Pages

Saturday, July 15, 2017

නැගෙනහිර සමුද්‍රගිරි පිච්චමල් විහාර පුරාවිද්‍යා බිම අන්තවාදීන්ගේ ග්‍රහණයට!




































ඇස ගැටෙන සෑම තැනම නටබුන්ය. පස්‌ගොඩැලිවලින් වැසී ගිය පාදම කොටස්‌ ය. චෛත්‍ය කොටස්‌ ය. ගල් කණු ය. සඳකඩ පහණය. එකී නොකී පුරාවස්‌තුවලින් පිරුණු භූමියකි. වසර සිය, දහස්‌ ගණනක ඉපැරැණි ඉතිහාසයකට උරුමකම් කියන බෞද්ධ පුදබිමකි. එහෙත් මේ ඓතිහාසික භූමිය වර්තමානය වන විට ත්‍රිකුණාමලය, පුල්මුඩේ මාර්ගය අද්දර සිටුවා ඇති බෝඩ් ලෑල්ලකට පමණක සීමා වී ඇත.

පුරාවස්‌තු විසිරුණු එම පුණ්‍ය භූමිය පුරා අපි ඇවිද ගියෙමු. පෑගෙන සුදු වැල්ල සීතලය. රළ ගෙඩි සිප හමා එන සීත සුළං රැළි ගත පුරා වෙලෙයි. බෝපත්වල සිලිසිලිය, නෙක විසිතුරු තුරුපත් නැළවෙන හඬ සමඟ මුසු වූ රළ බිඳෙන හඬ හීනියට වැයෙන ගීතයක්‌ වැනිය. හිරු මෝරමින් තිබෙන උදෑසන ඒ පුණ්‍ය භූමියේදී ගතට දැනෙන සුවය කියා නිම කළ නොහැකි තරම් ය. එක්‌ පසක්‌ ත්‍රිකුණාමලය, පුල්මුඩේ මාර්ගයට ද, අනෙක්‌ පස මහ මුහුදට මායිම් වූ ඒ බිම් තීරුව සොබාදහමේ අපූරු නිර්මාණයකි. එහෙත් කුච්චවේලී සමුද්‍රගිරි පිච්චමල් රජමහා විහාරය ලෙස නම් පටබැඳි ඇති මේ පූජා භූමියට මේ වන විට අත්ව ඇති ඉරණම අතිශය ශෝචනීයයි. 

ස්‌වාමීන් වහන්සේලා වැඩ වාසය කරන විහාර ගෙය, ළඟ එන වැසි සමයට දිය බත් වී කඩාවැටෙන තරමට දිරාපත් වී ගොස්‌ය. එම ඓතිහාසික භූමියෙන් මතු කරගන්නා ලද පුරාවස්‌තු තැන්පත් කර ඇති කෞතුකාගාරය හරක්‌ මඩුවක්‌ තරමට ජරාවාස වී ගොස්‌ය. පුරාවිද්‍යා භූමියේ ආරක්‍ෂාවට බැඳුණු කම්බි වැට කැඩී බිඳී ගොස්‌ නටබුන් බවට පත් වී හමාරය. නටබුන් සහිත පුරාවිද්‍යා භූමිය ටිකෙන්, ටික අන්තවාදීන්ගේ ග්‍රහණයට නතු වෙමින් තිබෙන සැටි ඇස්‌පනාපිට පෙනේ. වැට මායිමක්‌ නැති බෞද්ධ පුදබිමේ එළු රංචු, හරක්‌ පට්‌ටි ලගින සැටි දුටු විට හදවත හිරිවැටිණි. එහෙත් සුළුතරය සිංහලුන් බවට පත්ව ඇති නැගෙනහිර පළාතේදී මේ ඓතිහාසික පුද බිම මෙපමණකට හෝ ආරක්‍ෂා වී තිබීම ගැන සිංහලුන් විදිහට අප සතුටු විය යුතුය. ගෝත්‍රික අන්තවාදීන් විසින් තවදුරටත් මේ ඓතිහාසික භූමියට පිඹුරුපත් සකසා උරුමකම් කියන්නට පෙර ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ කුච්චවේලී ප්‍රදේශයේ පිහිටි මේ පුදබිම ගැන බෞද්ධ ජනතාව දැනුවත් කර තැබීම ශාසනික මෙහෙවරකි. එහෙයින් අපි එම ඓතිහාසික භූමියේ පිහිටි පිච්චමල් විහාරයේ වැඩ වාසය කරන කැප්පෙට්‌ටියාවේ අරණවිහාරි හිමියන් බැහැදැක කරුණු කාරණා සාකච්ඡා කළෙමු. මේ උන්වහන්සේ පැවසූ කරුණුය.

''මම මේ ස්‌ථානයට වැඩම කළේ අහම්බෙන්. අරිසිමාලේ, ගිරිහඬු සෑය වන්දනා කරලා එන ගමන් මේ ස්‌ථානය දැකලා නතර වෙලා බැලුවා. බෝධීන් වහන්සේ රෝපණය කරලා බෝධි ප්‍රාකාරයක්‌ නිර්මාණය කරලා තිබුණා. මුහුදු වෙරළත් එක්‌ක තියෙන සුන්දර පරිසරය. සසර පුරුද්දට වගේ මගේ හිත මෙතැන නතර වුණා. මම මේ විහාරයේ වැඩ වාසය කරන්න පැමිණියේ 2015 මැයි මාසෙ. ඊට පෙර හිමි නමක්‌ වැඩ වාසය කරලා යන්න ගිහින් තිබුණා. මම එනකොට මේ ගොඩනැඟිල්ල සම්පූර්ණයෙන්ම ගරා වැටිලා තිබුණේ. පස්‌සේ ආරක්‍ෂක නිලධාරීන්ගේ උදව් උපකාර ඇතිව වැඩ වාසය කරන්න පුළුවන් තරමට ගොඩනැඟිල්ල පිළියම් කර ගත්තා. ඊට පස්‌සෙ බුදු මැඳුර නිර්මාණය කරලා අලුතින් කුටි ගෙයක්‌ ඉදිකළා. දැනට අපි වැඩ වාසය කරන ගොඩනැඟිල්ල පුරාවිද්‍යා නිලධාරීන් කියන විදිහට දෙමළ ජාතික ව්‍යාපාරිකයකුගේ තානායමක්‌...''

''කුච්චවේලි ප්‍රදේශයේ සිංහල බෞද්ධ පවුල් පදිංචි වෙලා නෑ. තවම මට දානය ටික ලබාදෙන්නෙ හමුදාවේ, පොලිසියේ මහත්වරු. සමහර දෙමළ මිනිස්‌සු පන්සලට ඇවිත් මාත් එක්‌ක කතාබහ කරලා යනවා. ඒ මිනිස්‌සු කියනවා යුද්ධයට ඉස්‌සර මේ ප්‍රදේශයේ දෙමළ මිනිස්‌සුයි, සිංහල මිනිස්‌සුයි හරි හරියට පදිංචි වෙලා හිටියා. මුස්‌ලිම් පවුල් ඉඳලා තියෙන්නෙ සුළු ප්‍රමාණයක්‌ කියලා. දැන් ඒ ප්‍රදේශවල වැඩියෙන්ම පදිංචි වෙලා ඉන්නෙ මුස්‌ලිම් පවුල්. දෙකට දෙමළ. සිංහල පවුල් ඇත්තෙම නෑ..."

''මේ ස්‌ථානයේ ඓතිහාසික පසුබිම ගැන සොයාගෙන යද්දී, නැගෙනහිර පළාතේ අතිශය පෞරාණික බෞද්ධ සිද්ධාස්‌ථානයක්‌ බවට තොරතුරු අනාවරණය වෙමින් තියෙනවා. තපස්‌සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් දෙදෙනා කේශ ධාතූන් වහන්සේලා රැගෙන ලංකාවට ගොඩ බැස්‌සා කියන ස්‌ථාන දෙකෙන් එකක්‌ මේ ස්‌ථානය කියලා ජනප්‍රවාදයේ කියෑවෙනවා. ඒ ගැන පුරාවිද්‍යා නිලධාරීන් තවම සනාථ කරගෙන නෑ. මේ ඓතිහාසික භූමියට ඉදිරිපිට මුහුදට මායිම් වෙලා තියෙන ගල් කන්දෙන් එහා පැත්තෙ අතීතයේ වෙළෙඳ වරායක්‌ තිබුණු බවට පුරාවිද්‍යා නිලධාරීන් හොයාගෙන තියෙනවා. ඒ වගේම මුහුදට මායිම්ව තියෙන ගල් කන්දේ කටාරම් සහිත ලෙනක්‌, මහායාන සම්ප්‍රදායට අයත් සෙල් ලිපියක්‌ තිබිලා පුරාවිද්‍යා නිලධාරීන් හොයාගෙන තියෙනවා. ගල් කන්ද මුදුනේ විශාල චෛත්‍යයක්‌ තිබිලා තියෙනවා. දැනටත් චෛත්‍ය ගර්භය තියෙනවා...'' උන්වහන්සේගේ දෙනෙත් මුහුද දෙසට පාවී ගියහ. 

මුහුදු වෙරෙළට මායිම් වූ ගල් කන්ද විසල් ගහ කොළවලින් පිරුණු පරිසර පද්ධතියකි. කන්ද මුදුනේ නටබුන් වූ චෛත්‍යයක්‌ හොඳින් දර්ශනය වේ. ඒ ආසන්නයේම මුර කුටියකි. කන්දට නඟින්නට යකඩ වැටකි. අදට ද මුහුද නිරීක්‍ෂණය කිරීම සඳහා නාවික හමුදා මුරපොළක්‌ ලෙස එම ස්‌ථානය භාවිතා කෙරේ. නැවත අපි උන්වහන්සේගේ දේශනයට සවන් දී සිටිමු.

''වෙළෙඳ කටයුතු සඳහා චීන ජාතිකයන් පැමිණි බොහෝ වරායන් ආසන්නයේ ඒ අයට වැඳුම් පිදුම් කරන්න වෙහෙර විහාර ගොඩනඟාගෙන තියෙනවා. මේ ගල් කන්ද පාමූල මහායන සම්ප්‍රදායට අයත් සෙල් ලිපියක්‌ තිබීමෙන් සනාථ වෙන්නෙ එදා චීන ජාතිකයන් මේ ස්‌ථානයේ වෙහෙර, විහාර හදාගෙන වැඳුම්, පිදුම් කරලා තියෙන බවයි. ඒ වගේම මේ පූජා භූමිය ඉදිරිපිටින් ගිරිහඬු සෑයට යන්න කෙටි පාරක්‌ තියෙනවා. පන්සල ඉදිරිපිට තියෙන ඉන්ධන පිරවුම්හල ආරම්භ කරන්න ඉස්‌සර වෙලා 2013 අවුරුද්දේ ඔස්‌මන් බෝපෙආරච්චි කියන මහාචාර්යවරයා දෙස්‌, විදෙස්‌ විශ්වවිද්‍යාල ළමයි එක්‌ක ඒ භූමියේ කැණීමක්‌ කරලා තියෙනවා. ශ්‍රී පතුල් ගලක්‌, පිළිම වහන්සේලා, ඡත්‍ර, වගේ පුරාවස්‌තු රැසක්‌ සොයාගෙන තියෙනවා. පස්‌සෙ එම ඓතිහාසික තොරතුරු ලෝකය පුරා ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒවා දැකලා පහුගිය දවසක සිංහල පිරිසක්‌ සමඟ ජපන් ජාතික ස්‌වාමීන්වහන්සේ නමක්‌ මේ ස්‌ථානයට වැඩම කරලා මට කිව්ව මේ ස්‌ථානයේ තියෙන ශ්‍රී පතුල් ගල බලන්න ඕනෑ කියලා. පස්‌සෙ මම කෞතුකාගාරය තියෙන ශ්‍රී පතුල් ගල උන්වහන්සේට පෙන්නුවා. ඒ ගල හොඳින් නිරීක්‍ෂණය කරලා ඒ ස්‌වාමීන් වහන්සේ මට කියනවා 'මිහින්තලේදී හඳුනා ගත්ත ශ්‍රී පතුල් ගල තමයි ලෝකෙ හොයාගත්ත පැරැණිම ශ්‍රී පතුල් ගල... නමුත් මම දැකපු පැරැණිතම ශ්‍රී පතුල් ගල මේ ගලයි...' කියලා. උන්වහන්සේට වයස අවුරුදු අනූවක්‌. ලෝකය පුරා පුරාවිද්‍යා ගවේෂණ කටයුතුවල නිරත වෙලා ඒ පිළිබඳ හසළ දැනුමක්‌ ඇති ස්‌වාමීන් වහන්සේ නමක්‌. උන්වහන්සේ කියන විදිහට වරායත් එක්‌ක ගොඩනැඟුණු ඉතිහාසයටත් වඩා පැරැණි ඉතිහාසයක්‌ මේ ස්‌ථානයේ තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්...''

''පුරාවස්‌තු සම්බන්ධයෙන් එල්ලාවල මේධානන්ද ස්‌වාමීන් වහන්සේ ලියපු පොතක සඳහන් වෙලා තියෙනවා මේ ස්‌ථානයේ තිබුණු පුරාවස්‌තු විශාල ප්‍රමාණයක්‌ විනාශ වෙලා කියලා. ඒ වගේම අතීතයේ මේ පූජා භූමියට අක්‌කර පන්සීයක විතර විශාල ප්‍රදේශයක්‌ අයත් වෙලා තිබිලා තියෙනවා. ජනප්‍රවාදයේ කියෑවෙන විදිහට දුටුගැමුණු රජ සමයේ ඒ අක්‌කර පන්සීය තුළ ම පිච්ච මල් වගා කරලා අශ්ව කරත්තවලින් අනුරාධපුරයට මල් අරගෙන ගිහින් තියෙනවා. ඒ ප්‍රදේශය පුරා පුරාවස්‌තු විසිරිලා තිබෙන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවත් තහවුරු කරගෙන තියෙනවා. පොලිසිය, ඉන්ධන පිරවුම්හල පිහිටි භූමිය තුළ පුරාවස්‌තු තිබිලා සොයාගෙනත් තියෙනවා. ඒවායේ වළවල් හාරනකොට මතුවෙච්ච පුරාවස්‌තු මුහුදට ගිහින් දැම්මා කියලා ප්‍රදේශයේ කතාවක්‌ තියෙනවා. කුච්චවේලී පුරාවිද්‍යා ස්‌ථානය ආරම්භ කරලා විශ්‍රාම යන තෙක්‌ හිටිය සැම්සන් රාජපක්‍ෂ කියන පුරාවිද්‍යා නිලධාරියා කියන විදිහට ඉන්ධන පිරවුම්හල ඉදිකරලා තියෙන්නේ පුරාවිද්‍යා රක්‍ෂිතයට අයත් භූමියේ. මටත් මතක විදිහට 2013 අවුරුද්දෙ ඔය ප්‍රදේශය 'පුරාවිද්‍යා රක්‍ෂිතයට අයත් භූමියක්‌ කියලා දැන්වීමකුත් දාලා තිබුණා. දැන් ඒ කිසිම දැන්වීමක්‌ නෑ. කුච්චවේලී පොලිසියට ආසන්නයේ පුරාවිද්‍යා සංරක්‍ෂිත ප්‍රදේශයේ කුච්චවේලී ප්‍රාදේශීය සභාව මගින් වෙළෙඳ සංකීර්ණයක්‌ හදන්න ගියා. පස්‌සෙ අපි මැදිහත්වෙලා මහානායක හාමුදුරුවන්, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා දැනුවත් කරලා ඒක නතර කර ගත්තා. පස්‌සෙ මම කිව්වා ඒ භූමියට පුරාවිද්‍යා සංරක්‍ෂිත ප්‍රදේශයක්‌ කියලා දැන්වීමක්‌ පළ කරන්න කියලා. ඒත් අද වෙන තෙක්‌ එහෙම බෝඩ් ලෑල්ලක්‌ එල්ලුවේ නෑ. දැනටත් ඒ භූමියේ කඩ කිහිපයක්‌ බැඳගෙන යනවා. මේ වන කොට පුරාවිද්‍යා රක්‍ෂිත ප්‍රදේශය අන්තවාදීන්ගේ රජ දහනක්‌ බවට පත් වෙලා ඉවරයි...''

''බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිච්චමල් රජමහා විහාරයට අයත් අක්‌කර දෙකත් අන්තවාදීන් පිරිස්‌ චුට්‌ට, චුට්‌ට කොනිත්තනවා. පන්සල් භූමිය බේරගන්න දැන් මට නඩු කියන්නත් වෙලා. මේ පුරාවිද්‍යා ප්‍රදේශය ආරක්‍ෂා කරලා දෙන්න කියලා අදාළ බලධාරීන්ට වාචිකව, ලිතව කියපු වාර ගණන අනන්තයි. මේ ස්‌ථානයට ආපු පුරාවිද්‍යා නිලධාරියකුට මම කිව්වා කැණීම් කරලා සොයාගත්ත පුරාවිද්‍යා නටබුන් ටික පරිස්‌සම් කරගන්න මේ කෞතුකාගාර ගොඩනැඟිල්ල හදලා දෙන්න කියලා. එතකොට ඒ නිලධාරියා කියනවා 'කොහේද හාමුදුරුවනේ... ඕව කරන්න සල්ලි...' කියලා. තව පුරාවිද්‍යා නිලධාරියෙක්‌ මට කිව්වා 'ඔය පුරාවස්‌තු සංරක්‍ෂණය කරන්න අපිට පිරිස්‌ බලය නෑ. ඒ නිසා ඕවා කැණීම් නොකර ඉඳිමු...' කියලා. පස්‌සෙ මම වර්තමාන ජනාධිපතිතුමාටත් ඒ ගැන කියලා ලියුමක්‌ යෑව්වා. ඒත් ඵලක්‌ වෙලා නෑ. පුරාවිද්‍යා කැණීම් කෙසේ වෙතත් අන්තවාදීන් පිරිස්‌ නම් ඒ අයගේ බූදලයක්‌ වගේ හිතුමතේ පැල්කොට අටවනවා. දේශපාලනඥයන් ගොඩනැඟිලි හදන්න යනවා. පන්සලේ බෝඩ් එක කිට්‌ටුව බුදු කුටියක්‌ නිර්මාණය කරන්න සැලසුම් කරලා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලුවා. තවම අවසර ලැබුණේ නෑ. පස්‌සෙ අපි අවසරයක්‌ නැතිව බුදු කුටිය නිර්මාණය කළා...'' 

''කුටි ගෙයක්‌ ඉදිකරන්න අවසර ගන්න ගිහාම කියනවා මේ භුමිය පුරාවිද්‍යා සංරක්‍ෂිතය, කුටි ගෙවල් හදන්න අවසර දෙන්න බෑ කියනවා. අඩුම තරමින් සනීපාරක්‍ෂක පහසුකම් ඉටු කරගැනීමට වැසිකිළියක්‌ හදන්න අවසර දෙන්නෙ නෑ. ඇයි අපිට මෙහෙම කරන්නෙ... ශාසනය ආරක්‍ෂා කරගැනීමට දිවිහිමියෙන් කැප වී ඉන්න නිසාද... අපිටත් දකුණේ පන්සලකට වෙලා සැප සම්පත් විඳිමින් ඉන්න තිබුණා. එක වේලක්‌ දානය වළදලා කඩා වැටෙන්න යන අබලන් ගොඩනැඟිලිවල වාසය කරන්නේ ශාසනය ආරක්‍ෂා කරගන්න මිසක්‌ ඉඩම්වලට තියෙන තෘෂ්ණාවට නෙමෙයි...''

නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝ නායක වෙල්ගම රජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංස තිස්‌ස හිමියන්ගේ 'වෙල්ගම් වෙහෙර සහ මානාවතු නුවර' ග්‍රන්ථයේ සඳහන් කරුණුවලට අනුව ත්‍රිකුණාමලය අතීතයේ ප්‍රසිද්ධව ඇත්තේ සිංහලයන්ගේ ඉපරැණි ජනාවාසයක්‌ ලෙස ගෝණගම්තොට නමිනි. 

ගෝණ යන නමට මුලින් ශ්‍රී යන අරුත දෙන තිරු යන්නත්, අගින් කන්ද යන අරුත් ඇති මලෛ යන්නත් එකතු කොට දෙමළ ජනයා, තිරුකෝණ මලෛ, යන්න සාදාගත්හ. (ගෝණ යන්න දෙමළෙන් ලිවීමේදී කෝණ වෙයි) මේ දෙමළ වචනය 'ත්‍රිකුණාමලය' යෑයි සිංහලයෝ උච්චාරණය කරති. ගෝණතොට (ත්‍රිකුණාමලය) අවට ප්‍රදේශ සිංහලයන්ගේ මුල් වාස භූමියක්‌ වූ නිසා ලක්‌දිවට බුදුසමය ආ මුල් කාලයේම මෙහි බුදුසමය පැතිර ගිය බව පෙනේ. බුදුසමය පැමිණීමට පෙර ශාක්‍ය වංශික රාමගෝණ කුමරු ගෝණතොට අසළ ප්‍රදේශය පාලනය කළ බව පිළිගතහොත් මිහිඳු හිමියන්ගේ ලංකා ගමනයට පෙර මේ ප්‍රදේශයේ බෞද්ධයන් සිටි බව පිළිගැනීම අපහසු නැත. ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කය පුරාම ක්‍රි. පූ. 3 වන සියවසට අයත් බ්‍රාහ්මී සෙල් ලිපි දක්‌නට ඇති හෙයින් බුද්ධාගම පැමිණි සමයේ සිටම බෞද්ධ සිංහල ජනාවාස මේ ප්‍රදේශයේ තිබුණු බව සනාථ වේ. ආන්දන්කුලම, ගෝමරන්කඩවල, නාච්චියාරමලෛය, තිරියාය, පුල්මුඩේ, සේරුවිල, ඉලංගතුරෛ, ඉච්චිලන්පත්තු, වෙල්ගම ආදී ප්‍රදේශවලින් මෙකී යුගයට අයත් බ්‍රාහ්මී සෙල් ලිපි හඳුනා ගැනීමත් සමඟ ත්‍රිකුණාමලය ඓතිහාසික බොදු උරුමයක්‌ බව වඩාත් හොඳින් තහවුරු වේ.

එවැනි ප්‍රෙෘඪ ඉතිහාසයකට උරුමකම් කියන මෙරට පාලනය කළ හිටපු අග්‍රාමාත්‍ය එස්‌. ඩබ්. ආර් ඩී. බණ්‌ඩාරනායක මහතා විපක්‍ෂ නායකයා වශයෙන් සිටි කාලයේ 1955 අප්‍රේල් මස 6 වන දින පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවේ උද්ධෘත කිහිපයක්‌ මෙසේ සිහිපත් කර තැබීම අපගේ අදහස විය.

''ආගමට නියම ස්‌ථානය දිය යුතුයි. එසේ නොදුන්නොත් ලෝකයේ, මිනිසුන්ගේ ජාතියේ, ඉරණම අන්ධකාර වෙන්නට ඉඩ තිබෙන බව කල්පනා කළ යුතුයි.... මේ රටේ දීර්ඝ ඉතිහාසය තුළ සිංහල ජාතියත්, බෞද්ධ ආගමත් අතර වැදගත් සම්බන්ධකමක්‌ තිබුණු බව අපට පෙනී යනවා. සිංහල ජාතිය, පුරාණ කාලවලදී ආගමට මුල් ස්‌ථානය නොදී කිසිම වැදගත් දෙයක්‌ කළා කියා මා සිතන්නේ නෑ. සිංහල ශිෂ්ටාචාරයට වඩා මේ රටේ තිබෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයක්‌. දුටුගැමුණු කුමාරයා යුද්ධයට ලැහැස්‌ති වුණු අවස්‌ථාවේදී කුමක්‌ද කීවේ....? මාගේ මේ ව්‍යායාමය කිසි කලෙකත් රජ සැප පිණිස නොව, එය හුදෙක්‌ බෞද්ධ ශාසනයේ චිරස්‌තිය උදෙසා පමණයි යන්නයි... ජාතික හැඟීමට වඩා, ජාති මමත්වයට වඩා මේ රටේ තිබුණේ ආගමික හැඟීමයි. ජාතික හැඟීමට, දේශීය හැඟීමට වඩා මේ රටේ ආගමික හැඟීම බලැපැවැත් වූ බව සෑම කරුණකින්ම පෙනී යනවා.... දැනට තිබෙනවාට වඩා හොඳ, ගැඹුරු බෞද්ධ සංස්‌කෘතියක්‌ මේ රටේ ඇති කිරීමට උත්සාහ කිරීම අවශ්‍ය දෙයක්‌. එය අසාධාරණ නෑ. වෙන කිසිම ආගමකට ඊට විරුද්ධ වීමට ඉඩ නෑ. අනික්‌ ආගම්වලට සාධාරණ ලෙස උදව් කිරීමට පුළුවන් නම් උදව් කරමු....'

එහෙත් මේ වන විට බල තණ්‌හාවෙන් උන්මත්තකයන් බවට පත්ව සිටින වර්තමාන සිංහල දේශපාලන නායකයන් ද මනාපය වෙනුවෙන් උතුර, නැගෙනහිර ජාතික උරුමයන් බන්දේසිවල තබා අන්තවාදීන්ට පිළිගන්වමින් සිටිති. රටක්‌, ජාතියක්‌, ආගමක්‌ නොතකන ගෝත්‍රික අන්තවාදීන් විසින් උතුර, නැගෙනහිර බෞද්ධ සංස්‌කෘතිය විනාශ කරමින් සිටී. පුරාවස්‌තු සහිත ඉඩම්වල ඉන්ධන පිරවුම්හල් ඉදිවී තිබේ. විශාල හෝටල්, වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබේ. උතුර, නැගෙනහිර දෙපළාත තුළ හතු පිපෙන්නට මෙන් පල්ලි, කෝවිල් තැන, තැන ඉදි වේ. එහෙත් සිංහල බෞද්ධයන්ට එම පළාත්වල බුදුපිළිමයක්‌, සංඝාවාසයක්‌ ඉදිකරන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර නොදේ. එම ප්‍රදේශවල පුරාවිද්‍යා ස්‌ථාන ආරක්‍ෂා කරගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පිරිස්‌ බලය, මුදල් බලය නැතැයි කියා අදාළ නිලධාරීහු නැති වාදය කියති. එවැනි රටක බෞද්ධ උරුමය සුරක්‍ෂිත කරගැනීමට තුනුරුවන්ගේ සරණ නොවෙන්නට වෙනත් සරණක්‌ නැත.

තරංග රත්නවීර, ඡායාරූප නිමල් දයාරත්න
http://www.divaina.com/2017/07/16/feature01.html\

සබැඳි ලිපි - 
[

කොටින්ගෙන් බේරාගත් නැගෙනහිර පුදබිම් අන්තවාදී වගවළසුන්ගේ ආක්‍රමණයට හසු වෙයි!http://yukthiyawenuwen.blogspot.com/2017/07/blog-post_10.html
ජාතියම කම්පා කරන දිගාමඩුල්ලේ දාගැබ් කොල්ලයhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_6351.html
මඩකලපුවේ පන්සලක් ඩෝසර් කරලා... පුරාවිද්‍යා රක්ෂිතය අල්ලා වී වගාකරලා!

http://yukthiyawenuwen.blogspot.com/2016/11/blog-post_16.html
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි.. මහා සංහාරයකට පෙර, පෙරට එන්න – මහ සගරුවණෙන් ජාතියට ආයාචනයක්
http://yukthiyawenuwen.blogspot.com/2016/01/blog-post.html
අම්පාරේ තවත් දාගැබක් සමතලා කර කුඹුරක් හදලා! නැගෙනහිර බොදු උරුමය වැනසීමේ සංවිධනාත්මක වැඩපිළිවෙලක්http://yukthiyawenuwen.blogspot.com/2015/10/blog-post_22.html
මුසළු අන්තවාදීහු නැගෙනහිර තවත් දාගැබක් වනසතිhttp://yukthiyawenuwen.blogspot.com/2013/05/blog-post_4581.html
මුසළු අන්තවාදීන් අතින් වැනසෙන අපේ උරුමයේ තවත් දිගුවක්
http://yukthiyawenuwen.blogspot.com/2013/04/blog-post_5928.html
අක්කරපත්තුවේ බෞද්ධ නටඹුන් ගල් කණු ගලවා පල්ලියක් සාදති!

http://yukthiyawenuwen.blogspot.com/2016/04/blog-post_19.html
ඉතිහාසයෙන් අතුගෑවෙන නැගෙනහිර
http://yukthiyawenuwen.blogspot.com/2014/01/blog-post_4864.html
නැගෙනහිර සිහල බොදු උරුමය සේදීයයිද? දේශපාලකයන් සහ රජ්‍ය නිලධාරීන් හවුලේ මහා ඉඩම් කොල්ලයක...
http://yukthiyawenuwen.blogspot.com/2014/02/blog-post_7802.html
දෙබෑ වූ විශිෂ්ඨ බොදු උරුමය - මොට්ටාගල දාගැබ් සංකීර්ණයේ විසල්ම දාගැබ
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_4485.html
මොට්ටාගලින් මහා උරුමයක සාක්ෂි මතුවේ!
http://yukthiyawenuwen.blogspot.com/2012/11/blog-post_7167.html
මුහුදු මහා විහාරය ඩෝසර් කිරීම -
http://yukthiyawenuwen.blogspot.com/2012/06/blog-post.html
අක්කරෙයිපත්තුවේ වැනසූ ඉපැරණි දාගැබ (මොට්‌ටයාගල දාගැබ) - මුස්ලිම් අන්තවාදයේ ඊළඟ ගොඳුර කුමක්ද?
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_11.html
http://yukthiyawenuwen.blogspot.com/2012/09/2.html
අන්තවාදයේ නවතම බිල්ල - මුසල්මානුවන් වැනසූ අනුරපුර සෙනවිරත් පිරිවෙන 
http://yukthiyawenuwen.blogspot.com/2012/09/blog-post_8.html
දඹුල්ල අනවසර පල්ලිය, කූරගල බොදු බිම ආදිය පිළිබඳ මුස්ලිම් අන්තවාදයේ නිරුවත සැකෙවින්...
http://yukthiyawenuwen.blogspot.com/2012/07/blog-post.html

]

0 comments: