Pages

Sunday, March 8, 2015

බෝට්‌ටු ගිනි තබා සංචාරක ධීවරයන් පන්නා දැමූ මූසලු අන්තවාදයේ ත්‍රීකුණාමලයේ අවනඩුව

නැවත වතාවක්‌ ජාතීන් වශයෙන් බෙදී ඇනකොටා ගැනීමේ අවශ්‍යතාවක්‌ උතුරු නැගෙනහිර ජනතාවට අවශ්‍ය නැත. ඔවුන් නැගෙනහිර සමහර දේශපාලන පක්‍ෂ ජනතාව උසිගන්වා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඡන්ද දඩයමකට සූදානම් වන බව පෙනෙන්නට තිබේ. එහි එක්‌ කාලකණ්‌ණි අවස්‌ථාවක්‌ පසුගිය බ්‍රහස්‌පතින්දා (05 දා) දක්‌නට ලැබිණි.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය ශ්‍රී ලංකාවේ ඉතාමත් ඉක්‌මනට වාර්ගික ප්‍රශ්න ඇතිකිරීමට පහසු දිස්‌ත්‍රික්‌කයක්‌ බව ඉතිහාසය පුරාවට සාක්‍ෂි තිබේ. මේ හේතුව නිසා ජනවර්ගයන් අතර අන්තර් සම්බන්ධතාවය පවත්වා ගැනීම සෑම දේශපාලකයකුගේම වගකීමක්‌ වනු ඇත. එහෙත් ඒ වගකීම පිළිබඳ කිසිම තැකීමක්‌ නැති දේශපාලන නරුමයන් පිරිසක්‌ පසුගියදා ගිනි ඇවිලීමට උත්සාහ කළහ. 

ඒ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේදීය. එහිදී එක්‌තරා දේශපාලකයෙක්‌ ධීවරයන් පිරිසක්‌ උසිගැන්වීම නිසා සිංහල ධීවරයකුට අයත් ධීවර යාත්‍රාවක්‌ ගිනිතබා විනාශ කිරීම සිදුවිය. 

එයට ආසන්නම හේතුව වන්නේ ත්‍රිකුණාමල සල්පයාර් හා කුඹුරුපිඩ්ඩි, එරක්‌කන්ඩි, පුල්මුඩේ ප්‍රදේශවලට මීගමුව හලාවත ප්‍රදේශවල සංචාරක ධීවරයන් පැමිණෙන බවට එල්ලවන ප්‍රහාරයය. ඔවුන් මාස 04 ක ධීවර රක්‍ෂාවට ත්‍රිකුණාමලය ප්‍රදේශයට මේ කාලයේදී පැමිණෙන්නේය. මේ ආගමනය වසර 60 ක 50 ක කාලයක්‌ තිස්‌සේ සිදුවූයේය. මෙම ධීවරයන් හඳුන්වන්නේ සංක්‍රමණ ධීවරයන් ලෙසය.

මොවුහු පැමිණ තාවකාලික වාඩි සකසාගෙන මාස 04 ක්‌ සිය රැකියාව කරයි. අනතුරුව ඔවුහු සිය ගම්බිම්වලට යති. මෙය මුහුදු මාරියාව නිසා සිදුකරන්නකි. යුද්ධය පැවැති කාලයේ එල්.ටී.ටී.ඊ. තර්ජන විඳිමින් පවා මේ සංචාරක ධීවරයෝ සිය කර්මාන්තය කළහ. ඔවුන්ට ගැටලුව නිර්මාණය වී ඇත්තේ අලුත් ආණ්‌ඩුව පත්වීමත් සමගය. දැන් සමහර දේශපාලන කණ්‌ඩායම් මේ පිsරිස පලවා හරිමින් සිටිති. 

මේ ප්‍රශ්නය නිර්මාණය වී තිබුණේ මීට මාසයකට පෙර සිටය. එයට විසඳුම් සෙවීමට ඉදිරිපත් වූ රජයේ නිලධාරීන් මේ සංචාරක ධීවර යන්ට පැවසූයේ සුපුරුදු ලෙස සිය කර්මාන්තය කර ගෙන යන ලෙසය. එම නිසා මේ වනවිට එම ප්‍රදේශයට සං චාරක ධීවරයන් 80 ක්‌ පමණ පැමිණ ඇත. නමුත් ත්‍රිකුණාමල උතුරු මුහුදු ප්‍රදේශයට ළඟා වනවිට ඔවුන්ගේ එක්‌ ධීවර යාත්‍රාවක්‌ ගිනිබත් කර අළුකර තිබුණි.

හලාවත ප්‍රදේශයෙන් පැමිණි මෙම ධීවරයන්ගෙන් එක්‌ අයකු වන රුචිරංග පෙරේරා (30) අප සමග මෙසේ පැවසීය.

මහත්තයෝ අපි පරම්පරා ගාණක්‌ මේ ප්‍රදේශයේ සංක්‍රමණික ධීවරයන් ලෙස රැකියාව කරනවා. නමුත් මෙවර හිටිහැටියේ විරෝධයක්‌ ඇවිත්. අපිට ඉස්‌සර වගේ ආරක්‍ෂාවත් නෑ. බොරුවට අපට විරුද්ධ වෙනවා. නමුත් අද ලංකාවට ඉන්දීය ධීවරයන් දහස්‌ ගණන් එනවා. අපේ මාළු බලහත්කාරයෙන් ගන්නවා. ඒවාට මොකුත් නෑ. අද අපේ දරුවන් බඩගින්නේ. ඇයි අපිට මේ විදිහට සලකන්නේ. අපි ජාතිවාදී නෑ. අපිට අපේ රස්‌සාව කරන්න උදව් කරන්න. අද ධීවර ආම්පන්න බේරගන්න බැරිවෙලා. ඒවා ගිනි තියනවා. මෙය වැරදි ආදර්ශයක්‌. යහපාලනයට අපේ අය ඡන්දෙ දුන්නෙ මේ අත්දැකීම් ගන්න නෙමෙයි. මේ මිනිස්‌සුන්ට නීතිය අතට ගන්න දෙන්න එපා. මේක වැරදි පූර්වාදර්ශයක්‌ වෙනවා. අපිත් මේ රටේ මිනිස්‌සු. යහපත් හෙටකට ඡන්දෙ දුන්න මිනිස්‌සු. මේ වැඩවලින් රජය අපහසුතාවට පත්වෙන්නේ. ඉක්‌මනට මෙයට රජය මැදිහත්විය යුතුයි. 

මේ ප්‍රදේශයේ ධීවර රැකියාව කරන්න ඇවිත් තිබෙනවා මම දන්න කාලේ ඉඳලා. ධීවර රක්‍ෂාව කරන අපිට කවදාවත් අද වගේ වුණේ නෑ.

අපි මාස 04 යි රක්‍ෂාව කරන්නේ. අපිට මේ ප්‍රදේශ යේ ධීවරයන් සමග ආරවුලක්‌ තිබුණේ නෑ. අපි ඔවුන්නේ සහෝ දරයො වගේ... මේ අයට දේශපාලනය කරන අය ඇවිත් විෂ පොවලා. අපි අල්ලන මාළු මේ වෙළෙඳපොළට තමයි දෙන්නේ. 1983 සිට මමත් රැකියාව කරනවා. කලල්රාව ප්‍රදේශ යේදී අපේ අයගේ ජීවිත පවා කොටින්aට බිලි වුණා. නමුත් අපි ධීවර රක්‍ෂාව අතහැරියේ නෑ. මඩකලපුවේ සිට මුලතිව් දක්‌වා වෙරළ තීරයේ මාදැල් පාඩු කාලේ දකුණේ සිංහල ධීවරයන්. ඇයි අද මේ ප්‍රශ්නය. අපි දන්න විදියට ළඟදී පළාත් සභාවත් පාලනය වෙනස්‌ කර තිබෙනවා. මේ අය හිතනවා දැන් වෙනම රටක්‌ කියලා. මේවා තමන්ගේ ඒවා කියලා. අපි හලාවත තමයි. නමුත් අපි මේ රටේ. අපි ඉල්ලන්නේ අපේ අයිතිය. අපි ඉපදෙන්නත් කලින් සිට අපේ අයකරපු රස්‌සාව. මේ ප්‍රශ්නයට ඉක්‌මනට රජය මැදිහත් විය යුතුයි. අපේ ආරක්‍ෂාව තහවුරු කර දෙන්න. අද අපි නිදාගෙන ඉන්නේ පොලිසියේ. ධීවර යාත්‍රා ගාල් කරගෙන.

ව්‍යාපාරික එල්. සී. විල්සන් පෙරේරා අප සමග මෙසේ පැවසීය.

සලපයාර් ධීවර වරායේ ඉතිහාසයේ සිට සිංහල ධීවරයන් මසුන් මැරීම කළේ. නමුත් සුනාමියත් සමග සිංහල මිනිසුන්ගේ ඉඩම් අත්පත් කරගෙන වෙනත් අය පදිංචි කළා. ඒ නිසා අද නැති ප්‍රශ්න ඇති වෙලා. පසුගිය කාලයේ මේ ඉඩම් අල්ල ගන්න විවිධ කටයුතු කළත් සමහර නිලධාරීන්ගේ මැදිහත්වීම් නිසා ඒවා නවත්ත ගන්න පුළුවන් වුණා. අද එවැනි තත්ත්වයක්‌ නෑ. දේශපාලකයන් හිතනවා ජනතාව උසිගන්වලා ප්‍රශ්න අවුල් කරන්න.

ධීවරයන් අතර තිබෙන සමගිය නැති කරන්න එපා. පහත් දේශපාලනය තුළින් රට විනාශ කරන්න උත්සහයක්‌ මේ. මේවට අදාළ අය නීතිය ඉදිරියට ගෙනත් දඬුවම් කළයුතුයි. නැත්නම් වැරැදි පූර්වාදර්ශ වෙනවා. දැන් ඇනකොටා ගත් කාලය ඉවර කළ යුතුයි. 

මෙම ප්‍රශ්නයට ඉකුත් (05 දා) ත්‍රිකුණාමල දිසාපතිවරයා ඇතුළු ධීවර පරීක්‍ෂකවරයා විසඳුම් දී ඇත. විසඳුම් දී පැය 24 ක්‌ යන්නට පෙර ධීවර යාත්‍රාවක්‌ ගිනි තැබීම සිදුකර ඇත. 

මේ සම්බන්ධව ත්‍රිකුණාමල ධීවර අධ්‍යක්‍ෂක වන උපාලි සමරතුංග මෙසේ පැවසීය.

ගිය වසරෙත් මේ ප්‍රශ්නය ආවා. නමුත් එකඟතා මත ධීවර කටයුතු කළා. මේ මිනිස්‌සුන්ට අයිතියක්‌ තියනවා සංක්‍රමණික ධීවර කටයුතු කරන්න. මෙය නවත්වන්න බැහැ. එසේ කළොත් රටේ ප්‍රශ්න ඇති වෙනවා. අපි දිසාපති සමග එකතු වෙලා ධීවරයන් 200 කට ඉඩ දුන්නා. නමුත් අද වනවිට ඒ එකඟතාවත් කඩලා.

එසේ නැති වුණොත් ජනවර්ග අනුව ප්‍රශ්න ඇති වෙනවා. අපි පොලිසියට ආරක්‍ෂක අංශවලට දන්වලා තිබෙනවා ධීවරයන්ගේ ආරක්‍ෂාව තහවුරු කර දෙන්න කියලා. 

ත්‍රිකුණාමලය සමන් මල්ලවආරච්චි 
http://www.divaina.com/2015/03/08/feature15.html

0 comments: