Pages

Monday, May 16, 2016

විග්නේෂ්වරන් පෑනෙන් ඉල්ලන්නේ ප්‍රභාකරන් තුවක්‌කුවෙන් ඉල්ලපු දේමයි - මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා

උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා අපේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක්‌ ලෙස රට ප්‍රාන්ත රාජ්‍ය දෙකකට බෙදා පාලනය කළ යුතු යෑයි පසුගියදා යෝජනාවක්‌ ඉදිරිපත් කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ හිටපු මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳ සිදුකරන සවිස්‌තරාත්මක විග්‍රහයකි මේ. 

අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස විග්නේෂ්වරන් මහතා යෝජනා කරන පාලන ක්‍රමය කුමක්‌ද?

බලය ඒකරාශී කර ඇති ආකාරය අනුව ලෝකයේ ආණ්‌ඩු ක්‍රම වර්ග 3 ක්‌ තිබෙනවා. පළමුවැන්න ඒකීය ආණ්‌ඩු ක්‍රමය. එනම් ස්‌වාධිපත්‍යය බලය එක්‌ ආණ්‌ඩුවක්‌ මගින් ක්‍රියාත්මක කරන ක්‍රමය, දෙවැන්න පෙඩරල් ආණ්‌ඩු ක්‍රමය, එනම් මධ්‍යම ආණ්‌ඩුවක්‌ සහ ප්‍රාන්ත ආණ්‌ඩු කිහිපයක්‌ එක්‌ව බලය බෙදාහදාගෙන සිදුකරන පාලනය. තෙවැන්න සංයුක්‌ත ආණ්‌ඩු ක්‍රමය. එනම් දුර්වල මධ්‍යම ආණ්‌ඩුවක්‌ සහ ශක්‌තිමත් ප්‍රාන්ත ආණ්‌ඩු කිහිපයකුත් ඇතිකරගෙන සිදුකරන පාලනය. මේ ක්‍රමයේදී ස්‌වාධිපත්‍ය බලතල වැඩිපුර හිමිවන්නේ ප්‍රාන්ත ආණ්‌ඩුවලට. එම ප්‍රාන්ත ආණ්‌ඩුවල එකඟතාවයෙන් පිහිටුවාගන්නා මධ්‍යම ආණ්‌ඩුව අතිශය දුර්වල එකක්‌. විග්නේෂ්වරන් යෝජනා කරන්නේ මෙම තෙවැනි ආණ්‌ඩු ක්‍රමය නැතහොත් සංයුක්‌ත ආණ්‌ඩු ක්‍රමයයි.

අපේ රටේ ජාතික ප්‍රශ්නයට විග්නේෂ්වරන් මහතා යෝජනා කරන මේ දේශපාලන විසඳුම තුළ අතිශය දුර්වල මධ්‍යම ආණ්‌ඩුවක්‌ නිර්මාණය වීම ජාතික ආරක්‌ෂාවට කෙබඳු බලපෑමක්‌ ඇතිකරයිද?

විග්නේෂ්වරන් මේ යෝජනාව තුළින් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳ හැඳින්වීමකුත් ශ්‍රී ලංකාවේ පාලන ක්‍රමය ප්‍රතිව්‍යහගත කරන ආකාරය පිළිබඳ සැලැස්‌මකුත් ඉදිරිපත් කර තිබෙනවා. හැඳින්වීමෙන් ඔහු පෙන්වන්නේ උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික, දේශපාලන හා සමාජීය ප්‍රශ්න. එම ප්‍රශ්න විසඳීමට නම් දේශපාලන විසඳුමක්‌ අවශ්‍ය බවත් එම දේශපාලන විසඳුම ඇතිකර ගත යුත්තේ ජනවර්ග අතර ඇතිකරගන්නා සමාජ සම්මුතියකට අනුව බවත් ඔහු මේ යෝජනාවෙන් කියා තිබෙනවා.

මොකක්‌ද ඔහු යෝජනා කරන සමාජ සම්මුතිය?

ඒක තමයි මේ යෝජනාවේ වැදගත්ම කොටස. ද්‍රවිඩ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ සිංහල හා දෙමළ ජනතාව ඇති කරගන්නා සම්මුතියේදී කාරණා රාශියක්‌ පිළිගත යුතු බවයි ඔහු කියන්නේ. එනම් උතුර හා නැගෙනහිර දෙපළාත ඒකාබද්ධ කළ යුතුයි. එම දෙපළාත වෙනම ප්‍රාන්ත රාජ්‍යයක්‌ ලෙස පිළිගෙන ස්‌වයං පාලනයක්‌ ලබාදිය යුතුයි. උතුර නැගෙනහිර දෙපළාත ද්‍රවිඩ ජනතාවගේ ඓතිහාසික නිජ බිම ලෙස පිළිගත යුතුයි. උතුර නැගෙනහිර එක්‌කර පිහිටුවාගන්නා එම ප්‍රාන්ත රාජ්‍යය ශ්‍රී ලංකාවේ ඉතිරි ප්‍රදේශවල ගොඩනගන ප්‍රාන්ත රාජ්‍ය සමග සංයුක්‌ත රාජ්‍යයක්‌ ලෙස පැවතිය යුතුයි. මෙය වෙනස්‌ නොකළ හැකි බවට නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ යුතුයි. ඇමරිකාව, ඉන්දියාව හෝ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වැනි බාහිර තුන්වැනි පාර්ශ්වයක්‌ විසින් මේ ප්‍රාන්ත රාජ්‍ය කෙටුම්පත සකස්‌ කළ යුතු අතර මෙරට සිංහල හා දෙමළ පාර්ශ්වයන් ඊට අත්සන් කර එකඟතාව පළකළ යුතුයි. විග්නේෂ්වරන් යෝජනා කරන සමාජ සම්මුතිය මේකයි.

විග්නේෂ්වරන් ඔහුගේ යෝජනාවේ දෙවැනි කොටසින් විස්‌තර කරන මේ රටේ පාලන ක්‍රමය ප්‍රතිව්‍යහගත කිරීමේ ක්‍රමය තුළ ප්‍රාන්ත රාජ්‍යයන් එක්‌වී ගොඩනගාගන්නා අතිශය දුර්වල මධ්‍යම ආණ්‌ඩුවක්‌ තිබෙනවා. එම ප්‍රාන්ත රාජ්‍යයන් හා මධ්‍යම ආණ්‌ඩුව අතර බලතල බෙදා හදාගැනීමේදී ප්‍රාන්ත ආණ්‌ඩුවලට බලතල 54 සහ මධ්‍යම ආණ්‌ඩුවට බලතල 37 ක්‌ ඔහු යෝජනා කරනවා. පොලිස්‌ බලතල මුළුමනින්ම ප්‍රාන්ත රාජ්‍යයන්ට හිමි විය යුතු බවත් ඔහු කියනවා. මධ්‍යම ආණ්‌ඩුව පිහිටුවීමේදී නාමික ජනාධිපතිවරයෙක්‌, අගමැති ප්‍රධාන කැබිනට්‌ මණ්‌ඩලයක්‌, ව්‍යවස්‌ථාදායකයක්‌ සහ අධිකරණ විවරණ බලය සහිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අධිකරණයක්‌ ඉහළම අධිකරණය ලෙස පිළිගත් අධිකරණ පද්ධතියක්‌. ජනාධිපතිවරයා තෝරා පත්කර ගත යුත්තේ ප්‍රාන්ත රාජ්‍යයන්හි ව්‍යවස්‌ථාදායක සභාවේ සාමාජිකයින් සහ යෝජිත මධ්‍යම ආණ්‌ඩුවේ සෙනෙට්‌ මන්ත්‍රී මණ්‌ඩලයේ සාමාජිකයින් විසින් බවයි ඔහුගේ මේ යෝජනාවේ තිබෙන්නේ. මධ්‍යම ආණ්‌ඩුව තුළ සෑම ප්‍රාන්ත රාජ්‍යයකටම සමාන නියෝජනයක්‌ ලැබිය යුතු බවත් මධ්‍යම ආණ්‌ඩුවේ ව්‍යවස්‌ථාදායකය ආයතන දෙකකින් සමන්විය යුතු බවත් එනම් ජනතාව විසින් තෝරාපත් කරගන්නා නියෝජිත මන්ත්‍රී මණ්‌ඩලයකිනුත්, ප්‍රාන්ත රාජ්‍යයන් විසින් සමාන පදනමක්‌ මත තෝරා පත් කරගන්නා නියෝජිතයන් විසිනුත් එම ආයතන දෙක සමන්විය යුතු බවයි විග්නේෂ්වරන් කියන්නේ. අගමැති හා කැබිනට්‌ මණ්‌ඩලය තෝරා ගත යුත්තේ මෙම ආයතන දෙක විසින් බවත් අගමැති හා මෙම කැබිනට්‌ මණ්‌ඩලය සත්‍ය විධායක බලතල හසුරුවන ආයතනය විය යුතු බවත් ඔහු කියයි. ප්‍රාන්ත රාජ්‍යවලට නීති පැනවීමේ බලය මධ්‍යම ආණ්‌ඩුවෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියයි. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව අර්ථකථනය කිරීමේ බලය හෙවත් අධිකරණ විවරණ බලයක්‌ සහිත ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා අධිකරණය ඉහළම අධිකරණය ලෙස සලකා අධිකරණ ආයතන පද්ධතියක්‌ පිහිටුවිය යුතු බවත් ඔහු යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරයා පත්කරන ආණ්‌ඩුකාරවරයා ප්‍රාන්ත රාජ්‍ය ආණ්‌ඩු ක්‍රමයේ ප්‍රධානියා වියයුතු අතර ප්‍රාන්ත රාජ්‍යයන්ටත් ව්‍යවස්‌ථාදායකයක්‌ තිබිය යුතු අතර එහි සාමාජිකයින් විසින් ප්‍රධාන ඇමතිවරයෙක්‌ සහ මහ ඇමතිවරයෙක්‌ තෝරා පත් කර යුතු බවත් ඔහු කියනවා. අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ ලෙස විග්නේෂ්වරන් ගොඩනගල තිබෙන ආකෘතිය මේකයි.

විග්නේෂ්වරන් මහතා යෝජනා කරන මෙම ආකෘතිය තුළ ප්‍රාන්ත රාජ්‍යයන් මධ්‍යම ආණ්‌ඩුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී කටයුතු කළහොත් එය වැළැක්‌වීමට මධ්‍යම ආණ්‌ඩුවට හැකියාවක්‌ තිබෙනවද?

විග්නේෂ්වරන් යෝජනා කරන ක්‍රමය මුලින් ප්‍රාන්ත ආණ්‌ඩු පිහිටුවාගෙන ඒ පිහිටුවාගත් ප්‍රාන්ත ආණ්‌ඩුවල එකඟතාවයෙන් තමයි මධ්‍යම ආණ්‌ඩුව පිහිටුවා ගන්නෙ. දකුණු පළාතේ පිහිටුවා ගත යුත්තේ කුමන ආකාරයේ ප්‍රාන්ත රාජ්‍යයක්‌ද කියල විග්නේෂ්වරන් කියල නෑ. උතුර නැගෙනහිර එක පළාතක්‌ සේ පිළිඅරගෙන ප්‍රාන්ත රාජ්‍ය දෙකක්‌ ලෙස රට දෙකට බෙදල ඒ ප්‍රාන්ත රාජ්‍ය දෙකේ එකඟතාවයෙන් මධ්‍යම ආණ්‌ඩුවක්‌ පිහිටුවාගත යුතු බවයි ඔහු කියන්නෙ. විග්නේෂ්වරන්ගේ යෝජනාව පදනම් වී තිබෙන්නේ රට දෙකට බෙදල උතුර නැගෙනහිර වෙනම ප්‍රාන්ත රාජ්‍යයක්‌ ලෙස පිළිගත යුතුයි කියන කොන්දේසිය මතයි. පිහිටුවාගැනීමට යෝජිත උතුර නැගෙනහිර ප්‍රාන්ත රාජ්‍යයට ඔහු නමක්‌ දීල නෑ. එම ප්‍රාන්ත රාජ්‍යය මධ්‍යම ආණ්‌ඩුවේ කොටස්‌ කාරයෙක්‌. එම ප්‍රාන්ත රාජ්‍යය මධ්‍යම ආණ්‌ඩුවට යටත් එකක්‌ නෙමෙයි. කැමැත්තෙන් මධ්‍යම ආණ්‌ඩුව හා එකතු වූ එකක්‌ පමණයි.


විග්නේෂ්වරන් සිය යෝජනාව තුළ ඒකීය කියන වචනය පාවිච්චි කරල නැද්ද?

මේ යෝජනාව ආරම්භයේදී ඒකීය ශ්‍රී ලංකාවක්‌ තුළ කියන වචනය යොදල තියෙනව. ප්‍රාන්ත රාජ්‍ය දෙකක්‌ ලෙස රට කොටස්‌ දෙකකට බෙදීම ඔහුගේ යෝජනාවේ පදනමයි. එතකොට ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ වෙන්නෙ නෑ. ඔහු මේ යෝජනාවේ ඒකීය ශ්‍රී ලංකාව කියන වචනය යොදා තිබෙන්නේ සිංහල ජනතාව මුලාකරන්නයි. ඒකීය ශ්‍රී ලංකාවක්‌ නම් නොබෙදුනු ශ්‍රී ලංකාවක්‌ විය යුතුයි. උතුර නැගෙනහිර පළාත් ඒකාබද්ධ කළ ප්‍රාන්ත රාජ්‍යයක්‌ ලෙස පිළිගත යුතුයි කියන කොන්දේසිය ඉදිරිපත් කිරීමෙන් විග්නේෂ්වරන් ඒකීය ශ්‍රී ලංකාව අහෝසි කර තිබෙනවා. මේ තත්ත්වය යටතේ අමුතුවෙන් රට බෙදෙයි දැයි සැකයක්‌ ඇති කර ගත යුතු නෑ. ප්‍රාන්ත රාජ්‍යයන් ලෙස රට බෙදාගෙන ඒ ප්‍රාන්ත රාජ්‍යවල එකඟතාවයෙන් මධ්‍යම ආණ්‌ඩුවක්‌ හදමු කියලයි විග්නේෂ්වරන් කියන්නෙ. රටේ ආරක්‌ෂාව මධ්‍යම ආණ්‌ඩුවට පවරා ඇති නිසා ප්‍රාන්ත රාජ්‍යවලට හමුදාවක්‌ තබාගත නොහැකි වුවත් පොලිස්‌ බලතල සම්පූර්ණයෙන්ම ඔවුන්ට හිමිව ඇති නිසා ආයුධ එක්‌රැස්‌ කර තබා ගත හැකියි. රටක ආරක්‌ෂාවට වැදගත් වන්නේ පුද්ගලයො නෙමෙයි අවිආයුධයි. අවිආයුධ දරා සිටීමේ සම්පූර්ණ බලතල සහිත පොලිසියක්‌ ප්‍රාන්ත රාජ්‍යවලට පිහිටුවාගන්න පුළුවන්. විදේශ සම්බන්ධතා පවත්වාගැනීම මධ්‍යම ආණ්‌ඩුවේ කාර්යයක්‌ වුවත් විදේශ ණය ගැනීමට ප්‍රාන්ත රාජ්‍යවලට හැකියාවක්‌ තිබිය යුතුයි වැනි බරපතළ කාරණා මේ යෝජනාව තුළ අඩංගුයි.

අපේ රටේ වර්තමාන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය නොකරන බවට දිවුරා පොරොන්දු වී මහ ඇමති ධුරයට පත් විග්නේෂ්වරන් මහතාට මෙබඳු යෝජනාවක්‌ කිරීමට හැකියාවක්‌ තිබෙනවද?

ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී ස්‌වාධීන ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක්‌ බව 1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවැනි පරිච්ඡේදයේ පළමුවැනි වගන්තිය ලෙස සඳහන් වෙනවා. එහි දෙවැනි වගන්තියෙන් කියන්නේ ශ්‍රී ලංකා ජනරජය එකීය රජයක්‌ බවයි. මේ වගන්ති ආරක්‌ෂා කිරීමට දිවුරා පොරොන්දු වෙලයි විග්නේෂ්වරන් මහ ඇමැති තනතුරේ වැඩ බාරගත්තෙ. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවැනි පරිච්ඡේදයේ දෙවැනි වගන්තිය වෙනස්‌ කිරීමට ඔහු යෝජනාවක්‌ ඉදිරිපත් කර තිබෙනවා. අදහස්‌ ප්‍රකාශ කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කිරීමක්‌ සිදුවෙනවාද යන්නෙහි නීතිමය තත්ත්වය විස්‌තර කිරීමට මට අපහසුයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‌ෂා කරන බවට දිවුරා පොරොන්දු වූ පුද්ගලයෙකුට එබඳු යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට හැකියාවක්‌ තිබෙනවාද යන්න නීති අංශවල අවධානයට යොමු විය යුතුයි.

අපේ රටේ දැනට ක්‍රියාත්මක වන 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳවත් වැඩිදෙනා තුළ එකඟතාවක්‌ නැහැ. විග්නේෂ්වරන් කර තිබෙන මේ යෝජනාවෙන් අපේ රට යළි වාර්ගික අර්බුදයකට ගමන් කරනවා. මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් විග්නේෂ්වරන් සිදුකර තිබෙන්නේ මේ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන ජාතික සංහිඳියාවට බරපතළ පහරක්‌. පෑනෙන් ඔහු මේ ඉල්ලා තිබෙන්නේ ප්‍රභාකරන් තුවක්‌කුවෙන් ඉල්ලපු දේමයි.

සාකච්ඡා කළේ, පාලිත සේනානායක
http://www.divaina.com/2016/05/15/politics04.html

Pic Source

0 comments: