Pages

Sunday, May 21, 2017

දිගාමඬුළු ඉතිහාසයේ විශිෂ්ටත්වයේ සලකුණ රජගල ව්‍යාපෘතිය නවතී..!

අපේ අතීත මුතුන් මිත්තන් කළ ඒ මහා කලා නිර්මාණ අප සියලුම දෙනා මවිතයට පත් කරයි. අදට ද මහා ආඩම්බරයෙන් කතා කරති. මේ වන විට ලොවම මවිත කරවන එවන් විශිෂ්ට නිර්මාණයක්‌ නැරඹීම සඳහා බොහෝ දෙනකු පිය නඟන්නේ අනුරාධපුරය, පොළොන්නරුව වැනි ප්‍රදේශවලටය. නමුත් ඒ වනවිට රට වටා වන වදුලට යටව ගොස්‌ තවමත් ඉතිහාසයේ අනාවරණය නොවුණ කරුණු සමඟින් එවන් උරුමයන් ඇත්තේ පස්‌ තට්‌ටු යට සැඟව ගොස්‌ය.

දිගාමඬුලු මිටියාවත ද අතීත රජ දරුවන්ගේ පහස ලබමින් සංවර්ධනය වූ පුරවරයකි. බුදුන්ගේ පා පියුමෙන් පහස ලද දීඝවාපිය සෑරදුන්ගේ අවට පූජා භූමියේ කැණිම් කටයුතු තවමත් ඇත්තේ ඉබි ගමනේය. එම නිසා අතීතයේ බොහෝ වංහුන් අදට ද ඇත්තේ සැංගීය.

මීට දශක කිහිපයකට පෙර සොයා ගත්ත ද නිසි අවධානයක්‌ යොමු නොවුණ දිගාමඬුලු ඉතිහාසයේ පුරාවිද්‍යා උරුමයන් අතරින් අගරජු වන්නේ රජගල පුදබිමය. අක්‌කර 1025 ක වපසරියකින් යුත් මෙපින්බිම ලංකාවේ විශාලතම පුරාවිද්‍යා රක්‌ෂිතය වශයෙන් සැලකේ. මෙය වන වදුළෙන් වැසී යැම නිසා නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්‌ව විනාශ වෙමින් පැවති ස්‌ථානයක්‌ විය. යාන්තමින් ගරා වැටුණු ස්‌ථාන කිහිපයක්‌ පමණක්‌ හෙළි පෙහෙළි කිරීම නිසා මීට වසර කිහිපයකට ඉහතදී ඉතා අඩු පිsරිසක්‌ පමණක්‌ මෙම පුදබිම නරඹන්නට පැමිණීයේය. ඒත් මෙහි දකින්නට ලැබුණේ ඉතා සීමිත පුරාවස්‌තු ප්‍රමාණයකි. 

නමුත් ලංකාවට මිහිඳු සමිඳු පැමිණී බව සඳහන් සුවිශෛෂී සෙල්ලිපිය ඇත්තේ මෙම පුදබිමේය.

යේ ඉමදිප පඨමය 
ඉඩිය අගතන 
ඉඩිය තෙරහ
මහින්ද තෙරහ තුබේ

මේ දිවයිනේ සමෘද්ධිය සඳහා වැඩම කළ ඉට්‌ඨිය තෙරුන්ගේ ද මහින්ද තෙරුන්ගේ ද ධාතු තැන්පත් කළ ථූපයයි ලෙස සෙනරත් පරණවිතාන මහතා එම සෙල්ලිපිය අර්ථ දක්‌වා තිබුණි.

මම සෙල්ලිපිය බුදු දහම ලක්‌දිවට ගෙන ඒමේ පුරාවෘත්තය තහවුරු වන සුවිශේෂීම සෙල්ලිපියකි. ඒ පමණක්‌ නොව ඒ ධාතු තැන්පත් කළ මිහිඳු සෑය ද අදට ද ඒ අතීත උරුමයේ වටිනාකම කියාපාමින් රජගල පර්වත මුදුනේ වැජඹෙමින් තිබේ.


සද්ධාතිස්‌ස රජුගේ පුත් ලඡ්ජතිස්‌ස කුමරයා විසින් මෙම පුදබිම ගොඩනැඟු බවට සාක්‌ෂි හමුව තිබේ. මහා වංශයේම පුදබිම සඳහන්ව ඇත්තේ ගිරිකුම්බල ලෙසිනි. රජගල පුරාවිද්‍යා පුදබිමේ අපේ ඉතිහාස උරුමයන් බොහෝමයක්‌ වන වදුළට යටව ගොස්‌ තිබියදී අනාවරණය වන්නට වූයේ මැතකදී සිදුකරන ලද ව්‍යාපෘතියට පින් සිදුවන්නටය. එනිසා බොහෝ දෙනකුගේ නිssසි අවධානයට ලක්‌ නොවුණ මෙම පුදබිමට 2012 වසරේ සිට නිසි අවධානය යොමු විය. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය එක්‌ව ව්‍යාපෘතියක්‌ ආරම්භ කරන ලදී. එයට ඇමරිකානු රජයේ ආධාර මෙන්ම මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ සහ මහා භාණ්‌ඩාගාරයේ දායකත්වය ඇතිව මෙම රජගල පුරාවිද්‍යා ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. 

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මහචාර්ය ප්‍රශාන්ත බී. මන්ඩාවල, මහාචාර්ය පත්මසිරි කන්නංගර, මහාචාර්ය කරුණාසේන හෙට්‌ටිආරච්චි, ආචර්ය කේ. එම්. ඇලෙක්‌සැන්ඩර්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි ඇතුළු පුරාවිද්‍යා අංශයේ දස්‌කම් දැක්‌වූ විද්වතුන් පිරිසක්‌ මෙම රජගල ව්‍යාපෘතියට දායකත්වය ලබා දෙන ලදී. 

මෙම පුරාවිද්‍යා භුමියේ කැණීම් ආරම්භ වන්නට වූහ. ඒ කැණිම්වලට පසුව පුරාවිද්‍යා සංරක්‌ෂණ කටයුතු සිදුවන්නට විය. රජගල අතීත උරුමයේ දැක පැමිණෙන්නෝ මහා පුදුමයට පත් වන්නට වූහ. කැඩී බිඳී විසිරී ගිය ගල් පාත්‍රය සහ ඒ ස්‌ථානයේ තිබුණු පුරාවිද්‍යා නටබුන් කැණීම් කර නැවත සංරක්‌ෂණය කර අතීතයේ තිබූ ආකාරයට එම උරුමය දැක බලා ගන්නට හැකි වන ආකාරයෙන් නැවත ගොඩනඟන්නට වූහ. 2012 වසරේ ආරම්භ කරන ලද මෙම පුරාවිද්‍යා වැඩබිමේ වැඩකටයුතු 2015 වසරේ සිට 2020 දක්‌වා පස්‌ අවුරුදු සැලැස්‌මක්‌ ලෙස ක්‍රියාත්මක වන්නට වූහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කරන බොහෝ කැණීම් ඉබි ගමනේ සිදු වන විට හෝ ඇතැම් ව්‍යාපෘතින් අතරමඟ නතර වන විට මෙම රජගල ව්‍යපෘතිය වේගයෙන් තම ඉලක්‌කය සපුරා ගනිමින් සිටින්නට වූහ. 

මෙම රජගල ව්‍යාපෘතියේ කළමනාකරු වශයෙන් කටයුතු කළ රත්නායක මහතා ඇතුළු 20 කට ආසන්න පර්යේෂණ නිලධාරී පිරිසක්‌ සමඟින් මෙම කැණිම්වලට සහය දැක්‌වූ අනියම් කම්කරුවන් පිරිසත් සමඟ 150 කට ආසන්න පිරිසක්‌ මෙම පුරාවිද්‍යා සංකීර්ණයේ සේවය කරන්නට වූහ. ඒ අනුව දුටුවන් මවිත වන ආකාරයේ සොයා ගැනීම් රැසක්‌ද සිදුකර ගන්නට මෙම පිරිසට හැකි විය.

ගලින් කරන ලද ඉපැරණි කුටියක්‌ මෙහිදී සොයා ගැනීමට හැකි විය. ඒ සමඟින් ඉතා වැදගත් තොරතුරු රැසක්‌ සටහන්ව තිබුණු නව ශිලා ලේඛන 08 ක්‌ සොයා ප්‍රකාශයට පත්කරන ලදී. රජගල කඳු මුදුනට යැමට තිබුණු ඉපැරණී මාර්ගයක්‌ කැණිම් කර සංරක්‌ෂණය කිරීමද ඇරඹින. මෙම කඳු මුදුනට පාගමනින් යැම ඉතා අපහසු සහ බොහෝ කාලයක්‌ ගත වන නිසා වාහනයකින් රජගල කඳු මුදුනට යා හැකි මාර්ගයක්‌ ද මෙම ව්‍යාපෘතිය යටතේ සකස්‌ කෙරුණි.

ඔවුහු කඳු මුදුනේ කැඩී බිදී ගිය වැව නැවත සකස්‌ කරන්නට වූහ. ඉතා දුර්ලභ ආකාරයේ නිර්මාණයක්‌ වන කැබලිවලට කැඩී ගොස්‌ තිබූ ගල් පාත්‍ර නැවත සකස්‌ කරමින් එම ගොඩනැඟිල්ල සංරක්‌ෂණය කර නිධන් හොරුන් හාරා පස්‌ කන්දක්‌ බවට පත් තිබූ මධ්‍ය ප්‍රමාණයේ දාගැබ් 02 ක්‌ කුඩා ස්‌ථූප 05 ක්‌ නැවතත් කැණිම් කර සංරක්‌ෂණය කරන්නට වූහ. ඒ සමඟින් දාන ශාලා ඇතුළු ගොඩනැඟිලි 

රැසක්‌ද ලෙන් ගල් උළුවස්‌ස යන ස්‌ථානය ඇතුළු පුරාවිද්‍යා ස්‌මාරකයන් රැසක්‌ සංරක්‌ෂණය කරන ලදී. 

මේ ආකාරයෙන් මෙම රජගල කැණීම් නිසා අනුරාධපුර සහ පොළොන්නරුවට නොදෙවෙනි ආකාරයේ ඉපැරණි නිර්මාණයන් රැසක්‌ මෙහි පැමිණෙන්නන්ට දැක ගන්නට ලැබුණි. මේ ආකාරයෙන් කාලයේ වැලි තලාවෙන් වැසී ගිය රජගල පුරා විද්‍යා වැඩ බිම මහා ආඩම්බරයෙන් දිගාමඬුලු මිටියාවත පුරා සිය ආධිපත්‍ය පතුරුවද්දී කිසිවෙක්‌ නොසිතු= ආකාරයෙන් නිළධාරීන්ගේ ගොබ්බ වැඩ නිසා වැඩ අතරමඟ නතර වන්නට විය.

මෙම සේවකයන්ට වැටුප් ගෙවීම් වැනි කටයුතු සිදුකරනු ලබන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙනි. නමුත් කරුමයක තරම නම් මෙම සේවය කළ නිලධාරීන් ඇතුළු පිරිසකට ජනවාරි සිට මාස 04 වැටුප් තවමත් ලබාදී නොමැත. අනියම් කම්කරුවන්ට මාර්තු මාසයේ සිට වැටුප් ගෙවා නැත. ඒ පමණක්‌ නොව මොවුනට දෙසම්බර් මාසයේ වැටුප ගෙවා ඇත්තේ දින 04 ක්‌ද අඩුවෙනි.

මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ වැඩසටහන් වලදී සේවය කරනු ලබන අනියම් සේවකයකුට රුපියල් 1200 ක්‌ දිනකට ගෙවනු ලැබූවද රජගල ව්‍යාපෘතිය යටතේ දිනකට මෙම අනියම් සේවකයකුට ගෙවනු ලැබුවේ රුපියල් 1000 කි. 2012 සිට මෙහි සේවය කරනු ලබන අනියම් සේවකයන්ට අර්ථ සාධක මුදල් ද ගෙවා නොමැත. මෙම ස්‌ථානයේ වැඩකටයුතු සඳහා මාස ගණනක සිට ඉන්ධන දීමනාව ද ලබාදී නොමැත.

තමන්ට වැටුප් සිංහල අවුරුද්දට ලබෙනු ඇතැයි මෙම සේවකයන් සියල්ලම සිටියේ මඟ බලාගෙනය. නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගණකාධිවරයා මෙම සේවකයන්ට අවුරුද්දට තබා මේවනකම් නියමිත වැටුප් ගෙවන්නට කටයුතු කර නොමැත. සේවකයන් වැටුප් නොමැතිව දරු පවුල් සමඟින් අවුරුද්දට ඇඳුමක්‌ පැළඳුමක්‌ අරගන්නට බැරිව හූල්ලද්දී පුරාවිද්‍යා ලොක්‌කෝ නම් තම වැටුප සාක්‌කුවේ දමා ගෙන උජාරුවට අවුරුදු කන්නට ඇත. එපමණක්‌ ද නොව මෙම අනියම් සේවකයන්ට මාසයේ 10 වැනිදාට පෙර වැටුප් ගෙවිය යුතු වුවද එම වැටුප් ගෙවනු ලැබුවේ විවිධ දිනවලය. ඇතැම් විට වැටුප් ගෙවනු ලැබුවේ මාසයේ 25 වැනිදාටත් පසුවය.

ඒ නිසා මෙම සේවකයෝ තම වැටුප් ගෙවන ලෙස ඉල්ලා උද්ඝෝෂණද සිදුකරන්නට වූහ. නමුත් ඒවා බීරි අලින්ට වැයූ වීණාවක්‌ම වැනිම විය. ඉතා සාර්ථක ආකාරයෙන් සිදුවෙමින් පැවති රජගල පුරාවිද්‍යා වැඩ බිමේ සංරක්‌ෂණ කටයුතු අතරමග නතර වන ලදී. ඉතා අලංකාර ලෙස මතුවෙමින් ආ පුරාවිද්‍යා භූමිය නැවතත් මේවන විට වන වදුළට යට වෙමින් තිබෙන්නේය.

අවසානයේදී තම වැටුප ඉල්ලා මේ පිරිස අම්පාර මානව හිමිකම් කොමිෂන් සභාවේ පැමිණිල්ලක්‌ දැමූහ. එය පසුගියදා විභාගයට ගත් අතර මෙම සේවකයන්ගේ වැටුප් ගෙවීම පැහැර හැරි ගණකාධිකාරිවරයා ඒ පැත්ත පළාතටවත් ආවේ නැත. නමුත් පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා එහි පැමිණියේය. එහිදී මේ තොරතුරු සියල්ලම හෙළිවෙද්දී පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයා 18 වැනිදා වන විට වැටුප් ගෙවන්නම් යනුවෙන් කොමිසම හමුවේදී පවසා සිටින්නට විය.

මෙම රජගල ව්‍යාපෘතිය සඳහා මේ වන විට 2012 සිට 2016 දක්‌වා රුපියල් මිලියන 136 ක්‌ වැය වී තිබේ. ඉන් මිලියන 08 ක්‌ පමණ වැය වී ඇත්තේ මෙම රජගල පුරාවිද්‍යා භුමිය මිනින්දෝරු දෙපර්තමේන්තුවේ නිලධාරීන් ලවා සිතියම් ගත කිරීමටය. ඒ අනුව සෑම පුරාවිද්‍යා ස්‌ථානයක්‌ හසුවනසේ ඉතා නිවැරැදි ආකාරයෙන් සිතියම් ගත කිරීමට මිනින්දෝරු නිලධාරීන්ට මාස 03 කාලයක්‌ ගතවන්නට විය. ඒ අනුව පසුගිය කාලයේ මෙම කැණීම් කටයුතු ඉතා විධිමත් ආකාරයෙන් සිදුවන්නට විය. 

කම්කරුවන් මේ ආකාරයෙන් තම රැකියා කරන්නේ ඇඟ රුදාවට නොව බඩ වියත රැක ගන්නටය. දරු පවුල නඩත්තු කරන්නටය. ඉහළ යන ජීවන වියදම ඔස්‌සේ වැටුප ලැබුණ ද ජීවත් වීමට අපහසු කලෙක මාස කිහිපයක්‌ වැටුප් නොලැබීම තුළ මෙම සේවකයන් පත්ව සිටින්නේ අන්ත අසරණ තත්ත්වයකටය. පුරාවිද්‍යා කටයුතුවලට සහභාගිවූ පිsරිස ගමේ ගියේ මෙම ව්‍යාපෘතියට දායකත්වය ලබාදුන් මහාචාර්යවරුන්ගෙන් මුදල් ඉල්ලාගෙනය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවකයන් හිඟකම නිසා මේ ආකාරයෙන් ගෙවීම් පමාවෙනු ඇතැයි ඇතැම්හු කියති. නමුත් මාස 04ක්‌ පඩි නොදීම ගැටලු සහගතය. මේ ආකාරයේ මෙම රජගල ව්‍යාපෘතිය එක පිම්මේ 2020 දක්‌වා සිදුකළේ නම් කෙතරම් පුරාවිද්‍යා ස්‌මාරකයන් ප්‍රමාණයක්‌ සංරක්‌ෂණය කරන්නට හැකියාව ලැබේවි ද යනුවෙන් අපට මෙම කාර්ය සඳහා සහභාගි වූ පිරිස්‌ පවසා සිටිති. 

"මේ වන විට මෙම ස්‌ථානයේ කැණීම් කටයුතු විශාල ප්‍රමාණයක්‌ සිදුකර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ කඳු මුදුනේ කාර්යාල සහ ගොඩනැඟිලි, වැසිකිළි පද්ධති පවා ඉදිකර තිබෙනවා. රජගල පහළ ද පොලිස්‌ මුරපළ ගොඩනැඟිල්ලක්‌, කාර්යාලයක්‌ සහ වැසිකිළි පහසුකම් ඇති කරලා මෙම පුදබිමේ සංවර්ධන කටයුතු විශාල පිරිසක්‌ සිදුකර තිබෙනවා. ඒ නිසා මේ වන විට රජගල පැමිණි කාට වුණත් අපි මේ ස්‌ථානයට වැය කර තිබෙන මුදලට ඉතා සාධාරණයක්‌ ඉෂ්ට කර තිබෙනවා" යෑයි පේන බවද එහි සේවය කළ පිරිස පවසා සිටිති.

වසර සිය ගණනක්‌ කැලයෙන් යටවූ මෙම පුදබිමේ පුරාවිද්‍යා ස්‌මාරකයන් 700 කට අධික ප්‍රමාණයක්‌ තිබේ. එවන් ස්‌ථානයක සේවය කරන පිරිසට වැටුප් නොගෙවා මෙම ව්‍යාපෘතිය අතරමඟ නවතාලන්නට කටයුතු කරන්නේ කුමන හේතුවක්‌ නිසා දැයි සොයා බැලිය යුතුය. මෙය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පමණක්‌ කරන්නේ නම් වැඩ සිදුවන්නේ ඉබි ගමනේය. ඒ අතර වැඩේ නොවුණත් අවසානයේදී මුදල් වියදම් ගොස්‌ තිබෙන්නට පුළුවන. ඒ නිසා රජගල ව්‍යාපෘතිය මේ වන විට නතරකර දැමීමේ පිටුපස පුරාවිද්‍යාවේ අඳුරු බලවේගයන් ඇති දැයි සොයා ගැනීම එහි ලොකු මහත්තයා සතු වගකීමකි. එසේ නම් මෙම රජගල වැඩබිම අංජ බකල් කළ පුරාවිද්‍යාවේ නිලධාරීන් පිළිබඳව නිසි තීරණයක්‌ ගත යුතුය.

මෙම ව්‍යාපෘතියේ මුල්‍ය කටයුතු නිසි පරිදි කිරීමට පුරාවිද්‍යාවට නොහැකි නම් මෙහි මූල්‍ය පාලනය කිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට භාර දිය හැකිය. රාජ්‍ය ආයතනයක්‌ නිසා මූල්‍ය පාලනයට අදාළ නීතිරීති අනුව ඒ කටයුතු සිදුකිරීමට අවස්‌ථාව ලබා දෙන්නේ නම් මෙවැනි ගැටලු ඇති නොවීමට ඉඩ ඇත. යම් මූල්‍ය අක්‍රමිකතාවයක්‌ වන්නේ නම් විගණනය කිරීමට ද හැකියාවක්‌ ඇත. එසේ නොමැති නම් මෙම රජගල ව්‍යාපෘතිය අතරමග නවතා දැමීමේ පාපය සිදු වීමට ඉඩ ඇත.

සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2017/05/21/feature02.html

1 comments:

Thilina said...

Sar ..... mage idama menaganna ooni sar ...... yana seema viyadamakma mama daranawa sar .............