Pages

Saturday, August 8, 2015

වන විනාශය නිසා මාතලේ තෙත් කලාපයෙන් වියළි කලාපයට

වනාන්තර විනාශය සහ ශීඝ්‍ර සංවර්ධනය නිසා මාතලේ දිස්‌ත්‍රික්‌කයේ තෙත් කලාපයට අයත් ප්‍රදේශ වියළි බවට පත් වෙමින් පවතින බව ග්‍රැපෙක්‌ ශ්‍රී ලංකා පරිසර සංවිධානයේ අධ්‍යක්‍ෂ ගාමිණි ජයතිස්‌ස මහතා පවසයි.

වියළි දේශගුණික කලාපවල ජීවත් වූ මොණරුන්, කෑදැත්තන්, උරගයින් ඇතුළු වන සතුන් ගණනාවක්‌ මේ වන විට එම කලාපය අතහැර මාතලේ නගරයට සහ තෙත් වනාන්තර කලාපවලට සංක්‍රමණයවීමෙන් ඒ බව පැහැදිලි යෑයිද ඒ මහතා පැවසීය.

විල්ගමුව, ලග්ගල, දඹුල්ල, ගලේවෙල, නාඋල ප්‍රදේශවල රක්‌ෂිත කලාප නිජ බිම් කරගෙන සිටි වන සතුන් එම කලාපවල වියළි බව දරා ගත නොහැකිව, මාතලේ රත්තොට, අඹන්ගඟ කෝරළය, පල්ලේපොල, යටවත්ත ප්‍රදේශවලට සංක්‍රමණයවී සිටින බවද ජයතිස්‌ස මහතා පැවසීය.

තෙත් දේශගුණික කලාපයට සංක්‍රමණවී සිටින මොණරුන්ගෙන් වී සහ අතිරේක භෝග වගාවන් රැක ගැනීම බරපතල ප්‍රශ්නයක්‌ බවට පත්ව තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. ආහාර සහ ජල හිඟයෙන් අහේනියට පත්ව සංක්‍රමණයවී සිටි වල් අලින් නිසා දේපළ හානි, වගා හානි මෙන්ම ජීවිත තර්ජන හට ගෙන ඇති බව ද ප්‍රදේශවාසීහු පවසති.

වනාන්තර විනාශය, ශීඝ්‍ර සංවර්ධනය, ජනපද ආරම්භ කිරීම ආදී කටයුතු වන සතුන් නිජබිම් අතහැර වෙනත් කලාපවලට සංක්‍රමණයවීමට බලපා ඇති බවත් මේ නිසා වන සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක්‌ එල්ලවී තිබෙන බවත් ජයතිස්‌ස මහතා පැවසීය.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2015/08/07/provin04.html

Pic Source

0 comments: