Pages

Monday, May 16, 2016

ලක්‌වැසි අපි හැම දේශප්‍රේමී වෙමු! සදහම් මග ගමු! විශ්වමිත්‍ර වෙමු!

දුර්ලභ වූ මනුෂ්‍යත්වයක්‌ ලබා උපන් අප ජීවත් වන්නේ සේවයට කැපවුණු සුවහසක්‌ විශ්වමිත්‍ර මිනිසුන් අවශ්‍ය යුගයකය යන සත්‍යයෙන් පටන් ගනිමු. සුවිශේෂ ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයක පිහිටි සුන්දර සරුසාර රටක උපන් අපි වාසනාව උරුම කරගෙන උපන්නෝ වෙමු. අපට උපතින්ම උරුම වූ ඒ වාසනාව ගිනියම් වැලි කාන්තාර හා හිම කාන්තාර සහිත ලොවේ උපන් සැමටම හිමිවී නැති බවද අපි අවබෝධ කරගත යුතු වෙමු. හිතකර දේශගුණයක්‌ සහිත සුන්දර සරුසාර රටක වෙසෙන අපි කාන්තාර පරිසරය උරුම කරගෙන ඉපදී දුෂ්කර ප්‍රයත්නයක්‌ මගින් දිවි පෙවෙත සරු කරගන්නට වෙහෙසෙන මිසර, සිරියා, ඉරාන, ඉරාක, ඊශ්‍රායල ආදී මැද පෙරදිග ජනතාවන් කෙරේ මෙන්ම කාන්තාර, භූමිකම්පා හා ගිනිකඳු සහිත ඈත පෙරදිග, ලතින් ඇමරිකා, අප්‍රිකාදී අප අයත්වන ලෝකයේ සියලු කලාපවල වෙසෙන ජනතාවන්ගේ ජීවන ප්‍රයත්නයන් හා සුවදුක්‌ කෙරේ අපේ විශ්වමිත්‍ර අවධානය යොමු කළ යුතු වෙමු. ජාතික, කලාපීය හා මහාද්වීපික සීමා ඉක්‌මවූ විශ්වන්තරවාදී දහම් මාවතක්‌ ඔස්‌සේ යන බෞද්ධ අපි, විදේශීය වහල්භාවයට එරෙහිව ගැලවුම්කරුවකු අපේක්‍ෂාවෙන් පසු වූ යුද දේශයට ගැලපෙන ආකාරයෙන් බෝධිසත්ව සංකල්පය ක්‍රියාවට නැංවූ උතුම් මහා පුරුෂරත්නයක්‌ වන ඡේසුස්‌ වහන්සේගෙන් මෙන්ම ඉන්දියානු භූමිය තුළ ඉස්‌ලාම් ආක්‍රමණයේ යුද විනාශයන් අවසන් කළ නිසාම ශේ්‍රෂ්ඨයා (අක්‌බර්) යන අන්වර්ථ නාමය ලබා සිරගතව සිටියදී මියගිය ජලාල්දීන් නම් වූ මෝගල් අධිරාජයාගෙන්ද උගත යුතු වෙමු. 

සිරිලක්‌බිමෙන් තුනෙන් දෙකක්‌ පමණ වූ සරුසාර පසක්‌ සහිත වියළි කලාපයේ ලොකු කුඩා වැව් විසිපන්දහසකට වැඩි ගණනක්‌ හා යෝධ, මධ්‍යම, හීන් ඇළවල් පනස්‌ දහසකට වැඩි සංඛ්‍යාවක්‌ තනා මුළු රටම ජලයෙන් ඈ එකමුතු කළ සිව්හෙළේ උදාර මුතුන් මිත්තෝ වසර දෙදහස්‌ ගණනක්‌ තිස්‌සේ දස ලක්‍ෂ ගණන් ජීවිත පුදා අපේ උතුම් මවුබිමත් නිවහල් අදීන නිර්මාණාත්මක ජාතික ආර්ථික සංස්‌කෘතික උරුමයත් රැකගත්හ. රන් රස එක්‌ වූවාසේ උතුම් ශ්‍රී ලංකා දේශයේ උදාර ජාතියට මහා ආධ්‍යාත්මික ශක්‌ති උල්පතක්‌ වූයේ විශ්වන්තරවාදී සම්බුදු දහමයි. තම පියා වූ අශෝක අධිරාජයාගෙන් උරුම විය හැකිව තිබූ සුවිශාල මෞර්ය අධිරාජ්‍යයේ උරුම හිමිකම් අතහැර ජාතික සීමාවන් ඉක්‌මවූ බුදුමගට එළැඹ මහරහත් හිමිනමක්‌ ලෙස පුංචිලංකාවට වැඩම කර පිරිනිවන් පානා මොහොත දක්‌වා අපේ රටත් ජනතාවත් ලක්‌වැසි සියලු සත්වයන්ගේ යහපතත් උදෙසා කැපවී ශ්‍රී ලංකාව ලෝකයේ ධර්මද්වීපය බවට පත් කරන්නට වෙහෙසුණු අනුබුදු මිහිඳු මාහිමියෝ අපේ දේශයේ අපේ ජාතියේ අනුත්තර ගුරුවරයාණන් වූහ. අපි ඒ අනුත්තර ගුරුවරයාණන් වහන්සේගේ ආදර්ශය අනුව යමින් නිස්‌සරණාධ්‍යාශයෙන් සේවයට කැපවන ශේ්‍රෂ්ඨ ගුරුවරුන් දහස්‌ ගණනක්‌ වත්මන් පරපුර තුළින් හදා වඩා ගනිමින් දැවෙන ලොව නිවන්නට පුරෝගාමී වෙමු.

යුද්ධ මාර්ගය අතහැර ධර්ම විජය මාර්ගයට එළැඹ ඈත පෙරදිග හා මැද පෙරදිග දක්‌වා වූ මුළු ආසියාව පුරා ධර්ම දූතයන් යවන්නට කටයුතු කළ අශෝක අධිරාජයා අනුගමනය කළේ අන්‍යජාතීන්ට හා අන්‍යාගම්වලට ගරු කරන පිළිවෙතකි. එය තම ආගමටත් අනෙක්‌ ආගම්වලටත් යහපතක්‌ම සලසන යහමඟක්‌ වූ නිසාම මැද පෙරදිගත් ඉක්‌මවා මධ්‍යධරණී රාජ්‍යයක්‌ වූ ගී්‍රසිය දක්‌වාම සාර්ථක ධර්මදූත සේවාවක්‌ දියත් කිරීමට ධර්ම විජය මඟ ගත් අශෝක අධිරාජයාට හැකි විය. තුන්වැනි ධර්ම සංගායනාවට නායකත්වය දුන් මොග්ගලීපුත්තතිස්‌ස මහරහතන් වහන්සේගේ පුරෝගාමීත්වයෙන් දියත් කරන ලද අශෝක අධිරාජයාගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වූ විශ්වමිත්‍ර පිළිවෙතෙහි ප්‍රතිඵලයක්‌ වූයේ, අන්‍ය ජාතීන්ටත් අන්‍යාගම්වලටත් ගරු කරමින් අන්‍ය ජන කොටස්‌වලින් ඉගෙන ගන්නට තරම් පුළුල් මනසක්‌ විශ්වන්තරවාදී බුදුමග ගත් ලක්‌වැසි අපටද ලැබීමයි. විශ්වමිත්‍ර ආකල්පයකින් යුතුව ලෝකය දෙස බලන ලක්‌වැසියන් දුටුවේ මැද පෙරදිග කාන්තාර පරිසරයේ ඉපදී දුෂ්කරතා ජය ගැනීමේ අධිෂ්ඨාන සහගත ප්‍රයත්නයක යෙදෙන ජන කොටස්‌ අතරද මහා වීර්යයෙන් යුතු සේවයට කැපවුණු ශේ්‍රෂ්ඨයන් සිටින බවයි.

යුප්‍රටීස්‌ ටයිගී්‍රස්‌ ගංගා අතර දෙගම්මැදි රාජධානියේ (බැබිලෝනියාවේ) මෙන්ම පලස්‌තීනයේ ගලීලයේ ජුදා දේශයේ ද මහත් අධිෂ්ඨානයෙන් යුත් ශේ්‍රෂ්ඨයන් සිටින බව දුටු ලක්‌වැසියෝ ඔවුන්ගෙන් ගත හැකි ආදර්ශයන් ලබා ගැනීමටද පසුබට නොවූහ. වරින් වර බැබිලෝනියා, මිසර, ගී්‍රක හා පර්සියන් ආක්‍රමණවලට ගොදුරු වී බැබිලෝනියානුවන්ගේත්, ගී්‍රකයන්ගේත්. පර්සියන්වරුන්ගේත් වහලුන් වන්නට සිදුවුවද යුදෙව් ජාතිය මුළුමනින් වහල් වූයේ නැත. යටත් නොවූ පිරිස්‌ කඳුකරයට පලා ගොස්‌ තම ආගම රැක ගන්නට ප්‍රයත්න දැරූහ. ගැලවුම්කාරයකු බිහි වේය යන විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුදෙව්වෝ කොතෙකුත් බාධක උවදුරු මැද සිය ආගම රැකගත් සුවිශේෂ ජන කොටසක්‌ බවට පත් වූහ. ගැලවුම්කාරයකු අපේක්‍ෂාවෙන් සිටි යුදෙව්වෝ වරෙක ආක්‍රමණිකයකු වුවත් සාධාරණ පාලකයකු වූ මහා ඇලෙක්‌සැන්ඩර් අධිරාජයා උත්කර්ෂවත් අන්දමින් පිළිගත්හ. එහෙත් සිංහල බෞද්ධ අපි කිසිදා කිසිම ආක්‍රමණිකයකු සාදර ගෞරවයෙන් පිළිගත්තේ නැත. සිංහල අප සාදරයෙන් පිළිගත්තේ විශ්වන්තරවාදී දහමක්‌ ගෙනා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් පමණි. විශ්වමිත්‍ර ආකල්පයකින් කටයුතු කළ ලක්‌වැසි අපි චීන ජාතික පාහියන් හිමි, බුද්ධඝෝෂ හිමි, චෝලීය ධම්මපාල හිමි, ඉබන්බතුතා, ගොන්සාල්වේස්‌ පියතුමා හා සිංහලේ රජුගේ සුවිශේෂ සිරකරුවකු වූ රොබට්‌ නොක්‌ස්‌ ද සාදරයෙන් පිළිගත්තෙමු. සුවිශේෂ ආකාරයක හිරකරුවකු ලෙස සිංහලයන් ඇසුරු කරමින් විසූ රොබට්‌ නොක්‌ස්‌ සිංහලේ රජුගේ විවෘත සිර ජීවිතයෙන් මිදී සිය රටට යැමද අපට යහපතක්‌ම වූයේ, නොක්‌ස්‌ ලංකාව ගැනත් ලංකාවේ මිනිසුන් ගැනත් ලංකාවේදී ලැබූ අත්දැකීම් ගැනත් ලියා ලොවට දායාද කළ හෙයිනි. ජෙරනිමෝ ද අසවේදු වැනි කුරිරු පෘතුගීසි නායකයන් ලක්‌වැසියන්ට කොතෙකුත් දුක්‌ විපත් ගෙන දුන්නද ඡේසු නිකායික කතෝලික පූජක උතුමන් බොහෝ දෙනෙක්‌ ලක්‌වැසි ජනතාව කෙරේ සාධාරණ ආකල්පයක්‌ දැරූහ.

ධර්ම විජය මගත් අශෝක අධිරාජයාගේ අනුග්‍රහය ලැබූ ධර්ම දූතයන් වහන්සේලා මිසර, සිරියා, ගී්‍රක දේශ කරා ගෙන ගිය ජනහිතකාමී ජීව හිතවාදී දහම් පණිවුඩය යුදා දේශය කරාද පැතිරුණි. මිසරයේ ඇලෙක්‌සැන්ඩි්‍රයා ආදී ප්‍රදේශවල බිහිවී යුදා දේශයට පැතිරුණු තෙරපියුටා (ථෙරවාද) ශ්‍රමණයෝ මැද පෙරදිගට ගැළපෙන ආකාරයට ක්‍රියා කළ භික්‍ෂූන් වහන්සේලා වූහ. යුදෙව්වන් අතරම ක්‍රියාත්මක වූ එසින්වරු තෙරපියුටා ආදර්ශයන් යුදෙව් සමාජයට එක්‌ කළ ධර්ම වීරයෝ වූහ. තෙරපියුටා ශ්‍රමණයන්ගේ හා එසීන්වරුන්ගේ ආභාසය ලැබූ ඡේසුස්‌ වහන්සේ සර්ව බලධාරී දෙවි කෙනකු පිළිබඳ දැඩි මත දැරූ ජනකායක්‌ සහිත ජුදා දේශයට ගැළපෙන සේ බෝධිසත්ව සංකල්පයට පණ දුන් උතුම් ශාස්‌තෘවරයකු වූහ. වෛරය මෛත්‍රියෙන් ජයගත යුතු බව ඉගැන්වූ බුදුන් වහන්සේගෙන් මෙන්ම සතුරන්ට පවා ප්‍රේම කළ යුතු යෑයි ඉගැන්වූ බෝසත් උතුමෙකු වූ ඡේසුස්‌ වහන්සේගෙන්ද ඉගෙන ගන්නට තරම් විශ්වන්තරවාදී බෞද්ධයෝ පුළුල් විවෘත මනස්‌ ඇත්තන් විය යුතුය. ඡේසුස්‌ වහන්සේ ප්‍රකාශ කළ පරිදි තම සහෝදරයාට ප්‍රේම කිරීම අමාරු දෙයක්‌ නොවන්නාක්‌ මෙන් ම එහි විශේෂත්වයක්‌ ද නැත. උදාර ක්‍රියාමාර්ගය වන්නේ සතුරන් කෙරේද ප්‍රේමය ප්‍රකාශ කිරීමයි. තමන්ගෙන් පටන් ගෙන තම ඥති හිතවතුන් හා තමන් කෙරේ මධ්‍යස්‌ථ වූවන්ට මෙන්ම සතුරු වූවන්ටත් සියලු සත්ත්වයන්ටත් මෛත්‍රී කරන බෞද්ධයන්ට සතුරන්ටත් ප්‍රේම කළ යුතු යෑයි ඉගැන්වූ ඡේසුස්‌ වහන්සේට ගෞරව කරමින් එතුමන්ගේ අනුගාමිකයන් කෙරේද මිත්‍රත්වය ප්‍රකාශ කරමින් සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීම දුෂ්කර නොවේ. මැද පෙරදිග කාන්තාර පරිසරයන් ජය ගැනීමේ දුෂ්කර ප්‍රයත්නයක යෙදෙන්නට සිදුවීම නිසා සාහසික ගති ඇත්තන් වී ඇති අරාබීන්ට විරුද්ධ නොවන අපි කාන්තාරීය සංස්‌කෘතික මූලාරම්භයක්‌ සහිත මුස්‌ලිම් ප්‍රජාව අතරින් වනාන්තර විරෝධී පිරිස්‌ බිහිවීමට හේතුවූ ධනේශ්වර ප්‍රවණතාවන් අවබෝධ කරගෙන දිගු කලක්‌ සමගියෙන් ජීවත් වූ ඉස්‌ලාම් භක්‌තිකයන්ට සොබා පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාව පහදා දෙමින් සාමයෙන් සමගියෙන් සහෝදරත්වයෙන් ක්‍රියා කළ යුතු වෙමු.

බටහිර බලවතුන්ට ගැතිකම් කරමින් ජාතියේ මාර්ගෝපදේශකයන් වන නිස්‌සරණාධ්‍යාශයෙන් සේවයට කැපවුණ මහා සංඝරත්නයටත් ගොවි, කම්කරු, ගුරු, ලිපිකරු වැඩ කරන ජනතාවටත් දේශීය ව්‍යාපාරික ප්‍රජාවටත් හතුරුකම් කරන්නවුන්ට එරෙහිව බහුජන සටන් මග ගන්නට වත්මන් පරපුරේ සියලු දේශප්‍රේමී ජනහිතකාමීන් එක්‌විය යුතුය. ඉන්දියාවේ නිදහස හා ඒකීය භාවය වෙනුවෙන් දිවි පුදන්නට මහත්මා ගාන්ධිතුමන්ට හැකිනම් ඉන්දියන් සාගර කලාපයේ විශිෂ්ට ජාත්‍යන්තර මධ්‍යස්‌ථානයේ පිහිටි සුන්දර ශ්‍රී ලංකාව බෙදුම්වාදී අගාධයට ඇද දමන නව යටත්විජිතවාදී කූටෝපායක ක්‍රියාමාර්ගවලට එරෙහිව රට දැය සමය වෙනුවෙන් නැඟී සිටින්නට දේශප්‍රේමී අප පසුබට විය යුත්තේ මක්‌නිසාද? අපි අපේ දේශප්‍රේමී ජාතික උරුමයට පණ දෙමු. ලක්‌ ඉතිහාසයේ උදාර අත්දැකීම්වලින් පණ ලබා ජාති හිතෛෂී දේශමාමක හැඟීමෙන් නැඟී සිටිමු. වැටුණු දැය නඟා සිටුවන්නට කැපවෙමු. බුදු තෙමඟුල සඳහා සැරසෙන වෙසක්‌ සමයේ අපේ ආදර්ශය විය යුත්තේ කල්ප කාලාන්තරයක්‌ පෙරුම් පුරා ලොව්තුරා බුදු වූ මහ බෝසතාණන් වහන්සේගෙන් උරුම වූ බෝධිසත්ව ප්‍රතිපදාවයි. සිය දහස්‌ ගණන් බෝසත්වරුන් බිහි වේවා·

දැවෙන ලොව නිවේවා·· සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!

අනගාරික ධර්මසේකර තුමා
http://www.divaina.com/2016/05/15/feature18.html

Pic Source

0 comments: