Pages

Sunday, March 1, 2015

ඉන්දු ලංකා මිත්‍රත්වය අලුත් මාවතක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දියානු චාරිකාව කෙටියෙන් විස්‌තර කිරීම සඳහා ඉන්දු - ලංකා සබඳතා පිළිබඳ විශාරදයින් උපයෝගී කරගත් ඒකමතික හැඳින්වීම වූයේ 'ස්‌වර්ණමය යුගයක යළි අරම්භයක්‌' ලෙසට ය. එය පසුගිය දශක හයක කාලය තුළ උසස්‌ම මට්‌ටමේ සබඳතා පැවති යුගයන් වූ 'ජවහර්ලාල් නේරු - එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක' පරිච්ඡේදයටත් 'ඉන්දිරා ගාන්ධි - සිරිමාවෝ බණ්‌ඩාරනායක' යුගයටත් ඔවුහු සංසන්දය කරති.

එදා ජවහර්ලාල් නේරු අගමැතිතුමා නොබැඳි ව්‍යාපාරය දියත් කිරීමට ප්‍රධාන හවුල්කරු ලෙස සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියව සහභාගී කරවා ගත්තේ මෙරට කෙරෙහි පැවති දැඩි විශ්වාසය පිළිබිඹු කරමිනි. නේරුතුමා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දියානු සම්භවය සහිත ජනතාවගේ නායකයින්ට උපදෙස්‌ දුන්නේ, ඔවුන්ගේ පුරවැසිකම පිළිබඳ ප්‍රශ්නය ඔවුන් ශ්‍රී ලංකා රජය සම`ග විසඳා ගන්නා ලෙසටය.

කිසිවකුට විසඳාගත නොහැකි යයි සලකන ලද ඉන්දියානු සම්භවයක්‌ සහිත දෙමළ ජනතාවගේ පුරවැසි ප්‍රශ්නය ගිවිසුමකින් අවසන් කිරීමට බණ්‌ඩාරනායක මැතිනිය සහ ඉන්දිරා ගාන්ධි මැතිනිය සමත් වූහ. ඒ සමඟම කච්චතිව් දිවයිනේ අයිතිය ද තහවුරු විය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ චාරිකාවේදී දෙරට කලාපීය සහ ජාත්‍යන්තර ආයතනවලදී දැඩි සහයෝගතාවයක්‌ ස්‌ථාපිත කර ගැනීමට එකඟ වූහ. එම එකඟත්වයේ තීන්ත වේලීමට ද පෙර ජීනීවාහි එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්‌ලයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව හය මසකින් කල් දැමීමට එකඟත්වයක්‌ ඇතිවූ බව නිවේදනය විය. මේ තීරණය පිටුපස ඉන්දියාව ඇතුඵ ශ්‍රී ලංකාවේ මිත්‍ර ජාතීන් සිටින බව තානාපති අංශවලට නොරහසකි. 

ඉන්දියානු අගමැති නරේද්‍ර මෝදි මහතා නව ශ්‍රී ලංකා ජනාධිපතිතුමාව උණුසුම් ලෙස පිළිගනිමින් ප්‍රකාශ කළේ 'ඔබතුමා සිය ප්‍රථම විදේශ චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීමෙන් අපගේ මිත්‍රත්වයේ ශක්‌තිය හොඳින් පිළිබිඹු වන බව'ය. ඉන්දියානු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජි මහතා ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයට සුභ පතමින් පැවසුවේ 'ඔබ දැඩි අභියෝග මධ්‍යයේ ඔබ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය සහතික කිරීමට දරණ ප්‍රයත්නයන්ට ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඉන්දියාවේ සම්පූර්ණ සහාය හිමිවන බව'ය. 

ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා අවශ්‍ය සෑම ක්‍ෂේත්‍රයකටම ආධාර සහ සහයෝගය ලබා දීමට ඉන්දියාව මුඵමනින් කැපව සිටින බව අගමැති මෝදි මහතා අවධාරණය කළ අතර ජනාධිපති සිරිසේන මැතිතුමන්ව හමුවූ මුදල් ඇමති අරුන් ජයිට්‌ලි, ආරක්‍ෂක ඇමති මනෝහර් පරික්‌කාර්, විදේශ කටයුතු පිළිබඳ ඇමති සුශ්මා ස්‌වරා- ඇතුඵ සියලුම ඇමතිවරු එය යළි සනාථ කළහ.

ජනාධිපති මුඛර්ජි මහතා ශ්‍රී ලංකා ජනාධිපතිතුමාට ගරු කිරීම්වස්‌ පැවැත්වූ රාජ්‍ය රාත්‍රී භෝජන සංග්‍රහයට සහභාගී වූ සම්භාවනීය අමුත්තන්ගෙන් පිළිබිඹු වූයේ ඉන්දියාව මෙම චාරිකාව කෙතරම් උසස්‌කොට සලකන්නේද යන්නය. එයට ඉන්දීය ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අමතරව හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතා, කොන්ග්‍රස්‌ පක්‍ෂයේ නායිකා සෝනියා ගාන්ධි මැතිනිය, භාරතීය ජනතා පක්‍ෂයේ වයෝවෘද්ධ නායක එල්. කේ. අද්වානි, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්, විපක්‍ෂ නායකයින්, ප්‍රබල රටවල තානාපතිවරුන් පමණක්‌ නොව ඉන්දීය සමාජයේ සුවිශේෂී වියතුන්, ගත් කතුවරුන් සහ සමාජ සේවයේ නියුතු ප්‍රභූවරුන් ඇතුළත් වූහ. 

ශ්‍රී ලංකා ජනාධිපතිතුමා කෙරෙහි ඇති සිය ගෞරවය යළි පළකිරීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං සහ කොන්ග්‍රස්‌ පක්‍ෂයේ සභාපතිනි සෝනියා ගාන්ධි මැතිනිය 'මෞර්යා' හෝටලයට පැමිණ ජනාධිපතිතුමා බැහැදැක සුහද සාකච්ඡාවක නිරත වූහ. 'ඔබතුමා එඩිතර ලෙස අභියෝග භාරගත් ආකාරයත් ප්‍රජාතන්ත්‍රවාදයට සහ යහපාලනයට දක්‌වන අවංක කැපවීමත් අපගේ ඉමහත් ප්‍රසාදයට ලක්‌වන බව' මන්මෝහන් සිං මහතාත් ගාන්ධි මැතිනියත් ප්‍රකාශ කළහ. 

ජනාධිපති සිරිසේන මැතිතුමාගේ සහ අගමැති මෝදි මැතිතුමාගේ නායකත්වයෙන් වූ නියෝජිත දෙපිරිස අතර පැවති සාකච්ඡාවලදී දෙරටේ සබඳතාවල ශක්‌තිය සහ සහයෝගතාවය නංවාලීමට ඇති කැපවීම හොඳින් පිළිබිඹු විය. සාකච්ඡා අවසානයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්වන පරිදි රටවල් දෙක හා දෙරටේ ජනතාව ඉතා දැඩිව හිමිකම් කියන සබඳතාවලට අති විශේෂ උත්කෘෂ්ටභාවයක්‌ ළගාකර දීම දෙරටේ අදිටන වේ. 

ක්‍ෂේත්‍ර ගණනාවකින්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනයේ පාර්ශ්වකරුවකු වශයෙන් ඉන්දියාව සාරවත් වූත් තීව්‍රවූත් සම්බන්ධතාවයක්‌ ගොඩ නගා ගැනීමට එක්‌වූහ. ඉන්දියානු නායකයින් අවධාරණය කළේ අද ගොඩනැගී ඇති ඉන්දු ලංකා මිත්‍රත්වය ලොව සියලුම ජාතීන්ට, විශේෂයෙන් දකුණු ආසියානු රටවලට ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ ආදර්ශයක්‌ ගෙනහැර පෑමට සමත් බවය. ජනාධිපති සිරිසේන මහතා සිය ප්‍රකාශය නිම කළේ මෝදි අගමැතිතුමා සම`ග ඇතිකරගත් අවබෝධයේ ආලෝකය, ශක්‌තිය හා අනුප්‍රභාව ලබා ගනිමින් දෙරට අතර එකඟතාවයේ ඉලක්‌ක දෙසට ශීඝ්‍රප්‍රගතියක්‌ ලැබීමට අපේක්‍ෂා කරන බවය. 

ජනාධිපතිතුමා නවදිල්ලි චාරිකාවේදී ලත් සුඵ විවේකය යොදා ගත්තේ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිලවස්‌තු සර්වඥ ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමටය. ඉන්දියානු රජය එදිනම නිවේදනය කළේ කපිලවස්‌තු ධාතූන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණෙන දස දහස්‌ ගණන් ශ්‍රී ලාංකික බැතිමතුන්ට සහනයක්‌ ලබාදෙනු වස්‌ කෞතුකාගාරයට ඇතුළුවීමේ ප්‍රවේශපත්‍රවල මිල විදේශික ගාස්‌තු ක්‍රමයෙන් ඉවත්කර බෞද්ධ බැතිමතුන් සඳහා ඉන්දියානු ජාතිකයින්ගෙන් අය කරන ඉතා පහසු මිල දක්‌වා පහත හෙළීමට තීන්දු කළ බවය. මෙම පියවර ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ චාරිකාව ගැන ඉන්දීය රජය දැක්‌වූ සුවිශේෂ ආකල්පය ප්‍රදර්ශනය කරන සංකේතාත්මක පියවරක්‌ විය. 

චාරිකාවේදී ඇති කරගත් ගිවිසුම් යටතේ න්‍යෂ්ටික ශක්‌තිය සාමකාමී කටයුතු සඳහා යොදා ගැනීම, විශේෂයෙන් බලශක්‌ති උත්පාදනය, කෘෂිකර්මය ආදී ක්‍ෂේත්‍රයන්ගේ ඵලදාව වර්ධනය උදෙසා යොදා ගැනීම, අධ්‍යාපනය, විද්‍යා සහ තාක්‍ෂණය, සංචාරක කර්මාන්තය, ගුවන් සබඳතා, කෘෂිකර්මය සහ සංස්‌කෘතික කටයුතුවල ඉදිරි ප්‍රගතිය උදෙසා උපයෝගීවනු නිසැකය. 

අධ්‍යාපනය පිළිබඳ එකඟත්වය මත අලුතින් පිහිටවන නාලන්දා විශ්වවිද්‍යාලයේ පුරෝගාමී කොටස්‌කරුවකු ලෙස ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමිවනු ඇත. ලොව පැරණිම බෞද්ධ විශ්වවිද්‍යාලය වූ නාලන්දාව මෙසේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය යටතේ යළි බිහිවීම ජනාධිපති සිරිසේන මැතිතුමාගේ චාරිකාවෙන් ලැබුණු මහගු ප්‍රතිඵලයකි.

18 වන අඟහරුවාදා නිමවූ චාරිකාවෙන් ලත් ක්‍ෂණික ප්‍රතිඵලවලට අමතරව ඉන්දු - ශ්‍රී ලංකා සහයෝගතාවයේ ප්‍රතිඵල රැසක්‌ නුදුරු අනාගතයේදීම දැකගත හැකි වනු ඇත. අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා ලබන මස ශ්‍රී ලංකාවේ චාරිකාවක යෙදීමට නියමිතය. ජනාධිපතිතුමාගේ චාරිකාවෙන් මාසයක්‌ ඇතුළත ඉන්දියානු නායකයා මෙරටට පැමිණීමට කළ තීරණය ද මෙම චාරිකාව ඉන්දියානු රාජ්‍ය නායකයකු ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ වසර 27 කට පසු වීම ද පැහැදිලි ලෙස පිළිබිඹු කරන්නේ මෙවර ආරම්භවී ඇත්තේ සබඳතාවල ස්‌වර්ණමය යුගය බව ඉන්දියාව ද හෘදයාංගමව සනාථ කරන බවය.

http://www.divaina.com/2015/03/01/feature14.html

0 comments: