Pages

Saturday, August 29, 2015

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌! දැන්වත් බෞද්ධ නායකයන් රට වෙනුවෙන් එක්‌විය යුතුයි - ෆයිසාල් රශීන්

ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨ බෞද්ධ රටක්‌ බවත් රටේ බෞද්ධ නායකයන් එදා සිටම එකාට එකා කුලල් කා ගැනීම හේතුවෙන් බොහෝ ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයන් රැසක්‌ රටට අහිමි වී විනාශව ගිය බවත් රටේ වර්තමාන දේශපාලන වාතාවරණය අනුව බෞද්ධ නායකයන් බුද්ධිමත් තීරණයක්‌ ගත යුතු බවට තමා අවධාරණය කරන බවත් හම්බන්තොට ලොව ප්‍රථම සුනාමි ගමේදී පැවැති විශේෂ උත්සවයකදී එහි නිර්මාතෘ හිටපු ඉරාන තානාපති සාම බළකායේ නායක රශීන් මහතා පැවැසීය.

පක්‍ෂ පාට කුමක්‌ වුවත් ලංකාවේ ඉතිහාසය බලන විට බෞද්ධ නායකයන් එකිනෙකා කුලල් කා ගැනීම හේතුවෙන් එස්‌. ඩබ්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ කාලයේ පටන් ආර්. ප්‍රේමදාස, ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, විජය කුමාරතුංග, රන්ජන් විඡේරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න, රෝහණ විජයවීර යන ශ්‍රේෂ්ඨ බෞද්ධ මොළ රාශියක්‌ අපට අහිමි වූ බවද රශීන් මහතා මෙහිදී පැවසීය.


හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධය ජයග්‍රහණය කර, රට සීග්‍ර සංවර්ධනයක්‌ කර ගෙන ගිය අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු බවත් එතුමාගේ සේවය මතුවටත් රටට අවශ්‍ය බවත් මෙහිදී පෙන්වා දුන් රශීන් මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද දේශපාලන අත්දැකීම් බහුල ශ්‍රේෂ්ඨ බෞද්ධ නායකයකු බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර දේශපාලන අත්දැකීම් ඇති ප්‍රබල ශ්‍රේෂ්ඨ නායකයකු බවත් කියා සිටියේය.

ශ්‍රේෂ්ඨ බුදු දහමේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ. යන බුදු වැකියට අනුව අතීතය අමතක කර රටේ අනාගතය හා මතු පරපුර වෙනුවෙන් වත් මෙම ශ්‍රේෂ්ඨ නායකයන් තිදෙනා එකතු වී රට ගොඩනඟන්නට කටයුතු කරන්නේ නම් එය මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට කරන ගෞරවයක්‌ බවත් රශීන් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. මහනුවර මල්වතු මහා නායක හිමිවරුන්ගේ අනුශාසනා මත මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ සහ තීනියාවල පාලිත නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම යටතේ සහ අනෙකුත් රටේ ප්‍රධාන පන්සල් නායක හාමුදුරුවන්ගේ මග පෙන්වීම් මත ශ්‍රේෂ්ඨ වූ බෞද්ධ නායකයන් එකමුතු කිරීමේ ව්‍යාපාරයක්‌ වහාම ඇරඹිය යුතු බවද මෙහිදී රශීන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මෙම උත්සවය සඳහා සිංහල, මුස්‌ලිම්, දෙමළ, සියලු ජාතීන් විශාල පිරිසක්‌ සහභාගි වූහ.

වසන්ත ලියනගේ
http://www.divaina.com/2015/08/28/news29.html

Pic Source

0 comments: