Pages

Sunday, May 8, 2016

සේරුවාවිල නාහිමිට වස දුන්නේ කව්ද?

ඉංග්‍රීසි භාෂාවෙන් Teal යනුවෙන් හඳුන්වන්නා වූද, සිංහලයෙන් සේරු යනුවෙන් හඳුන්වන්නා වූද, තාරා විශේෂයක්‌ උතුරු ඇමරිකාවේ සහ කැනඩාවේද බ්‍රිතාන්‍යයේ සහ අයර්ලන්තයේ ද ජීවත් වෙති. මනරම් නිල් පැහැති පිහාටු සහ තදවන් කලු පැහැති පිහාටුවලින් සමන්විත මේ තාරාවා සංක්‍රාමික පක්‍ෂයෙකි. ශීත කාලයට මේ පක්‍ෂීහු සැතපුම් දහස්‌ ගණන් දුර පියඹා උණුසුම් රටවලට යති. උන් ආපසු සිය රටවල් බලා යන්නේ යුරෝපයේ සහ ඇමරිකානු මහාද්වීපයේ සීත කාලය නිම වූ විටය.

මෙයට වසර දහස්‌ ගණනකට පෙර සේරු නමැති මෙකී තාරා විශේෂය නැඟෙනහිර පළාතේ පිහිටි මහවැලි ගඟේ පිටාර යන වතුර එකතුවන විල්ලුවකට සංක්‍රමණය වීමට පුරුදුව සිටියහ. ක්‍රිස්‌තු පූර්ව 2 වන සියවසේ එතැනට පැමිණි කාවන්තිස්‌ස රජතුමා විල්ලුවට යාබද භූමියෙහි මහා චෛත්‍යයක්‌ ඉදිකර භාග්‍යවත් ගෞතම බුදුන් වහන්සේගේ ලලාට ධාතුව එහි තැන්පත් කළේය. මේ විල්ලුව සහ අවට ප්‍රදේශයට සේරුවිල යන නම කාවන්තිස්‌ස රජු විසින් තබන ලද බවට මතයක්‌ තිබේ. තවත් මතයකට අනුව කාවන්තිස්‌ස රජතුමා එහි එන්නටත් පළමු එතැන නම සේරුවිලය. කෙසේ වුවද එතැන ඉදිකළ විහාර සංකීර්ණයට කාවන්තිස්‌සරජු විසින් තබන ලද නම මංගල රජමහා විහාරය ය. කාවන්තිස්‌ස රජු මංගල විහාරය ඉදි කිරීමට පෙර එතැන තිබී ඇත්තේ කාෂ්‍යප බුදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ විහාරයකි. ඊට පෙර එතැන තිබී ඇත්තේ කෝණාගම බුදුන් නමට කැප කළ උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා සහිත විහාරයකි. කකුසඳ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ විහාරයක්‌ ඊටත් පෙර එහි විය. අතිතයේදී අප ගෞතම බුදුන් වහන්සේ කාශ්‍යප බුදුන් නමට කැප වූ විහාරයට වැඩම කළ බවත්, සපුමල් අට මිටක්‌ එයට පිදූ බවත් ඉතිහාස කතාවල සඳහන් ය. මේ විහාර භූමිය මංගල විහාර භූමිය ලෙස නම් කළ යුතු බවට නිර්දේශ කළෝ ගෞතම බුදුහු යයි ද කියනු ලැබේ. ඒ උන්වහන්සේ එහි වැඩි අවස්‌ථාවේදී ය. මෙය සොළොස්‌මස්‌ථානවලින් එකකි

මේ ලිපිය ලියන මොහොත වන විට සේරුවිල මංගල රජමහා විහාරයේ අධිපති සේරුවිල සරණකිත්ති ස්‌වාමීන් වහන්සේ අපවත්ව දින කිහිපයකි. කොටින්ගෙන් පස්‌ පාරක්‌, බෝම්බ පාරවල් කෑමෙන් පසුත් අපවත් නොවූ සරණකිත්ති හාමුදුරුවන්ගේ හදිසි අපවත් වීම මේ වන විට සැකයට තුඩු දී තිබේ. අපවත් වීමට පෙර තමාට වස වර්ගයක්‌ කැවුණේ යෑයි උන්වහන්සේ පැවසූ බවට සාක්‍ෂි තිබේ. ජීවතුන් අතර සිටියදී විහාරස්‌ථානයේ දේපළ සම්බන්ධයෙන් උන්වහන්සේට නඩු කිහිපයක්‌ තිබිණි. අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ දේහය ලබා ගැනීමටත්, මංගල මහා විහාරයේ භාරකාරීත්වය ලබා ගැනීමටත් බෞද්ධ කටයුතු කොමසාරිස්‌ගේ මේසය ඉදිරිපිට එක්‌තරා භික්‍ෂුවක්‌ උදේ සිට රෑ වනතුරු වැඩ සිටියහ. ඒ අතර කොටපොල අමරකිත්ති හිමියෝ දේහයේ අයිතිය ඉල්ලා උසාවි ගියහ. මේ අපවත් වීම සැක සහිත බවට කොළඹ අපරාධ කොට්‌ඨාසය ඉදිරිපත් කළ කාරණා සැලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා සරණකිත්ති හිමිගේ දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණයකට ලක්‌ කරන ලෙස නියම කළේය. එමතුද නොව දේහයේ අභ්‍යන්තර අවයව රස පරීක්‍ෂකට යවන ලෙස ද නියම කළේය.

සරණකිත්ති හිමි අක්‌මා රෝගියෙකි. උන්වහන්සේ ඒ සඳහා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගත්හ. උන්වහන්සේ නැවතී සිටියේ 45 වැනි වාට්‌ටුවේ ය. ඉන් පසු රෝගය මදක්‌ සුව විය. එහෙත් මැයි 1 වැනිදා රෝගය යළි උත්සන්න විය. ඉන් පසුව උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කරන ලදුව 2 වැනිදා අපවත් වූහ. මේ හදිසි අසනීප තත්ත්වය ගැන සැක පහළ කළ භික්‍ෂුහු දෙනමක්‌ වූහ. ඉන් පළමුවැන්නා මංගල විහාරයේ භාරකාරීත්වයට අයිතිය තිබෙන බව කියන කොටපොල අමරකිත්ති හිමියෝය. දෙවැන්නා මංගල විහාරවාසී කිතලගල ධම්මාලෝක හිමියෝ ය. සරණකිත්ති හිමිට වස දුන්නේ නම් එය සිදු කළේ කවුද? භික්‍ෂුවක්‌ ද, එහෙමත් නැත්නම් ගිහියෙක්‌ද? මංගල විහාරයේ අයිතිය ලබා ගැනීමට විවිධ භික්‍ෂු පාර්ශ්ව කටයුතු කරන බව ද දැන ගන්නට තිබේ. එවැනි සමහරු මෙයට වසරකට පමණ පෙර මංගල විහාර භූමියේ අසපු හදාගෙන වැඩ විසීමට උත්සාහ කළ බවත් වසර දහස්‌ ගණනක්‌ පැරැණි විහාරස්‌ථානයේ නීති විරෝධී වෙනස්‌කම් කළ බවත් දැන ගන්නට තිබේ.

සරණකිත්ති හිමිගේ අපවත සැකකටයුතු අපවතක්‌ ලෙස ඉතිහාසයට එකතු වන්නේ නම් වසර තිහක්‌ තුළ සැකකටයුතු ලෙස අපවත් වූ මේ රටේ සිවුවන බෞද්ධ භික්‍ෂුන් වහන්සේ උන්වහන්සේ බව අප සිත්හි තබාගත යුතුය. ඒ සැකකටයුතු අපවත්වීම් වැල පටන් ගන්නේ 1976 මැයි 27 වැනිදා පානදුරේ අරියධම්ම හාමුදුරුවන් වහන්සේ 47 වැනි වියේදී අපවත් වීමෙනි. ඉන් පසු ගංගොඩවිල සෝම හිමි 2003 දෙසැම්බර් 12 වැනිදාද, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි 2015 නොවැම්බර් 08 වැනිදා ද හදිසියේ අපවත් වූහ. මේ හැම භික්‍ෂුවක්‌ම කිසියම් විප්ලවයක්‌ කළ කෙනෙකි. 1970 දී පමණ සිය ප්‍රසිද්ධ ශාසනික මෙහෙවර පටන් ගත් පානදුරේ අරියධම්ම හිමි එම විප්ලවයේ ආරම්භකයාය. 1970 ගණන්වලදී මේ රටේ ජනතාව ජීවත් වූයේ මාක්‌ස්‌ ලෙනින්වාදී ජනතා විමුක්‌ති පෙරමුණේ කැරැල්ලේ බලපෑමත් එවකට පැවැති සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණු ආණ්‌ඩුවේ වාමාංශික බලපෑමත් කොමියුනිස්‌ට්‌ මතධාරී සමසමාජ - කොමියුනිස්‌ට්‌ පාලනය අතරය. එය කිසිසේත්ම ප්‍රියජනක හෝ සැප පහසු කාලයක්‌ නොවීය. සමගි පෙරමුණ ආණ්‌ඩුව අත්‍යන්තයෙන් ම දේශීය මතධාරී ආණ්‌ඩුවකි. එහෙත් එය සියයට සියයක්‌ බෞද්ධ මතධාරී ආණ්‌ඩුවක්‌ වූයේ නැත. එයට හේතුව ආණ්‌ඩුව තුළ සිටි මාක්‌ස්‌වාදීහුය. ඒ අතර ආණ්‌ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා මිනිස්‌සු ජීවත් වීමේ අරගලයට වැඩි තැනක්‌ දුන්හ. මෙකල විසූ බෞද්ධයෝ ක්‍රමයෙන් උදාසීන වන්නට පටන් ගත්හ. මේ බව දුටු පානදුරේ අරියධම්ම හිමියෝ බෝධි පූජා සංකල්පය හරහා බුදු දහම ජනප්‍රිය කරවා එහි පුනරුදයක්‌ ඇති කළ යුතු බව තීරණය කළහ. උන්වහන්සේ පසු කාලයේදී සැකකටයුතු ලෙස අපවත් වීමට හේතුව ද එසේ බුදුදහම ජනප්‍රිය කිරීමට ගත් උත්සාහයම බව කියනු ලැබේ. 1980 ගණන් වලදී උන්වහන්සේට ඡේ ආර්. ජයවර්ධනටත් වඩා ප්‍රසිද්ධියක්‌ තිබිණි. ලංකාවේ බුදු දහම අද වන විට මෙයට වසර 30 කට පෙර පැවැතියාට වඩා අතිශය ජනප්‍රිය මට්‌ටමක තිබේ. එම ව්‍යාපාරයේ සමාරම්භකයා පානදුරේ අයරියධම්ම හාමුදුරුවන් වහන්සේය. 

විශේෂ ලියුම්කරුවකු විසිනි.
http://www.divaina.com/2016/05/08/feature01.html

සබැඳි ලිපි -
[
ත්‍රස්‌තවාදීන්ගෙන් රට මුදාගැනීමට උරදුන් සේරුවිල සරණකිත්ති නාහිමිhttp://denethharinna.blogspot.com/2016/05/blog-post_8.html
]

0 comments: