Pages

Tuesday, May 24, 2016

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට බ්‍රිතාන්‍යය බරපතළ ලෙස මැදිහත්වීම

බ්‍රිතාන්‍ය හමුදාව ඉරාකයේදී යුද අපරාධ කර ඇති බවට සාක්‍ෂි සහිතව අනාවරණය වී ඇත. හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් පාර්ලිමේන්තු අවසරයකින් තොරව ඉරාකයට බ්‍රිතාන්‍ය හමුදාව යෑවූ බවත් හෙලිවි තිබේ.

ඊට අදාළ ජෝන් චිල්කොට්‌ වාර්තාව මෙතෙක්‌ ප්‍රකාශයට පත්කර නැත.

එහෙත් බ්‍රිතාන්‍ය කොන්සවටිව් හා ලේබර් පක්‍ෂ දේශපාලකයෝ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ජන සංහාරයට ලක්‌වූ බව කියමින් විපතට පත්වූවන්ට යුක්‌තිය ඉල්ලා සිටී.

එසේ වූනත් මේ තක්‌කඩි දේශපාලනඥයන් ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි සංවිධානය නිසා විපතට පත්වූ ජනතාව ගැන හඬක්‌ නගන්නේ නැත.

පසුගිය මැයි 18 දා බ්‍රිතාන්‍ය කොන්සවටිව් පක්‍ෂ නියෝජ්‍ය සභාපති රොබට්‌ හැල්පොන් ප්‍රකාශයක්‌ කරමින් මුල්ලිවයික්‌කාල් ජන සංහාරයෙන් විපතට පත්වූවන්ට යුක්‌තිය අවශ්‍ය බව කීවේය.

දසදහස්‌ ගණනක්‌ ද්‍රවිඩයන්ගේ ජීවිත විනාශ වූ බවත් ද්‍රවිඩයන්ගේ හිමිකම් පිළිගෙන එම හිමිකම් ලබාදීමට ක්‍රියාකළ යුතු බවත් ඔහු තවදුරටත් පළ කළේය.

අනතුරුව ලේබර් පක්‍ෂයේ නායක ජෙරමි කොල්බින්ද ද්‍රවිඩයන්ට යුක්‌තිය මෙන්ම ස්‌වයං පාලනයද හිමිවිය යුතු බව කියා සිටියේය.

එහෙත් මේ කිසිම දේශපාලකයෙක්‌ බ්‍රිතාන්‍යය නිසා විපතට පත්වූ ඉරාක ජනතාවට යුක්‌තිය හිමිවිය යුතු බව පවසා නැත. ඉරාකය අද මුළුමනින්ම අරාජික රටකි. නිරතුරුවම බෝම්බ පිපිරී සිවිල් වැසියන් මියයති. අයිසිස්‌ ත්‍රස්‌තයෝ ඉරාකයේ ගෑස්‌ සංකීර්ණ පවා පුපුරුවති. එසේ වූවත් මේ අරාජික තත්ත්වය ඇතිවූයේ බ්‍රිතාන්‍යය හා ඇමරිකාව එක්‌වී ඉරාකය නීති විරෝධී ලෙස ආක්‍රමණය කිරීමෙනි.

එම ආක්‍රමණයට එක්‌සත් ජාතීන්ගේ අනුමැති පවා ලැබී නොතිබිණි. එහෙත් ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක්‌ ලෙස සිතමින් අගමැති ඩේවිඩ් කැමරන්ගේ සිට ජෙරමි කොල්බින් දක්‌වා දේශපාලනඥයන් හඬ නගති.

මේ දේශපාලඥයන් පිටුපස සිටින්නේ බ්‍රිතාන්‍ය ඊලම් ජාලයයි. ඒ බව සනාථ වන්නේ පසුගිය 18 වැනිදා බ්‍රිතාන්‍ය ඊලම්වාදීන් සමඟ එක්‌වූ ඡේම්ස්‌ බැරී සහ බොබ් බ්ලැක්‌මන් නමැති මන්ත්‍රීවරු දෙදෙනා අගමැති කැමරන්ගේ කාර්යාලයෙන් පිටතදී ශ්‍රී ලංකාවට එරෙහිව හඬ නැගීමයි.

බ්‍රිතාන්‍ය තුළ කොටි සංවිධානය තහනම්වී ඇතත් කොටි ධජ ප්‍රදර්ශනය කිරීමට ලන්ඩන් පොලිසිය අවසරදී තිබිණි. මෙහිදී ප්‍රකාශයක්‌ කළ ඡේම්ස්‌ බැරි ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා වගවීම සහ සංහිඳියාව ගැන දක්‌වා ඇති ප්‍රගතියක්‌ නැතැයි කීවේය.

බොබ් බ්ලැක්‌මන් නැමැති මන්ත්‍රීවරයාද ඊට සම්බන්ධවෙමින් ශ්‍රී ලංකාව නිවැරදි වගවීමක්‌ පෙන්නුම්කර නැතැයි පලකෙළ්ය.

ඉන් කියාසිටින්නේ මානව හිමිකම් උල්ලංඝණය කළවුන්ට දඬුවම් කර නැති බවයි.

එසේනම් යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වලට බරපතළ ලෙස සම්බන්ධ ඇඩෙලා බාලසිංහම් නැමැති යුද අපරාධකාරිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය පියවරක්‌ ගෙන තිබේද?

ඇයට නඩු පැවරිමක්‌ හෝ දඬුවම්දීමක්‌ සිදුවී ඇද්ද? කොටින්ට අවි ආයුධ ලබාගැනීමට මුදල් සැපයූ ටී. ආර්. ඕ. සංවිධානයේ ප්‍රධානි රෙජි පවා සිටින්නේ බ්‍රිතාන්‍යයේය. ටී. ආර්. ඕ සංවිධානයේ අර්ජුන එදිරිවීරසිංහම් නමැත්තාද බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටියි.


මොවුන් කොටින්ට ආයුධ සැපයීමේ වරදට වගවී තිබේද?

මෙලෙස බ්‍රිතාන්‍ය ලේබර් පක්‍ෂ හා කොන්සවට්‌ව්පක්‍ෂ දේශපාලනඥයන් ශ්‍රී ලංකාව අභූත චෝදනා නගද්දී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලය ඊට ප්‍රතිචාර නොදක්‌වන්නේ මන්ද?

මෙයට වසර කීපයකට පෙර හිටපු බී.බී.සී. වාර්තාකාරි ප්‍රැන්සිස්‌ හැරිසන් ග්‍රන්ථයක්‌ ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් 147,000 ක්‌ අතුරුදන්වී ඇති බව කියා සිටියාය.

එහෙත් ලන්ඩන් නුවර පසුගිය 18 දා ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති රැලියේදී අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 177,000 සිට 146,679 දක්‌වා අඩුවී තිබිණි. ඉන් කියා සිටින්නේ අතුරුදන්වූවන් 21 ක්‌ සිටින බවද?

එසේ වුවත් බ්‍රිතාන්‍ය දේශපාලකයන් මෙරට කටයුතුවලට බරපතළ ලෙස මැදිහත්වන බව තහවුරුවී ඇත.

කොළඹ බ්‍රිතාන්‍ය මහකොමාසාරිස්‌ගේ ක්‍රියාකලාපයෙන්ද ඒ බව සනාථ වේ.

එසේ වූවත් අපේ විදේශ කටයුතු බලධාරීන් බ්‍රිතාන්‍ය බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ කටයුතුවලට මැදිහත්වන්නේ මන්දැයි මේ දක්‌වා විමසා නැත.

මෙය පුදුමයක්‌ නොවේද? චැනල් ෆෝ රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි වීඩියෝ පටය රජයේ විද්යුත් නාලිකාවල විකාශනය කරන්නැයි විදේශ ඇමැති මංගල සමරවීර මහතාගෙන් ඉල්ලා ඇත.

මේ අන්දමට අල්කයිදා නායක බින්ලාඩන් ඝාතනය දැක්‌වෙන වීඩියෝ දර්ශන ඇමරිකානු රූපවාහිනි නාලිකාවල ප්‍රදර්ශනය සඳහා ඔබාමා පාලනය ඉඩදෙනු ඇතැයි සිතිය හැකිද?

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/05/24/feature02.html

0 comments: