Pages

Sunday, December 3, 2017

සිංහලේ අසම සම කළ ඒ සිරිමහා බෝධියේ වැඩමවීම

සම්බුද්ධශාසනය හා බැඳී පවත්නා වසරේ වෙසක්‌ පෝය, පොසොන් පෝය හා ඇසළ පෝය තරමටම උඳුවප් පෝයද ශාසන ඉතිහාසයේ වැදගත් තැනක්‌ ගනී. ඊට පාදක වී ඇත්තේ සජීවී සම්බුදු හිමියන් බඳු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණිය සහ පිරිවරින් සිංහලේට වැඩමවා, මහමෙව්නා උයනේ වඩා හිඳුවීම සහ මෙහෙණි සස්‌න මෙහි ස්‌ථාපනය කිරීමය.

 සිංහලේ රජරටට වැඩම කර වඩා හිඳුවන ලද සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව, වඩාත් උතුම් වන්නේ දැනට ලෝකයේ ජීවමානව පවත්නා සම්බුදු හිමියන්ගේ ස්‌පර්ශය ලද එකම බෝධීන් වහන්සේ මෙය වන බැවිනි.

 දඹදිව පිහිටි ශ්‍රී සම්බෝධියට ධර්මාශෝක රාජ සමයේදීම "නිස්‌සාරක්‌ඛා" නම් වූ දුශ්ශීල රජ මෙහෙසිය විසින් විෂ සහිත මඩුකටු ගස්‌සවා බුදුන් පිටදුන් ශ්‍රී මහා බෝධිය නැති කරන ලදී. ඉන්පසු යළිත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධිය "ශශාඩක" නම් වූ හින්දු පාලකයෙකු විසින් කප්පවා විනාශ කරන ලද නමුත් යළිත් වරක්‌ ශ්‍රී මහා බෝධිය දලුලා වැඩුණේය. ඉන්පසුව පරිසරයේ හමා ගිය දැඩි සුළඟකට ශ්‍රී මහා බෝධිය පෙරළී ගියේය. මේ අනුව තෙවරක්‌ විනාශයට පත් ඉන්දියාවේ ශ්‍රී මහා බෝධියේ වර්තමානයේ පවත්නේ සිව්වැනි වරටත් දලුලා වැඩුණු ශ්‍රී මහා බෝධියයි.

 මීට අමතරව දඹදිව සැවැත් නුවර ඡේතවනාරාමයේ ආනන්ද මාහිමිපාණන් විසින් බෝධියක්‌ ස්‌ථාපනය කරන ලදුව එය අද දක්‌වාම පවත්නා නමුත් එය සැබෑ ශ්‍රී මහා බෝධියේ අංකුරයකින් වැඩුණ බෝධි රාජයකි. මේ අනුව සම්බුදු හිමිපාණන්ගේ පහස ලද අද ලෝකයේ පිහිටි එකම බෝධිය වන්නේ වසර දෙදහසකට වඩා පැරණි සිංහලේ රජරට මහමෙව්නා උයනේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධි රාජයාණන්ය. මෙහි ඇති සම්භාවනීයත්වය හා උත්තරීතර බව එපමණක්‌ම නොවේ.

 සම්බුදු හිමියන්ගේ පූර්ව අධිෂ්ඨාන ශක්‌තියෙන් සෘද්ධි බලය පා දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව මව් බෝධි රාජයාගෙන් වෙන්ව ධර්මාශෝක රජතුමා විසින් සූදානම් කර තිබූ කටාහයට වැඩම කිරීම තවත් අද්භූත සංසිද්ධියකි. ධර්මාශෝක රජතුමා විසින් රනින් නිම කර තිබූ මේ කටාහනේ වටරවුම අඩි 13 1/2 කි. උස අඩි 7 1/2 කි. කටාහනේ මුවවිටේ ඝනකම අඟල් අටක්‌ පමණ වේ. මෙම රන් කටාහය දඹදිව ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට යාව වටේ තිර ඇද සුවඳ දුම් දල්වා සපැමිණි සියලු දෙනා දොහොත් මුදුන් දී වැඳ සිටියහ.

 දක්‍ෂිණ ශාඛාව ශ්‍රී මහා බෝධියෙන් වෙන්කර ගැනීමට කැපීමක්‌ හෝ කැඩීමක්‌ සිදු නොවීය. ධර්මාශෝක රජු ඇතුළු රාජකීය පිරිස මෙසේ ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් ඇතිව පුදදී සිටින විට ශ්‍රී මහා බෝධියේ කඳ සහ දක්‍ෂිණ ශාඛාව ඉතිරි වන්නට සෙසු කොටස්‌ හිටිහැටියේම අතුරුදන් විය. ඇදහිය නොහැකි වූ මේ ප්‍රාතිහාර්යය සියෑසින්ම දැකගත් ධර්මාශෝක රජතුමා දෙවරක්‌ නොසිතා එකෙණෙහිම සමස්‌ත ජම්බුද්වීපයම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාව හා ප්‍රධාන කඳ ඉතිරිව තිබියදී සෙසු කොටස්‌ අන්තර්ධාන වීමෙන් පසු ධර්මාශෝක රජතුමා විසින් ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවට ළංවන සේ ඉදිකර තිබූ ස්‌වර්ණමය මණ්‌ඩපය තබා ඒ මත රත්රන් කටාහය තැන්පත් කරනු ලැබීය. ඉන්පසු ධර්මාශෝක රජු දක්‍ෂිණ ශාඛාවට සමීප වන සේ ඉදිකර තිබූ තවත් මැණික්‌ එබ්බවූ රන් පුටුවට නැගී දක්‍ෂිණ බෝධි ශාඛාව වටා ඉරක්‌ අඳිමින් එම ශාඛාව ඉබේම ගැලවී රන් කටාහයට වැඩම කෙරේවායි අධිෂ්ඨානය කළේය. එම අධිෂ්ඨානයත් සමඟ ශ්‍රී මහා බෝ කඳින් දක්‍ෂිණ ශාඛාව ඉබේම ගැලවී සමීපයේ පැවති රන් කටාහයේ තැන්පත් වී රන් කටාහය තුළ මුල් ඇදී එහි ස්‌ථාවර විය. සම්බුද්ධ බලයෙන් සිදු වූ මේ ප්‍රාතිහාර්යය ඉෂ්ට සිද්ධ වූයේ සම්බුද්ධ හිමියන්ගේ පංච මහා අධිෂ්ඨාන බලයෙන් බව සිංහල බෝධි වංශයෙහි විවරණය කර තිබේ.

 සම්බුදු හිමිපාණන්ගේ එම පස්‌විධ ප්‍රාර්ථනා මෙසේ විය.

 1. ධර්මාශෝක රජු යම් දිනෙක ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට යන්නේද, ඒ මොහොතේ දක්‌ෂිණ ශාඛාව ඉබේටම මුල් කඳින් වෙන්ව ස්‌වර්ණමය කටාහය තුළ තැන්පත් වීම.

 2. ඒ අවස්‌ථාවේ දක්‌ෂිණ ශාඛාවේ බෝපත්වලින් සවණක්‌ රැස්‌ පිටතට කාන්දු වීම

 3. ශ්‍රී මහා බෝධියේ සෙසු කොටස්‌ අහසට වැඩම කොට පුරා සතියක්‌ අදෘශ්‍යමානව අහසේ වැඩ විසීම.

 4. සිය දකුණු අකු ධාතුව සිංහලේ රජරට ථූපාරාම ගර්භයේ වඩා හිඳුවන දවසේ යමක මහා ප්‍රාතිහාර්යය පෑම.

 5. සිය සිරුරේ ද්‍රෝණයක්‌ තරම් වූ ධාතු කන්දරාව සිංහලේ රජරට ස්‌වර්ණමාලී චෛත්‍ය රාජයාගේ ගර්භයෙහි තැන්පත් කරන දා සැබෑ සම්බුදු රූපයෙන් අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය පැවැත්වීම.

 මෙම පංච මහා අධිෂ්ඨානයන්ට අන්තර්ගත ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වූයේ සම්බුදු හිමිගේ අනුහසිනි. එසේ නම් සිංහලේ රජරට මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවට ජීවමාන සම්බුද්ධ හිමියන් ආරූඪ වූවාක්‌ මෙන් බුදුගුණ, බුදු බලය, බුදු ප්‍රාතිහාර්යය, බුදු වින්තනය, බුදු ආශිර්වාදය යන කරුණු සහමුලින්ම ඊට අන්තර්ගත වී ඇත. ඒ අනුව අනුරාධපුර මහමෙව්නාවේ වඩා හිඳුවා ඇති සම්බුදු හිමියන්ගේ පහස ලද ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ජීවමාන බුදුන් බඳු යෑයි සිතා ගරු බුහුමන් ඇතිව අප විසින් වැඳ පුදා ගැනීම කළ යුතුය.

 එවකට සිංහලේ අනුරපුර මහමෙව්නාවේ වැඩ විසූ මිහිඳු මාහිමියන්ගේද උපදෙස්‌ ඇතිව දෙවනපෑතිස්‌ රජතුමා විසින් එවා තිබූ දූතයන්ගේ ඉල්ලීම් එනම් ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම කරවා ගැනීම පිළිබඳ ඉල්ලීම ඉටු කරන්නේ කෙසේ දැයි ගැටලුවකට මුහුණ දුන් ධර්මාශෝක රජතුමා ඒ පිළිබඳව උපදෙස්‌ අනුශාසනා ලබා ගැනීමට මොග්ගලීපුත්ත තිස්‌ස මහ රහතන් වහන්සේ බැහැ දුටුවේය. එම අවස්‌ථාවේ මොග්ගලී පුත්තතිස්‌ස මහ රහතන් වහන්සේ විසින් ධර්මාශෝක රජතුමාට උපදෙස්‌ දෙමින් සම්බුදු හිමියන් පරිනිර්වාණ මංචකයේදී ඉෂ්ට සිද්ධ කළ පංච මහා අධිෂ්ඨානයන් රජුට කියා දුන්නේය. ධර්මාශෝක රජතුමා ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට ශක්‌තියක්‌ වූයේ ඒ සම්බුදු ප්‍රාර්ථනා අවබෝධ කර ගැනීමෙන් පසුවය. මේ අනුව ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට තීරණය කරගත් ධර්මාශෝක රජතුමා යටකී පරිදි ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ උතුම් ජීවමාන සම්බුදු හිමියන් බඳු දක්‌ෂිණ ශාඛාව සිංහලේ රටට එවීමට මූලික කටයුතු සැලසුම් කරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව භාර වූයේ බෝධි ගුප්ත කුමාරයාටය. ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සිංහලේට වැඩම වීමේ පූජනීය ගමනට සූදානම් කළ පිරිස භාරව ගියේ සුමිත්ත කුමාරයාය. ශ්‍රී මහා බෝධියට ගරු බුහුමන් දැක්‌වීමේ කාර්යය භාරව චන්ද්‍රගුප්ත කුමාරයා සූදානම් කළේය. බෝධි රාජයාණන් නිතර නෑවීම සඳහා රත්තරං කෙණ්‌ඩි අටක්‌ සහ රිදී කෙණ්‌ඩි අටක්‌ සූදානම් කොට එම පැන් වැඩීමේ කාර්යය බිසෝවරුන් සිව් දෙනෙකුට පවරනු ලැබීය. මේ සියල්ල සැලසුම් කිරීමෙන් පසු ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාව සංඝමිත්තා මෙහෙණින් වහන්සේට පවරනු ලැබීය.

 ශ්‍රී මහා බෝධියේ දක්‌ෂිණ ශාඛාවෙන් වැටුණ එක්‌ ඵලයක්‌ රෝපණය කිරීමෙන් පසු එයින් බෝ පැළ අටක්‌ පහළ වූ බව බෝධිවංශ කියයි. මෙම පැළ අට දඹකොල පටුන, තිවක්‌ක බමුණුගම, ථූපාරාමය, කසුන්ගිරි වෙහෙර සෑගිරිය, කතරගම, සඳුන්ගම, ප්‍රථම චෛත්‍ය ස්‌ථානය, යන තැන්වල රෝපණය කරන ලද බව වංශකතාවල දැක්‌වේ. තන්තිරිමලය, කටියාව, යාපහුව, මහියංගණය, සේරුවාවිල, බෙල්ලන්විල, සිතුල්පව්ව, පැපිලියාන, වනවාස, බෙලිගල්ල, වැලිගම, වෙල්ගම ආදී ස්‌ථාන 32 දෙතිස්‌ඵල බෝධිය රෝපණය කරන ලද බව සඳහන් වේ. 

 ශ්‍රී මහා බෝධිය සිංහලේට වැඩම කරද්දී ඒ සමඟ පැමිණි පිරිස්‌ පිළිගෙන, සත්කාර කොට ඔවුන්ට සුදුසු තනතුරු ප්‍රදානය කිරීමටද තිස්‌ස රජතුමා අමතක කර නැත. සිංහල බෝධි වංශයෙහි දැක්‌වෙන අන්දමට බෝධි ගුප්ත හා සුමිත්ත කුමාරවරුන්ට ශ්‍රී මහා බෝධියේ ආරක්‍ෂාව පවරා "මහලේනා තනතුර" ලබාදී පදිංචියට මාළිගා තනා දී ඇත. චන්ද්‍රගුප්ත, දේවගුප්ත, සූර්ය ගුප්ත, ගෝතම, ජුතින්දර ආදී කුමාරවරුන්ටද ශ්‍රී මහා බෝධිය හා බැඳුණු මූලික රාජකාරි පවරා පදිංචියට නිවාස තනා දී ඇත. එසේම එක්‌ එක්‌ කුලවලින් පැමිණ සිටි ප්‍රධානීන්ට ද ශ්‍රී මහා බෝධිය හා සම්බන්ධ රාජකාරි පවරා දී වාසස්‌ථාන සලසා දී ඇත. එදා තිස්‌ස රජු විසින් මේ අයට පවරන ලද බෝධි රාජකාරී අද දක්‌වාම ඒ ඒ පවුල්වල අය විසින් අඛණ්‌ඩව කරගෙන යනු ලැබේ. මේ අතර ශ්‍රී මහා බෝධිය වෙනුවෙන් දැක්‌ වූ ගරු බුහුමන් මුල්කොට ඉන්දියාවේ ධර්මාශෝක රජු විසින් සිංහලේ මහ රජුට එනම් තිස්‌ස රජුට "දේවානම්ප්‍රිය" යන සම්මාන නාමය සමඟ තුටු පඬුරු රැසක්‌ එවන ලද බව මහාවංශයේ දැක්‌වෙයි. තිස්‌ස රජු " දේවානම්පියතිස්‌ස" වූයේ ඉන්පසුවය. දිගින් අඩි 360 ක්‌ පළලින් අඩි 270 ක්‌ද ඇති බෝ මළුවේ මැද මාලක තුනකින් යුතු, තුන්වැනි මහලයේ ශ්‍රී මහා බෝධිය වඩා හිඳුවා ඇත. පොළවේ සිට අඩි 20 ක්‌ පමණ උඩකින් ශ්‍රී මහා බෝධිය අදටත් වැඩ වෙසෙයි.

රළපනාවේ ධම්මජෝති හිමි, අනුරාධපුර ලංකාරාමාධිකාරී, උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
http://divaina.com/sunday/index.php/visheshanga2/1201-2017-12-01-09-49-58

0 comments: