Pages

Monday, March 16, 2015

තිරගත නොවූ කතා - ඇන්. ඇම්. රඟපෑ රාජකීය වික්‍රමය වැනසීමේ කුමන්ත්‍රණයක්‌

වර්තමාන ශ්‍රී ලාංකික සිනමාව රජ කතාවලින් පිරී තිබේ. කැබිනට්‌ අමාත්‍යවරු, පළාත් සභා මන්ත්‍රීවරු හා ජනාධිපති උපදේශකවරු රාජකීය ඇඳුම් පැළඳුම් ලා ගෙන චිත්‍රපටවල රජවෙති. මේ රාජකීය රඟපෑම් වඩාත් සමීප වන්නේ අති ප්‍රබල වු සිනමා මාධ්‍යයට නොව ඉතිහාසයට සහ ඒ මත යෑපෙන වත්මන් අවස්‌ථාවාදී දේශපාලනයට ය. මෙරට වාමාංශික කඳවුරෙහි ප්‍රබල දේශපාලනඥයකු වූ ඇන්. ඇම්. පෙරේරා රජ කුමරකු ලෙස රඟපෑ 'රාජකීය වික්‍රමය' චිත්‍රපටය තැනුණේ 1925 දී ය. එනම් මීට වසර 90 කට ඉහතදී ය. සිනමාකරුවන් මහ රජවරු සොයා අතීතගත වීමේ ඇබ්බැහිකම අද ඊයේ හට ගත්තක්‌ නොවන බව මින් පෙනේ.

ශාන්තා නොහොත් රාජකීය වික්‍රමය

චිත්‍රපටය යනු තවත් තිරගත නොවූ කතා ගොන්නක අනුමාන සාක්‍ෂියකි. මෙම චිත්‍රපටය දැහින් දුටු කිසිදු ලාංකිකයකු ගැන එදවස නොකියෑවිණි. ලාංකික චිත්‍රපට නාමාවලියෙහි මුලටම ගැනෙන්නට තිබුණු මෙම චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය නොවීමේ හේතුව මත පමණක්‌ මෙය දේශීය සිනමා ඉතිහාසයෙන් බැහැර කළ හැකි නොවේ. 'රාජකීය වික්‍රමය' තැනී වසර 22 කට පසුව තිරගත වූ 'කඩවුණු පොරොන්දුව' 'ලාංකික' වූයේ එහි චරිත කතා බස්‌ කළ සිංහල භාෂාව නිසාවෙන් පමණි. එහි ඉතිරි සියල්ල අමු අමුවේ ම දකුණු ඉන්දීය ලක්‍ෂණ දැරුවේය. ඊට දශක දෙකකට ඉහතදී මෙබිමෙහි උපන් 'රාජකීය වික්‍රමය' චිත්‍රපටය එලෙස බලවත් වූ දකුණු ඉන්දියානු වෙළෙඳ ආක්‍රමණයට ගැතිකම් කළ පරගැති ව්‍යාපෘතියකැයි අනුමාන කිරීමටවත් සාක්‍ෂි නැත. නිහඬ චිත්‍රපටයක්‌ වුවද එය හඬත් අන් සියලු ඇසි දිසි අංගත් සහිත දකුණු ඉන්දියානු සිංහල චිත්‍රපටවලට වඩා ලාංකික වූ බවට සාක්‍ෂි ඇත. 1925 දී තරම් ඈතක බිහි වූ මෙම මුල්ම ලාංකික චිත්‍රපටය හදිසි අනතුරකට පත්ව ගිනිබත් වන්නේ ද එබැවින් ම දැයි අනුමාන කරමි. සාක්‍ෂි මතු දැක්‌වෙන පරිදිය.

'කඩවුණු පොරොන්දුවෙන්' ඇරඹුණා වූ දකුණු ඉන්දීය ආක්‍රමණ චිත්‍රපට ස්‌වරූපය සඳහා සිය නිර්ලෝභී දායකත්වය සැපයුවේ එවක සිටි මුදලාලිලා ය. ශිෂ්ට බසින් අප ඔවුන්ව හැඳින්වූයේ ව්‍යාපාරිකයන් යනුවෙන් වුවද, ඔවුන් අප සිතන තරම් සිනමා භක්‌තිකයන් ම දැයි සැක මතු වනුයේ ඔවුනගේ චිත්‍රපට පරීක්‍ෂා කරද්දී ය. නායගම්, ගාඩිනර්, ගුණරත්නම් හා කාදර් වැනි මුල් යුගයේ එබඳු චිත්‍රපට ව්‍යාපාරිකයන් සේම 'රාජකීය වික්‍රමය' තනන්නට මූලික වූයේ ද ව්‍යාපාරිකයෙකි. අද මෙන්ම එදා වුවද චිත්‍රපටයක ස්‌වරූපය තීන්දු කළේ එහි ආයෝජනය විසින් යෑයි සැක පහළ කිරීමට එය අනුබල කාරණයකි.

'රාජකීය වික්‍රමය' චිත්‍රපටයේ ආයෝජකයා ජී. ඒ. ජී. නූර්බායි වේ. ශ්‍රී ලංකාවේ පළමුවැනි චිත්‍රපට නිෂ්පාදකයා ලෙස ඉපැරැණි සිනමා ග්‍රන්ථ හා පුවත්පත් ලිපිවල සඳහන් වන්නේ මොහු ය. එසේ නම් නූර්බායි ගේ චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය නුවූවද, එය ලොව කොතැනක හෝ ප්‍රදර්ශනය වී ඇතැයි තොරතුරු ඇති බැවින්ද, මෙරට පළමු චිත්‍රපටය ලෙස එය නාමාවලිගත කොට පිළිගත යුතු නොවේද? ඒ කෙසේ වෙතත් නූර්බායිගේ මෙම පළමු චිත්‍රපට ප්‍රයත්නය තුළ තිබුණු ලාංකිකකම සහ නිර්ව්‍යාජකම කොතෙක්‌ දැයි වටහා ගැනීම පරගැති වෙළෙඳ භාණ්‌ඩ හිස්‌ මුදුණින් පිළිගෙන ගරු බුහුමන් දක්‌වන අප වෙතින් අතපසු වූ යුතුකමක්‌ වෙයි.

ලංකාවේ පළමු චිත්‍රපටය වන රාජකීය වික්‍රමය සඳහා මූල්‍ය ආයෝජනයෙන් දායක වූ නූර්බායි එකල මෙරට සිටි ප්‍රකට ව්‍යාපාරිකයෙකි. ඔහු පවත්වාගෙන ආවේ ආනයන අපනයන වෙළෙ¹මකි. ධාන්‍ය වර්ග පිටරටින් මෙරටට ගෙන්වා මෙහි දැ එරටට යෑවීම ඔහුගේ ව්‍යාපාර කාර්ය විය. වැල්ලවත්තේ රෙදි මෝලෙහි හිමිකරු වූ නූර්බායිගේ සමාගමට නැව් කිහිපයක්‌ පවා හිමිව තිබිණි. මෙතරම් මහා පරිමාණයෙන් ව්‍යාපාර කටයුතුවල නියුතුව සිටි මෙම බෝරා ජාතික වෙළෙන්දාට චිත්‍රපටයක්‌ තැනීමේ අදහසක්‌ සිතට නැඟුණේ කෙසේද?

ටී. ඒ. ජී. නූර්බායි 1900 සිට ගෙවුණු මුල් දශකයේ මෙරට සක්‍රීයව සිටි චිත්‍රපට ප්‍රදර්ශකයෙකි. ධනවත් වෙළෙන්දකු වූ නූර්බායි එකල චිත්‍රපට ප්‍රදර්ශන ව්‍යාපාරයේ නියුතු ව සිටියවුන් සමඟ එක්‌ව මෙරට චිත්‍රපට පෙන්වීය. එකල සිටි තවත් චිත්‍රපට ප්‍රදර්ශකයකු වූ සී. වැන්ගර් සමඟ එක්‌ව නූර්බායි 'ලන්ඩන් බයිස්‌කෝප් චිත්‍රපට ප්‍රදර්ශක සමාගම' ඇරඹීය. නූර්බායි මෙරට චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමේ සිය ව්‍යාපාරයෙහි නාමය පවා ලංකාවට ආසන්නතම හා චිත්‍රපට ව්‍යාපාරයට ප්‍රබල ආක්‍රමණික බලපෑමක්‌ කළ ඉන්දියාවට නොව එංගලන්තයට සම්බන්ධ කිරීම අහඹුවකැයි සිතිය නොහැක. ඉංග්‍රීසි, දෙමළ හා හින්දි චිත්‍රපට තරගකාරීව මෙරට ජනතාවට පෙන්වා මුදල් උපයන්නට ඇතත් නූර්බායි ඉන්දීය චිත්‍රපටවලට වඩා බටහිර ඉංග්‍රීසි චිත්‍රපට කෙරෙහි වැඩි ආකර්ෂණයට ලක්‌ව සිටියා විය හැක. මෙම නැඹුරුව අප සම්බන්ධ කරන්නේ එකල ඔහු මෙරට තැනූ 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයත් සමඟය. එකල මෙම චිත්‍රපටය නම් කෙරුණේ Royal Adventure යනුවෙනි.

මෙලෙස විදේශ රටවලින් චිත්‍රපට ගෙන්වා මෙරට ජනතාවට පෙන්වා මුදල් ඉපැයූ නූර්බායි මෙරටදීම චිත්‍රපටයක්‌ තැනීමට සිතීම පිටුපස ඇත්තේ හුදු දේශභක්‌තියද? සිනමා භක්‌තිය ද නැතහෙත් වෙළෙඳ අරමුණුමද? කෙසේ වෙතත් මොහු දේශීය සිනමාවේ පුරෝගාමී චරිතයකි. 'රාජකීය වික්‍රමය' තැනූ අවදියේම ඔහු 'නූර්බායි ඊස්‌ටන් ෆිල්ම්ස්‌ කොම්පැනි' නමැති සමාගම ඇරඹීම සහ වැල්ලවත්තේ 'ප්ලාසා' සිනමාහල ඇරඹීම වැනි කාරණා චිත්‍රපට ව්‍යාපාරයේ ඔහු සාර්ථක වූ අන්දමට සාක්‍ෂි වේ. එම සාර්ථකත්වය මත සහ ව්‍යාපාරිකයකු ලෙස ඔහු සතු මූල්‍ය ශක්‌තිය මත සිය පළමු චිත්‍රපට කාර්යය තුළ ස්‌වාධීනව හැසිරෙන්නට ඔහුට බලයක්‌ හා නිදහසක්‌ ලැබෙන්නට ඇතැයි සිතිය හැකිය.

ලාංකික නූර්බායි තම පළමු චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීම සඳහා යොදා ගනුයේ ගුප්තා නමැති ඉන්දීය චිත්‍රපට අධ්‍යක්‍ෂවරයාය. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නලා, එඩී, රුක්‌මණීලා තමා රඟ දක්‌වමින් සිටි වේදිකා නාට්‍යයක්‌ රැගෙන ඉන්දියාවට ගොස්‌ එම නාටකයම චිත්‍රපටගත කරද්දී ඊට වසර 22 කට පෙර නූර්බායි ඉන්දීය අධ්‍යක්‍ෂවරයකු හා කැමරා ආම්පන්න ලංකාවට ගෙන්වා ගෙන මෙරට තුළදීම අපේ යෑයි කිව හැකිව තිබුණු චිත්‍රපටයක්‌ තැනීම දේශීය සිනමාවේ පුරෝගාමී මෙහෙවරකි. එය කෙතරම් වූ දේශභක්‌තික සිනමා භක්‌තික හෝ වෙළෙඳමය මැදිහත්වීමක්‌ දැයි නිශ්චය කිරීම දුෂ්කර වන්නේ එම චිත්‍රපටය ශේෂව නැති නිසා ය. අප සතුව ඇත්තේ ඔහු ජීවත්ව සිටි කාලයේ පොත් පත්වල පළවූ තොරතුරු පමණි.

කොළඹ ආනන්ද විදුහලේ මැටි්‍රක්‌ විභාගය සමත්ව විශ්වවිද්‍යාලයට බැඳීමට සූදානම්ව විවේක සුවයෙන් සිටි ඇන්. ඇම්. පෙරේරා නම් තරුණයා රාජකීය වික්‍රමය ට සම්බන්ධ වූ ආකාරය ඩී. වී. සෙනෙවිරත්න සිය චිත්‍රපට කලාව පොතෙහි විස්‌තර කොට ඇත. මෙම සිදුවීම 1925 දී සිදු වූවකි. චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්‌ රඟදැක්‌වීමට තරුණ තරුණියන් වුවමනා බවට පළ වී තිබුණු පුවත්පත් දැන්වීමක්‌ කෙරෙහි උනන්දු වූ මෙම කඩවසම් තරුණයා ඊට ඉල්ලුම් කළේය. නූර්බායි විසින් තරුණ ඇන්. ඇම්.ව තෝරා ගැනිණි. චිත්‍රපටයට ගැනෙන්නේ ඉතිහාස කතාවකි. ඇන්. ඇම්ව ගැනුණේ රාජ කුමාරයකුටය.

පසු කලක කෘතහස්‌ත දේශපාලනඥයකු වූ ඇන්. ඇම්. පෙරේරා සිය යෞවන සමයේ මුහුණ දුන් මෙම චිත්‍රපට අත්දැකීම ගැන එකල පවසා ඇත්තේ මොනවාද. ඩී. වී. සෙනෙවිරත්න එකල තමාට ඇන්. ඇම්. මේ ගැන කී දැ ඔහු හෙළි කොට ඇත. රාජ කුමාරයකු ලෙස පෙනී සිටි තමා එහි අවසන් ජවනිකාවේදී විරුද්ධවාදීන්ට හසුව අත් පා බැඳ හිසට විශාල අවියකින් පහර දී මරා දැමීමට නියමිතව සිටියේය. එම ආයුධය යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන විශාල ආයුධයකි. තමාව මරා දැමීමට ඔන්න මෙන්නව තිබියදී තම ආධාරකරුවන් පැමිණ සතුරන් නසා තමාව ඉන් බේරා ගත් සැටි අද ඊයෙක මෙන් මතක යෑයි ඇන්. ඇම්. විසින් ඩී. වී. ට පවසනු ලැබ ඇත. 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් නූර්බායි ඇන්. ඇම් .ට ඒ කාලේ හැටියට රු. 100/ ක මුදලක්‌ ගෙවා ඇතැයි ද පැවසේ. ඇන්. ඇම්. මෙසේ කියා ඇත.

"ඒ බයිස්‌කෝප් ජීවිතය ඉතා කරදරකාරී ජීවිතයක්‌. ඇඳුම් ඇඳගෙන, ශරීරයේ පාට වර්ග තවරාගෙන උදේ පටන් හවස්‌ වන තුරුම දහඩිය හෙළමින් සිටියා. චිත්‍රපට ගන්නා අවස්‌ථාවල සූර්යයා වළාකුල්වලින් වැසුණු විට ඉර හොඳින් පායන තුරු පැය ගණන් රස්‌තියාදු වෙමින් සිටියා." ඇන් ඇම්. තමා විඳි ඒ චිත්‍රපට ජීවිතය ඩී. වී. සෙනෙවිරත්නට විස්‌තර කොට ඇත්තේ එපරිද්දෙනි. රඟපෑම පසෙකලා දේශපාලනය තෝරා ගැනීමට ඇන්. ඇම්. ට අනුබල වූ කාරණා ඉහත ප්‍රකාශයෙන් ම ගම්‍ය වන්නේය.

40 දශකයේදී ඉන්දියානුවන්ට ඕනෑ හැටියට ඉන්දියාවේදී ලංකාවේ පළමු කතානාද චිත්‍රපටය සැලසුම් වෙද්දී 20 දශකයේදී ලාංකිකයන් කැමැති ලෙසකට 'රාජකීය වික්‍රමය' මෙබිමෙහි තැනුණේ කෙලෙසදැයි සෙවීම අපේ සිනමා ඉතිහාසය යළි කියෑවිය හැකි අලුත් මංපෙත් පාදා ගැනීමකි.

ඇන්. ඇම්. පෙරේරා කතා නායකයා ලෙස රඟපෑ රාජකීය වික්‍රමය' ට රංගන දායකත්වය සැපයූ සෙස්‌සන් වූයේ සිබිල් පීඩ්, ඇන්. පී. ඩී. ඇල්බට්‌ සිල්වා, රෙජිනෝල්ඩ් පෙරේරා, පර්සි පෙරේරා, ග්‍රේෂ්න් පෙරේරා වැන්නන් ය. මොවුහු ටවර් හෝල් නළුවෝ ය. ග්‍රේෂන් පෙරේරා රාජකුමාරයාට එරෙහිව සටන් වදින විරුද්ධවාදියා ලෙස රඟ පෑ අතර සෙස්‌සෝ සිය අනුචරයන් වූහ. මේ සියල්ලෝම ලාංකිකයෝ වූහ. රාජ කුමරිය ලෙස ඇන්. ඇම්. සමඟ මෙහි රඟපෑ සිබිල් පීට්‌ අසුන් පිට යැමට නුපුහුණු බැවින් ඇය වෙනුවෙන් එරික්‌ වීරසේකර රඟපෑ විත්තියක්‌ එස්‌. කේ. සිරිවර්ධන 'සරසවිය' පුවත්පතට ලියූ ලිපියක සඳහන් ය. (1987.2.5) පසු කලක අපේ සිංහල වචන හා විලාස දකුණු ඉන්දියානු ස්‌වරූපයෙන් චිත්‍රපටගත කෙරුණු ආක්‍රමණික බලපෑමට වඩා නිළියක ලෙස නළුවකු රඟපෑම නිර්ව්‍යාජ ය. ඩේවිඩ් මනුවෙල් හා එන්. ආර්. ඩයස්‌ ද 'රාජකීය වික්‍රමයෙහි' රඟපෑහ. එන්. ආර්. ඩයස්‌ පසු කලක සිරිසේන විමලවීරගේ සහ ලෙස්‌ටර් ජේම්ස්‌ පීරිස්‌ ගේ චිත්‍රපටවල ද රඟපෑවේය.

මුල් දශකයේ ලංකාව දෙසට හැරුණු ඉන්දියානු චිත්‍රපට කැමරාව චිත්‍රාගාර තුළ සිර වී තිබියදී මෙම බලගතු ආම්පන්න මෙරට පරිසරය කරා නිදහසේ රැගෙන ගියේ ලෙස්‌ටර් ය. ඊට දශක තුනකට පමණ ඉහතදී නූර්බායි සහ ගුප්ත සිය කැමරාව ක්‍රියාත්මක කළේ කෝට්‌ටේ දියවන්නා ඔය අසබඩ දීය. එසේම බම්බලපිටිය ශාන්ත ජෝසප් පටුමගෙහි ඉදිකළ රජ මාලිගයකය. මෙම රජ මැදුර පිටුපස ඉදිකළ චිත්‍රාගාරයක 'රාජකීය වික්‍රමයෙ' හි ඉතිරි දර්ශන රූගත කෙරිණි. මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂණය කෙරුණේ ලංකාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පීන් වන එම්. සාර්ලිස්‌ හා ජී. එස්‌. ප්‍රනාන්දු යන අයගෙනි. චිත්‍රපටයේ සෑම දෙබසක්‌ම මෙම නිහඬ චිත්‍රපටය වෙනුවෙන් ලියෑවුණේ සාර්ලිස්‌ මාස්‌ටර්ගේ ගෝල ජී. එස්‌. අතිනි. තමාට මතක හැටියට දෙබස්‌ කාණ්‌ඩ 8000 ක්‌ පමණ ලියූ බවත්, එම දෙබස්‌ සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි බසින් ද ලියන්නට සිදු වූ බවත්, ජී. ඇස්‌. ප්‍රනාන්දු විසින් නෙළුම් විමලරත්න ඔහු පිළිබඳව ලියූ ලිපියකට කියනු ලැබ ඇත. (සරසවිය 1990.01.18) එම දෙබස්‌ තිරය මතින් කියෑවෙන නිසා ඉතා ආකර්ෂණීය ලෙස ලියූ බව හා නූර්බායි මහතා ඊට බෙහෙවින් සතුටු වු බවත් ඔහු පවසා ඇත. ජී. එස්‌. ගේ මෙම කැපවීමට සෑහෙන මුදලක්‌ එකවරම ගෙවීමට නූර්බායි නොපසුබට වී ඇතිවා පමණක්‌ නොව එම මුදල් ගෙවීමට අතිරේක වූ තෑගි බෝග වරින්වර ප්‍රදානය කිරීමට ද නූර්බායි එකල පෙළැඹී ඇත. 'රාජකීය වික්‍රමය' චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂවරයා දුන් මෙම සාක්‍ෂියෙන් අප වටහා ගත යුත්තේ නූර්බායි තුළ මෙම චිත්‍රපටය කෙරෙහි තිබුණු අප්‍රමාණ උද්‍යෝගයේ ස්‌වභාවයයි.

ලංකාවේ තැනුණු පළමු චිත්‍රපටය වන රාජකීය වික්‍රමය ලංකාවට අහිමි වන්නේ කෙසේද? මෙය සිංගප්පූරුව හා ඉන්දියාවේ ප්‍රදර්ශනය කර ඇති බවට 1958 දී පළ වූ ඩී. වී. සෙනෙවිරත්නගේ 'චිත්‍රපටි කලාව' පොතෙහි මෙන්ම පසුගිය සතියේ එළිදුටු ගාමිණී වේරගමගේ 'දේශීය සිනමා වංශය' පොතෙහි ද සඳහන් ය. එතෙරදී ප්‍රදර්ශනය කොට එහි සිනමා රසිකයන් ගේ ඉහළම ප්‍රසාදයට ලක්‌ වූ මෙම ලාංකික චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනය සඳහා ගෙනෙමින් තිබියදී අනපේක්‍ෂිත ලෙස විනාශ වී ඇති බව යම් යම් මුද්‍රිත ලේඛනවල සඳහන් ය. යම් රටක හාපුරා කියා බිහිවන නව මාධ්‍යයක්‌, එහි පළමු නිමැවුමක්‌ නව සොයා ගැනීමක්‌ සේම එතෙර රසික ප්‍රසාදයට පාත්‍ර වූ අපූර්ව නිර්මාණයක්‌ මෙසේ අනපේක්‍ෂිත ලෙස හා කිසිදු සාක්‍ෂියක්‌ නොතබාම විනාශ විය හැකි ද?

වේරගම සිය සිනමා වංශයෙහි මෙම සිදුවීම විස්‌තර කරන්නේ ද අනපේක්‍ෂිත ලෙස ගිනිබත් වූවක්‌ ලෙස ය. මෙම චිත්‍රපටය ලංකාවට ගෙන ඒමේදී නැවෙහි ගබඩා කාමරයක දී ඇති වූ ගින්නකට හසුව විනාශ වූ බව කියෑවේ. වේරගම ඊට හේතු දක්‌වයි. මෙකල පටල පටවලට ගිනි ආරක්‍ෂණ රසායනික එක්‌කොට නොතිබූ හෙයින් වැඩි උෂ්ණත්වයකදී ගිනිගෙන දැවීම සුලභ සිදුවීමකැයි පවසන දේශීය සිනමා වංශය මේ ආකාරයෙන් සිනමා ශාලා පවා විනාශ වූ අවස්‌ථා ඇතැයි කියයි. මෙකල චිත්‍රපට ප්‍රදර්ශනය සක්‍රීය ව්‍යාපාරයක්‌ ව පැවැති ලංකාවට නැව් මගින් ගෙනා එතෙර චිත්‍රපටවලට මෙම රසායනික අවදානම නොවී දැයි නොදනිමු. මෙරටට ගෙන්වන අපේ චිත්‍රපටයක්‌ මෙසේ ගිනිබත් වූ ලෙස එකල මෙහි ගෙන ආ එතෙර චිත්‍රපට මෙබඳු අනපේක්‍ෂිත අනතුරුවලට හසු වී දැයි වාර්තා වී නැත. එවැනි කාලයක නැව් මගින් එතරින් මෙරටට ගෙනෙනු ලබන චිත්‍රපටයක්‌ මෙලෙස ගිනිබත් වී නම් එය රටම හෙල්ලූ මහා ප්‍රවෘත්තියක්‌ වනු ඇත.

'රාජකීය වික්‍රමය' හදිසියේ ගින්නකට හසුව මුළුමනින් ම විනාශ වීම අනපේක්‍ෂිත අනතුරක්‌ නොව මෙම චිත්‍රපටය පිළිබඳ ඊර්ෂ්‍යා පරවශ චිත්තයෙන් පසු වූ ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකයකු සහ මෙරට බයිස්‌කෝප් ප්‍රදර්ශකයකුගේ කුමන්ත්‍රණයකින් හිතාමතා පුළුස්‌සා දමන ලද බව අනාවරණය වී යෑයි ඩී. පී. සෙනෙවිරත්න 1958 දී ලියා ඇත. චිත්‍රපට කලාව, 58 පිටුව) ආතර් යූ. අමරසේන ගේ මතය ද එය ලාංකිකයන් අතින් ලාංකික චිත්‍රපටයක්‌ බිහිවනු දැකීමේ ඊර්ෂ්‍යාව නිසා හටගත් කුමන්ත්‍රණයක ගින්නක්‌ බව ය. (සිංහල සිනමා වංශය 198 පිටුව 14) රූපසේන සිල්වා තම 'සිනෙ ලංකා දිනපොතෙහි' (1998) අනාවරණය කරන්නේ ද එය ලාංකික සිනමාවට එරෙහිව ක්‍රියාත්මක වූ විජාතික බලවේගයක රහස්‌ කුමන්ත්‍රණයක්‌ බව ය. මෙම අනුමානය සාක්‍ෂි නැතැයි බැහැර කළ නොහැක්‌කේ ඊට වසර 20 කට පසුව බිහි වූ නමින් පමණක්‌ සිංහල වූ චිත්‍රපට ඉන්දියානු වෙළෙන්දන්ගේ ඕනෑ එපාකම්වලට අනුකූලව හැඩ ගැසුණු බවට සාක්‍ෂි අදටත් ඉතිරිව ඇති නිසා ය. එංගලන්තයේ සිට රැල්ෆ් කීන්ගේ අනුබලයෙන් එවක රජයේ චිත්‍රපට අංශයට ආ ලෙස්‌ටර් 'රේඛාව' මතු කරන තෙක්‌ බලගතු වූයේ එම ඉන්දීය වෙළෙඳ බලාධිකාරයයි. එබැවින් 1920 වැනි ප්‍රාථමික යුගයක ලංකාවේම කියා සිනමාවක්‌ ලංකාවට ඕනෑ හැටියට බිහි වනවාට මේ පරගැති වෙළෙන්දන් ඉඩ දෙන්නේ නැත.

1947 දී මෙරට ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු එකතු වී පිහිටුවා ගත් විශ්වරංග මුවිටෝන් චිත්‍රපට සමාගමේ ඇරියුමෙන් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නවකතාවක්‌ චිත්‍රපටගත කරනු පිණිස ඉතාලියේ සිට මෙරටට ගෙන්ව ලද ජුලියෝ පෙට්‍රෝනිගේ එම චිත්‍රපටය බිහිවී නම් රාජකීය වික්‍රමය විනාශ කළ ඉන්දියානු වෙළෙන්දන් අපේ සිනමාව මත මෙතරම් බලගතු වන්නේ නැත.

අජිත් ගලප්පත්ති
http://www.divaina.com/2015/03/15/feature11.html

0 comments: