Pages

Sunday, May 8, 2016

ත්‍රස්‌තවාදීන්ගෙන් රට මුදාගැනීමට උරදුන් සේරුවිල සරණකිත්ති නාහිමි

මුළු රටම වෙලාගෙන සිටි බිහිසුණු දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රධාන ඉලක්‌කය වූයේ ත්‍රිකුණාමලය වරාය ඇතුළු ස්‌වාභාවික සම්පත් වලින් අනූන නැගෙනහිර පළාත අත්පත් කර ගැනීමයි. ඊට එරෙහිව නැගෙනහිර පළාතේ රැඳී සිටිමින් ක්‍රියාත්මක වූ ප්‍රධානතම පුද්ගලයා වූයේ සේරුවිල සරණකිත්ති නාහිමිපාණන්ය. උන්වහන්සේ අපට මුලින්ම හමුවූයේ 1986 වර්ෂයේදීය. දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ භාණ්‌ඩාගාරික මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ යොමු කිරීම මත අප භික්‌ෂු පෙරමුණේ භික්‌ෂුන් වහන්සේ තිස්‌නමක්‌ පමණ එදා සේරුවිල පුදබිමට ගියෙමු. අප රැගත් බස්‌ රථය කන්තලේට ළඟා වී අප ඊට කලින් එහි නොගිය බැවින් පොලිසියෙන් පාර අසද්දී ඔවුන් තැතිගෙන කීවේ දැන් එහි සිවිල් කවුරුවත් යන්නේ නැහැයි කියලයි. එහෙත් අපි එහි ගියෙමු. කොටි තර්ජන තදින්ම පැවති කන්තලේ සේරුවිල මාර්ගයේ කි. මී. අටක්‌ පමණ අපට පයින් යැමට සිදුවිණි. ඒ සියලු දුෂ්කරතාවලට මුහුණ දී සරණකිත්ති නාහිමියන් පුදබිම හා ප්‍රදේශය අතනොහැර රැඳී සිටි නිසාම එම ප්‍රදේශයේ ජනතාවද ප්‍රදේශය අතහැර නොගොස්‌ රැඳී සිටියහ. එය ආරක්‌ෂක හමුදාවන්ට ත්‍රස්‌තවාදීන් මර්දනය කිරීමට මහා ශක්‌තියක්‌ විය.

සේරුවිල කන්තලේ මාර්ගයේ පස්‌වතාවක්‌ම සේරුවිල නාහිමියන් ඝාතනය කිරීමට කොටි ත්‍රස්‌ තවාදීන් බෝම්බ පුපුරවා තිබුණි. ඇතැම් අවස්‌ථාවලදී එම බෝම්බ පුපුරා වාහනවලින් ගමන්ගත් මිනිසුන්ගේ කෑලි විසිවී යනු පසුපස ජීප් රියෙන් පැමිණි නාහිමියන්ට දැකගැනීමට සිදු වූ බව උන්වහන්සේ අප සමඟ පවසා ඇත. කොටින්ගේ ඉලක්‌කය "පෙරියසාමි" (සේරුවිල නාහිමියන්ම) බව කොටි පණිවුඩ මඟින් නාහිමියන්ට දැනගන්නට ලැබී තිබුණි.

මෙසේ අනතුරුවලට මැදිව වැඩසිටියදී ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති, ආර්. ප්‍රේමදාස ජනාධිපති, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය ඇතුළු දේශපාලන නායකයන් ප්‍රදේශය අතහැර කොළඹට වැඩම කරන ලෙස සරණකිත්ති නාහිමියන්ගෙන් ප්‍රබල ඉල්ලීම් කළත් උන්වහන්සේ කිසි විටෙකත් සේරුවිල පුදබිම හා අහිංසක ජනතාව අතහැරදමා දිවිගලවා ගැනීම උදෙසා බැහැර යැමට සිතුවේවත් නැත. දේශපාලකයන් උන්වහන්සේ බැහැරට යැමට හෙලිකොප්ටරයක්‌ යෑවූ අවස්‌ථාවක දුන් පිsළිතුර මෙසේය. "මං මේ ලෝකෙට එනවිට ගෙනා ටිකට්‌ එකක්‌ තියෙනවා ඒ ටිකට්‌ එකට හිමි ගුවන් යානය ආපු දිනක මං යනවා. එහෙම නැතිව ඔය එක එක ගුවන් යානාවලින් යන්න මං සූදානම් නැහැ" යනුවෙනි.

නාහිමිපාණන්ට අවශ්‍ය වූයේ තම පරාණය බේරා ගැනීමට නොවේ. ඓතිහාසික උරුමය රැක ගැනීමටයි. අහිංසක ජනතාවට ශක්‌තියක්‌ වී ආරක්‌ෂක අංශවලටද මඟ පෙන්වමින් සේරුවිල පුදබිමෙහි රැඳී සිටීමයි. එසේ රැඳී සිටිමින් ජනතාව සුවපත් කිරීමයි. ජනතාවට ආහාරපාන නොමැති අවස්‌ථාවලදී තමන් වහන්සේට සම්බන්ධ කොළඹ ආදී පළාත්වල ව්‍යාපාරිකයන්ට හා හිතවතුන්ට දන්වා ආහාරපාන ලබා දුන්හ. සේරුවිල ආරෝග්‍යශාලාව පන්සලට අයත් භූමියෙහි හදා අවශ්‍ය බෙහෙත් හා උපකරණ ද ලබාදී රෝගීන් සුවපත් කිරීමට වෙහෙසී ක්‍රියා කළහ. ඇතැම් අවස්‌ථාවලදී වෛද්‍යවරයා වූයේද උන්වහන්සේය.

ප්‍රදේශයේ ජනතාව රඳවා තබා ගැනීමට අදාළ සියලු කටයුතුවලට සරණකිත්ති නාහිමියන්ගේ නායකත්වය ලබා දුන්හ. දහම් පාසල් හා පාසල් පවත්වාගෙන යැම, ගොවි සමිති හා විවිධ සමිති පිහිටුවා එමඟින් ජනතාවට සහන සලසාදීම, තරුණයන්ට අවි පුහුණුව හමුදාව මඟින් ලබාදී ගම් රැකගැනීමට පියවර ගැනීම වාර්ෂික සේරුවිල නිකිණි මහා පිංකම ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීම වැනි කාර්යයන් රාශියක්‌ම ඉටු කළේ මහා වීරපුරුෂයකුගේ චරිතය ප්‍රදර්ශනය කරමිනි. දේශප්‍රේමී භික්‌ෂු පෙරමුණ වශයෙන් අපටද උන්වහන්සේ ඒ උදාර මෙහෙවරට උපකාර වීමට හැකි වීම ගැන සිතා අදටත් අපට සතුටු වීමට හැකිය.

භය යනු පාපයක්‌ ලෙස ධර්මානුකූලව හැදින සිටි නාහිමිපාණන් ත්‍රස්‌තවාදීන් හමුවෙහි අභීත කේසර සිංහරාජයෙක්‌ වූහ. එහෙත් ජනදුක හමුවෙහි උන්වහන්සේගේ හදවත වෙඬරුපිඩක්‌ මෙන් උණු විය. එම ප්‍රදේශයේ සිංහල දෙමළ හා මුස්‌ලිම් සැමට එක ලෙස පිහිට වූහ. එම නිර්භයකම හා කාරුණික ගුණය උන්වහන්සේට උරුම වූයේ තම ආචාර්යපාදොත්තම සේරුවිල පුදබිම සොයාගෙන සංවර්ධනය කළ දඹගස්‌ආරේ ශ්‍රී සුමේධකාර නාහිමිපාණන්ගෙන් බව නොයෙක්‌ විට අප සමඟ ප්‍රකාශ කර ඇත. අදත් අතීතයේ සිට රට දැය සමය රැකගත් අභීත එඩිතර සිංහල භික්‌ෂුන් වහන්සේගේ ප්‍රතිරූපය සේරුවිල සරණකිත්ති හිමියන්ගෙන් අපි ප්‍රත්‍යක්‌ෂව හඳුනා ගතිමු. 

භික්‌ෂුන් වහන්සේ නමක්‌ ගැන කියද්දී උපත, පැවිද්ද, උපසම්පදාව, පදවි, තනතුරු ලැබීම උගත්කම් ආදිය ගැන ලියවෙයි. අප කතා නායකයාණන් පිළිබඳව ඒ සියල්ල විවරකොට දැක්‌විය හැකිය. එහෙත් ඒ සියලු කරුණු අභිබවා 1983 සිට මාවිල්ආරු අමුණ කොටි වසා දැමීම හා ඉන්පසුව සිදුවූ බිහිසුණු ත්‍රස්‌තවාදය මැඬලීමට හා ජනතා සුවසෙත සැලසීමට ක්‍රියා කළ ආකාරය මතුවී පෙනෙයි. වරක්‌ උන්වහන්සේ ජනතා සුවසෙත වෙනුවෙන් දිනපතා නොකඩවා වසරක්‌ පුරාම මෛත්‍රි භාවනාවද වැඩූහ. මාවිල්ආරු අමුණ කොටි වසා දැමීමත් සමඟම දෙමළ ත්‍රස්‌තවාදය මැඬලීමේ මානුෂික මෙහෙයුම ඇරඹුනේද සරණකිත්ති හිමිපාණන් වහන්සේගෙනි. එම කරුණු සඳහන් නොකළහොත් එය ලොකු අඩුවක්‌ බැවින් උන්වහන්සේට ගෞරව පිණිස එය මෙහි සඳහන් කරමු.

එදා කොටි ත්‍රස්‌තවාදීන් මාවිල්ආරු අමුණ වසා දැමීම නිසා ප්‍රදේශවාසී ජනතාවට ගොවිතැන් කිරීමට පමණක්‌ නොව බීමටද වතුර නැති විය. එම අවස්‌ථාවෙහිද නාහිමියන් තම දිවි කැපකොට උපවාසයකට වාඩි වූහ. "මාවිල්ආරු අමුණ අරිනතුරු උපවාසයෙන් නොනැගිටිමි" යන දැඩි අධිෂ්ඨානය ඇතිව උන්වහන්සේ උපවාසය ඇරඹූ බව අපට දුරකථනයෙන් දැනුම් දුන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය නමක්‌ වන මුංහේනේ මෙත්තාරාම හිමියන්ය. වහාව ක්‍රියාත්මක වූ මා එදා ආරක්‌ෂක ලේකම් වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතාට දුරකථනයෙන් කතා කළෙමි. මාවිල්ආරු අමුණ කොටි වසා දැමීම හේතු කොටගෙන එය අරිනතුරු නොනැගිටින අධිෂ්ඨානයෙන් සේරුවිල නාහිමියන් උපවාසයට වාඩි වී ඇති බවත් කොටි ත්‍රස්‌තවාදීන් කිසි විටෙකත් අමුණ නොඅරිනු ඇති බවත් කියූ විට ලේකම්තුමා දැඩි ස්‌වරයෙන් කීවේ "එහෙනම් හාමුදුරුවනේ අපි අමුණ අරිමු" කියාය. ඊට පසුදා සිටම හතරවටින් කොටින්ට ප්‍රහාර එල්ල වූයේ එතුමන්ගේ හා ජනාධිපතිතුමන්ගේ මඟ පෙන්වීමෙනි. එදා ඇරඹුණු ප්‍රහාර ක්‍රියාත්මක වී නැගෙනහිර පළාත මුදාගෙන ආරක්‌ෂක හමුදා උතුරුකරයට යොමු වී 2009 මැයි 18 වැනිදා ත්‍රස්‌තවාදය මුළුමනින්ම අවසන් කරනතුරු ක්‍රියාත්මක වූ මානුෂික මෙහෙයුමට නාහිමිපාණන්ගේ පිවිතුරු අධිෂ්ඨාන ශක්‌තිය උපකාර වූවාට කිසිදු සැකයක්‌ නැත. ඒ මහා පිනට එනම් මුළු රටම ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන රටවැසියන්ට අභයදානය දීමේ මහා පුණ්‍ය කර්මයට මුල පිරීම හා ආශිර්වාද කිරීම අපවත් වී වදාළ සේරුවිල මංගල රාජමහා විහාරය ඇතුළු විහාර ගණයේ අධිපති සේරුවිල සරණකිත්ති නාහිමිපාණන් වහන්සේට නිවන් පිණිස හේතු වේවා!!!

දේශප්‍රේමි භික්‌ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමි
http://www.divaina.com/2016/05/07/feature02.html

0 comments: