Pages

Monday, March 2, 2015

රෝහලට එන්න මුදල් නැති නිසා සැමියා එකම කුඹුරත් 50,000 උකස්‌ කළා'. නිවුන් දියණියන් හදා වඩා ගැනීමට හයදරු මව දානපති පිහිට පතයි

මීට සති දෙකකට පමණ පෙර අනුරාධපුර ශික්‌ෂණ රෝහලේදී මෙලොව එළිය දුටු තම තුන් නිවුන් දියණියන් හදා වඩා ගැනීම සඳහා ආධාර කිරීමට පරිත්‍යාගශීලියකු හෝ දානපතියකු ඉදිරිපත් වන්නේ නම් මහත් පුණ්‍ය ක්‍රියාවක්‌ බව පදවි ශ්‍රී පුර, මහසෙන්පුර, ඩලොන්ගොල්ල ප්‍රදේශයේ පදිංචි හතළිස්‌ හැවිරිදි එම්. එම්. නදීකා තරංගනී මහත්මිය පවසන්නීය.

මේ වන විට තම දැරියන් තිදෙනා වන සයුරි විහන්යා, සඳලි භාග්‍යයා සහ සඳුනි සාවිත්‍යා සිය මව සමඟ අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අංක 28 වාට්‌ටුවේ වෛද්‍ය හා හෙද කාර්ය මණ්‌ඩලයේ රැකවරණය හා සත්කාර යටතේ නිරෝග සුවයෙන් පසුවෙති.

වෘත්තියෙන් ගොවියකු වූ තම සැමියා වන හතළිස්‌ හැවිරිදි ඩබ්ලිව්. එම්. උපතිස්‌ස මහතාට සහ තමාට දාව තවත් ගැහැනු දරුවන් දෙදෙනකු සහ පිරිමි දරුවකු සිටින බවත් ඔවුන් සමඟ තුන් නිවුන් දියණියන් ඇතුළු දරුවන් හය දෙනකු පෝෂණයකොට හදා වඩා ගැනීමට පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් දුෂ්කර වී ඇති බවත් නදිකා තරංගනී මහත්මිය පැවැසුවාය. ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.

මගේ සැමියාගේ රැකියාව ගොවිතැන. අපි ජීවත්වන්නෙ හරිම අමාරුවෙන්. අපට ගැහැනු දරුවන් තුන් දෙනෙක්‌ එකවර ලැබීම වාසනාවක්‌. නමුත් මේ දරුවන් තුන් දෙනා පෝෂණය කොට හදා වඩා ගැනීම අපට ප්‍රශ්නයක්‌ වී තිබෙනවා.

මේ දරුවො තුන්දෙනා උපත ලැබුවට පසු සැමියාට අපිව බලන්න දිනපතා රෝහලට එන්න විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ සඳහා වියදම් කිරීමට මුදල් නොමැති නිසා සැමියා අපට තිබෙන අක්‌කර දෙකකින් සමන්විත එකම කුඹුරත් නැවත බේරාගන්නා තුරු රුපියල් පනස්‌ දහසකට උකස්‌ කළා. මේ රුපියල් පනස්‌ දහසක මුදල අවසන් වුණාට පසු අපිට මේ දරුවො හදාගන්නෙ කොහොමද කියලා හිතාගන්නවත් බැරිව ඉන්නේ.

ඒ නිසා මේ දරුවන් හදා වඩා ගැනීමට පරිත්‍යාගශීලියකු හෝ දානපතියකු උදව් කිරීමට ඉදිරිපත් වනවා නම් එය මහත් පුණ්‍යකර්මයක්‌ යෑයිද ඇය කීවාය.

මෙම දරුවන් හදා වඩා ගැනීම සඳහා උදව් උපකාර කිරීමට කැමැති අයකු හෝ සංවිධානයක්‌ වේ නම් දුරකථන අංක 0787704999 ඇමතුමක්‌ ලබා දී විමසීම් කළ හැක. දැරියන්ගේ පියාවන ඩබ්ලිව්. එම්. උපතිස්‌ස මහතාට අයත් මහජන බැංකුවේ පුල්මුඩේ ශාඛාවේ ගිණුම් අංක 352200100001594 ට මුදල් ආධාර තැන්පත් කළ හැකිය.

අනුරාධපුර විශේෂ - පර්සි කුරුනේරු
http://www.divaina.com/2015/03/02/news10.html

0 comments: