Pages

Saturday, July 22, 2017

අම්බලන්ගොඩ ඒකාලෝක කළ මිණි පහන් ද්විත්වය - පී. ද එස්‌. කුලරත්න සහ එල්. එච්. මෙත්තානන්ද

අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්‌. කුලරත්න මැතිතුමා මෙන්ම අම්බලන්ගොඩ උපන් තවත් සුවිශේෂී චරිතයක්‌ වන ලොකු සතුහේවා මෙත්තානන්ද (එල්. එච්. මෙත්තානන්ද) යන දෙපල මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක්‌ කළ යුග පුරුෂයන්ය.

1893.03.31 අම්බලන්ගොඩ විලේගොඩ උපන් පී. ද එස්‌. කුලරත්න සහ එල්. එච්. මෙත්තානන්ද පටබැදිමුල්ල ඉංග්‍රීසි බෞද්ධ පිරිමි පාසලෙන් සිය මුලික අධ්‍යාපනය අරඹන අතර ඉන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය පිණිස ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුළත් වන ලදී. මෙම දෙදෙනාගෙන් පී. ද එස්‌. කුලරත්න 1912 වර්ෂයේදී පමණ උසස්‌ අධ්‍යාපනය පිණිස ශිෂ්‍යත්වයක්‌ ලබා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට යන අතර 1915 වර්ෂයේදී කලා අංශයෙන් සහ 1916 වර්ෂයේදී විද්‍යා අංශයෙන් පළමු පංතියේ ගෞරව උපාධි ලබන අතර ඉන් අනතුරුව 1917 වර්ෂයේදී නීති උපාධිය දිනාගනු ලබන්නේය.

1918 වර්ෂයේදී නැවතත් ලංකාවට පැමිණෙන කුලරත්නයන් එතෙක්‌ කලක්‌ පරම විඥානාර්ථ සමිතිය යටතේ පැවැති කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ධූරයේ වැඩභාර ගන්නා අතර ඒ වන විට ඔහු වයස අවුරුදු 25 ක්‌ තරම් වූ තරුණ වයසේ පසුවිය. එවකට කොළඹ ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 350 ක්‌ වූ අතර කුලරත්නයන් විසින් ඇති කළ ශිෂ්‍යත්වයක්‌ හේතුවෙන් වසරක්‌ ගතවීමත් සමඟ එම සංඛ්‍යාව සිසුන් දහසක්‌ දක්‌වා ඉහළ අගයක්‌ ගන්නේය. එකල කොළඹ ආනන්ද විද්‍යාලය පිහිටියේ "මරියකඩේ" නම් නොදියුණු වැඩි වශයෙන් මුඩුක්‌කු පැල්පත් තිබූ ප්‍රදේශයකය.

කුලරත්න මහතාගේ අප්‍රතිහත ධෛර්ය හා කැපවීම හේතුවෙන් පසු කලෙක කොළඹ ආනන්ද විද්‍යාලයය ලංකාවේ පළමු පෙළ විදුහලක්‌ බවට පත් විය. 1923 වර්ෂයේදී පමණ කුලරත්න මහතාගේ මූලිකත්වයෙන් කොළඹ නාලන්දා විද්‍යාලයය ආරම්භ කළ අතර 1932 වර්ෂයේදී පමණ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධිපතිව කටයුතු කර ඉන් අනතුරුව වර්ෂ 1942 දී පමණ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වීමේ අටියෙන් විශ්‍රාම ගන්නා තුරු එහි විදුහල්පතිවරයා හැටියට විදුහලට මාහැඟි සේවයක්‌ ඉටු කළේය.

එතුමන් විවාහ වූයේ සිංහල බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ පුරෝගාමී කාන්තාවක්‌ වූ ඉංග්‍රීසි ජාතික හිල්ඩා වෙස්‌ට්‌බෲක්‌ මෙනෙවිය සමඟය. මෙම දෙපලගේ සුසංයෝගයෙන් කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, බණ්‌ඩාරවෙල කාන්තා මහ විදුහල, මොරටුව විදුහල, නුගේගොඩ අනුලා බාලිකා විදුහල, පානදුර ශ්‍රී සුමංගල පිරිමි සහ ගැහැනු විදුහල්, මාතර රාහුල විදුහල සහ එදා දික්‌වැල්ල සෙන්ට්‍රල් මේ වන විට විජිත මධ්‍ය මහා විදුහල යන නමින් හැඳින්වෙන විදුහල් බිහි කරමින් මෙරට අධ්‍යාපනය උදෙසා විසල් මෙහෙවරක්‌ සිදු කරන ලදී.

එවකට මෙරට අධ්‍යාපන ඇමතිවරයා ලෙස කටයුතු කළ නිදහස්‌ අධ්‍යාපනයේ පියා ලෙසින් හඳුන්වනු ලබන ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ සංකල්පයකට අනුව රට පුරා මධ්‍ය මහා විද්‍යාල බිහිකිරීමේ සංකල්පයේදී ඔහු කුලරත්න මහතා අමතා අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසය වෙනුවෙන් මධ්‍ය මහා විද්‍යාලයක්‌ පිහිටුවිය යුතු ස්‌ථානයක්‌ විමසූ විට කුලරත්න මහතා විසින් එවකට ඉතාම නොදියුණු හා අඩු අධ්‍යාපනික තත්ත්වයකින් හෙබි වූ එනිසාම දාමරික හා ප්‍රචණ්‌ඩ ක්‍රියා ගහනව පැවති කරන්දෙනිය යෝජනා කළේය. ඒ අනුව බිහි වූ කරන්දෙනිය මධ්‍ය මහා විද්‍යාලය කුලරත්න මහතාගේ මුලිකත්වයෙන් ඉදිවූවක්‌ය. එතුමන් සිහිපත් වනු පිණිස අම්බලන්ගොඩ නගරයට සැතපුම් අටක්‌ පමණ උතුරට වන්නට පිහිටි කරන්දෙණිය මධ්‍ය මහ විදුහල් භූමියේ එතුමන්ගේ පිළිරුවක්‌ද නිර්මාණය කොට ඇත. කරන්දෙණියට අමතරව අලුත්ගම බාලිකා විදුහල, කුරුණෑගල මලියදේව විදුහල අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ආදියටද කුලරත්න මහතා විසින් ඉටු කළ මෙහෙවර අතිමහත්ය.

විශේෂයෙන් බෞද්ධ අධ්‍යාපනයට අතිමහත් මෙහෙවරක්‌ සිදුකළ කුලරත්න මහතා දේශපාලනයට පිවිස ඇත්තේ 1942 වර්ෂයේදීය. අම්බලන්ගොඩ බලපිටිය බහු මන්ත්‍රී කොට්‌ඨාසයේ මන්ත්‍රීවරයෙකු වන මෙතුමන් එම වර්ෂයේදීම ජාතික සංගමයේ සභාපතිවරයා බවටද පත් විය. 1956 වර්ෂයේදී බෞද්ධ කොමිෂන් සභාවේ සභිකයෙකු වූ මෙතුමන් 1958/59 වර්ෂ සඳහා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයටද පත්විය.

එතුමන් අනුස්‌මරණය කිරීම පිණිස අම්බලන්ගොඩ හිටපු මන්ත්‍රීවරයෙකු වන රයිටර් තිලකසේකර මහතා විසින් ඇති කරන ලද පී. ද. එස්‌. කුලරත්න මහ විද්‍යාලය මේ වන විටද ප්‍රදේශයේ නමගිය විදුහල් පවා අභිබවා යමින් සිය විදු ගොස පැතිරුවද අම්බලන්ගොඩ උපන් කුලරත්න මහතාගේ සමකාලීනයෙකු හා ශ්‍රී ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ නියමුවා වශයෙන් හැඳින්විය හැකි එල්. එච්. මෙත්තානන්ද මහතා ගැන කිසිදු සිහිවටනයක්‌ නොමැතිවීම පළාතට අඩුපාඩුවක්‌ වශයෙන් දුටු අම්බලන්ගොඩ දේශප්‍රේමී සංවිධානයේ සභාපති වන මෙම ලියුම්කරු මෙම යුග පුරුෂයන් දෙදෙනා සිහිවීම පිණිස ස්‌මාරකයක්‌ ඉදිකිරීමට බලාපොරොත්තු වූයේ කලක පටන්ය. ඒ සඳහා කුලරත්න මහතාගේ ප්‍රතිමාව නොමිලයේ ඉදිකර දීම පිණිස කලාකරුවකු ඉදිරිපත් වූවේ ඔහුට අකුරු කියවූයේ පී. ද එස්‌. කුලරත්න මැතිතුමා වූ හෙයින්ය. එහෙත් එම කලාකරුවාගේ ලිපිය හා ලිපිනය යම් අතපසුවීමක්‌ හේතුවෙන් මේ වන විට අස්‌ථානගතව ඇති බැවින් මෙම ලිපිය කියවන එතුමන් යළි මා අමතනු ඇතැයි මාගේ විශ්වාසය වී ඇත.

අම්බලන්ගොඩ නගර සභාව විසින්ද කලක සිට මෙම යුග පුරුෂයන් සිහිවීම පිණිස යමක්‌ කළ යුතු බවට තීරණය කර ඇතත් පසු කලෙක " කුලරත්න පාර" යනුවෙන් මාර්ගයකට පමණක්‌ එය සීමා කොට ඇත.

අධිනීතිඥ බුද්ධික කුරුකුලරත්න
http://www.divaina.com/2017/07/23/feature20.html

0 comments: