරිඳය. ඇය භාරත නාට්‍ය කලාව පිළිබඳ දක්‍ෂ තැනැත්තියක වූවාය. එම නාට්‍ය පංතියේ ළමුන්ගෙන් අයකරන මුදලින් 10% ක්‌ ඩයස්‌ පෝරාවට දීමට ඔවුන්ට සිදු විය. මේ ආකාරයෙන් මුදල් එකතු කළ ඔවුහු ශ්‍රී ලංකාවට විරුද්ධව විශාල ප්‍රචාරයක්‌ ගෙන ගියෝය. ඩයස්‌පෝරාවේ ගුවන් විදුලි සේවා 30 කට වැඩි ප්‍රමාණයක්‌ ක්‍රියාත්මක වූ අතර ටැමිල් ගාර්ඩියන් පුවත්පතද දහස්‌ ගණනින් අලෙවි විය.

1983 වර්ෂයේ ජූලි 19 දින ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති විසින් ලන්ඩන් ඩේලි ටෙලිග්‍රාෆ්ට්‌ පුවත්පතේ ග්‍රැහැම්වොඩ් නැමැති මාධ්‍යවේදියා සමඟ කළ සාකච්ඡාවේ එක දෙයක්‌ නිතර නිතර එම පුවත් පතේ පළ විය. එම දෙය මෙසේය. යාපනයේ මිනිසුන්ගේ සිතුවිලි ගැන හෝ ඔවුන් අප ගැන සිතන දේ ගැන කල්පනා කිරීමට අපට අවස්‌ථාවක්‌ නෑ. සිංහල ජනයාගේද ඉවසීමේ සීමාවක්‌ ඇත.

මේ ප්‍රකාශය නිතර නිතර පළකරන අතර 2010 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එවකට ජෙනරල් සරත් ෆොන්සේකා මහතා තරග කරන බව ප්‍රකාශ වීමෙන් ඒ පිළිබඳව ටැමිල් ගාර්ඩියන් පුවත්පත යෝද සිරස්‌තලයකින් එම පුවත්පතට ප්‍රසිද්ධියක්‌ ලබා දී තිබිණි. එම සිරස්‌තලය වූයේ (Dදටි eaඑs dදටි) බල්ලෝ බලු මස්‌ කති යනුවෙනි. මේ පසුබිම තුළ ඩයස්‌පෝරාව ක්‍රියාත්මක වූයේ මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමටය. 2014 නොවැම්බර් අග හෝ දෙසැම්බර් මුල ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවියේ මෙසේ සඳහන් විය.

දෙමළ ජනතාවට මිත්‍ර්‍රශීලී නොවූ බෞද්ධ භික්‍ෂුවක්‌ පොදු අපේක්‍ෂකයකු වශයෙන් ඉදිරිපත් නොකිරීමට ලංකාවේ ප්‍රධාන පක්‍ෂය ගත් තීරණය සතුටුයි. දැන් ඉදිරිපත් වන අපේක්‍ෂකයා කවුරු වුණත් ජනාධිපතිවරණය වර්ජනය නොකර වත්මන් ජනාධිපති දෙමළ ජනතාව පිළිනොගන්නා බව සංවිධානාත්මකව පෙන්වා දිය යුතුය යනුවෙනි.

අද ඩයස්‌පෝරාව අමුතු ක්‍රියා මාර්ගයක්‌ අනුගමනය කරන බව පෙනේ. 1948 දෙසැම්බර් එස්‌. ඡේ. වී චෙල්වනායගම් හා සී. වන්නිසිංහ ඉදිරිපත් කළ ෆෙඩරල් සටන් පාඨය යළිත් කරළියට පැමිණ තිබේ. ඕස්‌ටේ්‍රලියාවේ පළවන "සන්නස" මාසික සඟරාවේ කුට්‌ටම් පොකුණ නමින් ජනප්‍රිය තීරු ලිපියක්‌ පළවේ. එය ලියන්නේ ලක්‍ෂ්මන් කොඩිතුවක්‌කුය. යුද්ධය අවසන් වී මාස දෙක තුන කට පසු එනම් 2009 සැප්තැම්බර් ඔක්‌තෝබර් කලාපයේ පළ වූ ලිපියේ එක්‌ කොටසක්‌ උපුටා ගත්තේ මේ ලිපිය අවසන් කරන්නටය. එය මෙසේය.

දැන් ජයග්‍රහණය පිළිබඳ පුන පුනා කීම නැවැත්විය යුතුය. ප්‍රමුඛතාව ලෙස සැලකිය යුත්තේ දෙමළ ජනතාවට සාධාරණව බලය බෙදීමේ ක්‍රමයක්‌ පිළිබඳ එකඟතාවක්‌ ඇති කිරීමය. සංහිඳියාව අතවශ්‍යය. ඥනාන්විතව ක්‍රියා නොකළහොත් මී ළඟට නැගී එන්නේ "ප්‍රභාකරන්" නැමැති ත්‍රස්‌තවාදීයෙකු නොව "ගාන්ධි" කෙනෙකි. අහිංසාවාදී ගාන්ධි කෙනකු පරාජය කිරීම ජාතිවාදී ත්‍රස්‌තවාදින් පරාජය කිරීමට වඩා අසීරු බව ඉතිහාසය පෙන්වා දී ඇත.

සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/08/07/feature02.html

Pic Source

0 comments: