Pages

Thursday, August 13, 2015

උතුරට වෙනම ෆෙඩරල් රාජ්‍යයක්‌ ඉල්ලන විට...

මැතිවරණය ළඟ ළඟම එන විට 'බළලා මල්ලෙන් එළියට පනින' මට්‌ටමේ කතා වැඩිපුර ඇසුනේ උතුරෙනි. උතුරු පළාත් අධ්‍යාපන ඇමැති ටී. කුරකුලරාජා තවත් අලුත් කතාවක්‌ කර තිබිණි. කුරකුලරාජා කියා තිබුණේ දෙමළ ජනතාව වෙනුවෙන් උතුරේ වෙනම රාජ්‍යයක්‌ පිහිටුවීම යුගයේ අත්‍යවශ්‍ය කරුණක්‌ වී ඇති බව ය. ඉදිරි පරම්පරාව වෙනුවෙන් උතුර ආරක්‍ෂා කළ යුතු බවත්, එය කළ හැක්‌කේ වෙනම රාජ්‍යයක්‌ බිහිකරමින් බවත් කුරකුලරාජා කියා තිබිණි.

මෑතකදී දෙමළ සන්ධානයේ සුමන්තිරන් කියා තිබුණේ 'රට දෙකඩ' කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බවය. කට බොරු කීවද දිව බොරු කියන්නේ නැතැයි 'සිංහල' කියමනක්‌ ඇත්තේ මෙවැනි දෙබඩි කතා වලටය. කොහොමත් දෙමළ සන්ධානය රටට කියන දේට වඩා වෙනස්‌ කතාවක්‌ තමන්ගේ කුලකය තුළ සමාජගත කරන බව රහසක්‌ නොවේ. වෙනසකට වූයේ එය පසුගිය මාස කිහිපය තුළ එළිපිට නටන නාඩගමක්‌ බවට පත්වීම පමණකි. ටී.එන්.ඒ. කට්‌ටියගේ හංගා ගහන උපක්‍රමශීලී කතා කුරකුලරාජාට වැරදී ගියා වන්නට පිළිවන. එසේ වූ පමණින් අප ඔහු කුර - කුලයේ රාජා කෙනෙකු හැටියට හඳුන්වන්නේ නැත.

රාජා පමණක්‌ නොව, ටී.එන්.ඒ. හිටපු මන්ත්‍රී ශ්‍රීධරන් ද අමුතු කතාවක්‌ කියා තිබිණි. මේ අමුතු හාදයා කියන හැටියට අගෝස්‌තු 17 වැනිදායින් පසු යුද අපරාධ කළ නායකයන් හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ගෙන් 'පළිගැනීමට' නියමිතය. ශ්‍රීධරන් කියන හැටියට දෙමළ ජනතාව වෙනුවෙන් දිවි පිදූ කොටි සාමාජිකයන්ට සාධාරණය ඉටු කිරීම පිණිස හිටපු ජනාධිපතිවරයා හා ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව ජාත්‍යන්තර විමර්ශනයක්‌ කර දඬුවම් පැමිණවීමට කටයුතු කළ යුතුය. රාජාට සමාන කතාවක්‌ ශ්‍රීධරන් ද කියන්නේය. ඒ, 2016 වසරේදී උතුරු - නැඟෙනහිර පළාත් ඒකාබද්ධ කොට සියලු බලතල විමධ්‍යගත කරමින් ෆෙඩරල් පාලනයක්‌ ගෙන එන බවය.

ශ්‍රී ධරන් 'පලිගැනීමට' හිතන කාරණයට සාපේක්‍ෂව ගතහොත්, ප්‍රභාකරන් හා ඔහුගේ මිනීමරු හමුදාව දකුණේ කළ ම්ලේච්ඡ ඝාතනවලට දකුණේ ජනතාව ද පළිගැනීමට සිතුවේ නම් තත්ත්වය කවර අතට හැරේවි ද? අද ටී.එන්.ඒ. දේශපාලනය කරන්නෙත්, හිටපු කොටි සාමාජිකයන් (ප්‍රභාකරන්ගේ රියෑදුරා පවා) ඡන්දය ඉල්ලන්නෙත්, ආරක්‍ෂක අංශවලට බැඳී කටයුතු කරන්නෙත්, සංහිඳියාව වෙනුවෙන් බොහෝ පරිත්‍යාගයන් කරන දකුණේ ජනතාව නිසා ය. යුද්ධය අවසන් වූ සැනින් දකුණේ ජන ජීවිතය ගොඩනඟන්නට කැප වූයේ හිටපු කොටි සාමාජිකයන් නොව ආරක්‍ෂක හමුදාවය. ටී.එන්.ඒ. එදත් අදත් කවදත් කරන්නේ අවස්‌ථාවාදී දේශපාලනය පමණි.

මෙය ටී.එන්.ඒ. පෙරමුණට පමණක්‌ පොදු කාරණයක්‌ නොවේ. 1949 සිට දලු ලා වැඩුණු දෙමළ ජාතිවාදී දේශපාලන පක්‍ෂ වලත් ඒවායේ නායකයන්ටත් පොදු ධර්මතාවකි. දෙමළ ජනතාවට ඊනියා විමුක්‌තියක්‌ පෙන්වමින් අන්තවාදයත්, අවස්‌ථාවාදයත් වැපිරීම හැර අන් මඟක්‌ මේ නායකයන්ටත් දේශපාලන පක්‍ෂ වලටත් නැත. ෆෙඩරල් කතාව මෑත කාලයේ මුලින්ම කරළියට ගෙන ඇති ප්‍රභාකරන්ගේ මස්‌සිනා වර්ගයේ නෑයකු වන 'ශිවාජිලිංගම්' ය. දැන් මේ කතාව බෝවන රෝගයක්‌ ගානට පැතිර යමින් පවතින බව පෙනේ. තවත් ටික දිනකින් උතුරේ තෝරාගත් තරුණ පිරිසකටත් මොළය සෝදන්නට ද මේ කතාව යොදා ගන්නට හැකිය. මේ ෆෙඩරල් කතා නිකං කට කතාවට කියන කතා ද නොවේ. මැතිවරණය ඉලක්‌ක කරගෙන තමන්ගේ ඡන්ද වැඩිකර ගැනීමේ අරමුණින් කියන කතාවක්‌ ද නොවේ. මේ සමඟ නැවත ජාත්‍යන්තර වශයෙන් එන කුමන්ත්‍රණ, අතපෙවීම්වල මුට්‌ටිය දමා බැලීමේ සෙල්ලම් ද තිබේ. ජාත්‍යන්තර කුමන්ත්‍රණ කී පමණින් අවඥාවෙන් සිනාසෙන උන්නාන්සේලාට කතාවේ අන්තිම හරියත් හොඳම හරියත් තේරෙනවිට පෙරහැර ගොස්‌ අලි බෙටි ද ඉවත් කර අවසන් බව පමණක්‌ සිහිපත් කර සිටින්නට කැමැත්තෙමු.

උතුරට වෙනම රාජ්‍යයක්‌ ඉල්ලන විටත්, ෆෙඩරල් අවශ්‍ය බව, දිගින් දිගටම කියනවිට ඒවා 'ජෝක්‌' හැටියට බාරගන්නා 'දැන උගත්' මහත්වරුන් ගේ න්‍යාය පත්‍රය කුමක්‌ දැයි අප අහන්නේ නැත.

එහෙත් මේ වන විට කාට කාටත් වරක්‌ දෙවරක්‌ නොව සිය දහස්‌ වාරයක්‌ සිතන්නට සහ ක්‍රියාත්මක වන්නට තරම් සංඥා නිකුත් වී අවසන්ය. 'ශ්‍රීධරන් අගෝස්‌තු 17 වැනිදායින් පසු' යනුවෙන් කැට තබා කියන්නේ ආවාට ගියාට නොවේ. කුර - කුල රාජා, උතුර ආරක්‍ෂා කළ යුතු යෑයි කියන්නේ නිකම්ම නොවේ.

http://www.divaina.com/2015/08/13/editor.html

Pic Source

1 comments:

samakayawate said...

ඔවුන් ජාතිවාදය අත හැර නැත. වෙනම රටක් සංකල්පයද අතහැර නොමැත