Pages

Sunday, March 29, 2015

ඉවත්කළ නාමය යළි බැබළීම - සරත් ෆොන්සේකා

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයට නව පිටුවක්‌ එක්‌කරමින් ප්‍රථම වරට යුද හමුදා නිලධාරියකු වෙත ෆීල්ඩ් මාර්ෂල් නිලය ප්‍රදානය කිරීම පසුගියදා සිදුවිය.

මෙතෙක්‌ මෙරට යුද හමුදා නිලධාරියකු දරන ඉහළම නිලය ලෙස තිබූ ජෙනරාල් නිලය අභිබවා ප්‍රථම වරට ෆීල්ඩ් මාර්ෂල්  නිලයෙන් පිදුම් ලැබූ සරත් ෆොන්සේකා ලොව සිටින සීමිත ෆීල්ඩ් මාර්ෂල්වරුන් කීපදෙනා අතරට පැමිණියේ ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ සහ කීර්තියක්‌ද අත්කර දෙමිනි.

එතෙක්‌ තරු හතරේ ජෙනරාල් නිලය දරමින් සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාට තරු පහේ ෆීල්ඩ් මාර්ෂල් නිලය පිරිනැමීම එක්‌තරා ආකාරයක ආන්දෝලනාත්මක සිදුවීමක්‌ බවට ද පත්විය.

ඇතැමුන් එයට දේශපාලන මුහුණුවරක්‌ දීමටද උත්සාහ දැරූහ. එමෙන්ම එයින් ත්‍රිවිධ හමුදා අතර ප්‍රශ්නයක්‌ ඇති කිරීමට ද ඇතැමුන් කටයුතු කළහ. ඒ නාවික හා ගුවන් හමුදාවේ හිටපු හමුදාපතිවරුන් වන වයිස්‌ අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ එයාර් චීප් මාර්ෂල් රොෂාන් ගුණතිලකටද ෆීල්ඩ් මාර්ෂල් නිලයට සමාන නිල පිරිනැමිය යුතු බව පවසමිනි.

ජෙනරාල් සරත් ෆොන්සේකාට ෆීල්ඩ් මාර්ෂල් නිලය හිමිවීම සැබැවින්ම එක්‌තරා දෛවෝපගත සිදුවීමක්‌ ලෙස ද සැලකිය හැක.

තිස්‌ වසරක ශාපකාරී කුරිරු යුද්ධය තුන් වසරක කෙටි කාලයකින් අවසන් කර ඓතිහාසික යුද විජයග්‍රහණයත්, රටට සම්පූර්ණ නිදහසක්‌ ලබාදීමට ප්‍රමුඛ යුද නායකත්වය දුන් එවක හිටපු යුද හමුදාපතිවරයා වූ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා ජෙනරාල් නිලයට උසස්‌වී කෙටි කලකින් එම නිලය පමණක්‌ නොව සියලුම යුදමය තත්ත්වයන් අහිමි වී නිකම්ම නිකං සරත් ෆොන්සේකා බවට පත්විය.

ඔහුගේ නිලයන් සියල්ල අහිමිකර ඔහුගේ නම ඡායාරූප පවා යුද හමුදා මූලස්‌ථානය ඇතුළු සියලුම හමුදා කඳවුරුවලින් ඉවත් කෙරිණි. යුද විජයග්‍රහණයට අදාළ උත්සවවලදී ඔහුගේ නම පවා ප්‍රකාශ කිරීම තහනම් විය. සමරු කලාප, ලිපි ලේඛන ආදියෙහිද ඔහුගේ නම සඳහන් කිරීමට ඉඩක්‌ නොවීය.

කොටින්ම 2005 - 2009 කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාවට යුද හමුදාපතිවරයකු නොසිටියේ සේ කටයුතු සිදුකෙරිණි. යුද හමුදාව එසමයේ යුද්ධය කර ඇත්තේ යුද හමුදාපතිවරයකු සහ යුද නායකත්වයයවක්‌ නොමැති ඕපපාතික තත්ත්වයක්‌ තුළ බව සිතෙන අයුරින් ජෙනරාල් ෆොන්සේකාගේ නාමය යුද හමුදාවෙන් මකා දමන ලදී.

යුද්ධයට අදාළ වීඩියෝපට, ඡායාරූප ඔහු නොමැති ඒවා තෝරා ප්‍රචාරය කළේය. කොටින්ම සරත් ෆොන්සේකා වැනි කෙනෙක්‌ යුද හමුදාවේ කවදාවත් සිටියේම නැති ලෙසට සියලු කටයුතු සිදුවිය.

මෙහිදී සිදුවූ තවත් එක්‌තරා සිදුවීමක්‌ සිහියට නැගේ. එය මීට අදාළ නිසා සටහන් කරමි.

2010 සිට 2014 දක්‌වා කාලයේ පැවැති යුද හමුදා සංවත්සරයනට අදාළ විශේෂ ලිපියක්‌ මවිසින් වාර්ෂිකව 'දිවයින' පුවත්පතේ පළකිරීමට කටයුතු කළ අතර ඒ සඳහා හමුදා ඉතිහාසයට අදාළ තොරතුරු සටහනක්‌ යුද හමුදා ජනමාධ්‍ය අංශයෙන් ගෙන්වා ගතිමි. සෑම වසරකම එවූ එම සටහනෙහි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම නොවීය. අංක 01 සිට පිළිවෙළින් හිටපු යුද හමුදාපතිවරුන්ගේ නම් ඇතත් අංක 18 ක්‌ සහ ඒ යටතේ හමුදාපතිවරයකුගේ නමක්‌ද නොවීය. 17 ට පසු ඇත්තේ 19 වැනි හමුදාපතිවරයාගේ නමයි.

නමුත් මේ කරුණ මේ මගේ සිත් ගත්තේ නැත. මා ලිව් සෑම ලිපියකටම හමුදා ලේඛනයේ නැති අංක 18 ට අදාළ යුද හමුදාපති වශයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නම සඳහන් කිරීමට මම වග බලා ගතිමි.

එසේ මකා දමා තිබූ ඒ නාමය නැවත හමුදා ඉතිහාසයේ ලියෑවී දෛවෝපගත ආන්දොලනාත්මක ලෙස ඔහුට ෆීල්ඩ් මාර්ෂල් නිලයද හිමිවිය. අහිමි කළ ජෙනරාල් නිලය ද ආපසු හිමිවී, ඉන් නොනැවතී මෙරට යුද හමුදාවේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල්වරයා ලෙස ඉහළම තැනට ඒමට වරම් හිමිකර දීමට තරම් සරත් ෆොන්සේකා සෙන්පතිඳුන්ගේ දෛවය ඔහුට බොහෝ කාරුණික විය.

මේ අතර යුද හමුදාවට කාලයක පටන් බලපෑ ප්‍රධාන ප්‍රශ්නයකට එක්‌තරා විසඳුමක්‌ ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සේනාධිනායකයා ලෙස වැදගත් පියවරක්‌ ගෙන ඇත.

ඒ නිවාඩු නොමැතිව සේවය හැරගොස්‌ සිටින යුද හමුදා සෙබළුන්ට හා නිලධාරීන්ට නිත්‍යනුකූලව සේවයෙන් අස්‌වීම සඳහා පොදු සමා කාලයක්‌ ප්‍රකාශයට පත්කිරීමයි.

මෙම පැනගොස්‌ සිටින සෙබළුන්ගේ ප්‍රශ්නය දෙස මානුෂිකව හා සංවේදීව බලා එම සෙබළුන්ට ගෞරවාන්විතව සේවයෙන් අස්‌වී සමාජය වෙත ගොස්‌ නිදහසේ ජීවත්වීමට වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අවධානයෙන් යුතුව උපදෙස්‌ දී ඇත.

ඒ අනුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වාගේ මෙහෙයවීම මත සාර්ථක වැඩපිළිවෙළක්‌ සකස්‌කර අප්‍රේල් 02 වැනිදා සිට 16 වැනිදා දක්‌වා ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මේ වන විට 41,330 ක්‌ වන නිවාඩු නොමැතිව සේවය හැර ගොස්‌ සිටින හමුදා සාමාජිකයන් පිරිසකට නීත්‍යනුකූලව අස්‌වීමට මහඟු අවස්‌ථාවක්‌ හිමිවී ඇත.

නිවාඩු නොගෙන සේවයට නොපැමිණෙන අයවලුන් අස්‌කිරීමේ පිළිවෙළට අනුව සිදුකෙරෙන වර්ග කිරීම්

1. යුද්ධ හමුදාව වෙත කිසිදු මුදලක්‌ ගෙවීමට නොමැති සහ අස්‌කිරීම් සඳහා නීතිමය බාධාවක්‌ නොමැති අයවලුන්

2. කිසිදු නීතිමය බාධාවක්‌ නොමැති ඒකක අනිවාර්ය ඉතිරිකිරීම්, යුහ යහ සාධක අරමුදල සහ සුවසහන වෛද්‍ය යෝජනා ක්‍රමයේ ඇති ඉතිරි මුදලින් යුද්ධ හමුදාව වෙත ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට හෝ ඇපකරුවන්/ළඟම ඥාතීන්ගෙන් අයකිරීම සිදුකර අස්‌කිරීමට හැකියාවක්‌ ඇති අයවළුන්

3. නීතිමය චෝදනා නොමැති ඒකක අනිවාර්ය ඉතිරි කිරීම්, යුද යහ සාධක අරමුදල සහ සුවසහන අරමුදලින් හෝ වෙනත් ඉතිරි කිරීම් මුදලින් යුද්ධ හමුදාව වෙත ගෙවිය යුතු මුදල් පියවා ගැනීමට හෝ ඇපකරුවන්/ළඟම ඥාතීන්ගෙන් අයකර පියවා ගැනීමට කටයුතු කර තවදුරටත් රු. 50,000.00 ට වඩා නොවැඩි රජය වෙත හෝ යුද්ධ හමුදාව වෙත මුදල් අයවීමට ඇති අයවලුන්ගේ එම අයකිරීම් කපාහැර ඔවුන් යුද්ධ හමුදාව වෙතින් අස්‌ කිරීමට කටයුතු කිරීම

4. නීතිමය ගැටලු ඇති විනය කඩකිරීම්වලට ලක්‌ව වංචා, දූෂණ/අක්‍රමිකතා, සාපරාධී ක්‍රියාවන්ට සම්බන්ධ අයවලුන් පවතින නීතිමය ප්‍රතිපත්තීන්ට අනුව ක්‍රියාකර යුද්ධ හමුදාවෙන් අස්‌කිරීම

මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ යුද හමුදා මූලස්‌ථානයේ විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ කියා සිටියේ පොදු සමා කාලයේ පැමිණෙන සෙබළුන් රඳවා තබා ගැනීමත් හෝ දඬුවම් ලබාදීමක්‌ සිදු නොකරන බැවින් කිසිදු බියක්‌ සැකක්‌ නොමැතිව පැමිණෙන ලෙස දන්වා සිටින බවයි.

මෙම පොදු සමා කාලයේ නොපැමිණෙන සෙබළුන් අත්අඩංගුවට ගෙන නීතිමය දඬුවම් ලබාදීමට ක්‍රියාකරන බවද මේජර් ජෙනරාල් හතුරසිංහ අවධාරණය කළේය.

සිරිමෙවන් කස්‌තුරිආරච්චි
http://www.divaina.com/2015/03/28/feature02.html

සබැඳි ලිපි -
[
තරුවක්‌ වටා පළඳන තරු පහ... ෆීල්ඩ් මාර්ෂල්, මාර්ෂල් ඔෆ් ද ෆිලීට්‌, මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස්‌http://denethharinna.blogspot.com/2015/03/blog-post_23.html
]

0 comments: