Pages

Monday, May 30, 2016

කිසාගෝතමියට බුදුරජුන් දුන් කමටහන ඔබේ කමටහන කරගන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

මීළඟට කායානුපස්‌සනාවට අදාළව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මරණානුස්‌සති භාවනාව වඩන්නය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, අතීත සංසාර භවගමනේ, පිංවත් ඔබ මිය ගිය අවස්‌ථාවන්හිදී, ඔබේ මළසිරුරු එක ගොඩක්‌ ගැසුවහොත්, එම මළමිනීගොඩ ගිඡ්ජකූඨ පර්වතයටත් වඩා විශාලයි කියලා. දෑස්‌ දෙක පියාගෙන, අතීතයේ ඔබ නිසා, පටිච්ඡසමුප්පන්නව ඒ මළකඳන් කන්ද දෙස නුවනින් දකින්න.

තල්මසුන් වෙලා, අලි ඇතුන් වෙලා, සක්‌විති රජවරුන් වෙලා මැරුණු වෙලාවේ ගොඩ ගැසූ මළකඳන් දෙස නුවනින් දකින්න. මේ මොහොතේ මේ සටහන කියවන ඔබ දෙපාතබාගෙන සිටින පුංචි බිම්කඩ, ඔබවම අතීතයේ දසදහස්‌ වතාවක්‌ වළ දැමූ සුසානයක්‌ බව නුවනින් දකින්න. පැමිණි සංසාර භව ගමනේදී, රජවරුන් විසින් ඔබේ හිස ගසා, අත පය කපාදමා, මහ පොළොවේ පණපිටින් වළදමා, එල්ලුම්ගස්‌වල එල්ලලා, යුධභූමිවල සතුරන්ට මැදිවෙලා කොතෙක්‌නම් ඔබව මරාදමන්නට ඇතිද? තිරිසන් සතුන් ලෙස ඉපදිලා, සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයන්, කිඹුලන් කොතෙක්‌ වාර ගණනක්‌ ඔබව අමු අමුවේ මරාගෙන කන්න ඇතිද? මහා සාගරයේ පුංචි මාළු ලෙස ඉපදිලා, කොතෙක්‌ නම් ලොකු මාළු අපිව ගිළ දමන්නට ඇතිද? නයි පොළොඟුන්ගේ දෂ්ඨ කිරීම්වලට මැදිවෙලා කොච්චර නම් මිය යන්න ඇතිද? ස්‌වභාවික විපත් වලට මැදිවෙලා කොතෙක්‌ නම් පණ පිටින් වැළලී යන්න ඇතිද? මරණානුස්‌සතියේ අතීත පංචඋපාදනස්‌කන්ධය නුවනින් දකින්න. මව්කුසේදීම ගබ්සාවන්ගෙන් කොතෙක්‌ අපි මියයන්නට ඇතිද? උපතත් සමග පටිච්ඡසමුප්පන්නව ගැටගැසුණු මරණය, උපතේ නිරෝධයෙන් නිරෝධය වී යන ස්‌වභාවය නුවනින් දකින්න. 

පිංවත් ඔබ මොහොතක්‌ මනසින් මියයන්න. ඔබේ මළකඳ මල් ශාලාවේ එම්බාම් කරනවා නුවනින් දකින්න. ඔබගේ දේහය මල් සැරසිලි මැද නිවසේ සාලයේ තැන්පත්කොට තිබෙනවා නුවනින් දකින්න. ඥාතීන් හඬාවැලපෙන හැටි මෙන්ම ඥාතීන් දුක්‌ නොවන හැටිත් නුවනින් දකින්න. ඔබේ මළකඳ ඥාතීන් විසින් ඔසවාගෙනගොස්‌ සොහොනට දමනවා නුවනින් දකින්න. 

භික්‍ෂුවට මකයි වනගත කුටියක වැඩ සිටින කොට පිණ්‌ඩපායට වඩින මාර්ගය අද්දර ලොකු හරකෙක්‌ මැරිලා හිටියා. පළමු දවසේ හරක්‌ මළකුණ අසල කිසිම භාහිර සලකුණක්‌ තිබුණේ නැහැ. දෙවැනි දවසේ භික්‍ෂුව පිණ්‌ඩපාතයේ වඩිනකොට එම හරක්‌ මළකුණ හොඳින් ඉදිමී මළ හරකාගේ කකුල් එසවී තිබුනා. භික්‍ෂුව පිණ්‌ඩපාතය වැඩිය තුන්වැනි දවසේදී හරක්‌ මළකුනේ උදරය ප්‍රදේශයේ පෙරදා රාත්‍රියේ නරියන් බල්ලන් විසින් ඉරාගෙන කා දමා තිබුණා. උදේවරුවේ මළකුණට වහ වැටුණු ගමේ බල්ලෝ දහදෙනෙක්‌ පමණ කුණු මස්‌ගොඩ ඉරාගෙන මළකුණ අසල ලැගගෙන කුණු මස්‌වල රස බලමින් සිටියහ. සමහර බල්ලෝ කුණු මස්‌වලින් කුස පුරවාගෙන මත්වී වැගිරී සිටියා. හතරවෙනි දවසේ පිණ්‌ඩපාතය වඩිනකොට හුලං බැස ගිය බෝලයක්‌ සේ හරක්‌ මළකුණ හැකිලී තිබුණා. මේ දින කිහිපයේම හරක්‌ මළකුණේ දුගඳට වහවැටුණ නිල මැස්‌සන් මරාගෙන කන්න සුදු කොක්‌කු රෑනක්‌ නිරතුරුවම හරක්‌ මළසිරුර අසළ ගැවසෙමින් සිටියා. පස්‌වෙනි දිනය වන විට මළ හරකාගේ සමවත්, ඇටකැබලිවත් එතැන ඉතිරිව තිබුණේ නැහැ. අවසානයේ හරක්‌ මළකුණ පෙර ජීවිතයේ ශිල්ප ද නොරැක්‌ක, දන් නොදුන් පවෙන් තිරිසන් සතුන් බවට පත්වූ නරියන්ගේ, බල්ලන්ගේ, කබරයින්ගේ අමාශයේ තැන්පත් වී අසුචියක්‌ බවට පත්වුණා. මළ හරකාගේ අනිත්‍යභාවයට පත් වූ ආයුෂ, වර්ණය, සැපය, බලය ජීවත්ව සිටින සතුන්ගේ, අනිත්‍යවන ආයුෂ, වර්ණ, සැපය, බලය බවට පත්වුණා. දින කිහිපයක්‌ යනතුරු වෙල් යායේ තැන් තැන්වල මළ හරකාගේ ඇටකැබලි බල්ලන් විසින් නැවත නැවත ලෙවකනවා දැක්‌කා. ඉහතින් සඳහන් කළේ, හරක්‌ මළකුණට වෙච්චි ස්‌වභාවික සිද්ධියක්‌. 

භික්‍ෂුව දෑස්‌ පියාගෙන, මොහොතක්‌ මෙනෙයි කළා.... මේ තැන හරකෙක්‌ නොව, භික්‍ෂුව මැරී සිටියානම්, භික්‍ෂුවගේ මළසිරුරට අත්වන ඉරණමත් මේකමයි. ඉහත සටහනට අනුව, පිංවත් ඔබගේ මළසිරුර අමුසොහොනකට, සුදාන භූමියකට ගිහින් දැම්මොත්, එම මළකුණට අත්වෙන ඉරණම නුවනින් දකින්න. එම මළකුණ ඉදිමී, නරක්‌ වී, කුණු වී සතුනට ආහාරයක්‌ වන හැටි, එහි පිළිකුල, දුර්ගන්ධය, අදාලභාවය, බියකරුභාවය නුවනින් දකින්න. අවසානයේ මේ මළකුණ මහපොළොවට පස්‌වී, වාතයට මුසුවී, සතරමහා ධාතුවට එක්‌වෙන හැටි නුවනින් දකින්න. එම මළමිනියට කවන, පොවන, නාවන, ඇඳුම් අන්දවන ස්‌වභාවය නුවනින් දකින්න. මරණානුස්‌සතිය වැඩීමේදී පිංවත් ඔබට බියක්‌ ඇතිවේ නම්, එම බියත් සිතක්‌ ලෙසින් හඳුනාගනිමින් එම සිත අනිත්‍යභාවයෙන් දකින්න. 

මරණානුස්‌සතිය ගැන සටහන් තබනකොට, භික්‍ෂුවට මත් වුණා අතීතයේ මරණානුස්‌සතිය වැඩීමට ගිය ස්‌වාමීන්වහන්සේනමකට වෙච්ච අකරතැබ්බක්‌. බුදුරජාණන්වහන්සේගෙන් කමටහන් අරගෙන මේ ස්‌වාමීන්වහන්සේ අමුසොහොනකට යනවා, මරණානුස්‌සතිය වඩන්න. එදා සවස අමුසොහොනට ගෙනත් දමපු තරුණියකගේ මළකුණක්‌ ඉදිරිපිට වාඩිවෙලා මේ ස්‌වාමීන්වහන්සේ තරුණියගේ මළකුණ අරමුණු කරමින් මරණානුස්‌සතිය වැඩුවා. 

'තුච්ඡසිත, අවිචාරවත් සිත තරුණියගේ මළකඳ තුළිනුත් මා තුළ රාගය ඇති කළා. මට තවදුරටත් එතැන රැඳෙන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මම එතැනින් ඉවත් වුණා. රාගයේ තුච්ඡභාවය, අස්‌වාභාවික ස්‌වභාවය අරමුණුකොටගෙන මම වීර්යයෙන් භාවනා කළා. මම රාගය පරාජයට පත්කළා' කියලා ඒ ගෞරවනීය ස්‌වභාමීන්වහන්සේ උතුම් අරිහත්භාවයට පත්වීමෙන් අනතුරුව සිංහනාදයක්‌ කරනවා. 

ධුතාංග ශීලයට අදාළව සුසානභූමියේ වාසය කිරීම ද ධුතාංගයක්‌ වෙනවා. මරණානුස්‌සතිය, ජීවත්වෙන ජීවත් කරන මේ රූපය කෙරෙහි කළකිරීමත්, නැවත උපතක්‌ කෙරහි කළකිරීමත් ඇති කොට දෙනවා. පිංවත් ඔබ මැරෙන්න බිය නම්, මරණය ගැන සිතන්න බිය නම් අනිවාර්යයෙන්ම ඊළඟ උපත පිළිබඳ ඔබ ඔබටම සහතිකයක්‌ ලබාදෙනවා. පිංවත් ඔබ මරණයකට ගෞරවය දැක්‌වුවා, බුහුමන් දැක්‌වුවා වෙන්නේ, ශෝකප්‍රකාශ කරමින් හඬා වැලපෙමින් නොව, එම මරණය මෙනෙහිකොට මොහොතක්‌ හෝ මරණානුස්‌සතිය වැඩී මෙන්මය. 

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන මොහොතක්‌ ඔබේ ගමේ සෑම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොට දකින්න. දෙවැනුව නගරයේ රටේ සැම මනුෂ්‍යයෙක්‌ම මළකඳන් කොටදකින්න. ඒ මළකඳන්ගොඩ නරක්‌වෙනවා, කුණුවෙනවා, ඕජාව ගලනවා, දුර්ගන්ධය පැතිරී යනවා නුවනින් දකින්න. මළදරුවෙක්‌ කරගසාගෙන, මළකුණකට ජීවය යදිමින් නුවරක්‌ පුරා නොමළ ගෙයකින් අබඇට සොයමින් ගිය කිසාගෝතමියට බුදුරජාණන්වහන්සේ ලබාදුන් කමටහන නිරතුරුවම ඔබේ කමටහන කරගන්න.

භික්‍ෂුව ඉහතින් සටහන් කළේ කායානුපස්‌සනාවට අදාළව මරණානුස්‌සති භාවනාවයි.

ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/05/29/nimna06.html

0 comments: