Pages

Tuesday, May 24, 2016

ශ්‍රී ලංකාවට එරෙහි සැබෑ කුමන්ත්‍රණය


මේ රට හදන්නට නම්, පළමුවෙන්ම සාම්ප්‍රදායික දේශපාලන වැරදි පුරුදු, ක්‍රම සහ විධි, සිතුම් පැතුම්වලින් බැහැර වන්නට සිදු වෙනවා ඇත. එමෙන්ම අපගේ අනන්‍යතාවන් ආරක්‍ෂා කරගන්නට දේශීය සම්පත්වලින් උපරිම ඵල ලබන්නට, අපේකම්වලට ගැළපෙන සියලු දේ ආරක්‍ෂා කරගන්නට මෙන්ම යහපත් ඉලක්‌ක සහ අරමුණු ඉටුකර ගන්නට වගබලා ගත යුතු වනවා ඇත. එසේ නොමැතිව මෙතෙක්‌ වගතුවක්‌ නොවුණ දේශපාලන වැරදි පුරුදු ක්‍රම සහ විධි සිතුම් පැතුම් සහ සැබෑ නොවන සිහින තුළ රැඳී සිටීමෙන් සිදු වන්නේ දශක හයකට වැඩි කාලයක්‌ එකතැන පල්වෙන්නට සිදුවූවා සේ තවදුරටත් සියල්ල විකෘති වී ඉතාමත්ම සංකීර්ණ මෙන්ම ව්‍යාකූල වූ තත්ත්වයකට මෙම රට පත්වීම පමණි. එපමණක්‌ නොව ගෝලීය ආර්ථික සහ කලාපීය ආර්ථිකය කඩාවැටෙන කාලයක අප පමණක්‌ කෙළින් සිටින්නේ කෙසේද? වැනි බොළඳ සහ මුසා බස්‌ දොඩමින් ප්‍රශ්නවලින් මඟහැර යන්නට සහ නිදහසට කරුණු කියන්නට පෙළඹීමෙන් වැළකී සිටිය යුතු වනවා ඇත. ඒ මන්ද යත් මුළු ලෝකයටම හෝ කෙබඳු කලාපයකට හෙණහුරා ලබා තිබුණත් ඒ කිසිදු රටකට නැති සොබාදහමට කේන්ද්‍රගත පිහිටීමක්‌, විවිධාකාර වූ ස්‌වාභාවික ආපදා අනතුරු අවම වූ කාලගුණික දේශගුණික මෙන්ම දින 365 ම වැඩ කරන්නට හැකි යහපත් වටපිටාවක්‌, භූමි ප්‍රමාණයට සරිලන සම්පත් සහ ජනගහනයක්‌ සතු, ගොඩනැඟෙන්නට (ස්‌වයංපෝෂිත වන්නට) ඉතාමත්ම පහසු දේශයක්‌ අප සතු වන නිසාය.

එනිසා අප ජාතියක්‌ ලෙස අලුතෙන් සිතන්නට අවශ්‍යය. නිර්මාණශීලී වන්නට අවශ්‍යය. අපට වැරදුණු බොහෝ තැන් ගැන අවබෝධ කරගන්නට අවශ්‍යය. ඒ අනුව නිවැරදි වන්නට වෙනස්‌ වන්නට අවශ්‍යය. ඒ සඳහා යථාර්ථවාදීව සිතන්නට අවශ්‍යය. එනිසා දේශපාලනමය වශයෙන් මෙතෙක්‌ අප ගත් තීන්දු තීරණ 99% ක්‌ම වැරදි බව තේරුම් ගත යුතුය. 1948 දී අපට නිදහස ලැබුණු දා සිට රටක්‌ ජාතියක්‌ ලෙස අපගේ අනන්‍යතාවන්ද රැකගෙන ස්‌වයංපෝෂිත රටක්‌ ලෙස ගොඩනැඟෙන්නට අපට අවස්‌ථාව සහ වටපිටාව නිර්මාණය විය. එහෙත් අපට ආවේණිකව ගොඩනැඟෙන්නට තිබූ සියලු අවස්‌ථාවන් අප මඟහැර ඇත. අප සතු සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම අමතක කර ඇත. වවාගෙන කෑම අතහැර පහසුවෙන් ආනයනය කර කෑමට පුරුදුව ඇත. වවාගෙන කන්නට වුවද ගත් තීන්දු තීරණවල බොහෝ අඩුපාඩුකම් ඇතිවිය. එනිසා වැඩි වැඩියෙන් ණය වෙන්නට සහනාධාර මත යෑපෙන්නට පුරුදුව ඇත. එහෙත් මෙලෙස වැරදි පුරුදුවලට පෙලැඹෙන්නට හේතුව වූයේ මේ රටේ වෙසෙන අහිංසක සිවිල් ජනතාවගේ නොවුවමනාව, නිවටකම, දීනබව හෝ අලස බව නිසානම් නොවන බව පිළිගත යුතුය. ඒ සඳහා දේශපාලනඥයන්ට නිවැරදි දැක්‌මක්‌ නොතිබූ බව සහ ඔවුන් විසින් ගත් වැරදි තීන්දු නිසා එසේ සිදු වූ බව පිළිගත යුතුය. එමෙන්ම සද්භාවයෙන් වුවද අපගේ දේශපාලනඥයන් මෙතෙක්‌ ගත් සියලු දේශපාලන තීන්දු තීරණ ඉතාමත්ම සංකීර්ණ බරපතළ මෙන්ම වැරදි තීන්දු තීරණ බව යථාවබෝධ කරගත යුතුය. එනිසා රටක යහපැවැත්මට වැදගත් සාධකය වන ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජවාදය කෙළෙසී ඇත. ඇති නැති පරතරය වැඩි වී ඇත. අසමතා සහ විෂමතා වැඩි වී ඇත. මානව හිමිකම් කඩ වී ඇත. අවිශ්වාසය අසහනය වැඩි වී විවිධ සමාජ ස්‌ථරයන් තුළ යුද වදින තරමටම අසමගිය වැඩි වී ඇත. වන සතුන් අතරවත් නොමැති තරම් ආත්මාර්ථකාමී තරගකාරිත්වයක්‌ නිර්මාණය වී ඇත. එනිසාම ජාතියක්‌ ලෙස සියලු අභියෝග අර්බුද සහ ගැටලු හමුවේ නිරුත්තර වන්නට සහ අසරණ වන්නට සිදු වී ඇත.

එහෙයින් රට ජාතිය වෙනුවෙන් අපගේ දේශපාලනඥයන් මෙතෙක්‌ කළ කී දේ සහ නොකළ නොකී දේ ගැන ආපසු හැරී බැලිය යුතුව ඇත. ඔවුන් ඒ අනුව කළේ මොනවාද? කිසිදු අනාගත දැක්‌මක්‌ නොමැතිව, ඉලක්‌කයක්‌ අරමුණක්‌ නොමැතිව, පරගැති සිතුම් පැතුම්වලට වහල්ව කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැඩි දියුණු කරනු පිණිස කෙටිකාලීන මැදිකාලීන සහ දිගුකාලීන වශයෙන් විවිධාකාර දැවැන්ත ව්‍යාපෘති ආරම්භ කළේය. විවිධ යටිතල පහසුකම් වැඩි දියුණු කළේය. ඒ අතර ගල්ඔය මිනිපේ මහවැලි වැනි ව්‍යාපෘතිද, ගම්උදාව ඇඟලුම්හල්, මහ කොළඹ ආර්ථික වැනි ව්‍යාපෘතිද, ගුවන් තොටවල් නැව් තොටවල් අධිවේගී මාර්ග වැනි ව්‍යාපෘති ද නිම කළේය. ඒ සඳහා විවිධ ණය සහ ආධාර ගත්තේය. හඳෙන් හෝ හාල් ගෙනැවිත් කන්න දෙන බව පැවසීය. ආශ්චර්යමත් රටක්‌ ගොඩනඟන බව පැවසීය. එවැනි තවත් වහසිබස්‌ කීවේය. එහෙත් ආපසු හැරී බලන කල අපට සිදු වූ යහපතක්‌ නැත. එසේ ගත් ණය සඳහා පොලිය ගෙවීමට තරම්වත් රටේ ආදායම මදි වී ඇත. හත්මුතු පරම්පරාවකටවත් එම ණය ගෙවන්නට නොහැකි වී ඇත. ගත් ආධාර වෙනුවෙන් ගැතිකම් කරන්නට සහ ණයහිමියන් ඉදිරියේ හැම මොහොතකම දණින් වැටෙන්නට සහ උන්ගේ බෙර පදවලට අනුව නටන්නට සිදුව ඇත.

එසේ වන්නට හේතුව අන් කිසිවක්‌ නොව ගනු ලැබූ ඔලමොට්‌ටල දේශපාලන තීන්දු තීරණවල වැරැද්දමය. එනිසා රටක්‌ ජාතියක්‌ ලෙස අභියෝග, අර්බුද සහ ගැටලු ඉදිරියේ අසරණ වී ඇත. කෝකටත් තෛලය බඳු වන ආර්ථික ශක්‌තිය අපට නැත. අනන්‍යතාවන් රැකගෙන එම අභියෝගය ජයගන්නට ද නොහැකි වී ඇත. එපමණක්‌ නොව කෙසේ හෝ එය ජයගන්නට ද හැකියාවක්‌ නැත. එයටද එක හේතුවක්‌ ඇත. ඒ හේතුව කුමක්‌ද යන්න අපගේ දේශපාලනඥයන් හඳුනාගෙන නැත. අපේ කමට අනුව ජීවත් වන්නට වැඩි දියුණු වන්නට සරල සහ සෘජු ක්‍රම සහ විධි ඔවුන් විසින් හඳුනාගෙන නැත. අපට රත්‍රං ආකර සහ ඉන්ධන නිධි නැත. අපට ඇත්තේ කෘෂිකර්මාන්තයට ආවේණික භූමියක්‌ සහ පරිසරයක්‌ පමණි. එහි වපසරිය සහ රැකියා වෙළෙඳපොළ විශාලය. ඒ ආශ්‍රිත කර්මාන්ත බිහි වූ කල එය අති විශාලය. ඕනෑම රටක රාජයක හෝ සමාජයක වෙසෙන මිනිසුන්ට ජීවත්වන්නට රැකියාවක්‌ අත්‍යවශ්‍යමය. එනිසා සැවොම රැකියාවක්‌ කළ යුතුය. ඒ සඳහා අවස්‌ථාව තිබිය යුතුය. කිසිවෙකුත් නිකමෙකු ලෙස ජීවත් නොවිය යුතුය. සමාජයට සාධාරණයක්‌ සිදුවන්නේද එලෙසින්මය. එනිසා එම රැකියාව ද තම හැකියාවට සහ සුදුසුකමට ගැළපෙන සහ එතුළින් තෘප්තියට පත්විය හැකි රැකියාවක්‌ම විය යුතුය. දේශීය කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත තුළින් එම රැකියා ඉල්ලුම් සම්පූර්ණ කිරීම කිසිසේත් අපහසු නැත.

රැකියාවක්‌ තුළින් එම තෘප්තිය ලැබෙන්නට හොඳම සාධකය වන්නේ ඒ සඳහා හොඳ වටිනාකමක්‌ ලබාදීම පමණි. එනිසා එදා මෙදා තුර ගනු ලැබූ ඔලමොට්‌ටල දේශපාලන තීන්දු තීරණ හේතුවෙන් ජාතික ඵලදායීතාව නමැති කොඳුනාරටිය සිඳී බිඳී ගොස්‌ ඇති බව පැහැදිලිය. අද පොල්වතු කම්කරුවෙකුට ගෙවන දෛනික වැටුප කීයද, තේ වතු කම්කරුවෙකුට ගෙවන වැටුප කීයද, ගොවියකුගේ වී කිලෝ එකකට ලැබෙන වටිනාකම කීයද, කිරි ගොවියකුගේ කිරි ලීටරයට ලැබෙන මිල කීයද, අල බතල එළවළු ධාන්‍ය හෝ වෙනත් කෘෂි නිෂ්පාදනයකට ලැබෙන මිල කීයද, කෙටියෙන් කියනවා නම් දහදිය බිඳුව කොතරම් අවතක්‌සේරු වෙලාද, එය තීරණය විය යුතු වන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යායට අනුවද, හාම්පුතුන්ගේ වුවමනා එපාකම් අනුවද, නිකමුන්ගේ මනදොළ පිනවීම පිණිසද, එසේත් නැත්නම් වෘත්තීය සමිතිකාරයන්ගේ වුවමනා එපාකම් අනුවද, එසේත් නැත්නම් එය සිදු විය යුතු වන්නේ එම රැකියාලාභියාගේ මූලික අවශ්‍යතාවන් පමණක්‌ නොව ලියලන සාධාරණ වුවමනා එපාකම් පිරිමසා ගැනීම සඳහා ප්‍රමාණවත් වන පරිදි නොවේද?

එනිසා මේ රට ගොඩනඟන්නට නම්, සේවා අංශ පුළුල් නොකර, අම්මාවරු දූවරු සහ ජවසම්පන්න තරුණ ශ්‍රමය රැකියා සඳහා අපනයනය නොකර, දේශීය වශයෙන් විරැකියාව ජයගන්නටම සිදුවනවා ඇත. එසේ නොමැතිව ආර්ථිකය කඩාවැටීම, මානව හිමිකම් කඩවීම, සමාජ අරගල නිර්මාණය වීම, බාහිර බලපෑම් එල්ල වීම, වැනි බරපතළ අභියෝග ජයගන්නටද, තැනින් තැන දිනෙන් දින හතු පිපෙන්නා සේ හට ගැනෙන අර්බුද සහ ගැටලු නිරාකරණය කරගන්නට ද නොහැකි වනවා ඇත. එනිසා රට ඉදිරියේ ඇති පළමු අභියෝගය වන විරැකියාව ජය ගන්නට නම් ශ්‍රම බලකායෙන් 99% ක්‌ රැකියා නියුක්‌තිකයන් බවට පත්විය යුතුය. එම බළකායෙන් 80% කට වැඩියෙන් ශ්‍රමය වගුරන්නන් බවට පත්විය යුතුය. එය කැමැත්තෙන් සිදුවිය යුතුය. එය කැමැත්තෙන් සිදුවන්නට නම් ඒ සඳහා හොඳ වටිනාකමක්‌ ලබාදිය යුතුය. හොඳ මිලක්‌ ලබාදිය යුතුය. ඒ සඳහා වටපිටාව සකස්‌ කළ යුතුය. එහෙත් කවදාවත් දේශපාලනඥයන් ඒ ගැන කතාකර නැත. ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගෙන නැත. 

එනිසා සැකහැර එලෙස අපි වෙනස්‌ විය යුතුමය. නැතහොත් මේ රට ගොඩනොනැඟෙන බව සක්‌සුදක්‌ සේ පැහැදිලිය. මේ රටේ වැඩකරන මිනිසුන්ගේ අතට වැඩියෙන් මුදල් යනවාය කියන එකේ තේරුම මිනිසුන් තවත් වැඩි වැඩියෙන් වැඩ කරනවාය යන්නය. මිනිසුන් වැඩි වැඩියෙන් වැඩකරනවාය යන්නෙහි තේරුම ජාතික ඵලදායිතාව වැඩි වීමය. ජාතික ඵලදායිතාව වැඩි වීමෙන් සිදුවන්නේ අප ස්‌වයංපෝෂිත ජාතියක්‌ බවට පත්වීම පමණක්‌ නොව ණයට නොකන ජාතියක්‌ බවට පත්වීම, වැඩි වැඩියෙන් ආනයනය නොකරන ජාතියක්‌ බවට පත්වීම, මෙතෙක්‌ ගෙන ඇති ණය සඳහා පොලිය පමණක්‌ නොව වාරික ගෙවීමටද වටපිටාව සකස්‌ කර ගැනීමය.

එනිසා කම්කරුවකුට දෛනිකව රු. 2000 වැනි මුදලක්‌ ගෙවීම වී කිලෝ එකකට, කිරි ලීටරයකට රු. 100 ක්‌ පමණ නිගමනය කිරීම, ආදී වශයෙන් සියලුම අංශ සහ ක්‍ෂේත්‍රයන් ආවරණය වන පරිදි දේශීය නිපැයුම් සඳහා වැඩි වටිනාකම් නිගමනය කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්‌ වනු ඇත. එවිට විවිධ පැතිකඩ ඔස්‌සේ සියලුම පාරිභෝගිකයන් නිෂ්පාදන කාර්යයෙහි දායකත්වයක්‌ උසුලන හෙයින් ඔවුන්ට ද වැඩි වටිනාකමක්‌ ලැබෙන හෙයින්ද, පාරිභෝගික භාණ්‌ඩ මිල ඉහළ යැමේදී එය දරා ගැනීමේ හැකියාව පිළිබඳ ගැටලුද මතු නොවනු ඇත. එනිසා එවන් තීන්දු තීරණ ගන්නට නොහැකිද, එය තවත් ව්‍යසනයක්‌ද, ආදී වශයෙන් අපගේ අමනෝඥ දේශපාලනඥයන්ට පෙනෙනවා නම්, දැනෙනවා නම්, හැඟෙනවා නම් හෝ අවිනිශ්චිත නම්, රත්‍රං හෝ ඉන්ධන වැනි සම්පත් නැති, හරිහමන් භූමි පිහිටීමක්‌ නැති, අවුරුද්දෙන් 3/4 ට වඩා වැඩකරන්නට වටපිටාවක්‌ නැති, ස්‌වාභාවික විපත් සහ ආපදාවලින් ලොව තුළ වැඩියෙන්ම බැටකන, සංවර්ධනයේ හිණිපෙත්තටම ළඟාවුණ, දශක හයක්‌ තුළ ආර්ථික උද්ධමනය බිංදුවට ආසන්නව පවත්වාගෙන එන, ජපානය දෙස හැරී බලන්නට ඒ පිළිබඳ අධ්‍යයනය කර බලන්නට අපගේ දේශපාලනඥයන්ට සිදු වනවා. ඇත. ජපන් ජාතිකයන් දශක හයකට පෙර වැඩකරන ජනතාවට මුල්තැන හිමිකර දීම, වැඩි වටිනාකමක්‌ ලබාදීම හේතුවෙන් රටක්‌ ජාතියක්‌ ලෙස ස්‌වාභාවික විපත් සහ ආපදා හැරෙන්නට සියලු අභියෝග ජයගෙන අනෙකුත් අර්බුද සහ ගැටලු නිරාකරණය කරගෙන ඇති බවත් ඉදිරියේදී එම තත්ත්වයන් යහතින් පවත්වාගෙන යන බවත් පැහැදිලි කරගන්නට හැකි වනවා ඇත.

මේ රටේ ගුවන් තොටවල් නැව් තටාකාංගන ක්‍රීඩාපිටි අධිවේගී මාර්ග ආදිය ප්‍රමාණයටත් වඩා වැඩිය. යටිතල පහසුකම් අනුව වැඩිකළ යුතුව ඇත්තේ සැමට විදුලිය ජලය සහ කුඩා පාරවල් ටික පිළිසකර දීම පමණි. ඒ හැරෙන්නට මේ රට ගොඩනඟනු පිණිස තවදුරටත් කරන්නට ඉතිරිව ඇත්aතේ වැඩකරන මිනිසුන්ගේ ශ්‍රමය දහදිය බිඳුව සහ නිපැයුම අගැයීම පමණි. එය ආයාසයකින් තොරව පහසුවෙන් කළ හැකි දෙයකි.

ලංකාවේ දේශපාලනඥයන් තවදුරටත් කළ යුත්තේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කටමැත නොදොඩවා රට ආපස්‌සට ගෙන යන සැබෑ කුමන්ත්‍රණ හඳුනාගෙන ඒවා ජය ගැනීමය.

බී. එම්. එස්‌. බාලසූරිය
http://www.divaina.com/2016/05/24/feature01.html

0 comments: