Pages

Sunday, May 7, 2017

බුදුරජාණන් වහන්සේ සියලූ සතට මහ වෙදැදුරාණෝය!

ත්‍රිවිධ විෂ ධර්ම ඥාන ප්‍රතිකාරයෙන් සමනය කිරීමේදී මෙත්තා, කරුණා. මුදිතා, උපේක්‌ඛා ඉදිරිපත් වී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධයන් හැටියටය. සියල්ලන් දෙස මෙත් සිතින් ආදරයෙන් බැලීමට මෙත්තා ඖෂධයද, ගැටලු පැටලිලිවලට මැදි වූ පිරිස්‌ වෙත දයාව පැතිරවීමට කරුණා ඖෂධයද, සතුටින් සොම්නසින් සපිරුණු මිනිසුන් දැක සතුටුවීමට මුදිතා ඖෂධයද, ලාභ, අලාභ, සතුට, අසතුට මැදිහත්ව විඳ දරා ගැනීමට උපේක්‌ඛා ඖෂධය ද බොහෝ රෝග නිවාරණයේදී අත්‍යවශ්‍ය ඖෂධ වන්නේ ලොව සදාකාලයටමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ රෝගී වන පිරිසගෙන් සියයට 46 ක ප්‍රතිශතයකට හා සියලු ආකාරයේ රෝගීන්ගේ මරණ සියයට 60 ක ප්‍රතිශතයකට වගකියන හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග නිවාරණයේ දී මේ ප්‍රතිකාරයේ අගය බෙහෙවින් ඉහළය.

අනමස්‌මි භික්‌ඛවෙ බ්‍රාහ්මණො යාචයෝගෝ සදා පයතජාණි අන්තිම දෙහධරො අනුත්තරෝ 
හිසකෙතා සල්ලකතො
තස්‌ස මෙ තුමේහ පුත්තා ධරසා මුඛතොජතා 
ධම්මජා ධම්ම නිම්මිතා ධම්මදායාදා
නොආමිසදායාදා

මහණෙනි කැමති සේ ධර්මදානය කරන හෙයින් ඉල්ලීමට සුදුසු වූ හැම කල්හිම ධර්මදානය සඳහා පිරිසිදු කළ අත් ඇති අන්තිම සිරුරක්‌ දරණ සංසාර දුක්‌ඛ රෝගයන්ට පිලියම් කරන හෙයින් උසස්‌ වෛද්‍යවරයෙක්‌ වූ රාගාදී හුල් උපුටාලන හෙයින් ශල්‍යකර්තෘ වෛද්‍යවරයකු වූ මම් වනාහි බැහැර කළ පව් ඇති හෙයින් පරමාර්ථ බ්‍රාහ්මණයෙක්‌මි.

තොපි වනාහි ඒ මාගේ මුඛයෙන් දේශිත ධර්මයෙන් උපන් හෙයින් ධර්මජ වූ ධර්මයෙන්ම නිම්මිත වූ ධර්මය දායාද කොට ඇති ආමිසය දායාද කොට නැති ඖරස පුත්‍රයෝ වහු.

මේ වසර දෙදහස්‌ පන්සිය පනස්‌ තුනකට පෙර බුදුරජාණන් වහන්සේ කළ දේශනාවක්‌ චතුෂ්ක නිපාතයේ බ්‍රාහ්මණ සුත්‍රයේ සඳහන්ව ඇති ආකාරයය. ඉන් පැහැදිලි වන්නේ උන්වහන්සේ සසර දුක්‌ රෝග ප්‍රතිකාරයෙහි යෙදුණු වෛද්‍යවරයෙක්‌ම පමණක්‌ නොව ලෝභ, ද්වේෂ, මෝහ ආදී උල් කටු ගලවා දැමීමෙහි යෙදුණු ශල්‍ය වෛද්‍යවරයෙක්‌ද වන බවය.

ශල්‍ය කර්මයකට ලක ලැහැස්‌ති වීමේදී වෛද්‍යවරයාටද ඒ සඳහා සමීපව උපකාර කරන සීමිත කාර්ය මණ්‌ඩලයට ද පැවරෙන පූර්ව කටයුත්තක්‌ වන්නේ ක්‍රමාණුකූලව දෙඅත් හොඳින් පිරිසිදු කර ගැනීමය. අදාළ ගාථාවේ පිරිසිදු කළ අත් ඇති ලෙස වන සටහනින් සිහියට නැඟෙන්නේ වැලමිටේ සිට අතැඟිලි දක්‌වා පිළිගත් ක්‍රමයකට සිදුවන මේ පිරිසිදු කර ගැනීමේ වැදගත් කාර්යයයි.

කායික මානසික ව්‍යාධීන් සුවපත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ ධර්මයෙහි පැහැදිලිව දැකිය හැක්‌කේ මනස ඉලක්‌ක කොට ගත් ප්‍රවේශයකි. ඒ අනුව රෝග නිවාරණයේදී විය යුතු වැදගත්ම කාර්යය ලෙස ලෝභ, ද්වේෂ, මෝහ යන ත්‍රිවිධ විස සමනය සඳහා පූර්ව ආරක්‌ෂිත ප්‍රතිකාරය වී ඇත්තේ ධර්ම ඥානයය. එහිදී හෙළි කොට දක්‌වා ඇත්තේ සිත හා කය එකිනෙක මත රඳා පවතින හෙයින් මනසේ සෞඛ්‍ය තත්ත්වය අනුව සිරුරේ සෞඛ්‍යයද, සිරුරේ සෞඛ්‍ය තත්ත්වය අනුව මනසේ සෞඛ්‍යයද වෙනසට ලක්‌වන බවය.

අදාළ ත්‍රිවිධ විෂ ධර්ම ඥාන ප්‍රතිකාරයෙන් සමනය කිරීමේදී මෙත්තා, කරුණා. මුදිතා, උපේක්‌ඛා ඉදිරිපත් වී ඇත්තේ අත්‍යවශ්‍ය ඖෂධයන් හැටියටය. සියල්ලන් දෙස මෙත් සිතින් ආදරයෙන් බැලීමට මෙත්තා ඖෂධයද, ගැටලු පැටලිලිවලට මැදි වූ පිරිස්‌ වෙත දයාව පැතිරවීමට කරුණා ඖෂධයද, සතුටින් සොම්නසින් සපිරුණු මිනිසුන් දැක සතුටුවීමට මුදිතා ඖෂධයද, ලාභ, අලාභ, සතුට, අසතුට මැදිහත්ව විඳ දරා ගැනීමට උපේක්‌ඛා ඖෂධය ද බොහෝ රෝග නිවාරණයේදී අත්‍යවශ්‍ය ඖෂධ වන්නේ ලොව සදාකාලයටමය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තමාන සංඛ්‍යා ලේඛන අනුව ලෝකයේ රෝගී වන පිරිසගෙන් සියයට 46 ක ප්‍රතිශතයකට හා සියලු ආකාරයේ රෝගීන්ගේ මරණ සියයට 60 ක ප්‍රතිශතයකට වගකියන හෘද රෝග, අධි රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා ඇතුළු බෝ නොවන රෝග නිවාරණයේ දී මේ ප්‍රතිකාරයේ අගය බෙහෙවින් ඉහළය.

අද ලොව ප්‍රචලිතව පවතින බටහිර වෛද්‍ය විද්‍යාවේ කළ එළි බැසීමට පසුබිම සැකසෙන්නේ ක්‍රිස්‌තු පූර්ව 460 හා 370 අතර වකවානුවේදීය. ඒ එම වෛද්‍ය ක්‍රමයේ නිර්මාතෘ හිපොක්‍රටීස්‌ වෛද්‍යවරයාගේ උපත හා විපත අතර කාල පරාසය පරිසරය, ජලය, ආහාර හා චර්යාවන් රෝග සඳහා හේතුකාරක වන බව හිපොක්‍රටීස්‌ වෛද්‍යවරයාගේ අදහස විය. විෂබීජ නිසා රෝග ඇති වන බවට වන මතය බටහිර වෛද්‍ය විද්‍යාවට එක්‌ වූයේ ප්‍රැකැස්‌ටෝරියස්‌ නම් ඉතාලි ජාතික වෛද්‍යවරයා පියවි ඇසට නොපෙනන විෂබීජ රෝග ආසාදන ඇති කරන බවට පහළොස්‌ වන සියවසේදී පැහැදිලි කිරීමත් එවැනි විෂබීජ අතර පවතින බැක්‌ටීරියා ලුවි පාස්‌චර් විසින් 1860 දී සොයා ගැනීමත් අනුවය. රෝග ඇති වීමට විවිධ සාධක එකතුවක්‌ හේතු වන බවට මතයක්‌ බටහිර වෛද්‍ය විද්‍යාවේදී ගොඬනැඟෙන්නේ තවත් කාලයකදීය. සමාජ, ආර්ථික, ජානමය හෙවත් පාරම්පරික, පරිසරය, සහ මානසික සාධක රෝග හට ගැනීම සඳහා බලපවත්වන බවත් මිනිසුන්ගේ ජීවන රටාවන්, චර්යාවන් මේ සියලු දේ හා දැඩිව බැඳී පවතින බවත් එහිදී පිළිගැනෙන්නේ ඒ අනුවය.

රෝග හේතුකාරක පිළිබඳව බටහිර වෛද්‍ය විද්‍යාව එලෙස පිළිගන්නා සත්‍යය බුදුරාජාණන් වහන්සේගේ දේශනාවන්ගෙන් හෙළි වී ඇත්තේ තවත් සියවස්‌ ගණනාවකට ඉහතදීය. මිනිස්‌ සිරුරේ සාමාන්‍ය ස්‌වභාවික ක්‍රියාකාරිත්වය පඨවි, ආපෝ, වායෝ හා තේජෝ හෙවත් පෘථිවිය, ජලය, වාතය හා ගින්න යන සිව් වැදැරුම් කොටස්‌ අතර වන සමතුලිතතාවය මත රඳාපවතින බව බෞද්ධ ධර්මයේ සටහන් වන්නේද ඒ අනුවය. එහිදී දක්‌වා ඇත්තේ අදාළ සමතුලිතතාවය බිඳෙන විට සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ගැටලුවට ලක්‌වීමෙන් රෝග ඇති වන හෙයින් රෝග සුව වන්නට මේ සමතුලිතතාවය නැවත පිහිටුවාලිය යුතු බවය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාවන්ට අනුව වෛද්‍යවරයකුට අනුගමනය කළ යුතු සිව් පියවර ලෙස දැක්‌වෙන්නේ රෝගයට හේතුව සොයා ගැනීම, රෝගය පිළිබඳ වටහා ගැනීම, රෝග සුව වීම සඳහා ප්‍රතිකාර සැපයීම සහ නැවත මතු වන්නට ඉඩක්‌ නොතබා රෝගය සුව කිරීමය. බුදු දහමේ මූලික හරය වන චතුරාර්ය සත්‍යයට මේ ක්‍රියාවලිය අනුරූපය. රෝගය දුක්‌ඛ සත්‍යයෙන්ද, නිදානය හෙවත් තෘෂ්ණාව, අවිද්‍යාව සමුදය සත්‍යයෙන්ද, ප්‍රතිකාරය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ද , ප්‍රතිකාරයේ ඵලය වන ආරෝග්‍යය නිර්වාණයෙන්ද සටහන් වන්නේ ඒ අනුවය.

අංගුත්තර නිකායේ සඳහන් රෝග වර්ගීකරණයේදී පැහැදිලිව දක්‌වා ඇත්තේ ද පුද්ගලයාට වැළඳෙන රෝග කායික හා මානසික ලෙස දෙයාකාර වන බවය. ගිරිමානන්ද සූත්‍රය කායික රෝග සම්බන්ධව විස්‌තර ඇතුළත් විවිධ සූත්‍ර දේශනාවන් අතර ප්‍රධානය.

....චක්‌ඛු රෝගෝ, සෝත රෝගෝ, ඝාත රෝගෝ, ජිව්හා රෝගෝ, කාය රෝගෝ, සීර්ස රෝගෝ, කණ්‌ණ රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාස්‍රො, පිනාසෝ, සිහෝ, ජරෝ, කුච්ජි රෝගෝ, මුච්ඡා, පක්‌ඛන්දිකා, සූලා, විසුචරිකා, කුට්‌ඨං, ගණ්‌ඩෝ, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්‌ඩු, කච්ජු, රඛසා, විතච්ජිකා, ලෝහිත පිත්තං මධුමේහෝ, ආසා, පිළිකා භගන්දළා .....

.........සිත්ත සමුට්‌ඨානා ආබාධා, සෙම්හ සමූට්‌ඨානා ආබාධා, වාත සමූට්‌ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතු පරිනාමාණා ආබාධා, ඕපත්තමිතා ආබාධා, කම්ම විපාතජා ආබාධා, සීතං උණ්‌හං ජිඝච්ඡා පිපාසා උච්චාරෝ, පස්‌සාවෝති ඉති ඉමස්‌මි, කායේ ආදිනවානු පස්‌සී විහරති ......

මේ ගිරිමානන්ද තෙරුන්ගේ ආබාධයට පිළියම් සොයනු පිණිස ආනන්ද තෙරුන් කළ විමසීමේදී බුදුරජාණන් වහන්සේ විසින් කළ පැහැදිලි කිරීම ගිරිමානන්ද සූත්‍රයෙහි සටහන් වන ආකාරයයි.

ආනන්දයෙනි, මේ සස්‌නෙහි මහණවලට ගියේ වේවයි, රුක්‌මූලට ගියේ වේවයි, ශුන්‍යාගාරයට ගියේ වේවයි, මෙසේ සලකන්නේය. බොහෝ දුක්‌ ඇති මේ කාය බොහෝ ආදීනව ඇත්තේය. මෙසේ මේ කයෙහි විවිධ ආබාධයෝ උපදනාහ.....

මේ අදාළ පැහැදිළි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ප්‍රවිශ්ඨයයි.

මෙලෙස දක්‌වා ඇති රෝග ලැයිස්‌තුවට අද බටහිර වෛද්‍ය විද්‍යාවේ විස්‌තරාත්මක සඳහන් වන සියලු රෝග ඇතුළත්ය. අක්‌ෂි, ශ්‍රවණ, මුඛ, ආදී රෝගද, ඇදුම, පීනස, අතීසාරය, ලාදුරු, දිලීර රෝග, දියවැඩියාව, අර්ශස්‌, පිළිකා, උණ හා ගැස්‌ට්‍රයිටිස්‌ ලෙස අපට හුරු පුරුදු ආමාශයික රෝග තත්ත්වයන්ද පමණක්‌ නොව, සිතින් උපදින ආබාධ, වාතයෙන් උපදින ආබාධ, විෂම පරිහරණයෙන් හෙවත් වැරදි හැසිරීමෙන් උපදින ආබාධ, උපක්‍රමයෙන් උපදින ආබාධ හා කර්ම විපාකයෙන් උපදින ආබාධ ද එලෙස සටහන් වන රෝග අතරින් කිහිපයකි. මේ රෝග වර්ගීකරණය මඟින් පැහැදිලි වන්නේ පුද්ගල සමාජ සහ පරිසර සාධක කෙරෙහි වන පාලනය රෝග නිවාරණයේ දී අත්‍යවශ්‍ය බවය.

සෞඛ්‍ය ආරක්‌ෂණය හා රෝග නිවාරණය පිළිබඳ විස්‌තරාත්මක කරුණු මහාවග්ග පාලියේ සහ චුල්ලවග්ග පාලියේ සඳහන් ය. සීතලෙන්, උණුසුමෙන්, මැසි මදුරුවන්ගෙන්, කෘමීන්ගෙන් ආරක්‌ෂාවට වන සිවුරු පාරිභෝගය, පාරිසරික තත්ත්වයන්ගෙන් හා සතුන්ගෙන් ආරක්‌ෂාවට පිළිපැදිය යුතු පිළිවෙත්, දැහැටි වැළඳීම ආදී මුඛ සෞඛ්‍ය 

සුරැකීමට විය යුතු දේ, නිරෝගී බව සඳහා වන ව්‍යායාම පමණක්‌ නොව ගිලානෝපස්‌ථානයෙහිදී ක්‍රියා කළ යුතු ආකාරය ද එලෙස බෞද්ධ ධර්මයට ඇතුළත්ව ඇත්තේ කෙදිනටත් ගැළපෙන ආකාරයටය. විශාලා මහනුවර වැසියන් ප්‍රණීත ආහාර පානයෙන් භික්‌ෂූන් වහන්සේලාට සංග්‍රහ කිරීම සහ මේ සංග්‍රහ පිළිගෙන ව්‍යායාමයෙන් තොරව සිටීමෙන් උන්වහන්සේලා ආබාධයට ලක්‌ වූ අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ අනුශාසනා කොට ඇත්තේ, ව්‍යායාම ලෙස සක්‌මනයෙහි යෙදීමට හුරු පුරුදු විය යුතු බවය.

බටහිර වෛද්‍ය විද්‍යාවේදී රෝග නිවාරණය සඳහා පරිසර හා සමාජ සාධක පාලනය කෙරෙහි අවධානය යොමු වන්නේ ක්‍රිස්‌තු වර්ෂ 1880 හා 1920 අතර කාලයේදීය. සෞඛ්‍ය සෞඛ්‍ය ප්‍රවර්ධනය හෙවත් සිය සෞඛ්‍ය යහපත්ව පවත්වා ගැනීමේ හැකියාව ජනතාවට ලබාදීමේ සංකල්පය විසිවන සියවස ආරම්භයේ දී ඉදිරිපත් වන්නේ එහි තව ඉදිරි පියවරක්‌ හැටියටය. සෞඛ්‍යමත් වටපිටාවක්‌ ගොඩනඟා ගැනීම සහ සෞඛ්‍යමත් ආකල්ප කුසලතා වර්ධනය එහිදී සැලකිලිමත් වන මූලික කාර්යයන්ය.

ලෝ වැසියන්ගේ මනසද, සිරුරද, සුවපත්ව පවත්වා ගැනීමට අද වෛද්‍ය විද්‍යාවේදී භාවිතා වන සියලු දේ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ධර්මයෙහි සටහන්ව ඇත්තේ වර්තමාන ජීවිතයට සීමා වන අයුරින් පමණක්‌ම නොවේ. වර්තමානය අනාගතය ඇතුළු සංසාරය සුවපත් වීමට අදාළ සියලු ප්‍රතිකාර විධි එහි ඇතුළත්ය. එහෙයින්ම සියලු සතට සුවසෙත සැලසූ මහ වෙදැදුරාණෝ බුදුරජාණන් වහන්සේමය.

වෛද්‍ය ශාන්ත හෙට්‌ටිආරච්චි
http://www.divaina.com/2017/05/07/feature19.html

0 comments: