Pages

Sunday, May 7, 2017

මහනුවරම එළිය කරන අස්‌ගිරි චෛත්‍යරාජයාණෝ...

'බුදුරදුන්ගේ සුළුමව් වූ ප්‍රජාපතිගෝතමිය පිරිනිවන් පෑමෙන් පසු ඕ තොමෝගේ ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට තබන්නට පූජනීය වන්දනීය ස්‌ථානයක්‌ තැනිය යුතුය........ යන උදාර ෙච්තනාව මල්පල ගැන්විය යුත්තේ කෙසේද'... යන්න භික්‌ෂූන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් විමසන කල්හි, .......... ඊට පිළිතුරු දුන් බුදුන්වහන්සේ, හැරමිටියක්‌ ගෙන සිටුවා පාත්‍රය මුනින් අත නවා පෙන්වා 'මෙපරිද්දෙන් සුදුසු පරිදි පහන් සිත් උපදනා අයුරින් තනන්නට කටයුතු කිරීම මැනවැයි' වදාළහ.

ඒ අනුව සිළුමිණ සෑයක්‌ තැනීමේ කර්තව්‍ය ආරම්භ විණැයි බෞද්ධ ඉතිහාස පොත් පත් කරුණු සනාථ කරන්නේය. එය තවදුරටත් පසක්‌ කරමින් බුදුන්වහන්සේ දෙසූ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තර්ගත වන්නේ, නිවන් ගියද ඕ තොමෝ රමණීය මණ්‌ඩපයක වැඩසිටින්නීය. රැස්‌ පතුරාලමින් ගුණ සුවඳ විහිදන්නීය. ආදී ලෙසිනි. ඒ සෑයක්‌ හෙවත් චෛත්‍යයක උපතය. එතැන් පටන් රහතන් වහන්සේලාගේ ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කිරීම පිණිස ද එම ධාතුන් වහන්සේලා වන්දනා මාන කොට බුදුදහම රැකගැනීම පිණිස ද චෛත්‍ය වන්දනා කිරීම සිදු කෙරිණි. 

මෙසිරිලක්‌ දෙරණේ චෛත්‍ය රාජයාණන් වහන්සේ නමක්‌ ස්‌ථාපිත කිරීමේ මුල් අඩිතාලම යෙදූයේ තපස්‌සුභල්ලුකයන් විසිනි. බුදුන් වහන්සේගේ කේෂධාතු නිදන් කොට තැනූ ගිරිහඬු සෑයට පසුව සුමන සමන් දෙවියන් විසින් මහියංගන චෛත්‍ය ද අතීත ශ්‍රී විභූතිය අදටත් විද්‍යාමාන කරයි.. ස්‌ථූප වංස කතාවට අනුව ලංකාවේ ඉදිකළ පළමු දාගැබ ථූපාරාමයය. එතැන් සිට මෙතෙක්‌ ඉදිවූ චෛත්‍යයන් සංඛ්‍යාත්මකව ලක්‌ෂය ද ඉක්‌මවා ඇත්තේය.

බුදුන්වහන්සේගේ මුදුන් මල්කඩ හෙවත් ජීවමාන බුදුන් වහන්සේ වැඩසිටිනා බවට ලොව ප්‍රකට කන්ද උඩරට මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින දළදා මාළිගාව හා ඒ ඇසුරෙහි මේ ශතකයන් පහ හය පුරාවටම චෛත්‍යරාජයාණන් වහන්සේ නමක වැඩසිටින බවක්‌ දක්‌නා නොලැබිණි. දැනට සත් වසරකට පෙර එවැන්නක්‌ පිළිබඳව සිත් පහළ වූ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අස්‌ගිරි මහ විහාරයීය මහපිරිවෙන් පරිවේණාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත නාරම්පනාවේ ආනන්ද හිමියෝ ගිහි භාරකාරිත්වය ද එක්‌කාසු කොට චෛත්‍යයක්‌ ඉදිකිරීමේ භාරදූර කාර්යය ආරම්භ කළහ. එය නොසිතූ නොවිරූ පරිද්දෙන් සෙංකඩගල පුරවරය පුරාවිද්‍යමාන වන පරිද්දෙන් බුද්ධාලම්භන ප්‍රීතිය ඇතිකරමින් කඳු මුදුනක වැජඹෙන සිරිය ඕනෑම පුද්ගලයකුට දැකගත හැකි වන්නේය. මේතාක්‌ මහනුවරට පැමිණෙන උදවියට මෛත්‍රී සිත් පහල කරගනු වස්‌ ඈත තියා දැකගත හැකි වූයේ, බහිරවකන්ද මත වැඩසිටිනා බුදුන් වහන්සේගේ පිළිමය පමණකි. ලෝක උරුම නගරයට ප්‍රවිශ්ඨ වන මේ මොහොත මෙත් සිත් පහළ කරගනිමින්, දුර තියාම මේ අප පා නගන්නේ බුදුන් වහන්සේගේ නිර්මල පිවිතුරු ඇල්ම බැල්ම ස්‌පර්ශය හිමිවන ලෝ පතල අවසන් රාජධානිය පැවැති බිමටය යන හැඟීම ජනිත කරවන්නට මේ මහා චෛත්‍ය රාජයාණන් වහන්සේගේ දසුනද රුකුලක්‌ වන්නේය. 

මේ මහා කර්තව්‍යයට යෝධ ශක්‌තියක්‌ වූයේ නාරම්පනාවේ ආනන්ද හිමියෝය. උන්වහන්සේ මෙසේ පවසති..

'මේ පින් බිම අස්‌ගිරි මහා විහාරයේ මහපිරිවෙන පිහිටි බිමයි. 1958 වසරේ ඇරඹි අස්‌ගිරි මහ පිරිවෙන සර්ව සම්පූර්ණ පිරිවෙනක අසිරි මවන්නට මට වුවමනා වුණා. මේ සඳහා උපදෙස්‌ අනුශාසනා සියල්ල ලබා දුන්නේ අපවත් වී වදාළ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී ධම්මදස්‌සි රතනපාල බුද්ධරක්‌ත මහ නාහිමියෝයි.

මට මහා වුවමනාවක්‌ ආවා චෛත්‍යයක්‌ හදලා කොත් පලඳලා පෙර කල කෙරුණු සියලුම චාරිත්‍ර වාරිත්‍ර කරලා වන්දනීය තැනක්‌ බිහි කරන්න. මේ අදහස මම කිව්වාම... මේ අහල පහල ඉන්න මේ විහාරස්‌ථානවලට ලැදි කුලතුංග අම්මා ඇවිත් මිට මොලවලා මගේ අතේ මුදලක්‌ තියලා කිව්වා 'ඔබ වහන්සේ හිතපු විදිහටම චෛත්‍ය හදන්න පුළුවන් ශක්‌තිය ධෛර්යය ලැබෙන්න ඕනෑ. මං මැරෙන්න කලින් මටත් චෛත්‍ය වැඳ පුදා ගන්න හැකි වෙන්න ඕනෑ' කියලා. ඇත්තෙන්ම ඒවගේම හැමෝගෙම උදව් ඇතිව මේ චෛත්‍යයේ වැඩ නිම කරන්න අපට හැකි වුණා. අපි හිතුවාටත් වඩා හොඳට වැඩ කරන්න අපේ අස්‌ගිරි මහා විහාර පරිවේනස්‌ථ චෛත්‍ය වර්ධන කමිටුව උනන්දු වුණා. මේ කමිටුවේ, මගේ අනුශාසකත්වයෙන්, ගිහි අනුශාසකවරුත් ඉන්නවා. හිටපු ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව දියවඩන නිලමේ නිලංග දෑල, මහා දිසාපතිතුමා, නාගරික කොමසාරිස්‌ චන්දන තෙන්නකෝන්, ඉන්ද්‍රd ටේ්‍රඩර්ස්‌ අධිපති ඉන්ද්‍ර කුමාර ද සිල්වා, කැන්ඩි සිටි සෙන්ටර් අධිපති තුසිත විඡේසේන යන මහත්වරු නිතරම මේ කටයුතු සිදුවන්නේ කොහොමද අඩුපාඩු මොනවාද හොයලා බැලුවා. මේ අය විතරක්‌ නෙවෙයි, කමිටුවෙ සභාපති විශේෂඥ වෛද්‍ය දේශබන්දු කපිල ගුණවර්ධන ලේකම් ලයනල් ගුණතිලක, භාණ්‌ඩාගාරික ඩබ්ලිව්. එම්. ශ්‍රියානන්ද, තාක්‌ෂණික උපදෙස්‌ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මහාචාර්ය රංජිත් දිසානායක, පුවත්පත් අලෙවි නියෝජිත ජයකොඩි, දමිත නානායක්‌කාර, ඒ. එස්‌. රණවීර, තිස්‌ස කරුණාරත්න, වෝල්ටර් වේරපිටිය, සුනීතා වීරසේකර, යූ. කේ. විඡේසිරි, ඩබ්ලිව්. එම්. තිලකරත්න බණ්‌ඩාර යන කමිටු සාමාජිකයෝ මේ කටයුතු සඳහා දිව රෑ නොබලා වෙහෙස වුණා. ඒ අය මට මහා ශක්‌තියක්‌ වුණා. මගේ අදහස මල් ඵල ගැන්වුණේ ඒ අය නිසා. තවත් බොහෝ දෙනා පැමිණ මගෙන් අඩුපාඩු විමසා උදව් කළා. මේ හැම දෙනාටම මහා පිනක්‌ අත්පත් වෙනවා ....'

චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ඇරඹුණේ 2010 වසරේ නොවැම්බර් මස 7 වැනිදාය. උස අඩි පනස්‌ පහක්‌ වන චෛත්‍යයේ දාගැබ තුළ සිව් දිශාවට මුහුණලා තැන්පත් කරන දර්ශනීය සමාධි පිළිමවහන්සේලා හතරනමක්‌ වැඩ සිටින බුද්ධ මන්දිරයක්‌ ද වෙයි. අෂ්ටාශ්‍ර සිව් මහල් ගොඩනැඟිල්ලේ උස අඩි හතළිස්‌ හතකි. 

පාත මහල ඇතුළත අනුරාධපුර යුගයේ සිට මේ දක්‌වා පිරිවෙන් ඉතිහාසය පිළිබඳ සියලු තොරතුරු හා කෞතුක වස්‌තු ඇතුළත් කෞතුකාගාරයකින් සමන්විත වෙයි. පිරිවෙන් අධ්‍යාපනය එදා සිට මෙදා දක්‌වා විකාශය වූ අයුරු කාට හෝ අධ්‍යනය කළ යුතු වේ නම් මෙහිදී ඊට අවැසි පසුබිම නීති සකසා ඇත්තේය. 

දෙවැනි මහල කාලීනය. එහි ගිහි පැවිදි සියලු පිංවතුන් සඳහා චිත්ත විවේකාගාරයකි. තුන්තිස්‌පැයෙහිම විවෘත තබන මෙහි පැමිණ භාවනා යෝගිව සිට සිත නිවා ගැනීමේ අවස්‌ථාව සලසා ඇත්තේ කාලීන අවශ්‍යතාවක්‌ පිරිමසන පරිද්දෙනි. මෙම භාවනායෝගි ව සිටිය හැකි බිම්කඩ වර්ග අඩි දෙදහස්‌ පන්සියයක ඉඩකඩකින් යුක්‌තය. පිරිවෙන් අධ්‍යාපනය ලබන ස්‌වාමින් වහන්සේලාට ප්‍රායෝගිකව භාවනාවේ යෙදීමටත්, ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කරන්නටත් අවැසි පසුබිම මෙහි නිති සකසා ඇත්තේය. කර්මස්‌ථාන, ජීවිතයේ අවස්‌ථා දහය බිත්ති මත සිතුවම් කොට ජීවිතාවබෝධය සමඟ භාවනාවේ යෙදිය යුතු අන්දම අවබෝධ කර දෙන්නට හැකි උපරිම උත්සාහය ගෙන ඇති බව කිව මනාය. 

තෙවැනි මහල චෛත්‍ය රාජයාණෝය. සතර දිශාවෙන් ගර්භයට ප්‍රවිෂ්ඨ විය හැකි වෙයි. අප මෙයට පෙර අත්විඳ ඇති කළුතර බෝධිය සිහියට නඟාගත හැකිය. වෙනසක්‌ දැකිය හැක්‌කේ මෙම ගර්භය අභ්‍යන්තරයේ සිතුවම් ඔස්‌සේ අපගේ මනස බුද්ධිය වඩ වඩාත් බුදු දහමට අතීතයට බොදු ඉතිහාසයට ගමන් කිරීමට හැකි පරිසරය උදාකරමින් දක්‌වා ඇති සිතුවම් ගොන්නය. මුදුනත වියන් චිත්‍රයකි. ධාතුන් වහන්සේලා වැඩ සිටියදී අනිවාර්යයෙන් තිබිය යුතු සදේව නමස්‌කාරය විචිත්‍රවත් ලෙස සිතුවමට නඟා ඇත්තේය. බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්‌ථා සිතුවමට නඟා ඇත්තේ, මනස ඒකාග්‍ර කරවීමේ උපක්‍රමයක්‌ පරිද්දෙනි. මිහිදු හිමියන් වැඩම වූ කල සිට අස්‌ගිරි පිරිවෙන් ඇරඹුම දක්‌වා කාල පරිච්ඡේදය ද සිතුවම් කොට අතීත ආවර්ජනයක්‌ දක්‌වා ඇත්තේ බුද්ධිය අවදි කිරීම පිණිසය. ගර්භයේ ශබ්දය පරිපාලනය සඳහා නිමවා ඇති ලී කැටයම් යළිත් මහනුවර යුගයේ කැටයම් සිහියට නඟාලීමට අවැසි පරිසරය සකසයි. දළදා සමිඳුන් අභියස ඇති මණ්‌ඩපයේ කැටයම් නිමැවූ කැටයම් ශිල්පී සචින්ත විසින්ම මෙහි කැටයම් නිමැවීම ද සුවිශේෂීය. ගර්භයේ පතුලෙහි ඇත්තේ, අඩි හතක්‌ උස අඩි දහයක්‌ විශ්කම්භය සහිත නෙළුම් මල් ආසනයක වඩා හිඳවූ ලී කැටයම් කරඬුවකි. වසන්ත කොඩිතුවක්‌කු නම් වූ පිංවත් දායක මහතකුගේ මැදිහත් වීමෙන් ඉදිකොට ඇති මෙම ලී කරඬුව තුළ තැන්පත් කොට ඇත්තේ ධාතුන් වහන්සේලාය.

අතීතයේ පිරිවෙන ලෙස සලකනු ලැබූයේ භික්‌ෂූන් වහන්සේලා වැඩසිටින ස්‌ථානයය. ඉන්දියාවේ නාලන්දා, වික්‍රම ශීලා, ජගද්දලා, ඕදන්තපූරි වැනි භික්‌ෂු විශ්වවිද්‍යාල ක්‍රම ක්‍රමයෙන් විකාශනය වෙමින් භික්‌ෂූන් වහන්සේලාට බොදු අධ්‍යාපනය ලැබීම පිණිස අධ්‍යාපන ආයතන බිහි කළ යුතු බවට එකල මතයක්‌ පැතිර ගියේය. ඒ අනුව මුලින් සිදු වූයේ පන්සල් ආශ්‍රිතව අධ්‍යාපන ආයතන බිහිවීමය. එය ශ්‍රී ලංකාද්වීපය තුළ සාක්‌ෂාත් කර ගත හැකි වූයේ, වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ නාහිමිපාණන් වහන්සේගේ පරිශ්‍රමයේ ඵලයක්‌ ලෙසය. සුනේත්‍රාදේවි පිරිවෙන, අභයරාජ පිරිවෙන ආදී පිරිවෙන් අධ්‍යයන ආයතන බිහිවීම එහි ප්‍රතිඵලය. 1958 වසරේ මහනුවර අස්‌ගිරිය පිරිවෙන ආරම්භ කොට ඇත්තේය. එහි ක්‍රමික විකාශනය අනුව පසුකාලීනව ශ්‍යාමෝපාලි මහානිකායේ, අස්‌ගිරි පාර්ශවයේ අතිපූජ්‍ය අපවත් වී වදාළ හාල්යාලේ ශ්‍රී සුමනතිස්‌සාභිධාන නාහිමියෝගේ ඇවෑමෙන් අස්‌ගිරි පිරිවෙන නාරම්පනාවේ ආනන්ද හිමියෝ වෙත පවරා ඇත්තාහ. 

පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙන් අධ්‍යාපනය ලද නාරම්පනාවේ ආනන්ද හිමියෝ, කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධර භික්‌ෂුවකි. පශ්චාත් උපාධි ලබමින් දිනෙන් දින තව තවත් නව අධ්‍යාපන ක්‍රමවේදයන් උගැනීමට උත්සාහ ගන්නා උන්වහන්සේ වසර 1998 සිට අස්‌ගිරි පිරිවෙන දියුණු කිරීමේ කාර්යයේ නිතර වූහ. එහි ප්‍රතිඵල ලෙස මේ වන විට උසස්‌ පෙළ ප්‍රාචීන ප්‍රතිඵල ඉහළ අගයකට ගෙනැවිත් ඇති බවට සාක්‌ෂි ඇත. මෙම පිරිවෙනහි මේ වන විට භික්‌ෂු නේවාසිකාගාරයක්‌ ද දැවැන්ත ලෙස ඉදිකොට ඇත්තේය. උන්වහන්සේගේ ඒකායන පරමාර්ථය දැනුම බුද්ධිය සහිත මනා චර්යාවක්‌ සහ යහපැවැත්මක්‌ සහිත සඟ පරපුරක්‌ බිහිකරමින් බුදුන්වහන්සේගේ ධර්මය නීති නිවැරදි ලෙස පතුරුවාලීමය. ඊට අවැසි නිවැරදි පසුබිමය උන්වහන්සේ මේ තනන්නේ. එහි විශේෂත්වය අස්‌ගිරි පිරිවෙන ඇසුරෙහි තනා ඇති නව චෛත්‍ය රාජයාණන් වහන්සේ පාමුල තනා ඇති චිත්ත විවේකාගාරය හෙවත් භාවනා ආශ්‍රමය නව තාක්‌ෂණික ක්‍රමවේදයන්ට අනුව කර්මස්‌ථාන භාවනා ක්‍රමවේද අන්‍යයන්ට හිරිහැරයක්‌ නොවන පරිදි අසමින් අවබෝධ කරගත හැකි අයුරින් නිමැවීමය. මේ ඔස්‌සේ ඕනෑම මෙලෝ මිනිසකුට මෙහි පැමිණ ධර්මය අවබෝධ කර ගැනීමටත්, භාවනාව ප්‍රගුණ කොට තම චිත්ත චෛතසිකය ඒකාග්‍ර කර ගැනීමටත් ඉඩකඩ සලසා ඇත්තේය. 

මෙම නව නිමැවුම සහිත චෛත්‍ය රාජයාණන් වහන්සේ ජනසතු කරන්නේ මැයි මස අටවැනි දින වන හෙට දිනය. ඒ අස්‌ගිරි විඡේසුන්දරාරාම මහා විහාරද්වයාධිපති හා බදුලු මුතියංගන රජමහා විහාරාධිපති අතිගෞරවාර්හ වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරථනාභිධාන මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්‌ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක ස්‌වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතිනි. 

මෙසේ බොදු වන්දනීය පුදබිමක්‌ ජනසතු කිරීමේදී සතර දේවාල ඇල්ම බැල්ම දේවාශිර්වාද ශාසනාරක්‌ෂක දෙවි දේවතාවන් වහන්සේලා වැඩම කරවීම , ධර්ම පාඨ ඔස්‌සේ බුද්ධ අනුහස්‌ ලබා ගැනීම හේවිසි හඬ ඔස්‌සේ, දෙව්ලොවට ආරාධනය දොරකඩ අස්‌න කියවා ආශිර්වාද ආදී අනේක විධ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර කළ යුතු වෙයි. ඒ සඳහා කිසිදු අඩුවක්‌ පාඩුවක්‌ නැති වන්නට නාරම්පනාවේ ආනන්ද හිමියෝ සති පිරිත් කියවා චාරිත්‍රානුකූලව තල්ගොබ කපා තල්පත් ලියවා පිරිත් 

සඡ්Cධානයෙන් ආශිර්වාද කරවා නැති වී යන සියලු සම්ප්‍රදායන් රැකගැනුමට කටයුතු යොදා තිබූහ. දඹදෙණි විහාරාධිකාරී පාහින්ගමුවේ සුමංගල හිමියෝ ඇතුළු සසුන්ගම විචිත්‍ර පිරිත් දේශකයාණන් වහන්සේලා වැඩමවා පිරිත් කියවා ආශිර්වාද කොට මෙම බොදු වන්දනීය ස්‌ථානය දැහැමිව චිරාත් කාලයක්‌ වැජඹේවා යන්න ප්‍රාර්ථනා කළහ. මනුස්‌සකම් පිරිහෙමින් පවතින යුගයක අවශ්‍යතාවය අතීත සම්ප්‍රදායන් රැක ගැනුමය. ඉන් ලැබෙන පිං මහිම ඔස්‌සේ වන දියුණුව සපථ කිරීමය. මෙවන් පිං කටයුතු ඊට සුදුසු තෝතැන්නකි.

මෙම පිංබිම සැබැවින්ම ආකල්පමය වෙනසක්‌ වෙත ජනයා රැගෙන යන දෝලාවක්‌ බදුය. වත්මන සිදුවිය යුත්තේ ද එයමය. බුදුන් වහන්සේගේ තෙමගුල සිහිකරනු වස්‌ යෙදෙන වෙසක්‌ මංගල්‍යය වෙනුවෙන් උන්වහන්සේට ගෞරව පිණිසම පිදෙන මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේගේ පිංකම ලෝ දනන් වෙත යහපතක්‌ම ඇති කරත්වා.......

සමන්තී වීරසේකර
http://www.divaina.com/2017/05/07/feature35.html

0 comments: